ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය වනස් සිතුවිලි ඇත්තේ නො මුළා වූයේ මනා දැනුම් ඇත්තේ එළඹසිටි සිහි ඇත්තේ කුළුණු සහගිය සිතින් … මුදු බැව් සහගිය සිතින් … මැදහත්බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. එසේ දෙවැන්න ද එසේ තෙවැන්න ද එසේ සිවු වැන්න දැයි මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලන් තමා හා සම බැවින් සියලු සතුන්ගෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වෙර රහිත දුක් නැති මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙ යි. ගාමිණී, යම් සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් ම සිවු දිග හඟවන්නේ ද, ගාමිණී, එසෙයි ම උපේක්‍ෂා සමාධිය මෙසේ වඩන ලද කල්හි මෙසේ බහුල කරන ලද කල්හි යම් කාමාවචර කර්‍මයෙක් වේ නම් එය එහි ඉතිරි නොවේ. එය එහි නො සිටී යි. මෙසේ වදාළ කල්හි අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය. වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. … අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවකු කොට මා දරන සේක්වා) යි.
8. 1. 9.
කුල සූත්‍රය
423. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන සමඟ කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙන සේක් නාලන්‍දාව වෙත වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි නාලන්‍දාවෙහි පාවාරික අඹ වනෙහි වැඩ වසන සේක. එසමයෙහි නාලන්‍දාව දුබික් වූවා (දිවි පැවැත්ම) ගැන සැක ඇත්තී (මළ මිනිසුන්ගේ) සුදු ඇට ඇත්තී නොහොත් (බොල් වීමෙන්) සුදු ඇට ඇත්තී ලහයෙන් පැවතුම් ඇත්තී වපුළ ගොයම පිදුරු පමණක් වූවා වෙයි. එකල්හි නිගණ්ඨනාතපුත්ත මහත් වූ නිගණ්ඨ පිරිස සමඟ නාලන්‍දාවෙහි වෙසෙයි. ඉක්බිති නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ නිගණ්ඨනාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාතපුත්ත වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්‍ධකපුත්ත ගාමිණීහට නිගණ්ඨනාතපුත්ත මෙය කීය:
ගාමිණී එවු, තෙපි මහණ ගොයුම්හට වාද නගවු. මෙසේ තොපට “මෙසේ මහත් ඉදුහ ඇති මෙසේ මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට අසිබන්‍ධකපුත්ත ගාමිණී විසින් වාද නගන ලදැ” යි කලණ කිතු ගොසෙක් පැන නගී යි. හිමියනි, මෙසේ මහත් ඉදුහ ඇති මෙසේ මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට කෙසේ මම වාද නගන්නෙම් දැ යි. ගාමිණී, එව තෙපි මහණ ගොයුම් වෙත එළඹෙව. එළඹ මහණ ගොයුම්හට මෙසේ කියව: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් කුලයන්ට දයාව වණත් නු, රැකවරණ වණත් නු, අනුකම්පාව වණත් නු යි.
ගාමිණී, මෙසේ පුළුවුස්නා ලද මහණ ගොයුම් තෙමේ ඉදින් තොපට “ගාමිණී එසේ ය. තථාගත තෙමේ නන් අයුරින් කුලයන්ට දයාව වණයි, රැකවරණ වණයි, අනුකම්පාව වණා” යැයි මෙසේ පවසා නම් ඒ මොහුට තෙපි මෙසේ කියන්නහු ය: වහන්ස, එසේ නම් කුමක් හෙයින් සැක පහළ කරන සුදු ඇට ඇති ලහයෙන් පැවතුම් ඇති දුබික් පවත්නා කල භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙද් ද? භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පෙළීම පිණිස පිළිපන්හ යි. ගාමිණී, තොප විසින් මේ දෙ කෙළවරක් ඇති පැන පුළුවුස්නා ලද මහණ ගොයුම් තෙමේ වමාරන්නට නො ම හැකි වන්නේ ය. ගිලින්නට නො ම හැකිවන්නේ යි.
එසේ ය හිමියනි යි අසිබන්‍ධකපුත්ත ගාමිණී නිගණ්ඨනාතපුත්තහට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගිට නිගණ්ඨනාතපුත්ත වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් කුලයන්ට දයාව වණත් නු? රැකවරණ වණත් නු? අනුකම්පාව වණත් නු යි. ගාමිණී, එසේ ය. තථාගත තෙමේ නන් අයුරෙන් කුලයන්ට දයාව වණා, රැකවරණ වණා, අනුකම්පාව වණා යි. වහන්ස, එසේ නම් කුමක් හෙයින් භාග්‍යවතුන් වන්සේ සැක පහළ කරන සුදු ඇට ඇති ලහයෙන් පැවතුම් ඇති දුබික් පවත්නා කල්හි මහත් බික් සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙද් ද? භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පෙළීම පිණිස පිළිපන්හ යි.
ගාමිණී, මම යමක් සිහි කෙරෙම් නම් එය මෙයින් එකානූවන කප ය. (මේ දෑතුර) පැසුණු අහරක් දීම් පමණකින් නට විරූ කිසි කුලයක් නො දනිමි. යලි දු ආඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ ප්‍රීත්‍යූපකරණ ඇති බොහෝ ධන ධාන්‍ය ඇති යම් ඒ කුලයෝ වෙත් නම් ඒ සියල්ලෝ දන් දීමෙන් හට ගත්තාහු ද සබවසින් හට ගත්තාහු ද ශීල සංයමයෙන් හටගත්තාහු ද වෙති.
ගාමිණී, කුල නැසීම පිණිස හේතු අටෙකි. ප්‍රත්‍යය අටෙකි. රජුන්ගෙන් හෝ කුල නැසීමට යේ. සොරුන්ගෙන් හෝ කුල නැසීමට යේ. ගින්නෙන් හෝ කුල නැසීමට යේ. දියෙන් හෝ කුල නැසීමට යේ. තැන්පත් කරන ලද්ද හෝ නො ලබත්. වරදවා යොදන ලද සේවකයෝ හෝ කර්‍මාන්ත අත් හරිත්. යමෙක් ඒ භෝගයන් විසුරුවා ද පිඹ හරී ද වනසා දමා ද කුලයෙහි එබඳු කුල අඟුරෙක් හෝ උපදී. අනිස බවම අට වැන්න ය. ගාමිණී, කුල නැසීම පිණිස මේ හේතු අට ය. ප්‍රත්‍යය අට ය. ගාමිණී, මේ හේතු අට මේ ප්‍රත්‍ය අට ඇති කල්හි පවත්නා කල්හි යමෙක් “භාග්‍යවතුන් වහන්සේ කුල සිඳීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ”යි මට මෙසේ කියන්නේ නම් ගාමිණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ දිට අත් නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ නම් එමෙන් නිරයෙහි වේ යී.
මෙසේ වදාළ කල්හි අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: වහන්ස, ඉතා මැනවි. … භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්වා යි.
8. 1. 10.
මණිචූළක සූත්‍රය
424. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි රජුගේ ඇතුළු නුවර රජ පිරිසෙහි එක්රැස් ව හිඳගත්තවුන් අතර මේ අතුරු කථාව පහළ විය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී පිළිගනිති යි.
එකල්හි මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඉක්බිති මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිසට මෙය කීය: ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියනු මැනව. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇති ය හ. ඉවත් වූ රන්රිදී ඇති ය හ යි. මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිස හඟවන්නට හැකි විය. එකල්හි මණිචූළක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් මණිචූළක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය:
වහන්ස, මෙහි රජුගේ ඇතුළු පුර රජ පිරිසෙහි එක් රැස් ව හිඳ ගත්ත වුන් අතර මේ අතුරු කථාව පහළ විය: ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී පිළිගනිතියි. වහන්ස, මෙසේ කී කල්හි මම ඒ පිරිසට මෙය කීමි: ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියනු මැනවි. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො කැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇතියහ. ඉවත් වූ රන් රිදී ඇතියහ යි. වහන්ස, මම ඒ පිරිස හඟවන්නට හැකි වීමි. වහන්ස කිම, මම මෙසේ පවසන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෙක් වෙම් ද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද චෝදනා කෙරෙම් ද? දහමට අනු දහමක් පවසන්නෙම් ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ දැ යි.
ගාමිණී, ඒකාන්තයෙන් තෙපි මෙසේ පවසන්නාහු ම විසින් කියන ලද්දක් කියන්නෙක් ද වවු. මට බොරුවෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනු දමක් පවසවු. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ. ගාමිණී, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො ම කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇතියහ. ඉවත් වූ රන්රිදී ඇතියහ.
ගාමිණී, යමකුට රන්රිදී කැප වේ නම් ඔහුට පස් කම් ගුණ ම කැප වේ. යමකුට පස් කම් ගුණ කැප වේ නම් ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්‍ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්‍ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. ගාමිණී වැලි දු මම මෙසේ කියමි. තණ වලින් ප්‍රයෝජන ඇත්තහු විසින් තණ සෙවිය යුතු ය. දැව වලින් ප්‍රයෝජන ඇත්තහු විසින් දැව සෙවිය යුතු ය. ගැලින් ප්‍රයෝජන ඇත්තහු විසින් ගැල සෙවිය යුතු ය. පුරුෂයාගෙන් ප්‍රයෝජන ඇත්තහු විසින් පුරුෂයා සෙවිය යුතු ය. ගාමිණී, කිසි අයුරකින් රන්රිදී ඉවසිය යුතු ය, සෙවිය යයි මම නො ම කියමි.
8. 1. 11.
භද්‍රක සූත්‍රය
425. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙහි උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම් ගම්හි වැඩ වසන සේක. එකල්හි භද්‍රක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: “මැනවැ වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දේශනා කරන සේක්වා” යි. ගාමිණී ඉදින් මම තොපට ඉකුත් කල ඇරබ “ඉකුත් කල මෙසේ විය” යි දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙම් නම් එහි ලා තොපට සැකයෙක් වන්නේ ය, විමතියක් වන්නේ ය. ගාමිණී, ඉදින් මම තොපට මතු කල ඇරබ “මතු කල මෙසේ වන්නේ ය” යි දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙම් නම් එහි ලා ද තොපට සැකයෙක් වන්නේ ය, විමතියක් වන්නේ ය. ගාමිණී, වැලි දු මම මෙහි ම හුන්නෙම් මෙහි ම හුන් තොපට දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය වහන්සැ යි භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් කෙනෙකුන්ගේ නැසීම හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් උරුවේලකප්පයෙහි තොපට එබඳු මිනිස්සු ඇද්දැ යි. වහන්ස, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් උරුවේලකප්පයෙහි මට එබඳු මිනිස්සු ඇතැ යි. ගාමිණී, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් උරුවේලකප්පයෙහි තොපට එබඳු මිනිස්සු ඇද්දැ? යි. වහන්ස, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් උරුවේලකප්පයෙහි මට මෙබඳු මිනිස්සු ඇතැ යි.
ගාමිණී, යම් හෙයකින් තොපට උරුවේලකප්ප වැසි ඇතැම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ගාමිණී, යම් හෙයකින් තොපට උරුවේලකප්ප වැසි ඇතැම් මිනිස්සුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි. වහන්ස, උරුවේලකප්ප වැසි යම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් ඔවුන් කෙරෙහි මට ඡන්‍දරාගය ඇත. වහන්ස, උරුවේලකප්ප වැසි යම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් ඔවුන් කෙරෙහි මට ඡන්‍ද රාගය නැතැ යි.
ගාමිණී, දුටු දත් අකාලික වූ පැමිණි බැසගත් මේ දහම් තෙපි අතීතානාගත දෙක්හි නය පමුණුවවු. ඉකුත් කල යම් කිසි දුකක් උපදනේ උපදී ද, ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුල් ය. මතු කල යම් කිසි දුකක් උපදනේ උපදින්නේ ද ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. වහන්ස අසිරියෙකි. වහන්ස පුදුමයෙකි. වහන්ස ඉකුත් කල යම් කිසි දුකක් උපන්නේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුල් ය. මතු කල යම් කිසි දුකක් උපන්නේ උපදින්නේ නම් ඒ සියල්ල ආසාව මුල්කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතරම් මැනවින් වදාරන ලද්දේ ද?
වහන්ස, මට චිරවාසී නම් කුමරෙක් ඇත. නුවරින් බැහැර වෙසෙයි. වහන්ස, ඒ මම කලින් ම නැගිට “කොල යව, චිරවාසී කුමරු දනුව” යි පුරුෂයකු පිටත් කොට යවමි. වහන්ස, යම් තාක් ඒ පුරුෂ තෙමේ නො පැමිණේ ද (ඒ තාක්) චිරවාසී කුමරුට කිසි පීඩාවක් නො වේ වා යි ඒ මට අන් අයුරෙක් වේ මැ යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? චිරවාසී කුමරහුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු දැ යි. වහන්ස, කුමරහුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මාගේ දිවියෙහි ද අන් අයුරෙක් වන්නේ ය. කිමෙක් දමට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනා හු දැ යි. ගාමිණී, යම් කිසි දුකක් උපදනේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි මෙය මේ නයෙනුදු දත යුත්තේ ය.
ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙක තා විසින් චිරවාසිගේ මව නො දක්නා ලද්දී වූවා ද නො අසන ලද්දී වූවා ද (එකල්හි) චිරවාසී මව කෙරෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ වී දැ යි. වහන්ස, මෙය නොවේ ම ය. ගාමිණී, තාගේ දැකීමට පැමිණ හෝ ඇසීමට පැමිණ හෝ මෙසේ තොපට චිරවාසී මව කෙරෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ වී දැයි. වහන්ස, එසේ ය. ගාමිණී, ඒ කිමැයි හඟිහි ද? චිරවාසී මවගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු දැ යි. වහන්ස, චිරවාසි මවගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මාගේ දිවියෙහි දු අන් අයුරෙක් වන්නේ ය. කිමෙක් ද මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදින්නාහු දැ යි. ගාමිණී, යම් කිසි දුකෙක් උපදනේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. මෙය මේ නයෙනුදු දත යුත්තේ ය.
8. 1. 12.
රාසිය සූත්‍රය
426. එකල්හි රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. වහන්ස, ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහ යි. රූක්‍ෂජීවිකාව ඇති සියලු තපසුන්ට ඒකාන්තයෙන් දොස් කිය යි. අපහාස කෙරේ යි. ම විසින් මෙය අසන ලදි. වහන්ස, “ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහයි. රළු දිවි ඇති සියලු තපසුන්ට එකැතින් දොස් කියයි. අපහාස කෙරේ” යි යම් ඒ කෙනෙක් මෙසේ කීහු නම්, වහන්ස, කිම ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන සුලු ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නො කෙරෙද් ද? දහමට අනුකූල දහමක් ප්‍රකාශ කෙරෙද් ද? කිසියම් කරුණු සහිත වාදානුපාතයෙක් ගැරහිය යුතු බවට නො ම පැමිණේ දැ යි.
ගාමිණී, ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහයි. රළු දිවි ඇති තපසුන්ට එකැතින් දොස් කියයි. අපහාස කෙරේ යි, යම් කෙනෙක් මෙසේ කීහු නම් ඔහු ම විසින් කියන ලද්දක් කියන සුලු නො වෙති. ඔහු අසත්‍යයෙන් අභූතයෙන් මට චෝදනා ද කෙරෙති. ගාමිණී, පැවිද්දහු විසින් නො සෙවිය යුතු මේ අන්ත දෙකෙකි: ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුන් හට අයත් අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ කාමයන්හි යම් මේ කම්සුවය අනුව යෙදීමකුත් වේ ද, දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ යම් මේ සිරුරට දුක් දීමෙහි යෙදීමකුත් වේ ද (යන මේ දෙකයි). ගාමිණී, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ වෙසෙසින් අවබෝධ කරන ලද මැදුම් පිළිවෙත ඇස ඇති කරන්නේ ය. නැණ ඇති කරන්නේ ය. වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. තථාගතයන් විසින් අවබෝධ කරන ලද ඇස ඇති කරන නැණ ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතක් කෙලෙස් සන්සිඳීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද, මේ අරි අටඟි මඟ මැ යි. එනම්: සම්මා දිට්ඨි … සම්මා සමාධි යි. ගාමිණී, තථාගතයන් විසින් අවබෝධ කරන ලද ඒ මේ මැදුම් පිළිවෙත ඇස ඇති කරන්නේ ය. නැණ ඇති කරන්නේ ය. සන් හිඳීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.
ගාමිණී, මේ කාමභෝගීහු තිදෙනෙක් ලොව ඇතියහ. විද්‍යාමානයහ. කවර තිදෙනෙක් ද යත්: ගාමිණී, මෙහි ඇතැම් කාමභෝගියෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් නො කෙරෙයි. නො පිණවයි. අනුන්ට නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරෙයි. පිණවයි. අනුන්ට නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරෙයි. පිණවයි. අනුන්ට බෙදයි. පින් ද කෙරෙයි.
ගාමිණී, මෙහි ඇතැම් මෙහි ඇතැම් කම්සැප විඳින්නෙක් දැහැමින් හා නො දැහැමින් ද සැහැසිකමින් හා නො සැහැසිකමින් ද භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සුවපත් නො කෙරෙයි. නො පිණවයි. නො බෙදයි. පින් නො කරයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. බෙදයි. පින් ද කෙරෙයි.
ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් නො කෙරෙයි. නො පිණවයි. නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. බෙදයි. පින් ද කෙරෙයි. ඒ භෝග ද ඇලුනේ මුසපත් වූයේ ගැලුනේ දොස් නො දක්නාසුලු ව නික්ම යෑමේ නුවණ නැති ව වළඳයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. බෙදයි. පින් ද කෙරෙයි. ඒ භෝග ද නො ඇලී නො මුසපත් ව නො ගැලී දොස් දක්නා සුලු ව නික්ම යෑමේ නුවණ ඇති ව වළඳයි.
ගාමිණී, එහි යම් කම් සැප විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා ද නො දැහැමින් සැහැසි කමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කම් සැප විඳින්නා කරුණු තුනකින් ගැරහිය යුතු ය. කවර කරුණු තුනකින් ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වැනි කරුණින් ගැරහිය යුතු ය. තමා සුවපත් නො කෙරෙයි, නො පිනවයි. මේ දෙවැනි කරුණෙන් ද ගැරහිය යුතු ය. නො බෙදයි, පින් නො කෙරෙයි. මේ තෙවෙනි කරුණින් ද ගැරහිය යුතු ය. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ තෙ කරුණෙන් ගැරහිය යුතු වේ.
ගාමිණී, එහි යම් මේ කාමභෝගියෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කොරේ ද, ගාමිණී, මේ කාම භෝගී තෙමේ දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ. එක් කරුණෙකින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොය යි. මේ පළමු වැනි කරුණින් ගැරහිය යුතු වේ. නො බෙදයි. පින් නො කෙරේ යි. මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: තමා සැපවත් කෙරෙයි. පිණවා යි. මේ එක් කරුණෙන් පැසසිය යුතු වේ. ගාමිණී, මේ කාම භෝගී තෙමේ මේ දෙ කරුණෙන් ගැරහිය යුතු වේ. මේ එක් කරුණෙන් පැසසිය යුතු වේ.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා ද නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද, බෙදා ද, පින් කෙරේ ද, ගාමිණී, මේ කාම භෝගී තෙමේ එක් කරුණකින් ගැරහිය යුතු වේ. දෙ කරුණෙකින් පැසසිය යුතු වේ. කවර එක් කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොය යි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: තමා සැපවත් කෙරේ, පිණවා යි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. බෙදයි, පින් කෙරෙ යි. මේ දෙ වන කරුණෙන් පැසසිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. මේ දෙ කරුණින් පැසසිය යුතු වේ.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා ද දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් නො කෙරේ ද නො පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාම භෝගී තෙමේ එක් කරුණෙකින් පැසසිය යුතු වේ. තෙ කරුණෙකින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොය යි. මේ එක් කරුණෙන් පැසසිය යුතු වේ. කවර තෙ කරුණෙන් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොය යි. මේ පළමු කරුණින් ගැරහිය යුතු වේ. තමා සැපවත් නො කෙරෙයි. නො පිණවයි. මේ දෙවන කරුණෙන් ගැරහිය යුතු වේ. නො බෙද යි, පින් නො කෙරෙයි. මේ තෙ වන කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ එක්කරුණෙන් පැසසිය යුතු වේ. මේ තෙ කරුණෙන් ගැරහිය යුතු වේ.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා ද, දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ දෙ කරුණකින් පැසසිය යුතු වේ. දෙ කරුණකින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණෙන් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙයි, පිණවයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. නො බෙදයි, පින් නො කෙරේ යි මේ දෙවන කරුණෙන් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ දෙ කරුණෙන් පැසසිය යුතු වේ. මේ දෙ කරුණෙන් ගැරහිය යුතු වේ.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා ද, දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසි කමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද බෙදා ද පින් කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ තෙ කරුණකින් පැසසිය යුතු වේ. එක් කරුණකින් ගැරහිය යුතු වේ. කවර තෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණෙන් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරේ, පිණවයි. මේ දෙවන කරුණෙන් පැසසිය යුතු වේ. බෙදයි පින් කෙරෙයි. මේ තෙවන කරුණෙන් පැසසිය යුතු වේ. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ තෙ කරුණින් පැසසිය යුතු වේ. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා තමා සැපවත් නො කෙරේ ද නො පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ එක් කරුණකින් පැසසිය යුතු වේ. දෙ කරුණකින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසි කමින් භෝග සොයයි. මේ එක් කරුණින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: තමා සැපවත් නො කෙරෙයි, නො පිණවයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. නො බෙදයි පින් නො කෙරෙයි. මේ දෙවන කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ එක් කරුණින් පැසසිය යුතු වේ. මේ දෙ කරුණින් ගැරහිය යුතු වේ.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ දෙ කරුණකින් පැසසිය යුතු වේ. එක් කරුණකින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමුවන කරුණින් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙයි, පිණවයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: නො බෙදයි. පින් නො කෙරේ යි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ දෙ කරුණින් පැසසිය යුතු වේ. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද බෙදා ද පින් කෙරේ ද, ඒ භෝගත් ඇලුණේ මුසපත් වූයේ ගැලුණේ දොස් නො දක්නා සුලු වූයේ නික්ම යන නුවණ නැත්තේ වළඳා ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ තෙ කරුණෙකින් පැසසිය යුතු වේ. එක් කරුණෙකින් ගැරහිය යුතු වේ. කවර තෙකරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසි කමින් භොග සොයයි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙයි. පිණවයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. බෙදයි පින් කෙරෙයි. මේ තෙවන කරුණින් පැසසිය යුතු වේ. කවර එක් කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: ඒ භෝගත් ඇලී මුසපත් ව ගැලී දොස් නො දක්නා සුලු ව නික්ම යන නුවණ නැති ව වළඳ යි. මේ එක් කරුණෙන් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ තෙ කරුණෙන් පැසසිය යුතු වේ. මේ එක් කරුණෙන් ගැරහිය යුතු වේ.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද බෙදා ද පින් කෙරේ ද, ඒ භෝගත් නො ඇලී නො මුසපත් ව නො ගැලී දොස් දක්නා සුලු ව නික්ම යන නුවණ ඇති ව වළඳා ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ සිවු කරුණෙකින් පැසසිය යුතු වේ. කවර සිවු කරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙ යි, පිණවා යි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. බෙදයි, පින් කෙරෙයි. මේ තෙවන කරුණින් පැසසියයුතු වේ. ඒ භෝගත් නො ඇලී නො මුසපත් ව නො ගැලී දොස් දක්නා සුලු ව නික්ම යන නුවණ ඇති ව වළඳ යි. මේ සිවු වන කරුණින් පැසසිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ සිවු කරුණින් පැසසිය යුතු වේ.
ගාමිණී, රළු දිවි ඇති මේ තවුසෝ තිදෙනෙක් ලොව ඇතියහ. දක්නා ලැබෙති. කවර තිදෙනෙක් ද යත්: ගාමිණී, මෙහි රළු දිවි ඇති ඇතැම් තවුසෙක් “කුසල් දහම් අවබෝධ කරන්නෙම් නම් මැනවි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කරන්නෙම් නම් මැනවැ”යි, සැදැහැයෙන් ගිහි ගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙමේ තමා තවයි. හාත්පසින් තවයි. කුසල් දහමකුත් අවබෝධ නො කෙරෙයි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසකුත් නො පසක් කෙරෙයි.
ගාමිණී, මෙහි රළු දිවි ඇති ඇතැම් තවුසෙක් “කුසල් දහම් අවබෝධ කරන්නෙම් නම් මැනවි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කරන්නෙම් නම් මැනවැ”යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හේ තමා තවයි. හාත්පසින් තවයි. කුසල් දහමක් අවබෝධ කෙරෙයි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් නො පසක් කෙරෙයි.
ගාමිණී, මෙහි රළු දිවි ඇති ඇතැම් තවුසෙක් “කුසල් දහම් අවබෝධ කරන්නෙම් නම් මැනවි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කරන්නෙම් නම් මැනවැ”යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හේ තමා තවයි. වෙසෙසින් තවයි. කුසල් දහමක් අවබෝධ කෙරෙයි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් පසක් කෙරෙයි.
ගාමිණී, එහි රළු දිවි ඇති යම් තවුසෙක් තමා තවා ද වෙසෙසින් තවා ද කුසල් දහමකුත් අවබෝධ නො කෙරේ ද මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරේ ද, ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ තෙකරුණෙකින් ගැරහිය යුතු වේ. කවර තෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: තමා තවයි. වෙසෙසින් තවයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. කුසල් දහමකුත් අවබෝධ නො කෙරෙයි. මේ දෙවන කරුණින් ගැරහිය යුතු වේ. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරේ යි. මේ තෙවන කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, රළු දිවි ඇති තවුස් තෙමේ මේ තෙ කරුණින් ගැරහිය යුතු වේ.
ගාමිණී, එහි රළු දිවි ඇති යම් තවුසෙක් තමා තවා ද වෙසෙසින් තවා ද කුසල් දහමත් අවබෝධ කෙරේ ද මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරේ ද, ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ දෙකරුණෙකින් ගැරහිය යුතු වේ. එක් කරුණකින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: තමා තවයි. වෙසෙසින් තවයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරෙ යි. මේ දෙවන කරුණින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණකින් පැසසිය යුතු වේ ද යත්: කුසල් දහමක් අවබෝධ කෙරෙයි. මේ එක් කරුණින් පැසසිය යුතු වේ. ගාමිණී, රළු දිවි ඇති තවුස් තෙමේ මේ දෙ කරුණින් ගැරහිය යුතු වේ. මේ එක් කරුණින් පැසසිය යුතු වේ.
ගාමිණී, එහි රළු දිවි ඇති යම් තවුසෙක් තමා තවා ද වෙසෙසින් තවා ද කුසල් දහමත් අවබෝධ කෙරේ ද මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කෙරේ ද, ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ එක් කරුණෙකින් ගැරහිය යුතු වේ. දෙ කරුණකින් පැසසිය යුතු වේ. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: තමා තවයි. වෙසෙසින් තවයි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: කුසල් දහමත් අවබෝධ කෙරෙයි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් විසේසත් පසක් කෙරෙයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. මේ දෙ කරුණින් පැසසිය යුතු වේ.
ගාමිණී, තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලවයි දැක්වීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තවුන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු මේ නිජ්ජරා (කෙලෙස් දිරවීම්) තුනෙකි. කවර තුනක් ද යත්:
රාගයෙන් රත් වූයේ රාගය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. මෙරමා පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. රාගය ප්‍රහීණ කල්හි තමා පෙළීම පිණිසත් නො ම සිතයි මෙරමා පෙළීම පිණිසත් නො ම සිතයි. දෙපස ම පෙළීම පිණිසත් නො ම සිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලව යි කීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරාවෙකි.
ද්වේෂයෙන් දුෂ්ට වූයේ ද්වේෂය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. මෙරමා පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. ද්වේෂය ප්‍රහීණ කල්හි තමා පෙළීම පිණිසත් නො ම සිතයි මෙරමා පෙළීම පිණිසත් නො ම සිතයි. දෙපස ම පෙළීම පිණිසත් නො ම සිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලව යි කීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරාවෙකි.
මෝහයෙන් මුළා වූයේ මෝහය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. මෙරමා පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. මෝහය ප්‍රහීණ කල්හි තමා පෙළීම පිණිසත් නො ම සිතයි. මෙරමා පෙළීම පිණිසත් නො ම සිතයි. දෙපස ම පෙළීම පිණිසත් නො ම සිතයි යන යමක් ඇද්ද, එය තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලව යි කීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරාවෙකි. ගාමිණී, මේ තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලවයි කීමට සුදුසු තමන් කෙරෙහි එළවාලීමට සුදුසු නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරා තුනයි.
මෙසේ වදාළ කල්හි රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. … භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරන සේක් වා යි.
8. 1. 13.
පාටලිය සූත්‍රය
427. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි උත්තරක නම් කෝලියයන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එකල්හි පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හුන්නේ ය. එකත් පස්ව හුන් පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: වහන්ස, මහණ ගොයුම්හු ‘මායා දනිති’යි මෙය මා විසින් අසන ලදි. වහන්ස, යම් කෙනෙක් මහණ ‘ගොයුම්හු මායා දනිති’ යි මෙසේ කියත් නම්, වහන්ස, කිම ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෝ ද, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නො ද කෙරෙත් ද, දහමට ද අනු දහමක් පවසත් ද, කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ ද? වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ අබිබවා නො කියනු කැමැත්තෝ වෙමු යි.
ගාමිණී, යම් කෙනෙක් ‘මහණ ගොයුම්හු මායා දනිති’යි මෙසේ කියත් නම් ඔහු ම විසින් කියන ලද්දක් කියන්නෝත් වෙති. බොරුවෙන් මා අබිබවා නො ද කියති. දහමට ද අනු දහමක් පවසති. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ යි. පින්වත්නි, මහණ ගොයුම්හු මායා දනිති යි ඒ මහණ බමුණන්ගේ සැබෑ වූ ම තෙපුල අපි නො අදහමු. පින්වත්නි, මහණ ගොයුම්හු ඒකාන්තයෙන් මායා ඇති සේකැ යි. ගාමිණී, යමෙක් මම මායා දනිමි යි මෙසේ කියා නම් හෙතෙමේ මම මායා ඇත්තෙක් මි යි මෙසේ කිය යි. භාග්‍යවතුන් වහන්ස, එය එසේම වේ. සුගතයන් වහන්ස, එය එසේ ම වේ. ගාමිණී, එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු ය.
ගාමිණී, ඒ කිමැ යි හඟිහු ද, ගාමිණී තෙපි කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දනිවු දැ යි. වහන්ස, මම කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දනිමි යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළහු කුමක් ප්‍රයෝජන කොට ඇත්තෝ දැ යි. වහන්ස, කෝලිය රජුන්ගේ යම් සොරු වෙත් නම් ඔවුන් වළක්වන්නටත් කෝලිය රජුන්ගේ යම් පණිවුඩ පනත් වේ නම් ඒවා ගෙන යෑමටත් ය. වහන්ස, කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළහු මේ ප්‍රයෝජනය පිණිස වෙති යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද, තෙපි කෝලිය රජුන්ගේ ඒ ලම්බචූළක සෙබළුන් සිල්වතුන් කොට හෝ දුසිලුන් කොට හෝ දනිවු දැ යි. වහන්ස, මම කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිල් කොට පාප ස්වභාව ඇත්තාවුන් කොට දනිමි. ලොව යම් කෙනෙක් දුසිල්හු නම් පාප ස්වභාව ඇත්තාහු නම් කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙති යි.
ගාමණී, යමෙක් “පාටලිය ගාමිණී තෙමේ කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිලුන් කොට පාප ස්වභාව ඇත්තවුන් කොට දනී. පාටලිය ගාමිණී තෙමේ ද දුසිලෙකි. පාප ස්වභාව ඇත්තෙකි” යි මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනවින් කියන්නේ දැයි. වහන්ස, මෙය නෙවේ ම ය. වහන්ස, කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ අන්‍යයෝ ය. මම අනෙකෙක්මි. කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ අන් ස්වභාව ඇතියහ. මම අන් ස්වභාව ඇත්තෙක්මි යි. ගාමිණී, තෙපි “පාටලිය ගාමිණී තෙමේ කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිලුන් කොට පාප ස්වභාව ඇත්තවුන් කොට දනී. පාටලිය ගාමිණී තෙමේ දුසිලෙක් පාප ස්වභාව ඇත්තෙක් නො ද වේ” යි කියමන ලබන්නහු නම් කුමක් හෙයින් තථාගත තෙමේ “තථාගතයෝ මායා දනිති. තථාගතයෝ මායා ඇත්තෝ නො ද වෙති” යි කියමන නො ලබන්නේ දැ යි.
ගාමිණී, මම මායාවත් මායාවේ විපාකත් දනිමි. මායා ඇත්තේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම පණිවායත් පණිවායෙහි විපාකත් දනිමි. පණිවායෙන් යුත් පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම අයිනාදනත් අයිනාදනෙහි විපාකයත් දනිමි. අයිනාදනැති පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම කම්හි මිසහසරත් කම්හි මිසහසරෙහි විපාකත් දනිමි. කම්හි මිසහසරැති පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.
ගාමිණී, මම මුසවාත් මුසවාහි විපාකත් දනිමි. මුසවා ඇති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම පිසුනු වදනත් පිසුනු වදන්හි විපාකත් දනිමි. පිසුනු වදන් ඇත්තේ යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම රළු බසත් රළු බස්හි විපාකත් දනිමි. රළු බසැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම හිස් බසත් හිස් බස්හි විපාකත් දනිමි. හිස් බසැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.
ගාමිණී, මම දැඩි ලොබත් දැඩි ලොබෙහි විපාකත් දනිමි. දැඩි ලොබැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම කිපුම් දොසත් කිපුම් දොස්හි විපාකත් දනිමි. කෝපයට පැමිණි සිතැති පුඟුල් යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම මිස දිටුත් මිස දිටුහි විපාකත් දනිමි. මිස දිටු පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.
ගාමිණී, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇතියහ. යම් කිසිවෙක් පරපණ නසා නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී. යම් කිසිවෙක් නුදුන් දෑ ගනී නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී. යම් කිසිවෙක් කාමයෙහි වරදවා හැසිරේ නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී. යම් කිසිවෙක් මුසා බෙණේ නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී.
ගාමිණී, මාලා ඇති කොඬොල් ඇති මැනවින් ස්නානය කළ මොනවට සුවඳ විලවුන් ගැල් වූ සැදූ කෙස් රැවුල් ඇති ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් මෙහි දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් ස්නාන කෙළේ මොනවට සුවඳ විලවුන් ගල්වන ලද්දේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හෙතෙමේ පෙර) කුමක් කෙළේ දැ යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරුෂ තෙමේ රජුගේ සතුරකු මැඩ දිවියෙන් තොර කෙළේ ය. රජ ඔහුට සතුටු වූයේ පඬුරුත් දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් ස්නානය කළේ මොනවට සුවඳ විලවුන් ගල්වන ලද්දේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවා යි.
ගාමිණී, මෙහි දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් හිස මුඩු කොට රළු හඬ ඇති බෙරයෙන් යුතුව වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් හිස මුඩු කොට රළු හඬැති බෙරයෙන් යුතුව වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ රජුගේ සතුරෙකි. ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ දිවියෙන් තොර කෙළේ ය. එහෙයින් රජු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ දැ යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේ ද අසන ලද්දේ ද අසනු ලබන්නේ ද වේ යි.
ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් පරපණ නසා නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී ය”යි මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ යි. වහන්ස, මුසා ය. යම් ඒ කෙනෙක් හිස් මුසා බෙණෙද් ද, ඔහු සිල්වත්හු හෝ දුසිල්හු හෝ වෙත් දැ යි. වහන්ස, දුසිල්හු වෙති. යම් ඒ කෙනෙක් දුසිල්හු නම් පාපස්වභාව ඇත්තාහු නම් ඔහු වරදවා පිළිපන්නාහු හෝ මැනවින් පිළිපන්නාහු හෝ වෙත් දැ යි. වහන්ස, වරදවා පිළිපන්නාහු වෙති. යම් ඒ කෙනෙක් වරදවා පිළිපන්නාහු නම් ඔහු මිස දිටු ඇත්තෝ හෝ සම් දිටු ඇත්තෝ හෝ වෙත් දැ යි. වහන්ස, මිස දිටු ඇත්තහ. යම් ඒ කෙනෙක් මිස දිටු ඇත්තාහු නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැයි. වහන්ස, මෙය නො වේ ම ය.
ගාමිණී, මෙහි මාලා ඇති කොඬොල් ඇති … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හේ) කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ රජුගේ සතුරකුට අයත් රුවන් බලයෙන් පැහැර ගත්තේ ය. රජ ඔහුට සතුටු වූයේ පඬුරු දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි.
ගාමිණී, මෙහි දැඩි රැහැනින් … නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, දැඩි රැහැනින් … නුවර දකුණු දිග (යමකුගේ ) හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ?යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ ගමින් හෝ අරණින් හෝ නුදුන් දෑ සොර සිතින් ගත්තේ ය. එහෙයින් රජහු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හො දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් අසනු ලබන්නේත් වේ යි. ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් නුදුන් දෑ ගනී නම් ඒ සියලු දෙන දිටු දැමියෙහිම දුක් දොම්නස් විඳී” යි. මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ යි. … ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
ගාමිණී, මෙහි මාලා ඇති කොඬොල් ඇති … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හේ) කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ රජුගේ සතුරකුට අයත් අඹුවන් අතරෙහි හැසිරෙන බවට පැමිණියේ ය. රජ ඔහුට සතුටු වූයේ පඬුරු දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි.
ගාමිණී, මෙහි දැඩි රැහැනින් … නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, දැඩි රැහැනින් … නුවර දකුණුපස (යමකුගේ ) හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ?යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, මේ පුරිස් තෙමේ කුල ස්ත්‍රීන් කෙරෙහි කුල කුමාරීන් කෙරෙහි වරදවා පිළිපන්නේ ය. එහෙයින් රජහු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හො දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් අසනු ලබන්නේත් වේ ය යි. ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරේ නම් ඒ සියලු දෙන දිටු දැමියෙහිම දුක් දොම්නස් විඳී” යි. මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ යි. … ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
ගාමිණී, මෙහි මාලා ඇති කොඬොල් ඇති, මැනවින් නෑ සුවඳ විලවුන් ගැල්වුණු සැදූ කෙස් රැවුල් ඇති ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් මෙහි දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් නෑයේ මොනවට සුවඳ විලවුන් ගැල්වුණේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හේ) කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, මේ පුරිස් තෙමේ බොරුවෙන් රජු සිනාසෙවී ය. රජ තෙමේ සතුටු ව ඔහුට පඬුරු දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් නෑයේ මොනවට සුවඳ විලවුන් ගැල්වුණේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවා යි.
ගාමිණී, මෙහි දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් මුඩු කොට රළු හඬ ඇති බෙරයෙන් යුතු වැ වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් මුඩු කොට රළු හඬ ඇති බෙරයෙන් යුතු වැ වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග (යමෙකුගේ) හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, මේ පුරිස් තෙමේ ගැහැවියකුට හෝ ගැහැවි පුතකුට හෝ බොරුවෙන් අර්‍ත්‍ථහානි කළේ ය. එහෙයින් රජු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් අසනු ලබන්නේත් වේ යයි. ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් මුසා බෙණේ ද, ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳිති”යි මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ? යි. වහන්ස, මුසා ය. යම් ඒ කෙනෙක් හිස් මුසා බෙණෙත් නම් ඔහු සිල්වත්හු හෝ දුසිල්හු දැ? යි. වහන්ස, දුසිල්හු ය. යම් ඒ කෙනෙක් දුසිල්හු නම් පාපස්වභාව ඇත්තාහු නම් ඔහු වරදවා පිළිපන්නාහු හෝ මැනවින් පිළිපන්නාහු හෝ දැ? යි. වහන්ස, වරදවා පිළිපන්නාහු ය. යම් ඒ කෙනෙක් වරදවා පිළිපන්නාහු නම් ඔහු මිස දිටු ඇත්තෝ හෝ සම් දිටු ඇත්තෝ හෝ දැ? යි. වහන්ස, මිස දිටු ඇත්තහ. යම් ඒ කෙනෙක් මිස දිටු ඇත්තෝ නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැයි. වහන්ස, මෙය නො වේ ම ය.
වහන්ස, අසිරියෙකි. පුදුමයෙකි. වහන්ස, මට ආවාස ගෙයක් ඇත. එහි ඇඳන් ඇත. අසුන් ඇත. මහ දිය සැළක් ඇත. තෙල් පහනක් ඇත. එහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ වාසයට එළඹේ නම් ඔහු සමඟ මම හැකි පමණින් බල පමණින් බෙදා ගනිමි. වහන්ස, පෙර වූවක් කියමි. නොයෙක් දිටු ඇති නොයෙක් මත ඇති නොයෙක් රුචි ඇති ශාස්තෘහු සිවු දෙනෙක් එහි විසුමට එළඹියහ. එක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ ය. මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: දෙන ලද්දෙහි විපාක නැත, පුදන ලද්දෙහි විපාක නැත, සත්කාරයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව නැතැ යි.
එක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: දෙන ලද්දෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සත්කාරයෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්හි ඵලවිපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්තු ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව ඇතැ යි.
එක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට කම්පිත කරන්නාට කම්පිත කරවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාට මං පහරන්නාට පරඹුන් කරා යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් නොකෙරේ. ඉදිනුදු කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතු කොටගෙන පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත, ඉදිනුදු නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ ද ඒ හේතුවෙන් පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදිනුදු දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ ද, ඒ හේතුවෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැත, දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැතැ යි.
එක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට කම්පිත කරන්නාට කම්පිත කරවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාට මං පහරන්නාට පරඹුන් කරා යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් කෙරේ, කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතු කොටගෙන පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත, ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ ද ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ ද, ඒ හේතුවෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇත, දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇතැ යි.
වහන්ස, ඒ මට මේ භවත් මහණ බමුණන්ගෙන් කවරෙක් නම් ඇත්ත කියා ද? කවරෙක් බොරු කියා දැ? යි සැකයෙක් වූයේ ම ය. විචිකිච්ඡායෙක් වූයේ මැ යි.
ගාමිණී, තොප විසින් සැක කරන්නට නිසි ය, විචිකිච්ඡා කරන්නට නිසිය. සැක කටයුතු තන්හි තොපට විචිකිච්ඡා උපනැ යි. වහන්ස, යම් සේ මම මේ සැකය දුරු කරන්නෙම් නම් එසේ මට දහම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ පොහෝනා සේකැ යි. මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන්මි යි.
ගාමිණී, ධම්ම සමාධියෙක් ඇත. ඉදින් තෙපි එහි ලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු. ගාමිණී, ධම්ම සමාධිය කවරේ ද යත්: ගාමිණී, මෙහි අරිසවු තෙමේ පණිවා පහා පණිවායෙන් වැළකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාවට පැමිණියේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වෙසෙයි. අයිනාදන් පහා අයිනාදනින් වැළකුණේ වෙයි. කාමයෙහි මිසහසර පහා කාමයෙහි මිසහසරින් වැළකුණේ වෙයි. මුසවා පහා මුසවායෙන් වැළකුණේ වෙයි. පිසුනු බස පහා පිසුනු බසින් වැළකුණේ වෙයි. රළු වදන පහා රළු වදනින් වැළකුණේ වෙයි. හිස් වදන පහා හිස් වදනින් වැළකුණේ වෙයි. දැඩි ලොබ පහා දැඩි ලොබ නැත්තේ වෙයි. කිපුම් දෝස පහා නොකිපුණු සිත් ඇත්තේ වෙයි. මිසදිටු පහා සම්දිටු ඇත්තේ වෙයි.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇතියේ පහ ව ගිය කිපුම් ඇතියේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සම භාවයෙන් සියලු සතුන් යුත් ලොව දුක් නැති මෙත් සහගිය සිතින් පතුරුවා වෙසේ. හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෘවරයෙක් “දෙන ලද්දෙහි විපාක නැත, පුදන ලද්දෙහි විපාක නැත, සත්කාරයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව නැතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් යම් බඳු මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළම් ද (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යි යන යමෙක් ඇද්ද, කාබුන් මරණින් මතු සුගති සඟ ලොවට පැමිණෙන්නෙමි යි යන යමකුත් ඇද්ද මෙහිලා දෙකම ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ නාම කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. “යම් මේ ශාස්තෘවරයෙක් දෙන ලද්දෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සත්කාරයෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්තු ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව ඇතැ” යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැතිගන්නා වූ හෝ නො තැතිගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධබව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද මෙහි ලා දෙක ම ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි. “යම් මේ ශාස්තෘවරයෙක් කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට සලන්නාට සලවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාහට මං පහරන්නාට පරඹුන් කරා යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් නො කෙරෙයි. ඉදින් කර වැනි කෙළවර ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතු කොටගෙන පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පවෙක් නැත. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැත, දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද මෙහි ලා දෙක ම ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියල්ලෙන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නොපමණ වූ වෙර නැති නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි: “යම් මේ ශාස්තෘවරයෙක් කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරවන්නාට සලන්නාට සලවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාට මං පහරන්නාට පරඹුන් වෙත යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් නො කෙරෙයි. ඉදිනුදු කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ නම් ඒ හේතුවෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇත. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැතිගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. ඒ පිළිවෙත මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද, කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ කුළුණු සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. … මුදුබැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත්බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෘවරයෙක් “දෙන ලද්දෙහි විපාක නැත, පුදන ලද්දෙහි විපාක නැත, සත්කාරයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත,
මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ නැතැ” යි, මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් යම් බඳු මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේද, කාබුන් මරණින් මතු සුගති සඟ ලොවට පැමිණෙන්නෙමි යි යන යමකුත් වේ ද දෙකම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් එහිලා තෙපි චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු ය.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත්බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි: “යම් ඒ ශාස්තෘවරයෙක් දෙන ලද්දෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සත්කාරයෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්තු ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව ඇතැ” යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැතිගන්නා වූ හෝ නො තැතිගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු ය.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත් බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි: “යම් මේ ශාස්තෘවරයෙක් කරන්නහුට කරවන්නහුට සිඳින්නහුට සිඳුවන්නහුට පිසන්නහුට පිසවන්නහුට ශෝක කරවන්නහුට ක්ලාන්ත කරවන්නහුට සලන්නහුට සලවන්නහුට පරපණ නසන්නහුට නුදුන් දෑ ගන්නහුට ගෙවල් බිඳින්නහුට ගම් පැහැර ගන්නහුට එක් ගෙයක් පැහැර ගන්නහුට මං පහරන්නහුට පරඹුන් වෙත යන්නහුට මුසා බණන්නහුට කිරීමෙන් පවෙක් නො කෙරේ. ඉදින් කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නමුදු ඒ හේතුවෙන් පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැත. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැතැ” යි, මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්සිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු ය.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය ව්‍යාපාද ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත් බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි:
“යම් මේ ශාස්තෘවරයෙක් කරන්නහුට කරවන්නහුට සිඳින්නහුට සිඳුවන්නහුට පිසන්නහුට පිසවන්නහුට ශෝක කරවන්නහුට ක්ලාන්ත කරවන්නහුට සලන්නහුට සලවන්නහුට පරපණ නසන්නහුට නුදුන් දෑ ගන්නහුට ගෙවල් බිඳින්නහුට ගම් පැහැර ගන්නහුට එක් ගෙයක් පැහැර ගන්නහුට මං පහරන්නහුට පරඹුන් වෙත යන්නහුට මුසා බණන්නහුට කිරීමෙන් පවෙක් කෙරේ. ඉදිනුදු කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගංතෙරට යන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගංතෙරට යන්නේ නම් ඒ හේතුවෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇත. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය පහන්නහු යි.
මෙසේ වදාළ කල්හි පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, ඉතා මැනවි. වහන්ස, ඉතා මැනවි … අද පටන් මා දිවි හිමියෙන් සරණ ගිය (උවසුවකු කොට දරණ සේක්වා) යි.
පළමුවැනි ගාමිණී වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
චණ්ඩ, තාලපුට, යෝධාජීව, හත්‍ථාරෝහ, අසසාරෝහ, අසිබන්‍ධක, ඛෙත්තූපම, සඞ්ඛධම, කුල, මණිචූළක, භද්දක,රාසිය, පාටලිය සූත්‍රය යි තෙළෙසකි.
ගාමිණී සංයුත්තය නිමි.
9. අසඞ්ඛත සංයුත්තය
1. අසඞ්ඛත වර්‍ගය
9. 1. 1.
කායගතාසති සූත්‍රය