පහාන සූත්‍රය
250. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාවෙන් රගානුසයය පහකටයුතු ය. දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය. නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි. මහණෙනි, යම් කලෙක මහණහට සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ වූයේ වේ ද දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වූයේ වේ ද නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද මහණෙනි, පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මැනවින් මනාවබෝධයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.
වේදනාව නොදන්නා (වේදනා) නිස්සරණය නොදක්නා සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.
වේදනාව නොදන්නා (වේදනා) නිස්සරණය නොදක්නා දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.
මහප්‍රාඥතථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ නොදුක් නොසුව වේදනාව ද පතන්නේ දුකෙන් නොමැ මිදෙයි.
යම් හෙයකින් කෙලෙස් තවන වෙර ඇති මහණ මනා නුවණ නො හරී ද එහෙයින් ඒ පණ්ඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.
හෙතෙමේ වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ කාබුන් (මරණින් මතු) පැනවීමකට නො පැමිණේ.
1. 20. 4.
පාතාල සූත්‍රය
252. මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ මහමුහුදෙහි පාතාලයෙක් ඇති යි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ නැති නො පෙනෙන (තැනක් ගැන) මහමුහුදෙහි පාතාලයෙක් ඇතැ යි මෙසේ මේ වචනය කියයි. මහණෙනි, පාතාල යන මෙය ශරීරයෙහි හටගන්නා දුක්වේදනාවන්ට නමෙකි. මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ ශරීරයෙහි හටගත් දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙහි. ක්ලාන්ත වෙයි. හඬයි ලෙහි පහරමින් හඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, මේ නූගත් පුහුදුන් තෙමේ පාතාලයෙහි නො පිහිටියේ ය. පිහිට ද නො ලැබුවේ යයි කියනු ලැබේ. මහණෙනි, උගත් අරීසවු තෙමේ ශරීරයෙහි හටගත් දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නොකෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො හඬයි. ලෙහි පහරමින් නො හඬයි. මුළාවට නො පැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක පාතාලයෙහි පිහිටියේ ය. පිහිටි ද ලැබුයේ යි කියනු ලැබේ.
යමෙක් යමකින් පහස්නා ලද්දේ සැලේ ද ශරීරයෙහි වූ දිවි තොර කරන ඒ උපන් දුක් වේදනා නො ඉවසා ද.
දුබල වූ නුවණ ඇති මඳ වූ ඥානශක්ති ඇති හෙතෙමේ හඬයි වැලපෙයි. පාතාලයෙහි නො පිහිටයි යළි පිහිටකුදු නො ලැබුයේ ය.
යමෙක් යමකින් පහස්නා ලද්දේ නො සැලේ ද, ශරීරයෙහි වූ දිවි තොර කරන ඒ උපන් දුක් වේදනා ඉවසා ද, හෙතෙමේ පාතාලයෙහි පිහිටයි. යළි පිහිට ද ලැබුයේ යි.
1. 20. 5.
දට්ඨබ්බ සූත්‍රය
253. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාව දුක් විසින් දැක්ක යුතු ය. දුක්වේදනාව හුල් විසින් දැක්ක යුතු ය. නොදුක්නොසුව වේදනාව අනිස විසින් දැක්ක යුතු ය.
මහණෙනි, යම් කලෙක මහණහු විසින් සුවවේදනාව දුක් විසින් දක්නාලද වේ ද, දුක්වේදනාව හුල් විසින් දක්නා ලද වේ ද, නොදුක්නොසුව වේදනාව අනිස විසින් දක්නා ලද වේ ද, මහණෙනි, මැනවින් දක්නා මේ මහණ තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මනා කොට මනාවබෝධය කිරීමෙන් දුක කෙළවර කෙළේ යයි කියනු ලැබේ.
යමෙක් සුවවේදනාව දුක් විසින් දිටි ද, දුක්වේදනවා හුල් විසින් දිටි ද, ශාන්ත වූ ඒ නොදුක්නොසුව වේදනාව අනිස විසින් දිටි ද.
මැනවින් දක්නා ඒ මහණ වේදනා පිරිසිඳ දනී. වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ කාබුන් මරණින් මතු පැනවීමට නො පැමිණේ යි.
1. 20. 6.
සල්ල සූත්‍රය
254. මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සුවවේදනාවත් විඳියි. දුක්වේදනාවත් විඳියි. නොදුක්නොසුව වේදනාවත් විඳියි. මහණෙනි, ඇසු පිරූ තැන් ඇති අරීසවු ද සුවවේදනාවත් විඳියි. දුක්වේදනාවත් විඳියි. නොදුක්නොසුව වේදනාවත් විඳියි. මහණෙනි, එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා ඇසු පිරූ තැන් ඇති අරිසවුගේ වෙසෙස කිමෙක් ද? අදහස කවරේ ද? වෙනස කිමෙක්දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ, මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂුහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘එසේ ය වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙමේ කායික වේදනාව ද චේතසික වේදනාව ද යන වේදනා දෙකක් විඳී. මහණෙනි, යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද ඒ මොහු දෙවෙනි හුලකිනුදු සමීපයෙහි විදුනාහු ද, මහණෙනි, මෙසේ වනාහි ඒ පුරුෂ තෙමේ හුල කරණකොටගෙන වේදනා දෙකක් විඳී.
මහණෙනි, එසෙයින් ම අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙමේ කායික වේදනාව ද චේතසික වේදනාව ද යන වේදනා දෙකක් විඳියි. ඒ දුක් වේදනාවෙන් ම පහස්නා ලද්දේ ක්‍රෝධ ඇත්තේ වෙයි. දුක් වේදනාවෙන් වූ ක්‍රෝධ ඇති ඒ මොහුට දුක්වේදනා වෙන් යම් පටිඝානුසයයෙක් වේ නම් එය උපදී. හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ කම්සුව පිළිගනී. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ කම්සුවය හැර දුක්වේදනාවේ දුරුකිරීමක් නො දනී. කම්සුව පිළිගන්නා ඔහුට සුවවේදනාවෙන් වූ යම් රාගානුසයයෙක් වේ නම් එය උපදී. හෙතෙමේ ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථඞ්ගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනී.
ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථඞ්ගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දන්නා ඔහුට නොදුක්නොසුව වේදනාවෙන් වූ යම් අවිජ්ජානුසයයෙක් වේ නම් එය උපදී. හෙතෙමේ ඉදින් සුව වේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) යුතුව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් යුතු ව එය විඳී. ඉදින් නොදුක් නොසුව වේදනාවක් විඳී නම් සංයුක්ත ව එය විඳී. මහණෙනි, මේ නූගත් පුහුදුන් තෙමේ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් යුතු වූයේ යයි කියනු ලැබේ සියලු දුකින් යුතු වූයේ යයි කියමි.
මහණෙනි, ශ්‍රැතවත් අරීසවු තෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි. ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි. ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි. හේ කායික වූ එක් වේදනාවක් විඳියි. චේතසික වේදනාව නො විඳියි. මහණෙනි, යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද ඒ මොහු දෙවෙනි හුලකින් පළමු විදුම සමීපයෙහි නො විදුනාහු ද මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමේ එක් හුලකින් වූ වේදනාව විඳින්නේ ය. මහණෙනි, එසෙයින් ම උගත් අරීසවු දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො වැලපෙයි. ළෙහි පැහැර නො හඬයි මුළාවට නො පැමිණෙයි. හෙතෙමේ කායික වූ එක් වේදනාවක් විඳියි. චේතසික වේදනාව නො විඳියි. ඒ දුක් වේදනාවේ ම ක්‍රෝධ ඇත්තේ නො වෙයි. දුක්වේදනාවෙන් වූ ක්‍රෝධ නැති ඒ මොහුට දුක්වේදනාවෙහි වූ යම් පටිඝානුසයයෙක් වේ නම් එය නූපදී. හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම කම්සුව නො පිළිගනී. ඒ කවර හෙයින යත්: මහණෙනි, උගත් අරීසවු තෙමේ කම්සුවෙන් වෙන් ව දුක්වේදනාවේ නිස්සරණය දනී මැ යි, එහෙයිනි.
කම්සුව නො පිළිගන්නා ඔහුට සුවවේදනාවෙන් වූ යම් රාගානුසයයෙක් වේ නම් එය නූපදී. හෙ ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථගමයත් අස්සාදයත් අදීනවයත් නිස්සරණයත් තතුසේ දනී. ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දන්නා ඔහුට නොදුක්නොසුව වේදනාවෙන් වූ යම් අවිජ්ජානුසයෙක් වේ නම් එය නූපදී. හේ ඉදින් සුවවේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) වෙන් ව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් වෙන් ව විඳී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. මහණෙනි, මේ උගත් අරීසවු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් වෙන් වූයේ යයි කියනු ලැබේ. සියලු දුකින් වෙන් වූයේ යයි කියනු ලැබේ. මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන්හු හා ඇසූ පිරූ තැන් ඇති අරීසවුහුගේ මේ වෙසෙසයි. මේ අදහස යි. මේ වෙනස යි.
බොහෝ ඇසු පිරූ තැන් ඇත්තා වූ ද නුවණැත්තේ සුව වූත් දුක් වූත් වේදනාව (කෙලෙසුන්ගෙන්) යුතුව නො විඳියි. දක්‍ෂ වූ නුවණැත්තාගේ පුහුදුන්හු හා මහත් වෙසෙස මෙය වෙයි.
දන්නා ලද දහම් ඇති බොහෝ අසු පිරූ තැන් ඇති මේ ලොවත් පරලොවත් මැනවින් දක්නා මොහුගේ සිත ඉටුදහම්හු නො මඩිත්. අනිටු දහමින් කිපීමට නො පැමිණෙයි.
රාගයෝ ද යළිත් ද්වේෂයෝ ද ඔහු එයින් නසන ලදහ. අස්තයට ගියහ. එහෙයින් ම නැතියහ. ඇලුම් රහිත සෝක රහිත නිවන් පදය දැන භවයේ කෙළවරට පැමිණියේ මැනවින් දනී යි.
1. 20. 7.
ගෙලඤ්ඤ සූත්‍රය
255. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් ගිලන්හල වෙත එළඹිසේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මහණ තෙමේ සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ (ස්කන්‍ධපරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කරන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
මහණෙනි, මහණ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ රූ කයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණ ඇති ව සිහි ඇති ව (කා) ලෙව්හි දැඩි ලෝබ හා දොම්නස් දුරු කොට වෙසේ ද, වේදනාවන්හි වේදනා අනුව බලමින් ... සිතෙහි සිත අනුව බලමින් ... දහම්හි දහම් අනු ව බලමින් කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණ ඇති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ ද මහණෙනි, මහණ මෙසේ සිහි ඇත්තේ වේ.
මහණෙනි, මහණ කෙසේ නම් දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ ඉදිරිගමන්හි හා ආපසු ගමන්හි මනා නුවණින් දැන කරනසුලු වේ ද ඉදිරිබැලීමෙහි අවට බැලීමෙහි මනානුවණින් කරනසුලු වේ ද (අත්පා) හැකිළීමෙහි හා දිගහැරීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, සඟළ හා පාසිවුරු දැරීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, බිදීමෙහි පීමෙහි කෑමෙහි හා රසවිඳීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, මලමූ කිසෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි හා නො බිණීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, මහණෙනි, මහණ මෙසේ මනානුවණ ඇත්තේ වේ. මහණෙනි, මහණ සිහි ඇත්තේ මනාදැනුම් ඇත්තේ කාලය අපේක්‍ෂා කරන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
මහණෙනි, ඉදින් මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව කා දිවි දෙක්හි ආශා රහිත ව වෙසෙන මහණහට සුවවේදනාවක් උපදී ද හෙතෙමේ “මට මේ සුවවේදනාවක් උපන. එ ද නිසා ය, නොනිසා නො වේ. කුමක් නිසා ද යත්: මේ කය ම නිසා ය. මේ කය වනාහි අනිස ය. හේතූන් විසින් කරන ලද්දේ ය. ප්‍රත්‍යය නිසා උපන්නේ ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් සුව වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ”යි මෙසේ දනියි.
හෙතෙමේ කයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනු ව බලන සුලු ව වෙසේ. වැය අනු ව බලනසුලු ව වෙසේ. විරාගය අනු ව බලනසුලු ව වෙසේ. නිරෝධය අනු ව බලනසුලු ව වෙසේ පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසේ. කයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනු ව බලන සුලු ව වෙසෙන වැය අනු ව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනු ව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනු ව බලනසුලු ව වෙසෙන ඔහුගේ කයෙහිත් සුවවේදනාවෙහිත් යම් රාගානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනා දැනුම් ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් දුක්වේදනාවක් උපදී නම් හෙතෙමේ මෙසේ දනී: “මට මේ දුක්වේදනාවක් උපන. හෙ ද නිසා ය. නොනිසා නො වේ. කුමක් නිසා ද යත්: මේ කය ම නිසා ය. මේ කය වනාහි අනිත්‍ය ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. අනිත්‍ය වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් දුක්වේදනාව කොයින් නිත්‍ය වන්නී දැ”යි.
හෙතෙමේ කයෙහිත් දුක්වේදනාවෙහිත් අනිස අනුව බලන සුලු ව වෙසේ. වැය අනු ව බලනසුලු ව වෙසේ. විරාගය අනු ව බලනසුලු ව වෙසේ. නිරෝධය අනුව බලනසුලු ව වෙසේ. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසේ. කයෙහිත් දුක්වේදනා වෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුගේ කයෙහිත් දුක්වේදනාවෙහිත් යම් පටිඝානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනානුවණ ඇති ව නො පමා වූ කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් නොදුක්නොසුව වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී: “මට මේ නොදුක්නොසුව වේදනාවක් උපන. හෙ ද නිසා ය. නොනිසා නො වේ. කුමක් නිසා ද, මේ කය ම නිසා ය. මේ කය අනිත්‍ය ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. අනිත්‍ය වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් නොදුක්නොසුව වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ, යි. හේ කයෙහිත් නොදුක්නොසුව වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙයි. වැය අනුව බලනසුලු ව වෙසෙයි. විරාගය අනුව බලනසුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලනසුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. කයෙහිත් නොදුක්නොසුව වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනුව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුට කයෙහිත් නොදුක්නොසුව වේදනාවෙහිත් යම් අවිද්‍යානුස්යයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
හෙ ඉදින් සුවවේදනාවක් විඳී නම් එය අනිස යයි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නොබැසගන්නා ලදැ යි දැනගනි. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. හෙතෙමේ ඉදින් සුව වේදනාවක් විඳී නම් කෙලෙසුන්ගෙන් වෙන් ව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. හේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහ යි දැනගනී.
මහණෙනි, යම්සේ තෙලත් වැටියත් නිසා තෙල්පහනක් දැල් වෙන්නේ ද, ඒ තෙලත් වැටියත් කෙළවර වීමෙන් ම ප්‍රත්‍යය නැති ව නිවෙන්නේ ද, මහණෙනි, එසෙයින් ම මහණ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දහු සිහිල් වන්නාහ යි දැනගනී යි.
1. 20. 8.
දුතිය ගෙලඤ්ඤ සූත්‍රය
256. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් ගිලන්හල වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මහණ සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ (පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කරන්නේ ය. මහණෙනි, මේ තොපට අපගේ අනුශාසනා යි.
මහණෙනි, මහණ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෙව්හි අභිජ්ඣාව හා දෝමනස්සය දුරු කොට වෙසෙයි. වේදනාවන්හි ... සිතෙහි … දහම්හි දහම් අනු ව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි අභිජ්ඣාව හා දෝමනස්සය දුරු කොට වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වේ.
මහණෙනි, මහණ කෙසේ නම් මනාදැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඉදිරි ගමන්හි පෙරළා ගමන්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. ඉදිරි බැලුම්හි අවට බැලුම්හි මානාදැනුම් ඇති ව කරනසුලු වෙයි. අත් පා හැකිළුම්හි දිගහැරීම්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. සඟළ පාසිවුරු දැරුම්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. කෑමෙහි පීමෙහි කඩා කෑමෙහි රස විඳීමෙහි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. මලමූ කිසෙහි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. ගමන්හි සිටුම්හි හිඳුම්හි නිදීම්හි නිදිවැරුම්හි කියුම්හි නිහඬබැව්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. මහණෙනි, මෙසේ මහණ මනාදැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇත්තේ මනාදැනුම් ඇත්තේ කාලය අපේක්‍ෂා කරන්නේ ය. මේ අපගේ අනුශාසනා යි.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහුට ඉදින් සුවවේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී. මට මේ සුවවේදනාවක් උපන. එ ද නිසා ය. නො නිසා නො වේ. කුමක් නිසා ද, මේ ස්පර්‍ශය ම නිසා ය. මේ ස්පර්‍ශය අනිස ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්‍ශය නිසා උපන් සුවවේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ?යි.
හේ ස්පර්‍ශයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙයි. වැය අනුව බලනසුලු ව වෙසෙයි. විරාගය අනුව බලන සුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලන සුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනුව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුට ස්පර්‍ශ යෙහිත් සුවවේදනාවෙහිත් යම් රගානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වෙයි.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහුට ඉදින් දුක්වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී. මට මේ දුක්වේදනාවක් උපන. එ ද නිසා ය, නොනිසා නො වෙයි. කුමක් නිසා ද, මේ ස්පර්‍ශයම නිසා ය. මේ ස්පර්‍ශය අනිස ය. සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්‍ශය නිසා උපන් දුක්වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ’ යි.
හෙතෙමේ ස්පර්‍ශයෙහිත් දුක්වේදනාවෙහිත් අනිස අනුව බලන සුලු ව වෙසෙයි. වැය අනු ව බලනසුලු ව වෙසෙයි. විරාගය අනු ව බලනසුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලනසුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් දුක් වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඒ මහණහුට ස්පර්‍ශයෙහිත් දුක්වේදනාවෙහිත් යම් පටිඝානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනානුවණ ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් නොදුක්නොසුව වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී: මට මේ නොදුක්නොසුව වේදනාවක් උපන. එ ද නිසා ය. නොනිසා නො වෙයි. කුමක් නිසා ද, මේ ස්පර්‍ශය ම නිසා ය. මේ ස්පර්‍ශය අනිස ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්‍ශය නිසා උපන් මැදහත් වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ’ යි.
හෙතෙමේ ස්පර්‍ශයෙහිත් මැදහත් වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙයි. වැය අනුව බලනසුලු ව වෙසෙයි. විරාගය අනුව බලනසුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලනසුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් මැදහත් වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනුව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුට ස්පර්‍ශයෙහිත් මැදහත් වේදනාවෙහිත් යම් අවිජ්ජානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
ඉදින් හේ සුවවේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් දුක්වේදනාවක් විඳී නම් ... ඉදින් මැදහත් වේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් හෙ සුවවේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) වෙන් ව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් ... ඉදින් මැදහත් වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. හෙතෙමේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහ යි දැනගනී.
මහණෙනි, යම්සේ තෙලත් වැටියත් නිසා තෙල්පහනක් දැල්වෙන්නේ ද, ඒ තෙලත් වැටියත් කෙළවර වීමෙන් ම ප්‍රත්‍යය රහිත ව නිවෙන්නේ ද, මහණෙනි, එසෙහින්ම කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දහු සිහිල් වන්නාහ යි දැනගනී යි.
1. 20. 9.
අනිච්ච සූත්‍රය
257. මහණෙනි, අනිච්ච වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ඛයධම්ම වූ වයධම්ම වූ විරාගධම්ම වූ නිරෝධධම්ම වූ මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනාව ය දුක් වේදනාව ය නොදුක්නොසුව වේදනාව යයි. මහණෙනි, මේ වේදනා තුන අනිච්ච ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. ඛයධම්ම ය. වයධම්ම ය. විරාගධම්ම ය. නිරෝධධම්ම යි.
1. 20. 10.
ඵස්සමූලක සූත්‍රය
258. මහණෙනි, ස්පර්‍ශයෙන් හටගත් ස්පර්‍ශය මුල් කොට ඇති ස්පර්‍ශය නිදාන කොට ඇති ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇති මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනාව ය දුක්වේදනාව ය නොදුක්නොසුව වේදනාව යි. මහණෙනි, සුවවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා සුවවේදනාව උපදී. සුව වේදනාවට කරුණු වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද සුවවේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ සුව වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ.
මහණෙනි, දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. දුක්වේදනාවට කරුණු වූ ඒ පහස්හි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද, දුක්වේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ දුක්වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ. මහණෙනි, මැදහත් වේදනාවට කරුණු වූ පහස නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට කරුණු වූ ඒ පහස්හි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද මැදහත් වේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ මැදහත් වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ.
මහණෙනි, යම්සේ දඬු දෙකක ගැටීමෙන් එකතුවීමෙන් උණුසුම උපදී ද, ගින්න හටගනී ද. ඒ දඬු දෙකෙහි ම වෙන් වීමෙන් ඈත් වීමෙන් එයින් හටගත් යම් උණුසුමක් වේ නම් එය නිරුද්ධ වේ ද, එය සන්හිඳේ ද, මහණෙනි, එසෙයින් ම මේ වේදනා තුන ඵස්සයෙන් හටගත්තේ ය. ඵස්සය මුල් කොට ඇත්තේ ය. ඵස්සය නිදාන කොට ඇත්තේ ය. ඵස්සය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. එයින් එයින් හටගත් ඵස්සය එයින් එයින් හටගත් වේදනාව උපදී. එයින් එයින් හටගත් ඵස්සය නිරෝධයෙන් එයින් එයින් හටගත් වේදනා නිරුද්ධ වේ යි.
පළමුවැනි සගාථවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සමාධි, සුඛ, පහාන, පාතාල, දට්ඨබ්බ, සල්ල යන සූත්‍ර සයය. ගෙලඤ්ඤසූත්‍ර දෙකය අනිච්චපස්සමූලක සූත්‍ර දෙක යයි සූත්‍ර දශයෙකි.
2. රහෝගත වර්‍ගය
2. 2. 1.
රහෝගත සූත්‍රය
259. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, “මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද, සුවවේදනාවය, දුක්වේදනාවය, මැදහත්වේදනාවය” යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. “යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ”යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ’යි යන මෙය කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි.
මහණ, මැනව, මැනව මහණ, මේ වේදනා තුනක් මවිසින් දෙසන ලදි. සුවවේදනාය, දුක්වේදනාය, මැදහත්වේදනාය යි. මේ වේදනා තුන මා විසින් දෙසන ලදී. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි මෙ ද මා විසින් දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම අනිස බව සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ක්‍ෂය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ව්‍යය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විරාගස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම නිරෝධස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විපරිණාමස්වභාවය සඳහා දෙසන ලදි.
එතෙකුදුවත් මහණ, මා විසින් සංස්කාරයන්ගේ අනුපූර්‍ව නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙති. තුන් වන දැහැනට සමවන්නහුට ප්‍රීතිය නිරුද්ධ වූවා වෙයි. සිවුවන දැහැනට සමවන්නහුටආශ්වාසප්‍රශ්වාසයෝ නිරුද්ධ වූවාහු වෙති. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා නිරුද්ධ වූවා වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවා වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
වැලිදු මහණ, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සංහිඳීම පවසන ලද්දේ වේ. පළමුවන දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සන්සිඳුනේ වේ. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වේ. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්සිඳුනේ වේ. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා සන්සිඳුනේ වේ. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥා සන්හිඳුනේ වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා සන්සිඳුනේ වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා සන්සිඳුනේ වේ. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්සිඳුනාහු වෙත්. රහත් මහණහුට රාගය සන්සිඳුනේ වේ. දෝසය සන්හිඳුනේ වේ. මෝහය සන්හිඳුනේ වේ.
මහණ, මේ සන්හිඳුම් සයෙකි. පළමුදැහැනට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. දෙවනදැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සන්සිඳුනේ වේ. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්සිඳුනේ වේ. සඤ්ඤා වේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වේ. දෝසය සන්හුන්නේ වේ. මෝහය සන්හුන්නේ වේ යි.
2. 2. 2.
ආකාස සූත්‍රය
260. මහණෙනි, යම්සේ අහසෙහි නන්වැදෑරුම් සුළං හමා ද, පෙරදිග සුළං ද හමයි. පැළදිග සුළං ද හමයි. උතුරුදිග සුළං ද හමයි. දකුණුදිග සුළං ද හමයි. දූලි සහිත සුළං ද හමයි. දූලි රහිත සුළං ද හමයි. සිහිල් සුළං ද හමයි. උණුසුම් සුළං ද හමයි. මඳ සුළං ද හමයි. අධික සුළං ද හමයි. මහණෙනි, එසෙයින් ම මේ සිරුරෙහි නන්වැදෑරුම් වේදනා උපදිත්. සුව වේදනාත් උපදිත්. දුක්වේදනා උපදිත්. මැදහත් වේදනා උපදිත්.
යම්සේ අහසෙහි නන්වැදෑරුම් වූ බොහෝ සුළං හමා ද පෙරදිගින් හමන්නා වූ ද පැළදිගින් හමන්නා වූ ද උතුරුදිගින් හමන්නා වූ ද යළි දකුණු දිගින් හමන්නා වූ ද,
දූලි සහිත වූ ද දූලි රහිත වූ ද සිසිල් වූ ද උණුසුම් වූ ද ඇතැම් දිනෙක අධික වූ ද මද වූ ද බොහෝ සුළං හමයි.
එසෙයින් ම කයෙහි සුවදුක් උපදවන්නා වූ ද මැදහත් වූ ද යම් වේදනාවක් වේ නම් ඒ වේදනාවෝ උපදිත්.
මහණ, යම් කලෙක කෙලෙස් තවන වෙර ඇත්තේ මනා දැනීම නො හරී ද, එකල්හි පණ්ඩිත වූ හෙතෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.
හේ වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ දහම්හි පිහිටියේ නිවනට පැමිණියේ කාබුන් මරණින් මතු (සත්ත්‍ව) සඞ්ඛ්‍යාවට නො පැමිණේ යි.
2. 2. 3.
දුතිය ආකාස සූත්‍රය
261. මහණෙනි, යම්සේ අහසෙහි නන්වැදෑරුම් හුළං හමා ද, පෙරදිග හුළං ද හමයි. ... අධික හුළං ද හමයි. මහණෙනි, එසෙයින් ම මේ සිරුරෙහි නන්වැදෑරුම් වේදනා උපදිත්. සුවවේදනාත් උපදිත්. දුක්වේදනාත් උපදිත්. මැදහත්වේදනාත් උපදිත් යි.
2. 2. 4.
අගාර සූත්‍රය
262. මහණෙනි, යම්සේ ආගන්තුක ගෙයක් වේ ද, එහි පෙරදිගින් ද අවුත් වාසය කෙරෙති. පැළදිගින් ද අවුත් වාසය කෙරෙති. උතුරුදිගින් ද අවුත් වාසය කෙරෙති. දකුණුදිගින් ද අවුත් වාසය කෙරෙති. ක්‍ෂත්‍රියයෝත් අවුත් වාසය කෙරෙති. බ්‍රාහ්මණයෝත් අවුත් වාසය කෙරෙති. වෛශ්‍යයෝත් අවුත් වාසය කෙරෙති. ශුද්‍රයෝත් අවුත් වාසය කෙරෙති.
මහණෙනි, එසෙයින් ම මේ කයෙහි විවිධ වේදනාවෝ උපදිති: සුවවේදනාත් උපදිති. දුක්වේදනාත් උපදිති. මැදහත් වේදනාත් උපදිති. සාමිස සැපවේදනාත් උපදිති. නිරාමිස සුවවේදනාත් උපදිති. සාමිස දුක්වේදනාත් උපදිති. නිරාමිස දුක්වේදනාත් උපදිති. සාමිස මැදහත්වේදනාත් උපදිති. නිරාමිස මැදහත්වේදනාත් උපදිති යි.
2. 2. 5.
සන්තක සූත්‍රය
263. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, වේදනාව කවරක් ද? වේදනාසමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරේ ද? වේදනාවෙහි ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
ආනන්‍ද, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. ආනන්‍ද, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනාසමුදයය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමඟ ම වේදනානිරෝධගාමිනී පටිපදාව යි. එනම් - සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
ආනන්‍ද, වැලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවාහු වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි. ආනන්‍ද, යලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වෙයි.
ආනන්‍ද, වැලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ පස්සද්ධිය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. දෙවන දැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සන්හුන්නේ වෙයි. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්හුන්නේ වෙයි. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්හුන්නේ වෙයි. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා සන්හුන්නී වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥා සන්හුන්නී වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා සන්හුන්නී වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා සන්හුන්නී වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වේ. දෝසය සන්හුන්නේ වේ. මෝහය සන්හුන්නේ වේ යි.
2. 2. 6.
දුතිය සන්තක සූත්‍රය
264. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ආනන්‍ද, වේදනාව කවරී ද? වේදනා සමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරී ද? වේදනාවේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. භගවත්හු නේතෘ කොට ඇතියහ. භගවත්හු පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මැනවි. මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි. ආනන්‍ද, එසේ වී නම් අසව. මැනවින් මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය වහන්සැ’යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.