ආනන්‍ද, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි. ආනන්‍ද, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයයෙන් වෙදනාසමුදය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරීඅටඟිමඟ ම වෙදනානිරොදගාමිනී පටිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාදය යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
ආනන්‍ද, වැලි දු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවාහු වෙති. රහත් මහණහුගේ රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
ආනන්‍ද, යලිදු මා විසින් අනුපිළිවෙළින් වූ සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ.
ආනන්‍ද, යළිදු මා විසින් අනුපිළිවෙළින් වූ සංස්කාරයන්ගේ පස්සද්ධිය පවසන ලදි. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ යි.
2. 2. 7.
අට්ඨක සූත්‍රය
265. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ‘වේදනාව කවරී ද? වේදනාසමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරී ද? වේදනාවෙහි ආස්වාද කිමෙක් ද? ආදීනව කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයයෙන් වේදනාසමුදයය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමඟ ම වේදනානිරෝධගාමිනීපටිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරුලීමෙක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
වැලිදු මහණෙනි, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වෙයි ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවා වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
වැලිදු මහණෙනි, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය, පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ.
මහණෙනි, මේ සන්හිඳුම් සයෙකි. ‘පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. දෙවන දැහැනට සමවන්නහුට විතක්කවිචාර සන්හුන්නේ වෙයි. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්හුන්නී වෙයි, සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්හුන්නේ වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ යි.
2. 2. 8.
දුතිය අට්ඨක සූත්‍රය
266. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: මහණෙනි, වේදනාව කවරී ද? වේදනා සමුදය කවරේ ද? වේදනා නිරෝධය කවරේ ද? වේදනා නිරෝධගාමිනීපටිපදාව කවරී ද? වේදනාවෙහි ආස්වාදය කිමෙක් ද? ආදීනවය කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. ... මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වෙදනාසමුදය වේ, ... (පළමු සුතුර යම් සේ නම් එසේ විස්තර කටයුතු යි.)
2. 2. 9.
පඤ්චකඞ්ග සූත්‍රය
267. එකල්හි පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කී ය: “වහන්ස, උදායි තෙරණුවනි, කෙතෙක් වේදනාවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු දැ?” යි.
ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා ය, මැදහත්වේදනා යි. ගැහැවිය, මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
මෙසේ කී කල්හි පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කීය: “වහන්ස, උදායි තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නො වදාරන ලද, සුව වේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නොදුක් නොසුව වේදනාවෙක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
දෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවාට මෙය කීහ: ‘ගැහැවිය භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නො වදාරන ලදි. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සුව වේදනා ය දුක් වේදනා ය නොදුක් නො සුව වේදනා’යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැයි.
දෙවන්වට දු පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුනට මෙය කීය: “වහන්ස, උදායී තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි, සුවවේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නොදුක් නොසුව වේදනාවක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ”යි.
තෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවාට මෙය කීහ: ගැහැවිය භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොම වදාරන ලදි. භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා ය මැදහත්වේදනා යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
තෙවන වට දු පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීය: වහන්ස, උදායී තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නො දුක් මැදහත් වේදනාවක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි. ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවනට හඟවන්නට නොම හැකි වූහ. පඤ්චකඞ්ගවඩුවා ද ආයුෂ්මත් උදායී තෙරුන්ට හඟවන්නට නො ද හැකි විය.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවා සමඟ වූ ආයුෂ්මත් උදායි තෙරුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවා සමඟ ආයුෂ්මත් උදායි තෙරුන්ගේ කථාසල්ලාපය යම්තාක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
ආනන්‍ද, පඤ්චකඞ්ගවඩුවා උදායි මහණහුගේ ඇත්තා වූ ම දහම්නය නො පිළිගත්තේ ය. ආනන්‍ද, උදායි මහණ ද පඤ්චකඞ්ගවඩුවාගේ ඇත්තා වූ ම දහම්නය නො පිළිගත්තේ ය. ආනන්‍ද, මා විසින් නය වශයෙන් වේදනා දෙකකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා තුනකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා පසකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා සයකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා අටළොසකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා සතිසකුදු කියන ලදී. මා විසින් නයවශයෙන් වේදනා අටෝරාසියකුදු කියන ලදී.
ආනන්‍ද, මෙසේ මා විසින් දහම් නය වශයෙන් දේශනා කරන ලදී. ආනන්‍ද, මෙසේ මා විසින් නය වශයෙන් දෙසන ලද දහම් ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාසිතය සුලපිතය එක්ව නො හඟනාහු නම් නො අනුදන්නාහු නම් නො පිළිගන්නාහු නම් ඔවුන් විසින් “හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුවසැත්වලින් විදගනිමින් වෙසෙන්නාහ”යි මෙය කැමති විය යුතුයි.
ආනන්‍ද, මෙසේ මා විසින් ධර්‍මය නය වශයෙන් දේශනා කරන ලදී. ආනන්‍ද, මෙසේ මා විසින් නය වශයෙන් දේශනා ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය හඟනාහු නම් අනුදන්නාහු නම් පිළිගන්නාහු නම් ඔවුන් විසින් “සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු ඔවුනොවුන් ප්‍රියඇසින් බලමින් වෙසෙන්නාහ”යි මෙය කැමති විය යුතු ය.
ආනන්‍ද, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මන වඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපයෝ ය ... කනින් දතයුතු සදහු ය ... නැහැයෙන් දත යුතු ගඳහු ය ... දිවෙන් දතයුතු රස ය. ඉටු කැමති මන වඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය යි. ආනන්‍ද, මොහු පස්කම් ගුණයෝ ය. ආනන්‍ද, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ කම්සුවය යි කියනු ලැබේ. ආනන්‍ද, යම් කෙනෙක් “පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති”යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත.
ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් ඒ සුවය කවරේ ද: ආනන්‍ද, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුසල් දහමින් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා ඉතා පිණී වූත් අනෙක් සුවය යි.
ආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයිනයත්; ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟකම ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අනෙක් සුවය යි.
ආනන්‍ද, ‘යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති’යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ කියමන මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්; ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් ඒ අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ ප්‍රීතියත් දුරු කිරීමෙන් උපේක්‍ෂා ඇත්තේත් වෙසෙයි. සිහි ඇත්තේත් මනාදැනුම් ඇත්තේත් කයින් සුවත් විඳියි. උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය, සුවවිහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමක් සඳහා කියත් නම් ඒ තුන්වන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා ප්‍රණීත වූත් අන් සුවය යි.
ආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්තසුවය වූ මේ සොම්නස විඳිතියි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ සුවයත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන් දුරු කිරීමෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදුබැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය යි.
ආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිතියි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ කියමන මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්ම වීමෙන් පටිඝසංඥාවන්ගේ අභාවයෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ...
ආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිතියි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා … ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා … අන්සුවය කවරේ ද?: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තය යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මෙය වනාහි මේ සුවයට වඩා …
ආනන්‍ද, ‘යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති’යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ කියමන මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා … ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා … අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ...
ආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්; ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් ඒ සුවය කවරේ ද: ආනන්‍ද, මේ මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන්සුවය යි.
ආනන්‍ද, යම් කෙනෙක් පරම ශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මේ මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය යි.
ආනන්‍ද, යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ ‘මහණ ගොයුම් තෙමේ සඤ්ඤාවේදයිතනිරෝධයක් කියයි එ ද සුවය යි පනවයි. ඒ මෙය කිමෙක් ද? ඒ මෙය කෙසේ දැ’යි. මෙසේ කියන්නාහු නම් මේ කරුණ ඇත. ආනන්‍ද, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සුවවේදනාව ම සඳහා සුව යයි නො පනවති, ඇවැත්නි, යම් තැනක සුවය ලැබේ ද, යමක් යමක් සුව ද, එය එය තථාගතයන් වහන්සේ සුව ය යි පනවන සේකැ යි.
2. 2. 10.
භික්ඛු සූත්‍රය
268. මහණෙනි, මවිසින් නය වශයෙන් වේදනා දෙකකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා තුනකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා පසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා සයකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා අටළොසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා සතිසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා අටෝරාසියකුදු කියන ලදි.
මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දහම දේශනා කරන ලදි. මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දේශනා කරන ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය මැනවින් නො හඟනාහු නම් නො අනුදන්නාහු නම් නො පිළිගන්නාහු නම් ඔවුන් විසින් ‘හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුව සැත්වලින් පෙළමින් වෙසෙන්නාහු ය යි මෙය කැමති වියයුතු යි.
මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දහම් දෙසන ලදි. මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දෙසන ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය මැනවින් හඟනාහු නම් අනුදන්නාහු නම් පිළිගන්නාහු නම් ඔවුන් විසින් ‘සමඟ වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වෙසෙන්නාහ’යි මෙය කැමති වියයුතු යි.
මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ය ... ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් යයි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය.
මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම්, මේ කම්සුවය යි කියනු ලැබේ. මහණෙනි, ‘යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති’ යි මෙසේ කියන්නාහු නම්, ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල් දහමින් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මෙය වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණි වූත් අන් සුවය යි.
මහණෙනි, යම් කෙනෙක් පරම ශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: මහණෙනි, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙය වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය යි.
මහණෙනි, යම් හෙයෙකින් අන්තොටු පිරිවැජියෝ “මහණ ගොයුම්හු සඤ්ඤාවේදයිතනිරෝධයක් කියති, එය සුව ය යි ද පනවයි. ඒ කිමෙක් ද? ඒ කෙසේ දැ?” යි. මෙසේ කියන්නාහු නම්, මේ කරුණ ඇත. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සුවවේදනාව සඳහා සුවය යි නො පනවන සේක. ඇවැත්නි, යම් යම් තැනෙක සුවය ලැබේ ද, යමක් යමක් සුව ද, එය එය තථාගතයන් වහන්සේ සුවය යි පනවන සේකැ යි.
දෙවැනි රහොගතවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
රහෝගත සූත්‍ර ය, ආකාශසූත්‍ර දෙක ය, අගාරසූත්‍ර ය, සන්තකසූත්‍ර දෙක ය, අට්ඨක සූත්‍ර දෙක ය, පඤ්චකඞ්ගසූත්‍ර ය, භික්ඛුසූත්‍ර ය යි සූත්‍ර දශයෙකි.
3. අට්ඨසතපරියාය වර්‍ගය
2. 3. 1.
මොළියසීවක සූත්‍රය
269. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මොළියසීවක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සටුතු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මොළියසීවක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. භවත් ගෞතමයෙනි, “මේ පුරිස් පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් කිසි වේදනාවක් විඳි නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය” යි මෙබඳු වාද ඇති මෙබඳු දුටු ඇති ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් කියන සේක් දැ? යි.
සීවක, මෙහි පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ උපදිත්, සීවක, පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ යම්සේ මෙහි උපදිත් නම් මෙය තමා විසිනුදු දතයුතු ය. සීවක, පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ යම්සේ මෙහි උපදිත් නම් මෙය ලෝවැසියන් විසිනුදු සැබෑ ය යි සම්මත ය. සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් “මේ පුරිස්පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ මැදහත් වූ හෝ යම් කිසි වේදනාවක් විඳී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය”යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුත් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුත් ලොව සැබෑ ය යි සම්මත නම් එයත් ඉක්ම යෙති. එහෙයින් ඒ මහණ බමුණන්ගේ (බස) මුසා ය යි කියමි.
සීවක, සෙමින් හටගන්නා වූ ද … සීවක, වාතයෙන් හටගන්නා වූ ද … සීවක, සන්නිපාතයෙන් හටගන්නා වූ ද ... සීවක, ඍතුවිපර්‍ය්‍යාසයෙන් හටගන්නා වූ ද … සීවක, විෂමපරිහරණයෙන් හටගන්නා වූ … සීවක, උපක්‍රමයෙන් හටගන්නා වූ ද … සීවක, කර්‍මවිපාකයෙන් හටගන්නා වූ ද, ඇතැම් වේදනාවෝ මෙහි උපදිත්. සීවක, කර්‍මවිපාකයෙන් හටගන්නා වූ ඇතැම් වේදනාවෝ යම් සේ මෙහි උපදිත් නම් මෙය තමා විසිනුදු දතයුතු යි. සීවක, කර්‍මවිපාකයෙන් හටගන්නා වූ ඇතැම් වේදනාවෝ යම් සේ මෙහි උපදිත්නම් එය ලෝවැසියන් විසිනුදු සැබෑ ය යි සම්මත ය. සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් “මේ පුරිස් පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් කිසි වේදනාවක් විඳී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොට ගෙන ය”යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුත් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුත් ලොව සැබෑ යයි සම්මත නම් එයත් ඉක්ම යෙති, එහෙයින් ඒ මහණ බමුණන්ගේ මුසා ය යි කියමි යි.
මෙසේ වදාළ කල්හි මොළිය සීවක පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. “භවත් ගෞතමයෙනි, ඉතා මැනවි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා”යි.
පිත ද සෙම ද වාතය ද සන්නිපාතය ද ඍතු ද විෂම පරිහරණය ද උපක්‍රමය ද කර්‍මවිපාකයෙන් අටවැන්න ද වේ යි.
2. 3. 2.
අට්ඨසතපරියාය සූත්‍රය
270. මහණෙනි, අට්ඨසතපරියාය නම් වූ දහම්නය තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මහණෙනි, අට්ඨසතපරියාය නම් වූ දහම්නය කවරේ ද යත්: මහණෙනි, මා විසින් නය වශයෙන් වේදනා දෙකෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා තුනෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා පසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා සයෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා අටළොසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා සතිසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා අටෝරාසියෙකුදු කියන ලදී.
මහණෙනි, වේදනා දෙක කවරේ ද යත්: කායික වේදනාව ද චේතසික වේදනාව දැ යි. මහණෙනි, මොහු වේදනා දෙක යයි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා තුන කවරේ ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා ය යි. මහණෙනි, මොහු වේදනා තුන යයි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා පස කවරේද යත්: සුඛින්‍ද්‍රිය ය, දුක්ඛින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, දෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි, මහණෙනි, මොහු වේදනා පස යයි කියනු කියනු ලැබෙත්. මහණෙනි, වේදනා සය කවරේ ද යත්: චක්ඛුසම්ඵස්සයෙන් හටගත් හටගත් වේදනා ය, සෝත … ඝාන … ජිව්හා … කාය … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනා යි. මහණෙනි, මොහු වේදනා සය යයි කියනු ලැබෙත්.
මහණෙනි, වේදනා අටළොස කවරේ ද යත්: සොම්නස සමග හැසිරෙන සයය, දොම්නස සමග හැසිරෙන සයය, මැදහත් බව සමග හැසිරෙන සය යි. මහණෙනි, මොහු වේදනා අටළොස යි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා සතිස කවරේ ද යත්: පස්කම් ගුණ ඇසුරු කළසොම්නස් සය ය, නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස් සය ය, පස්කම් ගුණ අසුරුකළ දොම්නස් සය ය. නෙක්ඛම්මය ඇසුරුකළ දොම්නස් සය ය. පස්කම්ගුණ ඇසුරුකළ උපේක්‍ෂා සය යි. නෙක්ඛම්මය ඇසුරුකළ උපේක්‍ෂා සය යි. මහණෙනි, මොහු වේදනා සතිසැ යි කියනු ලැබෙත්. මහණෙනි වේදනා එක්සියඅට කවරේ ද යත්: අතීත සතිස් වේදනා ය, අනාගත සතිස් වේදනා ය, පච්චුප්පන්න සතිස් වේදනා යි. මහණෙනි, මොහු වේදනා එක්සිය අට යයි කියනු ලැබෙත්. මහණෙනි, මේ අට්ඨසතපරියාය නම් වූ දහම් නය යි.
2. 3. 3.
භික්ඛු සූත්‍රය
271. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය … එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය: වහන්ස, වේදනාවෝ කවරහු ද? වේදනා සමුදය කවරේ ද? වේදනා සමුදයගාමිනිපටිපදාව කවර ද? වේදනා නිරෝධය කවරේ ද? වේදනානිරෝධගමිනි පටිපදාවකවර ද? වේදනාවේ අස්සාදය කවරේ ද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක් දැ? යි.
මහණ, මේ වේදනා තුනෙකි. සුව වේදනා ය, දුක්වේදනා ය, මැදහත් වේදනා යි. මහණ, මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනා සමුදය වේ. තණ්හාව වේදනාසමුදයගාමිනිපටිපදාව යි. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමග ම වේදනානිරෝධගාමිනීපටිපදාව යි. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස්වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනායෙහි යම් ඡන්‍දරාගය දුරැ කිරීමෙක් ඡන්‍දරාගය ප්‍රහාණයෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
2. 3. 4.
පුබ්බේ සූත්‍රය
272. මහණෙනි, සම්බෝධියෙන් පෙර ම චතුස්සත්‍යාවබෝධය නො කළ බෝසත් වූ මැ මට මේ සිත විය. වේදනා කවරහු ද, වේදනා සමුදය කවරේ ද, වේදනාසමුදයගමිනී පටිපදාව කවර ද? වේදනානිරෝධය කවරේද, වේදනානිරෝධගාමිනී පටිපදාව කවර ද, වේදනාවේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
මහණෙනි, ඒ මට මේ සිත විය: මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා යි. මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනාසමුදය වේ. තණ්හාව වේදනාසමුදයගමිනී පටිපදාව යි … වේදනායෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමේක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනායෙහි නිස්සරණ යි.
2. 3. 5.
ඤාණ සූත්‍රය
273. මහණෙනි, මොහු වේදනාවෝ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. විදු පහල විය. පැන පහළ විය. නැණ පහළ විය. එළිය පහළ විය. මහණෙනි, මේ වේදනා සමුදය ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය … එළිය පහළ විය. මහණෙනි, මේ වේදනාසමුදයගමිනී පටිපදාව ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, මේ වේදනානිරෝධ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, මේ වේදනානිරෝධගාමිනී පටිපදාව ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ... මහණෙනි, මේ වේදනාවේ ආස්වාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට … මහණෙනි, මේ වේදනාවේ ආදීනවය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ... මහණෙනි, මේ වේදනාවේ නිස්සරණ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී ය යි.
2. 3. 6.
සම්බහුලභික්ඛු සූත්‍රය
274. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, වේදනාවෝ කවරහු ද? වේදනාසමුදය කවරේ ද? වේදනාසමුදයගාමිනී පටිපදාව කවර ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවර ද? වේදනාවේ අස්වාදය කිමෙක් ද? ආදිනාවය කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත් වේදනා යි. මහණෙනි, මොහු වේදනා යි කියනු ලැබෙත්, ඵස්සසමුදයයෙන් වේදනා සමුදය ය වේ. තණ්හාව වේදනාසමුදයගාමිනී පටිපදාව යි. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ ... වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරලීමෙක් යම් ඡන්‍දරාගය ප්‍රහාණයෙක් වේ නම් මෙය වේදනාවේ නිස්සරණ යි.
2. 3. 7.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
275. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් මේ තුන් වේදනාවන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් ද ... දනිත් ද, ... තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ වෙසෙති යි.
2. 3. 8.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
276. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ තුන් වේදනාවන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නොදනිත් ද ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් යයි.
2. 3. 9.
තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
277. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ වේදනාව නො දනිත් ද, වේදනා සමුදය නො දනිත් ද, වේදනා නිරෝධය නො දනිත් ද, වේදනා නිරෝධගාමිනී පටිපදාව නො දනිත් ද, ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් යයි.
2. 3. 10.
සුද්ධිකවේදනා සූත්‍රය
278. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක් නොසුව වේදනා යි. මහණෙනි, මොහු තුන් වේදනාවෝ යි.
2. 3. 11.
නිරාමිස සූත්‍රය
279. මහණෙනි, සාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතියක් ඇත. සාමිස සුවයෙක් ඇත, නිරාමිස සුවයෙක් ඇත, නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවයෙක් ඇත. සාමිස උපේක්‍ෂාවක් ඇත, නිරාමිස උපේක්‍ෂාවක් ඇත, නිරාමිස උපේක්‍ෂාවට වඩා වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාවක් ඇත. සාමිස විමෝක්‍ෂයෙක් ඇත, නිරාමිස විමෝක්‍ෂයෙක් ඇත, නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂයෙක් ඇත.
මහණෙනි, සාමිසප්‍රීතිය කවර යත්: මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමැති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතුයුතු රූපය ... ඉටු කැමති මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම්ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් ප්‍රීතියක් උපදී නම්, මහණෙනි, මේ සාමිස ප්‍රීතිය යි කියනු ලැබේ.
මහණෙනි, නිරාමිස ප්‍රීතිය කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස ප්‍රීතිය යි කියනු ලැබේ.
මහණෙනි, නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතිය කවර යත්: මහණෙනි, රාගයෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිදුණු සිත පස්විකන මෝහයෙන් මිදුණු සිත පස්විකන රහත් මහණහට යම් ප්‍රීතියක් උපදී ද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතිය යි කියනු ලැබේ.
මහණෙනි, සාමිස සුවය කවරේ ද යත්: මහණෙනි, මේ කම්ගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපය. ... ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මහණෙනි, මේ සාමිස සුවය යි කියනු ලැබේ.
මහණෙනි, නිරාමිස සුවය කවරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව මැ අකුසල්දහමින් වෙන් ව මැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙයි. විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසෙයි. ප්‍රීතියත් දුරුකිරීමෙන් උපේක්‍ෂා ඇත්තේත් වෙසෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳියි. උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සුවවිහරණ ඇත්තේ ය යි. ආර්‍ය්‍යයෝ ඒ යමකට කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස සුවය යි කියනු ලැබේ.
මහණෙනි, නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවය කවරේ ද යත්: මහණෙනි, රාගෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිඳුණ සිත පස්විකන මෝහයෙන් මිඳුණ සිත පස්විකන රහත් මහණහුට යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම්, මහණෙනි, මෙය නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවය යි කියනු ලැබේ.