සික්ඛෙ නිබ්බානමත්තනො- ‘ශික්‍ෂා’ යනු: තුන් ශික්‍ෂා යි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්ෂා යැ අධිප්‍රඥාශික්ෂා යි... මේ අධිප්‍රඥා ශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු: තමා ගේ රාගය නිවන පිණිස ද්වේෂය නිවන පිණිස මෝහය නිවන පිණිස ක්‍රෝධය-උපනාහය-නිවන පිණිස... හැම අකුශලාභිසංස්කාරයන්ගේ ශමනය උපශමනය ව්‍යුපශමනය පිණිස නිවීම පිණිස හැරපීම පිණිස ප්‍රතිප්‍රශ්‍රබ්ධිය පිණිස අධිශීලය ද හික්මෙන්නේ යැ අධිචිත්තය ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාව ද හික්මෙන්නේ යැ මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ දනිමින් හික්මෙන්නේ යැ... සාක්ෂාත්කර්තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ, සමාදන් වැ ගෙන පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තෙන හාතප්පං කරොහි -පෙ- සික්ඛෙ නිබ්බානමත්තනො” යී.
5. 3.
(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම මිනිස් ලොවැ හැසිරෙන පළිබෝධ රහිත වූ (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ දේවාති දේවයන් දකිමි. සමතැස් ඇතියාණෙනි, එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්‍යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනැව.
පස්සාමහං දෙවමනුස්සලොකෙ යනු: ‘දෙව’ යි තුන් දෙවිහ: සම්මුතිදේව යැ උත්පත්තිදේව යැ විසුද්ධිදේව යි. සම්මුති දේවයෝ කවරහ යත්: රජහු ද රජකුමරහු ද දෙවීහු ද සම්මුතිදේව යි කියනු ලැබෙති මොහු ‘සම්මුතිදේව’යි කියනු ලැබෙත්. උත්පත්තිදෙවයෝ කවරහ යත්: චාතුර්මහාරාජික දෙවියෝ ද තව්තිසා දෙවියෝ ද යාම දෙවියෝ ද තුෂිත දෙවියෝ ද නිර්‍මාණරතී දෙවියෝ ද පරනිර්මිතවසවර්ති දෙවියෝ ද බ්‍රහ්මකායික දෙවියෝ ද එයින් මතුයෙහි යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔහු දු ‘උත්පත්තිදේව’ යි කියනු ලැබෙති. මොහු ‘උත්පත්තිදෙව’ යි කියනු ලැබෙත්. විශුද්ධිදෙවයෝ කවරහ යත්: තථාගතශ්‍රාවක වූ අර්‍හත් ක්ෂීණාශ්‍රවයෝ ද යම් පසේබුදු කෙනෙක් වෙත් නම් ඔහු ද ‘විශුද්ධිදේව’ යි කියනු ලැබෙති. මොහු ‘විශුද්ධිදේව’ යි කියනු ලැබෙත්. බුදුහු සම්මුතිදේවයනට ද උත්පත්තිදේවයනට ද විශුද්ධිදේවයනට ද, දේව ද අතිදේව ද දේවාතිදේව ද වෙති, (අභීත බැවින්) සිංහාතිසිංහ යැ (නිකෙලෙස් බැවින් මහත් බැවින් හෝ) නාගාතිනාග ය ගණීනට ගණී යැ මුනිනට මුනි යැ රාජාධිරාජ යි. පස්සාමහං දෙව මනුස්සලොකෙ යනු: මිනිස්ලොවැ දෙවි වූවහු දකිමි, අතිදේව වූවහු දකිමි, දේවාතිදේව වූවහු දකිමි හඳුනමි අවලෝකනය කෙරෙමි සිතමි හාත්පසින් දකිම් නුයි ‘පස්සාමහං දෙව මනුස්සලොකෙ’ යනු වේ.
අකිඤ්චනං බ්‍රාහ්මණං ඉරීයමානං- ‘අකිඤ්චනං’ යනු: රාගකිඤ්චන යැ ද්වේෂකිඤ්චන යැ මෝහ කිඤ්චන යැ මාන කිඤ්චන යැ දෘෂ්ටි කිඤ්චන යැ ක්ලේශ කිඤ්චන යැ දුශ්චරිත කිඤ්චන යි. ඒ කිඤ්චනයෝ භාග්‍යවත් බුහුනට ප්‍රහීණයෝ යැ උසුන්මුල් ඇත්තාහු යැ තාලවස්තුවක් මෙන් කරන ලදහ, අනුඅභාවය කරන ලදහ, මතු නූපදනා පියවි ඇත්තාහ, එහෙයින් බුදුහු අකිඤ්චනයහ. බ්‍රාහ්මණො යනු සප්තධර්ම කෙනකුන් දුරු කළ වන බැවින් භාග්‍යවත්හු බ්‍රාහ්මණයහ: සත්කායදෘෂ්ටිය බාහිත (ප්‍රහීණ කරන ලද) වෙයි, විචිකිත්සාව බාහිත වෙයි, ශීලව්‍රතපරාමර්ශය බාහිත වෙයි. රාගය බාහිත වෙයි, ද්වේෂය බාහිත වෙයි. මෝහය බාහිත වෙයි, මානය බාහිත වෙයි, ඔවුන් විසින් සාංක්ලේශිත වූ පුනර්‍භවය ඇති කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මතුයෙහි ජාතිජරාමරණයට කාරණා වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහු වෙත්.
1. “( සභිය’යි භාග්‍යවත්හු මෙසේ වදාළහ:) සියලු පාපධර්‍මයන් ප්‍රහීණ කොට එහෙයින් මැ විගතමල වූ (ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵල සමාධියෙන් මැනැවින් එකඟ කළ සිත් ඇති (ලොකධර්මයෙන් කම්පිත නො වන බැවින්) ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්මවා සිටි (නිමවන ලද මාර්ගකෘත්‍ය ඇති හෙයින්) කේවලී වූ ඒ ක්ෂීණාස්‍රව තෙමේ (තෘෂ්ණා-දෘෂ්ටි නිඃශ්‍රය නැති හෙයින්) ‘අසිත’ යි ද (ලොකධර්මයෙන් නිර්විකාර හෙයින්) ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම බ්‍රාහ්මණ නම් වේ.”
ඉරියමානං - හැසිරෙනුවහු වාසය කරනුවහු ඉරියවු පවත්වනුවහු වැටෙනුවහු රැකෙනුවහු යැපෙනුවහු යාපනයවනුවහු නුයි ‘අකිඤ්චනං බ්‍රාහ්මණං ඉරියමානං’ යනු වේ.
තං තං නමස්සාමි සමන්තචක්ඛු- ‘තං’ යි භාග්‍යවතුන් බෙණෙයි. නමස්සාමි - කයින් හෝ නමස්කාර කෙරෙමි, බසින් හෝ නමස්කාර කෙරෙමි, සිතින් හෝ නමස්කාර කෙරෙමි, අන්වර්ථප්‍රතිපදායෙන් හෝ නමස්කාර කෙරෙමි, ධර්‍මානුධර්‍ම ප්‍රතිපදායෙන් හෝ නමස්කාර කෙරෙමි, සත්කාර කෙරෙමි, ගරු කෙරෙමි, බුහුමන් කෙරෙමි. පුදමි. සමන්තචක්ඛු ‘සමන්තචක්ඛු’යි සර්වඥාතාඥානය කියනු ලැබෙයි, බුදුහු සර්‍වඥතාඥානයෙන් උපේතයහ, සමුපේතයහ, උපගතයහ, සමුපගතයහ, යුක්තයහ, පරිපූර්‍ණයහ, සමන්‍විත වූහු.
2. “ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලෝකයෙහි (මෙ කලැ හෝ) පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත,(අනාගත වූ) නො දැනෙන කිසි (ධර්මජාතයෙක්) දු නැත. දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු වූහ’ යි”.
තං තං නමස්සාමි සමන්තචක්ඛු’ යනු වේ.
පමුඤ්ච මං සක්ක කථංකථාහි- ‘සක්ක’යනු: භාග්‍යවත්හු ශාක්‍යයහ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ, නොහොත් (ප්‍රඥා ධන සමෘද්ධියෙන්,) ආඪ්‍යයහ, මහත් වූ ප්‍රඥා ධන ඇතියහ, (ප්‍රඥා ධනයෙන්) ධනවත් වූවාහු නුයි ද ශාක්‍යයහ. ඔවුන්ගේ මේ ධනයෝ වෙති, ඒ මෙසේ යි: ශ්‍රද්ධාධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ සම්‍යක්ප්‍රධානධන යැ සෘද්ධිපාදාධන යැ ඉන්ද්‍රියධන යැ බලධන යැ බොධ්‍යඞ්ගධන යැ මාර්ගධන යැ ඵල ධන යැ නිර්වාණධන යි. මේ නන්වැදෑරුම් ධනරත්නයෙන් ආඪ්‍යයහ, මහද්ධනයහ, ධනවත්හ යි ද ශාක්‍ය නම් වූහ.
නොහොත් ශාක්‍යයහ ප්‍රභූහ (පරසන්තානයෙහි) වීර්‍ය්‍යය උපදවනුවහ සමර්‍ත්‍ථ සිත් ඇතියහ ශූර වූවහ පරාක්‍රමවත්හ වික්‍රමවත්හ නො බිය වන සුල්ලහ නො සැලෙනුවහ නො තැතිගන්නා සුල්ලහ නො පලායන සුල්ලහ ප්‍රහීණ වූ භය භයඅරමුණු ඇතියහ විගත වූ ලොමුදහ ඇතියහ යි ද ශාක්‍ය නම් වූහ. ‘කථංකථා’යි විචිකිත්සාව කියනු ලැබෙයි: දුඃඛයෙහි සැක යැ දුඃඛසමුදයෙහි සැක යැ දුඃඛනිරෝධයෙහි සැක යැ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදායෙහි සැක යැ ඉදං ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක යැ. යම් මෙබඳු සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් (දෙපසට සැලෙන) ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනෛකාන්ත ග්‍රාහයෙක් (අරමුණ කෙරෙන්) පසු බැස්මෙක් හාත්පසින් පසු බැස්මෙක් නො බැසගැනුමෙක් චිත්තයාගේ තදබවෙක් (සිත හිරි අඳනා බඳු) මනෝවිලේඛයෙක් වේ ද එය යි. පමුඤ්ච මං සක්ක කථං කථාහි යනු: මා මුදනු මැනැවැ මා නොයෙක් අයුරින් මුදනු මැනැවැ මා ලිහිල් කළ මැනැවැ මා ඉතා ලිහිල් කළ මැනැවැ මා (සංසාර පඞ්කයෙන්) නඟාලනු මැනැවැ මොනොවට නඟාලනු මැනැවැ විචිකිත්සාශල්‍යයෙන් මා නඟා සිටුවනු මැනැව නුයි ‘පමුඤ්ච මං සක්ක කථංකථාහි’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“පස්සාමහං දෙව මනුස්සලොකෙ -පෙ- පමුඤ්ච මං සක්ක කථංකථාහි” යී.
5. 4.
(බුදුහු මෙසේ වදාළහ:ධෝතකය,) ලොවැ විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට මම නො හැක්කෙමි. නොහොත් උත්සාහ නො කෙරෙමි. තෙපි ශ්‍රෙෂ්ඨධර්මය (නිවන) දන්මින් මෙසේ මේ ඕඝය තරණය කරන්නවූ යැ.
නාහං සහිස්සාමි පමොචනාය යනු: මම තා කථංකථාශල්‍යයෙන් මුදන්නට වෙසෙසින් මුදන්නට මුදා පියන්නට වෙසෙසින් මුදාපියන්නට නඟන්නට මැනැවින් නඟන්නට නඟා සිටුවන්නට මැනැවින් නඟාසිටු වන්නට නො හැකි යෙම් නුයි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ. නොහොත් ශ්‍රද්ධා නැති කුශලච්ඡන්‍ද රහිත වූ කුසීත වූ හීනවීර්‍ය්‍ය ඇති පිළිවෙත්හි නො හැසිරෙන පුද්ගලයනට දහම් දෙසනු සඳහා පියෝ නො කෙරෙමි, මැනැවින් පියෝ නො කෙරෙමි, නො සහමී, වෑයම් නො කෙරෙමි, උත්සාහ නො කෙරෙමි, අධිමාත්‍ර වැ උත්සාහ නො කෙරෙමි, තැත් නො කෙරෙමි, ධෛර්‍ය්‍යය නො කෙරෙමි, වීර්‍ය්‍යය නො කෙරෙමි, රුචි නූපදවමි, වෙසෙසින් රුචි නූපදවමි, නො නිපදවමි, වෙසෙසින් නො නිපදවම් නුයි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ.
නොහොත් මුදන අන් කිසිවෙක් නැත, ඉදින් ඔහු මිදෙන්නාහු නම් ස්වකීය ශක්තියෙන් ස්වකීයබලයෙන් ස්වකීය වීර්‍ය්‍යයෙන් ස්වකීය පරාක්‍රමයෙන් ස්වකීය පෞරුෂයෙන් තුමූ සම්‍යක්ප්‍රතිපත් අනුලෝම ප්‍රතිපත් අවිරුද්ධ ප්‍රතිපත් අන්‍වර්ථ ප්‍රතිපත් ධර්මානුධර්මප්‍රතිපත් පිළිපදනාහු මිදෙන්නාහ’යි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ. භාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි: “චුන්දය, යමෙක් තෙමේ ගැඹුරු (මහ) මඩෙහි ගැලුණේ ද හෙතෙම ගැඹුරු මඩෙහි ගැලුණු අනෙකක්හු නඟා සිටුවන්නේ යැ යන මෙ කරුණ නො වෙයි. චුන්දය, යමෙක් තෙමේ නො දැමුණේ නො හික්මුණේ කෙලෙස් පිරිනිවනින් නො පිරිනිවියේත් වේ නම් හෙතෙම ඒකාන්තයෙන් අනෙකක්හු දමනය කරන්නේ යැ හික්මවන්නේ යැ පිරිනිවන්නේ යැ යන මෙ කරුණ නො වේ” යයි
මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ.
මෙ ද වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:
3. “යමක්හු විසින් තමා මැ පව්කම් කරන ලද ද, හෙතෙම සිවු අපාදුක් විඳිනුයේ තෙමේ මැ කෙලෙසෙයි, යළි යමක්හු විසින් තමා පව්කම් නො කරන ලද ද හෙතෙම සුගතියට පැමිණියේ තෙමේ මැ විශුද්ධ වෙයි. කුශලා කුශලකර්‍ම සඞ්ඛ්‍යාත ශුද්ධිය ද අශුද්ධිය ද කාරක සන්තානනයෙහි-තමා කෙරෙහි විවා දනවයි. අනෙකක් අනෙකෙක්හු විශුද්ධ නො කරන්නේ යැ”යි.
මෙසේත් ‘නාහං‘ සහිස්සාමි පමොචනාය’ යනු වේ.
භාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි:
“එසෙයින් මැ බමුණු, අමාමහනිවන ඇත් මැයි. (පූර්‍වභාග විදර්ශනාදියෙහි පටන් කොට) නිවනට පමුණුවන ආර්‍ය්‍යමාර්‍ගය ඇත, සමාදන් කරවන (පිළිවෙතැ පිහිටුවන) මම් සිටිම් මැ යැ එතෙකුදු වත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් මැ අත්‍යන්තනිෂ්ඨා වූ නිවන සම්පාදනය කෙරෙති, ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. මෙහි ලා බමුණ, (මොවුන් කෙරෙහි) මම් කුම් කෙරෙම් ද බමුණ, තථාගතයෝ පිළිවෙත් මඟ කියන සුල්ලහ, බුදුහු මාර්‍ගය ප්‍රකාශ කෙරෙත්, තුමූ පිළිවෙත්හි පිළිපදිමින් මිදෙන්නාහ”යි.
මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’යනු වේ.
කථංකථිං ධෝතක කඤ්චි ලෝකේ- සැක සහිත වූ මනොවිලෙඛ සහිත වූ ද්වෙළ්හක (දෙසිත්) සහිත වූ විචිකිත්සා සහිත වූ සැක ඇති පුඟුල්හු. කඤ්චි යනු: කිසි ක්‍ෂත්‍රියයකු හෝ බ්‍රාහ්මණයකු හෝ වෛශ්‍යයකු හෝ ශුද්‍රයකු හෝ ගෘහස්ථයකු හෝ ප්‍රව්‍රජිතයකු හෝ දෙවියකු හෝ මිනිසකු හෝ යි. ලෝකේ- අපායලෝකයෙහි...ආයතනලෝකයෙහි නුයි ‘කථංකථිං ධෝතක කඤ්චි ලෝකේ’ යනු වේ.
ධම්මඤ්ච සෙට්ඨං ආජානමානො යනු: ‘ධම්මං සෙට්ඨං’ යි අමාමහ නිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් ක්ලේශවිරාගයෙක් දුඃඛ නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. සෙට්ඨං යනු: අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රමුඛ වූ උත්තම වූ ප්‍රවර වූ ධර්‍මය. ආජානමානො යනු: නියතයෙන් දන්නේ වෙසෙසින් දන්නේ ඒ ඒ කරුණින් දන්නේ ප්‍රතිවෙධ කරනුයේ නුයි ‘ධම්මඤ්ච සෙට්ඨං ආජානමානො’ යනු වේ.
එවං තුවං ඔඝමිමං තරෙසි- මෙසේ තෝ කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය තරණය කරන්නෙහි උත්තරණය කරන්නෙහි ප්‍රතරණය කරන්නෙහි සමතික්‍රමණය කරන්නෙහි ඉක්මවන්නෙහි යි ‘එවං තුවං ඔඝමිමං තරෙසි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නාහං සහිස්සාමි පමොචනාය -පෙ- එවං තුවං ඔඝමිමං තරෙසි” යි.
5. 5.
(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි.) ශ්‍රේෂ්ඨයන් වහන්ස, මම යම් සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ නිර්වාණධර්මයක් දැනගන්නෙම් නම් යම්සේ මම් ආකාශය සෙයින් නානාප්‍රකාර බවට නො පැමිණෙන්නෙම් මෙ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුණෙම් (තෘෂ්ණා-දෘෂ්ටි) නිඃශ්‍රය රහිත වැ හැසිරෙන්නෙම් නම් එහෙයින් (මට) අනුකම්පා කෙරෙමින් අනුශාසනා කළ මැනැව.
අනුසාස බ්‍රහ්මෙ කරුණායමානො-‘අනුසාස බ්‍රහ්මෙ’ යනු: ශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුශාසනා කළ මැනැවැ අනුග්‍රහ කළ මැනැවැ අනුකම්පා කළ මැනැවැ’යි ‘අනුසාස බ්‍රහ්මෙ’ යනු වේ. කරුණායමානො- කරුණා කෙරෙමින් අනුද්දයා කෙරෙමින් අනුරක්ෂණ කෙරෙමින් අනුග්‍රහ කෙරෙමින් අනුකම්පා කෙරෙමින් නුයි ‘අනුසාස බ්‍රහ්මෙ කරුණායමානො’ යනු වේ.
විවෙක ධම්මං යමහං විජඤ්ඤං- ‘විවෙකධම්ම’යි අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් ක්ලේශ විරාගයෙක් දුඃඛනිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. යමහං විජඤ්ඤං- මම් යම් නිවනක් දැන ගනිම් නම් නියතින් දැනගනිම් නම් වෙසෙසින් දැනගනිම් නම් ඒ ඒ කරුණින් දැනගනිම් නම් ප්‍රතිවෙධ කෙරෙම් නම් අවබෝධ කෙරෙම් නම් ඥානයෙන් ස්පර්‍ශ කෙරෙම් නම් ප්‍රත්‍යක්ෂ කෙරෙම් නම් යි ‘විවෙකධම්මං යමහං විජඤ්ඤං’ යනු වේ.
යථාහං ආකාසොව අඛ්‍යාපජ්ජමානො- යම් සේ ආකාශය (නානාත්වයට) නො යේ ද නො ගනී ද නො බැඳේ ද හාත්පසින් නො බැඳේ ද එපරිද්දෙන් (නානාත්වයට) නො යනුයෙම් නො ගන්නෙම් නො බැඳෙනුයෙම් හාත්පසින් නො බැඳෙනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ. යම්සේ අහස ලතුයෙන් හෝ කසායෙන් හෝ බෙරුපතින් හෝ මඳටින් හෝ නො රැඳේ ද එසෙයින් නො රැඳෙනුයෙම් දූෂ්‍ය නො වනුයෙම් නො මුළා වනුයෙම් නො කිලිටි වනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ. යම්සේ අහස නො කිපේ ද පියවි නො හරී ද නො තද වේ ද නො ගැටේ ද, එසෙයින් නො කිපෙනුයෙම් පියවි නො හරිනුයෙම් තද බවට නො පැමිණෙනුයෙම් නො ගැටෙනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ.
ඉධෙව සන්තෝ අසිතො චරෙය්‍යං -‘ඉධෙව සන්තෝ’ යනු: මෙහි මැ වූයෙම් මෙහි මැ හුන්නෙම් මෙ අසුනෙහි මැ හුන්නෙම්, මෙ පිරිස්හි මැ හුන්නෙම් නුයි මෙසේත් ‘ඉධෙව සන්තෝ’ යනු වේ. නොහොත් මෙහි මැ ශාන්ත වූයෙම් උපශාන්ත වූයෙම් ව්‍යුපශාන්ත වූයෙම් නිවුණෙම් සන්හිඳුණෙම් නුයි මෙසේත් ‘ඉධෙව සන්තෝ’ යනු වේ. අසිතො- නිඃශ්‍රය දෙකෙකි: තෘෂ්ණා නිශ්‍රය ද දෘෂ්ටිනිශ්‍රය දැ යි... මේ තෘෂ්ණා නිශ්‍රය යි... මේ දෘෂ්ටිනිඃශ්‍රය යි. තෘෂ්ණානිඃශ්‍රය හැරපියා දෘෂ්ටිනිඃශ්‍රය දුරැලා ඇස (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ඇසුරු නො කෙළෙම් කන අනිඃශ්‍රිතයෙම් නැහැය අනිඃශ්‍රිතයෙම් දිව අනිඃශ්‍රිතයෙම් කය අනිඃශ්‍රිතයෙම් සිත අනිඃශ්‍රිතයෙම් රූප- ශබ්ද- ගන්‍ධ- රස - ස්ප්‍රෂ්ටව්‍ය- ධර්‍මයන්- කුලයා-ගණයා- ආවාසය ලාභය යශස ප්‍රශංසාව සුඛය චීවර පිණ්ඩපාත ශයනාසන ගිලන්පස බෙහෙසත් පිරිකර, කාමධාතුව රූපධාතුව අරූපධාතුව, කාමභවය රූපභවය අරූපභවය සඤ්ඤාභවය අසඤ්ඤාභවය නේවසඤ්ඤානාසඤ්ඤාභවය එකවෝකාරභවය චතුවෝකාරභවය පඤ්චවෝකාරභවය, අතීතය අනාගතය වර්තමානය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යායතනය ධර්‍මායතනය, සියලු ධර්‍මයන් ඇසුරු නො කෙළෙම් අනිඃශ්‍රිතයෙම් නො ඇලුණෙම් නො පැමිණියෙම් ඇතුළු නො වූයෙම් නො බැසගත්තෙම් නික්ම ගියෙම් බැහැර කෙළෙම් වෙසෙසින් මිදුණෙම් විසංයුක්ත වූයෙම් විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ, චරෙය්‍යං යනු: හැසිරෙන්නෙමි වෙසෙන්නෙමි ඉරියවු පවත්වන්නෙමි වැටෙන්නෙමි රැකෙන්නෙමි යැපෙන්නෙමි යාපනය වන්නෙම් නුයි ‘ඉධෙව සන්තෝ අසිතො චරෙය්‍යං’යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“අනුසාස බ්‍රහ්මෙ -පෙ- අසිතො චරෙය්‍යං” යී.
5. 6.
(බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්මප්‍රත්‍යක්ෂ වූ යම් දහමක් දැනැ ලො වැ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණ ධර්‍මය (ද නිර්‍වාණ ගාමිනීප්‍රතිපද් ධර්‍මය ද)තොපට ප්‍රකාශ කරන්නෙමි.
කිත්තයිස්සාමි තෙ සන්තිං- රාගයාගේ සන්හිඳීම ද්වේෂයාගේ සන්හිඳීම මෝහයාගේ සන්හිඳීම ක්‍රෝධයාගේ සන්හිඳීම උපනාහ-මක්ඛ පළාස-ඊර්‍ෂ්‍යා-මාත්සර්‍ය්‍ය-මායා-සාඨෙය්‍ය-ථම්භ-සාරම්භ-මාන-අතිමාන-මද-ප්‍රමාදයාගේ හැම කෙලෙස්-හැම දුශ්චරිත-හැම දරථ-හැම පරිදාහ හැම සතැවුලි-හැම අකුශලාභිසංස්කාරයන්ගේ සන්හිඳීම උපශාන්තිය ව්‍යූපශාන්තිය නිර්‍වෘතිය ප්‍රතිප්‍රශ්‍රබ්ධිය කීර්‍තනය කෙරෙමි ප්‍රකීර්තනය කෙරෙමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘කිත්තයිස්සාමි තෙ සන්තිං’ යනු වේ.
ධොතකාති භගවා-‘ධෝතක’යනු: බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙක් නුයි ‘ධොතකාති භගවා’යනු වේ.
දිට්ඨෙ ධම්මේ අනීතිහං- ‘දිට්ඨෙ ධම්මේ’ යනු: දක්නා ලද (දුඃඛාදි) ධර්‍මයෙහි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට කරන ලද දහම්හි විභාවනය කරන ලද දහම්හි හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දක්නා ලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට කරන ලද දහම්හි විභාවනය කරන ලද දහම්හි නුයි මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ.
නොහොත් දුක දුටු කල්හි දුක කියමි යි සමුදය දුටු කල්හි සමුදය කියමි යි නිරෝධය දුටු කල්හි නිරෝධය කියමි යි මාර්‍ගය දුටු කල්හි මාර්‍ගය කියමි’ මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් තමා විසින් දැක්ක යුතු යැ, කල් නොයවා පල දෙන සුලු යැ, ‘එව බලව’ යි කියනට නිසි යැ, සිත්හි ලා එළවිය යුතු යැ නුවණැතියන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. අනීතිහං යනු: මෙසේ මෙසේ යැයි නො වැ මෙසේ වී ලැ’යි නො වැ පරම්පරාකථායෙන් නො වැ පෙළ හා සම යැයි ගැන්මෙන් නො වැ තර්කහෙතුයෙන් නො වැ නය හේතුයෙන් නො වැ ආකාර සැලැකීමෙන් නො වැ අප ගත් ලබ්ධිය හා සම යැ යි සැලකීමෙන් නො වැ තෙමේ තමා විසින් ස්වලක්ෂණාවබෝධයෙන් දන්නා ලද ආත්මප්‍රත්‍යක්ෂ ධර්‍ම යැ. එය කියම් නු යි ‘දිට්ඨෙ ධම්මේ අනීතිහං’ යනු වේ.
යං විදිත්‍වා සතෝ චරං යනු: යම් දහමක් විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ දුක්හ’ යි - ‘හැම ධර්‍මයෝ අනිත්‍යහ’ යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’ යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හෙතෙම ‘සිහි ඇතියේ’ යි කියනු ලැබේ. චරං යනු: සරනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ පවත්නේ පාලනය කරනුයේ යැපෙනුයේ යැපීම කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලෝකේ විසත්තිකං යනු: ‘විසත්තිකා’යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්...අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ වේ ද?යත්:... පැතිරෙන ලද යැ විස්තෘත නුයි ‘විසත්තිකා’නම. ලෝකේ යනු: අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි යැ.
තරෙ ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා (තෘෂ්ණා) ව ලෝකයෙහි මැ වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇතියේ (ප්‍රථම මාර්‍ගයෙන්) තරණය කරන්නේ යැ (ද්විතීය මාර්‍ගයෙන්) උත්තරණය කරන්නේ යැ (තෘතීය මාර්‍ගයෙන්) ප්‍රතරණය කරන්නේ යැ (චතුර්‍ත්‍ථ මාර්‍ගයෙන්) සමතික්‍රමණය කරන්නේ යැ (ඵලයට පැමිණ) ඉක්ම සිටුනේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“කිත්තයිස්සාමි තෙ සන්ති -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.
5. 7.
(ආයුෂ්මත් ධෝතක මෙසේ කී යැ:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැනැ ලෙ වැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේ ගේ ඒ ධර්මද්‍යොතක වචනය රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.
තඤ්වාහං අභිනන්දාමි- ‘තං’ යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනාව තුස්මි අභිනන්‍දනය කෙරෙමි සතුටු වෙමි අනුමෝදන් වෙමි ඉස්නෙමි ඉවසමි පතමි කැමැති වෙමි අභිජල්පනය කෙරෙම් නුයි ‘තඤ්වාහං අභිනන්දාමි’ යනු වේ.
මහේසී සන්තිමුත්තමං - ‘මහේසී’ යනු: බුදුහු මහර්ෂීහ: මහත් වූ ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළහ’ යි මහර්ෂීහ, මහත් වූ සමාධිස්කන්‍ධය... දේවාතිදේවයෝ කොහි යැ නරශ්‍රෙෂ්ඨයෝ කොහි යැ’ යි මහර්ෂීහ. සන්තිමුත්තමං - ‘සන්ති’ යි අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ හැරපීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘උත්තමං’ යනු: අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශ්‍රෙෂ්ඨ යැ ප්‍රමුඛ යැ උත්තම යැ ප්‍රවර යැ යි ‘මහේසී සන්තිමුත්තමං’ යනු වේ.
යං විදිත්‍වා සතෝ චරං යනු: යමක් දැනැගෙන... ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට, ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි - ‘හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ ද එ හැම නිරෝධස්වභාවය ඇතැ’ යි දැනැ ගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ...හෙතෙම ‘සතෝ’ යි කියනු ලැබෙයි, චරං යනු: සරනුයේ... යාපනය කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලෝකේ විසත්තිකං යනු: ‘විසත්තිකා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ වේ ද යත්:... පැතිරෙන ලද යැ විස්තෘත නුයි විසත්තිකා නම. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතන ලෝකයෙහි. තරෙ ලෝකේ විසත්තිකා යනු: තෙල විසත්තිකාව ලොකෙයෙහි මැ වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇතියේ තරණය උත්තරණය කරන්නේ යැ... ඉක්ම සිටුනේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“තඤ්වාහං අභිනන්දාමි -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.
5. 8.
(බුදුහු මෙසේ වදාළහ: “ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍ම ජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග (ලග්නා තැන) යැ යි දැනැ කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව” යි.
යං කිඤ්චි සම්පජානාසි යනු: යම් කිසි ධර්‍මජාතයක් දන්නවු නම් නියතින් දන්නවු නම් නොයෙක් අයුරින් දන්නවු නම් ඒ ඒ කරුණින් දන්නවු නම් ප්‍රතිවෙධ කරන්නවු නම් නුයි ‘යං කිඤ්චි සම්පජානාසි’යනු වේ. ධොතකා’ති භගවා- ‘ධෝතක’ යි බුදුහු එ බමුණු නමින් අමතති, භගවා යනු: තෙල ගෞරව නාමයෙකි... මේ ‘භගවා’ යනු සාත්ෂාත් ප්‍රඥප්තියෙකි යි ‘ධොතකා’ ති භගවා’ යනු වේ.
උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ- ‘උද්ධං’ යනු: අනාගත යැ අධෝ යනු: අතීත යැ තිරියඤ්චාපි මජ්ඣෙ යනු වර්‍තමාන යි, ‘උද්ධං’ යනු දිව්‍ය ලෝක යැ ‘අධෝ’යනු අපාය ලෝක යැ ‘තිරියඤ්වාපි මජ්ඣෙ’ යනු මනුෂ්‍යලොක යි, නොහොත් ‘උද්ධං’ යනු: කුශලධර්‍මයෝ යැ ‘අධෝ’ යනු: අකුශලධර්‍මයෝ යැ ‘තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු අව්‍යාකෘත ධර්‍මයෝ යි.‘උද්ධං’ යනු අරූපධාතු යැ ‘අධෝ’ යනු කාමධාතු යැ ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ යනු රූප ධාතු යි. ‘උද්ධං’ යනු සුඛවේදනා යැ ‘අධෝ’ යනු දුඃඛවේදනා යැ ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ යනු අදුක්ඛමසුඛවෙදනා යි, ‘උද්ධං’ යනු පාදතලයෙන් උඩ යැ ‘අධෝ’ යනු කෙසගින් යට යැ ‘තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු දෙමැද නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.
එතං විදිත්‍වා සඞේගාති’ ලෝකේ යනු: තෙල සඞ්ග යැ තෙල ලැග්ම යැ තෙල බැඳුම යැ තෙල පළිබෝධ යැයි දැනැ දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි ‘එතං විදිත්‍වා සඞ්ගො’ති ලෝකේ’ යනු වේ.
භවාභවාය මාකාසි තණ්හං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්ද තෘෂ්ණා යැ...ධර්‍මතෘෂ්ණා යි, භවාභවාය යනු: පුනපුනා භවයට කර්මභවයට විපාකභවයට, කාමධාතුයෙහි කර්මභවයට කාමධාතුයෙහි පුනර්‍භවයට රූපධාතුයෙහි කර්මභවයට රූපධාතුයෙහි පුනර්‍භවයට අරූපධාතුයෙහි කර්මභවයට අරූපධාතුයෙහි පුනර්‍භවයට, පුනපුනාභවයට පුනපුනාගතියට පුනපුනාඋපතට පුනපුනා පිළිසඳට පුනපුනා ආත්ම භාවයන්ගේ නිපැත්මට තෘෂ්ණා නහමක් කරව නහමක් උපදව නහමක් වෙසෙසින් නූපදව නො නිපදව වෙසෙසින් නො නිපදව දුරු කර බැහැරැ කර විගතාන්ත කර අනභාවයට පමුණුව’යි ‘භවාභවාය මාකාසි තණ්හං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං කිඤ්චි සම්පජානාසි -පෙ- භවාභවාය මාකාසි තණ්හං” යි.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග .... වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමි’යි.
පස්වැනි ධෝතක සූත්‍ර නිර්දේශ යි.
6. උපසීව සූත්‍ර නිර්‍දෙශය
6. 1.
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්‍යමුනින්ද්‍රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලක්හු හෝ දහමක් හෝ) ඇසුරු නොකෙළෙම් මහත් වූ (කාමාදි) ඕඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, යම් පුඟුලක්හු හෝ දහමක් ඇසුරු කෙළෙම් මේ කෙලෙස්වතුරු තරණය කෙරෙම් නම් ඒ නිඃශ්‍රය වදාළ මැනැවි.
ඒකෝ අහං සක්ක මහන්තමොඝං- ‘ඒකෝ’ යනු: යම් පුද්ගලයකු නිසා හෝ දහමක් නිසා හෝ මහත් වූ කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය, තරණය කෙරෙම් ද උත්තරණය කෙරෙම් ද ප්‍රතරණය කෙරෙම් ද මොනොවට ඉක්මවම් ද ඉක්ම සිටුනෙම් ද (එබඳු වූ) දෙවැනි පුද්ගලයෙක් හෝ මට නැත, දෙවැනි දහමෙක් හෝ මට නැත් නු යි ‘ඒකෝ’ යනු වේ. සක්ක යනු: ශාක්‍යයහ, බුදුහු ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ. නොහොත් (ප්‍රඥා ධනයෙන්) ආඪ්‍යයහ මහත් වූ ප්‍රඥාධන ඇතියහ ප්‍රඥාධනයෙන් ධනවත්හ නුයි ද ශාක්‍යයහ. උන්වහන්සේට මේ ධනයෝ වෙති. ඒ මෙසේ යැ: ශ්‍රද්ධාධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ... නිර්වාණධන යැ යි. මේ නොයෙක් ධනරත්නයන්ගෙන් ආඪ්‍යයහ, මහත්ධනයහ, ධනවත්හ යි ද ශාක්‍යයහ. නොහොත් ශාක්‍යයහ ප්‍රභූ වූහ (පර සතන්හි) වැර දනවනුවහ සමත්සිත් ඇතියහ ශූරයහ පරාක්‍රමවත්හ වික්‍රමවත්හ නො බිය සුල්ලහ නො සැලෙන සුල්ලහ නො තැතිගන්නාසුල්ලහ නො පලායන සුල්ලහ ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇතියහ පහ වූ ලොමුදහ ඇතියහ යි ද ශාක්‍ය නුයි ‘ඒකෝ අහං සක්ක මහන්තමොඝං’ යනු වේ.
ඉච්චායස්මා උපසීවො- ‘ඉච්චා’ යනු: පදසන්ධි යැ... ආයස්මා යනු ප්‍රියවචන යැ... උපසීව යනු: එ බමුණුගේ නාම යැ.....අභිලාප නුයි ‘ඉච්චා යස්මා උපසීවො’ යනු වේ.
අනිස්සිතො නො විසහාමි තාරිතුං- ‘අනිස්සිතො’ යනු: පුඟුලකු හෝ ඇසිරි නො කෙළෙම් දහමක් හෝ ඇසිරි නො කෙළෙම් මහත් වූ කාමෝඝය භවොඝය දෘෂ්ටිඔඝය අවිද්‍යාඔඝය තරණය කරන්නට උත්තරණය කරන්නට ප්‍රතරණය කරන්නට මැනැවින් ඉක්මවන්නට ඉක්ම සිටුනට නො හැක්කෙමි උත්සාහ නො කෙරෙමි නො සමත්මි ප්‍රතිබල නොවෙම් නුයි ‘අනිස්සිතො නො විසහාමි තාරිතුං’ යනු වේ.
ආරම්මණං බ්‍රෑහි සමන්තචක්ඛු- ‘ආරම්මණං’ යනු: අරමුණ නිඃශ්‍රය උපනිඃශ්‍රය, බ්‍රෑහි යනු: කිව මැනැවැ දෙසුව මැනැවැ පැනැවුව මැනැවැ තැබුව මැනැවැ විවර කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ පැවැසුව මැනැවි. සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි, බුදුහු ඒ සර්‍වඥතාඥානයෙන් උපෙතයහ සමුපෙතයහ යුක්තයහ සංයුක්තයහ නො වෙන් වූහ පරිපූර්‍ණයහ සමත්වාගතහ.
ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි මෙකලැ හෝ පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි අතීත වූ නො දත් කිසිවක් නැත, අනාගත වූ නො දැනෙන කිසි (ධර්මජාතයකු) දු නැති, දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ, එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ” යි.
“ආරම්මණං බ්‍රෑහි සමන්තචක්ඛු” යනු වේ.
යං නිස්සිතො ඔඝමිමං තරෙය්‍යං- ‘යං නිස්සිතො’ යනු: යම් පුඟුලකු හෝ ඇසිරි කෙළෙම් දහමක් හෝ ඇසිරි කෙළෙම් මහත් වූ කාමෝඝය භවොඝය දෘෂ්ටිඔඝය අවිද්‍යාඔඝය තරණය කරන්නෙම් උත්තරණය කරන්නෙම් ප්‍රතරණය කරන්නෙම් මැනැවින් ඉක්මවන්නෙම් ඉක්ම සිටුනෙම් නම් නුයි ‘යං නිස්සිතො ඔඝමිමං තරෙය්‍යං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“ඒකෝ අහං සක්ක -පෙ- යං නිස්සිතො ඔඝමිමං තරෙය්‍යං” යි.
6. 2.
(බුදුහු මෙසේ වදාළහ:) උපසීව මාණවකය, සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (අනිත්‍යාදී) විසින් දකිමින් ‘නත්ථිකිඤ්චි’ යි පැවැති ඒ සමවත ඇසුරු කොට චතුරෝඝය තරණය කර, වස්තු කාමක්ලෙශකාම හැරපියා කථඞ්කථා සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා-එ බමුණු පියවින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිලාභී වූයේ විද්‍යමාන වූ මැ නිඃශ්‍රය ‘මේ මාගේ නිඃශ්‍රය’යි නො දනී. බුදුහු ඔහුට නිඃශ්‍රය ද මත්තෙහි සසරින් නික්ම යන මඟ ද පවසන සේක. සිහි ඇතියේ ආකිඤ්චඤ්ඤායතන සමවතට සමවැද එයින් නැඟී සිට එ සමවත්හි උපන් චිත්තචෛතසිකධර්මයන් අනිත්‍ය විසින් (නුවණින්) බලමින් දුක් විසින්-රෝග විසින්- ගඬ විසින්- ශල්‍ය විසින්- අඝ විසින්- අබාධ විසින් පර විසින්- පලෝක (බිඳෙන) විසින්- ව්‍යසන විසින්- උපධ්‍රව විසින්- භය විසින්- උපසර්‍ග විසින්- චඤ්චල විසින්- බිඳෙනසුලු හෙයින්- අධ්‍රැව හෙයින්- අත්‍රාණ හෙයින්- අලෙණ හෙයින්-අසරණ හෙයින්-
අසරණීභූත හෙයින්- සිස් හෙයින්-තුච්ඡ හෙයින්-ශුන්‍ය හෙයින්- අනාත්ම හෙයින්- ආදීනව හෙයින්- විපරිණාමස්වභාව හෙයින්- අසාර හෙයින්- අඝ(දුක්) මූල හෙයින්- වධක හෙයින්- විභව හෙයින්- සාස්‍රව හෙයින්- හෙතුප්‍රත්‍යයාභිසංස්කෘත හෙයින් මාරාමිෂ හෙයින්- ජාතිස්වභාව හෙයින්- ජරාස්වභාව හෙයින්- ව්‍යාධිස්වභාව හෙයින්- මරණස්වභාව හෙයින්- සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ස්වභාව හෙයින්- සංක්ලේශ ස්වභාව හෙයින්- සමුදය ස්වභාව හෙයින්- අස්තඞ්ගම හෙයින්- ආස්වාද හෙයින්- ආදීනව හෙයින්- නිස්සරණ හෙයින් බලමින් දකිමින් අවලෝකනය කෙරෙමින් සිතමින් විමසමින්. සතිමා- යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක්... සම්‍යක් ස්මෘතියක් වේ ද මේ ‘සති’ යී කියනු ලැබෙයි. මේ සතියෙන් යුක්ත වූයේ වෙයි... සමන්‍විත වූයේ වෙයි. හෙ ‘සතීමා’ යි කියනු ලැබේ නුයි ‘ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා’ යනු වේ.
උපසීවා’ති භගවා- ‘උපසීව’ යි බුදුහු එ බමුණු නමින් අමතන සේක. භගවා යනු: තෙල ගෞරවාධිවචන යැ...... යම් භගවත් යන නමක් වී ද තෙල අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තිය නුයි ‘උපසීවා’ති භගවා’ යනු වේ.
නත්‍ථි’ති නිස්සාය තරසසු ඕඝං- ‘නත්‍ථි කිඤ්චි යනු: ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති යි. කිකරුණින් ‘නත්‍ථිකිඤ්චි’යි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වී ද යත්: සිහි ඇති වැ ආකිඤ්චඤ්ඤායතන සමවත් සමවැද එයින් නැඟී සිට එ මැ (ආකාශාලම්බන) විඥානය අභාවයට පමුණුවයි වෙසෙසින් අභාවයට පමුණුවයි අතුරුදහන් කෙරෙයි ‘කිසිත් නැතැ’ යි දකියි, එකරුණින් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ‘නත්‍ථි කිඤ්චි’ නම් වෙයි, එය නිසා ඇසුරු කොට අරමුණු කොට කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය තරණය කර, උත්තරණය කර, ප්‍රතරණය කර, සමතික්‍රමණය කර, ව්‍යතික්‍රමණය කර’ යී ‘නත්ථිති නිස්සාය තරස්සු ඕඝං’ යනු වේ.
කාමේ පහාය විරතො කථාහි- ‘කාමා’ යනු: විස්තර විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. කාමෙ පහාය- වස්තුකාමයන් තීරණපරිඥායෙන් දැනැ ක්ලේශකාමයන් ප්‍රහාණපරිඥායෙන් දුරු කොට හැරපියා බැහැර කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘කාමෙ පහාය’ යනු වේ. විරතො කථාහි- ‘කථඞ්කථා’ යි විචිකිත්සාව කියනු ලබයි. දුඃඛ සත්‍යයෙහි සැකය... චිත්තයාගේ තදබව මනොවිලෙඛ යි. ඒ කථඞ්කථායෙන් දුරු වූයේ වෙසෙසින් දුරු වූයේ සර්‍වප්‍රකාරයෙන් දුරු වූයේ නික්ම ගියේ නිඃසෘත වූයේ වෙන් වූයේ විසඞ්යුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි මෙසේ ත් ‘විරතො කථාහි’ යනු වේ, නොහොත් දෙතිස් තිරශ්චීනකථායෙන් දුරුවූයේ වෙසෙසින් දුරු වූයේ සර්‍වප්‍රකාරයෙන් දුරු වූයේ නික්ම ගියේ නිඃසෘත වූයේ වෙන් වූයේ විසංයුක්ත වූයේ විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි මෙසේ ත් ‘විරතො කථාහි’ නුයි ‘කාමෙ පහාය විරතො කථාහි’ යනු වේ.
තණ්හක්ඛයං නත්තමහාභිපස්ස- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ.... ධර්‍මතෘෂ්ණා යි. ‘නත්තං’යි රාත්‍රිය කියනු ලැබෙයි; අහෝ යනු: දහවල් යැ රැයිදු දහවල්හිදු රාගක්‍ෂය දෝෂක්‍ෂය මෝහක්‍ෂය ගතික්ෂය උපප්‍රාප්තික්ෂය ප්‍රතිසන්ධික‍්ෂය භවක්ෂය සංසාරක්ෂය වෘත්තක්ෂය සඞ්ඛ්‍යාත නිවන බලව, වෙසෙසින් බලව, දකුව, අවලොකනය කර, සිතව, විමසව යි ‘තණ්හක්ඛයං නත්තමහාභිපස්ස’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා -පෙ- තණ්හක්ඛයං නත්තමහාභිපස්ස” යි.
6. 3.
(ආයුෂ්මත් උපසීව මාණවක මෙසේ විචාරයි.) යමෙක් සියලු කාමයන්හි පහ වූ රාග ඇතියේ අන්‍ය වූ යට සමවත් හැරපියා අකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි වියෝගයට නො යනසුලු වැ සිටුනේ ද?
සබ්බෙසු කාමෙසු යො වීතරාගො- ‘සබ්බෙසු’ යනු: සියල්ලෙන් සියල්ල ස්වාර්ථයෙන් සියල්ල අනවශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘සබ්බෙසු’ යනු. කාමෙසු ‘කාමා’ යනු උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද.... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. සබ්බෙසු කාමෙසු යො වීතරාගො- යමෙක් සියලු වස්තුකාම ක්ලේශකාමයන්හි විෂ්කම්භණ විසින් වීතරාග වූයේ විගතරාග වූයේ ත්‍යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්‍රහීණරාග වූයේ ප්‍රතිනිසෘෂ්ටරාග වූයේ නුයි ‘සබ්බෙසු රාගෙසු යො වීතරාගො’ යනු වේ.
ඉච්චායස්මා උපසීවො--‘ඉච්චා’ යනු පදසන්ධි යැ... ආයස්මා යනු: තෙල ප්‍රියවචන යැ... උපසීවො යනු: ඒ බමුණුහට නාම යැ... අභිලාප නුයි ‘ඉච්චායස්මා උපසීවො’ යනු වේ.
ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්‍වමඤ්ඤං--යට ෂට් සමාපත්තීන් හැර දුරු කොට පරිත්‍යාග කොට ඉක්මවා මොනොවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ ඇලුණේ පැමිණියේ මොනොවට පැමිණියේ බැසගත්තේ අධිමුක්ත වූයේ නුයි ‘ආකිඤ්චඤ්ඤා නිස්සිතො හිත්‍වමඤ්ඤං’ යනු වේ.
සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො -- ‘සඤ්ඤාවිමොක්ඛ’ යි සත් සංඥා සමාපත්තීහු කියනු ලැබෙත්. යම් පමණ සංඥාසමාපත්තීහු වෙත් ද, ඔවුනතුරෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමෝක්‍ෂය අග්‍ර වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූයේ ද පාමොක් වූයේ ද උතුම් වූයේ ද ප්‍රවර වූයේ ද වෙයි. පරමෙ-අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රධාන වූ උත්තම වූ ප්‍රවර වූ (සංඥා විමෝක්‍ෂයෙහි) අධිමුක්තිවිමොක්ෂයෙන් අධිමුක්ත වූයේ එහි ඇලුණේ එහි හැසිරෙනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ එයට නතු වූයේ එයට නැඹුරු වූයේ එය අධිමුක්ත කොට ඇතියේ එය අධිපති කොට ඇත්තේ නුයි ‘සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො’ යනු වේ.
තිට්ඨෙ නු සො තත්‍ථ අනානුයායී- ‘තිට්ඨෙ නු’ යනු: සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ විචිකිත්සාපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ ‘මෙසේ දෝ හෝ නො වේදෝ හෝ කිමෙක්දෝ හෝ කෙසේදෝ හො’ යි ‘තිට්ඨෙ නු’ යනු වේ. තත්‍ථ යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි, අනානුයායී--වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙ නු සො තත්‍ථ අනානුයායී’ යනු වේ.
එයින් කීයැ එ බමුණු:
“සබ්බෙසු කාමෙසු -පෙ- තිට්ඨෙ න සො තත්‍ථ අනානුයායී” යී