Khuddakapāṭha

Minor Readings

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 122 segments

Showing entries 101-122 of 122

9. පුණ්‍යානිධානය තෙමේ අන්‍යයන්ට සාධාරණ නොවේ. සොරුන් විසින් පැහැර ගත නො හැකිය. (පරලොව යන කල්හි ද) තමා අනුව යන්නා වු යම් පුණ්‍යනිධානයෙක වේ ද, නුවණැත්තේ ඒ පින්කම කරන්නේ ය.
10. මේ පුණ්‍යකර්‍මය තෙමේ දෙවිමිනිසුන්ට සියලු කැමැති සම්පත් දෙන නිධානය යි. ඔහු යමක් යමක් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙද්ද ඒ සියල්ල මේ පුණ්‍ය නිධානය කරණ කොට ගෙණ ලැබේ.
11. සුන්‍දර ඡවිවර්‍ණ ඇති බව ද, මධුර වූ ස්වර ඇති බව ද, අඟපසඟ පිළිබඳ මනා සටහන් ඇති බව ද, සුන්‍දර ශරීර ඇති බව ද, අධිපතිභාවය හා පිරිවර ජනයා (පිරිස්) ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
12. ප්‍රදේශරාජ්‍යය ද, එක් එක් දිවයිනෙහි අණසක පැවැත්වීම නම් වූ ද්වීපචක්‍රවර්තිරාජ්‍යය ද, ප්‍රිය වූ මුළු සතර මහ දිවයිනේ අණසක පැවැත්වීම සඞ්ඛ්‍යාත චක්‍රවර්තිරාජ්‍ය සැපය ද දෙව්ලොව දිව්‍ය සැපය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
13. යම් මනුෂ්‍ය සම්පත්තියක් ඇද්ද, දෙව්ලොව යම් සුඛයක් හා සුඛ වස්තුවකුත් ඇද්ද, යම් නිර්‍වාණසම්පත්තියකුත් ඇද්ද, ඒ සියල්ල මේ පුණ්‍යනිධානයකරණ කොට ගෙණ ලැබේ.
14. කල්‍යාණමිත්‍රසම්පත්තිය නිසා උපායමනස්කාරයෙන් භාවනායෝගයෙහි යෙදෙන්නහුට පූර්වේනිවාසානුස්මෘතිඥානාදි ත්‍රිවිද්‍යාවෝ ය, අෂ්ටසමාපත්ති හා නිර්‍වාණධර්‍මසඞ්ඛ්‍යාත විමුක්තිය යන මොවුන් කෙරෙහි වශීභාවය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
15. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්ති - ප්‍රතිභානප්‍රඥාසඞ්ඛ්‍යාත පටිසම්භිදාවන් ද, අෂ්ටවිධවිමෝක්‍ෂයන් ද, බුද්ධශ්‍රාවකයන් විසින් ලැබිය යුතු වූ ශ්‍රාවකසම්පත්තිය සිද්ධ කර්‍ණ යම් ශ්‍රාවකපාරමිතාවක් ඇත් නම් එය ද, ස්වයම්භූභාවය සිද්ධ කරණ යම් ප්‍රත්‍යෙකබෝධියක් (පසේ බුදුබවක්) ඇත් නම් එය ද, සියලු සත්ත්‍වයන්ට උතුම් බව සිද්ධ කරණ අනුත්තර බුද්ධභූමියක් (ලොව්තුරා බුදු බවක්) ඇත් නම් එය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
16. යම් මේ පුණ්‍යසම්පත්තියක් වේ ද, එය මෙසේ මහත් අභිවෘද්ධිය පිණිස පවත්නේ ය. එහෙයින් ධීර ගුණයෙන් යුත් පණ්ඩිතයෝ කළ පින් ඇති බව පසසත්.
නිධිකණ්ඩ සූත්‍රය යි.
9. මෙත්ත සූත්‍රය
1. යම් ඒ ශාන්තිපද සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, එයට පැමිණ නොහොත් එය අවබෝධ කොට වසනු කැමති අභිවෘද්ධිය සලසා ගැණීමෙහි දක්‍ෂයා විසින් එයට සුදුසු දෙය කළ යුතු ය. නිවණට පැමිණ වසනු කැමැත්තේ සත්‍යප්‍රතිවේධය පිණිස පිළිපදින්නට නොහොත් කිසුණු පිරියම් කිරීම් වත් සමාදන් වීම් ආදී සියලු කාර්‍ය්‍යයන් කරන්නට දක්‍ෂයෙක් වන්නේ ය. (දක්‍ෂයකු විය යුතු ය.) ඍජු වන්නේ ය. එක් වරක් ඍජු වීමෙන් නො නැවතී දිවි ඇති තාක් මනා කොට ඍජු වන්නේ ය. අන්‍යයන් ගේ අවවාද මනාකොට පිළිගැණීම් වශයෙන් සුවච වන්නේ ය. මෘදු වන්නේ ය. අතිමාන ඇත්තේ නො වන්නේ ය.
2. ලද දෙයින් සතුටු වන්නෙක් ද පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් ද, (ස්වකීය ශ්‍රමණධර්‍මය කිරීමට පමණක් සීමා වූ ) ස්වල්ප කටයුතු ඇත්තෙක් ද, සැහැල්ලු පැවතුම් ඇත්තෙක් ද, සන්හුන් ඉඳුරන් ඇත්තෙක් ද ප්‍රඥා ඇත්තෙක් ද, හැඩි දැඩි අසංවර ගති නැත්තෙක් ද, කුලයන් කෙරෙහි (සිවු පසයෙහි ඇලීම් ආදී වශයෙන්) නො ඇලුනෙක් ද වන්නේ ය.
3. නුවණැති අන්‍යයන් නින්‍දා කරණ සුළු වරදක් වත් නො කරන්නේ ය. “සියලු සත්ත්‍වයෝ සැප ඇත්තෝ වෙත්වා, භය නැත්තෝ වෙත් වා, සුඛිත සිත් ඇත්තෝ වෙත් වා”යි ද,
4. තෘෂ්ණාභය සහිත හෙයින් තැති ගන්නා සුලු වූ ද තෘෂ්ණා භය ප්‍රහීණ කළ හෙයින් ස්ථාවර වූ ද යම් කිසි සත්ත්‍වයෝ ඇත්තාහු නම්, ඒ සියලුදෙනා ද, (නාගාදි) දික් ශරීර ඇත්තෝ ද, (මත්ස්‍ය හස්ති අසුරා දී) මහත් ශරීර ඇත්තෝ ද, (අශ්වගවමහිෂාදී) මධ්‍යම ප්‍රමාණ ශරීර ඇත්තෝ ද, (වාමනාදී) මිටි සිරුරු ඇත්තෝ ද, (පියෙවි ඇසට නොපෙණෙන) ඉතා සියුම් ශරීර ඇත්තෝ ද, (මස් කැසුබු ආදී) ස්ථුල ශරීර ඇත්තෝ ද,
5. ඇස් හමුවට පැමිණීම් වශයෙන් දුටු සත්තු ද, ඈත සිටි හෙයින් නුදුටු සත්තු ද, යම් සත්ත්‍ව කෙනෙක් දුරත් ලඟත් වසත් නම් ඔහු ද, ඉපදීම අවසන් කළ සත්ත්‍වයෝ ද (ක්‍ෂීණාශ්‍රවයෝ ද), මතු ඉපදීම සොයන (ශෛක්‍ෂ පෘථග්ජන) සත්ත්‍වයෝ ද යන මේ සියලු සත්ත්‍වයෝ සුඛිත සිත් ඇත්තෝ වෙත්’වා යි ද මෙත් වඩන්නේ ය.
6. එකෙක් අනෙකකු නො රවටන්නේ ය. (නො රවටාවා) අනෙකකුට අවමන් නො කරන්නේ ය. (නො කෙරේ වා) බ්‍යාරොසනා නම් වූ කය හා වචනය පිළිබඳ විකෘතියෙන් ද ප්‍රතිඝසංඥා සඞ්ඛ්‍යාත මනෝවිකාරයෙන් ද එකෙක් අනෙකකුට දුකක් නො කැමති වන්නේ ය. (නො කැමති වේවා).
7. මව යම්සේ තමා ගෙන් ඇති වූ එක ම ඖරස පුත්‍රයා ජීවිතපරිත්‍යාගයෙන් වුවත් රක්නේ ද, එ පරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රීසහගත සිත වඩන්නේ ය.
8. උඩ ද යට ද සරස ද (සතුරන් ය යි කියන ලද) සීමාවකුදු නැති ව අතරතුර වත් වෛර චේතනා පහළ වීමක් නැති ව, සතුරන් රහිත ව සියලු ලෝකසත්ත්‍වයා කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රීසහගත සිත වඩන්නේ ය.
9. සිටින්නේ හෝ ඇවිදින්නේ හෝ උන්නේ හෝ නිදන්නේ හෝ යම් තාක් මෛත්‍රීසහගත සිහිය ඉටනු කැමැත්තේ ද, ඒ තාක් පහ වූ මිද්ධය (අලස බව) ඇති ව ඉටන්නේ ය. මේ මෛත්‍රීවිහරණය මේ බුද්ධශාසනයෙහි ශ්‍රේෂ්ඨ විහරණයැ යි ප්‍රකාශ කළහ.
10. (සත්ත්‍වයෙක් පුද්ගලයෙක් ඇත්තේ ය යන) මිථ්‍යාදෘෂ්ටිය ට නො පැමිණ (ලෝකෝත්තරශීලයෙන්) සිල්වත් වූයේ (සෝතාපත්තිමග්ගසම්මාදිට්ඨි ය යි කියන ලද) දර්‍ශනයෙන් යුක්ත වූයේ (සකෘදාගාමි අනාගාමී මාර්‍ග දෙකින්) වස්තුකාමයන්හි ගිජුබව දුරු කොට, ඒකාන්තයෙන් ම නැවත ගර්‍භයෙක් හි විසීමට නො පැමිණෙන්නේ ය. (ශුද්ධාවාසයයෙක ඉපිද එහි දි ම රහත්බවට පැමිණ පිරිනිවන් පාන්නේ ය.)
මෙත්ත සූත්‍රය යි.
ඛුද්දකපාඨ පෙළ නිමියේ ය.