6. 4.
(බුදුහු මෙසේ වදාළහ:) උපසීව මාණවකය, යමෙක් සියලු කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම (එයින්) නොපිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි (කප් සැට දහසක්) සිටුනේ යි.
සබ්බෙසු කාමෙසු යො වීතරාගො- ‘සබ්බෙසු’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිඃශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි, තෙල ‘සබ්බෙසු’ යනු. කාමෙසු- ‘කාමං’ යනු: උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ ද ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො- යමෙක් සියලු කාමයන්හි විෂ්කම්භණ විසින් වීතරාග වූයේ... දුරලනලද රාග ඇතියේ නුයි ‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො’ යනු වේ.
උපසීවා’ති භගවා- ‘උපසීව’යි බුදුහු එ බමුණු නමින් අමතන සේක. භගවා යනු: තෙල ගෞරවාධි වචන යැ ... මේ ‘භගවා’ යනු අර්‍හත් ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්ති වී නුයි ‘උපසීවා’ති භගවා’ යනු වේ.
ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්‍වමඤ්ඤං- යට ෂට් සමාපත්තීන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට ඉක්මවා මොනොවට ඉක්මවා ව්‍යතික්‍රමණය කොට ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ ඇලුණේ පැමිණියේ මොනොවට පැමිණියේ බැසගත්තේ අධිමුක්ත වූයේ නුයි ‘ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤං’ යනු වේ.
සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො- ‘සඤ්ඤාවිමොක්ඛෙ’ යි සත් සංඥා සමාපත්තීහු කියනු ලැබෙත්. යම් පමණ සංඥා සමාපත්තීහු වෙත් ද, ඔවුනතුරෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමෝක්‍ෂය අග්‍ර වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූයේ ද පාමොක් වූයේ ද උතුම් වූයේ ද ප්‍රවර වූයේ ද වෙයි. පරමෙ - අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රධාන වූ උත්තම වූ ප්‍රවර වූ (සංඥාවිමෝක්‍ෂයෙහි) අධිමුක්තිවිමොක්ෂයෙන් අධිමුක්ත වූයේ එහි ඇලුණේ එහි හැසිරෙනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ එයට නතු වූයේ එයට නැඹුරු වූයේ එය අධිමුක්ති කොට ඇතියේ එය අධිපති කොට ඇත්තේ නුයි ‘සඤ්ඤාවිමාක්ඛෙ පරමෙධිමුත්තො’ යනු වේ.
තිට්ඨෙය්‍ය සො තත්‍ථ අනානුයායී- ‘තිට්ඨෙය්‍ය’ යනු: සැටදහසක් කප් මුළුල්ලෙහි සිටුනේ යැ. තත්‍ථ යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි, අනානුයායී යනු: වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙය්‍ය සො තත්‍ථ අනානුයායී’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සබ්බෙසු කාමෙසු -පෙ- තිට්ඨෙය්‍ය සො තත්‍ථ අනානුයායී” යි
6. 5.
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, ඉදින් හෙතෙම එයින් නො පිරිහෙනසුලු වූයේ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටුනේ නම් හෙතෙම එහි මැ දුකින් මිදුණේ ශීතිභාවයට පැමිණියේ එහි මැ සිටුනේ ද එබඳු වූවහුගේ විඥානය එහි මැ පිරිනිවේ ද?
තිට්ඨෙ චෙ සො තත්‍ථ අනානුයායී- ඉඳින් හේ කප් සැටදහසක් මුළුල්ලෙහි සිටිනේ නම්, තත්‍ථ යනු : ආකිඤ්චඤ්ඤායතනයෙහි; අනානුයායී යනු: වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙ චෙ සො තත්‍ථ අනානුයායී‘ යනු වේ.
පූගම්පි වස්සානං සමන්තචක්ඛු- ‘පූගම්පි වස්සානං‘ යනු: වර්‍ෂයන් පිළිබඳ ගණනසමූහයකුදු බොහෝ වර්‍ෂයන් බොහෝ වර්ෂශතයන් බොහෝ වර්ෂසහස්‍රයන් බොහෝ වර්‍ෂ ශතසහස්‍රයන් බොහෝ කල්පයන් බොහෝ කල්පශතයන් බොහෝ කල්පසහස්‍රයන් බොහෝ කල්පශතසහස්‍රයන් මුළුල්ලෙහි, සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු‘ යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි... එයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු‘ නම් වෙත් නුයි ‘පූගම්පි වස්සානං සමන්ත චක්ඛු‘ යනු වේ.
තත්‍ථෙව සො සීතීසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථා විධස්ස- හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි මැ ශීතීභාවය (නිවන) ට පැමිණියේ නිත්‍ය වූයේ ධ්‍රැව වූයේ ශාශ්වත වූයේ අවිපරිණාම ස්වභාව වූයේ ශාශ්වතිකයක් සෙයින් එසේ මැ සිටුනේ ද, නොහොත් ඔහුගේ විඥානය ච්‍යුත වන්නේ ද, සිඳෙන්නේ ද, නැසෙන්නේ ද, වැනැසෙන්නේ ද, නො වන්නේ ද? කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ පුනර්‍භව සඞ්ඛ්‍යාත ප්‍රතිසන්‍ධි විඥානය උපදනේ දැයි ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හු ගේ ශාශ්වතය ද උච්ඡේදය විචාරයි. නොහොත් එහි මැ අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නේ ද? නොහොත් ඔහුගේ විඥානය ච්‍යුත වන්නේ ද? කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ යළි ප්‍රතිසන්‍ධි විඥානය උපදනේ දැ යි ආකිඤ්චඤ්ඤායතනයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියහුගේ පරිනිර්‍වාණය ද ප්‍රතිසන්‍ධිය ද විචාරයි. තථාවිධස්ස යනු එබඳු වූවහු ගේ තාදෘශ වූවහු ගේ එසේ සිටියහුගේ තත්ප්‍රකාර වූවහු ගේ තත්ප්‍රතිභාග වූවහුගේ ආකිඤ්චඤ්ඤායතනයට පිළිසඳ විසින් පැමිණියහු ගේ නු යි ‘තත්ථෙව සො සීතිසියාවිමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස‘ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“තිට්ඨෙ චෙ සො තත්‍ථ -පෙ- චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස” යි.
6. 6.
(බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) වාතවේගයෙන් බැහැර කරන (නිවන) ලද ගිනිසිළෙක් යම්සේ අස්තයට යේ ද (නිවේද) (අසෝ දිගට ගියේ යැ යි) ව්‍යවහාරයට නො යේ ද, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුණේ අස්තයට යෙයි, ක්‍ෂත්‍රියාදි ව්‍යවහාරයට නො යෙයි.
අව්චී යථා වාතවෙගෙන ඛිත්තා- ‘අව්චී‘ යි ගිනිසිළ කියනු ලැබෙයි, වාතා යනු: පෙරදිගින් හමන වාත යැ අවරදිගැ වාත යැ උතුරුදිගැ වාත යැ දකුණු දිගැ වාත යැ රජස් සහිත වාත යැ රජස් රහිත වාත යැ ශීත වාත යැ උෂ්ණ වාත යැ අල්ප වාත යැ අධිමාත්‍ර වාත යැ කෘෂ්ණපක්ෂ වාත යැ වේරම්බ වාත යැ පියාපත් වාත යැ සුපර්‍ණ වාත යැ තල්වැට වාත යැ විධූපන වාත යැ යන මොහු යි. වාතවෙගෙන ඛිත්තා-- සලන ලද අතිශයින් සලන ලද බැහැර කරන ලද දුරු කරන ලද නවතන ලද ඉවත් කරන ලද නුයි ‘අව්චීයථා වාතවෙගෙන ඛිත්තා’ යනු වේ. ‘උපසීවා ති භගවා‘ යනු වේ.
අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං- ‘අත්‍ථං පලෙති‘ යනු: අත්‍ථං පලෙති යී යෙයි අස්තයට පැමිණෙයි අස්තයට යෙයි නිරුද්ධ වෙයි සන්හිඳෙයි නිවෙයි. න උපේති සඞ්ඛං- (අසුවල් යෝනියට ගියේ යි) ව්‍යවහාරයට නො පැමිණෙයි උදෙසීමට නො පැමිණෙයි ගිණීමට නො පැමිණෙයි ප්‍රඥප්තියට නො පැමිණෙයි පෙරදිගට හෝ ගියේ යැ අවරදිගට හෝ ගියේ යැ උතුරු දිගට හෝ ගියේ යැ දකුණු දිගට හෝ ගියේ යැ උඩට හෝ ගියේ යැ යටට හෝ ගියේයැ සරසට හෝ ගියේ යැ අනුදිගට හෝ ගියේ යයි යම් හෙයෙකින් ව්‍යවහාරයට යේ ද ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණ නැත් නුයි ‘අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං‘ යනු වේ.
එවං මුනී නාමකායා විමුත්තො- ‘එවං‘ යනු: ඖපම්‍යසම්ප්‍රතිපාදන යැ; මුනි යනු: ‘මොන’යි ඥානය කියනු ලැබෙයි. ...රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්ම වා සිටියේ ඒ ක්‍ෂීණාස්‍රව මුනි නම් වේ. නාමකායා විමුත්තො- ඒ මුනි තෙම පියවින් පළමු මැ රූපකායයෙන් විමුක්ත යැ තදඞ්ගවශයෙන් ඉක්මවීමෙන් විෂ්කම්භණ ප්‍රහාණයෙන් ප්‍රහීණ යැ ඒ මුනිහු විසින් භවාන්තයට පැමිණ සතර ආර්‍ය්‍ය මාර්‍ගයෝ ලද්දාහු වෙයි. සතර ආර්‍ය්‍යමාර්ගයන් ලත් බැවින් නාම කය ද රූප කය ද පරිඥාත වෙයි. නාම කයින් ද රූප කයින් ද අත්‍යන්ත කොට අනුපාදා විමොක්ෂයෙන් මිදුණේ වෙසෙසින් මිදුණේ මොනොවට මිදුණේ නුයි ‘එවං මුනී නාමකායා විමුත්තො’ යනු වේ.
අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං- ‘අත්‍ථං පලෙති’ යනු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙයි. න උපේති සඞ්ඛං- අනුපාදීශෙෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියේ ව්‍යවහාරයට නො පැමිණෙයි උදෙසීමට නො පැමිණෙයි ගණනට නො පැමිණෙයි පැනවීමට නො පැමිණෙයි ක්‍ෂත්‍රිය යැ හෝ බ්‍රාහ්මණ යැ හෝ වෛශ්‍ය යැ හෝ ශුද්‍ර යැ හෝ ගෘහස්ථ යැ හෝ ප්‍රව්‍රජිත යැ හෝ දේව යැ හෝ මනුෂ්‍ය යැ හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැ හෝ යම් හෙයකින් ව්‍යවහාරයට යේ ද ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණ නැත් නුයි ‘අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අව්චි යථා වාතවෙගෙන ඛිත්තා -පෙ- අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං” යි.
6. 7.
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) (මුනීන්‍ද්‍රයන් වහන්ස,) ඒ පුද්ගල තෙම අස්තයට ගියේ (නිරුද්ධ වූයේ) නොහොත් අවිද්‍යමාන වූයේ ද, නොහොත් ඒකාන්තයෙන් ශාශ්වත භාවයෙන් අරෝග වූයේ (අවිපරිණාමස්වභාව ඇත්තේ) සිටිනේ ද, මුනීන්‍ද්‍රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කළ මැනැව, යම් හෙෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද එහෙයිනි.
අත්‍ථං ගතො සො උදවා සො නත්‍ථි- හේ අස්තයට ගියේ ද නොහොත් නැද්ද, හේ නිරුද්ධ වූයේ උච්ඡේදයට පැමිණියේ විනෂ්ට වූයේ දැ යි ‘අත්ථංගතො සො උදවා සො නත්‍ථි’ යනු වේ.
උදාහු වෙ සස්සතියා අරොගො- නොහොත්, නිත්‍ය වූයේ ධ්‍රැව වූයේ ශාශ්වත වූයේ අවිපරිණාම ස්වභාව වූයේ ශාශ්වතිකයක් මෙන් එසේ මැ සිටුනේ දැ යි ‘උදාහු වෙ සස්සතියා අරොගො’ යනු වේ.
තං මෙ මුනී සාධු වියාකරොහි- ‘තං’ යනු: යමකු විචාරම් ද, යමකු අයදිම් ද, යමකු අධ්‍යෙෂණ කෙරෙම් ද, යමකු සඳහා පහදවම් ද: මුනි යනු ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි ... සඞ්ග හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්මවා සිටි ඒ ක්‍ෂීණාස්‍රව මුනි නම් වේ. සාධු වියා කරොහි- අයදිමි වදාළ මැනැව දෙසනු මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවැ යි ‘තං මෙ මුනී සාධු වියාකරොහි’ යනු වේ.
තථා හි තෙ විදිතො එසධම්මො- යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද තුලනය කරන ලද ද තීරණය කරන ලද ද විභූත කරන ලද ද විභාවන කරන ලද ද එහෙයිනැ‘යි ‘තථා හි තෙ විදිතො එසධම්මො’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“අත්‍ථංගතො සො -පෙ- තථා හි තෙ විදිතෙ එසධම්මො’ යී.
6. 8.
(බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය, අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්‍රමාණයෙක් නැත. (රාගාදි) යමෙකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත. (ස්කන්‍ධාදි) සියලු දහම් නැසූ කල්හි හැම (ක්ලේශාදි) වාදපථයෝ ද නසනලදහ යි.
අත්‍ථංගතස්ස න පමාණමත්ථි- ‘අත්ථංගතස්ස’ යනු: අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවියහුට රූප ප්‍රමාණයෙක් නැත, වේදනා ප්‍රමාණයෙක් නැත. සංඥා ප්‍රමාණයෙක් නැත, සංස්කාර ප්‍රමාණයෙක් නැත, විඥාන ප්‍රමාණයෙක් නැත, නැත්තේ යැ, නො වෙයි, විද්‍යාමාන නො වෙයි, නො ලැබේ. ප්‍රහීණ යැ, සමුච්ඡින්න යැ, සන්හිඳුවන ලද, දුරලන ලද, අභව්‍යොත්පත්තික යැ, නුවණ ගින්නෙන් දවන ලද නුයි ‘අත්ථංගතස්ස න පමාණමත්ථි’ යනු වේ. උපසීවා’ති භගවාති........
යෙන නං වජ්ජු තං තස්ස නත්‍ථි- යම් රාගයෙකින් කියන්නාහු නම් යම් ද්වේෂයෙකින් කියන්නාහු නම් යම් මෝහයෙකින් කියන්නාහු නම් යම් මානයෙකින් කියන්නාහු නම් යම් දෘෂ්ටියෙකින් කියන්නාහු නම් යම් ඖද්ධත්‍යයෙකින් කියන්නාහු නම් යම් විචිකිත්සායෙකින් කියන්නාහු නම් යම් අනුශය කෙනෙකුන්ගෙන් කියන්නාහු නම් රක්ත යැ හෝ දුෂ්ට යැ හෝ මූඨ යැ හෝ විනිබද්ධ යැ හෝ පරාමෘෂ්ට යැ හෝ වික්‍ෂේපයට ගියේ යැ හෝ අනිෂ්ඨාවට ගියේ යැ හෝ තද බවට ගියේ යැ හෝ යි කියන්නාහු නම් ඒ කර්මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ, අභිසංස්කාරයන් ප්‍රහීණ වූ බැවින් තිරිසන් යැ යි හෝ තිරිසන්යොන් ඇතියෙකැ යි හෝ ප්‍රේතවිෂය ඇතියෙකැ යි හෝ මිනිසෙකැ යි හෝ දෙවියෙකැ යි හෝ රූපී යැ යි හෝ අරූපී යැ යි හෝ සංඥී යැ යි හෝ අසංඥී යැ යි හෝ නෛවසංඥී නාසංඥී යැ යි හෝ යම් අභිසංස්කාරයක් හේතු කොට ගෙන ගතියෙන් කියන්නාහු ද, යම් හෙයකින් කියන්නාහු නම් පවසන්නාහු නම් බණන්නාහු නම් දක්වන්නාහු නම් ව්‍යවහාර කරන්නාහු නම් ඒ හේතුව නැත ප්‍රත්‍යය නැත කාරණ නැත් නුයි ‘යෙන නං වජ්ජ්‍ර තං තස්ස නත්‍ථි’යනු වේ.
සබ්බෙසු ධම්මේසු සමූහතෙසු- සියලු ධර්‍මයන් සියලු ස්කන්‍ධයන් සියලු ආයතනයන් සියලු ධාතුන් සියලු ගතීන් සියලු උප්පත්තීන් සියලු ප්‍රතිසන්ධීන් සියලු භවයන් සියලු සංසාරයන් සියලු වෘත්තයන් නැසූ කල්හි වෙසෙසින් නැසූ කල්හි උදුළ කල්හි මොනොවට උදුළ කල්හි උපුළ කල්හි වෙසෙසින් උපුළ කල්හි ප්‍රහීණ කල්හි සමුච්ඡින්න කල්හි සන්හුන් කල්හි දුරැලූ කල්හි අභව්‍යොත්පත්තික වූ කල්හි නුවණ ගින්නෙන් දැවූ කල්හි නුයි ‘සබ්බෙසු ධම්මේසු සමූහතෙසු’ යනු වේ.
සමූහතා වාදපථාපි සබ්බේ- ‘වාදපථයෝ යයි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. ඔහු විසින් වාදයෝ ද වාදපථයෝ ද අධිවචනයෝ ද අධිවචනපථයෝ ද නිරුක්තීහු ද නිරුක්තිපථයෝ ද ප්‍රඥප්තීහු ද ප්‍රඥප්තිපථයෝ ද නසන ලදහ මොනොවට නසන ලදහ උදුළහ මොනොවට උදුළහ උපුරන ලදහ මොනොවට උපුරන ලදහ. ප්‍රහීණයහ සමුච්ඡින්නයහ, සන්හිඳුවන ලදහ දුරලන ලදහ, අභව්‍යොත්පත්තික වූහ, නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘සමූහතා වාදපථා පි සබ්බේ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අත්‍ථංගතස්ස -පෙ- සමූහතා වාදපථා’ පි සබ්බේ” යි.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග බමුණු හා සමඟ යම් අතැවැසි කෙනෙක්.... බදැඳිලි වූයේ නමස්කාර කෙරෙමින් හුන්නේ වෙයි: “වහන්ස, බුදුහු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවක වෙමි.”
සවැනි උපසීව සූත්‍රනිර්දේශය යි.
7. නන්‍ද සූත්‍ර නිර්‍දෙශය
7. 1.
(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ‘ලොවැ මුනීහු ඇත්තාහ’යි ජනයෝ කියති. එය කෙසේ ද? (සමාපත්ති-අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද? නොහොත් රූක්‍ෂ ජීවිතයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද?
සන්ති ලෝකේ මුනයො- ‘සන්ති’ යනු: ඇත්තාහ, විද්‍යාමාන වෙති, ඇති, ලැබෙති. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතනලෝකයෙහි. මුනයො යනු: මුනි නම් ඇති ආජීවකයෝ යැ නිගණ්ඨයෝ යැ ජටිලයෝ යැ තාපසයෝ යැ යි ‘සන්ති ලෝකේ මුනයො’ යනු වේ. ඉච්චායස්මා නන්දො ...
ජනාවදන්ති තයිදං කථංසු- ‘ජනා’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද. වදන්ති යනු: කියති බෙණෙති ප්‍රකාශ කෙරෙති ව්‍යවහාර කෙරෙත්. තයිදං කථංසු යනු: මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි සංශයපෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා ය අනෛකාන්තපෘච්ඡා යැ යි ‘ජනාවදන්ති තයිදං කථංසු’ යනු වේ.
ඤාණූපපන්නං නො මුනිං වදන්ති යනු: අෂ්ට සමාපත්තිඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ උපේත වූවහු සමුපේත වූවහු එළඹසිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්‍ණ වූවහු සමන්‍වාගත වූවහු මුනි’ යයි වදන්ති-කියත් ද බෙණෙත් ද ප්‍රකාශ කෙරෙත් ද ව්‍යවහාර කෙරෙත් දැයි ‘ඤාණූපපන්නං නො මුනිං වදන්ති’ යනු වේ.
උදාහු වෙ ජීවිතෙනුපපන්නං යනු: නොහොත් අනේකවිධ වූ රූක්‍ෂ ජීවිතයෙන් උපේත වූවහු සමුපේත වූවහු එළඔ සිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්‍ණ වූවහු සමන්‍වාගත වූවහු ‘මුනි’ යයි වදන්ති-කියත් ද බෙෙණත් ද ප්‍රකාශ කෙරෙත් ද ව්‍යවහාර කෙරෙත් දැ යි ‘උදාහු ජිවිතෙනූපපන්නං යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“සන්ති ලෝකේ මුනයො -පෙ- උදාහු වේ ජිවිතෙනූපපන්නං” යි.
7. 2.
(බුදුහු මෙසේ වදාළහ: නන්‍දය) මෙ සස්නෙහි (ස්කන්‍ධාදියෙහි) දක්‍ෂයෝ දෘෂ්ටියෙන් ශ්‍රැතියෙන් ඥානයෙන් ‘මුනි’ යැ යි නො කියති. යම් කෙනෙක් කෙළෙස් සෙනඟ නසා (රාගාදි) ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් නම් ඔහු ‘මුනීහු’ යැ යි මම් කියමි.
න දිට්ඨියා න සුතියා න ඤාණෙන- ‘න දිට්ඨයා’ යනු: දෘෂ්ට (රූපායතන) ශුද්ධියෙන් නො වෙයි, න සුතියා යනු: ශ්‍රැතශුද්ධියෙන් නො වෙයි, න ඤාණෙන යනු: අෂ්ටසමාපත්ති ඥානයෙනු දු නො වෙයි පඤ්චාභිඥා ඥානයෙනුදු නො වෙයි, මිථ්‍යා ඥානයෙනුදු නො වේ නුයි ‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන’ යනු වේ.
මුනීධ නන්‍ද කුසලා වදන්ති- ‘කුසලා‘ යනු: යම් කෙනෙක් ස්කන්‍ධයන්හි නිපුණයෝ වෙත් ද ධාතූන්හි නිපුණයෝ- ආයතනයන්හි නිපුණයෝ- ප්‍රතීත්‍යසමුත්පාදයෙහි නිපුණයෝ- සතිපට්ඨානයන්හි නිපුණයෝ- සම්‍යක් ප්‍රධානයන්හි නිපුණයෝ- ඍද්ධිපාදයන්හි නිපුණයෝ- ඉන්‍ද්‍රියයන්හි නිපුණයෝ-බලයන්හි නිපුණයෝ-බෝධ්‍යඞ්ගයන්හි නිපුණයෝ-මාර්‍ගයන්හි නිපුණයෝ- ඵලයන්හි නිපුණයෝ- නිර්වාණයන්හි නිපුණයෝ වෙත් ද ඒ නිපුණයෝ දෘෂ්ටශුද්ධියෙන් හෝ ශ්‍රැතශුද්ධියෙන් හෝ අෂ්ටසමාපත්ති ඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ මිථ්‍යා ඥානයෙන් හෝ රූපායතනයෙන් හෝ ශබ්දායතනයෙන් හෝ උපේත වූවහු සමුපේත වූවහු එළඹ සිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්‍ණ වූවහු සමන්‍වාගත වූවහු ‘මුනි’ යයි න වදන්ති- නො කියති නො බෙණෙති ප්‍රකාශ නො කෙරෙති ව්‍යවහාර නො කෙරෙත් නුයි ‘මුනීධ නන්‍ද කුසලා වදන්ති’ යනු වේ.
විසෙනිකත්‍වා අනිසා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ති බ්‍රෑමි- යනු: ‘සේනා’ යි මරසෙනඟ කියනු ලැබෙයි. කායදුශ්චරිතය මරසෙනඟෙක, වාග්දුශ්චරිතය මරසෙනඟෙක, මනෝදුශ්චරිතය මරසෙනඟෙක, රාගය මරසෙනඟෙක, ද්වේෂය මරසෙනඟෙක, මෝහය මරසෙනඟෙක, ක්‍රෝධය මරසෙනඟෙක, බද්ධවෛරය මරසෙනඟෙක, මකුබවයුගග්‍රාහය- ඊර්‍ෂ්‍යාව- මාත්සර්‍ය්‍යය- මායාව- සඨබව- ස්තම්භය- සාරම්භය- මානය- අතිමානය- මදය- ප්‍රමාදය- හැම කෙලෙස්හු- හැම දුසිරිත්- හැම දරථයෝ හැම පරිදාහයෝ- හැම සන්තාපයෝ- හැම අකුශලාභිසංස්කාරයෝ මරසෙනඟෙකි.
තෙල වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
1. “අන්තකය, වස්තුකාම ක්ලේශකාමයෝ තාගේ පළමු වැනි සේනාවයැ, වනසෙනසුන්හි හෝ අධිකුශලධර්‍මයන්හි උපදනා අරතිය දෙවැනි සේනාව යැයි කියනු ලැබෙයි, සා පවස් දෙක තාගේ තෙවැනි සේනාව යැ, පර්‍ය්‍යෙෂණ තෘෂ්ණාව සතර වැනි සේනාව යැ යි කියනු ලැබේ.
2. ථිනමිද්ධය තාගේ පස්වැනි සේනාව යැ, තැතිගැනීම් සඞ්ඛ්‍යාත බියසුලු බව සවැන්න යැ යි කියනු ලැබෙයි, පර්‍ය්‍යාප්තියෙහි සැකය තාගේ සත් වැනි සේනාව යැ (මානය) මකු බව හා ස්තම්භය තා ගේ අට වැනි සේනාව යි.
3. ලාභය ප්‍රශංසාය සත්කාරය යන මොහු ද මිථ්‍යාවෙන් ලද යශස ද නවවැනි සේනාව වෙයි. ජාත්‍යාදිය හේතු කොට ගෙන ආත්මොත්කර්‍ෂණය ද පරවම්භනය ද දස වැනි සේනාව වේ.
4. අන්තකය, කෘෂ්ණධර්මයෙන් සමන්‍විත වූ තාගේ මේ දශවිධ සේනා තොමෝ මහණ බමුණන්ට අන්තරාය කරනසුලු වෙයි. ශූර නො වූ පුරුෂ තෙමේ ඒ මරසෙනඟ නො දිනයි, යළි කායජීවිත නිරපේක්‍ෂ වූ ශූර තෙමේ ජයග්‍රහණය කොට මඟපල සුවයට පැමිණේ ” යයි.
යම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු දශවිධ මාරසෙනාව ද ප්‍රතිපක්‍ෂ බව කරන සියලු ක්ලේශයෝ ද දිනන ලද්දාහු, පරදවන ලද්දාහු, බිඳින ලද්දාහු, සුණුවිසුණු කරන ලද්දාහු පරාම්මුඛ බවට පමුණුවන ලද්දාහු, වෙත් ද, එයින් කියනු ලැබෙති ‘විසෙනිකත්වා’ යි. අනීඝා යනු: රාගය නීඝ (ව්‍යසන) යැ, ද්වේෂය නීඝ යැ, මෝහය නීඝ යැ, ක්‍රෝධය නීඝ යැ, බද්ධවෛරය නීඝ යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ නීඝයෝ යි. යම් කෙනකුන් විසින් තෙල නීඝයෝ ප්‍රහාණය කරන ලද්දාහු මුලුසුන් කරන ලද්දාහු සන්හිඳුවන ලද්දාහු නිවන ලද්දාහු අභව්‍යොත්පත්තික කරන ලද්දාහු නුවණ ගින්නෙන් දවන ලද්දාහු වෙත් ද, ඔහු ‘අනීඝයෝ’ යි කියනු ලැබෙත්. නිරාසා යනු: ‘අසා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. “යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. යම් කෙනකුන් විසින් තෙල ආශාව තෘෂ්ණාව ප්‍රහාණය කරනලද මුලුසුන් කරන ලද සන්හිඳුවන ලද නිවන ලද යළි උපදනට නො නිසි කරන ලද නුවණ ගින්නෙන් දවනලද වේ ද, ඔහු ‘නිරාසයෝ’ යි කියනු ලැබෙත්. යෙ යනු: අර්‍හත් ක්‍ෂීණාශ්‍රවයෝ යි. විසෙනිකත්‍වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ ති බ්‍රෑමි යනු: යම් කෙනෙක් මරසෙන් පරදවා ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් ද වාසය කෙරෙත් ද ඉරියවු පවත්වත් ද වැටෙත් ද පාලනය කෙරෙත් ද යැපෙත් ද යාපනය කෙරෙත් ද ඔහු ලොවැ ‘මුනීහු’ යයි බ්‍රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි පවසම් නුයි ‘විසෙනිකත්වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ ති බ්‍රෑමි’ යි.
එයින් වදාළහ බුදුහු:
“න දිට්ඨියා න සුතියා -පෙ- චරන්ති යෙ තෙ මුනයො’ති බ්‍රෑමි” යි.
7. 3.
(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ට (රූපායතන) යෙනුදු ශ්‍රැත (ශබ්දායතන) යෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම් ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් නම් අනේකවිධ කොතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම් නිදුකාණන් වහන්ස, කිම ඔහු (ඒ දෘෂ්ටිගතිකයෝ) ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වසන්නාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැව.
යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණා සෙ- ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිරවශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට පැමිණි පරිව්‍රාජක බවට පැමිණියාහු. බ්‍රාහ්මණා යනු: යම් කිසි භොවාදිකයෝ නුයි ‘යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණා සෙ’ යනු වේ.
දිට්ඨෙන සුතෙනා‘පි වදන්ති සුද්ධිං යනු: දෘෂ්ට (රූපායතන) යෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, වදන්ති-කියති බෙණෙති දක්වති වහරති. ශ්‍රැත (ශබ්දායතන) යෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, වදන්ති-කියති බෙණෙති දක්වති වහරති. දෘෂ්ටශ්‍රැතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘දිට්ඨෙන සුතෙනා’ පි වදන්ති සුද්ධිං’ යනු වේ.
සීලබ්බතෙනා‘පි වදන්ති සුද්ධිං යනු: ශීලයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරති. ව්‍රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරති. ශීලව්‍රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
අනෙකරූපෙන වදන්ති සුද්ධිං යනු: අනෙක විධ ව්‍රත කුතූහලමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං’ යනු වේ.
කච්විස්සු තෙ භගවා තත්‍ථ යතා චරන්තා- ‘කච්චිස්සු’ යනු: සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ ද්වෙළ්හකපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ මෙසේ දෝ හෝ නො වේ දෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි ‘කච්චිස්සු’ යනු වේ. තෙ යනු: දෘෂ්ටිගතිකයෝ. භගවා යනු: තෙල ගෞරවාධිවචන යැ ... මේ භගවා’ යනු: අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියෙක් නුයි ‘කච්චිස්සු තෙ භගවා’ යනු වේ. තත්‍ථ යතා චරන්තා- ‘තත්‍ථ’ යනු ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්‍ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි යතා යනු: රැකුණාහු වෙසෙසින් රැකුණාහු ගුප්ත වූවාහු ගෝපනය කරන ලද්දාහු සංවෘත වූවාහු. චරන්තා යනු: හැසිරෙන්නාහු වසන්නාහු ඉරියවු පවත්වන්නාහු වැටෙන්නාහු පාලනය වන්නාහු යැපෙන්නාහු යාපනය කරන්නාහු නුයි ‘කච්චිස්සු තෙ භගවා තත්‍ථ යතා චරත්තා’ යනු වේ.
අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: ජාති ජරාමරණය තරණය කළහ උත්තරණය කළහ ප්‍රතරණය කළහ මොනොවට ඉක්මවූහ ව්‍යතික්‍රමණය කළහ. මාරිස යනු ප්‍රියවචන යැ ගරුවචන යැ තෙල ‘මාරිස’ යනු සගෞරව සප්‍රතිශය නමෙක් නුයි ‘අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං- ‘පුච්ඡාමි තං’ යනු: මුඹ වහන්සේ පුළුවුස්මි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අධ්‍යෙෂණ කෙරෙමි මුඹ වහන්සේ පහදවමි මට වදාළ මැනැවැ යි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: ... මේ භගවා යනු අර්‍හත් ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියකි. බ්‍රෑහිමෙතං යනු: බ්‍රෑහි- කිව මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“යෙ කෙචිමෙ -පෙ- පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි.
7. 4.
(බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) ‘යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීලව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කොතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද වැළිත් ඔහු ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් ජාතියත් ජරාවත් තරණය නො කළාහ’ යි කියමි.
යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණා සෙ- ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිරවශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට එළඹියාහු පරිව්‍රාජක බවට පැමිණියාහු. බ්‍රාහ්මණා යනු: යම් කිසි හොවාදිකයෝ නුයි ‘යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණාසෙ’ යනු වේ. නන්‍දා’ති භගවා යනු....
දිට්ඨෙන සුතෙනා‘පි වදන්ති සුද්ධිං යනු: දෘෂ්ට (රූපායතන) යෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති කියති බෙණෙති දක්වති වහරති, ශ්‍රැත (ශබ්දායතන) යෙනුදු ශුද්ධිය... දෘෂ්ට ශ්‍රැතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘දිට්ඨෙන සුතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං යනු: ශීලයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරති, ව්‍රතයෙනුදු ශුද්ධිය .... වහරති, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි. ‘සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
අනෙකරූපෙන වදන්ති සුද්ධිං යනු: අනේකවිධ ව්‍රතකෞතුකමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං.’ යනු වේ.
කිඤ්චා’පි තෙ තත්‍ථ යතා චරන්ති- කිඤ්චා’පි යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපරිපූර්ණතා යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ තෙල’ කිඤ්චා ‘පි’ යනු පදානුපූර්‍වතා යි. තෙ යනු: දෘෂ්ටිගතිකයෝ යි. තත්‍ථ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්‍ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි. යතා යනු: රැකෙන්නාහු වෙසෙසින් රැකෙන්නාහු ගුප්ත වූවාහු ගෝපනය කරන ලද්දාහු රක්‍ෂිත වූවාහු සංවෘත වූවාහු. චරන්ති යනු: හැසිරෙති වාසය කෙරෙති. ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘කිඤ්චා’පි තෙ තත්‍ථ යතා චරන්ති’ යනු වේ.
නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි යනු: ජාතිජරාමරණය තරණය නො කළහ, උත්තරණය ප්‍රතරණය-සමතික්‍රමණය- ව්‍යතික්‍රමණය නො කළහ. ජාතිජරාමරණයෙන් නො නික්මුණාහු නො බැහැර වූවාහු නො ඉක්මගියාහු මොනොවට නො ඉක්මගියාහු නො ඉක්ම සිටියාහු ඇතුළු ජාතිජරාමරණයෙහි පෙරැළෙති, ඇතුළු සසරමඟ පිරිවැටෙති, ජාතියෙහි පිවිසියාහු ජරාව විසින් ලුහුබඳනා ලද්දාහු ව්‍යාධියෙන් මැඬුනාහු මරණයෙන් පහළාහු ත්‍රාණ (රක්‍ෂා) රහිතයහ, ලෙන (නිලීනස්ථාන) රහිතයහ, අසරණයහ, අසරණීභූතහ’යි බ්‍රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි පවසමි නුයි ‘නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙ කෙවිමෙ -පෙ- නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි” යි
7-5, 6.
(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන්වහන්ස, යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීලව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කෞතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද මුනීන්‍ද්‍රයන් වහන්ස, ඉදින් ඒ දෘෂ්ටිගතිකයන් ඕඝතරණය නො කළවුනැ’යි වදාරන්නවු නම් නිදුකාණන් වහන්ස, වැළිත් දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැවි.
යෙ කෙවිමෙ සමණබ්‍රාහ්මණා සෙ-‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත් පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට එළඹියාහු පරිව්‍රාජකබවට පැමිණියාහු. බ්‍රාහ්මණා යනු: යම් කිසි ‘භො වාදිකයෝ යැ’ යි ‘යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණා සෙ’ යනු වේ. ඉච්චායස්මා නන්දො යනු....
දිට්ඨෙන සුතෙනා’පි වදන්ති සුද්ධිං යනු: දෘෂ්ටයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් ද, ශ්‍රැතයෙනුදු ශුද්ධිය ... දෘෂ්ට-ශ්‍රැතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් දැ යි ‘දිට්ඨෙන සුතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
සීලබ්බතෙනා’ පි වදන්ති සුද්ධිං යනු: ශීලයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති-කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් ද ව්‍රතයෙනුදු ශුද්ධිය ... වහරත් ද, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති-කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් දැ’යි ‘සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
අනෙකරූපෙන වදන්ති සුද්ධිං යනු: අනේකවිධ ව්‍රතකෞතුකමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති-කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් දැ’ යි ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං’ යනු වේ.
තෙ වෙ මුනී බ්‍රෑසි අනොඝතිණ්ණෙ- ‘තෙ චෙ’ යනු: දෘෂ්ටිගති ඇතියන්. මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි... රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්ම සිටි හෙතෙම මුනි නම් වෙයි.
බ්‍රෑසි අනොඝතිණ්ණො යනු: කාමෝඝය භවොඝය දිටිඨොඝය අවිජ්ජෝඝය තරණය නො කළවුන් නො ඉක්මවූවන් මොනොවට නො ඉක්ම වූවන් නො ඉක්ම සිටියවුන් ඇතුළු ජරාමරණයෙහි පිරිවැටෙනු (පෙරැළෙනු) වන් ඇතුළු සසරමඟ පිරිවැටෙනු වන් ජාතියෙහි පිවිසියන් ජරාව විසින් ලුහුබඳනා ලදුවන් ව්‍යාධියෙන් මැඬුණවුන් මරණයෙන් පහළ වුන් ත්‍රාණ නැතියන් ලෙන නැතියන් අසරණයන් අසරණීභූතයන් කොට බ්‍රෑසි- වදාරණ සේක් දෙසන සේක් පනවනසේක් පිහිටුවන සේක් විවෘත කරන සේක් විභාග කරනසේක් පාළ කරනසේක් පවසන සේක් නම් නුයි ‘තෙ චෙ මුනී බ්‍රෑසි අනොඝතිණ්ණො යනු වේ.
අථ කො චරහි මනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: වැළිත් තෙල කවරෙක් දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවැ මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකයෙහි ජාතිජරාමරණය තරණය කෙළේ ද උත්තරණය- ප්‍රතරණය- සමතික්‍රමණය- ව්‍යතිවර්තනයකෙළේ ද? මාරිස යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ තෙල ‘මාරිස’ යනු සගෞරව සප්‍රතිශ්‍රයනාමයෙක් නුයි ‘අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච මාරිස’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං- ‘පුච්ඡාමි තං’ යනු: මුඹ වහන්සේ පුළුවුස්මි, මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්‍යෙෂණ කෙරෙමි, මුඹවහන්සේ පහදවමි. භගවා යනු: තෙල ගෞරවනාම යැ... මේ ‘භගවා’ යනු: අර්‍හත් ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: වදාළ මැනැව ප්‍රකාශ කළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව පාළ කළ මැනැව පැවැසුව මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“යෙ කෙවිමෙ -පෙ- පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි
7. 7.
(බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මම් ‘හැම මහණබමුණහු ජාති ජරා විසින් අවුරන ලදහ යි නො කියමි. මේ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැරපියා හැම කෞතූහල මඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු ද එ සත්හු ඒකාන්තයෙන් ඕඝතරණය කළාහ යි කියමි.’
නාහං සබ්බේ සමණබ්‍රාහ්මණා සෙ නන්‍දා‘ති භගවා ජාතිජරාය නිවුතා’ති බ්‍රෑමි යනු: නන්‍දය, මම් හැම මහණබමුණහු ජාතිජරායෙන් අවුරන ලද්දාහු වළහන ලද්දාහු උඩින් වැසුණාහු යටින් වැසුණාහු පිළිසන් වූවාහු යටිහුරු වූවාහු යයි නො කියමි. යම් මහණ බමුණු කෙනකුන්ට ජාතියත් ජරාමරණයත් ප්‍රහීණ වූවාහු ද උසුන්මුල් ඇත්තාහු ද හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක වූවාහු ද අනු අභාවය කරන ලද්දාහු ද ආයතිභවයෙහි නූපදනා පියවි ඇත්තාහු ද, එබඳු මහණබමුණු කෙනෙක් ඇත්තාහ යි බ්‍රෑමි-කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘නාහං සබ්බේ සමණබ්‍රාහ්මණා සෙ නන්‍දා ති භගවා ජාතිජරාය නිවුතා‘ති බ්‍රෑමි’ යනු වේ.