6. 1. 18-25.
නන්‍දන සූත්‍ර
365-372 එකල්හි නන්‍දන දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 26-33.
සුයාම සූත්‍ර
373-380 එකල්හි සුයාම දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 34-41.
සන්තුසිත සූත්‍ර
381-388 එකල්හි සන්තුසිත දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 42-49.
සුනිම්මිත සූත්‍ර
389-396 එකල්හි සුනිම්මිත දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 50-57.
වසවත්ති සූත්‍ර
397-404 එකල්හි වසවත්ති දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
(සක්ක සූත්‍ර යම්සේ නම් මේ සූත්‍රාන්ත ද එසේ විස්තර කට යුතුයි.)
පළමු මොග්ගල්ලාන වර්‍ගය යි.
එහි සූත්‍ර නාමාවලිය:
සවිතක්ක, අවිතක්ක, සුඛ, උපෙක්ඛා, ආකාසානඤ්චායතන, විඤ්ඤාණ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන, අනිමිත්ත ය යි සූත්‍ර නවයෙක් ද සක්ක, නන්‍දන, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවත්ති යන සයෙහි සූත්‍ර අට අට බැගින් ද වෙති යි වර්‍ගයෙහි ඒ සූත්‍ර මුළුල්ල සත් පනසෙක් වේ යි.
මොග්ගල්ලාන සංයුත්තය නිමි.
7. චිත්ත සංයුත්තය
1. චිත්ත වර්‍ගය
7. 1. 1.
සංයෝජන සූත්‍රය
405. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩ වන ලැහැබෙහි අම්බාටක වනයෙහි වැඩ වෙසෙති. එකල්හි පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩල මාලයේ (රැස්වීම් හලෙ) හි රැස් ව වැඩහුන් ස්ථවිර භික්‍ෂූන් අතර මේ අතුරු කථාව පහළ විය: ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද? නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු දැ? යි.
එහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලද්දේ වෙයි. ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලද්දේ වෙයි.
එසමයෙහි චිත්ත ගැහැවි කිසියම් කටයුත්තක් නිමිති කොට මිගපථක ගමට පැමිණියේ වෙයි. චිත්ත ගැහැවි පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව වැඩහුන් ස්ථවිර භික්‍ෂූන් අතර “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙද්ද, නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි. මේ අතුරු කථාව පහළ වී ය” යි ද එහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇසුයේ ම ය. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය:
“වහන්ස, පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව වැඩ හුන් ස්ථවිර භික්‍ෂූන් අතර “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද? නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි, මේ අතුරු කථාව පහළ වී ය” යි ද ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද මා විසින් මෙය අසන ලද්දේ” යි. ගැහැවිය, එසේ ය යි.
“වහන්ස, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය” යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු වෙති. වහන්ස, එසේ වී නම් මුඹ වහන්සේට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති මිනිස්සු උපමාවෙන් ද දේශනාවේ අරුත දැන ගනිත්. වහන්ස, යම්සේ කළු ගොනෙකුත් සුදු ගොනෙකුත් එක් දමෙකින් හෝ එක් යොතෙකින් හෝ බඳනා ලද්දාහු වෙද්ද, කළු ගොන් සුදු ගොනුගේ බැඳුම ය. සුදු ගොන් කළු ගොනුගේ බැඳුම ය යි යමෙක් මෙසේ කියන්නේ නම් (ඒ) කියන්නා මැනවින් කියන්නේ දැ යි. ගැහැවි, මෙය නො වේ ම ය.
ගැහැවි, කළු ගොන් සුදු ගොනුගේ බැඳුම නොවේ. සුදු ගොන් කළුගොනුගේ බැඳුම නො ද වේ. යම් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඔහු බඳනා ලද්දාහු වෙත් නම් එය එහි සංයෝජන යි. වහන්ස, එසෙයින් ම ඇස රූපයනට සංයෝජන නො වේ. රූපයෝ ඇසට සංයෝජන නො වෙති. එහි දෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
කන සදට සංයෝජන නො වේ. සද කනට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. නැහැය ගඳට සංයෝජන නො වේ. ගඳ නැහැයට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. දිව රසට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. කය පහසට සංයෝජන නො වේ. පහස කයට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍ද රාගයෙක් උපදී නම් එහි සංයෝජන යි. සිත දහමට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. ගැහැවි, යම් බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී ද ඒ තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි යි.
7. 1. 2.
ඉසිදත්ත සූත්‍රය
406. එක්කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩ වෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත් පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට “වහන්ස, ස්ථවිර භික්‍ෂූහු සෙට පිණිස මාගේ බත ඉවසත්වා” යි මෙය කී ය. ස්ථවිර භික්‍ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට ස්ථවිර භික්‍ෂූන් වැඳ පැදකුණු කොට ගියේ ය.
ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ඒ රැය ගෙවීමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ නිවස වෙත එළඹියහ. එළඹ පැන වූ අසුන්හි වැඩහුන්හ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කීය:
වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍ව ය ධාතුනානාත්‍ව ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. දෙවනවට දු චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. දෙවනවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. තෙවනවට දු චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. තෙවනවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
එසමයෙහි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ඒ බික්සඟන අතර සියල්ලන්ට නවක වෙති. ඉක්බිති ආයුෂ්මත් ඉසිදත්ත ආයුෂ්මත් තෙරුනට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය මම විසඳම් දැ? යි. ඇවැත්නි, ඉසිදත්තයෙනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය තෙපි විසඳව යි.
ගැහැවි, තෙපි “වහන්ස තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙකින් ධාතුනානාත්‍වය වදාරන ලද්දේ දැ” යි මෙසේ විචාරවු දැ? යි. වහන්ස, එසේ ය. ගැහැවි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධාතුනානාත්‍වය වදාරන ලදි. චක්ඛුධාතු ය රූපධාතු ය චක්ඛුවිඤ්ඤාණධාතු ය, සොතධාතු ය සද්දධාතු ය සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය ගන්‍ධධාතු ය ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය රසධාතු ය ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය ඵොට්ඨබ්බධාතු ය කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය ධම්මධාතු ය මනෝවිඤ්ඤාණධාතු ය යි. ගැහැවි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුනානාත්‍වය මෙතෙකින් වදාරන ලද්දේ ය යි.
ඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන්ගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව ස්ථවිර භික්‍ෂූන් ප්‍රණීත වූ කෑයුතු දැයින් ද සියතින් සැතැප්පී ය, මැනවින් පැවරී ය. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන් වැළඳුවාහු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ. එකල්හි ආයුෂ්මත් තෙරණුවෝ ආයුෂ්මත් ඉසිදත්තහට මෙය කීහ: ඇවැත්නි, ඉසිදත්තයෙනි, මේ ප්‍රශ්නය තොපට මැනවින් වැටහුණේ ය. මේ ප්‍රශ්නය මට නො වැටහුණේ ය. ඇවැත්නි, ඉසිදත්තයෙනි, එසේ වී නම් යම් අන් කලෙක්හි දු මෙබඳු ප්‍රශ්නයක් එන්නේ නම් එහි ලා තොපටම වැටහෙන්නේ ය යි.
7. 1. 3.
දුතිය ඉසිදත්ත සූත්‍රය
407. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය: වහන්ස, තෙරහු හෙට පිණිස වූ මාගේ බත ඉවසත්වා යි. ස්ථවිර භික්‍ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟී ස්ථවිර භික්‍ෂූන් වැඳ පැදකුණු කොට ගියේ ය.
ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ නිවෙස්නට එළඹියහ. එළඹ පැනවූ අසුන්හි හුන්හ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කීය:
වහන්ස තෙරණුවනි, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අන්ත රහිත ය යි හෝ එ ම ජීව ය එ ය ම ශරීර ය යි හෝ ජීවය අනිකෙක ශරීරය අනිකකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද, යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරන ලද්දාහු ද, වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙද්දැ?යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. දෙවනුවට දු චිත්ත ගැහැවි තෙමේ … තෙවනුවට දු චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස තෙරණුවනි, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අන්ත රහිත ය යි හෝ එය ම ජීව ය එය ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු නූපදිද් ද? යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරන ලද්දාහු ද, වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙද්දැ? යි. තෙවනුවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
එසමයෙහි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ඒ බික්සඟන කෙරෙහි සියල්ලන්ට නවක වෙති. එකල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ආයුෂ්මත් තෙරුන්ට මෙය කීහ: වහන්ස තෙරණුවනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය මම විසඳම් දැ? යි. ඇවැත්නි ඉසිදත්තයෙනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය තෙපි විසඳව යි. ගැහැවි, තෙපි “වහන්ස තෙරණුවනි, ලෝකය ශාස්වත යයි හෝ … යම් මේ නන් වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද? වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙත් දැ?යි මෙසේ විචාරවු දැයි. වහන්ස එසේ ය.
ගැහැවිය, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් යයි හෝ ලෝකය අන්ත රහිතය යි හෝ එ ම ජීව ය එ ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද, යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරන ලද්දාහු ද, ගැහැවිය, මේ දිටුහු සක්කාය දිට්ඨිය ඇති කල්හි වෙත්, සක්කාය දිට්ඨිය නැති කල්හි නො වෙති යි.
වහන්ස, සක්කාය දිට්ඨිය කෙසේ වේ දැ? යි. ගැහැවිය, මෙහි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුනු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්මය යි හෝ ආත්මය රූපවත් යයි හෝ ආත්මයෙහි රූපය පවතී යයි හෝ රූපයෙහි ආත්මය පවතී යයි හෝ දකී. වේදනාව ආත්ම යයි හෝ … දකී. සංඥාව … සංස්කාර … විඥානය ආත්ම යයි හෝ ආත්මය විඥානවත් යයි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකී. ගැහැවිය, මෙසේ සක්කායදිට්ඨිය වේ යි.
වහන්ස, කෙසේ නම් සක්කායදිට්ඨිය නො වේ දැ? යි. ගැහැවිය, මෙහි ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුනු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්මය යි හෝ නො දකී, ආත්මය රූපවත් යයි හෝ නො දකී, ආත්මයෙහි රූපය පවතී යයි හෝ නො දකී. රූපයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. වේදනාව … නො දකී, සංඥාව … නො දකී, සංස්කාර … නො දකී, විඥානය ආත්මය යි හෝ නො දකී, ආත්මය විඥානවත් යයි හෝ නො දකී, ආත්මයෙහි විඥානය පවතී යයි හෝ නො දකී, විඥානයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ගැහැවිය, මෙසේ සක්කායදිට්ඨිය නො වේ යි.
වහන්ස, ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවෝ කොහි සිට වඩිද්දැ? යි. ගැහැවිය, මම අවන්ති දනව්වෙන් එමි යි. වහන්ස, අපගේ නුදුටු යහළු වූ ඉසිදත්ත නම් පැවිදි කුලපුතෙක් අවන්ති දනව්වෙහි ඇත. ආයුෂ්මතුන් වහන්සේ විසින් හෙතෙමේ දක්නා ලද්දේ දැ? යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, ඒ ආයුෂ්මතුන් වහන්සේ දැන් කොහි වෙසෙත්දැ යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. වහන්ස, ආර්‍ය්‍යයෝ අපගේ ඉසිදත්තයෝ දැ? යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වෙසෙන සේක්වා. අම්බාටක වනය සිත්කලු ය. මම ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවන්ට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර සැපයීමෙහි උත්සාහ කරන්නෙමි. ගැහැවිය, යහපතක් කියනු ලැබේ යි.
ඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවන්ගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව ස්ථවිර භික්‍ෂූන් ප්‍රණීත වූ කෑයුතු බිදිය යුතු දැයින් සියතින් සැතැප්පී ය. මැනවින් පැවරී ය. ඉක්බිති ආයුෂ්මත් ස්ථවිර භික්‍ෂූහු වැළඳුවාහු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ.
ඉන්පසු ආයුෂ්මත් තෙරණුවෝ ආයුෂ්මත් ඉසිදත්තයනට මෙය කීහ: ඇවැත්නි ඉසිදත්තයෙනි, මේ පැනය තොපට මැනවින් වැටහුණේ ය. මේ පැනය මට නො වැටහුණේ ය. ඇවැත්නි ඉසිදත්තයෙනි, එහෙයින් යම් අන්කලෙකැදු මෙබඳු පැනයෙක් එන්නේ නම් එහි ලා තොපට ම වැටහේවා යයි. ඉක්බිති ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ සෙනසුන සකසා තබා පා සිවුරු ගෙන මච්ඡිකාසණ්ඩයෙන් නික්ම ගියාහ. යම් සේ මච්ඡිකාසණ්ඩයෙන් ගියාහු ද එසේ ගියාහු ම වූහ. යළි පෙරළා නො ආහ යි.
7. 1. 4.
මහක සූත්‍රය
408. එක්කලෙක බොහෝ වූ තෙර මහණහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ තෙර මහණුන් වෙත එළඹියේය. එළඹ තෙර මහණුන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි තෙර මහණුන්ට මෙය කීය: වහන්ස, තෙරහු සෙට දවස පිණිස වූ මාගේ ගෝකුලයෙහි බත ඉවසත්වා යි. තෙර මහණහු නිහඬබැවින් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි තෙර මහණුන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟී තෙර මහණහු වැඳ පැදකුණු කොට ගියේ ය.
ඉක්බිති තෙර මහණහු ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ ගෝකුලය වෙත එළඹියහ. එළඹ පැන වූ අසුන්හි හිඳගත්හ. එකල්හි චිත්ත ගැහැවි තෙර මහණුන් ප්‍රණීත වූ ගිතෙල්මුසු කිරිබතින් සියතින් සැතැප්පී ය. මැනවින් පැවරීය. ඉක්බිති තෙර මහණහු වැළඳුවාහු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ. චිත්ත ගැහැවි තෙමේ ද සෙස්ස බැහැර කරවයි කියා තෙර මහණුන් පසු පස අනු ගමන් කෙළේය.
එසමයෙහි කැකෑරෙන උණුසුම වෙයි. ඒ තෙර මහණහු ද මිහිරි බොජුන් වැළඳූවන් සේ පැසෙන හැකිළෙන කයින් යුතු ව මෙන් යෙති. එකල්හි ආයුෂ්මත් මහක තෙරණුවෝ ඒ බික් සඟන අතර සියල්ලන්ට නවක වෙති. එකල ආයුෂ්මත් මහක තෙරණුවෝ ආයුෂ්මත් තෙරුන්ට මෙය කීහ: වහන්ස, තෙරණුවනි, “යම් හෙයකින් සිහිල් සුළඟ හමන්නේ නම් වලාකුළු පාවීමෙකුත් වන්නේ නම් වැස්සත් එක එක පොද හෙලන්නේ වී නම් යහපත් වන්නේ දැ?” යි. ඇවැත්නි, මහකයෙනි, යම් හෙයකින් සිහිල් සුළඟ හමන්නේ නම් වලාකුළු පාවීමෙකුත් වන්නේ නම් වැස්සත් එක එක පොද හෙලන්නේ වී නම් යහපතැ යි. එකල්හි ආයුෂ්මත් මහක තෙමේ යම් සේ සිහිල් සුළඟත් හැමී ද වලාකුළු පාවීමත් වී ද වැස්සත් එක එක පොද හෙළී ද එබඳු ඍද්ධියක් කෙළේ ය.
එකල්හි චිත්ත ගැහැවිහට මෙබඳු සිතෙක් විය: “මේ බික් සඟන අතර සියල්ලන්ට නවක වූ යම් මහක කෙනෙක් වෙත් නම් මෙබඳු ඍද්ධ්‍යානුභාවය උන්වහන්‍සේගේ ය”යි. ඉක්බිති ආයුෂ්මත් මහක අරමට පැමිණ ආයුෂ්මත් තෙරණුවන්ට “වහන්ස, තෙරණුවනි, මෙතෙකින් පමණ දැ?” යි මෙය කීය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් පමණ ය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් කරන ලද්දේ ය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් පුදන ලද්දේ යයි. ඉන් පසු තෙර මහණහු සිය සිය වෙහෙරට ගියහ. ආයුෂ්මත් මහක ද සිය වෙහෙරට ගියේය.
ඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් මහක වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහකයන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් මහකට මෙය කී ය: වහන්ස, “මහක ආර්‍ය්‍යයන් වහන්සේ මට උතුරු මිනිස් දමින් ඉදු පෙළහරක් දක්වන සේක්වා” යි. ගැහැවි, එසේ වී නම් තෙපි පිලෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරුව යි. වහන්ස, එසේ යයි චිත්ත ගැහැවි ආයුෂ්මත් මහකහට පිළිතුරු දී පිලෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරු වී ය.
ඉක්බිති ආයුෂ්මත් මහක වෙහෙරට පිවිස යතුරු අගුළ දමා යම් සේ කෙසි සිදුරෙන් ද අගුළ අතරින් ද ගිනිදලු නික්ම තණකොළ දැවී ද, උතුරු සළුව නො දැවී ද එබඳු ඍද්ධියක් කෙළේ ය. එකල්හි චිත්ත ගැහැවි උතුරු සළුව පොළා සංවේගයට පැමිණියේ හටගත් ලොමු දහගැනුම් ඇත්තේ එකත්පස්ව සිටියේ ය. එවිට ආයුෂ්මත් මහක වෙහෙරින් නික්ම චිත්ත ගැහැවි හට ගැහැවි, මෙතෙකින් පමණ දැ?යි මෙය කීය. වහන්ස මහකයෙනි, මෙතෙකින් පමණ ය. වහන්ස මහකයෙනි, මෙතෙකින් කරන ලද්දේ ය. වහන්ස මහකයෙනි, මෙතෙකින් පුදන ලද්දේ ය. වහන්ස මහක ආර්‍ය්‍යයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වෙසෙන සේක්වා, අම්බාටක වනය සිත්කලු ය, මම මහක ආර්‍ය්‍යයන් වහන්සේට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිබඳ ව උත්සාහ කරන්නෙමි යි. ගැහැවිය යහපතෙක් කියනු ලැබේ යි. එකල්හි ආයුෂ්මත් මහක සෙනසුන සකසා තබා පා සිවුරු ගෙන මච්ඡිකාසණ්ඩයෙන් නික්ම ගියේය. යම් සේ මච්ඡිකාසණ්ඩයෙන් ගියේ ද එසේ ගියේ ම විය. යළි පෙරළා නො ආයේ යි.
7. 1. 5.
කාමභූ සූත්‍රය
409. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කාමභූ තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි හට ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මෙය වදාළහ: ගැහැවිය, මෙය වදාරන ලද්දේය:
“නිදොස් වූ සුදු වැස්මක් ඇති එක් දැවියක් ඇති රියක් තිබේ. දුක් නැති සුන් සැඩ පහර ඇති බැඳුම් රහිත එන්නහු බලව” යි.
ගැහැවිය, සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් කෙසේ දත යුතු දැ?යි. වහන්ස, කිමෙක් ද? මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ?යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, එසේ වී නම් යම් තාක් මෙහි අරුත පිරික්‍ෂා බලම් ද, ඒ තාක් මොහොතක් පොරොත්තු වනු මැනවැ යි. ඉක්බිති චිත්ත ගැහැවි මොහොතක් නිහඬ ව ආයුෂ්මත් කාමභූ තෙරණුවන්ට මෙය කීය:
වහන්ස, “නෙලඞ්ග” යනු සීලයට මේ නමෙකි. වහන්ස, “සේතපච්ඡාද” යනු විමුක්තියට මේ නමෙකි. වහන්ස, “ඒකාර” යනු සිහියට මේ නමෙකි. වහන්ස, “වත්තති” යනු ඉදිරි ගමනට හා පසුගමනට මේ නමෙකි. වහන්ස, “රථ” යනු මව්පියන්ගෙන් උපන් බත් කොමු පිඬු වලින් වැඩුනු නිතර ඉලීම් පිරිමැදීම් කෙරෙතු දු බිඳෙන වැනසෙන ස්වභාව ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයට මේ නමෙකි. වහන්ස, රාගය නීඝයෙකි, දෝසය නීඝයෙකි, මෝහය නීඝයෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලදහ. නැවත නො හටගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. එහෙයින් රහත් මහණහු අනීඝ යයි කියනු ලැබෙත්. වහන්ස, “ආයන්ත” යනු රහතුන් වහන්සේට මේ නමෙකි. වහන්ස, “සෝත” යනු තෘෂ්ණාවට මේ නමෙකි. රහත් මහණුන් වහන්සේ විසින් එය ප්‍රහීණ ය. උසුන් මුල් ඇතියේ ය. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලද්දේ ය. යළි නොහට ගන්නා බව කරන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. එහෙයින් රහත් මහණහු “ඡින්න සෝතය” යි කියනු ලැබෙත්. වහන්ස, රාගය බැඳුමෙකි. දෝසය බැඳුමෙකි. මෝහය බැඳුමෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලදහ. යළි නො හට ගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. එහෙයින් රහත් මහණහු “අබන්‍ධනය” යි කියනු ලැබෙති යි. වහන්ස මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ යමක් වදාරන ලද්දේ ද:
“නිදොස් වූ සුදු වැස්මක් ඇති එක් දැවියක් ඇති රියක් තිබේ. දුක් නැති සුන් සැඩ පහර ඇති බැඳුම් රහිත එන්නහු බලව” යි.
වහන්ස, භාග්‍යවතුන් වයන්සේ විසින් සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දනිමි යි. ගැහැවිය, යම් බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී ද, ගැහැවිය, ඒ තොපට ඒකාන්තයෙන් ලාභයෙකි. තොපට මනා ලැබීමෙකි යි.
7. 1. 6.
දුතිය කාමභූ සූත්‍රය
410. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත … එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුන්ට මෙය කී ය: වහන්ස, “සඞ්ඛාර කෙතෙක් දැ?” යි. ගැහැවිය, සඞ්ඛාර තුනෙකි. කාය සඞ්ඛාර ය, වචී සඞ්ඛාර ය, චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුණුවන්ගේ වචනය පිළිගෙන අනුමෝදන් ව ආයුෂ්මත් කාමභූ තෙරුන් මතු දැක්වෙන පැනය පුළුවුත. වහන්ස, කාය සඞ්ඛාර කවරේ ද? වචී සඞ්ඛාර කවරේ ද? චිත්ත සඞ්ඛාර කවරේ ද? යි. ගැහැවි, ආස්වාස, ප්‍රස්වාස කාය සඞ්ඛාර ය. විතර්‍ක, විචාර වචී සඞ්ඛාර ය. සංඥාත්, වේදනාත් චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මතු දැක්වෙන පැනය පුළුවුත.
වහන්ස, කුමක් හෙයින් ආස්වාස ප්‍රස්වාස කාය සඞ්ඛාර වේ ද? කුමක් හෙයින් විතර්‍ක විචාර වචී සඞ්ඛාර වේ ද? කුමක් හෙයින් සංඥාත් වේදනාත් චිත්ත සඞ්ඛාර වේ දැ? යි. ගැහැවිය, ආස්වාස ප්‍රස්වාස කායික ය. මේ දහම්හු කය පිළිබඳහ. එහෙයින් ආස්වාස ප්‍රස්වාස කාය සඞ්ඛාර වේ. ගැහැවි, පළමු තර්‍කණය කොට විචාරණය කොට පසුව වාග් භේදය කරයි. එහෙයින් විතර්‍ක විචාර වචී සඞ්ඛාර වේ. සංඥාත් වේදනාත් චෛතසිකයහ. මේ දහම්හු සිත පිළිබඳහ. එහෙයින් සංඥාත් වේදනාත් චිත්ත සඞ්ඛාර වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි ද පැනයක් පුළුවුත.
වහන්ස, කෙසේ නම් සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය වේ දැ?යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවදනා මහණහුට මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවදින්නෙමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනිමි යි හෝ මෙබඳු සිතෙක් නො වේ. වැලිදු යම් සිතක් ඔහු ඒ බැව් පිණිස පමුණුවා නම් එසේ පළමු ම ඔහුගේ සිත වඩන ලද්දේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.
වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනා මහණුන් වහන්සේගේ කවර දහම්හු පළමු නිරුද්ධ වෙද්ද? ඉදින් කායසඞ්ඛාර හෝ ඉදින් වචීසඞ්ඛාර හෝ ඉදින් චිත්තසඞ්ඛාර හෝ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදනා මහණහුගේ වචීසඞ්ඛාර පළමු නිරුද්ධ වේ. ඉන් පසු කායසඞ්ඛාර ද ඉන් පසු චිත්තසඞ්ඛාර ද නිරුද්ධ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.
වහන්ස, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද යම් මේ මහණ කෙනෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්හු ද මොවුන්ගේ වෙනස කිමෙක් දැ?යි. ගැහැවි, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද ඔහුගේ කායසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. වචීසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. චිත්තසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. ආයු පිරිහුණේ උණුසුම සන්හිනි, ඉඳුරෝ නටහ. ගැහැවි, යම් මහණෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනි ද ඔහුගේත් කායසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. වචීසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. චිත්තසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. ආයු නො පිරිහින, උණුසුම නො සන්හිනි, ඉඳුරෝ වෙසෙසින් පහන් හ. ගැහැවි, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද යම් මේ මහණෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනි ද මේ ඔවුන්ගේ වෙනස යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි තෙමේ … මතු පැන පිළිවිසී ය.
වහන්ස, කෙසේ නම් සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටීම වේ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටින මහණහුට මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටින්නෙමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටිමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටියෙමි යි හෝ මෙබඳු සිතෙක් නො වෙයි. වැලිදු යම් සිතක් ඒ බව පිණිස ඔහු පමුණුවා නම් එසේ ඔහුගේ සිත පළමු මැ වඩන ලද්දේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි ද පැනයක් පුළුවුත.
වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටුනා මහණුන් වහන්සේගේ කවර දහම්හු පළමු උපදිද් ද? ඉදින් කායසඞ්ඛාර හෝ ඉදින් වචීසඞ්ඛාර හෝ ඉදින් චිත්තසඞ්ඛාර හෝ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටුනා මහණහුට චිත්තසඞ්ඛාර පළමු උපදී. ඉන්පසු කායසඞ්ඛාර ද ඉන්පසු වචීසඞ්ඛාර ද උපදි යි. මැනව වහන්සැ යි චිත්තගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.
වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටුනා මහණුන් වහන්සේ කෙතෙක් පහස්හු පුසිද්දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහණහු සුඤ්ඤතඵස්ස ය අනිමිත්තඵස්ස ය අප්පණිහිතඵස්ස ය යන තුන් පහස්හු පුසිති යි. මැනව වහන්සැ යි චිත්තගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.
වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහණුන් වහන්සේගේ සිත කුමකට නැමුණේ කුමකට නැඹුරු වූයේ කුමකට බර වූයේ වේ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහණහුගේ සිත විවේකයට (නිවනට) නැමුණේ විවේකයට නැඹුරු වූයේ විවේකයට බර වූයේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරණුවන්ගේ වදන පිළිගෙන අනුමෝදන් ව ආයුෂ්මත් කාමභූ තෙරණුවන් මත්තෙහි පැනයක් පුළුවුත.
වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට කොතෙක් දහම්හු බොහෝ උපකාර ඇත්තේ දැ? යි. ගැහැවි, තෙපි ඒකාන්තයෙන් යමක් පළමු පිළිවිසිය යුතු නම් එය පසුව පුළුවුත්හු. එහෙත් තොපට මම විසඳන්නෙමි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමථය ද විපස්සනාව ද යන දෙදහම්හු බොහෝ උපකාර ඇත්තේ යි.
7. 1. 7.
ගෝදත්ත සූත්‍රය
411. එක්කලෙක ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවන් වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවිහට ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවෝ මෙය වදාළහ:
ගැහැවි, යම් මේ අප්පමාණ චේතෝවිමුක්තියෙකුත් යම් ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තියෙකුත් යම් සුඤ්ඤත චේතෝවිමුක්තියෙකුත් වේ නම් මේ දහම්හු නොයෙක් නොයෙක් අර්‍ත්‍ථ ඇත්තාහුත් නොයෙක් නොයෙක් ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් ද? නැතහොත් එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි.
වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්‍ත්‍ථ ඇත්තාහුත් නානා ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් එබඳු නයෙක් ඇත. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් එබඳු නයකුත් ඇත.
වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්‍ත්‍ථ ඇත්තාහුත් නානා ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් ඒ නය කවරේ ද යත්:
වහන්ස, මෙහි මහණුන් වහන්සේ මෛත්‍රීසහගත සිතින් එක් දිගක් පැතිරගෙන වෙසෙති. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මභාවයෙන් සියල්ලෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය අපමණ වූ නිදොස් වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙති. කුළුණු සහගිය සිතින් … මුදිතා සහගත සිතින් …මැදහත් බැවු සහගිය සිතින් එක් දිගක් පැතිරගෙන වෙසෙති. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මභාවයෙන් සියල්ලෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය අපමණ වූ නිදොස් වූ නිදුක් වූ මැදහත් වූ උපේක්‍ෂා සහගිය සිතින් පතුරුවා වෙසෙති. වහන්ස, මේ අප්පමාණ චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.
වහන්ස, ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තිය කවර යත්:
වහන්ස, මේ මහණුන් වහන්සේ සර්‍ව ප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙති. වහන්ස, මේ ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.
වහන්ස, සුඤ්ඤත චේතෝවිමුක්තිය කවර යත්:
වහන්ස, මෙහි මහණුන් වහන්සේ අරණකට ගියාහු හෝ රුක් මුලකට ගියාහු හෝ හිස් ගෙයකට ගියාහු හෝ මෙය තමාගෙන් හෝ තමා සතු දැයකින් හිස් යයි මෙසේ නුවණින් සලකා බලති. වහන්ස, මේ සුඤ්ඤත චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.
වහන්ස, අනිමිත්ත චේතෝවිමුක්තිය කවර යත්:
වහන්ස, මෙහි මහණුන් වහන්සේ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් නිමිති රහිත චේතෝ සමාධියට පැමිණ වෙසෙති. වහන්ස, මේ අනිමිත්ත චේතෝවිමුක්තිය යි කියනු ලැබේ. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්‍ත්‍ථ ඇත්තාහුත් නානා ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් මේ ඒ නය යි.
වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් ඒ නය කවරේ ද යත්:
වහන්ස, රාගය පමණ කරන්නෙකි, ද්වේෂය පමණ කරන්නෙකි, මෝහය පමණ කරන්නෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ, උසුන්මුල්හ, හිස්සුන් තල් ගසක් මෙන් කරන ලදහ, යළි නො හටගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. වහන්ස, යම්තාක් අප්පමාණ චේතෝවිමුක්තීහු වෙත් නම් (රාගාදීන්) අකෝප්‍ය වූ චේතෝවිමුක්තිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. ඒ අකෝප්‍ය වූ චේතෝවිමුක්තිය රාගයෙන් හිස් ය, ද්වේෂයෙන් හිස් ය, මෝහයෙන් හිස් ය. වහන්ස, රාගය පළිබෝධයකි, ද්වේෂය පළිබෝධයකි, මෝහය පළිබෝධයකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ, උසුන්මුල්හ, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ, යලි නො හටගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. වහන්ස, යම්තාක් ආකිඤ්චඤ්ඤ චේතෝවිමුත්තීහු වෙත් නම් අකෝප්‍ය චේතෝවිමුක්තිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. ඒ අකෝප්‍ය චේතෝවිමුක්තිය රාගයෙන් හිස් ය, ද්වේෂයෙන් හිස් ය, මෝහයෙන් හිස් ය.
වහන්ස, රාගය නිමිති කරන්නෙකි, ද්වේෂය නිමිති කරන්නෙකි, මෝහය නිමිති කරන්නෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ, උසුන්මුල්හ, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ, නැවත නො හටගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. වහන්ස, යම්තාක් අනිමිත්ත චේතෝවිමුත්තීහු වෙත් නම් අකෝප්‍ය චේතෝවිමුක්තිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ. ඒ අකෝප්‍ය වූ චේතෝවිමුක්තිය රාගයෙන් හිස් ය, ද්වේෂයෙන් හිස් ය, මෝහයෙන් හිස් ය. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් මේ ඒ නය යි. ගැහැවිය, යම්බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී නම්, ගැහැවි, ඒ තොපට ලාභයෙකි. තොපට මනා ලැබීමෙකි යි.
7. 1. 8.
නිගණ්ඨ සූත්‍රය
412. එසමයෙහි නිගණ්ඨනාතපුත්ත තෙමේ මහත් නිගණ්ඨ පිරිසක් සමඟ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ වෙයි. නිගණ්ඨනාතපුත්ත තෙමේ මහත් නිගණ්ඨ පිරිසක් සමඟ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ ය යි චිත්ත ගැහැවි ඇසුයේ ය. එකල්හි චිත්ත ගැහැවි බොහෝ උවසුවන් සමඟ නිගණ්ඨනාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාතපුත්ත සමඟ සතුටු විය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවිහට නිගණ්ඨනාතපුත්ත මෙය කී ය: ගැහැවි, තෙපි අවිතර්‍ක අවිචාර සමාධියෙක් ඇත, විතර්‍ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇතැයි යන මහණ ගොයුම්ගේ වචනය අදහවු දැ? යි.
හිමියනි, අවිතර්‍ක අවිචාර සමාධියෙක් ඇත, විතර්‍ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇත යන මෙහිලා මම භාග්‍යවතුන් වහන්සේගේ විශ්වාසයට නො යමි යි. මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්ත තෙමේ සිය පිරිස හිස ඔසවා බලා මෙය කී ය: භවත්හු මෙය දකිත්වා මේ චිත්ත ගැහැවි කෙතෙක් ඍජු ද? මේ චිත්ත ගැහැවි කෙතෙක් අසට (නො කපටි) ද? මේ චිත්ත ගැහැවි කෙතෙක් රැවටිලි රහිත ද? යමෙක් විතර්‍ක විචාර නිරුද්ධ කටයුතු ය යි හඟනේ නම් හේ දැලින් සුළං බැඳිය යුතු ය යි හඟනේ ය. යමෙක් විතර්‍ක විචාර නිරුද්ධ කටයුතු ය යි හඟනේ නම් හේ සිය මිටින් ගඞ්ගානදී සැඩපහර වැළැක්විය යුතු ය යි හඟනේ යි.