ඇවැත්නි ඇස හෝ රූපයනට සංයෝජන වී නම් රූපය හෝ ඇසට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ ය. ඇවැත්නි යම් හෙයකින් ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ ...
ඇවැත්නි දිව හෝ රසයනට සංයෝජන වී නම් රස හෝ දිවට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනේ. යම් හෙයකින් දිව රසයනට සංයෝජන නො වේ ද, රස දිවට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනෙයි. ...
ඇවැත්නි සිත හෝ දහමුන්ට සංයෝජන වී නම් දහම් හෝ සිතට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනේ. ඇවැත්නි යම් හෙයෙකින් සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ.
ඇවැත්නි යම්සේ ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද ... දිව රසයනට සංයෝජන නො වේ ද ... සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, ඒ මෙය මෙනයෙනුදු දත යුතු යි.
ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේට ඇස ඇත් ම ය. භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූ දකිති. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ මැනැවින් මිදුණු සිත් ඇති සේක … ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේට දිව ඇත්ම ය. භාග්‍යවතුන් වහන්සේ දිවින් රස විඳිති. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ මැනැවින් මිදුණු සිත් ඇති සේක ... ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේට සිත ඇත් ම ය. භාග්‍යවතුන් වහන්සේ සිතින් දහම් දනිති. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ මැනැවින් මිදුණු සිත් ඇති සේක.
ඇවැත්නි යම් සේ ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද ... දිව රසයනට සංයෝජන නො වේ ද, රස දිවට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, ... සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, ඒ මෙය මෙ නයෙනුදු දතයුතු යි.
1. 18. 6.
කාමභූ සූත්‍රය
233. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ ද කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ සවස්වේලෙහි විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටුවූහ. සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ:
ඇවැත්නි ආනන්‍දයෙනි, කිමෙක් ද ඇස රූපයනට සංයෝජන ද, රූපය ඇසට සංයෝජන ද, ... දිව රසයනට සංයෝජන ද, රස දිවට සංයෝජන ද, ... සිත දහමුන්ට සංයෝජන ද, දහම් සිතට සංයෝජන දැ යි.
ඇවැත්නි කාමභූවෙනි, ඇස රූපයනට සංයෝජන නො වේ. රූපය ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ ... සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
ඇවැත්නි, කළුගෝනෙකුත් සුදුගොනෙකුත් එක්දමකින් හෝ යොතෙකින් හෝ යම්සේ ඈඳන ලද්දාහු වෙද්ද, කළුගෝනා සුදුගොනාගේ බැඳුම ය, සුදුගොනා කළුගොනාගේ බැඳුම යයි යමෙක් මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනැවින් කියන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි කළුගෝනා සුදුගොනාගේ බැඳුම නො වේ. සුදුගොන් කළුගොනුගේ බැඳුම නො ද වේ. යම් එක් දමකින් හෝ යොතකින් හෝ ඔහු ඈඳන ලද්දාහු නම් එය එහි බැඳුම යි.
ඇවැත්නි එසෙයින් ම ඇස රූපයන ට සංයෝජන නො වේ. රූ ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ … සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
1. 18. 7.
උදායී සූත්‍රය
234. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් උදායී තෙරණුවෝ ද කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ:
ඇවැත්නි ආනන්‍දයෙනි, “මෙ කරුණෙනිදු මේ කය අනත් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන්අයුරින් වදාරන ලද ද, විතර කරන ලද ද, එපරිදෙන් ම මෙකරුණෙනුදු මේ විඥානය අනත් ය යි මේ විඥානය ද කියන්නට දෙසන්නට පනවන්නට පිහිටුවන්නට විතර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැක්කේ දැ” යි.
ඇවැත්නි උදායීනි, “මෙකරුණෙනුදු මේ කය අනත් යයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන් අයුරින් වදාරන ලද ද, විතර කරන ලද ද, පවසන ලද ද, එපරිද්දෙන් ම මෙ කරුණෙනුදු මේ විනැණත් අනත් ය යි මේ විනැණ ද කියන්නට දෙසන්නට පනවන්නට පිහිටුවන්නට විතර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැක්කේ ය” යි.
ඇවැත්නි ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී දැ යි. ඇවැත්නි එසේ යයි. ඇවැත්නි චක්ඛුවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි චක්ඛුවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ මැ යි. ඇවැත්නි “මේ නයෙනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම ය” යි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය ...
ඇවැත්නි දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී දැ යි. එසේ ය ඇවැත්නි යි. ඇවැත්නි ජිව්හාවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි ජිව්හාවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි මේ නයෙනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම යයි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය ...
ඇවැත්නි “සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී දැ”යි. එසේ ය ඇවැත්නි යි. ඇවැත්නි මනෝවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි මනෝවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි මේ නයෙනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම ය යි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය.
ඇවැත්නි යම්සේ හර කැමති හර සොයන හර සෙවුම කරන පුරුෂයෙක් තියුණු කෙටේරියක් ගෙන වනයට පිවිසෙන්නේ ද, හේ එහි ඇද නැති අලුත් නොපීදුනු මහත් කෙසෙල් කඳක් දක්නේ ය. ඒ මෙය මුල සිඳින්නේ ය. මුල සිඳ අග සිඳින්නේ ය. අග සිඳ පත්වැටි ගලවන්නේ ය. හෙතෙමේ එහි එලය වත් නො ලබන්නේ ය. හර කොයින් ද?
ඇවැත්නි එසෙයින් ම මහණ ස්පර්‍ශායතන සයෙහි තමා නො ම දකී. තමා අයත් දැයක් නො ම දකී. හේ මෙසේ නො ම දක්නේ ලොව කිසිවක් නො ගනී. නො ගන්නේ නො තැතිගනී. නො තැතිගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ජාති ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ බැව් පිණිස අනෙකක් නැත යි දැනගනී යි.
1. 18. 8.
ආදිත්තපරියාය සූත්‍රය
235. මහණෙනි තොපට ආදිත්තපරියාය නම් වූ දහම්නය දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි ආදිත්තපරියාය නම් වූ දහම්නය කවරේ ද යත්: මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත රත් වූ අයශ්ශලාකායෙකින් චක්ඛුන්‍ද්‍රියය පිරිමදනා ලද්දේ මැනවි. ඇස්විනැණින් දතයුතු රූහි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො ම මැනවි. නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගතිදෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු යහුලකින් සෝතින්‍ද්‍රියය පිරිමදනා ලද්දේ මැනවි. කනින් දතයුතු ශබ්දයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිතිගැනීම නො ම මැනවි. මහණෙනි නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන්යෝනියත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු නියනෙකින් ඝානින්‍ද්‍රියය පහස්නා (නැහැය ගලවා දමන) ලද්දේ මැනවි. නැහැයෙන් දතයුතු ගන්‍ධයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො මැ මැනවි. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු කරෙකින් ජිව්හින්‍ද්‍රිය පහස්නා (දිව කපන) ලද්දේ මැනවි. දිවින් දතයුතු රසයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො ම මැනවි. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන්යෝනියත් යන ගතිදෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු සැතෙකින් කායින්‍ද්‍රියය පහස්නා (කයසැසදමන) ලද්දේ මැනවි. කයින් දතයුතු පහස්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො ම මැනවි. මහණෙනි නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුනා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන්යෝනියත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
මහණෙනි නින්දට බැසගැනීම මැනවි. මහණෙනි නින්දට බැසගැනීම ජීවිතයන්ගේ වඳබව යයි මම කියමි. ජීවිතයන්ගේ විඵලබව යයි කියමි. ජීවිතයන්ගේ මුළාබව යයි කියමි. යම්බඳු විතර්‍කයන්ගේ වසයට පැමිණියේ සඞ්ඝයා බිඳින්නේ නම් එබඳු විතර්‍කයන් නො ම විතර්‍කණය කරන්නේ ය. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
මහණෙනි එහි ලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ නුවණින් සලකයි. ඇවිලාගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත රත් වූ යලාකයෙකින් ඇස පහස්නා ලැබීම තිබේවා. ඒකාන්තයෙන් මම මෙසේ ඇස අනිස ය. රූ අනිස ය. ඇස්විනැණ අනිස ය. ඇස්පහස අනිස ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි මෙය ම මෙනෙහි කරමි.
ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු යහුලකින් කන පහස්නා ලැබීම තිබේවා. එකත්නෙන් මම මෙසේ ශ්‍රෝතය අනිත්‍ය ය, ශබ්දයෝ අනිත්‍යයහ, සෝතවිඤ්ඤාණය අනිත්‍ය ය, සෝතසම්ඵස්සය අනිත්‍ය ය, සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිත්‍ය යැ යි මෙය ම මෙනෙහි කරමි.
ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු නියනෙකින් නැහැය පහස්නා ලැබීම තිබේ වා. එකත්නෙන් මම මෙසේ නැහැය අනිස ය. ගඳ අනිස ය. ඝාණවිඤ්ඤාණය අනිත්‍ය ය. ඝාණසම්පස්සය අනිත්‍ය ය, ඝානසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එද අනිසැයි මෙය ම මෙනෙහි කරමි.
ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණු කරෙකින් දිව පහස්නා ලැබීම තිබේවා. එකත්නෙන් මම “මෙසේ දිව අනිස ය, රස අනිස ය, ජිව්හාවිඤ්ඤාණය අනිත්‍ය ය. ජිව්හාසම්ඵස්සය අනිත්‍ය ය, ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ”යි මෙය ම මෙනෙහි කරමි.
ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු සැතෙකින් කය පහස්නා ලැබීම තිබේවා. එකැත්නෙන් මම මෙසේ කය අනිස ය. පහස් අනිස ය කායවිඤ්ඤාණය අනිත්‍ය ය කායසම්ඵස්සය අනිත්‍ය ය. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි මෙය ම මෙනෙහි කරමි.
නින්දට බැසගැන්ම තිබේවා. “එකැත්නෙන් මම මෙසේ මන අනිස ය, දහම් අනිස ය, මනෝවිඤ්ඤාණය අනිත්‍ය ය මනෝසම්ඵස්සය අනිත්‍ය ය මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි මෙය ම මෙනෙහි කරමි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහිත් කලකිරෙයි. චක්‍ෂූවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි … චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි. මහණෙනි මේ වනාහි ආදිත්තපරියාය නම් වූ දහම්නය යි.
1. 18. 9.
හත්‍ථපාදූපම සූත්‍රය
236. මහණෙනි අත් ඇති කල්හි ගැනීම බහා තැබීම පැනෙයි. පා ඇති කල්හි ඉදිරි ගමන ආපසු ගමන පැනෙයි. පුරුක් ඇති කල්හි හැකිලීම දිග හැරීම පැනෙයි. කුස ඇති කල්හි සාපවස පැනෙයි. මහණෙනි එසෙයින් ම ඇස ඇති කල්හි ඇස්පහස නිසා තමා තුල සුවදුක් උපදී. කන ඇති කල්හි සෝපහස නිසා තමා තුල සුවදුක් උපදී. නැහැය ඇති කල්හි නැහැපහස නිසා තමා තුළ සුවදුක් උපදී. දිව ඇති කල්හි දිව්පහස නිසා තමා තුල සුවදුක් උපදී. කය ඇති කල්හි කාපහස නිසා තමාතුළ සුවදුක් උපදී. මන ඇති කල්හි මනපහස නිසා තමා තුල සුවදුක් උපදී.
මහණෙනි, අත් නැති කල්හි ගැනීම බහා තැබීම නො පැනෙයි. පා නැති කල්හි ඉදිරි ගමන ආපසු ගමන නො පැනෙයි. පුරුක් නැති කල්හි හැකිලීම දිගහැරීම නො පැනෙයි. කුස නැති කල්හි සාපවස නො පැනෙයි. මහණෙනි, එසෙයින් ම ඇස නැති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කන නැති කල්හි … නැහැය නැති කල්හි ... දිව නැති කල්හි දිව් පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කය නැති කල්හි ... සිත නැති කල්හි … මනපහස නිසා තමා තුළ සුවදුක් නූපදී යි.
1. 18. 10.
දුතිය හත්‍ථපාදූපම සූත්‍රය
237. මහණෙනි, අත් ඇති කල්හි ගැනීම බහා තැබීම වෙයි. පා ඇති කල්හි ඉදිරි ගමන ආපසුගමන වෙයි. පුරුක් ඇති කල්හි හැකිලීම දිගහැරීම වෙයි. කුස ඇති කල්හි සාපවස වෙයි. මහණෙනි, එසෙයින් ම ඇස ඇති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් උපදී. කන …නැහැය … දිව ... කය … සිත ඇති කල්හි මනපහස නිසා තමා තුළ සුවදුක් උපදී.
මහණෙනි, අත් නැති කල්හි ගැනීම බහා තැබීම නො වෙයි. පා නැති කල්හි ඉදිරි ගමන ආපසු ගමන නො වෙයි. පර්‍ව (පුරුක්) නැති කල්හි හැකිලීම දිග හැරීම නො වෙයි. කුස නැති කල්හි සාපවස නො වෙයි. මහණෙනි, එසෙයින් ම ඇස නැති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කන නැති කල්හි … නැහැය නැති කල්හි ... දිව නැති කල්හි … කය නැති කල්හි ... සිත නැති කල්හි මනපහස නිසා තමා තුළ සුවදුක් නූපදී යි.
අටළොස්වැනි සමුද්ද වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය :
සමුද්ද සූත්‍ර දෙකෙකි. බාළිසික, ඛීරරුක්ඛොපම, කොට්ඨිත , කාමභූ, උදායී, ආදිත්ත යයි සයෙකි. හත්‍ථපාදූපම සූත්‍ර දෙකෙකැ යි. එයින් වර්‍ගය යි කියනු ලැබේ.
19. ආසීවිස වර්‍ගය
1. 19. 1.
ආසිවිසෝපම සූත්‍රය
238. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් සේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සර්‍පයෝ සිවුදෙනෙක් වෙද්ද, එකල්හි ජීවත්වනු කැමති නො මැරෙණු කැමති සුව කැමති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති මේ සතර අසීවිසයෝ සිවුදෙන තා විසින් කලින් කල නැගීසිටුවිය යුතුහ. කලින් කල නැහැවිය යුතුහ. කලින් කල වැළඳවිය යුතුහ. කලින් කල හොවවිය යුතුහ. එම්බල පුරුෂය, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති මේ සූසපුන්ගෙන් එක්තරා එක්තරා එකෙක් හෝ කිපෙන්නේ නම් එම්බල පුරුෂය, ඒ හේතුවෙන් තෙපි මරණයට හෝ මරණය පමණ දුකකට හෝ පැමිණෙන්නහු ය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කට යුතු නම් එය කරවු යි.
මහණෙනි, එකල්හි ඒ පුරුෂ තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සූසපුන්ට බිය වූයේ යම් ඒ තැනකට හෝ පලා යන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, සතුරු වූ මේ වධකයෝ පස්දෙනෙක් ‘යම් තැනෙක දී ම ඔහු දක්නමෝ නම් එහිදී ම දිවියෙන් තොර කරන්නෙමු’යි තා පසුපස ලුහුබඳනාහ. එම්බල පුරුෂය, තා විසින් යමක් කට හැකි නම් එය කරව’ යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති ඒ සූසපුන්ට බිය වූයේ සතුරු වූ වධකයන් පස්දෙනාට බිය වූයේ යම් ඒ තැනෙක හෝ පලා යන්නේ ය.
ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, ඇතුළත හැසිරෙන මේ සවැනි වධකයෙක් ‘යම් තැනෙක දී ම ඔහු දක්නෙම් නම් එහිදී ම හිස සිඳ හෙළන්නේමි යි ඔසවා ගත් කඩුවක් ඇත්තේ තා පසුපස ලුහුබඳනේ ය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කට හැකි නම් එය කරව’යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශිර්විෂයන්ට බිය වූයේ සතුරු වූ පස් වධකයන්ට බිය වූයේ ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයාට බිය වූයේ යම් තැනෙක හෝ පලා යන්නේ ය.
හෙතෙමේ හිස් ගමක් දක්නේ ය. යම් යම් ගෙයකට පිවිසෙන්නේ නම් කිසිවක් නැති ගෙයකට ම පිවිසෙන්නේ ය. හිස් ගෙයකට ම පිවිසෙන්නේ ය. ශුන්‍ය ගෙයකට ම පිවිසෙන්නේ ය. යම් යම් බඳුනක් (ආහාරපාන ඇතැයි) අල්ලන්නේ නම් කිසිවක් නැත්තක් ම අල්ලන්නේ ය. හිස් වූවක් ම අල්ලන්නේ ය. ශුන්‍ය වූවක් ම අල්ලන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: එම්බල පුරුෂය, ගම් පහරන හොරු දැන් මේ ගම නසන්නාහ. තා විසින් යමක් කළ හැකි නම් එය කරව යි.
මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශිර්විෂයන්ට බිය වූයේ සතුරු වූ පස්වධකයන්ට බිය වූයේ ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයාට බිය වූයේ ගම්පහරන සොරුන්ට බිය වූයේ යම් ඒ තැනක හෝ පලා යන්නේ ය. හෙතෙමේ මහත් ජලාසයක් දක්නේ ය. මෙතෙර සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. බිය රහිත ය. එහි එතෙර මෙතෙර කරන නැවක් හෝ ඔබමොබ යෑමට හෙයක් හෝ නැත.
මහණෙනි, එකල්හි ඒ පුරිස්හට මෙබඳු සිතෙක් වන්නේ ය: ‘මෙය මහාජලාසයෙකි. මෙතෙර සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. බිය රහිත ය. එතෙර මෙතෙර කරන නැවක් හෝ ඔබමොබ යෑමට හෙයක් හෝ නැත. මම තණ දර අතු කොළ රැස් කොට පහුරක් බැඳ ඒ පහුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ පරතෙරට යන්නෙම් නම් මැනවැ’යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ තණ දර අතු කොල රැස් කොට පහුරක් බැඳ ඒ පහුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ පරතෙරට යන්නේ ය. තරණය කළ පරතෙරට පැමිණි බමුණු තෙමේ (නිවන් නැමැති) ගොඩබිම සිටී.
මහණෙනි, මා විසින් අරුත් ඇඟවිම පිණිස මේ උපමාව කරන ලදී. මේ මෙහි අර්‍ත්‍ථ යයි: මහණෙනි, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශීර්විෂයෝ යනු පඨවි ධාතුවට ද ආපෝ ධාතුවට ද තේජෝ ධාතුවට ද වායෝ ධාතුවට ද යන සතර මහාභූතයන්ට මේ නමෙකි.
මහණෙනි, ‘සතුරු වූ පස්වධකයෝ’ ය යනු උපාදානස්කන්‍ධ පසට එනම් රූපෝපාදානස්කන්‍ධයට ද වේදනෝපාදානස්කධයට ද සංඥෝපාදානස්කන්‍ධයට ද සංස්කාරෝපාදානස්කන්‍ධයට ද විඥානෝපාදානස්කන්‍ධයට ද මේ නමෙකි. මහණෙනි, ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයා ය යනු නන්‍දිරාගයට මේ නමෙකි. මහණෙනි, ‘හිස්ගම’ය යනු ආධ්‍යාත්මික ෂඩායතනයට මේ නමෙකි.
මහණෙනි, ව්‍යක්ත වූ නුවණැති පණ්ඩිත තෙමේ ඉදින් ඇසිනුත් එය පිරික්සා නම් කිසිවක් නැත්තක් ව ම වැටහේ. සිස් වූවක් ව ම වැටහේ. ශුන්‍ය වූවක් ව ම වැටහේ. මහණෙනි, ඉදින් කනිනුත් එය … මහණෙනි, ඉදින් නැහැයෙනුත් එය ... මහණෙනි, ඉදින් දිවෙනුත් එය ... මහණෙනි, ඉදින් කයෙනුත් එය ... මහණෙනි, ව්‍යක්ත වූ නුවණැති පණ්ඩිත තෙමේ ඉදින් සිතිනුත් එය පිරික්සා නම් කිසිත් නැත්තක් ව ම වැටහේ. සිස් වූවක් ව ම වැටහේ. ශුන්‍ය වූවක් ව ම වැටහේ,
මහණෙනි, ‘ගම් පහරන සොරු’ය යනු බාහිර ෂඩායතනයන්ට මේ නමෙකි. මහණෙනි, ඇස ඉටුඅනිටු රූහි ගැටෙයි, කන ඉටු අනිටු සදෙහි ගැටෙයි. නැහැය ඉටු අනිටු ගඳෙහි ගැටෙයි, දිව ඉටු අනිටු රසෙහි ගැටෙයි. කය ඉටු අනිටු පහස්හි ගැටෙයි. සිත ඉටු අනිටු දහම් හි ගැටේ.
මහණෙනි, ‘මහාජලාසය’ ය යනු කාමෝඝයට ද භවොඝයට ද දිට්ඨොඝයට ද අවිජ්ජෝඝයට ද යන චතුරොඝයට මේ නමෙකි. මහණෙනි, ‘සැක සහිත බිය සහිත මෙතෙර’ය යනු සක්කාය (ත්‍රෛභූමක පඤ්චස්කන්‍ධ) යට මේ නමෙකි. මහණෙනි, ‘උවදුරු රහිත බිය රහිත පරතෙරය’ යනු නිවනට මේ නමෙකි. මහණෙනි, ‘පහුරය’ යනු අරිඅටඟිමඟට එනම් - සම්මාදිට්ඨියට ද සම්මාසඞ්කප්පයට ද සම්මාවාචාවට ද සම්මාකම්මන්තයට ද සම්මාආජීවයට ද සම්මාවායාමයට ද සම්මාසතියට ද සම්මාසමාධියට ද මේ නමෙකි. මහණෙනි, ‘අතින් ද පයින් ද වෑයම් කරන්නේ ය’ යනු විරියාරම්භයට මේ නමෙකි. මහණෙනි, තරණය කළ පරතෙරට පැමිණි බමුණු තෙමේ ගොඩබිම සිටී’ යනු රහතුන් වහන්සේට මේ නමෙකි යි.
1. 19. 2.
රථූපම සූත්‍රය
239. මහණෙනි, දහම් තුනකින් සමන්‍විත වූ මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල ව වෙසෙයි, කෙලෙසුන් නැසීම පිණිස කරුණු ද ඔහුට පිරිපුන් වෙයි. කවරතුනකින් ද යත්: ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ බොදුනෙහි පමණ දන්නේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති වශයෙන් නො ගන්නේ අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වෙයි. යම් හේතුවකින් චක්ඛුන්‍ද්‍රියය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඇස රකියි. ඇසෙහි සංවරයට පැමිණෙයි.
කනින් සද අසා ... නැහැයෙන් ඟඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන නිමිති විසින් නො ගන්නේ අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් හේතුවකින් මනින්‍ද්‍රියය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු ද එහි සංවරය පිණිස පිළිපදියි. සිත රකියි. සිතෙහි සංවරයට පැමිණෙයි.
මහණෙනි, යම්සේ මනාබිමෙක සිවුමංසලක සරසට ලූ කෙවිටි ඇති අජානීය අසුන් යෙදූ රථයක් තබන ලද්දේ වේ ද, අසුන් හික්මවීමෙහි සමත් දක්‍ෂ රියැදුරෙක් ඒ මේ රියට නැගී වමතින් රැහැන් ගෙන දකුණතින් කෙවිට ගෙන යම් කැමති දිගකින් යම් කැමති දිගකට හසුරුවන්නෙත් පෙරළා හසුරුවන්නෙත් වෙයි. මහණෙනි, එසෙයින් ම මහණ මේ සයිඳුරන් රැකීම පිණිස හික්මෙයි. සංයමය පිණිස හික්මෙයි. දමනය පිණිස හික්මෙයි. උපසමය පිණිස හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ භෝජනයෙහි පමණ දන්නේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා අහර වළඳයි. (කෙසේ ද යත්:) කෙළි පිණිස නො වෙයි. මද පිණිස නො වෙයි. අඟපසඟ වඩනු පිණිස නො වෙයි. සැරසුම් පිණිස නො වෙයි. මේ කයෙහි පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. සාගිනි වේදනා වැළැක්ම පිණිස ම ය. බඹසරට අනුග්‍රහ පිණිස ම ය. මෙසේ පැරණි වේදනාව ද නසමි. අලුත් වේදනා ද නූපදවන්නෙමි. මාගේ ඉරියවු පැවැත්ම ද නිවරද බව ද පහසු විහරණය ද වන්නේ යයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මස් වැඩීම පිණිස ම වණයක බෙහෙත් ගල්වන්නේ ද යම්සේ හෝ බර ගෙන යනු පිණිස ම අකුරෙහි තෙල් ගල්වන්නේ ද මහණෙනි, එසෙයින් ම මහණ නුවණින් සලකා අහර වළඳයි. (කෙසේ ද යත්:) කෙළි පිණිස නො වෙයි. මඳ පිණිස නො වෙයි. අඟපසඟ වඩනු පිණිස නො වෙයි. සැරසුම පිණිස නො වෙයි. මේ කයෙහි පැවැත්ම පිණිසම ය. යැපීම පිණිස ම ය. වේදනා නැසීම පිණිස ම ය. බඹසරට අනුග්‍රහ පිණිස ම ය. මෙසේ පැරැණි වේදනාත් නසමි. අලුත් වේදනාත් නූපදවන්නෙමි. මාගේ ඉරියවු පැවැත්ම ද නිවරදබව ද පහසු විහරණය ද වන්නේ යයි. මහණෙනි, මෙසේ මහණ භෝජනයෙහි පමණ දන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ නිදි වැරීමෙහි යෙදුනේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ දහවල මුළුල්ලෙහි සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමුන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.
රෑ පෙරයම සක්මනින් හා හිඳීමෙන් ද නීවරණදහමුන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදියම දකුණු පයෙහි වම් පය මදක් මෑත් කොට තබා සිහි ඇති ව මනා නුවණැති ව (මෙතෙක් කලෙකින්) නැගිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කෙරෙයි. රෑ පැසුලුයම නැගිට සක්මනින් හා හිඳීමෙන් ද නීවරණදහමුන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. මහණෙනි, මහණ මෙසේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, මේ තුන්දහමුන්ගෙන් යුත් මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල කොට ඇත්තේ වෙසෙයි. කෙලෙසුන් නැසීම පිණිස කරුණු ද පිරිපුන් වූයේ වේ යි.
1. 19. 3.
කුම්මොපම සූත්‍රය
240. මහණෙනි, පෙර වූවක් කියමි: ඉදිබුවෙක් සවස් වේලෙහි ගංඉවුර අසබඩ ගොදුරු සෙවීමෙහි යෙදුනේ විය. මහණෙනි, සිවලෙක් ද සවස් වේලෙහි ගංඉවුර අසබඩ ගොදුරු සෙවීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, ඉදිබුවා ගොදුරු සෙවීමෙහි යෙදුණු සිවලා දුර දී ම දුටුයේ ය. දැක හිස පස්වැනි කොට ඇති අවයව සිය කබලෙහි බහා ගෙන නිරුත්සුකව නිහඬව හිඳී. මහණෙනි, සිවලා ද ඉදිබුවා දුර දී ම දුටු යේ ය. දැක ඉදිබුවා වෙත එළඹියේ ය. එළඹ “යම් කලෙක මේ ඉදිබුවා හිසපස්වැනි කොට ඇති අවයවයන්ගෙන් එක්තරා හෝ එක්තරා හෝ අවයව යක් පිටතට නිකුත් කරන්නේ නම් එහි ම එය ඩැහැ ගෙන කඩා කන්නෙමි” යි ඉදිබුවාට ළං ව සිටියේ ය. මහණෙනි, යම් කලෙක ඉදිබුවා හිසපස්වැනි කොට ඇති අවයවයන්ගෙන් එක්තරා හෝ එක්තරා අවයවයක් පිටතට නිකුත් නො කෙළේ ද එකල්හි සිවලා ඉඩක් නො ලබනුයේ ඉදිබුවාගෙන් ඉවත් ව ගියේ ය.
මහණෙනි, එසෙයින් ම තොප වෙත ද පවිටු මරු තෙමේ “මම මොවුන්ගේ ඇසින් හෝ ඉඩක් ලබන්නේ නම් කනින් හෝ ඉඩක් ලබන්නෙම් නම් නැහැයෙන් හෝ ඉඩක් ලබන්නෙම් නම් දිවෙන් හෝ ඉඩක් ලබන්නෙම් නම් කයින් හෝ ඉඩක් ලබන්නෙම් නම් සිතින් හෝ ඉඩක් ලබන්නෙම් නම් මැනවැ යි නිතර එළඹ සිටියේ වෙයි.
මහණෙනි, එහෙයින් මෙහි ලා ඉඳුරන්හි වැසූ දොර ඇති ව වසවු. ඇසින් රූ දැක නිමිති විසින් ගන්නෝ නොවවු. අනුව්‍යඤ්ජන විසින් ගන්නෝ නොවවු. යමක් හේතු කොට ගෙන චක්ඛුන්‍ද්‍රිය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. චක්ඛුන්‍ද්‍රිය රකිවු. චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙවු.
කනින් සද අසා ... නැහැයින් ඟඳ ගෙන ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන නිමිති විසින් ගන්නෝ නොවවු. අනුව්‍යඤ්ජන විසින් ගන්නෝ නොවවු. යමක් හේතුකොට ගෙන මනින්‍ද්‍රියය සංවෘත නො කොට වසන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. මනින්‍ද්‍රියය රකිවු. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙවු. මහණෙනි, යම් කලෙක තෙපි ඉඳුරන්හි වැසූ දොර ඇති ව වසන්නහු නම් එකල්හි පවිටු මරු තෙමේ ඉඩක් නො ලබනුයේ කලකිරී ඉදිබුවා කෙරෙන් සිවලා මෙන් තොප කෙරෙනුදු ඉවත් ව යන්නේ ය.
සිය කබලෙහි අවයව බහා ගන්නා ඉදිබුවා මෙන් මහණ සිතිවිලි බහා තබන්නේ (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) නොඇසුරුකරන ලදුයේ මෙරමා නො පෙළනුයේ පිරිනිවියේ කිසිවකුට උපවාද නො කරන්නේ යයි.
1. 19. 4.
දාරුක්ඛන්‍ධොපම සූත්‍රය
241. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නුවර සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගසා ගෙන යන මහත් දරකඳක් දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගෙන යනු ලබන තෙල මහදරකඳ දකිවු දැ? යි. වහන්ස, එසේ ය.
මහණෙනි, ඉදින් දරකඳ මෙතෙරට නො පැමිණේ නම් එතෙරට නො පැමිණේ නම් මැද නො කිඳා නම් ගොඩට නො ගැසෙන්නේ නම් මිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ නම් නොමිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ නම් සුළියකට හසුවීමෙක් නො වන්නේ නම් ඇතුළත කුණුවූයේ (ගඟ තුළ ම දිරාගියේ) නො වන්නේ නම් මහණෙනි, මෙසේ ඒ දරකඳ මුහුදට නැමුණේ මුහුදට නැඹුරු වූයේ මුහුදට බර වූයේ වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ගඞ්ගා නදියෙහි සැඩපහර මුහුදට නැමුනේ ය. මුහුදට නැඹුරු වූයේ ය. මුහුදට බර වූයේ ය. (එහෙයිනි)
මහණෙනි, එසෙයින් ම තෙපි දු ඉදින් මෙතෙරට නො පැමිණෙවු නම් පරතෙරට නො පැමිණෙවු නම් මැද නො කිඳෙන්නහු නම් ගොඩට නො ගැසෙන්නහු නම් මිනිසුන් විසින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් නොමිනිසුන් විසින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් සුළියකින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් ඇතුළත කුණු වූවෝ නො වන්නහු නම් මහණෙනි, මෙසේ තෙපි නිවනට නැමුණාහු නිවනට නැඹුරු වූවාහු නිවනට බර වූවාහු වන්නහු ය ඒ කවර හෙයින යත්: මහණෙනි, සම්මාදිට්ඨිය නිවනට නැමුණේ ය. නිවනට නැඹුරු වූයේ ය. නිවනට බර වූයේ ය. (එහෙයිනි) යි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙතෙර කිමෙක් ද? එතෙර කිමෙක් ද? මැද කිඳීම කිමෙක් ද? ගොඩට ගැසීම කිමෙක් ද? මිනිසුන්ගේ ගැනීම කිමෙක් ද? නොමිනිසුන්ගේ ගැනීම කිමෙක් ද? සුළියක ගැනීම කිමෙක් ද? ඇතුළත කුණුවීම කිමෙක් දැ? යි.
මහණ, ‘මෙතෙර’ යනු අධ්‍යාත්මික ෂඩායතනයට මේ නමෙකි, මහණ; ‘පරතෙර’ ය යනු බාහිර ෂඩායතනයට මේ නමෙකි. මහණ, ‘මැද කිඳීම’ යනු නන්‍දිරාගයට මේ නමෙකි. මහණ, ‘ගොඩට ගැසීම’ යනු අස්මිමානයට මේ නමෙකි. මහණ, මිනිසුන්ගේ ගැනීම කවරේ ද යත්: මෙහි මහණ ගිහියන් හා මිශ්‍ර වූයේ සමග සතුටු වන්නේ සමග ශෝක කරන්නේ සුවපත් වූවන් අතර සුවපත් වූයේ දුකට පැමිණියන් අතර දුකට පැමිණියේ වෙසෙයි. වැඩ කටයුතු උපන් කල්හි තමා එහි යෙදිය යුතුබවට පැමිණෙයි. මහණ, මේ මිනිසුන්ගේ ගැනීම යයි කියනු ලැබේ. මහණ, නො මිනිසුන්ගේ ගැනීම කවරේ ද යත්: මහණ මෙහි ඇතැමෙක් “මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වන්නෙමි” යි එක්තරා දේවනිකායක් පතා බඹසර කෙරෙයි. මහණ, මේ නොමිනිසුන්ගේ ගැනීම යයි කියනු ලැබේ. මහණ, සුළියක ගැනීම යනු පස්කම්ගුණයන්ට මේ නමෙකි. මහණ, ඇතුළත කුණුවීම කවරේ ද යත්: මහණ මෙසස්නෙහි ඇතැමෙක් දුසිල් වූයේ ලාමක ස්වභාව ඇත්තේ අපවිත්‍ර වූයේ සැකයෙන් සිහිකට යුතු හැසුරුම් ඇත්තේ සැඟවුණු ක්‍රියා ඇත්තේ නො මහණෙක් ව මහණෙක්මි යි පිළින ඇත්තේ බඹසර නැති ව බඹසර කරමියි පිළින ඇත්තේ ඇතුළත කුණු වූයේ වැගිරෙන කෙලෙස් ඇත්තේ හටගත් කෙලෙස් කසට ඇත්තේ වෙයි. මහණ, මේ ඇතුළත කුණුවීම යයි කියනු ලැබේ.
එසමයෙහි නන්‍ද නම් ගොපලු තෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරේ සිටියේ වෙයි. එකල්හි නන්‍ද ගොපලු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, මම මෙතෙරට නො පැමිණෙමි. එතෙරට නො පැමිණෙමි. මැද නො කිඳෙන්නෙමි. ගොඩට නො ගැසෙන්නෙමි. මිනිසුන්ගේ ගැනීමෙක් නොවන්නේ ය. නොමිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ ය. සුළියක ගැනීමෙක් නො වන්නේ ය. ඇතුළත කුණු වූයෙම් නො වන්නෙමි, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි”යි.
නන්‍ද, එසේ වී නම් තෙපි හිමියන්ට ගෙරින් පාවාදෙවු යි. වහන්ස, වසුපැටවුන් කෙරෙහි ගිජු වූ දෙන්නු (තුමූ ම) යන්නාහ යි. නන්‍ද, තෙපි ම හිමියන්ට ගෙරින් පාවා දෙවු යි. එකල්හි නන්‍ද ගොපලු තෙමේ හිමියන්ට ගෙරින් පාවා දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, හිමියන්ට ගෙරිහු පාවා දෙන ලදහ. වහන්ස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි යි.
නන්‍ද ගොපලු තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ය. උපසපුව ලද්දේ ය. උපසපන් වූ නොබෝකල් ඇති ආයුෂ්මත් නන්‍ද තෙමේ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නොබෝකලකින් ම යමක් පිණිස කුලපුත්තු මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් නම් අනුත්තර වූ මගබඹසර කෙළවර වූ ඒ රහත් ඵලය දිටුදැමියෙහි ම තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ විසී ය. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලද, කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගත්තේ ය. නන්‍ද ආයුෂ්මත්හු රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
1. 19. 5.
දුතිය දාරුක්ඛන්‍ධොපම සූත්‍රය
242. මා විසින් මෙසේ අසන ලදි. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලාව සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදියෙහි සැඩපහරින් ගසා ගෙන යන මහත් දරකඳක් දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගසා ගෙන යන තෙල මහදරකඳ දකිවු දැ? යි. වහන්ස, එසේ ය ... (විතර කට යුතු යි)
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙතෙර කිමෙක් ද? ... (විතර කට යුතු යි) කිම්බිල ඇතුළත කුණු වීම කවරේ ද යත්: කිම්බිල, මෙසස්නෙහි මහණ යම් බඳු ඇවතකින් නැඟී සිටීමෙක් පැනේ නම් (එබඳු) එක්තරා සකිලිටි ඇවැතකට පැමිණියේ වෙයි. කිම්බිල, මේ ඇතුළත කුණුවීම යයි කියනු ලැබේ යි.
1. 19. 6.
අවස්සුතපරියාය සූත්‍රය
243. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත් නුවර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි කිඹුල්වත් නුවර වැසි ශාක්‍යයන් විසින් අභිනව සන්‍ථාගාරයක් අලුත කරවන ලද්දේ වෙයි. මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ මිනිස් වූ කිසිවකු විසින් හෝ නො වෙසෙන ලද්දේ ය. එකල්හි කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කිඹුල්වත් පුර ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
වහන්ස, මෙහි කිඹුල්වත්පුර ශාක්‍යයන් විසින් අභිනව සන්‍ථාගාරයක් අලුත කරවන ලද්දේ වෙයි. මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ මිනිස් වූ කිසිවකු විසින් හෝ නො වෙසෙන ලද්දේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එය පළමු කොට පරිභෝග කරන සේක්වා භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු කොට පරිභෝග කරන ලද්දේ පසු ව කිඹුල්වත්පුර ශාක්‍යයෝ පරිභෝග කරන්නාහ. එය කිඹුල්වත්පුර ශාක්‍යයන්ට දිගුකලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යයි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක.
එකල්හි කිඹුල්වත්පුර ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට අලුත් සන්‍ථාගාරය වෙත එළඹියහ. එළඹ සන්‍ථාගාරය සියලු ඇතිරීම් අතුරවා අසුන් පනවා මහදියසැළියක් පිහිටුවා තෙල්පහන් නගා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, සන්‍ථාගාරය සියලු ඇතිරීම් අතුරන ලදී. අසුන් පනවන ලදී. මහදියසැළියක් තබවන ලද්දේ ය. තෙල්පහනත් දල්වන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් දන්නා සේක් නම් මැනවැ යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරව පාසිවුරු ගෙන බික්සඟන සමඟ අලුත් සන්‍ථාගාරය වෙත එළඹුණු සේක. එළඹ පා සෝදා සන්‍ථාගාරයට පිවිස මැඳුම් ටැඹ නිසා පෙරදිගට අභිමුඛ ව වැඩහුන් සේක. බික්සඟන ද පා සෝදා සන්‍ථාගාරයට පිවිස පැසුළුබිත නිසා පෙරදිගට අභිමුඛ ව භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට වැඩහුන්හ. කිඹුල්වත්පුර ශාක්‍යයෝ ද පා සෝදා සන්‍ථාගාරයට පිවිස පෙරදිග බිත නිසා පැසුළුදිගට අභිමුඛ ව භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ.