ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර ශාක්‍යයන් රෑබොහෝ වේලාවක් මුළුල්ලෙහි දැහැමිකථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙදගන්වා සතුටු කරවා ‘ගෞතමයෙනි, රෑපෙරයම ඉක්ම ගියේ ය. යමකට දැන් කල් දනිවු නම් මැනවැ යි පිටත් කළ සේක. කිඹුල්වත්පුර ශාක්‍යයෝ එසේ ය වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර ශාක්‍යයන් ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඇමතූ සේක. මොග්ගල්ලාන, බික්සඟන පහ වූ ථීනමිද්ධ ඇත්තේ ය. මොග්ගල්ලාන, භික්‍ෂූන්ට දැහැමි කතාවක් තොපට වැටහේවා. මාගේ පිට මඳක් රිදෙයි, එහෙයින් මම එය සන්සිඳුවාගන්නෙමි යි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුගුණු කොට පනවා පියෙහි පිය මදක් හයා තබා සිහි ඇති ව මනානුවණ ඇති ව නැගී සිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කළ සේක.
එහිදී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඇවැත්නි, මහණෙනි යි භික්‍ෂූන් ඇමතූහ. ඇවැත්නි යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
ඇවැත්නි, කෙලෙස් වැගිරෙන්නහුගේ හේතුවත් කෙලෙස් නොවැගිරෙන්නහුගේ හේතුවත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. ඇවැත්නි, කෙසේ නම් කෙලෙස් වැගිරෙන්නේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි ඇලෙයි ප්‍රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි, නො එළඹ සිටි කාගියා සිහි ඇති ව වෙසෙයි. යම් තැනෙක ඔහුට උපන් ඒ ලාමක අකුසල්දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.
කනින් සද අසා … නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ප්‍රියස්වරූප වූ දහම්හි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේ මද සිත් ඇත්තේ වෙසෙයි. යම් තැනෙක ඔහුට උපන් ඒ ලාමක අකුසල්දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනියි. ඇවැත්නි, මේ මහණ ඇසින් දත යුතු රූපයෙහි කෙලෙස් වැගිරෙන්නේ කනින් දත යුතු සදෙහි කෙලෙස් වැගිරෙන්නේ නැහැයෙන් දත යුතු ගඳෙහි කෙලෙස් වැගිරෙන්නේ දිවෙන් දත යුතු රසයෙහි කෙලෙස් වැගිරෙන්නේ කයින් දත යුතු පහස්හි කෙලෙස් වැගිරෙන්නේ සිතින් දත යුතු දහම්හි කෙලෙස් වැගිරෙන්නේ යයි කියනු ලැබේ.
ඇවැත්නි, මෙසේ වසන ඒ මහණහු කරා ඉදින් ඇසිනු දු මරු එළඹෙන්නේ නම් මරු ඉඩක් ලබා ම ය, මරු අරමුණක් ලබා ම ය. ඉදින් කනිනුදු ඔහු වත … ඉදින් නැහැයෙනුදු ඔහු වෙත ... ඉදින් දිවෙනුදු ඔහු වෙත ... ඉදින් කයෙනුදු ඔහු වෙත … ඉදින් සිතෙනුදු ඔහු වෙත මාරු එළඹේ නම් මරු ඉඩක් ලබා ම ය, මරු අරමුණක් ලබා ම ය.
ඇවැත්නි, යම්සේ වියලුණු තෙත රහිත බොහෝ වස් ගණන් ගත වූ බට ගෙයක් හෝ තණ ගෙයක් හෝ වේ ද, ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණසුලකින් යුතු ව පෙරදිගිනුදු එය වෙත එළඹෙන්නේ නම්, ගින්න ඉඩක් ලබන්නේ ම ය. ගින්න අරමුණක් ලබන්නේ ම ය. ඉදින් පුරුෂයෙක් අවිළගත් තණසුලකින් යුතු ව පැසුළු දිගිනුදු එය වෙත එළඹෙන්නේ නම් ... ඉදින් උතුරු දිගිනුදු එය වෙත … ඉදින් දකුණු දිගිනුදු එය වෙත ... ඉදින් යටිනුදු එය වෙත ... ඉදින් උඩිනුදු එය වෙත ... ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණසුලකින් යුතු ව යම් කොයිනුදු එය වෙත එළඹෙන්නේ නම් ගින්න ඉඩක් ලබන්නේ ම ය. ගින්න අරමුණක් ලබන්නේ ම ය.
ඇවැත්නි, එසෙයින් ම මෙසේ වසන ඒ මහණහු වෙත ඉදින් ඇසිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් ලබා ම ය. මරු අරමුණක් ලබා ම ය. ඉදින් කනිදුනු ඔහු වෙත ... ඉදින් නැහැයෙනුදු ඔහු වෙත … ඉදින් දිවෙනුදු ඔහු වෙත … ඉදින් කයිනුදු ඔහු වෙත … ඉදින් සිතිනුදු ඔහු වෙත මරු එළඹේ නම් මරු ඉඩක් ලබා ම ය. මරු අරමුණක් ලබා ම ය. ඇවැත්නි, රූපයෝ මෙසේ වසන මහණ මැඩලූහ. මහණ රූ නො මැඩලී ය. සදහු මහණ මැඩලූහ. මහණ සද නො මැඩලූහ. ගඳහු මහණ මැඩලූහ. මහණ ගඳ නො මැඩලී ය. රසහු මහණ මැඩලූහ. මහණ රස නො මැඩලී ය. පහස්හු මහණ මැඩලූහ. මහණ පහස් නො මැඩලී ය. දහම්හු මහණ මැඩලූහ. මහණ දහම් නො මැඩලී ය.
ඇවැත්නි, මේ මහණ රුවින් මඩනා ලද්දේ සදින් මඩනා ලද්දේ ගඳින් මඩනා ලද්දේ රසින් මඩනා ලද්දේ පහසින් මඩනා ලද්දේ දහමින් මඩනා ලද්දේ යටපත් කරන ලද්දේ තෙමේ යටපත් නො කෙළේ ය යි කියනු ලැබේ. කෙලෙසුම් සහිත පුනර්‍භවය ඇතිකරන දැවිලි සහිත දුක් විපාක ඇති මතු ජාතිජරාමරණ උපදවන ලාමක අකුසල් දහම්හු ඔහු මැඩලූහ. ඇවැත්නි, මෙසේ කෙලෙස් වැගිරෙන්නේ වේ.
ඇවැත්නි, කෙසේ නම් කෙලෙස් නො වැගිරෙන්නේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි නො ඇලෙයි. නො අප්‍රිය ස්වරූප වූ රූපයෙහි නො කිපෙයි. එළඹසිටි කාගියාසිහි ඇත්තේ අප්‍රමාණ (මග) සිත් ඇත්තේ වෙසෙයි. ඔහුට උපන් අකුසල් දහම්හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ දනි.
කනින් සද අසා ... නැහැයෙන් ගඳගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ප්‍රිය ස්වරූප වූ දහම්හි නො ඇලෙයි. ප්‍රිය ස්වරූප නොවූ දහම්හි නො කිපෙයි, එළඹසිටි කාගියා සිහි ඇත්තේ අප්‍රමාණ සිත් ඇත්තේ වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනි. මහණෙනි, මේ මහණ ඇසින් දතයුතු රූපයෙහි කෙලෙස් නො වැගිරෙන්නේ … දිවෙන් දත යුතු රසෙහි කෙලෙස් නො වැගිරෙන්නේ ... සිතින් දතයුතු දහම්හි කෙලෙස් නො වැගිරෙන්නේ ය යි කියනු ලැබේ.
ඇවැත්නි, මෙසේ වසන ඒ මහණහු වෙත ඉදින් ඇසිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි. මරු අරමුණක් නො ම ලබයි. ඉදින් කනිනුදු ඔහු වෙත ... ඉදින් නැහැයෙනුදු ඔහුවෙත ... ඉදින් දිවෙනුදු ඔහු වෙත ... ඉදින් කයෙනුදු ඔහු වෙත ... ඉදින් සිතිනුදු ඔහු වෙත මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි මරු අරමුණක් නො ම ලබයි.
ඇවැත්නි, යම්සේ ඝන මැටි ඇති තෙත් මැටියෙන් ආලේප කළ කුළුගෙයක් හෝ කුළුගේ හලක් හෝ වේ ද ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණහුලකින් යුතු ව පෙරදිගිනුදු එය වෙත එළඹෙන්නේ නම් ගින්න ඉඩක් නො ම ලබන්නේ ය. ගින්න අරමුණක් නො ම ලබන්නේ ය, ඉදින් පැසුළු දිගිනුදු එය වෙත ... ඉදින් උතුරු දිගිනුදු එය වෙත ... ඉදින් දකුණු දිගිනුදු එය වෙත … ඉදින් යටිනුදු එය වෙත ... ඉදින් උඩිනුදු එය වෙත ... ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණසුලකින් යුතු ව යම් කොයිනුදු එය වෙත එළඹෙන්නේ නම් ගින්න ඉඩක් නො ම ලබන්නේය, ගින්න අරමුණක් නො ම ලබන්නේ ය.
ඇවැත්නි, එසෙයින් ම මෙසේ වසන ඒ මහණහු වෙත ඉදින් ඇසිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි. මරු අරමුණක් නො ම ලබයි … ඉදින් සිතිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි. මරු අරමුණක් නො ම ලබයි. ඇවැත්නි, මෙසේ වසන ඒ මහණ රූ මැඩලී ය. රූහු මහණ නො මැඩලූහ. මහණ සද මැඩලී ය. සදහු මහණ නො මැඩලූහ. මහණ ගඳ මැඩලී ය. ගඳහු මහණ නො මැඩලූහ. මහණ රස මැඩලී ය. රසයෝ මහණ නො මැඩලූහ. මහණ පහස් මැඩලී ය. පහස්හු මහණ නොමැඩලූහ. මහණ දහම් මැඩලී ය. දහම්හු මහණ නො මැඩලූහ.
ඇවැත්නි, මේ මහණ රූ මැඩලූයේ සද මැඩලූයේ ගඳ මැඩලූයේ රස මැඩලූයේ පහස් මැඩලූයේ දහම් මැඩලූයේ (සියල්ල) මැඩලූයේ නො මඩනා ලද්දේ කෙලෙසුන් සහිත පුනර්‍භවය ඇති කරන දැවිලි සහිත දුක්විපාක ඇති මතු ජාති ජරා මරණ උපදවන ඒ ලාමක අකුසල් දහම් මැඩලී ය යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ කෙලෙස් නො වැගිරෙන්නේ වේ යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් මහාමොග්ගල්ලාන, තෙරුන් ඇමතූ සේක. මොග්ගල්ලාන, මැනවි, මැනවි. මොග්ගල්ලාන, තෙපි මහණුන්ට කෙලෙස් වැගිරෙන්නහුගේ හේතුවත් කෙලෙස් නො වැගිරෙන්නහුගේ හේතුවත් කීහු මැනවි යි. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුණුවන්ගේ දේශනාව පිළිගත්හ යි.
1. 19. 7.
දුක්ඛධම්ම සූත්‍රය
244. මහණෙනි, මහණ යම් කලෙක සියලු ම දුක්දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි ආශාවෙක් කාමයන්හි සතුටු වීමෙක් කාමයන්හි මුසපත් වීමෙක් කාමයන්හි දැවිල්ලෙක් වේ නම් එය නො නැසී පවතී ද, එපරිද්දෙන් ඔහු විසින් කාමයෝ දක්නා ලද්දාහු වෙති. අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල්දහම්හු යම්පරිද්දකින් හැසිරෙන්නහු වෙසෙන්නහු අනුව වැගිරෙත් නම් එපරිද්දෙන් හැසිරීමත් විසීමත් ඔහු විසින් අවබෝධ කරන ලද්දේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ සියලු ම දුක් දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනි ද යත්: රූපය මෙසේ ය. රූපයේ හටගැන්ම මෙසේ ය රූපයේ අස්තඞ්ගමය මෙසේ ය. වේදනාව මෙසේ ය. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ අස්තඞ්ගමය මෙසේ ය. සඤ්ඤාව මෙසේ ය. සඤ්ඤාවේ හටගැන්ම මෙසේ ය. සඤ්ඤාවේ අස්තඞ්ගමය මෙසේ ය. සඞ්ඛාර මෙසේ ය. සඞ්ඛාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සඞ්ඛාරයන්ගේ අස්තඞ්ගමය මෙසේ ය. විඤ්ඤාණය මෙසේ ය. විඤ්ඤාණයේ හටගැන්ම මෙසේ ය. විඤ්ඤාණයේ අස්තඞ්ගමය මෙසේ ය යි. මහණෙනි, මෙසේ මහණ සියලු ම දුක්දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී.
මහණෙනි, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමූර්ඡායෙක් කාමපරිදාහයෙක් වේ නම් එය නො නැසී පවතී ද (එපරිද්දෙන්) කෙසේ නම් මහණහු විසින් කාමයෝ දක්නා ලද්දාහු වෙත් ද යත්: මහණෙනි, යම් සේ පහ වූ ගිනිසිළු ඇති පහ වූ දුම් ඇති අඟුරුවලින් පිරුණු පුරිස් පමණින් වැඩි අඟුරු වළෙක් වේ ද, එකල්හි ජීවත්වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඒ මොහු වෙන් වෙන්ව අත්හි ගෙන ඒ අඟුරුවළ කරා අදනාහු ය. හෙතෙමේ මෙසේත් මෙසේත් කය නමන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ පුරුෂයා විසින් “මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙමි යි දන්නා ලද්දේ ම වෙයි. (එහෙයිනි) මහණෙනි, එසෙයින් ම යම් පරිද්දකින් කාමයන් දක්නා වූ ඔහුට කාමයන්හි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමූර්ඡායෙක් කාමපරිදාහයෙක් වේ නම් එය නො සිඳී පවතී ද, (එපරිද්දෙන් ම) මහණහු විසින් අඟුරුවළ උපමා කොට ඇති කාමයෝ දක්නා ලද්දාහු වෙති.
මහණෙනි, අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු යම් පරිදකින් හැසිරෙන්නාහු වෙසෙන්නහු අනුව වැගිරෙත් නම් (එපරිද්දෙන්) මහණහු විසින් කෙසේ නම් හැසිරීමත් විසීමත් අවබෝධ කරන ලද්දේ වේ ද යත්: මහණෙනි, යම්සේ පුරුෂයෙක් බොහෝ කටු ඇති වනයකට පිවිසෙන්නේ ද, ඔහු ඉදිරියෙනු දු කටු වන්නේ ය. පිටිපසිනු දු කටු වන්නේ ය. උතුරෙනු දු කටු වන්නේ ය. දකුණෙනු දු කටු වන්නේ ය. යටිනු දු කටු වන්නේ ය. උඩිනු දු කටු වන්නේ ය. හෙතෙමේ කටු මා නහමක් පෙළාවා යි සිහි ඇත්තේ ම ඉදිරියට යන්නේ ය. සිහි ඇත්තේ ම පෙරළා එන්නේ ය. මහණෙනි, මෙසේ ලොව යමක් පියදෑ නම් මිහිරිදෑ නම් මෙය සස්නෙහි කටු යයි කියනු ලැබේ. එය කටු යයී මෙසේ දැන සංවරයත් අසංවරයත් දත යුත්තේ ය.
මහණෙනි, කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි ඇලේ ප්‍රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මද සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී. කනින් සද අසා … නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විඳ … කයින් පහස පැහැස …
සිතින් දහම් දැන ප්‍රිය ස්වරූප වූ දහම්හි ඇලෙයි. ප්‍රිය ස්වරූප නො වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කාගියාසිහි ඇත්තේත් මඳසිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී. මහණෙනි, මෙසේ අසංවර වේ.
මහණෙනි, කෙසේ නම් සංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූහි නො ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ රූපයෙහි නො කිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනී. කනින් සද අසා … නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විඳ … කයින් පහස් පැහැස … සිතින් දහම් දැන පියදෑ වූ දහම්හි නො ඇලෙයි. නො පිය වූ දහම්හි නො කිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිහි ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ දනී. මහණෙනි මෙසේ සංවර වේ.
මහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහට ඉදින් කිසියම් කලෙක සිහිමුළා වීමෙකින් සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු උපදිත් නම් මහණෙනි, සිහිය ඉපදීම ලස් ය. වැලි දු එය වහා ම දුරු කෙරෙයි. බැහැර කෙරෙයි. කෙළවර කෙරෙයි. නැවත නො හටගන්නාබවට පමුණුවයි.
මහණෙනි, යම්සේ පුරුෂයෙක් දහවල මුළුල්ලෙහි රත් වූ යකඩ කටාරමක දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙලන්නේ ද මහණෙනි, දියබිඳු වැටීම ලස් ය. වැලි දු එය වහා ම ගෙවීමට නැසීමට පැමිණෙන්නේ ය. මහණෙනි, එසෙයින් ම මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහට ඉදින් කිසියම් කලෙක සිහිමුළාවෙකින් සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු උපදිත් නම් මහණෙනි, සිහිය ඉපදීම ලස් ය. වැලි දු එය වහා ම දුරු කෙරෙයි. බැහැර කෙරෙයි. කෙළවර කෙරෙයි. නැවත නො හටගන්නා බවට පමුණුවයි. මහණෙනි, අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල්දහම්හු යම් පරිද්දෙකින් හැසිරෙන්නහු වෙසෙන්නහු අනුව නො වැගිරෙත් නම් (එපරිද්දෙන්) මහණහු විසින් හැසිරීමත් විසීමත් මෙසේ අවබෝධ කරන ලද්දේ වෙයි.
මහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහු ඉදින් රජහු හෝ රාජමහාමාත්‍රයෝ හෝ මිතුරෝ හෝ ඇමතියෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ “එම්බල පුරුෂය, එව කුමක් හෙයින් මේ කහවත් තාගේ සිරුර දවද් ද? කුමක් හෙයින් මුඬුව කබලක් ගෙන හැසිරෙහි ද? එව ගිහිබවට පෙරළී සම්පත් ද අනුභව කර ව පින් ද කරව යි. සම්පත් එළවා පවරන්නාහු ද, මහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළෙන්නේ ය යන මේ කරුණ නැත.
මහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, එකල්හි මහාජනසමූහයක් “අපි මේ ගඞ්ගානදිය පැසුළුදිගට නැමුණක පැසුළුදිගට නැඹුරු වූවක පැසුළුදිගට බරවූවක කරන්නෙමු යි උදලු පැසි ගෙන එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? ඒ මහජන සමූහයා ගඞ්ගා නදිය පැළදිගට නැමුණක නැඹුරු වූවක පැළදිගට බර වූවක කරන්නේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ යි. ඒ කවර හෙයින් ද: වහන්ස, ගඞ්ගානදිය පෙරදිගට නැමුණී ය. පෙරදිගට නැඹුරු වූවා ය. පෙරදිගට බර වූවා ය. එය පැළදිගට නැමුණක පැළදිගට නැඹුරු වූවක පැළදිගට බර වූවක කරන්නට සුකර නො වේ. හුදෙක් ඒ මහජන සමූහයා වෙහෙසට දුකට හිමි වන්නේ ය (එහෙයිනි යි).
මහණෙනි, එසෙයින් ම මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහු ඉදින් රජහු හෝ රජ මහඇමතියෝ හෝ මිතුරෝ හෝ ඇමතියෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ ‘එම්බල පුරුෂය, එව කුමක් හෙයින් මේ කසාවත් තොපගේ සිරුර දවා ද? කුමක් හෙයින් මුඬු ව කබලක් ගෙන හැසිරෙහි ද? ඒවා ගිහිබවට පෙරළී සම්පත් ද අනුභව කරව පින් ද කරව’ යි සම්පත් එළවා පවරන්නාහු ද? මහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණ තෙමේ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළෙන්නේ ය යන මේ කරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයකින් ඒ හිත දිගුකලක් මුළුල්ලෙහි විවේකයට නැමුණේ ය. විවේකයට නැඹුරු වූයේ ය. විවේකයට බර වූයේ ය, හෙ ද ගිහිබවට පෙරළෙන්නේ ය යන මේ කරුණ නැත යි.
1. 19. 8.
කිංසුකෝපම සූත්‍රය
245. එකල්හි එක්තරා මහණෙක් එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්‍ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?”යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ ස්පර්‍ශායතන සයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ යයි.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්‍ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?”යි මෙය කීය. ඇවැත්නි, මහණ යම් කලෙක පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ යයි.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්‍ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?” යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ සතර මහාභූතයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ යයි.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ දැ?” යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ යම් කිසිවක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේ යයි තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ යයි.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙහි මම එක්තරා මහණකු වෙත එළඹුනෙමි. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ දැ?” යි මෙය කීමි. වහන්ස, මෙසේ කී කල්හි ඒ මහණ මට මෙය කීය: “ඇවැත්නි, යම් කලෙක මහණ ස්පර්‍ශායතන සයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ඇවැත්නි, මෙපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ ය”යි.
වහන්ස, එකල්හි මම ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයෙම් එක්තරා මහණකු වෙත එළඹුනෙමි. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ දැ”යි මෙය කීමි. වහන්ස, මෙසේ කී කල්හි ඒ මහණ මට මෙය කීය: “ඇවැත්නි, යම් කලෙක මහණ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ... සතර මහාභූතයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ... යම් කිසිවක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේ ය” යි තතුසේ දනී ද, ඇවැත්නි, මෙපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ යයි.
වහන්ස, එකල්හි මම ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයෙම් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. වහන්ස, කෙතෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ දැ? යි.
මහණ, යම්සේ පුරුෂයකු විසින් කෑලගස නුදුටුවිරූ වන්නේ ද, හෙතෙමේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාට “පින්වත් පුරුෂය, කෑලගස කෙබඳු දැ?”යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ එම්බල පුරුෂය, “කෑලගස දාගිය කණුවක් මෙන් කළු ය”යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය.
මහණ, එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාට පින්වත් පුරුෂය ‘කෑලගස කෙබඳු දැ?’යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ එම්බල පුරුෂය, කෑලගස මස්වැදැල්ලක් මෙන් ලෙහෙවන්ය යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැකුම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය.
මහණ, එකල්හි ඒ පුරුෂ තෙමේ එ පුරුෂයාගේ පැනවිසඳීමෙන් නො සතුටු වූයේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාට ‘පින්වත් පුරුෂය, කෑලගස කෙබඳු දැ?’යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ‘එම්බල පුරුෂය, කෑලගස මහරි ගසක් මෙන් පැලුණු කරල් ඇත්තේ ගැලවුණු පොතු ඇත්තේ ය’යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැකුම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය.
මහණ, එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ පැන විසඳීමෙන් නො සතුටු වූයේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාහට පින්වත් පුරුෂය, කෑලගස කෙබඳු දැ? යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ‘එම්බල පුරුෂය, කෑලගස නුගරුකක් මෙන් ගනසෙවණ ඇත්තේ ය’යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැක්ම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය. මහණ, එසෙයින් ම යම් යම් පරිදි අවබෝධ කරන ලද ඒ සත්පුරුෂයන්ගේ දැක්ම සුපිරිසිදු වී නම් ඒ ඒ සත්පුරුෂයන් විසින් ඒ ඒ පරිද්දෙන් පවසන ලද්දේ ය.
මහණ, යම්සේ රජකුගේ දැඩි පවුරුපදනම් ඇති දැඩි උපකාරිකා ඇති දැඩි පව්රුතොරන් ඇති සදොරක් ඇති පසල් නුවරෙක් වේ ද, එහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති නො හඳුනන්නවුන් වලක්වන හඳුනන්නවුන් පිවිසවන දොරටුපල්ලෙක් වන්නේ ය. ශීඝ්‍රගමන් ඇති දූත යුවළක් පෙරදිගින් අවුත් ඒ දොරටුපල්ලාට “එම්බල පුරුෂය, මේ නුවර නුවරහිමියා කොහි දැ?” යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ස්වාමීනි, මෙතෙමේ මැද සිවුමංසලෙහි හුන්නේ යයි මෙසේ කියන්නේ ය.
එකල්හි ඒ ශීඝ්‍රදූත යුවල නුවරහිමියාට වූපරිදි වචනය පවරා දී ආ මගට පිළිපදනේ ය. ශීඝ්‍රදූතයුවළක් පැළදිගින් අවුත් ... ශීඝ්‍රදූතයුවළක් උතුරුදිගින් අවුත් … ශීඝ්‍රදූතයුවළක් දකුණුදිගින් අවුත් ඒ දොරටුපල්ලාට “එම්බා පුරුෂය, මෙනුවර නුවරහිමියා කොහි දැ?” යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ස්වාමීනි , මේ තෙමේ මැද සිවුමංසලෙහි හුන්නේ යයි මෙසේ කියන්නේ ය. එකල්හි ඒ ශීඝ්‍රදූතයුවළ නුවරහිමියාට වූපරිදි වචනය පවරා දී ආ මගට පිළිපදනේ ය.
මහණ, අරුත ඇඟවීම පිණිස මා විසින් මේ උපමාවක් කරන ලදී. මේ මෙහි අරුත යි. මහණ, නුවරය යනු මවුපියන්ගෙන් හටගත් බතින් හා කොමුපිඬුයෙන් වැඩුණු අනිස වූ ඉලීම පිරිමැදීම බිදීම වැනසීම ස්වභාව කොට ඇති සතර මහාභූතමය වූ මේ සිරුරට තෙල නමෙකි. මහණ, සදොර ය යනු අධ්‍යාත්මික ෂඩායතනයට මේ නමෙකි. මහණ, දොරටුපල්ලා ය යනු සිහියට මේ නමෙකි . මහණ, ශීඝ්‍රදූත යුවළය යනු සමථවිදර්‍ශනාවන්ට මේ නමෙකි. මහණ, නුවරහිමියා යනු විඤ්ඤාණයට මේ නමෙකි. මහණ, මැද සිවුමංසලය යනු පඨවිධාතුවට ද ආපෝධාතුවට ද තේජෝධාතුවට ද වායොධාතුවට ද යන සතර මහාභුතයන්ට මේ නමෙකි. මහණ, වූපරිදි වචනය යනු නිවනට මේ නමෙකි. මහණ, ආ මග ය යනු අරීඅටඟිමගට එනම් සම්මාදිට්ඨියට ද … සම්මසමාධියට ද මේ නමෙකි යි.
1. 19. 9.
වීණොපම සූත්‍රය
246. මහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි සිතේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ දෝසයෙක් හෝ මෝහයෙක් හෝ පටිඝයෙක් හෝ උපදනේ නම් එයින් සිත වළක්වන්නේ ය. මේ මඟ බිය සහිත ද ප්‍රතිභය සහිත ද කටු සහිත ද ගහන සහිත ද නොමගෙක් ද නපුරු මඟෙක් ද දුක්පැවතුම් ඇත්තෙක් ද වෙයි. මේ මඟ අසත්පුරුෂයන් විසින් සෙවුනා ලද්දේ ය. මේ මඟ සත්පුරුෂයන් විසින් නො ද සෙවුනා ලද්දේ ය. තෙපි මෙයට නුසුදුස්සහු යයි ඒ ඇසින් දත යුතු රූපයන්ගෙන් සිත වළක්වන්නේ ය.
මහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ කනින් දත යුතු සදෙහි ... නැහැයෙන් දත යුතු ගඳෙහි ... දිවින් දත යුතු රසෙහි ... කයින් දත යුතු පහස්හි ... සිතින් දත යුතු දහම්හි සිතේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ දෝසයෙක් හෝ මෝහයෙක් හෝ පටිඝයෙක් හෝ උපදනේ නම් එයින් සිත වළක්වන්නේ ය. මේ මඟ බිය සහිත ද පටිහය සහිත ද කටු සහිත ද ගහන සහිත ද නොමඟෙක් ද නපුරුමඟෙක් ද දුක් පැවතුම් ඇත්තෙක් ද වේ. මේ මඟ අසත්පුරුෂයන් විසින් නො ද සෙවුනා ලද්දේ ය. තෙපි මෙයට නුසුදුසු වහු යයි ඒ සිතින් දත යුතු දහමින් සිත වළහන්නේ ය.
මහණෙනි, යම්සේ සරු ගොයමෙක් වේ ද ගොයම රක්නාත් පමා වූයේ වේ ද, ගොයම් කන ගොණෙක් ඒ ගොයමට බැස ඇතිතාක් මදයට පැමිණෙන්නේ ය. මහණෙනි, එසෙයින් ම අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ ස්පර්‍ශායතන සයෙහි සංවර රහිත වූයේ පඤ්චකාමගුණයන් හි ඇතිතාක් මදයට පැමිණෙයි. මහණෙනි, යම්සේ සරුගොයමෙක් වේ ද, ගොයම රක්නාත් නො පමා වූයේ ද, ගොයම් කන ගොණෙක් ඒ ගොයමට බස්නේ ය. ගොයම රක්නා තෙල ගොනු නැහැයෙහි දැඩි කොට ගන්නේ ය. නැහැයෙහි දැඩිකොට ගෙන දෙ අං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළන්නේ ය. දෙ අං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළා දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළන්නේ ය. දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළා හැර දමන්නේ ය.
මහණෙනි, දෙවන වට දු ... මහණෙනි, තෙවනවට දු ගොයම් කන ගොණා ඒ ගොයමට බස්නේ ය. ගොයම රක්නා තෙල ගොනු නැහැයෙහි දැඩි කොට ගන්නේ ය. නැහැයෙහි දැඩි කොට ගෙන දෙඅං අතරෙහි දැඩි පෙළුම් කොට පෙළන්නේ ය. දෙඅං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළා දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළන්නේ ය. දණ්ඩෙකින් දැඩිතැළුම් කොට තළා හැර දමන්නේ ය. මහණෙනි, මෙසේ ඒ ගොයම් කන ගොණා ගමකට ගියේ හෝ අරණකට ගියේ හෝ සිටුම් බහුල කොට ඇත්තේ හිඳුම් බහුල කොට ඇත්තේ වන්නේ ය. ඒ පළමු දඬුපහස ම සිහි කරනුයේ ඒ ගොයමට නැවත නො බස්නේ ය. මහණෙනි, එසෙයින් ම යම්කලෙක මහණහුගේ සිත ස්පර්‍ශායතන සයෙහි තර්‍ජනය කරන ලද්දේ දැඩිසේ තර්‍ජනය කරන ලද්දේ වේ ද, (එකල්හි) ඇතුළත සිටියි, හිඳියි, එකඟවෙයි, සමාධිගත වෙයි.
මහණෙනි, යම්සේ රජකු විසින් හෝ රාජමහාමාත්‍රයකු විසින් හෝ වීණාවෙහි හඬ නො ඇසූවිරූ වන්නේ ද හෙතෙමේ වීණාහඬක් අසන්නේ ය. හෙතෙමේ පින්වත්නි, මෙසේ ඇලුම් කට යුතු මෙසේ කැමති වියයුතු මෙසේ මදයට කරුණු වූ මෙසේ මුළාවට කරුණු වූ මෙසේ බැඳීමට කරුණු වූ මේ හඬ කුමක් දැ? යි මෙසේ කියන්නේ ය. ඒ මොහුට ස්වාමීනි, යමෙක වූ මේ හඬ මෙසේ ඇලුම් කටයුතු මෙසේ කැමති වියයුතු මෙසේ මදයට කරුණු මෙසේ මුළාවට කරුණු මෙසේ බැඳීමට කරුණු වේ නම් මෙය වීණා නමැ යි.
හෙතෙමේ පින්වත්නි, යවු ඒ වීණාව මට ගෙනෙවු යයි මෙසේ කියන්නේ ය. ඔහුට ඒ වීණාව ගෙන එන්නාහු ය. ඒ මොහුට ස්වාමීනි, මෙසේ ඇලුම් කටයුතු මෙසේ කැමති විය යුතු මෙසේ මදයට කරුණු වූ මෙසේ මුළාවට කරුණු වූ මෙසේ බැඳීමට කරුණු වූ මේ හඬ යමක නම් මේ ඒ වීණාව යයි මෙසේ කියන්නාහු ය.
හෙතෙමේ භවත්නි, ඒ වීණාවෙන් මට කම් නැත ඒ හඬ ම මට ගෙන එවු යයි මෙසේ කියන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: ස්වාමීනි, මේ වීණාව නම් නොයෙක් උපකරණ ඇත්තකි. බොහෝ උපකරණ ඇත්තකි. නොයෙක් උපකරණවලින් අරඹන ලද්දේ හඬ නගයි. එනම්: දෙණත් නිසා සමත් නිසා දණ්ඩත් නිසා උපවීණයත් නිසා තතුත් නිසා කඩිප්පුත් නිසා පුරුෂයාගේ ඊට සුදුසු වෑයමත් නිසා ය. ස්වාමීනි, මෙසේ මේ වීණාව නම් නොයෙක් උපකරණ ඇත්තකි.
බොහෝ උපකරණ ඇත්තකි. නොයෙක් උපකරණවලින් අරඹන ලද්දේ හඬ නඟා යි. හෙතෙමේ ඒ වීණාව දසකඩක් කොට හෝ සියක් කඩක් කොට හෝ පළන්නේ ය. දසකඩක් කොට හෝ සියක් කඩක් කොට හෝ එය පළා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුළඟෙහි හෝ පිඹ හරින්නේ ය. සැඩදියපහර ඇති ගඟක හෝ පාකොට හරින්නේ ය.
හෙතෙමේ මෙසේ කියන්නේ ය. පින්වත්නි, මේ වීණාව නම් ලාමක ය. වීණා නම් වෙනත් යම් කිසිවකුත් වේ නම් එයත් මෙබඳු ය. මෙහිදු මේ ජන තෙමේ වේලාව ඉක්මවා පමා වූයේ ඇලුනේ යයි. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ රූපයේ ගති යම්තාක් ද ඒ තාක් රූපය සොයයි. වේදනාවේ ගති යම්තාක් ද ඒතාක් වේදනාව සොයයි. සංඥාවේ ගති යම්තාක් ද ඒතාක් සංඥාව සොයයි. සංස්කාරයන්ගේ ගති යම්තාක් ද ඒතාක් සංස්කාර සොයයි. විඥානයාගේ ගති යම්තාක් ද ඒ තාක් විඥානය සොයයි. රූපයේ ගති ඇති තාක් රූපය සොයන ඔහුට වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානයේ ගති ඇති තාක් විඥානය සොයන ඔහුට “මම ය”යි හෝ “මාගේ ය”යි හෝ “වෙමි”යි හෝ ඒ යමකුත් වේ නම් එය ද ඔහුට නො වේ යි.
1. 19. 10.
ඡප්පාණක සූත්‍රය
247. මහණෙනි, යම්සේ වණසහිත සිරුරු ඇති පැස වූ සිරුරු ඇති පුරුෂයෙක් කටුවනයකට පිවිසෙන්නේ ද කුසකටු දා ඔහුගේ පා විදුනේ ය. කටු සහිත පත් ද සිරුරු සූරන්නේ ය. මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමේ ඒ හේතු කොට ගෙන දුක් දොම්නස් විඳුනේ ය. මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ගමකට ගියේ හෝ අරණකට ගියේ හෝ “ඒ මේ ආයුෂ්මත් තෙමේත් මෙසේ කරන්නේ මෙබඳු හැසුරුම් ඇත්තේ අපිරිසිදු ගම්කටුවකැ”යි නුගුණ කියන්නකු ලබයි. ඔහු කටුවකැ යි මෙසේ දැන සංවරය ද අසංවරය ද දත යුත්තේ ය.
මහණෙනි, කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මඳ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.
කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන පියදෑ වූ දහම්හි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මඳ සිත් ඇත්තේත් වෙසෙයි, ඔහුට උපන් ලාමක අකුසල්දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.
මහණෙනි, යම්සේ පුරුෂයෙක් වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා සතුන් සදෙනකුන් ගෙන දැඩි රැහැනකින් බඳනේ ද; නයකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. කිඹුලකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. පක්‍ෂියකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. ශුනකයකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. සිවලකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. වඳුරකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. දැඩි රැහැනකින් බැඳ මැද ගැටයක් කොට අත්හරනේ ය. මහණෙනි, එකල්හි වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා ඒ සත්තු සදෙන සිය සිය ගොදුරුබිම් හා වෙසෙන තැන් කරා අදනාහ.
තුඹසට පිවිසෙන්නෙමි යි නයා අදනේ ය. දියට පිවිසෙන්නෙමි යි කිඹුලා අදනේ ය. අහසට නගින්නෙමි යි පක්‍ෂියා අදනේ ය. ගමට පිවිසෙන්නෙමි යි ශුනකයා අදනේ ය. සොහොනට පිවිසෙන්නෙමි යි සිවලා අදනේ ය. වනයට පිවිසෙන්නෙමි යි වඳුරා අදනේ ය. මහණෙනි, යම් කලෙක ඒ සත්තු සදෙන වෙහෙසට පත් වූවෝ ක්ලාන්ත වූවෝ වන්නාහු ද, එකල්හි ඔවුනතුරෙන් යමෙක් ඉතා බලවත් වන්නේ නම් ඔහු ඔහුට අනුව පවත්නාහු ය. අනුව යන්නාහු ය. වයසට පැමිණෙන්නාහු ය.
මහණෙනි, එසෙයින් ම යම්කිසි මහණකු විසින් කාගියාසිහිය නො වඩනා ලද නම් පුනපුනා නොවඩනා ලද නම් ඇස ඔහු මනවඩනා රූහි අදියි. නො මනවඩනා රූ ඔහුට පිළිකුල් වේ. කන මනවඩනා සදෙහි අදී. නො මනවඩනා සද ඔහුට පිළිකුල් වේ. නැහැය මනවඩනා ගඳෙහි අදී. නො මනවඩනා ගඳ ඔහුට පිළිකුල් වේ. දිව මනවඩනා රසෙහි අදී. නො මනවඩනා රස ඔහුට පිළිකුල් වේ. කය මනවඩනා පහස්හි අදී. නො මනවඩනා පහස් ඔහුට පිළිකුල් වේ. සිත මනවඩනා දහම්හි අදියි. නො මනවඩනා දහම් ඔහුට පිළිකුල් වේ. මහණෙනි, මෙසේ අසංවර වේ.
මහණෙනි, කෙසේ නම් සංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි නො ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ රූපයෙහි නො කිපෙයි. එළඹසිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඳාවත් තතුසේ දනී.
කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ … කයින් පහස් පැහැස සිතින් දහම් දැන ප්‍රියස්වරූප වූ දහම්හි නො ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ දහම්හි නො කිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනී.
මහණෙනි, යම්සේ පුරුෂයෙක් වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා සතුන් සදෙනකුන් ගෙන දැඩි රැහැනින් බඳනේ ද, නයකු ගෙන දැඩි රැහැනින් බඳනේ ය. කිඹුලකු ගෙන ... පක්‍ෂියකු ගෙන ... ශුනකයකු ගෙන… සිවලකු ගෙන … වඳුරකු ගෙන දැඩි රැහැනින් බඳනේ ය. දැඩිරැහැනින් බැඳ දැඩි හුලක හෝ ටැඹෙක හෝ බැඳ තබන්නේ ය.
මහණෙනි, එකල්හි වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා ඒ සතුන් සදෙන සිය සිය ගොදුරුබිම් හා වෙසෙන තැන් කරා අදනාහු ය. තුඹසට පිවිසෙන්නෙමි යි නයා අදනේ ය. දියට පිවිසෙන්නෙමි යි කිඹුලා අදනේ ය. අහසට නගින්නෙමි යි පක්‍ෂියා අදනේ ය. ගමට පිවිසෙන්නෙමි යි ශුනකයා අදනේ ය, සොහොනට පිවිසෙන්නෙමි යි සිවලා අදනේ ය. වනයට පිවිසෙන්නෙමි යි වඳුරා අදනේ ය. මහණෙනි, යම් කලෙක ඒ සත්තු සදෙන වෙහෙසට පත් වූවෝ ක්ලාන්ත වූවෝ වන්නාහු ද එකල්හි ඒ උල ම හෝ ටැඹ ම වෙත සිටිනාහ, හිඳිනාහ, භෝනාහ, වයසට යන්නාහ.
මහණෙනි, එසෙයින් ම යම්කිසි මහණකු විසින් කාගියා සිහිය වඩන ලද්දේ පුනපුනා වඩන ලද්දේ වේ නම් ඇස ඔහු මනවඩන රූහි නො අදී. නො මනවඩනා රූ ඔහුට පිළිකුල් නො වේ. කන නො අදී ... නැහැය නො අදී ... දිව නො අදී … කය නො අදී … සිත මනවඩනා දහම්හි නො අදී. නො මනවඩනා දහම් ඔහුට පිළිකුල් නො වේ. මහණෙනි, මෙසේ සංවර වේ.
මහණෙනි, දැඩි හුලෙහි හෝ ටැඹෙහි හෝ යනු කාගියා සිහියට මේ නමෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මිය යුතු යි: “අප විසින් කාගියා සිහිය වඩන ලද්දේ පුනපුනා වඩන ලද්දේ යානාවක් මෙන් කරන ලද්දේ වාස්තුවක් මෙන් කරන ලද්දේ එළඹසිටියක් කරන ලද්දේ පුරුදු කරන ලද්දේ මැනවින් අරඹන ලද්දේ වන්නේ ය”යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
1. 19. 11.
යවකලාපී සූත්‍රය
248. මහණෙනි, යම්සේ යවමිටියක් සිවුමංසලක දමන ලද්දේ වන්නේ ද එකල්හි පුරුෂයෝ සදෙනෙක් කත්ලී ගත් අත් ඇති ව පැමිණෙන්නාහ. ඔහු ඒ යවමිටිය කත්ලී සයෙන් තළන්නාහ. මහණෙනි, මෙසේ ඒ යවමිටිය කත්ලී සයෙන් තළනු ලබන්නේ මැනවින් තළන ලද්දේ වන්නේ ය. එකල්හි කත්ලීයක් ගත් අත් ඇති සත්වන පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළන්නේ ය. මහණෙනි, මෙසේ ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළනු ලබන්නේ අතිශයින් ම මැනවින් තළන ලද්දේ වන්නේ ය.
මහණෙනි, එසෙයින් ම අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මනවඩන නො වඩන රූ විසින් ඇසෙහි පෙළේ. මනවඩන නො වඩන සද විසින් කනෙහි පෙළේ. මනවඩන නො වඩන ගඳ විසින් නැහැයෙහි පෙළේ. මනවඩන නො වඩන රස විසින් දිවෙහි පෙළේ. මනවඩන නො වඩන පහස් විසින් කයෙහි පෙළේ. මනවඩන නො වඩන දහම් විසින් සිතෙහි පෙළේ.
මහණෙනි, ඉදින් ඒ අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මතු පුනර්‍භවය පිණිස සිතා නම් මහණෙනි, මෙසේ ඒ හිස් පුරුෂ තෙමේ අතිශයින් ම මැනවින් පෙළන ලද්දේ වේ. මහණෙනි, ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළනු ලබන්නේ යම්සේ නම් එමෙනි.
මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයෙක් එළඹසිටියේ විය: මහණෙනි, එකල්හි වේපචිත්ති අසුර රජ අසුරයන් ඇමතී ය: “නිදුකාණෙනි, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් එළඹ සිටි කල්හි ඉදින් අසුරයෝ දිනන්නාහු නම් දෙවියෝ පරදින්නාහු නම් ඒ සක්දෙව් රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ අසුරපුරයෙහි මා වෙත ගෙන එන්නහු ය”යි. මහණෙනි, සක්දෙව්රජ ද තව්තිසා දෙවියන් ඇමතී ය: “නිදුකාණෙනි, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් එළඹ සිටි කල්හි ඉදින් දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් ඒ වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ සුදම්දෙව්සෙබෙහි මා වෙත ගෙන එන්නහු ය” යි. මහණෙනි, ඒ යුද්ධයෙහි දී දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ සුදම් දෙව්සෙබෙහි සක්දෙව් රජු වෙත ගෙන ආහ. මහණෙනි, එහි වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බඳනා ලද්දේ වෙයි. මහණෙනි, යම්කලෙක වේපචිත්ති අසුර රජහට “දෙවියෝ දැහැමියහ. අසුරයෝ නො දැහැමියහ. මම දැන් මෙහි දී ම දෙව්පුරයට යෙමි”යි මෙබඳු සිතෙක් වේ ද, එකල්හි ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් මිදුණු තමා දකී. දෙව්මුවා වූ පස්කම් ගුණයෙන් පිණාගියේ යුතු වූයේ ඉඳුරන් පිණවයි.
මහණෙනි, යම්කලෙක වේපචිත්ති අසුර රජහට “අසුරයෝ දැහැමියහ, දෙවියෝ නො දැහැමියහ, දැන් මම එහි ම අසුරපුරයට යන්නෙමි”යි මෙබඳු සිතෙක් වේ ද එකල්හි ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බඳනා ලද තමා දකී. දෙව්මුවා පස්කම් ගුණෙන් පිරිහෙයි. මහණෙනි, වේපචිත්ති බැඳුම් මෙසේ සියුම් ය. මරබැඳුම එයින් අතිශයින් සියුම් ය. මහණෙනි, (තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන්) හඟනේ මරු විසින් බඳනා ලද්දේ ය. නො හඟනේ මරුගෙන් මිදුණේ ය.
මහණෙනි, ‘වෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘මේ මම වෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘නොවන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යි යන යන මෙය මඤ්ඤනාවෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යි යන යන මෙය මඤ්ඤනාවෙකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. මහණෙනි, මඤ්ඤනාව රෝගයෙකි. මඤ්ඤනාව ගඩෙකි. මඤ්ඤනාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මඤ්ඤනා රහිත සිතින් යුතු ව වෙසෙන්නෙමු යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු යි.
මහණෙනි, ‘වෙමි’ යි යන මෙය ඉඤ්ජිත (කම්පන) යෙකි. ‘මේ මම වෙමි’යි යන මෙය ඉඤ්ජිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘නො වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. නො මැ සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. මහණෙනි, ඉඤ්ජිතය රෝගයෙකි. ඉඤ්ජිතය ගඩෙකි. ඉඤ්ජිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා ඉඤ්ජිතය රහිත සිතින් යුතු ව වෙසෙන්නෙමු යි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
මහණෙනි, ‘වෙමි’ යි යන මෙය ඵන්‍දිතයෙ (සැලීමෙ) කි. ‘මේ මම වෙමි’යි යන මෙය ඵන්‍දිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘නො වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘රූ ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘රූ නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. මහණෙනි, ඵන්‍දිතය ලෙඩකි. ඵන්‍දිතය ගඩෙකි. ඵන්‍දිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා නො සැලෙන සිතින් යුතු ව වෙසෙන්නෙමු යි මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි.
මහණෙනි, ‘වෙමි’ යි යන මෙය පපඤ්චිතයෙ (පමාවෙ) කි. ‘මේ මම වෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. “නො වන්නෙමි” යන මෙය පපඤ්චිතයෙකි. ‘රූ ඇත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘රූ නැත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘නො මැ සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. මහණෙනි, පපඤ්චිතය ලෙඩකි. පපඤ්චිතය ගඩෙකි. පපඤ්චිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා නො පමාවෙහි ඇලුණු සිතින් යුතු ව වසන්නෙමු යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
මහණෙනි, ‘වෙමි’යි යන මෙය මානයෙකි. ‘මේ මම වෙමි’ යන මෙය මානයකි. ‘වන්නෙමි’ යි යන මෙය මානයෙකි. ‘නොවන්නෙමි’ යන මෙය මානයෙකි. ‘රූ ඇත්තෙක් වන්නෙමි’ යන මෙය මානයකි. ‘රූ නැත්තෙක් වන්නෙමි’යි යන මෙය මානයකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය මානයකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය මානයකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය මානයකි. මහණෙනි, මේ මානය ලෙඩකි. තෙල මානය ගඩෙකි. මේ මානය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා පහ වූ මාන ඇති සිතින් යුතු ව වසන්නෙමු යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
ආසිවිස වර්‍ගය නවවැනියි.
එහි සූත්‍රනාමාවලිය:
අසිවිසෝපම ය, රථුපමය, කුම්මොපමය, දාරුක්ඛන්‍ධොපම සූත්‍ර දෙක ය, අවස්සුතපරියාය ය, දුක්ඛධම්ම ය, කිංසුකෝපම ය, වීණොපම ය, ඡප්පාණක ය යවකලාපී සූත්‍රය ද යන මෙයින් වර්‍ගය වේ.
සිවුවැනි පණ්ණාසකය නිමියේය.
එහි වර්‍ගනාමාවලිය:
නන්‍දික්ඛය ය, සට්ඨිනය ය, සමුද්දය, අසිවිස වර්‍ගයෙන් දැ යි මොහු නිපාතයන්හි චතුත්‍ථපණ්ණාසකයෙහි වර්‍ගයෝ යයි ප්‍රකාශ කරන ලදහ.
2. වේදනා සංයුත්තය
1. සගාථා වර්‍ගය
1. 20. 1.
සමාධි සූත්‍රය
249. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, මේ වේදනා තුන යි.
සමාධිගත වූ මනා නුවණැති බුද්ධශ්‍රාවක තෙමේ වේදනාවත් දනී. වේදනාවන්ගේ සමුදයයත් දනී. මේ වේදනාවෝ යම් තැනෙක නිරුද්ධ වෙත් ද ඒ නිවනත් ඒ වේදනා නැසීමට යන මගත් (දනී) මහණ තෙමේ වේදනාවන් ක්‍ෂය වීමෙන් තුෂ්ණා නැත්තේ පිරිනිවියේ යි.
1. 20. 2.
සුඛ සූත්‍රය
250. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, වේදනා තුන යි.
සුව වූ ද ඉදින් දුක් වූ ද නොදුක්නොසුව වූ ද තමා කෙරෙහි වූ ද පිටත්හි වූ ද, යම්කිසි වේදනාවක් වේ නම්නැ සේන සුලු බිඳෙන සුලු මෙය දුක යයි දැන නුවණින් පැහැස පැහැස වැය දක්නේ මෙසේ එහි නො ඇලේ යි.
1. 20. 3.