Cūḷaniddesa

Lesser Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1940 segments

පෙන්වන කොටස් 801-900 න් 1940

යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වා‘පි පහාය සබ්බං යනු: යම් කෙනෙක් හැම දෘෂ්ට ශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා, යම් කෙනෙක් හැම ශ්‍රැතශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම මුතශ්‍රද්ධීන් හැර.... යම් කෙනෙක් හැම දෘෂ්ටශ්‍රැතමුතශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම ශීලශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම ව්‍රතශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම ශීලව්‍රතශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වා පි පහාය සබ්බං යනු වේ.
අනෙකරූපම්පි පහාය සබ්බං යනු: අනේකවිධ ව්‍රතකෞතූහල මඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘අනෙකරූපම්පි පහාය සබ්බං’ යනු වේ.
තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්‍රෑමි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි. පරිඤ්ඤාය යනු: ඥාතපරිඥායැ තීරණපරිඥා යැ ප්‍රහාණපරිඥා යැ යන තුන් පරිඥායෙන් තෘෂ්ණාව පිරිසිඳ දැන.
ඥාතපරිඥා කවරැ යත්: තෘෂ්ණාව ඥාතපරිඥායෙන් දැනගනියි: මේ රූපතෘෂ්ණා යැ මේ ශබ්දතෘෂ්ණා යැ මේ ගන්‍ධතෘෂ්ණා යැ මේ රසතෘෂ්ණා යැ මේ ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණ යැ මේ ධර්‍මතෘෂ්ණා යැ යි දැනගනියි, දකියි. මෝ තොමෝ ඥාතපරිඥායි.
තීරණපරිඥා කවරැ යත්: මෙසේ දන්නාලද කොට තෘෂ්ණාව තීරණය කෙරෙයි: අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ... නිස්සරණ විසින් තීරණය කෙරෙයි. මෝ තොමෝ තීරණ පරිඥා යි.
ප්‍රහාණ පරිඥා කවරැ යත්: මෙසේ තීරණය කොට තෘෂ්ණාව දුරු කෙරෙයි, බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මේ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, තෘෂ්ණාව පිළිබඳ යම් ඡන්‍දරාගයෙක් වී නම් එය දුරු කරවු, මෙසේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වන්නී යැ උසුන්මුල් ඇත්තී තාලවස්තුවක් මෙන් කරන ලද්දී අනභාවය කරනලද්දී මත්තෙහි නූපදනා සැහැවි ඇත්තී යැ” යි. මෝ තොමෝ ‘ප්‍රහාණ පරිඥා’ යි.
තණ්හං පරිඤ්ඤාය- තෘෂ්ණාව මේ තුන් පරිඥායෙන් දැනගෙන. අනාසවාසෙ- ආශ්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. යම් කෙනෙකුන්ට මේ ආස්‍රවයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් සෙයින් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු ද ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයෝ ‘අනාස්‍රවහ’ යි කියනු ලැබෙත්.
තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්‍රෑමි යනු: යම් කෙනෙක් තුමූ තෘෂ්ණාව ත්‍රිවිධ පරිඥායෙන් දැන අනාස්‍රව වූවාහු ද ඔහු කාමෝඝය තරණය කළාහු යැ භවොඝය තරණය කළාහු යැ දෘෂ්ට්‍යොඝය තරණය කළාහු යැ අවිද්‍යොඝය තරණය කළාහු යැ, සියලු සංසාර පථය තරණය කළාහු යැ උත්තරණය-නිස්තරණය- අතික්‍රමණය- සමතික්‍රමණය කළාහු යැ ඉක්මවූවාහු යයි කියමි පවසමි දෙසමි පනවමි පිහිටුවමි විවරණ කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි ප්‍රකාශ කෙරෙමි නුයි ‘තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්‍රෑමි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නාහං සබ්බේ -පෙ- තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්‍රෑමි” යි.
(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ කියයි:) මහර්ෂි වූ මුඹ වහන්සේගේ තෙල වදන් මම රුස්මි. ගෞතමයන් වහන්ස, උපධිරහිත වූ නිවන මොනොවට ප්‍රකාශ කරන ලද යැ, මෙ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැර පියා අනේකවිධ වූ හැම කොතූහලමඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු නම් මම ද ඔහු ඕඝතරණය කළාහ යි කියමි.
එතාභිනන්දාමි වටො මහෙසිනො- ‘එතං’ යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනය සතුටු වෙමි, වෙසෙසින් සතුටු වෙමි, තුටු වෙමි, අනුමෝදන් වෙමි, රුස්මි, පිළිගනිමි, පතමි, කැමති වෙමි, අභිජල්පනය කෙරෙමි, මහෙසිනො යනු: බුදුහු මහර්ෂීහ, මහත් වූ ශීලස්කන්‍ධය එෂණ-ගවේෂණ-පර්‍ය්‍යෙෂණ කළාහු නුයි මහර්ෂීහ ... කොහි යැ දෙවියනට දෙවි වූවාහු? කොහි යැ නරශ්‍රේෂ්ඨ වූවාහු? යයි මහර්ෂීහ නුයි ‘එතාභිනන්දාමි වචො මහෙසිනො’ යනු වේ.
සුකිත්තිතං ගෞතම නූපධීකං- ‘සුකිත්තතිතං’ යනු මොනොවට පවසන ලද, මොනොවට දෙසන ලද, මොනොවට පනවනලද, මොනොවට විවෘත කරන ලද, මොනොවට විභාග කරන ලද, මොනොවට ප්‍රකට කරන ලද, මොනොවට ප්‍රකාශ කරන ලද. ගොතම නූපධීකං- ‘උපාධි’යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. උපධීන්ගේ ප්‍රහාණය උපධීන්ගේ සන්හිඳීම උපධීන්ගේ දුරැළිම උපධීන්ගේ හැරපීම අමාමහ නිවනැ‘යි ‘සුකිත්තිතං ගොතම නූපධීකං’ යනු වේ.
යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං- යම් කෙනෙක් තුමූ හැමදෘෂ්ටිශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, යම් කෙනෙක් හැම ශ්‍රැතශුද්ධීන්.... යම් කෙනෙක් හැම මුතශුද්ධීන්.... යම් කෙනෙක් හැම දෘෂ්ටශ්‍රැත-මුතශුද්ධීන්..... යම් කෙනෙක් හැම ශීලශුද්ධීන්.... යම් කෙනෙක් හැම ව්‍රතශුද්ධීන්... යම් කෙනෙක් හැම ශීලව්‍රත ශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැර පියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වා පි පහාය සබ්බං’ යනු වේ.
අනෙකරූපම්පි පහාය සබ්බං- අනේකවිධ වූ ව්‍රත කොතූහලමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනාභාවයට පමුණුවා නුයි ‘අනෙකරූපම්පි පහාය සබ්බං යනු වේ.
තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණො’ති බ්‍රෑමි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රස තෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි. ‘තණ්හං පරිණ්ඤාය’ යනු: තෘෂ්ණාව ඤාතපරිඤ්ඤා යැ තීරණ පරිඤ්ඤා යැ පහාණපරිඤ්ඤා යැ යන තුන් පරිඥායෙන් පිරිසිඳ දැන.
ඤාතපරිඤ්ඤා කවරැ යත්: තෘෂ්ණාව ඤාතපරිඤ්ඤායෙන් දැන ගනියි: මේ රූපතෘෂ්ණා යැ මේ ශබ්දතෘෂ්ණා යැ මේ ගන්‍ධතෘෂ්ණා යැ මේ රසතෘෂ්ණා යැ මේ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ මේ ධර්‍මතෘෂ්ණා යැ යි දැනගනියි දකියි, මෝ තොමෝ ඤාතපරිඤ්ඤා යි.
තීරණපරිඤ්ඤා කවරැ යත්: මෙසේ දන්නා ලද කොට තෘෂ්ණාව තීරණය කෙරෙයි: අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ධ විසින් ශල්‍ය විසින් ව්‍යසන විසින් අබාධ විසින් පර විසින් නැසෙනසුලු විසින් ඊති විසින් උවදුරු විසින් බිය විසින් උපසර්‍ග විසින් චල විසින් බිඳෙනසුලු විසින් අධ්‍රැව විසින් අත්‍රාණ විසින් අලෙන විසින් අසරණ විසින් අසරණිභූත විසින් රික්ත විසින් තුච්ඡ විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් ආදීනව විසින් විපරිණාමස්වභාව විසින් අසාර විසින් අඝමූල විසින් වධක විසින් සංඛත විසින් මාරාමිෂ විසින් ජාතිස්වභාව විසින් ජරාස්වභාව විසින් ව්‍යාධිස්වභාව විසින් මරණස්වභාව විසින් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ස්වභාව විසින් සංකිලෙසස්වභාව විසින් සමුදය විසින් ව්‍යය විසින් ආස්වාද විසින් ආදීනව විසින් නිස්සරණ විසින් තීරණය කෙරෙයි. මෝ තොමෝ ‘තීරණපරිඤ්ඤා’ යි.
පහාන පරිඤ්ඤා කවරැ යත්: මෙසේ තීරණය කොට තෘෂ්ණාව දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මෝ තොමෝ පහානපරිඤ්ඤා යි. තණ්හං පරිඤ්ඤාය- තෘෂ්ණාව මේ ත්‍රිවිධ පරිඥායෙන් දැන. අනාසවා යනු: ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍ය ස්‍රව ය අවිද්‍යාස්‍රව යි, යම් කෙනෙකුන්ට මේ ආස්‍රවයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් සෙයින් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු ද ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයෝ අනාස්‍රවයෝ යැ යි කියනු ලැබෙත්.
තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්‍රෑමි- යම් කෙනෙක් තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු ද මම ද ඔහු කාමෝඝය තරණය කළාහු යැ භාවොඝය තරණය කළාහු යැ දෘෂ්ටි-ඕඝය තරණය- කළාහු යැ අවිද්‍යා-ඕඝය තරණය කළාහු යැ සියලු සංසාරපථය තරණය උත්තරණය- නිස්තරණය- අතික්‍රමණය- සමතික්‍රමණය කළාහු යැ ඉක්ම වූවාහු යැ’යි කියමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්‍රෑමි’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“එතාභිනන්දාමි -පෙ- අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්‍රෑමි” යි.
සත්වැනි නන්‍ද සූත්‍රනිර්දේශය නිමි.
8. හේමක සූත්‍ර නිර්‍දෙශය
(ආයුෂ්මත් හේමක මාණවක මෙසේ විචාරයි; ) භාග්‍යවතුන් වහන්ස, පෙර (බාවරි බ්‍රාහ්මණාදි) යම් කෙනෙක් ගෞතමශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් (ඉතිහීතිහ) කථායෙක. එ හැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනාසුලු යැ. මම් එහි නො ඇලුණෙමි.
යෙ මෙ පුබ්බේ වියාකාංසු- ‘යෙ’යනු: යම් බාවරි නම් බමුණු කෙනෙක් වෙත් ද ඹවුන්ගේ ආචාර්‍ය්‍ය වූ අන්‍ය වූ යම් කෙනෙකුත් වූහු ද ඔහු ස්වකීය දෘෂ්ටිය ස්වකීය ක්‍ෂාන්තිය ස්වකීය රුචිය ස්වකීය ලබ්ධිය ස්වකීය අධ්‍යාශය ස්වකීය අභිප්‍රාය වියාකංසු- කීහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවරණය කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළ හු නුයි ‘යෙ මෙ පුබ්බේ වියාකංසු’ යනු වේ. ඉච්චායස්මා හෙමකො යනු... හුරං ගොතමසාසනා යනු: ගෞතම ශාසනයෙන් පූර්‍වයෙහි, ගෞතම ශාසනයෙන් ඔබ්බෙහි, ගෞතමශාසනයෙන් පෙර, ගෞතම ශාසනයෙන් පළමු, බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් දේවදේව ශාසනයෙන් අර්හත්ශාසනයෙන් පළමු නුයි ‘හුරං ගොතමසාසනා’යනු වේ.
ඉච්චාසි ඉති භවිස්සති යනු: ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නෙ ල’ නුයි ‘ඉච්චාසි ඉති භවිස්සති’ යනු වේ.
සබ්බං තං ඉතිහීතිහා යනු: ඒ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථා (ඉතිහීතිහ) යෙන්, මෙසේ ල යන කථා (ඉතිකිරු) යෙන්, පරම්පරාකථායෙන්, පෙළ හා සම යැ යි ගන්නා පිටකසම්පදායෙන්, තර්කහේතුයෙන්, නය හේතුයෙන්, (මෙය සුන්‍දර යි) ආකාර සැලකීමෙන්, අප රුචි කොට ගත් දෘෂ්ටිය හා සම යි කීවාහු යැ නො ද තුමූ තමන් විසින් ස්වලක්ෂණාවබෝධයෙන් දන්නා ලද්දක්, නො ද තමහට පසක් වූ දහමක් කීවාහු නුයි ‘සබ්බං ත ඉතිහීතිහං’ යනු වේ.
සබ්බං තං තක්කවඩ්ඪනං යනු: එ හැම තර්‍ක වඩනාසුලු යැ විතර්‍ක වඩනාසුලු යැ සංකල්ප වඩනාසුලු යැ කාමවිතර්‍ක වඩනාසුලු යැ ව්‍යාපාද විතර්‍ක වඩනාසුලු යැ විහිංසාවිතර්‍ක වඩනාසුලු යැ ඥාතිවිතර්‍ක වඩනාසුලු යැ ජනපදවිතර්‍ක වඩනාසුලු යැ අමරාවිතර්කදෘෂ්ටිය වඩනාසුලු යැ ගෙහසිත ප්‍රේමයෙන් යුක්ත විතර්‍ක වඩනාසුලු යැ ලාභ-සත්කාර-කීර්ති-ශබ්ද ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක වඩනාසුලු යැ අනවඤ්ඤත්ති (අවමන් නො ලබනු කැමැත්ත) ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක වඩනාසුලු නුයි ‘සබ්බං තං තක්කවඩ්ඪනං’යනු වේ.
නාහං තත්‍ථ අභිරමිං යනු: මම එහි නො ඇලුණෙමි (එය) නො වින්දෙමි (එයට) නො පැමිණියෙමි. (එය) නො ලැබීමි නුයි ‘නාහං තත්‍ථ අභිරමිං’යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“යෙ මෙ පුබ්බේ -පෙ- නාහං තත්‍ථ අභිරමිං” යි.
මුනීන්ද්‍රයන් වහන්ස, යම් දහමක් දැන සිහි ඇති වැ හැසිරෙනුයේ ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් එබඳු වූ, තෘෂ්ණාව වනසන දහමක් මුඹ වහන්සේ මට වදාළ මැනැව.
ත්‍වං ච මෙ ධම්මමක්ඛාහි- ‘ත්‍වං’යි භාග්‍යවතුන් අමතයි. ධම්මමක්ඛාහි- ‘ධම්මං’ යනු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ (අර්‍ත්‍ථ සම්පත්ති ආදීන්) සාර්‍ත්‍ථ වූ (ව්‍යඤ්ජන සම්පත්ති ආදීන්) සව්‍යඤ්ජන වූ සියල්ල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය, සතර සතිපට්ඨානයන් සතර සම්‍යක්ප්‍රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්‍ද්‍රියයන් පඤ්චබලයන් සප්ත බෝධ්‍යඞ්ගයන් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය, නිර්‍වාණය හා නිර්‍වාණගාමිනී ප්‍රතිපදාව හා, අක්ඛාහි- වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැව නුයි ‘ත්‍වං ච මෙ ධම්මමක්ඛාහි’ යනු වේ.
තණ්හානිග්ඝාතනං මුනි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්‍ම තෘෂ්ණා යි. තණ්හා නිග්ඝාතනං- තෘෂ්ණාවගේ ප්‍රහාණය තෘෂ්ණාවගේ සන්හිඳීම තෘෂ්ණාවගේ දුරැලීම තෘෂ්ණාවගේ ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි ... රාගාදි සඞ්ගය හා දෘෂ්ටිජාලය ඉක්ම සිටි හේ මුනි වේ නුයි ‘තණ්හා නිග්ඝාතනං මුනි’ යනු වේ.
යං විදිත්‍වා සතෝ චරං යනු: යමක් දන්නා ලද කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් ඒ හැම නිරෝධස්වභාවය ඇතැ’යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හේ ‘සිහි ඇතියේ’යි කියනු ලැබෙයි. චරං යනු: සරනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ වැටෙනුයේ පාලනය කරනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලෝකේ විසත්තිකං- ‘විසත්තිකා’යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක්... බලවත් රාගයෙක් අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතින් විසත්තිකා නම් වූ යැ යත්... පතළා යැ විස්තෘත යැ නුයි ‘විසත්තිකා’ නමු. ලෝකේ යනු: අපාය ලෝකයෙහි යැ මනුෂ්‍යලෝකයෙහි යැ දිව්‍යලෝකයෙහි යැ ස්කන්‍ධ ලෝකයෙහි යැ ධාතුලෝකයෙහි යැ ආයතනලෝකයෙහි යි. තරෙ ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ලෝකයෙහි ම වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇති වැ තරණය කරන්නේ යැ උත්තරණ-ප්‍රතරණ-සමතික්‍රමණය කරන්නේ යැ ඉක්ම සිටුනේ යැ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“ත්‍වං ච මෙ -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යි.
හේමක මාණවකය, මෙලොවැ රූපායතන ශබ්දායතන ගන්‍ධ- රස-ස්ප්‍රෂ්ටව්‍යායතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත වූ ප්‍රිය ස්වභාවයන්හි ඡන්‍දරාගය දුරු කිරීම ච්‍යුති රහිත වූ නිර්‍වාණපදය වෙයි.
ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු- ‘දිට්ඨං’ යනු: ඇසින් දක්නාලද, සුතං යනු: කනින් අසන ලද, මුතං යනු: නැහැයෙන් ආඝ්‍රාණය කරන ලද, දිවින් රස විඳුනා ලද, කයින් පහස්නාලද, විඤ්ඤාතං යනු: මනසින් දන්නා ලද නුයි ‘ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු’ යනු වේ.
පියරූපෙසු හේමක යනු: ලෝකයෙහි ප්‍රියස්වභාවය මධුරස්වභාවය කවරැ යත්: ඇස ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, කන ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, නැහැය ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, දිව ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, කය ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, මනස ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යි, රූපයෝ ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශබ්දයෝ ලෝකයෙහි-ගන්‍ධයෝ ලෝකයෙහි- රසයෝ ලෝකයෙහි- ස්ප්‍රෂ්ටව්‍යයෝ ලෝකයෙහි ධර්‍මයෝ ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යි, චක්‍ෂුර්විඥානය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශ්‍රොත්‍රවිඥානය ලෝකයෙහි-ඝ්‍රාණවිඥානය ලෝකයෙහි- ජිහ්වා විඥානය ලෝකයෙහි- කායවිඥානය ලෝකයෙහි- මනෝවිඥානය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යි, චක්ඛුසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යැ
සෝත - ඝාන - ජිව්හා.. කායසම්ඵස්සය ලෝකයෙහි- මනෝසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි... සෝත-ඝාන...ජිව්හා- කාය- මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපසංඥාව ලෝකයෙහි- ශබ්දසංඥාව ලෝකයෙහි-...ගන්‍ධ-රස, ස්ප්‍රෂ්ටව්‍ය-ධර්‍මසංඥාව ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපසඤ්චේතනාව ලෝකයෙහි,... ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය-ධර්මසඤ්චෙතනාව ලෝකයෙහි ප්‍රිය ස්වභාව යැ මධුරස්වභාව යි, රූපතෘෂ්ණාව ලෝකයෙහි- ශබ්දතෘෂ්ණාව ලෝකයෙහි- ...ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය- ධර්‍මතෘෂ්ණාව ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යි, රූපවිතර්‍කය ලෝකයෙහි... ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය ධර්‍මවිතර්‍කය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපවිචාරය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශබ්දවිචාරය ලෝකයෙහි... ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය-ධර්‍මවිචාරය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව ඇත් නුයි ‘පියරූපෙසු හේමක’ යනු වේ.
ඡන්‍දරාගවිනොදනං- ‘ඡන්‍දරාගො’යනු: කාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්දියක් කාමතෘෂ්ණාවක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාම විසින් ගිල අවසන් කොට ගැනීමෙක් කාම (සඞ්ඛ්‍යාත) ඕඝයෙක් කාමයෝගයෙක් කාමූපාදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද, එය ය
ඡන්‍දරාගවිනොදනං යනු: ඡන්‍දරාග ප්‍රහාණ යැ ඡන්‍දරාගය සන්හිඳුවීම යැ ඡන්‍දරාගය දුරු කිරීම යැ ඡන්‍දරාගයා ගේ ප්‍රතිප්‍රශ්‍රබ්ධි යැ අමාමහනිවන නුයි ‘ඡන්‍දරාගවිනොදනං’ යනු ව
නිබ්බානපදමච්චුතං යනු: නිර්‍වාණපද යැ ත්‍රාණපද යැ ලෙන (නිලීනස්ථාන) පද යැ සරණ පද යැ අභය පද යි. අච්චුතං යනු: නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාම ස්වභාව නුයි ‘නිබ්බානපදමච්චූතං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඉධ දිට්ඨසුතමුත -පෙ- නිබ්බානපදමච්චුතං” යී.
ස්මෘතිමත් වූ දක්නාලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල අමාමහනිවන (මාර්‍ගඥානයෙන්) දැන (ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු) සන්හිඳුණාහු ද වෙත් නම් ඔහු හැම කල්හි ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කළාහු වෙත්.
එතදඤ්ඤාය යෙ සතා- ‘එතං’ යනු: අමාමහ නිවන යි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳුවීමෙක් සියලු උපධීන්ගේ හැරපීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධ සඞ්ඛ්‍යාත නිවනෙක් වේ ද එය යි. අඤ්ඤාය යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දැන දැනගෙන තුලන-තීරණ-විභාවන විභූත කොට, ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට. යෙ යනු: අර්‍හත් ක්ෂීණාස්‍රවයෝ. සතා යනු: සතර කරුණෙකින් සිහි ඇත්තාහු: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වැඩූ බැවින් සිහි ඇත්තාහු... ඔහු සිහි ඇත්තාහු යයි කියනු ලැබෙත් නුයි ‘එතදඤ්ඤාය යෙ සතා’ යනු වේ.
දිට්ඨධම්මාභිනිබ්බුතා- ‘දිට්ඨධම්ම’යනු: දක්නාලද දහම් ඇත්තාහු දන්නාලද දහම් ඇත්තාහු තුලනය කරනලද දහම් ඇත්තාහු තීරණය කරන ලද දහම් ඇත්තාහු ප්‍රකට කළ දහම් ඇත්තාහු විභාවන කළ දහම් ඇත්තාහු.‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දුටු දහම් ඇත්තාහු... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් ඒ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දුටු දහම් ඇත්තාහු දත් දහම් ඇත්තාහු, තුලනය කළ දහම් ඇත්තාහු, තීරණය කළ දහම් ඇත්තාහු, ප්‍රකට කළ දහම් ඇත්තාහු, විභාවන කළ දහම් ඇත්තාහු. අභිනිබ්බුතා යනු: රාගය නිවූ බැවින් නිවියාහු, ද්වේෂය නිවූ බැවින් නිවියාහු මෝහය නිවූ බැවින් නිවියාහු, ක්‍රෝධය... බද්ධවෛරය... හැම අකුශලාභිසංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවන ලද වන බැවින් වෙසෙසින් සන්හිඳුවන ලද වන බැවින් නිවන ලද වන බැවින් නිවුණ බැවින් පහ වූ බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්තයහ උපශාන්තයහ ව්‍යූපශාන්තයහ නිර්වෘතයහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යි ‘දිට්ඨධම්මාභිනිබ්බුතා’ යනු වේ.
උපසත්තා ච තෙ සදා- ‘උපසන්තා’ යනු: රාගය සන්හිඳුවනලද වන බැවින් නිවනලද වන බැවින් උපශාන්ත වූවාහු, ද්වේෂය-මෝහය-ක්‍රෝධය-උපනාහය... හැම අකුශලාභිසංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවන ලද වන බැවින් උපශමනය කරන ලද වන බැවින් නිවනලද වන බැවින් නිවුණ බැවින් පහවූ බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්තයහ උපශාන්තයහ ව්‍යූපශාන්තයහ නිර්වෘතයහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යි ‘උපසන්තා’ යනු වේ. තෙ යනු: අර්‍හත් ක්ෂීණාස්‍රවයෝ. සදා යනු: හැම දවස්හි හැම කල්හි (පූර්වාහ්ණාදි) සියලු කල්හි දවසැ දවසැ අවිච්ඡින්න වැ නිරතුරු එක්වන් අව්‍යාකීර්‍ණ වැ පිළිවෙළින් එක් වැ දියරළක් මෙන් අවිරල වැ නො සිඳී එක් වැ පැහැසී පෙර බත පසු බත පෙරයම මැදියම පැසුම්යම අවපසැ පුරපසැ වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදියෙහි පැසුළු වියෙහි නුයි ‘උපසන්තා ච තෙ සදා’ යනු වේ.
තිණ්ණා ලෝකේ විසත්තිකං- ‘විසත්තිකා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘විසත්තිකා’ යනු කවර අරුතින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: ... පතළා යැ විස්තෘත යැ නුයි විසත්තිකා නමු. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතනලෝකයෙහි. තිණ්ණා ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ලෝකයෙහි ම වෙයි, ලොකයෙහිම වූ තෙල විසත්තිකාව තරණය කළාහු උත්තරණය කළාහු නිස්තරණය කළාහු ඉක්මගියාහු මොනොවට ඉක්මගියාහු වෙසෙසින් ඉක්ම සිටියාහු නුයි ‘තිණ්ණා ලෝකේ විසත්තිකං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එතදඤ්ඤාය යෙ සතා -පෙ- තිණ්ණා ලෝකේ විසත්තිකං” යී.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග...භාග්‍යවතුන් වහන්සේ මාගේ “ශාස්තෲහ මම් ශ්‍රාවකයෙමී.”
හේමක සූත්‍රනිර්දේශය නිමි.
9. තෝදෙය්‍ය සූත්‍ර නිර්‍දෙශය
(ආයුෂ්මත් තෝදෙය්‍ය මාණවක මෙසේ විචාරයි). යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමක්හට තෘෂ්ණාව නැද්ද යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද ඔහුගේ විමෝක්‍ෂය කෙබඳු ද?
යස්මිං කාමා න වසන්ති යනු: යමක්හු කෙරෙහි කාමයෝ (ප්‍රථමොත්පන්නදෘෂ්ටි විසින්) නො වෙසෙත් ද වැද නො වෙසෙත් ද වෙසෙසින් නො වෙසෙත් ද සර්වප්‍රකාරයෙන් නො වෙසෙත් දැයි ‘යස්මිං කාමා න වසන්තිති’ යනු වේ. ඉච්චායස්මා තොදෙය්‍යො යනු......
තණ්හා යස්ස න විජ්ජති යනු: තෘෂ්ණාව යමක්හට නැද්ද නො වේ ද විද්‍යමාන නො වේ ද නො ලැබේ ද නුවණ ගින්නෙන් දවන ලද දැ’යි ‘තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.
කථංකථා ච යො තිණ්ණො යනු: විචිකිත්සාව ද යමෙක් තරණය උත්තරණය නිස්තරණය කෙළේ ද ඉක්මගියේ ද මොනොවට ඉක්ම ගියේ ද වෙසෙසින් ඉක්ම සිටියේ දැ’යි ‘කථංකථා ච යො තිණ්ණො’ යනු වේ.
විමොක්ඛො තස්ස කීදිසො යනු: ඔහුගේ විමෝක්‍ෂය කිබඳු වූයේ කුමක් වැනි වූයේ කවර ප්‍රකාර වූයේ කවර අයුරු වූයේ කැමැති වියයුත්තේ දැයි විචාරා නුයි ‘විමොක්ඛො තස්ස කීදිසො’යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“යස්මිං කාමා න වසන්ති -පෙ- විමොක්ඛො තස්ස කීදිසො” යි.
(බුදුහු මෙසේ වදාළහ: තොදෙය්‍යමාණවකය,) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමක්හට තෘෂ්ණාව නැද්ද යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමෝක්‍ෂයෙක් නැති.
යස්මිං කාමා න වසන්ති- ‘යස්මිං’ යනු: අර්‍හත් වූ ක්ෂීණාස්‍රව වූ යම් පුඟුලක්හු කෙරෙහි. කාමා යනු: උද්දාන විසින් කාම දෙකෙකි: වස්තු කාමයෝ ද ක්ලේශ කාමයෝ දැ යි... යස්මිං කාමා න වසන්ති යනු: යම් පුඟුලක්හු කෙරෙහි කාමයෝ නො වෙසෙත් ද නො ලගිත් ද වෙසෙසින් නො වෙසෙත් ද සර්වප්‍රකාරයෙන් නො වෙසෙත් දැ’යි ‘යස්මිං කාමා න වසන්ති’ යනු වේ. තොදෙය්‍යා’ති භගවා යනු...
තණ්හා යස්ස න විජ්ජති- ‘තණ්හා’ යනු: රූප තෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි. යස්ස යනු: අර්‍හත් ක්ෂීණාස්‍රවහට. තණ්හා යස්ස න විජ්ජති යනු: තෘෂ්ණාව යමක්හට නැද්ද නොවේ ද විද්‍යමාන නො වේ ද නො ලැබේ ද ප්‍රහීණ ද මුලුසුන් කරන ලද ද සන්හිඳුණී ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යළි උපදනට නො නිසි වූ ද නුවණ ගින්නෙන් දවන ලද දැ’යි ‘තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.
කථඞ්කථා ච යො තිණ්ණො- ‘කථඞ්කථා’ යි විචිකිත්සාව කියනු ලැබෙයි: දුඃඛසත්‍යයෙහි සැක යැ... චිත්තයාගේ තද බව යැ මනෝවිලේඛය (සිත හිරිගැසීම) යි. යො යනු: යම් අර්‍හත් ක්ෂීණාස්‍රව කෙනෙක්. කථඞ්කථා ච යො තිණ්ණො යනු: යමෙක් විචිකිත්සාවත් තරණය උත්තරණය නිස්තරණය කෙළේ ද ඉක්මවී ද මොනොවට ඉක්මවී ද වෙසෙසින් ඉක්ම සිටියේ දැ’යි ‘කථඞ්කථා ව යො තිණ්ණො’ යනු වේ.
විමොක්ඛො තස්ස නාපරො යනු: යම් විමොක්ෂයෙකින් විමුක්ත වන්නේ නම් එබඳු අන් විමෝක්‍ෂයෙක් ඔහුට නැති. හේ විමුක්ත යැ ඔහු විසින් විමොක්ෂයෙන් කටයුතු කරන ලද නුයි ‘විමොක්ඛො තස්ස නාපරො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යස්මිං කාමා -පෙ- විමොක්ඛො තස්ස නාපරො” යි.
ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද, හේ ප්‍රඥා ඇතියේ ද නොහොත් (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණා කල්ප දෘෂ්ටි කල්ප කරනුයේ ද, ශාක්‍යයන් වහන්ස, යම්සේ මම් මුනිහු දැනගන්නෙම් නම් සමන්තචක්ඛු වූ භාග්‍යවතුන් වහන්ස, එසෙයින් එ කරුණ මට ප්‍රකාශ කළ මැනැව.
නිරාසසො සො උද ආසසානො යනු: හෙතෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද රූපාලම්බනයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද, ශබ්දාලම්බනයන්-ගන්‍ධාලම්බනයන්-රසාලම්බනයන්-ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන්-කුලය-ගණය-ආවාසය-ලාභය-යසස-ප්‍රශංසාව-සුඛය-සිවුරු-පිඬුවා-සෙනසුන්-ගිලන්පසබෙහෙසත් පිරිකර-කාමධාතුව-රූපධාතුව-අරූපධාතුව-කාමභවය-රූපභවය-අරූපභවය-සංඥාභවය-අසංඥාභවය- නෛවසංඥානාසංඥාභවය- එකවෝකාරභවය- චතුවෝකාරභවය-පඤ්චවෝකාරභවය- අතීතකාලය- අනාගතකාලය- වර්තමානකාලය- දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්‍මයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද ඉස්නේ ද ආස්වාද කෙරේ ද පතා ද රුස්නේ ද තෘප්ති උපදවා දැ’යි ‘නිරාසසො සො උද ආසසානො’යනු වේ.
පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී- ‘පඤ්ඤාණවා සො’ යනු: පණ්ඩිත වූයේ ප්‍රඥා ඇතියේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවන (ප්‍රකට) ප්‍රඥා ඇත්තේ ධාරණ ප්‍රඥා ඇත්තේ ද? උද පඤ්ඤකප්පී යනු: නොහොත් අෂ්ටසමාපත්තිඥානයෙන් වේවයි පඤ්චාභිඥා ඥානයෙන් වේවයි මිථ්‍යා ඥානයෙන් වේවයි තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කෙරේ ද උපදවා ද මොනොවට උපදවා ද නිපදවා ද වෙසෙසින් නිපදවා’දැ යි ‘පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී’ යනු වේ.
මුනිං අහං සක්ක යථා විජඤ්ඤං- ‘සක්ක’ යනු: බුදුහු ශාක්‍යයහ. ‘සැහැ කුලයෙන් නික්ම පැවිදි වූහ’ යි ද ශාක්‍යයහ. නොහොත් ආඪ්‍යයහ මහද්ධන ඇතියහ ධනවත්හ’ යි ද ශාක්‍යයහ. උන් වහන්සේට මේ ධනයෝ වෙති, හෙ මෙසේ යැ: ශ්‍රද්ධා ධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ සම්‍යක් ප්‍රධාන ධන යැ ඍද්ධිපාද ධන යැ ඉන්ද්‍රියධන යැ බලධන යැ බොධ්‍යඞ්ගධන යැ මාර්ගධන යැ ඵලධන යැ නිර්‍වාණ ධන යැ යි. ඒ අනේකවිධ වූ ධනරත්නයන්ගෙන් ආඪ්‍යයහ මහද්ධන ඇතියහ ධනවත්හ’යි ද ශාක්‍යයහ. නොහොත් ප්‍රභූහ, පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදනුවහ සමර්‍ත්‍ථ සිත් ඇතියහ ශුරයහ වීරයහ වික්‍රමවත්හ නො බියසුල්ලහ නො තැතිගන්නාසුල්ලහ උද්වෙග රහිතය හ පලා නො යන සුල්ලහ පහවූ බිය හා බිය අරමුණු ඇතියහ පහවූ ලොමුදහගැනුම් ඇත්තාහ යි ද ශාක්‍යයහ. මුනිං අහං සක්ක යථා විජඤ්ඤං යනු: ශාක්‍යයන් වහන්ස, යම් සේ මම් දැනගන්නෙම් ද වෙසෙසින් දැන ගන්නෙම් ද ප්‍රකර්ෂයෙන් දැනගන්නෙම් ද මොනොවට දැනගන්නෙම් ද ප්‍රතිවෙධ කරන්නෙම් දැ’යි ‘මුනිං අහං සක්ක යථා විජඤ්ඤං’ යනු වේ.
තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු- ‘තං’ යනු: යමක්හු විචාරම් ද යමක්හු ගැන අයදිම් ද යමක්හු ගැන අධ්‍යෙෂණ කෙරෙම් ද යමක්හු ගැන පහදවම් ද ඔහු. වියාචික්ඛ යනු: වදාළ මැනව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව පහළ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව පැවැසුව මැනැව. සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු’ යි සර්වඥතා ඥානය කියනු ලැබෙයි... එයින් තථාගත සමන්තචක්ඛු වේ නුයි ‘තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“නිරාසසො සො -පෙ- තං මෙ වියාචීක්ඛසමන්තචක්ඛූ” යි.
ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වෙයි, හේ තෘෂ්ණා සහිත වූයේ නො වෙයි. හේ ප්‍රඥා ඇත්තේ යැ නො ද (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණාකල්ප දෘෂ්ටිකල්ප කරනුයේ වෙයි. කොදෙය්‍යමාණවකය, මෙසේ (තෙපි) කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු පලිගේධ නැතියහු ‘මුනි’ යැ යි දැනගනුව’ යි.
නිරාසසො සො න සො ආසසානො යනු: හෙතෙම තෘෂ්ණා නැත්තේ යැ හෙතෙම තෘෂ්ණා සහිත නො වෙයි. හෙතෙම රූපාලම්බනයන් (ඡන්‍දරාග වශයෙන්) ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි ශබ්දාලම්බනයන් ගන්‍ධාලම්බනයන්...දෘෂ්ට ශ්‍රැතමුත විඥාතව්‍ය ධර්‍මයන් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි නො කැමැති වෙයි ආස්වාද නො කෙරෙයි නො පතයි රුචි නො කෙරෙයි අභිජල්පන නො කෙරේ නුයි ‘නිරාසසො සො න සො ආසසානො’ යනු වේ.
පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී- ‘පඤ්ඤාණවා’ යනු: පණ්ඩිත යැ ප්‍රඥා ඇත්තේ යැ බුද්ධිමත් යැ නැණැත්තේ යැ විමසන නුවණැත්තේ යැ තුලනප්‍රඥා ඇත්තේ යැ. න ච සො පඤ්ඤකප්පී යනු: අෂ්ටසමාපත්තිඥානයෙන් වේව යි පඤ්වාභිඥාඥානයෙන් වේවයි මිථ්‍යාඥානයෙන් වේවයි තෘෂ්ණාකල්පයක් හෝ නො කෙරෙයි දෘෂ්ටිකල්පයක් හෝ නො කෙරෙයි නූපදවයි මොනොවට නූපදවයි නො නිපදවයි වෙසෙසින් නූපදවා නුයි ‘පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී’ යනු වේ.
එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන- ‘මුනිං’ යනු: ‘මොන’ යයි ඥානය කියනු ලැබෙයි...රාගාදි සඞ්ගය හා තෘෂ්ණාදෘෂ්ටිජාලය ඉක්මසිටි හෙතෙම මුනි නම් වේ. එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන යනු: තෝදෙය්‍ය මාණවකය, මෙසෙයින් මුනිහු දැනගනුව පිණිස ගනුව වෙසෙසින් දැනගනුව ප්‍රතිවෙධ කරව යි ‘එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන’ යනු වේ.
අකිඤ්චනං කාමභවෙ අසත්තං-‘අකිඤ්චනං’ යනු: රාගකිඤ්චන (පලිබොධ)යැ දොසකිඤ්චන යැ මොහකිඤ්චන යැ මානකිඤ්චන යැ දිට්ඨිකිඤ්චන යැ කිලෙසකිඤ්චන යැ දුච්චරිතකිඤ්චන යි. යමක්හට මේ කිඤ්චනයෝ ප්‍රහීණ වූව හු ද උසුන්මුල් ඇත්තාහු ද සන්හිඳුණාහු ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යලි උපදනට නොනිසි වූවාහු ද නුවණ ගින්නෙන් දැවුණ හු ද හෙතෙම ‘අකිඤ්චන’ යි කියනු ලැබෙයි. කාමා යනු: උද්දාන විසින් කාම දෙකෙකි: වස්තුකාමයෝ ද ක්ලේශ කාමයෝ දැ යි... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. භවා යනු: කර්‍මභවය ද ප්‍රතිසන්ධි ඇති පුනර්‍භවය දැයි භව දෙකෙකි... මේ ප්‍රතිසන්ධි ඇති පුනර්‍භවය වේ.
අකිඤ්චනං කාමභවෙ අසත්තං යනු: කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු නො ලැගුණු නො ලග්න ලද පලිබොධ නැති (එයින්) නික්මුණු බැහැරවූ මිදුණු පහවූ සංයොග ඇති විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නා වූ අකිඤ්චන පුද්ගලයා නුයි ‘අකිඤ්චනං කාමභවෙ අසත්තං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නිරාසසො සො -පෙ- අකිඤ්චනං කාමභවෙ අසත්තං” යි.
ගාථා පර්‍ය්‍යාවසානය හා සමග...වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමී.
තෝදෙය්‍ය සූත්‍රනිර්දේශය නිමි.
10. කප්ප සූත්‍ර නිර්‍දෙශය