Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 10101-10200 න් 15083

1. 17. 28-30.
බාහිර අතීතානිච්ච, බාහිර අනාගතානිච්ච, බාහිර පච්චුපන්නානිච්ච සූත්‍ර
195-197. මහණෙනි, අයු අනා වත්මන් රූප අනිත්‍යහ, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු අනිත්‍යහ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි, සදෙහිත් කලකිරෙයි, ගඳෙහිත් කලකිරෙයි, රසෙහිත් කලකිරෙයි, පහස්හිත් කලකිරෙයි, දහම්හිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය යි දැනීම වෙයි. ඉපැද්ම අවසන් විය, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ රහත් බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 31-33.
බාහිරාතීත දුක්ඛ, බාහිරානාගත දුක්ඛ, බාහිර පච්චුපන්න දුක්ඛ සූත්‍ර
198-200. මහණෙනි, අයු අනා වත්මන් රූ දුක් ය, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 34-36.
බාහිර අතීතානත්ත, බාහිර අනාගතානත්ත, බාහිර පච්චුපන්නානත්ත සූත්‍ර
201-203. මහණෙනි, අයු අනා වත්මන් රූ අනත් ය, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනත් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 37.
අතීත යදනිච්ච සූත්‍රය
204. සැවැත්නුවර–
මහණෙනි, අතීත චක්‍ෂුස අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. ඉකුත් කන අනිස ය. ... නැහැය අනිස ය ... දිව අනිස ය ... කය අනිස ය ... සිත අනිස ය. යමක් අනිස නම් එය දුක් ය යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 38.
අනාගත යදනිච්ච සූත්‍රය
205. මහණෙනි, අනා ඇස අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. අනා කන අනිස ය ... නැහැය අනිස ය ... දිව අනිස ය ... කය අනිස ය ... සිත අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
පච්චුප්පන්න යදනිච්ච සූත්‍රය
206. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුස අනිත්‍ය ය, යමක් අනිත්‍ය නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනාත්ම ය, යමක් අනාත්ම නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. වත්මන් කන ... නැහැය ... දිව ... කය ... සිත අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙ යි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 40-42.
අතීත යංදුක්ඛ, අනාගත යංදුක්ඛ, පච්චුපන්න යංදුක්ඛ සූත්‍ර
207-209. මහණෙනි, ඉකුත් අනා වත්මන් ඇස දුක් ය. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. ඉකුත් අනා වත්මන් කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් ය. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 43-45.
අතීත යදනත්ත, අනාගත යදනත්ත, පච්චුප්පන්න යදනත්ත සූත්‍ර
210-212. මහණෙනි, ඉකුත් අනා වත්මන් ඇස අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. කන ... නැහැය ... ඉකුත් අනා වත්මන් දිව ... කය ... සිත අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 46-48.
බාහිරාතීත යදනිච්ච, බාහිරානාගත යදනිච්ච, බාහිරපච්චුප්පන්න යදනිච්ච සූත්‍ර
213-215. මහණෙනි, ඉකුත් අනා වත්මන් රූ අනිසහ, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. ඉකුත් අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිසහ, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 49-51.
බාහිරාතීත යංදුක්ඛ-බාහිරානාගත යංදුක්ඛ-බාහිරපච්චුප්පන්න යංදුක්ඛ සූත්‍ර
216-218. මහණෙනි ඉකුත්, අනා, වත්මන් රූ දුක්හ. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. සද ... ගඳ ... රස ... පහස් ... ඉකුත්, අනා, වත්මන් දහම් දුක්හ. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 52-54.
බාහිරාතීත යදනත්ත-බාහිරානාගත යදන්ත-බාහිරපච්චුප්පන්න යදන්ත සූත්‍ර
219-221. මහණෙනි අයු, අනා, වත්මන් රූ අනත්හ. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. සද ... ගඳ ... රස ... පහස් ... අයු, අනා, වත්මන් දහම් අනත්හ. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 55.
අජ්ඣත්තායතන අනිච්ච සූත්‍රය
222. මහණෙනි, ඇස අනිස ය. කන ... නැහැය ... දිව ... කය ... සිත අනිස ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
අජ්ඣත්තායතන දුක්ඛ සූත්‍රය
223. මහණෙනි, ඇස දුක් ය. කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 57.
අජ්ඣත්තායතන අනත්ත සූත්‍රය
224. මහණෙනි, ඇස අනත් ය. කන ... නැහැය ... දිව ... කය ... සිත අනත් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 58.
බාහිරායතන අනිච්ච සූත්‍රය
225. මහණෙනි, රූ අනිස ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිස ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනී යි.
1. 17. 59.
බාහිරායතන දුක්ඛ සූත්‍රය
226. මහණෙනි, රූපයෝ දුක් හ. සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු දුක්හ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
බාහිරායතන අනත්ත සූත්‍රය
227. මහණෙනි, රූපයෝ අනත්හ. සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු අනත්හ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
සට්ඨිපෙය්‍යාලයවර්‍ගයනිමියේ ය.
එහි සූත්‍රනාමාවලිය:
ඡන්‍දනමින් අටළොසෙක් වේ. අතීත නමින් ද නවක දෙකෙකි. (අට ළොසෙකි) යදනිච්ච නමින් අටළොසෙක් කියන ලදී. අජ්ඣත්ත බාහිර තික දෙකෙකි. මෙසේ ආදිච්චබන්‍ධු වූ සර්‍වඥයන් වහන්සේ විසින් සට්ඨිපෙය්‍යාලය වදාරන ලද්දේ ය යි.
18. සමුද්ද වර්‍ගය
සමුද්ද සූත්‍රය
228. මහණෙනි අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මුහුද මුහුදැ යි කියයි. මහණෙනි, මෙය බුදුසස්නෙහි මුහුද නො වේ. මහණෙනි, මෙය මහ දියරැසෙකි, මහ දියකඳෙකි. මහණෙනි මිනිසාගේ ඇස මුහුදෙකි, එහි රූමුවා වේගය වේ. යමෙක් ඒ රූමුවා වේගය ඉවසා නම් මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත ඇස නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටියි.
කන ... නැහැය ... මහණෙනි මිනිසාගේ දිව මුහුදෙකි. එහි රසමුවා වේගය වේ. යමෙක් ඒ රසමුවා වේගය ඉවසා නම් මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත දිව නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටී. කය .... මහණෙනි මිනිසාගේ සිත මුහුදෙකි. එහි දහම්මුවා වේගය වේ. යමෙක් ඒ දහම්මුවා වේගය ඉවසා නම්, මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත සිත නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටියි.
යමෙක් සැඬමසුන් සහිත රකුසන් සහිත රළබිය සහිත තරණය කිරීමට අපහසු මේ මුහුද තරණය කෙළේ නම් හෙතෙමේ මගනැණින් නිවන් අවබෝධ කෙළේ වැස නිම වූ බඹසර ඇතියේ ලොව කෙළවරට ගියේ නිවන් නමැති පරතෙරට පැමිණියේ ය යි කියනු ලැබේ යි.
දුතිය සමුද්ද සූත්‍රය
229. මහණෙනි අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මුහුද මුහුදැ යි කියා යි. මහණෙනි මෙය බුදුසස්නෙහි මුහුද නො වේ. මහණෙනි මේ මහ දියරැසකි. මහදියකඳෙකි. මහණෙනි, ඉටු කැමැති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. මහණෙනි මෙය බුදුසස්නෙහි මුහුදැ යි කියනු ලැබේ.
මෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝ වැසියා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව බොහෝ සෙයින් ගිලුණී අවුල් වූ හූවටක් වැනි වූවා කුරුලු කැදැල්ලක් වැනි වූවා මුදුතණ බබුස්තණ වැනි සැපයෙන් තොර නපුරු ගති ඇති විවස ව පතිතවන සසර නො ඉක්මවයි.
මහණෙනි කනින් දතයුතු සද්ද ඇත ... මහණෙනි නැහැයෙන් දතයුතු ගඳ ඇත ... මහණෙනි දිවෙන් දත යුතු රස ඇත ... මහණෙනි කයින් දතයුතු පහස් ඇත ... මහණෙනි ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. මහණෙනි බුදුසස්නෙහි මේ මුහුදැ යි කියනු ලැබේ. මෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝ වැසියා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව බෙහෙවින් ගිලුණී අවුල් වූ හුවටක් වැනි වූවා කුරුලු කැදැල්ලක් වැනි වූවා මුදුතණ බබුස්තණ වැනි වූවා සැපයෙන් තොර නපුරු ගති ඇති විවස ව පතිතවන සසර නො ඉක්මව යි.
යමෙකු විසින් රාගයත් දෝසයත් මෝහයත් දුරු කරන ලද්දාහු නම් හෙතෙමේ සැඬමසුන් සහිත රකුසන් සහිත රළබිය සහිත තරණය කිරීමට අපහසු මේ මුහුද මැනැවින් තරණය කෙළේ ය.
ඇලුම් ඉක්ම වූ මරුන් දුරු කළ උපධි රහිත හෙතෙමේ නැවත නො ඉපැද්ම පිණිස දුක දුරු කෙළේ ය. අස්තයට ගියේ ප්‍රමාණත්වයට නො එයි. මරුරජ මුළා කෙළේ ය යි කියමි යි.
බාලිසිකෝපම සූත්‍රය
230. මහණෙනි යම් සේ බිලී වැද්දෙක් ඇම සහිත බිලිය ගැඹුරු දියවිලක බහාලන්නේ ද, ඒ මේ බිලිය ඇමට යොමු වූ ඇස් ඇති එක්තරා මසෙක් ගිලින්නේ ය. මහණෙනි මෙසේ ඒ මසු බිලී වැද්දාගේ ගිලි බිලිය ඇත්තේ දුකට පැමිණියේ විපතට පැමිණියේ බිලි වැද්දා විසින් කැමති පරිදි කළහැක්කෙක් වන්නේ ය. මහණෙනි එසෙයින් මැ ලොව සතුන්ට දුක් පිණිස ප්‍රාණීන්ට පීඩා පිණිස මේ බිලී සයෙක් වේ. කවර සයෙක් ද යත්;
මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, මහණෙනි මේ මහණ තෙමේ මරුහුගේ ගිලි බිලිය ඇත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි කනින් දතයුතු සද්ද ඇත. ... මහණෙනි නැහැයෙන් දත යුතු ගඳ ඇත. … මහණෙනි දිවෙන් දත යුතු රස ඇත
... මහණෙනි කයින් දත යුතු පහස් ඇත. … මහණෙනි ඉටු කැමති මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද ගුණ කියා ද ගැලී සිටී ද, මහණෙනි මේ මහණ මරුගේ ගිලි බිලිය ඇත්තේ දුකට පැමිණියේ විපතට පැමිණියේ මරහු විසින් කැමති පරිදි කළහැක්කේ ය යි කියනු ලැබේ.
මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද ගුණ නො කියා ද ගැලී නො සිටී ද, මහණෙනි මේ මහණ තෙමේ මරුහුගේ නොගිලි බිලිය ඇත්තේ බිලිය බින්දේ ය. දුකට නො පැමිණියේ විපතට නො පැමිණියේ මරහු විසින් කැමති පරිදි නොකට හැක්කේ ය යි කියනු ලැබේ.
මහණෙනි කනින් දතයුතු සද්ද ඇත. ... මහණෙනි නැහැයෙන් දතයුතු ගඳ ඇත. … මහණෙනි, දිවෙන් දතයුතු රස ඇත ... මහණෙනි කයින් දතයුතු පහස් ඇත. ... මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, මහණෙනි මේ මහණ මරුගේ නො ගිලි බිලිය ඇත්තේ බිලිය බින්දේ ය. දුකට නො පැමිණියේ විපතට නො පැමිණියේ මරහු විසින් කැමති පරිදි නොකළ හැක්කේ ය යි කියනු ලැබේ යි.
ඛීරරුක්ඛොපම සූත්‍රය
231. මහණෙනි යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය පහ නොවූයේ ද, යම් දෝසයෙක් වේ නම් එය පහ නොවූයේ ද, යම් මෝහයෙක් වේ නම් එය පහ නොවූයේ ද, ඉදින් මද (අනිටු) වූ ද ඇසින් දතයුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී ම ය. ඉතා මහත් (ඉටු) රූ ගැන කවර කථා ද, ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ වේ.
මහණෙනි, යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වේ නම් එය ඇද් ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද් ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද් ද, යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ද,යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ද, ඉඳින් මඳ වූ ද සිතින් දත යුතු දහම් ඔහුගේ සිත හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනීම ය. ඉතා මහත් දහම් ගැන කවර කථා ද? ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණය, යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ය.
මහණෙනි, යම් සේ ළපටි තරුණ කුඩා ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ කිරිගසෙක් වේ ද, පුරුෂයෙක් ඒ මේ ගස තියුණු කෙටේරියකින් යම් යම් තැනකින් සිඳින්නේ නම් කිරි වැගිරෙන්නේ වේ දැ යි. වහන්ස එසේ ය. ඒ කවර හෙයින් ද? වහන්ස යම් කිරක් වේ නම් එය ඇතැ යි. මහණෙනි එසෙයින් ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ද ඉඳින් මඳ වූ ද ඇසින් දත යුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී මැ යි. ඉතා මහත් රූ ගැන කවර කතා ද? ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ය ...
මහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ දිවින් දතයුතු රසයන්හි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, ... මහණෙනි, යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ද, ඉඳින් මඳ වූ ද සිතින් දත යුතු දහම් ඔහුගේ සිත්හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී මැ යි. ඉතාමහත් දහම් ගැන කවර කථා ද? ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ය.
මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතාමහත් වූ ද ඇසින් දතයුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳ රූ ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය … මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ දිවින් දතයුතු රසයන්හි ...
මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතා මහත් වූ ද සිතින් දතයුතු දහම් ඔහුගේ සිත්හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳ දහම් ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය.
මහණෙනි, යම් සේ වියලුණු කොළ හැලුණු බොහෝ වස් ගණනක් ඉක්මුණු ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ කිරිරුකෙක් වේ ද, පුරුෂයෙක් ඒ මේ රුක තියුණු කෙටේරියකින් යම් යම් තැනෙකින් සිඳින්නේ නම් කිරිවැගිරෙන්නේ දැ යි. වහන්ස, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, යම් කිරෙක් වී නම් එය නැතැ යි. මහණෙනි එසෙයින් ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දතයුතු රූහි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතාමහත් වූ ද ඇසින් දත යුතු රූ ඔහුගේ ඇස්හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳ රූ ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය ...
මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ දිවින් දතයුතු රසයන්හි ... මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතාමහත් වූ ද සිතින් දතයුතු දහම් ඔහුගේ සිත් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳදහම් ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය යි.
කොට්ඨිත සූත්‍රය
232. එක්කලෙක ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටි සේක් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වුහ. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස්ව වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ:
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක් ද, ඇස රූනට සංයෝජන ද, රූ ඇසට සංයෝජන ද? කන සදනට සංයෝජන ද, සදහු කනට සංයෝජන ද? නැහැය ගඳනට සංයෝජන ද, ගඳහු නැහැයට සංයෝජන ද? දිව රසයනට සංයෝජන ද, රස දිවට සංයෝජන ද? කය පහස්නට සංයෝජනද, පහස්හු කයට සංයෝජන ද? සිත දහමුන්ට සංයෝජන ද, දහම් සිතට සංයෝජන දැ යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, ඇස රූනට සංයෝජන නො වේ. රූ ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
ඇවැත්නි, යම්සේ කළු ගොනෙකුත් සුදුගොනෙකුත් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඈඳන ලද්දාහු වෙත්ද, කළුගෝනා සුදුගොනාගේ බන්‍ධනය යි ද සුදුගොනා කළුගොනාගේ බන්‍ධනය යි ද යමෙක් මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනැවින් කියන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි කළුගෝනා සුදුගොනාගේ බන්‍ධන නො වේ. සුදුගොනා කළුගොනාගේ බන්‍ධන නො ද වේ. යම් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඔහු ඈඳන ලද්දාහු නම් එය එහි බන්‍ධන යි.
ඇවැත්නි එසෙයින් ම ඇස රූපයනට සංයෝජන නො වේ. රූපය ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.