141. මහණෙනි, ඇස දුක් ය. ඇස ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි. දුක් හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් සුව වන්නේ ද? කන ... නැහැය ... දිව දුක් ය. දිවේ ඉපැද්මට යමකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි, දුක් හේතුවෙන් හටගත් දිව කවර හෙයින් සුව වන්නේ ද? කය ... සිත දුක් ය. සිතේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හේ ද දුක් ය. මහණෙනි, දුක් හෙයින් හටගත් සිත කවර හෙයින් සුව වන්නේ ද.
මහණෙනි, මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 9.
අජ්ඣත්ත අනත්ත සූත්‍රය
142. මහණෙනි, ඇස ආත්ම නො වේ. ඇසේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද ආත්ම නො වේ. මහණෙනි, ආත්ම නොවන හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් ආත්ම වන්නේ ද. කන ආත්ම නො වේ ... නැහැය ආත්ම නො වේ ... දිව ආත්ම නො වේ. දිවේ හටගැන්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද ආත්ම නො වේ. මහණෙනි, ආත්ම නොවන හේතුවෙන් හටගත් දිව කවර හෙයින් ආත්ම වන්නේ ද? කය අනත් ය ... සිත ආත්ම නො වේ. සිතේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද ආත්ම නො වේ. මහණෙනි, ආත්ම නොවන හේතුවෙන් හටගත් සිත කවර හෙයින් ආත්ම වන්නේ ද?
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 10.
බාහිර අනිච්ච සූත්‍රය
143. මහණෙනි, රූපය අනිත්‍ය ය. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය දැයින් හටගත් රූපය කවර හෙයින් නිත්‍ය වන්නේ ද? සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිත්‍ය ය. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය දැයින් හටගත් දහම් කවර හෙයින් නිත්‍ය වන්නේ ද?
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිත් කලකිරෙයි. සදෙහිත් කලකිරෙයි. ගඳෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. පහස්හිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙ යි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 11.
බාහිර දුක්ඛ සූත්‍රය
144. මහණෙනි, රූපයෝ දුක්හ. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි. දුක් හේතුවෙන් හටගත් රූප කවර හෙයින් සුව වන්නේ ද. සද ... ගඳ ... රස ... පහස් ... දහම් දුක් ය. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි, දුකින් හටගත් දහම් කවර හෙයින් සැප වන්නේ ද.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 12.
බාහිර අනත්ත සූත්‍රය
145. මහණෙනි, රූපයෝ අනාත්මයහ. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනාත්මය. මහණෙනි, අනාත්මදැයින් හටගත් රූපයෝ කොයින් ආත්ම වන්නෝ ද. සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනාත්මයහ. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනාත්ම ය. මහණෙනි, අනාත්ම දැයින් හටගත් දහම් කොයින් ආත්ම වන්නේ ද.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
තුදුස්වැනි දේවදහවර්‍ගය යි.
එහි සූත්‍ර නාමාවලිය:
දේවදහ, ඛණ, සගය්හ, ගය්හ, යයි සතරෙක් ද, පලාස නමින් දෙකෙක් ද වෙත්, හේතු නමින් ද තුනෙක් කියන ලදි. ඔහු අජ්ඣත්ත බාහිර ය යි සයෙකි. මුළුල්ල දොළසෙකි.
15. නවපුරාණ වර්‍ගය
1. 15. 1.
කම්ම සූත්‍රය
146. මහණෙනි, අලුත් කර්‍ම හා පැරණි කර්‍ම ද කර්‍මනිරෝධය ද කර්‍මනිරෝධගාමිනී ප්‍රතිපදාව ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි.
මහණෙනි, පැරණි කර්‍මය කවරේ ද යත්: මහණෙනි, ඇස ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. කන ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. නැහැය ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. දිව ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. කය ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. සිත ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. මහණෙනි, මේ පැරණි කර්‍ම යයි කියනු ලැබේ.
මහණෙනි, අලුත් කර්‍මය කවරේ ද යත්: දැන් කයින් වදනින් සිතින් යම් කර්‍මයක් කෙරේ නම් මහණෙනි, මේ අලුත් කර්‍ම යයි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මනිරෝධය කවරේ ද යත්: මහණෙනි, යමෙක් කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍මයන්ගේ නිරෝධයෙන් විමුක්තිය ස්පර්‍ශ කෙරේ නම් මහණෙනි, මේ කර්‍මනිරෝධ යයි කියනු ලැබේ.
මහණෙනි, කර්‍ම නිරෝධගාමිනීප්‍රතිපදාව කවරයැ යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය මැ යි: එනම් සම්මාදිටිඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යි. මහණෙනි, මේ කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ මා විසින් තොපට පැරණිකර්‍මය දේශනා කරන ලදී. අලුත්කර්‍මය දේශනා කරන ලදී. කර්‍මනිරෝධය දේශනා කරන ලදි. කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව දේශනා කරන ලදී. මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් තොපට කටයුතු නම් මා විසින් එය තොපට කරන ලදී. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙල සුන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු, නහමක් පමාවවු. පසු ව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනාව යි.
1. 15. 2.
සප්පාය සූත්‍රය
147. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි, එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
මහණෙනි, මෙහි මහණ ඇස අනිත්‍ය යි දකී. රූ අනිත්‍ය යි දකී. චක්‍ෂුර්විඥානය අනිත්‍ය යි දකී. ඇස්පහස අනිත්‍ය යි දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් ඒ ද අනිසැ යි දකී.
කන ... නැහැය ... දිව අනිසැ යි දකී. රස අනිසැ යි දකී. ජිව්හාවිඤ්ඤාණය අනිසැයි දකී. දිවුපහස අනිසැ යි දකී. දිවුපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි දකී.
කය ... සිත අනිසැ යි දකී. (අරමුණු) දහම් අනිසැ යි දකී. මනෝ විඤ්ඤාණය අනිසැ යි දකී. මනපහස අනිසැ යි දකී. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි දකී. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
1. 15. 3.
දුතිය සප්පාය සූත්‍රය
148. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇස දුකැ යි දකී. රූ දුකැ යි දකී. චක්‍ෂුර්විඥානය දුකැ යි දකී. ඇස්පහස දුකැ යි දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී.
කන ... නැහැය ... දිව දුකැ යි දකී, රස දුකැ යි දකී, ජිව්හාවිඤ්ඤාණය දුකැ යි දකී, දිව්පහස දුකැ යි දකී, දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී.
කය ... සිත දුකැ යි දකී. දහම් දුකැ යි දකී. මනවිණැ දුකැ යි දකී, මනපහස දුකැ යි දකී, මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
1. 15. 4.
තතිය සප්පාය සූත්‍රය
149. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි, එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇස අනාත්මය යයි දකී. රූ අනත් යයි දකී. ඇස්විනැණ අනත් යයි දකී. ඇස්පහස අනත් යයි දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනත් යයි දකී.
කන ... නැහැය ... දිව අනත් යයි දකී. රස අනත් යයි දකී. දිව්විනැණ අනත් යයි දකී. දිව්පහස අනත් යි දකී. දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනත් යයි දකී.
කය ... සිත අනත් යයි දකී. දහම් අනත් යයි දකී. මනවිණැන අනත්ය යි දකී. මනපහස අනත් යයි දකී. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් යයි දකී. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
1. 15. 5.
චතුත්‍ථ සප්පාය සූත්‍රය
150. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
මහණෙනි, ඒ කිමැ යි හඟි වු ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ යැ. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ”? යි. වහන්ස, මෙය නො වේ ම ය.
රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍ය ය ... ඇස්විනැණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍ය ය ... ඇස්පහස නිත්‍ය හෝ අනිත්‍ය හෝ යි. වහන්ස, අනිත්‍ය ය. ... ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ. වහන්ස, අනිත්‍ය ය; යමක් අනිත්‍ය නම් හේ දුක් හෝ සුව හෝ යැ? වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය. මේ මම වෙමි” මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
කන ... නැහැය ... දිව ... කය ... සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍යය ... දහම් ... මනවිනැණ ... මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ යැ? වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහි කලකිරෙයි. ඇස්විනැණෙහිත් කලකිරෙයි. ඇස්පහසෙහිත් කලකිරෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
1. 15. 6.
අන්තේවාසික සූත්‍රය
151. මහණෙනි, අත වැස්සන් නැති ඇදුරන් නැති හෙවත් ඇතුළත කෙලෙස් නැති කෙලෙසුන් විසින් ශික්‍ෂණ නැති මහණ මේ බඹසර වෙසෙයි. මහණෙනි, අතැවැසි කෙලෙසුන් සහිත ඇදුරු කෙලෙසුන් සහිත මහණ නො පහසුව දුකසේ වෙසෙයි. මහණෙනි, අන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසෙයි.
මහණෙනි, සාන්තේවාසික සාචරියක මහණ කෙසේ නම් දුකසේ නො පහසු ලෙස වෙසේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට ඇසින් රූපයක් දැකීමෙන් සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල් දහම්හු උපදිද් ද, ඔහු ඔහුගේ ඇතුළත වෙසෙත්. ලාමක අකුසල් දහම්හු ඔහුගේ ඇතුළත වෙසෙත් යන මෙකරුණෙන් සාන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්‍ෂණ කෙරෙති. ලාමක අකුසල් දහම්හු ඔහු ශික්‍ෂණ කෙරෙති යි මෙකරුණින් හේ සාචරියක යයි කියනු ලැබේ.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි. කනින් සද අසා මහණහට ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: නැහැයෙන් ගඳ ගෙන මහණහට ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: දිවෙන් රස විඳ මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිතවූ ලාමක අකුසල් දහම්හු උපදිද්ද ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: කයින් පහස පැහැස්මෙන් මහණහට …
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: සිතින් දහම් දැන මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු උපදිද් ද ඒ අකුසල්හු ඔහුගේ ඇතුළත වෙසෙත්. ලාමක අකුසල්දහම්හු ඔහුගේ ඇතුළත වෙසෙත්නු යි මෙකරුණින් සාන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්‍ෂණය කෙරෙති. ලාමක අකුසල්දහම්හු ඔහු ශික්‍ෂණය කෙරෙත් නු යි මෙකරුණින් සාචරියක යයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ සාන්තේවාසික සාචරියක මහණ දුකසේ නො පහසු ලෙස වෙසෙ යි.
මහණෙනි, අනන්තේවාසික අනාචරියක මහණ කෙසේ නම් සුවසේ පහසු ලෙස වෙසේ ද යත්: මහණෙනි, මෙහි ඇසින් රූ දැක ඔහුට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු නූපදීද්ද, ඒ කෙලෙස්හු ඔහු අතැවැසි නො වෙත්, ලාමක අකුසල්දහම්හු ඔහු අතැවැසි නො වෙත් නු යි එහෙයින් අනන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්‍ෂණ නො කෙරෙති. ලාමක අකුසල්දහම්හු ඔහු ශික්‍ෂණ නො කෙරෙත් නු යි මෙසේ අනාචරියක යයි කියනු ලැබේ.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: කනින් සද අසා මහණහට ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැසැ ... මහණෙනි, නැවත අනෙකක් ද (කියමි:) සිතින් දහම් දැන මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු නූපදිද් ද ඒ අකුසල්හු ඔහු අතැවැසි නො වෙත්. ලාමක අකුසල්දහම්හු ඔහු අතැවැසි නො වෙත් නු යි මෙසේ අනන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු නො මඩිත් ලාමක අකුසල්දහම්හු ඔහු නො මඩිත් නු යි. එසේ අනාචරියක යයි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ අනන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසෙයි. මහණෙනි, අනන්තේවාසික අනාචරියකවැ මේ බඹසර වෙසේ. මහණෙනි, සාන්තේවාසික සාචරියක මහණ දුකසේ නො පහසු ලෙස වෙසේ. මහණෙනි, අනන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසේ යි.
1. 15. 7.
කිමත්‍ථිය සූත්‍රය
152. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වසනු ලැබේ දැ?” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ ය”යි මෙසේ පවසවු. මහණෙනි, ඉදින් ඒ අන්තොටුපිරිවැජ්ජෝ ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ නම් ඒ දුක කවරේ දැ? යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ හෙළිකරවු.
ඇවැත්නි, ඇස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසේ. රූ දුක් ය. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසේ. ඇස්විනැණ දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසෙයි. ඇස්පහස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසෙයි.
කන දුක් ය. ... නැහැය දුක් ය. ... දිව දුක් ය. ... කය දුක් ය ... සිත දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භගවත්හු කෙරෙහි බඹසර වෙසෙයි. ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භගවත්හු කෙරෙහි බඹසර වෙසෙයි. ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස භගවත්හු කෙරෙහි බඹසර වැසේ නම් මේ ඒ දුක යයි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ පවසවු යි.
1. 15. 8.
අත්‍ථිනුඛොපරියාය සූත්‍රය
153. සැවැත්නුවර–
මහණෙනි, මහණ තෙමේ යම් කරුණකට පැමිණ ඇදහීමෙන් තොර ව ම රුචියෙන් තොර ව ම ඇසීමෙන් තොර ව ම අයුරු සැලකීමෙන් තොර ව ම ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කරන්නේ නම් එබඳු කරුණෙක් ඇද්දැ?යි.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. අයැදිමි, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. එසේ ය වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කරන්නේ නම් එබඳු කරුණෙක් ඇත. මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි රහත්බව පළ කෙරේ නම් එබඳු කරුණ කවරේ ද යත්:
මහණෙනි, මෙහි මහණ තෙමේ ඇසින් රූ දැක තමා තුළ ඇති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී ද, තමා තුළ නැති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී ද; මහණෙනි, මහණ තෙමේ ඇසින් රූ දැක තමා තුළ ඇත්තාවූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී යන ඒ යමක් වේ නම් මහණෙනි, මේ දහම්හු ඇදහීමෙන් හෝ දතයුත්තාහු ද රිසියෙන් හෝ දතයුත්තාහු ද ඇසීමෙන් හෝ දතයුත්තාහු ද, අයුරු සැලකීමෙන් හෝ දතයුත්තාහු ද, ලබ්ධි විසින් ගැනුමෙන් හෝ දතයුත්තාහු දැ?යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, මේ දහම්හු නුවණින් දැක දත යුත්තාහු නො වෙද්දැ?යි. වහන්ස, එසේය.
මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි රහත්බව පළ කෙරේ නම් මේ ඒ කරුණ යි.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: මහණ තෙමේ කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පැහැසිය පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: මහණ තෙමේ සිතින් දහම් දැන තමා තුළ ඇති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී ද, තමා තුළ නැති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී ද, මහණෙනි, මහණ තෙමේ සිතින් දහම් දැන තමා තුළ ඇත්තා වූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී. තමා තුළ නැත්තා වූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී යන ඒ යමක් වේ නම් මහණෙනි, මේ දහම්හු ඇදහීමෙන් හෝ දත යුත්තාහු ද ... ලබ්ධි විසින් ගැනීමෙන් හෝ දත යුත්තාහු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, මේ දහම්හු නුවණින් දැක දත යුත්තාහු නො වෙද්දැ?යි. වහන්ස, එසේ ය.
මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම රිසියෙන් තොර ව ම ඇසීමෙන් තොර ව ම අයුරු සැලකීමෙන් තොර ව ම ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කෙරේ නම් මෙ ද ඒ කරුණ යි.
1. 15. 9.
ඉන්‍ද්‍රියසම්පන්න සූත්‍රය
154. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, ඉන්‍ද්‍රියසම්පන්න ය, ඉන්‍ද්‍රියසම්පන්න ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්න වේ දැ? යි.
මහණ, ඉදින් චක්ඛුන්‍ද්‍රියයෙහි උදයව්‍යය අනුව දකිමින් වෙසෙන්නේ චක්ඛුන්‍ද්‍රියයෙහි කලකිරේ ද ... සෝතින්‍ද්‍රියයෙහි ... ඝානින්‍ද්‍රියයෙහි ... ජිව්හින්‍ද්‍රියයෙහි ... කායින්‍ද්‍රියයෙහි ... මහණ, ඉදින් මනින්‍ද්‍රියයෙහි උදයව්‍යය අනුව දකිමින් වෙසෙන්නේ මනින්‍ද්‍රියයෙහි කලකිරේ ද, කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී. මහණ, මෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්න වේ යි.
1. 15. 10.
ධම්මකථික සූත්‍රය
155. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, ධම්මකථික ය, ධම්මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ධම්මකථික වේ දැ? යි.
මහණ, ඉදින් ඇසෙහි නිර්වේදය පිණිස විරාගය පිණිස, නිරෝධය පිණිස දහම් දෙසන්නේ නම් මහණ තෙමේ ධම්මකථික ය”යි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් ඇසෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් මහණ තෙමේ දහමට අනුලොම් පිළිවෙතෙහි පිළිපන්නේ යයි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් ඇසෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යයි කියන්නට සුදුසු ය.
කනෙහි ... නැහැයෙහි ... දිවෙහි ... කයෙහි ... මහණ, ඉදින් සිතෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස දහම් දෙසන්නේ නම් මහණ තෙමේ ධම්මකථික ය යි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් සිතෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් මහණ තෙමේ දහමට අනුලොම් පිළිවෙතෙහි පිළිපන්නේ යයි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් සිතෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් මහණ තෙමේ දිටුදැමියෙහි නිවන් පැමිණියේ යයි කියන්නට සුදුසු යයි.
පසළොස් වැනි නවපුරාණ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
කම්ම සූත්‍රය, සප්පාය සූත්‍ර සතර ය, අනන්තෙවාසි කිමත්‍ථිය සූත්‍ර දෙක ය, අතථිනුඛොපරියාය සූත්‍රය, ඉන්‍ද්‍රියසම්පන්න ධම්මකථික සූත්‍ර දෙක ය යි සූත්‍ර දශයෙකි.
එහි වර්‍ගනාමාවලිය:
යෝගක්ඛේම, ලෝක වර්‍ග දෙකෙන් ද, ගහපති, දේවදහ වර්‍ග දෙකෙන් ද, ඒ නවපුරාණ වර්‍ගයෙන් ද තෙවන පඤ්ඤාසකය කියනු ලැබේ යි.
තෙවන පඤ්ඤාසකය නිමි.
16. නන්‍දික්ඛය වර්‍ගය
1. 16. 1.
අජ්ඣත්තනන්‍දික්ඛය අනිච්ච සූත්‍රය
156. සැවැත්නුවර–