හිමියනි, ඒ කිමැ? යි හඟිවු ද? කුමක් වඩා ප්‍රණීත ද? නැණ හෝ සැදැහැ හෝ යි. ගැහැවි, සැදැහැයට වඩා නැණ ම ප්‍රණීත ය.
හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් (ඒතාක්) කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් ඒතාක් විතර්‍ක විචාර සන්හිඳීමෙන් ... දෙවැනි දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් ඒතාක් ප්‍රීතියත් වැළැක්මෙන් ... තෙවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි,මම යම්තාක් කැමැත්තෙම් නම් ඒ තාක් සුවත් ප්‍රහීණ කිරීමෙන් දුකත් ප්‍රහීණ කිරීමෙන් කැලැම සොම්නසුත් දුරු කිරීමෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසිදු බව ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, ඒ මම මෙසේ දන්නෙම් මෙසේ දක්නෙම් “අවිතර්‍ක අවිචාර සමාධියෙක් ඇත. විතර්‍ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇතැ” යි අන් කවර මහණකුගේ හෝ බමුණකුගේ හෝ ඇදහීමට යන්නෙම් ද?
මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්ත සිය පිරිස දෙස බලා මෙය කී ය: භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි වඞ්කත් වේ ද, චිත්ත ගැහැවි කොතරම් සඨත්(කපටත්) වේ ද, මේ චිත්ත ගැහැවි කොතරම් රැවටිලි ඇත්තේත් වේ දැ යි. හිමියනි, “භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි කොතෙක් ඍජුත් වේ ද, චිත්ත ගැහැවි කොතෙක් අසඨත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් රැවටිලි නැත්තේත් වේ දැ” යි. ඔබ විසින් දැන් ම කියන ලද්ද අපි මෙසේ දනිමු. හිමියනි, “භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි කොතෙක් වඞ්කත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් සඨත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් රැවටිලි ඇත්තේත් වේ දැ” යි. ඔබ විසින් දැන්ම කියන ලද්ද අපි මෙසේ දනිමු. හිමියනි, ඉදින් ඔබ විසින් පළමු කියන ලද්ද සැබෑ නම් ඔබ විසින් පසුව කියන ලද්ද මුසාය. හිමියනි, ඉදින් ඔබ විසින් පසුව කියන ලද්ද සැබෑ නම් ඔබ විසින් පළමු කියන ලද්ද මුසා ය.
හිමියනි, කරුණු සහිත මේ දශ පැනයක් එයි. යම් කලෙක එහි අරුත් දන්නෙහි නම් එකල්හි නිගණ්ඨ පිරිස සමඟ ම වෙත එන්නෙහි ය: එක් පැනයකි, එක් උදෙසුමෙකි, එක් විසඳුමෙකි. දෙ පැනයෙකි, දෙ උදෙසුමෙකි, දෙ විසඳුමෙකි. තුන් පැනයකි, තුන් උදෙසුමෙකි, තුන් විසඳුමෙකි. සිවු පැනයකි, සිවු උදෙසුමෙකි, සිවු විසඳුමෙකි. පස් පැනයකි, පස් උදෙසුමෙකි, පස් විසඳුමෙකි. ස පැනයකි, ස උදෙසුමෙකි, ස විසඳුමෙකි. සත් පැනයකි, සත් උදෙසුමෙකි, සත් විසඳුමෙකි. අට පැනයකි, අට උදෙසුමෙකි, අට විසඳුමෙකි. නව පැනයකි, නව උදෙසුමෙකි, නව විසඳුමෙකි. දස පැනයකි, දස උදෙසුමෙකි, දස විසඳුමෙකි. ඉක්බිති චිත්ත ගැහැවි නිගණ්ඨනාතපුත්‍රයන්ගෙන් කරුණු සහිත මේ දස පැනය පිළිවිස හුනස්නෙන් නැඟිට ගියේ ය.
7. 1. 9.
අචේල සූත්‍රය
413. එකල්හි චිත්ත ගැහැවිහුගේ පැරණි ගිහි යහළුවකු වූ අචේලකස්සප තෙමේ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ වෙයි. චිත්ත ගැහැවි අපගේ පැරණි ගිහි යහළුවකු වූ අචේලකස්සප මච්ඡිකාසණ්ඩයට පැමිණියේ ලැ යි ඇසී ය. ඉක්බිති චිත්තගැහැවි අචේලකස්සපයන් වෙත එළඹියේ ය. එළඹ අචේලකස්සපයන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්තගැහැවි අචේලකස්සපයනට “හිමියනි කස්සපයෙනි, පැවිදි ව කොතෙක් කල් ඇත්තහු දැ?” යි මෙය කී ය. “ගැහැවිය, පැවිදි වූ මට වස් තිසෙක් පමණ වේ” යි. “හිමියනි, මේ තිසක් පමණ වසින් ඔබ විසින් ලබන ලද මිනිස් දහමින් වැඩි අරිබව කිරීමෙහි සමත් නැණදසුන් වෙසෙසක් වූ කිසියම් පහසුවිහරණයෙක් ඇද්දැ?” යි. “ගැහැවි, මේ තිසක් පමණ වසින් මවිසින් මිනිස් දහමින් මතු ලබන ලද සෙලුබවත්, මුඩු බවත්, වැලි පිසීමට ගන්නා මොනරපිල් කලඹත් හැර අරීබව කිරීමෙහි සමත් නැණදසුන් වෙසෙසක් වූ කිසියම් පහසුවිහරණයෙක් නැතැ”යි.
මෙසේ කී කල්හි චිත්තගැහැවි අචේලකස්සපයනට මෙය කී ය: “යම් හෙයකින් තිසක් පමණ වසෙකින් සෙලුබවත්, මුඩුබවත්, වැලි පිසීමට ගන්නා මොනරපිල් කලඹත් හැර මිනිස් දහමින් මත්තෙහි වූ පහසුවිහරණ වූ අරීබව කිරීමෙහි සමත් කිසියම් නැණදසුන් වෙසෙසක් නො ලද්දේ වී නම්, පින්වත, දහම්හි ස්වාඛ්‍යාතබව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයෙකි”යි.
“ගැහැවි, උවසු බවට පැමිණි තොපට කෙතෙක් කල් දැ?”යි. හිමියනි, උවසු බවට පැමිණි මට ද තිසෙක් පමණ වසැ යි.” “ගැහැවි, මේ තිසෙක් පමණ වසින් මිනිස්දහමින් වැඩි පහසුවිහරණ වූ අරී බව කිරීමෙහි සමත් කිසියම් නැණදසුන් වෙසෙසක් ලබන ලද දැ?” යි. “හිමියනි, කිම නො වන්නේ ද? හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම්, ඒ තාක් කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමු වන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම් ඒ තාක් විතර්‍ක විචාර සන්හිඳීමෙන් .... දෙවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම් ඒ තාක් ප්‍රීතියත් වැළැක් වීමෙන් .... තෙවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම් තාක් කැමති වෙම් නම් ඒ තාක් සුවත් පැහීමෙන් .... සිවුවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට පළමුකොට කලුරිය කරන්නෙම් නම් ‘යම් සංයෝජනයකින් යෙදුනු චිත්ත ගැහැවි තෙමේ යලි මෙලොවට එන්නේ ද එබඳු සංයෝජනයෙක් නැතැ’ යි භාග්‍යවතුන් වහන්සේ මා ගැන යමක් මෙසේ වදාරන්නාහු නම් මේ පුදුමයෙක් නො වේ මැ” යි.
මෙසේ කී කල්හි අචේලකස්සප තෙමේ චිත්ත ගැහැවිහට මෙය කී ය: “යම් හෙයකින් සුදුවත් හැඳගත් ගිහියෝ මිනිස්දහමින් වැඩි පහසු විහරණ වූ අරීබව කිරීමෙහි සමත් මෙබඳු නැණදසුන් වෙසෙසක් ලැබුවාහු නම් පින්වත, දහම්හි ස්වාඛ්‍යාත බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයෙකි. ගැහැවි, මම මෙසස්නෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි” යි.
ඉක්බිති චිත්ත ගැහැවි තෙමේ අචේලකස්සපන් රැගෙන ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය: වහන්ස, මේ අචේලකස්සප තෙමේ අපගේ පැරණි ගිහි යහළුවෙකි. තෙරහු මොහු පැවිදි කෙරෙත්වා. උපසපන් කෙරෙත්වා. මම මොහුට සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිබඳ ව උත්සාහ කරන්නෙමි යි.
අචේලකස්සප තෙමේ මෙසසුනෙහි පැවිද්ද ලදි. උපසපුව ලදී. උපසපන් වූ නො බෝකල් ඇති ආයුෂ්මත් කස්සප තෙමේ එකලාව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නො බෝකලකින් ම කුලපුත්තු යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් නම් අනුතුරු වූ බඹසර කෙළවර වූ ඒ රහත් බව දිටුදැමියෙහි ම තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ඉපැද්ම ගෙවුණි. බඹසර වැස නිමවන ලදී. රහත්බව පිණිස කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගත්තේ ය. ආයුෂ්මත් කස්සප තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූ හ යි.
7. 1. 10.
ගිලාන සූත්‍රය
414. එසමයෙහි චිත්ත ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි බොහෝ වූ අරම්වැසි දෙවියෝ ද වනවැසි දෙවියෝ ද රුක්දෙවියෝ ද ඔසධිතෘණ වනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝ ද එක්ව රැස්ව චිත්ත ගැහැවිහට “ගැහැවි, ‘මතු සක්විතිරජ වෙම් ව’ යි සිත පිහිටුව යි” කීහ. එසේ කී කල්හි චිත්ත ගැහැවි තෙමේ ඒ අරම්වැසි දෙවියන්ට වනවැසි දෙවියන්ට රුක්දෙවියන්ට ඕසධිතෘණවනදෙටුරුක්හි අරක්ගත් දෙවියන්ට “එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැර දමා යා යුතු ය”යි මෙය කීය. එසේ කී කල්හි චිත්ත ගැහැවිහුගේ මිතුඇමති නෑ සහලේ නෑයෝ චිත්ත ගැහැවිහට “හිමියනි, සිහි එළවා ගනු මැනවි, නහමක් නන්දොඩනු මැනවැ”යි කීහ.
මා කුමක් කී හෙයින් තෙපි මට “හිමියනි, සිහි එළවා ගනු මැනවි, නහමක් නන්දොඩනු මැනවැ”යි මෙසේ කියවු ද? “හිමියනි, තෙපි ‘එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැර දමා යා යුතු ය’යි මෙසේ කියවු. ඒ එසේ මැ යි. අරම්වැසි දෙවියෝත් වනවැසි දෙවියෝත් රුක්දෙවියෝත් ඕසධිතෘණවනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝත් මට “ගැහැවි, ‘මතු සක්විතිරජ වෙම් ව’ යි සිත පිහිටුව යි” මෙසේ කීහ. ඔවුන්ට මම “එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැර දමා යා යුතු ය”යි මෙසේ කියමි යි. හිමියනි, ඒ අරම්වැසි දෙවියෝ වනවැසි දෙවියෝ රුක්දෙවියෝ ඔසධිතෘණ වනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝ කුමන ප්‍රයෝජනයක් දක්නාහු ‘ගැහැවි, මතු සක්විතිරජ වෙම් ව යි සිත පිහිටුව’ යි මෙසේ කීහු දැ? යි.
ඒ අරම්වැසි දෙවියන්ට වනවැසි දෙවියන්ට රුක්දෙවියන්ට ඕසධිතෘණවනදෙටුරුක්හි අරක්ගත් දෙවියන්ට මෙබඳු සිතෙක් වෙයි. මේ චිත්ත ගැහැවි තෙමේ සිල්වත් ය. කලණ දහම් ඇත්තේ ය. ඉඳින් මතු සක්විති රජ වෙම්ව යි පතන්නේ නම් සිල්වත්හු ගේ පැතීම සමෘද්ධ වන්නේ ය. ශීලය පිරිසිදු බැවිනි. දැහැමි දහම්රජ තෙමේ දැහැමි බිලි දෙන්නේ යයි මේ ප්‍රයෝජනය දක්නා අරම්වැසි දෙවියෝ වනවැසි දෙවියෝ රුක්දෙවියෝ ඔසධිතෘණ වනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝ ‘ගැහැවි, මතු සක්විති රජ වෙම් ව යි සිත පිහිටුව යි’ මෙසේ කීහ. ඔවුන්ට මම ‘එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැරදමා යා යුතු ය’යි මෙසේ කියමි යි.
හිමියනි, එසේ නම් අපටත් ඔවදන් දෙනු මැනවැ යි. එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු යි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු රහත්හ, සම්මාසම්බුද්ධහ, විජ්ජාචරණ සම්පන්නහ, සුගතහ, ලෝකවිදූහ, අනුත්තරපුරිසදම්මසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෘහ, බුද්ධහ, භගවත්හ යි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛාත ය, සන්‍දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තවුන් විසින් තමතමා කෙරෙහි ලා දත යුතු යයි මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමු. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුපටිපන්න ය, භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ උජුපටිපන්න ය, භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායපටිපන්න ය, භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය, යම් මේ පුරිසයුග සතරෙක් වේ ද, එහි පුරිස පුග්ගලයෝ අටදෙනෙකි, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය, පාහුනෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජලිකරණීය ය, ලෝවැස්සාට උතුම් පින්කෙතැ යි, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමු. ගෙහි යම් කිසි දියයුතු දැයක් වේ නම් ඒ සියල්ල කලණ දහම් ඇති සිල්වතුන් හා නො බෙදන ලද්දේ (සාධාරණ) වන්නේ යයි තොප විසින් මෙසේ හික්මිය යුතු යි.
ඉක්බිති චිත්ත ගැහැවි තෙමේ මිතු ඇමැති නෑ සහලේනෑයන් බුදුන් කෙරෙහිත් දහම්හිත් සඞ්ඝයා කෙරෙහිත් පැහැදීමෙහි ද ත්‍යාග ගුණයෙහි ද සමාදන් කරවා කලුරිය කළේ යි.
පළමුවැනි චිත්තවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය :
සංයෝජන සූත්‍රය, ඉසිදත්ත සූත්‍ර දෙක ය, මහක සූත්‍රය, කාමභූ සූත්‍ර දෙක ය, ගෝදත්ත, නිගණ්ඨ, අචේල, ගිලාන සූත්‍ර සතර යයි සූත්‍ර දශයෙකි.
චිත්ත සංයුත්තය නිමියේ යි.
8. ගාමණී සංයුත්තය
1. ගාමණී වර්‍ගය
8. 1. 1.
චණ්ඩගාමණී සූත්‍රය
415. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් සැඬ යයි ම ගණනට යේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය ද? වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් මොළොක් යයි ම ගණනට යේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය දැ?” යි.
“ගාමිණී, මෙහි එකකුගේ රාගය අප්‍රහීණ වූයේ වෙයි. රාගය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬ යයි ම ගණනට යේ. දෝසය අප්‍රහීණ වූයේ වෙයි. දෝසය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬ යයි ම ගණනට යේ. මෝහය අප්‍රහීණ වූයේ වෙයි. මෝහය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬයි ම ගණනට යේ. ගාමිණී, යම් හෙයකින් මෙහි එකෙක් සැඬ යයි ම ගණනට යේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය යයි.
ගාමිණී, මෙහි එකකුගේ රාගය ප්‍රහීණ වූයේ වෙයි. රාගය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. දෝසය ප්‍රහීණ වෙයි. දෝසය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. මෝහය ප්‍රහීණ වෙයි. මෝහය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේත් කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. ගාමිණී, යම් හෙයකින් මෙහි එකෙක් මොළොක් යයි ම ගණනට යේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය යයි.”
මෙසේ වදාළ කල්හි චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වැසුණු දෙයක් හෝ වැසුම් හරින්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියා දෙන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකින්නාහ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් නයින් දහම් පවසන ලදී. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික් සඟනත් සරණ යෙමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්වා” යි.
8. 1. 2.
තාලපුට සූත්‍රය
416. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි තාලපුට නම් නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්ස්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරවා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදී. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
“ගාමිණී, කම් නැත. මෙය තිබේ වා. මෙය නහමක් මා පුළුවුස්ව” යි. දෙවන වටදු තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරවා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි. “ගාමිණී, කම් නැත මෙය තිබේ වා. මෙය නහමක් මා පුළුවුස්ව” යි. තෙවන වට දු තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
ගාමණී මම “ගාමණී, කම් නැත, මෙය තිබේවා. මෙය නහමක් මා පුළුවුස් ව” යි තොපගෙන් ඒකාන්තයෙන් නො ලබමි. යලිදු තොපට මම විසඳන්නෙමි. ගාමිණී, පෙර සත්ත්‍වයෝ නො පහ වූ රාග ඇතියහ. රාග බැඳුමෙන් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු ඇලුම් කටයුත්තාහු නම්, ඔවුන් බෙහෙවින් රාග සහිත වීම පිණිස එළවා දක්ව යි. ගාමිණී, පෙර සත්ත්‍වයෝ නො පහ වූ දෝස ඇතියහ. දෝස බැඳුමින් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු දෝසයට කරුණු වෙති නම් ඔවුන් බෙහෙවින් දෝස සහිත වීම පිණිස එළවා දක්වයි. ගාමිණී, පෙර සත්ත්‍වයෝ නො පහ වූ මෝහ ඇතියහ. මෝහ බැඳුමෙන් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු මෝහයට කරුණු වෙත් නම් ඔවුන් බෙහෙවින් මෝහ සහිත වීම පිණිස එළවා දක්වයි.
හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී. ඉදින් ඔහුට “යම් ඒ නළුවෙක් රඟ මැද නැටුම් මැද සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද ඇලුම් කරවා ද හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස නම් දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය” යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහුගේ මිසදිටු වේ. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල්හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා ගතියක් කියමි යි.
මෙසේ වදාළ කල්හි තාලපුට නටගාමිණී තෙමේ හැඬී ය. කඳුලු හෙළී ය. ගාමිණී මම “ගාමිණී, කම් නැත මෙය තිබේවා, මෙය නහමක් මා පුළුවුස්ව” යි මෙය තොපගෙන් නො ලදිමි.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් මේ ගැන මම නො හඬමි. වහන්ස, වැලිදු ‘යම් ඒ නළුවෙක් රඟ මැද නැටුම් මැද සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද ඇලුම් කරවා ද හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර නළුවන් විසින් මම දිගුකලක් මුළුල්ලෙහි මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි.
වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වැසුණු දෙයක් හෝ වැසුම් හරින්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියා දෙන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකින්නාහ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් නයින් දහම් පවසන ලදි. වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේත්, දහමත්, බික් සඟනත් සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි යි. තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලදි. උපසපුව ලදි. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් තාලපුට තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු ... ආයුෂ්මත් තාලපුට තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ යි.
8. 1. 3.
යෝධාජීව සූත්‍රය
417. එකල්හි යෝධාජීව ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස්ව හුන් යෝධාජීව ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම් ඒ යෝධාජීවයෙක් (යුද්ධයෙන් ජීවත් වන්නෙක්) යුද්ධයෙහි උත්සාහ කෙරේ ද වෑයම් කෙරේ ද උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් කියද්දී මවිසින් අසන ලදි. මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
“ගාමිණී කම්නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව” යි. දෙවනවට දු ... තෙවන වටදු ... යෝධාජීව ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් කියද්දී මවිසින් අසන ලදි. මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
“ගාමිණී මම ‘ගාමිණී, කම්නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි. ඒකාන්තයෙන් මෙය තොපගෙන් නො ලබමි. එහෙත් මම තොපට විසඳන්නෙමි. ගාමිණී, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි ‘මේ සත්ත්‍වයෝ නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නොවෙත්වා’ හෝ යි උත්සාහ කෙරේ ද වෑයම් කෙරේ ද, ඔහුගේ ඒ සිත පළමු ම ලාමකය. නපුරු කොට කරන ලද්දේ ය. වරදවා පිහිටුවන ලද්දේ ය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. ඉදින් ඔහුට ‘යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහුගේ මිස දිටු වෙයි. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා එකක් කියමි.”
මෙසේ වදාළ කල්හි යෝධාජීව ගාමිණී තෙමේ හැඬීය. කඳුල් හෙලීය. ගාමිණී මම “ගාමිණී, කම් නැත. මෙය තිබ්වා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි මෙය තොපගෙන් නො ලදිමි” යි.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් මේ ගැන මම නො හඬමි. වහන්ස, වැලිදු ‘යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මම මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි.
වහන්ස ඉතා මැනවි, වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවෙකු කොට මා දරන සේක්වා යි.)”
8. 1. 4.
හත්‍ථාරෝහ සූත්‍රය
418. එකල්හි හත්‍ථාරෝහගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවෙකු කොට මා දරන සේක්වා යි.)
8. 1. 5.
අස්සාරෝහ සූත්‍රය
419. එකල්හි අස්සාරෝහගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අස්සාරෝහ ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්, මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර අසරුවන් කියද්දී මවිසින් අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ” යි. ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි.
දෙවන වට දු ... තෙවන වට දු අස්සාරෝහ ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. “වහන්ස, ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්, මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර අසරුවන් කියද්දී මවිසින් අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ” යි.
ගාමිණී, මම ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මෙය නහමක් මා පුළුවුස්ව’යි තොපගෙන් ඒකාන්තයෙන් නො ලබමි. එහෙත් තොපට මම විසඳන්නෙමි. ගාමිණී, යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි ‘මේ සත්ත්‍වයෝ නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නො වෙත්වා’ හෝ යි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, ඔහුගේ ඒ සිත පළමු ම ලාමක ය. නපුරු කොට කරන ලද්දේ ය. වරදවා පිහිටුවන ලද්දේ ය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. ඉදින් ඔහුට ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙබඳු දිටෙක් වේ නම් එය ඔහුගේ මිසදිට වේ. ගාමිණී, මිසදිටු ගත් පුරිස් පුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා ගතියක් මම කියමි.”
මෙසේ වදාළ කල්හි අස්සාරෝහ ගාමිණී තෙමේ හැඬීය. කඳුලු හෙලීය. “ගාමිණී, මම ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි මෙය තොපගෙන් නො ලදිමි යි.” “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් ඒ ගැන මම නො හඬමි. වැලි දු වහන්ස, ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර අසරුවන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මම මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි. වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවකු කොට මා දරන සේක්වා යි.)”
8. 1. 6.
අසිබන්‍ධක සූත්‍රය
420. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දාව සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි අසිබන්‍ධකපුත්ත නම් ගාමණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්‍ධකපුත්ත ගාමණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, පච්ඡාභූමි වැසි කෙණ්ඩි දරන සෙවෙල් මාලා ඇති දියට බස්නා ගිනි පුදන ඒ බමුණෝ මළහු කලුරිය කළහු උඩට යවත්. හඳුන්වත්. දෙව්ලොවට යවත්. වහන්ස, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ යම්සේ සියලු ලෝකයා කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම්, එසේ කරන්නට පොහෝනාහු වෙත් දැ?”යි.
“ගාමණී, එසේ වී නම් මෙහි ලා තා ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි පරපණ නසන, නුදුන් දෑ ගන්නා, කාමයෙහි වරදවා හැසිරෙන, මුසවා බෙණෙන, පිසුනුබස් ඇති, රළු වදන් ඇති, හිස්බස් බෙණෙන, දැඩි ලෝබ ඇති, කිපුණු සිත් ඇති, මිසදිටු ගත් පුරුෂයෙක් වන්නේ ය. මහාජන සමූහයා ඒ මොහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේවා” යි යදින්නේ ය. පසසන්නේ ය. බැඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහත් ජනසමූහයාගේ යැදීම හේතු කොට ගෙන හෝ පැසසීම හේතු කොට ගෙන හෝ බඳැදිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
“ගාමණී, යම් සේ පුරුෂයෙක් මහ ගලක් ගැඹුරු දියවිලෙක බහා ලන්නේ ද මහජන සමූහයා ඒ මෙය වෙත එක්ව රැස්ව ‘එම්බා මහගල, මතු වෙව. එම්බා මහගල, පා වෙව. එම්බා මහගල, ගොඩ නැගෙව’ යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහජන සමූහයා ගේ යැදීම හේතු කොට ගෙන හෝ පැසසීම හේතු කොටගෙන හෝ බඳැදිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ මහගල මතු වන්නේ හෝ පා වන්නේ හෝ ගොඩ නැගෙන්නේ හෝ වේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
“ගාමණී, එසෙයින් ම යම් ඒ පුරුෂයෙක් පරපණ නසන්නේ, නුදුන් දෑ ගන්නේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ, මුසවා බෙණෙන්නේ, පිසුනුබස් ඇත්තේ, රළු බස් ඇත්තේ, හිස් බස් බෙණෙන්නේ, දැඩි ලෝබ ඇත්තේ, කිපුණු සිත් ඇත්තේ, මිසදිටු ගත්තේ වේ ද, හුදෙක් මහජන සමූහයා ඔහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේවා” යි යදින්නේ ද, පසසන්නේ ද, බඳැදිලි ව පැදකුණු කරන්නේ ද, එහෙත් ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ” ය.
“ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි පණිවායෙන් වෙන් වූ, අයිනාදනින් වෙන් වූ, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණු, මුසවායෙන් වැළකුණු, පිසුණු බසින් වෙන් වූ, රළු වදනින් වෙන් වූ, හිස් බස් බිණීමෙන් වැළකුණු, දැඩි ලෝබ නැති, නො කිපුණු සිත් ඇති, සමිදිටු ගත් පුරුෂයෙක් වන්නේ ය. මහජන සමූහයා ඒ මොහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණේව” යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහත් ජනසමූහයා ගේ යැදුම හේතු කොට ගෙන හෝ පැසසුම හේතු කොට ගෙන හෝ බදැඳිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
“ගාමණී, යම් සේ පුරුෂයෙක් ගිතෙල් කුඹක් හෝ තලතෙල් කුඹක් හෝ ගැඹුරු දියවිලක ගිල්වා බිඳින්නේ ද එහි යම් කැට හෝ කැබිලිති හෝ වන්නේ නම් එය කිඳෙනසුලු වන්නේ ය. එහි යම් ගිතෙල් හෝ තලතෙල් හෝ වන්නේ නම් එය උඩ ඉල්පෙනසුලු වන්නේ ය. මහජන සමූහයා ඒ මෙය වෙත එක් ව රැස් ව ‘භවත් ගිතෙල, තලතෙල, කිඳෙව. භවත් ගිතෙල, තලතෙල, ගිලෙව. භවත් ගිතෙල, තලතෙල යට යව’ යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහජන සමූහයා ගේ යැදුම හේතු කොට ගෙන හෝ පැසසුම හේතු කොට ගෙන හෝ බඳැදිලිව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ ගිතෙල තලතෙල කිඳෙන්නේ හෝ ගිලෙන්නේ හෝ යට යන්නේ හෝ වේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
“ගාමණී, එසෙයින් ම යම් ඒ පුරුෂයෙක් පණිවායෙන් වෙන් වූයේ, අයිනාදනින් වෙන් වූයේ, කාමයෙහි වරදවා හැසුරුමෙන් වැළකුනේ, මුසවායෙන් වෙන් වූයේ, පිසුනු බසින් වැළකුනේ, රළු වදනින් වැළකුනේ, හිස් බස් බිණීමෙන් වැළකුනේ, දැඩි ලොබ නැත්තේ, නො කිපුණු සිත් ඇත්තේ, සමිදිටු ගත්තේ වේ ද; හුදෙක් බහුජන සමූහයා එක් ව රැස් ව ‘මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණේවා’යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. එහෙත් ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙන්නේ”යි.
මෙසේ වදාළ කල්හි අසිබන්‍ධකපුත්ත ගාමණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස, ඉතා මැනවි. වහන්ස, ඉතා මැනවි. ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්වා”යි.
8. 1. 7.
ඛෙත්තූපම සූත්‍රය
421. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දාව සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැල කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වැඩ වෙසෙන සේක් නො වෙද්දැ යි. ගාමිණී, එසේ ය. තථාගත තෙමේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වෙසේ ය යි. වහන්ස, එසේ නම් කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ ඇතැමුන් ට සකසා දහම් දෙසන සේක් ද, ඇතැමුන් ට එසේ සකසා දහම් නො දෙසන සේක් දැ යි. ගාමිණී, එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු.
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි ගොවි ගැහැවියකුට කෙත් තුනෙක් වේ. එක් කෙතක් අග ය. එක් කෙතක් මැඳුම් ය. එක් කෙතක් නිසරු ය. තද ය. කර මැටි සහිත ය. මුඩු බිමෙකි. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? ඒ ගොවි ගැහැවි තෙමේ බිජු වපුරනු කැමැත්තේ කොතැන්හි පළමු කොට වපුරන්නේ ද, යම් ඒ අග කෙත ද, යම් ඒ මැදුම් කෙත ද, යම් ඒ නිසරු ද කරමැටි සහිත මුඩු බිම දැ යි. වහන්ස, ඒ ගොවි ගැහැවි තෙමේ බිජු වපුරනු කැමැත්තේ යම් ඒ අග කෙතක් වේ ද, එහි වපුරන්නේ ය. එහි වපුරා යම් ඒ මැදුම් කෙතක් වේ ද, එහි වපුරන්නේ ය. එහි වපුරා යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිමක් වේ ද, එහි වපුරන්නේ හෝ නො ද වපුරන්නේ හෝ වෙයි. ඒ කවර හෙයින යත්: යටත් පිරිසෙයින් ගෙරින්ට අහර පිණිස වත් වන්නේ ය යි කියා යි.
ගාමිණී, යම් සේ යම් ඒ කෙත අග ද, මට මහණ මෙහෙණහු එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදෙක් පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)
ගාමිණී, යම් ඒ මැදුම් කෙත යම් සේ ද, මට උවසු උවැසියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු වනාහි මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)
ගාමිණී, යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිම වූ කෙත යම් සේ ද, මට අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි.
ගාමිණී, යම් සේ පුරුෂයකුට මහ දිය බඳුන් තුනෙක් වේ ද, එක් දියබඳුනෙක් සිදුරු රහිත ය. නො වැගිරෙන්නේ ය. නො සිඳෙන්නේ ය. එක් දිය බඳුනෙක් සිදුරු රහිත ය. වැගිරෙන්නේ ය. සිඳෙන්නේ ය. එක් දිය බඳුනෙක් සිදුරු සහිත ය. වැගිරෙන්නේ ය. සිඳෙන්නේ ය. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? ඒ පුරිස් තෙමේ දිය බහාලනු කැමැත්තේ යම් ඒ සිදුරු රහිත නො වැගිරෙන නො සිඳෙන බඳුනෙක් වේ ද, යම් ඒ සිදුරු රහිත වැගිරෙන සිඳෙන බඳුනෙක් වේ ද, යම් ඒ සිදුරු සහිත වැගිරෙන සිඳෙන බඳුනෙක් වේ ද (මෙයින්) කොහි පළමු කොට බහා ලන්නේ දැ යි.
වහන්ස, ඒ පුරිස් තෙමේ දිය බහාලනු කැමැත්තේ යම් ඒ සිදුරු රහිත නො වැගිරෙන නො සිඳෙන බඳුනෙක් වේ නම් එහි බහා ලන්නේ ය. එහි බහා තබා සිදුරු රහිත වැගිරෙන සිඳෙන යම් ඒ දියබඳුනෙක් වේ නම් එහි බහා ලන්නේය. එහි බහා තබා සිදුරු සහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුනෙක් වේ නම් එහි බහා ලන්නේ හෝ නො ද බහා ලන්නේ හෝ වෙයි. ඒ කවර හෙයින යත්: යටත් පිරිසෙයින් බඩු සේදීම් පමණකු දු වන්නේ ය කියා යි.
ගාමිණී, සිදුරු රහිත නො වැගිරෙන නො සිඳෙන යම් ඒ දිය බඳුන යම් සේ ද, මහණ මෙහෙණහු මට එබඳු ම වෙති. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු වනාහි මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)
ගාමිණී, සිදුරු රහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුන යම් සේ ද, උවසු උවැසියෝ මට එබඳු ම වෙති. ඔවුන්ට ද මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු වනාහි මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි)
ගාමිණී, සිදුරු සහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුන යම් සේ ද, අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ මට එබඳු ම වෙති. ඔවුන්ට ද මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජනසහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි.
මෙසේ වදාළ කල්හි අසිබන්‍ධක පුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමි කොට සරණ ගිය (උවසුවකු කොට මා දරන සේක්වා යි.)
8. 1. 8.
සඞ්ඛධම සූත්‍රය
422. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දාව සමීපයෙහි පාවාරික අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණීහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ගාමිණී, නිගණ්ඨනාථපුත්ත කෙසේ නම් සව්වන්ට දහම් දෙසා දැ යි.
වහන්ස, නිගණ්ඨනාථපුත්‍රයෝ සව්වන්ට මෙසේ දහම් දෙසති: “යම් කිසි කෙනෙක් පරපණ නසත් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් නුදුන් දෑ ගන්නෝ ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙද් ද ඒ සියලු දෙන අපායට යන්නෝය. නිරයට යන්නෝ ය. යම්කිසි කෙනෙක් මුසවා බෙණෙද් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් (නිරයට) පමුණු වනු ලැබේ ය යි. වහන්ස, නිගණ්ඨනාථ පුත්‍රයෝ සව්වන්ට මෙසේ දහම් දෙසති යි.
ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාථ පුත්තගේ වචන පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් පර පණ නසා ද රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) හේ යම් කලෙක හෝ පරපණ නසා ද, හේ යම් කලෙක හෝ පරපණ නො නසා ද එයින් කවර කලෙක් ඉතා වැඩි දැ යි.
වහන්ස, යම් ඒ පුරුෂයෙක් පරපණ නසා ද, රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) හේ යම් කලෙක පරපණ නසා නම් ඒ කාලය ඉතා මඳ ය. වැලි දු හේ යම් කලෙක පරපණ නො නසා නම් ඒ කාලය ම ඉතා වැඩි ය යි. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණුවනු ලැබේ යයි. මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් නුදුන් දෑ ගන්නේ නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ නුදුන් දෑ ගනී ද යම් කලෙක හේ නුදුන් දෑ නො ගනී ද එයින් කවර කලෙක් ඉතා වැඩිදැ යි. වහන්ස, යම් පුරුෂයෙක් නුදුන් දෑ ගන්නේ නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ නුදුන් දෑ ගනී ද ඒ කාලය ඉතා මඳ ය. යලිදු යම් කලෙක හේ නුදුන් දෑ නො ගනී ද ඒ කාලය ම ඉතා වැඩි ය යි. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් කාමයෙහි වරදවා හැසිරෙන සුලු නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ කාමයෙහි වරදවා හැසිරේ ද යම් කලෙක හේ කාමයෙහි වරදවා නො හැසිරේ ද එයින් කවර කලෙක් ඉතා වැඩිදැ යි. වහන්ස, යම් පුරුෂයෙක් කාමයෙහි වරදවා හැසිරෙන සුලු ද රැය හෝ දවාල හෝ කල් නො කල් අතුරෙහි යම් කලෙක හෙතෙමේ කාමයෙහි වරදවා හැසිරේ නම් ඒ කාලය ඉතා මඳ ය. යලිදු යම් කලෙක හෙතෙම් කාමයෙහි වරදවා නො හැසිරේ නම් ඒ කාලය ම ඉතා වැඩි ය. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් මුසවා බෙණෙන සුලු නම් රැය හෝ දවාල හෝ කල් නො කල් අතුරෙහි යම් කලෙක හේ මුසවා බෙණේ ද යම් කලෙක හෙතෙමේ මුසවා නො බෙණේ ද එයින් කවර කලෙක් ඉතා වැඩි දැ යි. වහන්ස, යම් පුරුෂයෙක් මුසවා බණන සුලු නම් රැය හෝ දවාල හෝ කල් නො කල් අතුරෙහි යම් කලෙක හෙතෙමේ මුසවා බෙණේ නම් ඒ කාලය ඉතා මඳ ය. වැලි දු හේ යම් කලෙක මුසවා නො බෙණේ නම් ඒ කාලය ම ඉතා බොහෝ ය. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
ගාමිණී, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: යම් කිසි කෙනෙක් පරපණ නසද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම්කිසි කෙනෙක් නුදුන් දෑ ගනිද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් මුසවා බෙණෙද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. ගාමිණී, ඒ ශාස්තෘවරයා කෙරෙහි ශ්‍රාවක තෙමේ ඉතා පැහැදුනේ වේ නම් ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මාගේ ශාස්තෘ තෙමේ යම්කිසි කෙනෙක් පරපණ නසත් නම් ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය” යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. මවිසින් පරපණ නසන ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමියි දිට පිළිලබයි. ගාමිණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ දිට නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ නම්, එමෙන් නිරයෙහි වේ.
මාගේ ශාස්තෘ තෙමේ ‘යම් කිසි කෙනෙක් නුදුන් දෑ ගනිද් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය, නිරයට යන්නෝ ය’යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙ යි. මවිසින් නුදුන් දෑ ගන්නා ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමි යි දිට පිළිලබයි. ගාමණී, ඒ වචනය අත් නොහැර ඒ සිත අත් නොහැර ඒ දිට නො බැහැර කොට ගෙනෙන ලද්දක් යම් සේ බහා තබන ලද්දේ නම්, එමෙන් නිරයෙහි වේ.
මාගේ ශාස්තෘ තෙමේ ‘යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙත් නම් ඒ සියලු දෙන අපායට යන්නෝ ය, නිරයට යන්නෝ ය’ යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙ යි. මවිසින් කාමයෙහි වරදවා හැසිරෙන ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමි යි දිට පිළිලබයි. ගාමණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ සිත නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ ද එමෙන් නිරයෙහි වේ.
මාගේ ශාස්තෘ තෙමේ ‘යම් කිසි කෙනෙක් මුසවා බෙණෙත් නම්, ඒ සියලු දෙන අපායට යන්නෝ නිරයට යන්නෝ ය’ යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. මවිසින් මුසවා බණන ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමි යි දිට පිළිලබයි. ගාමණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ දිට නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ ද එමෙන් නිරයෙහි වේ.
ගාමණී, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ අනුත්තර පුරිසදම්මසාරථී වූ දෙවිමිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි උපදිත්. උන් වහන්සේ නන් අයුරෙන් පණිවායට ගරහත්. දැඩි සේ ගරහත්. ‘පණිවායෙන් වළකිවු’ ය යි ද කියත්. අයිනාදනට ගරහත්. දැඩි සේ ගරහත් ‘අයිනාදනින් වළකිවු’ ය යි ද කියත්. කාමයෙහි වරදවා හැසිරීමට ගරත්. දැඩි සේ ගරහත්. ‘කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිවු’ ය යි ද කියත්. මුසවායට ගරත්. වෙසෙසින් ගරහත්. ‘මුසවායෙන් වළකිවු’ ය යි ද කියත්.
ගාමණී, ඒ ශාස්තෘවරයා කෙරෙහි ශ්‍රාවක තෙමේ වෙසෙසින් පහන් වේ නම්, හේ මෙසේ නුවණින් සලකයි. ‘භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් පණිවායට ගරහත්. දැඩි සේ ගරහත්. ‘පණිවායෙන් වළකිවු’ ය යි ද වදාරත්. මවිසින් යම් පමණ වූ හෝ පරපණෙක් නසන ලද්දේ ඇත්ම ය. මා විසින් යම් පමණ වූ හෝ පරපණෙක් නසන ලද ද එය යහපත් නො වේ. එය නො මැනවි. ඉදින් මම ඒ හේතුවෙන් විපිළිසර ඇත්තෙම් වන්නෙම් නමුදු මවිසින් ඒ ලාමක කර්‍මය නො කරන ලද්දේ නො වන්නේ ය’ යි හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ පණිවායත් දුරු කෙරෙයි. මතු ද පණිවායෙන් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්‍රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අයිනාදනට ගරහත්. දැඩි සේ ගරහත්. අයිනාදනින් වැළකෙවු යි ද වදාරත්. ම විසින් යම් පමණ වූ නුදුන් දැයෙක් ගන්නා ලද්දේ ඇත් ම ය. ම විසින් යම් පමණ වූ නුදුන් දැයක් ගන්නා ලද නම් එය නො යෙහෙකි. එය නො මැනවි. ඉදින් මම ඒ හේතු කොට ගෙන විපිළිසර වන්නෙම් නමුදු ම විසින් ඒ පවිටු කර්‍මය නො කරන ලද්දේ නො වන්නේ ය යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ අයිනාදනත් දුරු කෙරෙයි. මතු ද අයිනාදනින් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්‍රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් කම්හි මිසහසරට ගරහත්. දැඩි සේ ගරහත්. කම්හි මිසහසරින් වැළකෙවු යි ද වදාරත්. ම විසින් යම් පමණ වූ හෝ කාමයන්හි වරදවා හැසිරෙන ලද්දේ ඇත් ම ය. ම විසින් යම් පමණ වූ හෝ කාමයන්හි වරදවා හැසිරෙන ලද්දෙක් වේ නම් එය නො යෙහෙකි. එය නො මැනවි. ඉදින් මම ඒ හේතු කොට ගෙන විපිළිසර ඇත්තෙම් වන්නෙම් නමුදු ම විසින් ඒ පව්කම් නො කරන ලද්දේ නො වන්නේ ය යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ කම්හි මිසහසරත් දුරු කෙරෙයි. මතු ද කම්හි මිසහසරින් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්‍රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් මුසවායට ගරහත්. දැඩි සේ ගරහත්. මුසවායෙන් වැළකෙවු යි ද වදාරත්. ම විසින් යම් පමණ වූ හෝ මුසා බණන ලද්දේ ඇත් ම ය. ම විසින් යම් පමණ වූ හෝ මුසා බණන ලද්දෙක් වේ නම් එය නො යෙහෙකි. එය නො මැනවි. ඉදින් මම ඒ හේතුවෙන් විපිළිසර ඇත්තෙම් වන්නෙම් නමුදු ම විසින් ඒ පව්කම නො කරන ලද්දේ නො වන්නේ ය යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ මුසවායත් දුරු කෙරෙයි. මතු ද මුසවායෙන් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්‍රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
හෙතෙමේ පණිවාය පහා පණිවායෙන් වැළකුනේ වෙයි. අයිනාදන පහා අයිනාදනින් වැළකුනේ වෙයි. කම්හි මිසහසර පහා කම්හි මිසහසරින් වැළකුනේ වෙයි. මුසවා පහා මුසවායෙන් වැළකුනේ වෙයි. පිසුනු වදන පහා පිසුනු වදනින් වැළකුනේ වෙයි. රළු වදන පහා රළු වදනින් වැළකුනේ වෙයි. හිස් තෙපුල පහා හිස් තෙපුලෙන් වැළකුනේ වෙයි. දැඩි ලොබ පහා දැඩි ලොබින් වැළකුනේ වෙයි. ව්‍යාපාද සිතුවිලි දෝස පහා අව්‍යාපාද සිත් ඇත්තේ වෙයි. මිස දිටු පහා සම් දිටු ගත්තේ වෙයි.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය ව්‍යාපාද සිතුවිලි ඇත්තේ නො මුළා වූයේ මනා දැනුම් ඇත්තේ එළඹසිටි සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. එසේ දෙවැන්න ද එසේ තෙවැන්න ද එසේ සිවු වැන්න දැයි මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලන් තමා හා සම බැවින් සියලු සතුන්ගෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වෙර රහිත දුක් නැති මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙ යි. ගාමිණී, යම් සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් ම සිවු දිග හඟවන්නේ ද, ගාමිණී, එසෙයි ම මෛත්‍රී සමාධිය මෙසේ වඩන ලද කල්හි මෙසේ බහුල කරන ලද කල්හි යම් කාමාවචර කර්‍මයෙක් වේ නම් එය එහි ඉතිරි නොවේ. එය එහි නො සිටී.