සූත්‍ර පිටකයෙහි
කුදුගත් සඟිය
(ප්‍රථම ග්‍රන්ථය)
ඛුද්දකපාඨ පෙළ
ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. ශරණගමනය
බුදුරජුන් සරණයෙමි (පිහිට යැ යි දැන ගණිමි.)
දහම් සරණ යෙමි (පිහිට යැ යි දැන ගණිමි.)
සඟ සරණ යෙමි (පිහිට යැ යි දැන ගණිමි.)
දෙවනු ද බුදුරජුන් සරණ යෙමි.
දෙවනු ද දහම් සරණ යෙමි.
දෙවනු ද සඟ සරණ යෙමි.
තෙවනු ද බුදුරජුන් සරණ යෙමි.
තෙවනු ද දහම් සරණ යෙමි.
තෙවනු ද සඟ සරණ යෙමි.
ශරණගමනය යි.
2. දසසිකපද
පණිවායෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
අයිනා දනින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
මෙවුන්දමින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි. අබ්රම්සරින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
මුස වායෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
මදයටත් ප්‍රමාදයටත් හේතු වූ රහමෙර පීමෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
විකල් බොජුනෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
නටනු ගයනු වයනු විසුළුදස්නෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
අඩු තැන් පිරවීමටත් සැරසීමටත් කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරීමෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
උසසුන්මහස්නෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
දසසිකපද යි.
3. දෙතිස් ආකාරය
මේ සිරුරෙහි කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය, මස් ය, නහර ය, ඇට ය, ඇටමිඳුලු ය, වකුගඩු ය, හදවත ය, අක්මාව ය, දලබුව ය, බඩදිව ය, පපුමස ය, අතුනුවැටිය ය, අතුනුබහන් ය, උදරිය (උදරයෙහි වූ නො පැසුණු අහර පැන් ආදිය) ය, වසුරු ය, පිත ය, සෙම ය, පූයා ය, ලේ ය, ඩහදිය ය, හැසුනු (මිදි ගිය) තෙල් ය, කඳුළු ය, වුරුණු (දිය ව ගිය) තෙල් ය, කෙල ය, මුකුණු (සොටු) ය, සඳමිඳුලු ය, මුත්‍ර ය, හිස් කබල් තුළ පිහිටි මිඳුලු රැස ය යන දෙතිස් කුණුප කොටස් කෙනෙක් ඇත්තාහ.
දෙතිස් ආකාර යි.
4. කුමාරප්‍රශ්න
එක නම් කිම? සියලු සත්හු අහරින් සිටින්නෝ ය.
දෙක නම් කිම? නම් රූ දෙක ය.
තුන නම් කිම? (සුඛ දුඃඛ උපේක්ෂා යන) තුන් වේදනාවෝ ය.
සතර නම් කිම? (දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන) සතර ආර්ය සත්‍යයෝ ය.
පස නම් කිම? (රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන) උපාදානස්කන්ධ පස ය.
සය නම් කිම? (චක්ඛු සෝත ඝාන ජිව්හා කාය මන යන) තමා කෙරෙහි වූ ආයතන සය ය.
සත නම් කිම? (සති ධම්මවිචය පීති විරිය පස්සද්ධි සමාධි උපෙක්ඛා යන) බෝධ්‍යඞ්ග සත ය.
අට නම් කිම? (සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසාමාධි යන) ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය ය.
නවය නම් කිම? (නානත්තකාය නානත්තසඤ්ඤි ය, නානත්තකාය ඒකත්තසඤ්ඤි ය, එකත්තකාය නානත්තසඤ්ඤි ය, එකත්තකාය ඒකත්තසඤ්ඤි ය, අසඤ්ඤි ය, අකාසානඤ්චායතනූපග ය, විඤ්ඤාණඤ්චායතනූපග ය, ආකිඤ්චඤ්ඤායතනූපග ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග ය යන) සත්ත්‍වාවාස නවය ය.
දශය නම් කිම? (අසේඛ සම්මාදිට්ඨි ය, අසේඛ සම්මාසඞ්කප්ප ය, අසේඛ සම්මාවාචා, අසේඛ සම්මාකම්මන්ත ය, අසේඛ සම්මාආජීව ය, අසේඛ සම්මාවායාම ය, අසේඛ සම්මාසති ය, අසේඛ සම්මාසාමාධි ය, අසේඛ සම්මාඤාණ ය, අසේඛ සම්මාවිමුත්තිය යන) අඞ්ග දශයෙන් යුත් වූයේ රහත් තෙමේ ය යි කියනු ලැබේ.
කුමාරප්‍රශ්න යි.
5. මඞ්ගල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා දෙවියෙක් රෑ (පෙර යම්) ඉක්ම ගිය කල්හි විශිෂ්ට ශරීරශෝභා ඇත්තේ සියලු ජේතවනය (ස්වකීය) ශරීරශොභායෙන් බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන්වහන්සේට ගාථායෙන් (මෙසේ) කීයේ ය:
1. ස්වස්ථභාවය කැමැති බොහෝ දෙවියෝ ද මිනිස්සු ද (දෙලෝ වැඩ සලසන) මඞ්ගල කාරණයන් සිතූහ. වැඩ සලසන උතුම් මඟුල් (මඞ්ගල කාරණ) වදාළ මැනැවි.
[බුදුරජුහු වදාළහ:]
2. බාලයන් ඇසුරු නොකිරීම ද මඟුලෙකි. පණ්ඩිතයන් ඇසුරු කිරීම ද මඟුලෙකි. පිදිය යුත්තන් පිදීම ද මඟුලෙකි. මේ (එක එකෙක්) උතුම් මඟුල් ය (මඞ්ගල කාරණය).
3. සුදුසු පෙදෙසෙහි විසීම ද, පෙරකළ පින් ඇති බව ද, සිය අත්බව (ශීලාදි) මනා දහම්හි පිහිටුවීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
4. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, (ගිහි පැවිදි) සිප්හි අත් හුරු බව ද, මොනොවට හික්මුනු කා විසි මුනි තුන් දොර ඇති බව ද, මොනොවට කියන ලද වචනය ද (මුසාවා ආදියෙන් වැළකි වචනය ද) යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
5. මවුට උවටන ද, පියාට උවටන ද, අඹුදරුවනට සඞ්ග්‍රහ ද, (ගොවිතැන් ආදි) නිරවුල් කර්මාන්තය ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
6. දානය ද, දස කුසල්දහම්හි හැසිරීම ද, නෑයන්ට සංග්‍රහ ද, පෙහෙවස් විසීම් ආදි නිවැරැදි කර්ම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
7. මානසික අකුශලයෙන් වැළැක්ම ද, කායික වාචසික අකුශලයෙන් වැළැක්ම ද, මත්පැනෙන් වැළැක්ම ද, කුසල්දහම් වැඩීමෙහි නොපමා බව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
8. ගරු කටයුත්තනට ගරු කිරීම ද, මන් නැති බව ද (නිහතමාන බව) ද, ලද දැයින් සතුටු වන බව ද, කෙළෙහි ගුණ දන්නා බව ද, සුදුසු කල්හි බණ ඇසීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
9. ඉවැසීම ද, සුවච බව ද, ශ්රමණයන් දැක්ම ද, සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
10. තපස ද (ඉන්ද්රියසංවර හා වීර්‍ය්‍යය ද,) බඹසර ද (මෙවුන්දමින් වැළැක්ම, මහණදම, සසුන් බඹසර යන තුන් බඹසර ද), චතුරාර්‍ය්‍යසත්‍යයන් දැකීමද (මාර්ගදර්ශනය ද), නිවන්පසක් කිරීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
11. අට ලෝදහමින් පහස්නා ලද (ස්පර්ශකරන ලද, මඬනා ලද) යමක්හුගේ සිත නො සැලේ ද, ශෝක රහිත ද, රාගාදි රජස් රහිත ද, කාමයෝගාදීන්ගෙන් නිරුපද්‍රත ද, එ බඳු වූ රහත්හුගේ සිතෙහි වූ ඒ නොසැලෙන බව ආදි එක එකෙක් උතුම් මඟුල් ය.
12. යම් කෙනෙක් මෙබඳු වූ බාලයන් ඇසුරු නොකිරීම් ආදි මඞ්ගල කාරණයන් කිරීමෙන් හැම තන්හි (දෙලෙව්හි ම) නොපැරැදුනෝ ව සියලු ඉරියව්වෙහි ස්වස්ථ ව වෙසෙත් ද, එය (ඒ බාලයන් ඇසුරු නොකිරීම් ආදිය) ඔවුන්ට උතුම් මඟුල් ය.
මඞ්ගල සූත්‍රය යි.
6. රතන සූත්‍රය
1. පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා. තව ද මගේ වචනය සකසා අසත්වා.
2. භූතයෙනි, ඒ බැවින් සියලු තෙපි (මගේ වචනය) අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එළවත් ද, එහෙයින් නො පමා ව ම ඔවුන් රකිවු.
3. මේ මිනිස්ලොව හෝ නාලෝ ආදි අන් ලොවෙක හෝ යම් ධනයෙක් වේ ද දෙව්ලෝහි හෝ මහඟු රුවනෙක් වේ ද (ඔවුන් අතුරෙහි) තථාගතයන් හා සදෘශයෙක් නැත් ම ය. මෙ කරුණින් ද බුදුරජුහු උතුම් රුවනෙකි (නොහොත් මෙය බුදුරජුන් ගේ රත්නභාවය යි.) මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
4. ශාක්‍යමුනි තෙම (ආර්ය්යමාර්ග සමාධියෙන්) එකඟ වූ සිත් ඇත්තේ, කෙලෙස් නැසීමට නිමිති වූ, රාගයෙන් වෙන් වීමට නිමිති වූ, මරණයක් නැති, උතුම් වූ (මහත් වූ) යම් නිවනක් පසක් කළේ ද, ඒ දහම හා සම වූ කිසිවෙක් නැත්තේ ය. මෙ කරුණින් ද නිවන්දහම උතුම් රුවනෙකි. මේ සත්‍යවචනානුභාවයෙන් සෙත් වේවා.
5. බුද්ධශ්‍රේෂ්ඨ තෙම අත්‍යන්තපරිශුද්ධ වූ යම් මාර්ගසමාධියක් වර්ණනා කළේ ද, බුද්ධාදීහු ආනන්තරික (අනතුරුව ම පල දෙන) සමාධිය යැ යී යමකට කියත් ද, ඒ සමාධිය හා සදෘශ (අන් සමාධි) යෙක් නැත. මේ කරුණින් ද ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
6. සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද නොහොත් ප්රශස්ත වූ යම් අටෝරාසියක් අරී පුගුලෝ වෙත් ද, මොහු හැම දෙන සතර යුග කෙනෙක් වෙති. සුගත බුදුරජුන්ගේ සවු වූ ඔහු තුමූ දක්ෂිණාවට (කර්මය ද කර්මවිපාකය ද අදහා දෙන දානය පිළිගැන්මට) සුදුස්සෝ වෙති. මේ බුදුසව්වන් කෙරෙහි දෙන ලද දානයෝ මහත් පල ඇත්තෝ වෙත්. මේ කරුණින් ද බුද්ධශ්රාවක සඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
7. ගොයුම්බුදුරජුන් ගේ සස්නෙහි වූ, සුවිශුද්ධ කායවාක්කර්ම සංඛාත ශීලස්කන්ධයෙන් යුක්ත වූ, ස්ථිර සිතින් (හෙවත් සමාධිගත සිතින්) යුක්ත වූ, ප්‍රඥාව කරණ කොට ගෙණ සියලු කෙලෙසුන්ගෙන් නික්මුනා වූ යම් පුද්ගල කෙනෙක් වෙත ද, ඔහු තුමූ (අරමුණු කිරීම් වශයෙන්) නිවනට බැස ගෙණ නො මිලේ ම රහත්පල සමවත ලැබ ගෙණ එය විඳින්නාහු වෙති. මේ කරුණින් ද ආර්‍ය්‍යසඞ්ඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
8. යම්සේ පොළොව තුළ වැද ගෙණ සිටි ඉන්ද්රකීලය තෙමෙ සිවු දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නො වේ ද. ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රඥායෙන් බැස ගෙණ දක්නා සත්පුරුෂයා (හෙවත් සෝවාන් පුඟුලා) එබන්දකු කොට කියමි. මේ කරුණින් ද ආර්‍ය්‍යසඞ්ඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
9. යම් සෝවාන් පුඟුල් කෙනෙක් ගැඹුරු නුවණැති බුදුරජුන් දෙසූ ආර්‍ය්‍යසත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත් ද, ඔහු (දෙව්සුව සක්විති රජස්‍රව ආදි පමාවට කරුණු වන තැනකට පැමිණ) බෙහෙවින් පමා වූවාහු නමුදු අටවන භවයක් නො ගණිති. මෙ කරුණින් ද ආර්ය්යසංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
10. මේ සෝවාන්හුගේ දර්ශනසම්පත්තිය (පළමු වන නිවන් දැක්ම) හෙවත් සෝවාන් මඟ නුවණ පහළ වීම සමග ම සත්කායදෘෂ්ටිය ද, (බුද්ධාදි අට තන්හි) සැකය ද, යම් මිථ්‍යාශීලව්‍රත කෙනෙක් වූහු නම් ඒ සියල්ල ද යන මේ තුන් සංයෝජනයෝ දුරු කරණ ලද්දෝ වෙත්. හෙතෙම සතර අපායයන් කෙරෙන් මිදුනේ ද වේ. (ආනන්තර්‍ය්‍ය කර්ම පසත් මිථ්‍යාදෘෂ්ටියත් යන බැරෑරුම් වූ පව් සය කරන්නට ද හේ අභව්‍ය ය (ඔහු විසින් ඒ පව් සය නො කට හැක්ක). මෙ කරුණින් ද ආර්ය්යසංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
11. ඒ (සෝවාන්) පුද්ගල තෙම (ප්‍රමාදයෙකින්) කයින් හෝ වචනයෙන් හෝ නැත හොත් සිතින් හෝ ප්‍රඥප්තිවද්‍යමාත්‍ර වූ කිසි වරදක් කරන්නේ නුමුදු, හේ එය සඟොවන්නට නො හැක්කේ ය. දක්නා ලද නිර්වාණපදය ඇති සෝවාන්හුගේ (වරද සැඟෙවීමෙහි) අභව්‍ය බව (හෙවත් වරද සැඟෙවිය නො හැකි බව) (බුදු රජුන් විසින්) වදාරන ලද්දේ ය. මේ කරුණින් ද ආර්‍ය්‍යසඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
12. වන ලැහැබ තෙමේ ග්‍රීෂ්මර්තුව සම්බන්ධී වූ ප්‍රථම ග්‍රීෂ්ම මාසයෙහි (හෙවත් බක් මස) සුපිපි අක් ඇත්තේ යම්සේ ද, එසේ වූ නිවන්පුර පමුණුවන පර්ය්යාප්තිධර්මරත්නය පරමහිතාඛ්‍ය වූ නිවන් පිණිස (ඒ බුදුරජ තෙම) දෙසී ය. මේ කරුණින් ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
13. උතුම් වූ නිවන් දන්නා වූ, උතුම් නිවන දෙන්නා වූ, උතුම් නිවන් මඟ ගෙන හැර පාන්නා වූ, නිරුත්තර වූ බුදුරජ තෙම උතුම් දහමක් දෙසී ය. මේ කරුණින් ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
14. යම් කෙනෙකුන්ගේ පුරාතන කර්ම (මෙයින් මත්තෙහි ප්‍රතිසන්ධියක් දිය නො හැක්කේ) රහත්මඟින් ක්ෂීණ වූයේ ද, (කර්මක්ෂය කළ බැවින් මත්තෙහි විපාක දිය හැකි) අළුත් කර්මයන්ගේ පහළ වීමෙකුත් නැද්ද, මතු භවයක් කෙරෙහි නො ඇලුණු සිතැති, ක්ෂීණ වූ ප්‍රතිසන්ධිවිඥාන සඞ්ඛාත වීජ ඇති, පුනර්භව සඞ්ඛාත සංස්කාර වෘද්ධිය කෙරෙහි කැමැත්තක් නැති, ධෛර්ය්යසම්පන්න වූ ඒ රහත්හු මේ පහන මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් පිරිනිවෙත්. මේ කරුණින් ද සඞ්ඝයා උතුම් රුවනි නොහොත් මේ ද සඞ්ඝයා ගේ උතුම් රුවන් බවෙකි). මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
(සක්දෙව්රජ කී ය:)
15. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද (අපි) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමදිමු. (සත්ත්වප්‍රජාවට) සෙත් වේවා.
16. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද, (බුද්ධාදීන්) විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත වු ධර්මය නමදිමු. (සත් වගට) සෙත් වේවා.
17. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද (ආත්මහිතයෙහි පිළිපන්නවුන් විසින් යෑ යුතු මඟෙහි යෑම් ආදී අරුතින්) තථාගත වූ සඞ්ඝයා නමදිමු සෙත් වේවා.
රතන සූත්‍රය යි.
7. තිරොකුඩ්ඩ සූත්‍රය
1. (ඥාතිප්‍රේතයෝ) තමන් පෙර වුසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හි ද ගෘහසන්ධි භිත්තිසන්ධි සතරමංහන්දි තුන්මංහන්දි යන මේ තන්හි ද දොරබා නිසා ද සිටිත්.
2. බොහෝ වූ ආහාරපාන ද ඛාද්‍යභෝජ්‍ය ද පිළියෙල ව ඇති කල්හි (පවා) ඒ ප්‍රේතලෝකයෙහි උපන් සත්ත්වයන්ගේ අකුශලකර්ම හේතුවෙන් කිසි ම නෑදෑයෙක් ඔවුන් සිහි නො කෙරෙයි.
3-5. නෑයන් අතුරෙන් යම් කෙනෙක් ඔවුනට අනුකම්පා කරන්නාහු වෙත් ද. ඔහු තුමූ “මේ පින පරලොව ගිය අප නෑයනට වේවා. ඒ නෑයෝ සුවපත් වෙත්වා”යි කියා, ඔවුන් අවුත් සිට කල්හි, ඒ නෑයන් උදෙසා පවිත්‍ර වූ ප්‍රණීත වූ කැප වූ ආහාර පාන දන් දෙත්. ඒ ඥාති ප්‍රේතයෝ ද ඒ දන් දෙන තැනට නොයෙක් දිශාභාගයෙන් අවුත් එක් රැස් වූවාහු, තමන් උදෙසා බොහෝ ආහාරපාන දෙනු ලබන කල්හි සකසා (කම් පල අදහා) පින් අනුමෝදන් කෙරෙත් (හෙවත් එය අනුව සතුටු වෙත්). “යම් කෙනෙකුන් නිසා (පින් අනුමෝදන් කළ) මෙ කෙණෙහි සම්පත් ලබමෝ ද, ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් දන් දී පින් පැමිණවීම් වශයෙන් අපට ද පූජා කරන ලදී” යී ද තුති කෙරෙත්. ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නො වෙති.
6. ඒ ප්‍රේතලෝකයෙහි සී සෑමෙක් නැත්තේ ය. ගව පාලනයත් එහි නැත්තේ ය. (සම්පත් ලැබීමට හේතු වූ) එබඳු වෙළෙඳාමෙකුත් නැත්තේ ය. රන්රිදියෙන් කරණ ගණුදෙනුවෙක් ද නැත්තේ ය. (හුදෙක් ) මැරී ඒ ප්‍රේතවිෂයයට පැමිණියෝ මේ මිනිස්ලොව වසන නෑමිතුරන් විසින් දෙන ලද පිනෙකින් ඒ ප්‍රේතයෝනියෙහි යැපෙත්.
7. යම්සේ උස් බිමෙක් වට ජලය මිටි බිම කරා ගලා බසී ද, එ පරිද්දෙන් ම මේ මිනිස්ලොවෙහි දී ඥාත්යාදීන් විසින් දුන් දානය (එහි විපාක වශයෙන්) ප්රේතයන්හට පැමිණේ (ලැබේ).
8. යම් සේ මහා නදීහු කුඩා ගං හෝ ආදියෙහි රැස් වන දියෙන් පිරුණාහු සාගරය පුරාලත් ද, එ පරිද්දෙන් ම මේ මිනිස්ලොවෙහිදී ඥාත්යාදීන් විසින් දුන් දානය (එහි විපාක වශයෙන්) ප්රේතයන්හට පැමිණේ (ලැබේ).
9. “මට මෙ බඳු ධනයක් හෝ ධාන්‍යයක් හෝ දුන්නේ ය යි ද, මගේ මේ කටයුත්ත කෙළේ ය යි ද, මොහු තුමූ මගේ නෑයෝ ය යි ද, මිත්‍රයෝ ය යි ද (අසුවලා වැළි කෙළියෙහි පටන්) මාගේ යහළුවා ය”යි ද මෙසේ පෙර කරණ ලද උපකාර සිහි කෙරෙමින් මිය පරලොව ගියවුන් උදෙසා දන් දිය යුත්තේ ය.
10. හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ යම් අනෙක් වැලැපීමෙක් හෝ වේ ද, එය පරලොව ගියවුන්ගේ ප්‍රයෝජනය පිණිස නො වේ. ඒ ප්‍රෙතයෝ එහි උපන් පරිද්දෙන් ම සිටිත්. (මේ ඇඩුම්වැලැපුම්වලින් වැඩෙක් නො වේ.)
11. (මහරජ, ඔබ විසින් අද තමන්ගේ ඥාතිසමූහයා උදෙසා) යම් දානයෙක් දෙන ලද්දේ ද, ඒ මේ දක්ෂිණාව (නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හෙයින්) සඞ්ඝයා කෙරෙහි සුපිහිටියේ වන්නේ ය. එ හෙයින් එය ඒ ප්රේතසමුහයාට දීර්ඝ කාලයක් හිත සැප පිණිස විපාක දෙයි. එ කෙණෙහි ම (පහළ වීම් වශයෙන්) විපාක දෙයි.
12. (මේ දක්ෂිණාවදෙන්නාවූ ඔබ විසින්) නෑයන් විසින් නෑයන් සඳහා කට යුතු වූ ඥාතිධර්මය දක්වන ලදි. (නිරර්‍ත්‍ථක වූ හැඬීම් වැලපීම් ආදිය ඥාතිධර්මය නො වෙයි.) (ප්‍රෙතයන් ප්‍රේතභාවයෙන් මුදවා දිව්යසම්පත්තියට පමුණවන්නාවු ඔබ විසින්) ප්‍රේතයනට මහත් වු පූජාවෙක් ද කරණ ලදී. (බුද්ධප්‍රමුඛ සඞ්ඝයා ආහාරපානාදීන් සන්තර්පණය කරවන්නාවූ ඔබ විසින්) භික්ෂූන්හට ශක්තිය ද දෙන ලදී. ඔබ විසිනුදු මහත් වූ පිනෙක් රැස් කර ගන්නා ලදී.
තිරොකුඩ්ඩ සූත්‍රය යි.
8. නිධිකණ්ඩ සූත්‍රය
1. “අභිවෘද්ධිදායක යම් කිසි කටයුත්තක් ඇති වූ කල්හි මගේ ප්‍රයෝජනය පිණිස වන්නේ ය”යි සලකා පුරුෂයෙක් ජලය තාක් ගැඹුරු වූ තැනෙක්හි නිධානයක් කෙරෙයි.
2. ‘මෙ තෙමේ සොරෙක අපරාධකාරයෙකැ’යි සතුරන් විසින් රජුට දැන්වූ කල්හි (එසේ දෝෂාරෝපණ වශයෙන්) නපුරු කොට කියන ලද්දහුට රජුගෙන් මිදීම පිණිස ද, සොරුන් විසින් පෙළන ලද්දහුට ඔවුන්ගෙන් මිදීම පිණිස ද, (නයහිමියන් තමන්ගේ නයමුදල් ඉල්ලා බල කරණ කල්හි ඒ) නයින් මිදීම පිණිස ද, දුර්භික්ෂ කාලයෙක්හි හෝ විපතක් පැමිණි කල්හි හෝ ප්‍රයෝජනය පිණිස වන්නේ ය යි සලකා ලෝකයෙහි (රන්රුවන් ආදි) ධනය නිධාන කොට තබනු ලැබේ.
3. ජලයට සමීප තාක් ගැඹුරු වූ තැනෙක්හි එතරම් සුරක්ෂිත ලෙස තැන්පත් කොට තබන ලද්දාවූ ඒ සියලු ධනය හැම කල්හි ම ඔහුගේ කාර්ය්යසිද්ධිය පිණිස නො වෙයි.
4. නිධානය හෝ තුබූතැනින් ඉවත් වෙයි. නිධාන කළ තැන පිළිබඳ ඔහුගේ සංඥාව හෝ මුළා වෙයි. (තුබූ තැන හැඳින ගත නොහැකි වෙයි.) නාගයෝ හෝ නිධානය තුබූ තැනින් ඉවත් කෙරෙත්. යක්ෂයෝ හෝ එය හැර ගෙණ යත්.
5. අප්‍රිය වූ දායාදයෝ (උරුමක්කාරයෝ) හෝ ඔහු නො දැක්කදී පොළොව සාරා නිධානය ගොඩ ගණිත්. යම් කලෙක්හි පින් ගෙවී යෑමක් වේ ද, එකල්හි මේ සියල්ල වැනසෙයි.
6. යම් ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ දානයෙන් ද ශීලයෙන්ද චිත්තසංයම සඞ්ඛ්‍යාත සමාධියෙන් ද ක්ලේශෝපශම සඞ්ඛ්‍යාත ප්‍රඥායෙන් ද මනා සේ නිධානයක් කරණ ලද්දේ වේ ද,
7. චෛත්‍යය{1} කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහි ද, යම් පුද්ගලයකු ද කෙරෙහි ද, ආගන්තුකයකු කෙරෙහි ද, මව කෙරෙහි ද, පියා කෙරෙහි ද, නැවත වැඩි මහලු සහෝදරයා (හෝ සහෝදරිය) කෙරෙහි ද,
8. දානාදි විධියෙන් මනා සේ තැන්පත් කරණ ලද මේ නිධානය ද, අන්‍යයන් විසින් දිනා ගන්නට නො හැකි ය. පරලොව යන කල්හි ද විපාක දීම් වශයෙන් තමා අනු ව යන්නේ වෙයි. මරණාවස්ථාවෙහි හැර දමා යෑ යුතු වස්තූන් ඇති කල්හි මේ පුණ්යානිධානය රැගෙණ පර ලොව යෙයි.