Cūḷaniddesa

Lesser Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1940 segments

පෙන්වන කොටස් 301-400 න් 1940

නොහොත් ස්කන්‍ධයන්හි නිපුණ වූයේ ධාතු... ආයාතන... ප්‍රතීත්‍යය සමූත්පාද... ස්මෘතීප්‍රස්ථාන... සම්‍යක් ප්‍රධාන... ඍද්ධිපාද... ඉන්‍ද්‍රිය... බල... බොද්ධ්‍යඞ්ග... මාර්‍ග... ඵල... නිර්‍වාණයෙහි නිපුණ වූයේ නුයි මෙසේත් ‘කුසලො සබ්බධම්මානං’ යනු වේ.
නොහොත් ‘සබ්බධම්මා’ යි දොළොස් ආයතනයෝ කියනු ලැබෙති: චක්‍ෂුස ද රූපයෝ ද ශ්‍රොත්‍රය ද ශබ්දයෝ ද ඝ්‍රාණය ද ගන්‍ධයෝ ද ජිහ්වාව ද රසයෝ ද කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද මනස ද ධර්‍මයෝ දැ යි. යම් කලෙකැ ආධ්‍යාත්මිකබාහිර ආයතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ (උසුන්මුල් ඇති) තල්වත්තක් මෙන් කරන ලද්දේ අනු අභාවය කරන ලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ ද මෙතෙකිනුදු හැම දහම්හි නිපුණ වේ නුයි ‘කුසලො සබ්බධම්මානං’ යනු වේ.
සතෝ භික්ඛු පරිබ්බජෙ යනු: ‘සතෝ’ යනු සතර කරුණෙකින් සිහි ඇත්තේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, වේදනාවන්හි වේදනානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, සිතෙහි චිත්තානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, දහම්හි ධම්මානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ යි.
අන්‍ය වූ ද සතර කරුණෙකින් සිහි ඇත්තේ: නො සිහිය හාත්පසින් දුරැලීමෙන් සිහි ඇත්තේ, සිහියෙන් කළයුතු දහම් කළ බැවින් සිහි ඇත්තේ, සීපිළිවත් දහම නැසූ බැවින් සිහි ඇත්තේ, සිහියෙන් කළ යුතු (කායාදී) අරමුණු නො නසන ලද බැවින් සිහි ඇත්තේ යි.
අන්‍ය වූ ද සතර කරුණෙකින් සිහි ඇත්තේ: සිහියෙන් සමන්‍වාගත බැවින් සිහි ඇත්තේ, සිහියෙන් වශීභාවයට පැමිණ බැවින් සිහි ඇත්තේ, ස්මෘතියගේ ප්‍රගුණභාවයෙන් සමන්‍වාගත බැවින් සිහි ඇත්තේ, සිහිය නො පසුබස්නා බැවින් සිහි ඇත්තේ යි.
අන්‍ය වූ ද සතර කරුණෙකින් සිහි ඇත්තේ: සත්තව (ස්වභාවයෙන් විද්‍යමාන) වන බැවින් සිහි ඇත්තේ, ශාන්ත (නිවුණ) වන බැවින් සිහි ඇත්තේ, (කෙලෙස්) සන්හිඳුවන ලද බැවින් සිහි ඇත්තේ, සත්පුරුෂ ධර්‍මයෙන් සමන්‍වාගත වන බැවින් සිහි ඇත්තේ, බුද්ධානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ධර්මානුස්මෘතියෙන් සිහි ඇත්තේ, සඞ්ඝානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ශීලානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ත්‍යාගානුස්මෘතියෙන් සිහි ඇත්තේ, දෙවතානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ආනාපානස්මෘතියෙන් සිහි ඇත්තේ, මරණානුස්මෘතියෙන් සිහි ඇත්තේ, කයගතානු ස්මෘතියෙන් සිහි ඇත්තේ, උපශමානුස්මෘතියෙන් සිහි ඇත්තේ යි. යම් සිහියෙක් පුනපුනා සිහි කිරීමෙක් ... සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායන මාර්‍ගයෙක් වේ ද, මේ ‘සති’ යයි කියනු ලැබෙයි. මේ සතියෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ. මේ සිහි ඇත්තේ යි කියනු ලැබේ.
භික්ඛූ යනු: සප්ත ධර්‍මයන් භින්න වන බැවින් භික්ඛු නම: සත්කායදෘෂ්ටිය බිඳුණේ වෙයි, විචිකිත්සාව ... ශීලව්‍රතපරාමර්ශය ... රාගය ... ද්වේෂය ... මෝහය ... මානය ... බිඳුණේ වෙයි. ඔහු විසින් ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය කරන්නා වූ ක්ලේශදරථ සහිත වූ දුඃඛවිපාක වූ ආයති ජරාමරණයන්ට කාරණ වූ ලාමක වූ අකුශල ධර්‍මයෝ බිඳුනා ලදහු වෙත්.
3.යමෙක් තමා විසින් වැඩූ මාර්‍ගයෙන් ක්ලේශ පරිනිර්වාණයට ගියේ ද, එහෙයින් මැ තරණය කළ සැක ඇත්තේ ද, විපත්ති සම්පත්ති ආදි භේද ඇති විභවය ත් භවයන් දුරු කොට මාර්ගවාස වැස නිම වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති හෙතෙම භික්‍ෂූ නම් වේ නුයි “සතෝ භික්ඛු” යනු වේ.
සතෝ භික්ඛු පරිබ්බජෙ යනු: මහණ සිහි ඇති වැ හැසිරෙන්නේ යැ, සිහි ඇති වැ යන්නේ යැ, සිහි ඇති වැ සිටුනේ යැ, සිහි ඇති වැ හිඳුනේ යැ, සිහි ඇති වැ හෝනේ යැ, සිහි ඇති වැ ඉදිරියට යන්නේ යැ, සිහි ඇති වැ පෙරළා එන්නේ යැ, සිහි ඇති වැ ඉදිරි බලන්නේ යැ, සිහි ඇති වැ අවට බලන්නේ යැ, සිහි ඇති යැ අත්පා හකුළුවන්නේ යැ, සිහි ඇති වැ අත්පා දිගු කරන්නේ යැ, සිහි ඇති වැ සඟළ-පා-සිවුරු දරන්නේ යැ, සිහි ඇති වැ හැසිරෙන්නේ යැ, වාසය කරන්නේ යැ ඉරියව් පවත්වන්නේ යැ පවත්නේ යැ පාලනය කරන්නේ යැ යැපෙන්නේ යැ යාපනය කරන්නේ යැ නුයි, “සතෝ භික්ඛු පරිබ්බජෙ” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය -පෙ- සතෝ භික්ඛු පරිබ්බජෙ” යී.
ගාථාවසානය හා මැ බමුණු හා සමග සමානච්ඡන්ද ඇති සමාන වූ (කායාදි) ප්‍රයෝග ඇති සමාන අදහස් ඇති සමාන වූ (කුශල) වාසනායෙන් වාසිත වූ (ඉකුත් බුදුසසුන්හි වඩනාලද බවුන් ඇති) යම් කෙනෙක් වූහු නම් ඒ නොයෙක් දහස්ගණන් දෙව්මිනිස් සත්නට“ යම් කිසි සමුදය ධර්‍මයක් ඇද්ද එහැම නිරුද්ධ වන සුලු යැ” යි (රාගාදි) රජස් රහිත වූ (රාගාදි) මල රහිත වූ (ශ්‍රෝතාපත්ති මාර්‍ග සඞ්ඛ්‍යාත) ධර්‍මචක්‍ෂුස පහළ විය. ඒ (අජිත) බමුණුහට වැළිත් (තෘෂ්ණාදීන්) උපාදාන නො කොට (කාමාදි) ආස්‍රවයන් කෙරෙන් සිත මිදිණ. රහත් බවට පැමිණීම හා මැ අඳුන්දිවිසම් දළ මඬුලු වැහැරි තිදණ්ඩ කමඬලා ද කෙස් ද දැළිරවූළු ද අතුරුදහන් විය. අජිත තෙමේ මුඬුහිස් ඇත්තේ හන්පෙරෙවි කහවත් ඇත්තේ සඟළ-පා-සිවුරු ධරනුයේ අන්‍වර්ථ ප්‍රතිපත්ති (ඉෂ්ටාර්ත්ථලාභ) යෙන් බදැඳිලි වැ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශාස්තෘ වන සේක, මම් ශ්‍රාවකයෙමී” භාග්‍යවතුන් නමදිමින් හුන්නේ යි.
අජිත සූත්‍රනිර්දේශය නිමි.
2. තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර නිර්‍දෙශය
(ආයුෂ්මත්, තිස්සමෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්.) “මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ට ඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියන සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්ම ගියේ දැ” යි.
කෝධ සන්තුසිතො ලෝකේ යනු: ලොවැ කවරෙක් තුටු වූයේ සතුටු වූයේ සියමන් වූයේ පිරිපුන් මනදොළ ඇතියේ ද නුයි ‘කො’ ධ සන්තුසිතො ලෝකේ, යනු වේ.
ඉච්චායස්මා තිස්සමෙත්තෙය්‍යො යනු: ඉච්ච යනු: පදසන්ධි යැ පද සංසර්‍ග යැ පද පූරණ යැ අක්‍ෂර සමවාය යැ ව්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ, තෙල ‘ඉච්ච’ යනු පදානුපූර්‍වතා යි. ආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු ප්‍රියවචන යැ ගරු වචන යැ සගෞරව වචන යැ සප්‍රතිශ්‍රයට නමෙකි. තිස්ස යනු: ඒ බමුණු ගේ නම යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යි. මෙත්තෙය්‍ය යනු: ඒ බමුණු ගේ ගොත්‍ර යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර නුයි ‘ඉච්චායස්මා තිස්ස මෙත්තෙය්‍යො’ යනු වේ.
කස්ස නො සන්ති ඉඤ්ජිතා යනු: තෘෂ්ණායෙන් චලන (සැලීම) යැ දෘෂ්ටියෙන් චලන යැ මානයෙන් චලන යැ ක්ලේශයෙන් චලන යැ කාමයෙන් චලන යයි. කවරක්හට මේ චලනයෝ නැද්ද, නො වෙද්ද, විද්‍යමාන නො වෙද්ද, නොලැබෙත් ද, ප්‍රහීණ වූවාහු ද, සිඳුණාහු ද, සන්හිඳුණාහු ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූවාහු ද, අභව්‍යොත්පත්තික වූවාහු ද, නුවණ ගින්නෙන් දැවුණාහු දැ යි ‘කස්ස නො සන්ති ඉඤ්ජිතා’ යනු වේ.
කො උභන්තමභිඤ්ඤාය යනු: කවරෙක් උභය අන්තයන් ස්වලක්ෂණාවබෝධයෙන් දැනැ අවබෝධ කොට තුලනය කොට තීරණය කොට හෙළි කොට ප්‍රකට කොට නුයි ‘කො උභන්තමභිඤ්ඤාය’ යනු වේ.
මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද නො ඇලුණේ ද උපලිප්ත නො වූයේ නික්මුණේ නිඃසෘත වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වේ ද විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුතු වැ වාසය කෙරේ ද යි ‘මජ්ඣෙ මන්තා න ලිප්පති’ යනු වේ.
කං බ්‍රෑසි මහාපුරිසොති යනු: මහාපුරුෂ යැ අග්‍රපුරුෂ යැ ශ්‍රෙෂ්ඨපුරුෂ යැ විශිෂ්ටපුරුෂ යැ ප්‍රමුඛපුරුෂ යැ උත්තම පුරුෂ යැ ප්‍රධාන පුරුෂ යැ ප්‍රවර පුරුෂ යැ’යි කවරක්හු දෙසන සේක් ද? කවරක්හු කියන සේක් ද? කවරක්හු හඟින සේක් ද? කවරක්හු වදාරණ සේක් ද? කවරක්හු දක්නා සේක් ද? කවරක්හු වහරන සේක් ද යි ‘කං බ්‍රෑසි මහා පුරිසොති’ යනු වේ.
කො’ධ සිබ්බනිමච්චගා යනු: කවරෙක් මෙහි සිබ්බනිය තෘෂ්ණාව ‘ඉක්මී ද? ඉක්මගියේ ද? අතික්‍රාන්ත ද? සමතික්‍රාන්ත ද? ව්‍යතිවෘත්ත දැයි ‘කො’ධ සිබ්බති මච්චගා’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“කො’ධ සන්තුසිතො ලෝකේ -පෙ- කො’ධ සිබ්බනි මච්චගා” යී.
(බුදුහු මෙසේ වදාළහ: මෙත්තෙය්‍ය)කාමයෙහි (ආදීනව දැක) බඹසර ඇති, පහ වූ තෘෂ්ණා ඇති, හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින් දහම්) විමසා (රාගාදිය නිවීමෙන්) නිවුණු යම් මහණෙක් වේ ද, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
කාමෙසු බ්‍රහ්මචරියවා යනු: ‘කාමා’ යනු: විස්තර විසින් වස්තුකාම යැ ක්ලේශකාම යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති ... මොහු වස්තු කාමයෝ යැ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යැ යි කියනු ලැබෙත්.
බ්‍රහ්මචරියවා යනු: බ්‍රහ්මචරිය යැ යි අසද්ධර්‍ම සමාපත්තියෙන් දුරින් දුරුවීම වෙන් වීම හාත්පසින් වෙන් වීම වැළැක්ම නො කිරීම අකර ණය නො පැමිණීම මර්‍ය්‍යාදා ඉක්ම යෑම කියනු ලැබේ. තවද,නිෂ්පර්‍ය්‍යාය විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය බ්‍රහ්මචර්‍ය්‍ය යැ යි කියනු ලැබෙයි. හේ මෙසේ යැ: සම්‍යග් දෘෂ්ටි යැ සම්‍යක් සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක් කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ සම්‍යක් සමාධි යි. යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නොවෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ ද, හෙතෙම බ්‍රහ්මචර්‍ය්‍යවත් යැ යි කියනු ලැබෙයි. යම්සේ නම් ධන හෙයින් ‘ධනවත් යැ යි කියනු ලැබේ ද භොග හෙයින් ‘භෝගවත්’ යැ යි කියනු ලැබේ ද යශස් හෙයින් ‘යශස්වත්’ යැ යි ශිල්ප හෙයින් ‘ශිල්පවත්’ යැ යි... ශීල හෙයින් ‘ශීලවත්’ යැ යි... වීර්‍ය්‍ය හෙයින්‘වීර්‍ය්‍යවත්’යැයි... ප්‍රඥා හෙයින් ‘ප්‍රඥාවත්’යැයි... විද්‍යා හෙයින් ‘විද්‍යාවත්’ යැ යි කියනු ලැබේ ද, එසෙයින් මැ යමෙක් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ ද හෙතෙම බ්‍රහ්මචර්‍ය්‍යවත් (බඹසර ඇත්තේ) යැ යි කියනු ලැබේ නුයි ‘කාමෙසු බ්‍රහ්මචරියවා’ යනු වේ.
මෙත්තෙය්‍ය යනු: බුදුහු ඒ බමුණු ගෝත්‍රයෙන් අමතති. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මෙ ‘භගවා’ යනු සාක්ෂාත්ප්‍රඥප්තියෙක් නුයි “මෙත්තෙය්‍යාති භගවා” යනු වේ.
විත්තණ්හො සදා සතෝ යනු: ‘තණ්හා’ යයි: රූපතෘෂ්ණා යැ... ධර්‍මතෘෂ්ණා යි. යමක්හට තෙල තෘෂ්ණාව ප්‍රහීණ ද මුලුසුන් වූ ද සන්හිඳුණී ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූ ද අභව්‍යොත්පත්තික (උපදනුවට නුසුදුසු) වූ ද නුවණ ගින්නෙන් දැවුණී ද හෙතෙම වීතතෘෂ්ණ යැ විගතතෘෂ්ණ යැ ත්‍යක්තතෘෂ්ණා යැ වාන්ත තෘෂ්ණ යැ මුක්තතෘෂ්ණ යැ ප්‍රහීණතෘෂ්ණ යැ ප්‍රතිනිඃසෘෂ්ට තෘෂ්ණ යැ වීතරාග යැ විගතරාග යැ ත්‍යක්තරාග යැ වාන්තරාග යැ මුක්ත රාග යැ ප්‍රහීණරාග යැ ප්‍රතිනිඃසෘෂ්ටරාග යැ තෘෂ්ණා නැත්තේ යැ (හෝ තෘෂ්ණා ඡදන නැත්තේ යැ) නිවියේ යැ සිහිල් වූයේ යැ සුවවිඳුනේ යැ බ්‍රහ්මභූත (උතුම් වූ) සිතින් යුක්ත වැ වාසය කරන්නේ යැ යි කියනු ලැබේ. සදා යනු: හැම දවස හැම කල්හි සියලු කල්හි දිනපතා අවිච්ඡින්නවැ නිරතුරු අව්‍යාකීර්‍ණ වැ පිළිවෙළින් ඝටිත වැ රළවැළැක් මෙන් අවිරල වැ නො සිඳ එක් වැ ස්පෘෂ්ට වැ පෙරබතැ පසුබතැ පෙරයම්හි මැදියම්හි පසුයම්හි අවපසැ පුරපසැ වසත්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදිවියෙහි පසුවියෙහි. සතෝ යනු සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි වේදනානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, සිත්හි චිත්තානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, දහම්හි ධම්මානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ... හෙතෙම ‘සිහි ඇතියේ යැ’යි කියනු ලැබේනු යි ‘වීතතණ්හො සදා සතෝ’ යනු වේ.
සංඛාය නිබ්බුතො භික්ඛු යනු: ‘සඞ්ඛා’ය ඥානය කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජනනාකාරයෙක් විචයෙක් ප්‍රවිචයෙක්... අමෝහයෙක් ධර්‍මවිචයෙක්. සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. සඞ්ඛාය යනු: විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’ යි... හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’... යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද එ හැම නිරුද්ධ වන සුලු යැ’යි විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට.
නොහොත් අනිත්‍ය හෙයින් විමසා දැනැ... දුක් හෙයින්... රෝග හෙයින්... ගණ්ඩ හෙයින්... ශල්‍ය හෙයින්... නිස්සරණ හෙයින් විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. නිබ්බුතො යනු: රාගය නිවූ බැවින් නිවියේ, ද්වේෂය නිවූ බැවින් නිවියේ, මෝහය නිවූ බැවින් නිවියේ ක්‍රෝධය- බද්ධවෛරය- මකු බව-පළාසය (යුගග්‍රාහය)- ඊර්‍ෂ්‍යාව- මාත්සර්‍ය්‍යය- මායාව- සඨ බව- ස්තම්භය-සාරම්භය- (කරණොත්තරියකරණ) මානය- අතිමානය- මදය- ප්‍රමාදය- හැම කෙලෙසුන්- හැම දුසිරිත්- හැම දරථයන්- හැම පරිදාහයන්- හැම සතැවුලි-හැම අකුශලාභි සංස්කාරයන් නිවූ බැවින් නිවියේ. භික්ඛු යනු: (සත්කායදෘෂ්ටි ආදි) සප්ත ධර්‍මයන් බුන් බැවින් භික්‍ෂු යැ... වැස නියවූ මඟබඹසර ඇති ක්‍ෂය වූ පුනර්‍භවය ඇති හේ ‘භික්‍ෂු’ නමැ’යි ‘සඞ්ඛාය නිබ්බුතො භික්ඛු’ යනු වේ.
තස්ස නො සන්ති ඉඤ්ජිතා යනු: ‘තස්ස’ යනු: අර්‍හත් ක්ෂීණාශ්‍රවහට. ඉඤ්ජිතා යනු: තෘෂ්ණා ඉඤ්ජන යැ දෘෂ්ටි ඉඤ්ජන යැ මාන ඉඤ්ජන යැ ක්ලේශ ඉඤ්ජන යැ කාම ඉඤ්ජන යි ඔහට මේ ඉඤ්ජනයෝ නැති, නොවෙති විද්‍යාමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණයහ, මුලුසුන්හ, ව්‍යුපශාන්තයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ, අභව්‍යොත්පත්තිකයහ, නුවණ ගින්නෙන් දැවුණාහු නුයි ‘තස්ස නො සන්ති ඉඤ්ජිතා’ යනු වේ.
එයින් වදාළහ:
“කාමෙසු බ්‍රහ්මචරියවා -පෙ- තස්ස නො සන්ති ඉඤ්ජිතා” යී.
හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි, ඔහු ‘මහා පුරුෂ’යයි කියමි. හෙතෙම මේ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මගියේ යි.
සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: ‘අන්තා’ යනු: අන්ත දෙකෙකි: ස්පර්‍ශය එක් අන්තයෙකැ, ස්පර්‍ශසමුදය දෙවැනි අන්තය යි. ස්පර්‍ශනිරෝධය මධ්‍යයෙහි වෙයි. අතීතය එක් අන්තයෙකැ අනාගතය දෙවැනි අන්තය යි. වර්තමානය මධ්‍යයෙහි වෙයි. සුඛවේදනාව එක් අන්තයෙකැ, දුක්වේදනාව දෙවැනි අන්ත යයි. නො දුක් නො සුව වේදනාව මධ්‍යයෙහි වෙයි. නාමය එක් අන්තයෙකැ, රූපය දෙවැනි අන්තය යි. විඥානය මධ්‍යයෙහි වෙයි. ආධ්‍යාත්මික ආයතනයෝ සදෙන එක් අන්තයෙකැ, බාහිර ආයතනයෝ සදෙන දෙවැනි අන්තය යි. විඥානය මධ්‍යයෙහි වෙයි. සත්කාය එක් අන්තයෙකැ සත්කාය සමුදය දෙවැනි අන්තය යි. සත්කාය නිරෝධය මධ්‍යයෙහි වේ. ‘මන්තා’ යි ප්‍රඥා කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජානන ආකාරයෙක්... අමෝහයෙක් ධර්‍මවිචය යෙක්... සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, එය යි.
ලෙපා යනු: ලෙප දෙකෙකි: තෘෂ්ණා ලෙපය ද දෘෂ්ටි ලෙපය දැයි. තෘෂ්ණාලේප කවරැ යත්. මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මෙ පමණ මාගේ යැ’ යි යම්තාක් තෘෂ්ණා කොටසින් හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරනලද ද, අවධි කරනලද ද, පරිච්ඡේද කරන ලද ද, අයත් කරන ලද ද, මමායන කරන ලද ද, මාගේ රූපයෝ යැ, ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්පර්‍ශයෝ යැ අතුරුණු යැ පොරෝන යැ දැසිදස්හු යැ එළුබැටෙළු යැ හූරු කුකුළු යැ ඇත් අස් ගව වෙළඹු යැ කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම් රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගුළු යැ’යි සියලු මැ මහ පොළොව තෘෂ්ණා වශයෙන් මමායන කෙරෙයි. යම්තාක් අෂ්ටොත්තරශත තෘෂ්ණවිචරිතයෙක් වේ ද, මේ තෘෂ්ණාලේප නම. දෘෂ්ටි ලෙප කවරැ යත්: (රූපං අත්තතෝ සමනුපස්සති’ යනාදීන් සිටි) විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, (“නත්‍ථි දින්නං යනාදීන් පැවැති) දශවස්තුක මිථ්‍යා දෘෂ්ටි යැ, (“සස්සතෝ ලෝකෝ’යනාදීන් පැවැති) දශවස්තුක අන්ත ග්‍රාහිකා දෘෂ්ටි යැ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටි කාන්තාරයෙක් (සම්‍යග්දෘෂ්ටිය විනිවිදින) දෘෂ්ටිවිශුකයෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණු දැඩි කොට) ගැනීමෙක් බලවත් ගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්ගයෙක් මිත්‍ථ්‍යා ස්වභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරුද්ධග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් විපර්‍ය්‍යාස ග්‍රාහයෙක් මිථ්‍යා ග්‍රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම් තාක් දෙසැට මිසදිටු කෙනෙක් වෙත් ද, මේ ‘දෘෂ්ටිලෙප’ නම.
සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: හෙතෙම අන්තද්වය ද මධ්‍යය ද නුවණින් වෙසෙසින් දැනැ ජානනය කොට තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නො ඇලෙයි වෙසෙසින් නො ඇලෙයි උපලිප්ත නො වෙයි නො ඇලුණේ වෙසෙසින් නො ඇලුණේ උපලිප්ත නො වූයේ නික්මුණේ ප්‍රහීණ වූයේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරේ නුයි ‘සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති’ යනු වේ.
තං බ්‍රෑමි මහාපුරිසො යනු: මහාපුරුෂ යැ අග්‍රපුරුෂ යැ ශ්‍රෙෂ්ඨපුරුෂ යැ විශිෂ්ටපුරුෂ යැ ප්‍රමුඛ පුරුෂ යැ උත්තමපුරුෂ යැ ප්‍රවරපුරුෂ යැයි තං බ්‍රෑමි ඔහු කියමි, ඔහු බෙණෙමි, ඔහු දක්වමි, ඔහු වහරමි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ වදාළහ: වහන්ස, “මහාපුරුෂ යැ මහාපුරුෂ යැ” යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘මහාපුරුෂ’ වේ දැ? යි. ශාරීපුත්‍රය, විප්‍රමුක්ත සිත් ඇති බැවින් මම ‘මහා පුරුෂ’ යයි කියමි. අවිමුක්ත සිත් ඇති බැවින් “මහා පුරුෂ නො වේ” යයි කියමි.
වැළිත් ශාරීපුත්‍රය, කිසෙයින් විමුක්ත සිත් ඇත්තේ වේ ද යත්: ශාරීපුත්‍රය, මෙසස්නෙහි මහණ තෙම තමාගේ කයෙහි කය අනුවැ බලමින් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ ස්මෘතිමත් වැ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍යය දුරු කොට වෙසෙයි. කයෙහි කය අනු වැ බලමින් වාසය කරන ඔහුගේ සිත විරාගයට පැමිණෙයි. (විරාග හෙයින්) උපාදාන නො කොට ආස්‍රවයන් කෙරෙන් විමුක්ත වෙයි. වේදනාවන්හි... චිත්තයෙහි... ධර්‍මයන් හි ධර්‍මානුදර්ශී වැ කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ ස්මෘතිමත් වැ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍යය දුරු කොට වෙසෙයි. ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වෙසෙන ඔහුගේ සිත විරාගයට පැමිණෙයි, (විරාග හෙයින්) උපාදාන නො කොට ආශ්‍රවයන් කෙරෙන් විමුක්ත වෙයි. ශාරීපුත්‍රය, විමුක්ත සිත් ඇති බැවින් ‘මහා පුරුෂ’ යයි මම් කියමි. අවිමුක්ත සිත් ඇති බැවින් ‘මහා පුරුෂ’ නො වේ’ යයි කියම් නුයි. ‘තං බ්‍රෑමි මහාපුරිසො’යනු වේ.
සො’ ධ සිබ්බනිමච්චගා යනු: ‘සිබ්බනි’ තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ සංඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, යමක්හට තෙල සිබ්බනිය, (මැසීම) තෘෂ්ණාව මුලුසුන් වූ ද, ව්‍යුපශාන්ත වූ ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූ ද අභව්‍යොත්පත්තික වූ ද නුවණ ගින්නෙන් දැවුණී ද, හෙතෙම සිබ්බනිය-තෘෂ්ණාව ඉක්ම ගියේ යැ පසු කොට ගියේ යැ ඉක්මී යැ මොනවට ඉක්මී යැ ව්‍යතික්‍රමණය කෙළේ නුයි. ‘සො’ධ සිබ්බනි මච්චගා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සො උභන්තමභිඤ්ඤාය -පෙ- සො’ධ සිබ්බනිමච්චගා” යි.
ගාථා පර්‍ය්‍යවසානය (කෙළවර) හා සමග, යම් කෙනෙක් ඒ බමුණු හා සමග එක් අදහස් ඇත්තාහු ද, (කාය,වාක්,මනස් පියොවින්) එක් පියොවි ඇත්තාහු ද, එක් රිසි ඇත්තාහු ද, (ඉකුත් බුදුසසුන්හි) එක් මැ කර්මවාසනයෙන් වාසිත වූහු ද ඒ නො එක් දහස් ගණන්- (දෙව්මිනිස්) ප්‍රාණීන්ට ‘යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’ යි කෙලෙස් රජස් රහිත වූ පහ වූ කෙලෙස් මල ඇති ධර්‍මචක්‍ෂුස පහළ විය. ඒ බමුණු ගේ සිත උපාදාන නො කොට ආස්‍රවයන් කෙරෙන් මිදිණ. රහත් බවට පැමිණීම හා සමග අඳුන්දිවිසම්, දළමඬුලු, වල්කලා (වැහැරී) තිදණ්ඩකමඬලා හා කෙස්-මස් හා අතුරුදහන් වූහු. මුඬුහිස් ඇතියේ, හන්පෙරෙවි කහවත් ඇතියේ සඟළ-පා-සිවුරු දැරුයේ, අන්වර්ත්ථ ප්‍රතිපත්තියෙන් (ඉෂ්ටාර්ථ ලාභයෙන්) යුතු වැ බඳැඳිලි ඇති වැ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවකයෙමී’ භාග්‍යවතුන් නමදිමින් හුන්නේ යි.
තිස්සමෙත්තෙය්‍ය සූත්‍රනිර්දේශය යි.
3. පූර්‍ණක සූත්‍ර නිර්‍දෙශය
(ආයුෂ්මත් පූර්‍ණක මෙසේ විචාරයි,) තෘෂ්ණා රහිත වූ (එහෙයින් අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශලමූලාදිය දක්නාසුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ. මෙ ලොවැ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දේයධර්‍මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි.
අනෙජං මූලදස්සාවිං යනු: ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද, ඒ එජාව තෘෂ්ණාව භාග්‍යවත් බුදුන්ට ප්‍රහීණ යැ උදුරාහළ මුල් ඇත්තී යැ (මුදුන්/සුන්) තල්රුකක් සෙයින් අවාස්තුක කරන ලද යැ අනු අභාවය කරන ලද යැ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී යැ එහෙයින් බුදුහු අනෙජ නම් වෙති, එජාව ප්‍රහීණ බැවින් අනෙජ යැ, භාග්‍යවත්හු ලාභයෙහි දු නො සැලෙති, අලාභයෙහි දු නො සැලෙති, යශස්හි දු නො සැලෙති, අයශස්හි දු නො සැලෙති, ප්‍රශංසායෙහි දු නො සැලෙති, නින්‍දායෙහි දු නො සැලෙති, සුඛයෙහි දු නො සැලෙති, දුඃඛයෙහි දු නො සැලෙති, කම්පිත නො වෙති, නො වෙවුළති, අතිශයින් නො වෙවුළත් නුයි ‘අනෙජ’ නම් වූ. මූලදස්සාවිං යනු: භාග්‍යවත්හු මූලය දක්නාහු යැ හේතුව දක්නාහු යැ නිදානය දක්නාහු යැ සම්භවය දක්නාහු යැ ප්‍රභවය දක්නාහු යැ සමුත්ථානය දක්නාහු යැ ආහාරය දක්නාහු යැ ආලම්බනය දක්නාහු යැ ප්‍රත්‍යය දක්නාහු යැ සමුදය දක්නාහු යැ, අකුශල මූලයෝ තිදෙනෙකි: ලෝභය අකුශලමූලයෙක, ද්වේෂය අකුශලමූලයෙක, මෝහය අකුශලමූලයෙකි. භාග්‍යවතුන් විසින් මෙය වදාරන ලද මැ යි. “මහණෙනි, කර්‍මයන් රැස් කරනු පිණිස මේ නිදාන (කාරණ) තුනෙකි: කවර නිදානතුනෙකැ යත්: ලෝභය කර්‍මයන් රැස් කරනුවට නිදානයෙක, ද්වේෂය කර්‍මයන් රැස් කරනුවට නිදානයෙක, මෝහය කර්‍මයන් රැස් කරනුවට නිදානයෙකි. මහණෙනි, ලෝභයෙන් උපන් කර්‍මයෙන් ද්වේෂයෙන් උපන් කර්‍මයෙන් මෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ නො පැනෙති, මිනිස්සු නො පැනෙති, තවද අන්‍ය වූ යම් කිසි සුගති කෙනෙකුදු නො පැනෙති. මහණෙනි වැළිත් ලොභජකර්මයෙන් ද්වේෂජකර්මයෙන් මොහජකර්මයෙන් නිරය පැනෙයි. තිරිසන් යෝනිය පැනෙයි, ප්‍රේතවිෂය පැනෙයි. තවද අන්‍ය වූ යම්කිසි දුර්‍ගති කෙනෙක් වෙත් නම් ඔහු ද පැනෙති. නිරයෙහි තිරිසන් යොන්හි ප්‍රේතවිෂයයෙහි ආත්මභාවයාගේ නිපැත්මට මේ තුන් අකුශලමූලයෝ වෙතී” භාග්‍යවත්හු දනිති, දකිති. මෙසේ ත් භාග්‍යවත් හු මූලය දක්නාහු යැ ...... සමුදය දක්නාහු වෙත්.
කුශලමූලයෝ තිදෙනෙකි: අලෝභය කුශලමූලයෙක, අද්වේෂය කුශලමූලයෙක, අමෝහය කුශලමූලයෙකි. මෙය වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින් “මහණෙනි, මේ කුශලමූලයෝ තිදෙනෙකි: ... මහණෙනි, අලෝභයෙන් උපන් කර්‍මයෙන් අද්වේෂයෙන් උපන් කර්‍මයෙන් අමෝහයෙන් උපන් කර්‍මයෙන් නිරය නො පැනෙයි. තිරිසන් යෝනිය නො පැනෙයි, ප්‍රේතවිෂය නො පැනෙයි. තවද අන්‍ය වූත් යම් කිසි දුර්‍ගති කෙනෙක් ඇත් නම් ඔහු ද නො පැනෙති. මහණෙනි, වැළිත් අලොභජ කර්‍මයෙන් අද්වේෂජකර්මයෙන් අමොහජකර්මයෙන් දෙවියෝ, පැනෙති, මිනිස්සු පැනෙති, තවද, අන්‍ය වූ ත් යම් කිසි සුගති කෙනෙක් වෙත් නම් ඔහු ද පැනෙති. දෙව්ලෝහි ද මිනිස්ලෝහි ද ආත්ම භාවයා ගේ නිපැත්මට මේ තුන් කුශලමූලයෝ වෙතී’ භාග්‍යවත්හු දනිති දකිත්. මෙසේත් භාග්‍යවත්හු මූලය දක්නාහු යැ... සමුදය දක්නාහු වෙත් මෙය වදාරණ ලද මැ යී භාග්‍යවතුන් විසින්: “මහණෙනි, අකුසල් වූ අකුසල් කොටස්හි වූ අකුශලපක්‍ෂයෙහි වූ යම් කිසි ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම අවිද්‍යාව මුල් කොට ඇතියහ, අවිද්‍යායෙහි බැසැගත්තාහු වෙත්. අවිද්‍යාවගේ නැසීමෙන් එ හැම විනාශයට යෙතැ’යි භාග්‍යවත්හු දනිති, දකිති. මෙසේ ත් භාග්‍යවත්හු මූලය දක්නා හු යැ ..... සමුදය දක්නාහු යැ.
මෙය වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, මේ කුසල් වූ කුසල් කොටස්හි වූ කුසල පක්‍ෂයෙහි වූ යම් කිසි ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම අප්‍රමාදය මුල් කොට ඇතියහ, අප්‍රමාදයෙහි බැසගත්තාහු වෙත්. අප්‍රමාදය ඒ දහමුන්ට අග්‍ර යැ’යි කියනු ලැබේ’යැ යි භාග්‍යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්‍යවත්හු මූලය දක්නාහු යැ... සමුදය දක්නාහු වෙත්.
නොහොත් භාග්‍යවත්හු සංස්කාරයනට අවිද්‍යාව මුලැ යි දනිති දකිති. සංස්කාරයෝ විඥානයට මුලැ යි, විඥානය නාමරූපයට මුලැ යි, නාමරූපය ෂඩායතනයට මුලැ යි, ෂඩායතනය ස්පර්‍ශයට මුලැ යි, ස්පර්‍ශය වේදනාවට මුලැ යි, වේදනාව තෘෂ්ණාවට මුලැ යි. තෘෂ්ණාව උපාදානයට මුලැ යි. උපාදානය භවයට මුලැ යි, භවය ජාතියට මුලැ යි ජාතිය ජරාමරණයට මුලැ යි භාග්‍යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්‍යවත්හු ‘මූලදස්සාවී ... සමුදයදස්සාවී නම්වෙත්.
තවද, භාග්‍යවත්හු චක්‍ෂුස චක්ෂුරොගයනට මුලැ යි දනිති දකිති, ශ්‍රෝත්‍රය ශ්‍රොත්‍රරොගයනට මුලැ යි, ඝ්‍රාණය ඝ්‍රාණරොගයනට මුලැ යි, ජිහ්වා ව ජිහ්වාරොගයනට මුලැ යි කය කාය රෝගයනට මුලැ යි මනස චෛතසික දුඃඛයනට මුලැ යි භාග්‍යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්‍යවත්හු මූලය දක්නාහු හේතුව දක්නාහු නිදානය දක්නාහු සම්භවය දක්නාහු ප්‍රභවය දක්නාහු සමුත්ථානය දක්නාහු ආහාරය දක්නාහු ආලම්බනය දක්නාහු ප්‍රත්‍යය දක්නාහු සමුදය දක්නාහු නුයි ‘අනෙජං මූල දස්සාවී’ යනු වේ.
ඉච්චායස්මා පුණ්ණකො යනු: ‘ඉච්චා’ යනු පදසන්ධි යැ ...... ආයුෂ්මත් පූර්‍ණක.
අත්‍ථි පඤ්හෙන ආගමං යනු: ප්‍රශ්නයෙන් අර්‍ත්‍ථ ඇති වැ ආයෙම් වෙමි. පැන පුළුවුස්නා කැමැති වැ ආයෙම් වෙමි, පැන විසැඳුම්, අසනු කැමැති වැ ආයෙම් වෙමි යි මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නාර්ථින්ගේ පැන පුළුවුස්නා කැමැත්තවුන් ගේ පැන විසැඳුම් අසනු කැමැත්තවුන් ගේ ඊම, අභිමුඛ වැ පැමිණීම, එළැඹීම, පර්‍ය්‍යුපාසනය ඇත් නුයි මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නාගමයෙක් මුඹ වහන්සේට ඇත. මුඹ වහන්සේ ත් පොහොසත් සේක, පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදවන සේක, මා විසින් පුළුවුස්නා ලද් ද කියන්නට විසඳන්නට සමර්ත්ථ සිත් ඇති සේක. තෙල බර උසුලනු මැනැවැ’යි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
කිං නිස්සිතා ඉසයො මනුජා යනු: කුමක් ඇසිරි කළාහු හාත්පසින් ඇසිරි කළාහු (කිමෙකැ) ඇලුණාහු කුමකට එළැඹියාහු පිවිසියාහු අධිමුක්ත වූවාහු. ඉසයො යනු: ඍෂි නම් ඇති යම් කිසි කෙනෙක්, ඍෂි ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි වූවාහු, ආජීවකයෝ, නිගණ්ඨයෝ, ජටිලයෝ, තාපසයෝ. ‘මනුජා’ යි මිනිස්සු කියනු ලැබෙත් නුයි ‘කිං නිස්සිතා ඉසයො මනුජා’ යනු වේ.
ඛත්තියා බ්‍රාහ්මණා දෙවතානං යනු: ‘ඛත්තියා’ යනු: යම් කිසි ක්‍ෂත්‍රිය ජාති ඇති කෙනෙක් බ්‍රාහ්මණා යනු: භොවාදී වූ යම්කිසි කෙනෙක්. දෙවතානං යනු: ආජීවක ශ්‍රාවකයනට ආජීවකයෝ දේවතා යැ, නිගණ්ඨ ශ්‍රාවකයනට නිගණ්ඨයෝ දේවතා යැ, ජටිලශ්‍රාවකයනට ජටිලයෝ දේවතා යැ, පරිව්‍රාජක ශ්‍රාවකයනට පරිව්‍රාජකයෝ දේවතා යැ, අවරුද්ධක ශ්‍රාවකයනට අවරුද්ධකයෝ දේවතා යැ, හස්තිව්‍රත ඇතියනට හස්තීහු දේවතා යැ, අශ්ව්‍රත ඇතියනට අශ්වයෝ දේවතා යැ, ගෝව්‍රත ඇතියනට ගවයෝ දේවතා යැ සුනඛව්‍රත ඇතියනට සුනඛයෝ දේවතා යැ, කවුඩු ව්‍රත ඇතියනට කවුඩුවෝ දේවතා යැ, වාසුදෙව (විෂ්ණු) ව්‍රත ඇතියනට වාසුදෙව දේවතා යැ, බලදෙවව්‍රත ඇතියනට බලදෙව දේවතා යැ පූර්ණභද්‍ර ව්‍රත ඇතියනට පූර්ණභද්‍ර තෙම දේවතා යැ, මණිභද්‍ර ව්‍රත ඇතියනට මණිභද්‍ර තෙම දේවතා යැ අග්නිව්‍රත ඇතියනට අග්නිය දේවතා යැ, නාගව්‍රත ඇතියනට නාගයෝ දේවතා යැ, ගරුඩව්‍රත ඇතියනට ගරුඩයෝ දේවතා යැ, යක්ෂව්‍රත ඇතියනට යක්‍ෂයෝ දේවතා යැ අසුර ව්‍රත ඇතියනට අසුරයෝ දේවතා යැ ගන්ධර්වව්‍රත ඇතියනට ගන්‍ධර්‍වයෝ දේවතා යැ, මහාරාජ ව්‍රත ඇතියනට මහාරාජයෝ (වරම් රජහු) දේවතා යැ, චන්ද්‍රව්‍රත ඇතියනට චන්‍ද්‍රයා දේවතා යැ සූර්‍ය්‍යව්‍රත ඇතියනට සූර්‍ය්‍යයා දේවතා යැ, ඉන්ද්‍රව්‍රත ඇතියනට ඉන්‍ද්‍රයා දේවතා යැ, බ්‍රහ්මව්‍රත ඇතියනට බ්‍රහ්ම දේවතා යැ, දේවව්‍රත ඇතියනට දෙවියා දේවතා යැ, දිශ්ව්‍රත ඇතියනට දිශාවෝ දේවතා යැ, යම් කෙනෙක් යම් කෙනෙකුන්ට දක්ෂිණාර්භ වෙත් ද, ඔහු ඔවුනට දේවතා නුයි ‘ඛත්තියා බ්‍රාහ්මණො දෙවතානං’ යනු වේ.
යඤ්ඤමකප්පයිංසු පුථූ ඉධ ලෝකේ යනු: ‘යඥ’ යයි දේයධර්‍මය කියනු ලැබෙයි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන්, හෝනාගේ පහනට තෙල් යන මොහු යැ. ‘යඤ්ඤමකප්පයිංසු’ යනු: යම් කෙනෙකුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර, ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳ විලෙවුන්, හෝනාගේ පහන්තෙල් යන දේයධර්‍මය (යඥය) කැමැති වෙත් ද, බලත් ද, උපදවත් ද, ඔහු ද යඥ කෙරෙත් (දෙය ධර්‍මය සොයත්) යම් කෙනෙකුන් චීවර පිණ්ඩපාත... ශය්‍යාවස්ථ ප්‍රදීපෙය්‍ය යන යඥය සකස් කෙරෙත් ද ඔහු ද යඥ කෙරෙති, යම් කෙනෙකුන් චීවර පිණ්ඩපාත... ශය්‍යාවස්ථ ප්‍රදීපෙය්‍ය සඞ්ඛ්‍යාත යඥය දෙත් ද, යජනය කෙරෙත් ද, පරිත්‍යාග කෙරෙත් ද, ඔහු ද යඥය කෙරෙත්. පුථූ යනු: තෙල දෙයධර්මයෝ හෝ බොහෝ වෙති, තෙල දෙයධර්මදායකයෝ හෝ බොහෝ වෙති. තෙල දර්ෂාණාර්භයෝ හෝ බොහෝ වෙත්.
කිසෙයින් තෙල දෙයධර්මයො බොහෝ වෙත් ද යත්: තෙල දෙයධර්මයෝ බොහෝ වෙති: චීවර- පිණ්ඩපාත- ශයනාසන-ග්ලානප්‍රත්‍යය-භෛසජ්‍යපරිෂ්කාර යැ අන්න යැ පාන යැ වස්ත්‍ර යැ යාන යැ මාලාගන්‍ධවිලේපන යැ ශයනාගාර- ප්‍රදීපෙය්‍ය යැ යි මෙසෙයින් තෙල දෙයධර්මයෝ හෝ බොහෝ වෙත්. කිසෙයින් තෙල යඥයාජකයෝ හෝ බොහෝ වෙත් ද යත්: තෙල යඥයාජකයෝ බොහෝ වෙති: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු දැ යි මෙසෙයින් තෙල යඥ යාජකයෝ හෝ බොහෝ වෙත්. කිසෙයින් දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙත් ද යත්: තෙල දක්ෂිණාර්භයෝ බොහෝ වෙති: මහණබමුණහු යැ දිළින්දෝ යැ මැගියෝ යැ ගුණ කියා යදනාහු යැ යැදියෝ යැයි මෙසෙයින් තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙත්. ඉධ ලෝකේ යනු: මනුෂ්‍යලොකයෙහි නු යි ‘යඤ්ඤමකප්පයිං සු පුථු ඉධ ලෝකේ’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං යනු: පුච්ඡා යනු; පෘච්ඡා තුනෙකි: අදෘෂ්ට ද්‍යොතනා පෘච්ඡා යැ දෘෂ්ටසංසන්‍දනා පෘච්ඡා යැ විමතිච්ඡෙදනා පෘච්ඡා යි. අදෘෂ්ටද්‍යොතනා පෘච්ඡා කවරැ යත්: (ධර්‍මයන්ගේ තථා) ලක්‍ෂණය පියවින් නො දන්නාලද නො දක්නාලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්‍රකට නො වූයේ නුවණින් නො වඩන ලද වෙයි, එය දන්නා පිණිස දක්නා පිණිස තුලනය පිණිස තීරණය පිණිස විභාවනය පිණිස පැන පුළුවුස්සි. මේ අදෘෂ්ටද්‍යොතනාපෘච්ඡා යි. දෘෂ්ටසංසන්‍දනාපෘච්ඡා කවරැ යත්: (ධර්‍මයන්ගේ තථ) ලක්‍ෂණය පියවින් දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්‍රකට කරන ලද විභාවනය කරන ලද වෙයි. (එය) අන්‍යපණ්ඩිතයන් හා සමග සසඳනු පිණිස පැන පුළුවුස්සි. මේ දෘෂ්ටසංසන්‍දනාපෘච්ඡා යි. විමතිච්ඡෙදනා පෘච්ඡා කවරැ යත්: පියවින් සැකයට පිවිසියේ විමතියට පිවිසියේ මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හෝ යි හටගත් සැක ඇත්තේ වෙයි, හෙතෙම විමති සිඳුනා පිණිස පැන පුළුවුස්සි. මේ විමතිච්ඡෙදනා පෘච්ඡා යැ. මොහු තුන් පෘච්ඡා යි.
අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: මනුෂ්‍ය පෘච්ඡා යැ අමනුෂ්‍ය පෘච්ඡා යැ නිර්මිත පෘච්ඡා යි. මනුෂ්‍ය පෘච්ඡා කවරැ යත්: මිනිස්සු භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, මහණහු පුළුවුස්ති, මෙහෙණහු පුළුවුස්ති, උවසුවෝ පුළුවුස්ති, උවැසියෝ පුළුවුස්ති, රජවරු පුළුවුස්ති, ක්‍ෂත්‍රියයෝ පුළුවුස්ති, බ්‍රාහ්මණයෝ පුළුවුස්ති, වෛශ්‍යයෝ පුළුවුස්ති, ශුද්‍රයෝ පුළුවුස්ති, ගැහැවියෝ පුළුවුස්ති, පැවිද්දෝ පුළුවුසිත්. මේ මනුෂ්‍යපෘච්ඡා යි. අමනුෂ්‍යපෘච්ඡා කවරැ යත්: අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, නාගයෝ පුළුවුස්ති, සුපර්‍ණයෝ (ගුරුළෝ) පුළුවුස්ති, යක්‍ෂයෝ පුළුවුස්ති, අසුරයෝ පුළුවුස්ති, ගන්‍ධර්‍වයෝ පුළුවුස්ති, වරම් රජවරු පුළුවුස්ති, ඉන්ද්‍රයෝ පුළුවුස්ති, බ්‍රහ්මයෝ පුළුවුස්ති, දේවතාවෝ පුළුවුසිත්. මේ අමනුෂ්‍යපෘච්ඡා යි. නිර්මිතපෘච්ඡා කවරැ යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුණු ඉඳුරන් ඇති යම් රූපයක් නිර්‍මාණය කෙරෙත් ද. ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳති; මේ නිර්මිත පෘච්ඡා යි. මොහු තුන් පෘච්ඡා යි.
අන්‍යවූ ද පෘච්ඡා තුනෙකි: ආත්මාර්‍ත්‍ථ පෘච්ඡා යැ පරාර්ත්ථපෘච්ඡා යැ උභයාර්ත්ථපෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: දෘෂ්ටධාර්මිකාර්ත්ථ පෘච්ඡා යැ සාම්පරායිකාර්ත්ථපෘච්ඡා යැ පරමාර්ත්ථපාච්ඡෘ යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: දානවද්‍යාර්ත්ථපෘච්ඡා යැ නික්ලෙශාර්ත්ථ පෘච්ඡා යැ ව්‍යවදානාර්ත්ථ පාච්ඡෘ යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: අතීතපෘච්ඡා යැ අනාගතපෘච්ඡා යැ ප්‍රත්‍යුත්පන්න පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: අධ්‍යාත්මපෘච්ඡා යැ බාහ්‍යපෘච්ඡා යැ අධ්‍යාත්මබාහ්‍යපෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: කුශලපෘච්ඡා යැ අකුශලපෘච්ඡා යැ අව්‍යාකෘතපෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: ස්කන්ධපෘච්ඡා යැ ධාතු පෘච්ඡා යැ ආයතන පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: සතිපට්ඨාන පෘච්ඡා යැ සම්‍යක්ප්‍රධාන පෘච්ඡා යැ ඍද්ධිපාද පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: ඉන්‍ද්‍රිය පෘච්ඡා යැ බලපෘච්ඡා යැ බෝධ්‍යඞ්ග පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: මාර්‍ග පෘච්ඡා යැ ඵලපෘච්ඡා යැ නිර්වාණපෘච්ඡා යී.
පුච්ඡාමි තං යනු: මුඹ වහන්සේ පුළුවුස්මි, මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අණවමි, මුඹ වහන්සේ පහදවමි, මට වදාළ මැනැව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු; සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: කිව මැනැව, පැවැසුව මැනැව, දෙසුව මැනැව, පැනැවුව මැනැව, පිහිටුව මැනැව, විවෘත කළ මැනැව, විභාග කළ මැනැව, නො ගැඹුරු කළ මැනැව, ප්‍රකාශ කළ මැනැව නු යි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
එයිනි කීයැ ඒ බමුණු:
“අනෙජං මූලදස්සාවිං -පෙ- පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි.
(බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) මෙ ලොවැ මේ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් කිසි බොහෝ යාග කරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසර දුක) නිසා මේ මනුෂ්‍යාදිභාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත් යයි.
යෙ කෙචි’මෙ ඉසයො මනුජා යනු: ‘යෙ කෙචි’ යනු: තෙල. ‘යෙ කෙචි යසු සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි. ඉසයො යනු ‘ඍෂි’ නම් ඇති යම් කිසි ඍෂි ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි වූ ආජිවකයෝ, නිර්ග්‍රන්‍ථයෝ, ජටිලයෝ තාපසයො. ‘මනුජ’ යි මනුෂ්‍යයෝ කියනු ලැබෙත් නුයි ‘යෙ කෙචි මෙ ඉසයො මනුජා පුණ්ණකා ’ති භගවා’ යනු වේ.
ඛත්තියා බ්‍රාහ්මණ දෙවතානං යනු: ‘ඛත්තියා’ යි ක්ෂත්‍රියජාති ඇති යම් කිසි කෙනෙක්. බ්‍රාහ්මණා යනු: භොවාදික වූ යම් කිසි කෙනෙක්. දෙවතානං යනු: ආජීවකශ්‍රාවකයන්ට ආජීවකයෝ දේවතා යැ’ ....... දිග්ව්‍රත ඇතියනට දිශාවෝ දේවතා යැ, යම් කෙනෙක් යම් කෙනකුන්හට දක්ෂිණාර්භ වෙත් ද ඔහු ඔවුනට දේවතා යැ’යි ඛත්තියා බ්‍රාහ්මණා දෙවතානං යනු වේ.
යඤ්ඤමකප්පයිංසු පුථුධ ලෝකේ යනු: ‘යඤ්ඤ’ යි දේයධර්‍මය කියනු ලැබෙයි. සිවුරු පිඬුවා... යහන්ගේ පහන්තෙලි. යඤ්ඤමකප්පයිංසු යනු: යම් කෙනෙකුත් යඥය එෂණ-ගවේෂණ-පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ...යහන්ගේ පහන්තෙලි. ඔහු දු යඥ කෙරෙත්. පුථු යනු: තෙල යඥයෝ හෝ බොහෝ වෙති, තෙල යඥ යාජකයෝ හෝ බොහෝ වෙති, තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙති.... මෙසෙයින් තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙත්. ඉධ ලෝකේ යනු: මනුෂ්‍යලොකයෙහි නුයි ‘යඤ්ඤමකප්පයිං සු පුථූධ ලෝකේ’ යනු වේ.
ආසිංසමානා පුණ්ණක ඉත්‍ථභාවං යනු: ආසිංසමානා යනු රූපප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ස්ප්‍රෂ්ටව්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු පුත්‍රප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු දාරප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ධනප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු යශස්ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ඓශ්චර්‍ය්‍ය ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු බ්‍රාහ්මණමහාසාරකුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ගෘහපතිමහාසාරකුලයෙහි ආත්මභාව ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු
සිව්මහරද දෙවියන් කෙරෙහි ආත්මභාව ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු තව්තිසා දෙවියන් කෙරෙහි ... යාම දෙවියන් කෙරෙහි... තුෂිත දෙවියන් කෙරෙහි ... නිර්‍මාණරතී දෙවියන් කෙරෙහි... පරනිර්මිතවසවර්ති දෙවියන් කෙරෙහි... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු ඊප්සා කරන්නාහු අභිජල්පනය කරන්නාහු නුයි ‘ආසිංසමානා’ යනු වේ. පුණ්ණක ඉත්‍ථභාවං යනු: මෙහි ආත්මභාවයාගේ පහළවීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු මෙහි ක්‍ෂත්‍රිය මහාසාර කුලයෙහි ආත්මභාවයා ගේ පහළ වීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු... මෙහි බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවයාගේ පහළවීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු ඊප්සා කරන්නාහු අභිජල්පනය කරන්නාහු නුයි. ‘ආසිංසමානා පුණ්ණක ඉත්‍ථභාවං’ යනු වේ.
ජරං සිතා යඤ්ඤමකප්පයිංසු යනු : ජරාදුක ඇසිරි කළාහු ව්‍යාධි දුක ඇසිරි කළාහු මරණ දුක ඇසිරි කළාහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක ඇසිරි කළාහු... යම් කලෙක්හි මැ ඔහු ජාතිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ජරාව ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ජරාව ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ව්‍යාධිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ව්‍යාධිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු මරණය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු මරණය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ගතිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ගතිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු උත්පත්තිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි ම, ඔහු උත්පත්තිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ප්‍රතිසන්‍ධිය ඇසිරි කළාහු යැ. යම් කලෙක්හි මැ ඔහු ප්‍රතිසන්‍ධිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු භවය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු භවය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු සංසාරය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු සංසාරය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු වෘත්තය ඇසිරි කළාහු යැ වැළඳ ගත්තාහු යැ (සසරට) එළඹියාහ පිවිසුණාහු යැ අධිමුක්ත වූවාහු නුයි ‘ජරං සිතා යඤ්ඤමකප්පයිංසු’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙ කෙචි මේ ඉසයො මනුජා -පෙ- ජරං සිතා යඤ්ඤමකප්පයිංසු” යි.
(ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි.) “මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් කිසි බොහෝ යාග කරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්ස, කිම ඔහු යාගයෙහි අප්‍රමත්ත වූවාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? නිදුකාණෙනි, එය මුඹවහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්ස තෙල කරුණ මට වදාළ මැනැවි යි.”
යෙ කෙචි’මෙ ඉසයො මනුජා යනු: කෙචි යනු... කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා යනු: කච්චි සු යි: “මෙසේ දෝ හෝ නෙ වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ හෝ හො”යි සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ විචිකිත්සා පෘච්ඡා යැ අනෛකාන්ත පෘච්ඡා නුයි “කච්චි සු” යනු වේ. තෙ යි යඥ යාජකයෝ කියනු ලැබෙති. භගවා යනු: ගෞරවනාමයෙකි... මේ ‘භාග්‍යවත්’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්ති නුයි ‘කච්චි සු තෙ භගවා’ යනු වේ. යඤ්ඤපථෙ අප්පමත්තා යනු: යඥය මැ ‘යඥපථ’ යි කියනු ලැබෙයි. යම්සේ ආර්‍ය්‍යමාර්‍ගය ආර්‍ය්‍යපථ වේ ද, දෙවමාර්ගය දෙවපථ වේ ද, බ්‍රහ්මමාර්ගය බ්‍රහ්මපථ වේ ද, එසෙයින් මැ යඥය මැ ‘යඥපථ’ යි කියනු ලැබේ. අප්පමත්තා යනු: යම් කෙනෙකුන් යඥපථයෙහි අප්‍රමත්ත වූවාහු සකසා කරන්නාහු සතතයෙන් කරන්නාහු නො නැවැත කරන්නාහු නො හැකුළුණු පැවැතුම් ඇත්තාහු නො හළ ඡන්‍දය ඇත්තාහු නො හළ වීර්‍ය්‍යධුර ඇත්තාහු එහි හැසිරෙන්නාහු එය බහුල කොට ඇත්තාහු එය ගුරු කොට ඇත්තාහු එයට නැමුණු හු එයට අතිශයින් නැමුණ හු එයට නැඹුරු වූවාහු එහි අධිමුක්ත වූවාහු (බැඳුණාහු) එය අධිපති කොට ඇත්තාහු නුයි ඔහු දු යඥපථයෙහි අප්‍රමත්ත වූවාහු වෙති. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳ විලෙවුන් යහන්ගේ පහන්තෙල් යන දේයධර්‍මය කැමැති වෙත් ද සොයත් ද හැම අයුරින් කැමැති වෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද, ඔහු දු යඥපථයෙහි අප්‍රමත්ත වෙති. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන ... යහන්ගේ පහන්තෙල් යන දේයධර්‍මය සකස්කෙරෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද ඔහු දු යඥපථයෙහි අප්‍රමත්තයෝ යැ. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන ... යහන්ගේ පහන්තෙල් යන දේයධර්‍මය දෙත් ද යදිත් ද, පරිත්‍යාග කෙරෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද, ඔහු දු යඥපථයෙහි අප්‍රමත්තයහ’යි ‘කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමතතා’ යනු වේ.
අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: ජාති ජරාමරණය තරණය කළහ, උත්තරණය කළහ, ප්‍රකර්‍ෂයෙන් තරණය කළහ, ඉක්මවූහ, ව්‍යතික්‍රමණය කළහ. මාරිස යනු: තෙල ‘මාරිස’ යි ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්‍රතිශ්‍රය වචන නුයි ‘අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං යනු: ‘පුච්ඡාමි තං’ යි: මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්‍යෙෂණ කරමි, මුඹ වහන්සේ පහදවමි මට වදාළ මැනැවැ යි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: මේ ‘භගවා’ යි ගෞරවනාමයෙකි ... සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: කිව මැනැව ප්‍රකාශ කළ මැනැව දෙසුව මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව පැවසුව මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
එයින් කීයැ ඒ බමුණු:
“යෙ කෙචි’ මෙ ඉසයො මනුජා ... පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යී.
(බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) (ඔහු රූප ප්‍රතිලාභාදිය) ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, (යාගාදිය) පසසති, ජල්පනය කෙරෙති, පුදති. (රූපාදි) ලාභය පිණිස පුනපුනා කාමයන් මැ (අපට වන්නේ මැනැව’යි) කියත්. යාගයෙහි යෙදුණු භවරාගයෙන් රැඳුණු ඔහු ජාති ජරා (ආදි සසර දුක) තරණය නො කළාහ’යි කියමි”යි.
ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති යනු: ‘ආසිංසන්ති’ යනු: රූප ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ස්ප්‍රෂ්ටව්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, පුත්‍රප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, දාරප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ධනප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, යශස්ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ඓශ්චර්‍ය්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි ... ගෘහපතිමහාසාර කුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, චාතුර්මහාරාජික දෙවියන් කෙරෙහි ... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, කැමැති වෙති, ඉවසති, පතති, ඊප්සා කෙරෙත් නුයි ‘ආසිංසන්ති’ යනු වේ.
ථොමයන්ති යනු: දානය හෝ වර්‍ණනා කෙරෙති, (රූපාදිප්‍රතිලාභ) ඵලය හෝ වර්‍ණනා කෙරෙති, දක්‍ෂිණාර්‍හයන් හෝ වර්‍ණනා කෙරෙත්. කිසෙයින් දානවර්ණනා කෙරෙත් ද යත්: පිරිසිදු කොට දෙන ලද්ද, මන වඩනු කොට දෙන ලද්ද, ප්‍රණීත කොට දෙන ලද්ද, යෝග්‍ය කාලයෙහි දෙන ලද්ද, කැප කොට දෙන ලද්ද, විමසා දෙන ලද්ද, නිදොස් කොට දෙන ලද්ද, එක්වන් දෙන ලද්ද, දෙමින් පහදවන ලද සිත ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති, වණති, පසසත් නුයි මෙසෙයින් දානය දානවර්ණනා කෙරෙත්.
කිසෙයින් ඵලය වර්‍ණනා කෙරෙත් ද යත්: මෙ (මිනිස් ලොවැ දුන්) කරුණින් රූපප්‍රතිලාභය වන්නේ යැ... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය වන්නේ යැ යි ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති, වර්‍ණනා කෙරෙති, ප්‍රශංසා කෙරෙත් නුයි මෙසෙයින් ඵලය වර්‍ණනා කෙරෙත්.
කිසෙයින් දක්‍ෂිණාර්‍හයන් වර්‍ණනා කෙරෙත් ද යත්: දක්ෂිණාර්භයෝ “ජාති සම්පන්නයහ, ගොත්‍රසම්පන්නයහ, වෙදමන්ත්‍රාධ්‍යාපකයහ, වේදමන්ත්‍ර ධරනුවහ. නිඝණ්ටු, කෙටූභ (කාව්‍යශාස්ත්‍ර) සහිත වූ ශික්‍ෂා නිරුක්ති සඞ්ඛ්‍යාත අක්‍ෂරප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙරට ගියාහු පද හදාරන්නාහු ව්‍යාකරණ හදාරන්නාහු ලෝකායත (විතණ්ඩවාදශාස්ත්‍ර) මහාපුරුෂ ලක්‍ෂණයෙහි අනූනයහ’යි, වීතරාග හෝ රාගවිනයට (රාගය දුරැලීමට) පිළිපන්නාහු හෝ වෙති, වීතදෝස හෝ දොස විනයට පිළිපන්නාහු හෝ වෙති, වීතමෝහ හෝ මෝහ විනයට පිළිපන්නාහු හෝ වෙති, ශ්‍රද්ධාසම්පන්නයහ, ශීල සම්පන්නයහ, සමාධිසම්පන්නයහ, ප්‍රඥාසම්පන්නයහ, විමුක්තිසම්පන්නයහ, විමුක්තිඥානදර්‍ශන සම්පන්නයහ”යි ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති වර්‍ණනා කෙරෙති, ප්‍රශංසා කෙරෙත්, මෙසෙයින් දක්ෂිණාර්භයෝ ථොමනය කෙරෙත් නුයි “ආසිංසන්ති ථොමයන්ති” යනු වේ.
අභිජප්පන්ති යනු: රූපප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති ......බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් නුයි ‘ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති’ යනු වේ. ජුහන්ති යනු: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් යහන්ගේ පහන්තෙල් දානය කෙරෙති, දෙති, යදිති, පරිත්‍යාග කෙරෙත් නුයි. ‘ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජූහන්ති’ යනු වේ.
පුණ්ණකා’ති භගවා : ‘පුණ්ණක’ යී බුදුහු ඒ බමුණු නමින් ආලපනය කෙරෙත්. භගවා යනු: තෙල ගෞරවාධි වචන යැ ...භගවත් යී ‘පුණ්ණකා ති භගවා’ යනු වේ.
කාමාභිජප්පන්ති පටිච්ච ලාභං යනු: රූප ප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, කැමැති වෙති, ඉතා කැමැති වෙත් නුයි ‘කාමාභිජප්පන්ති පටිච්ච ලාභං’ යනු වේ.
තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාති ජරන්ති බ්‍රෑමි යනු: ‘තෙ’ යි දේයධර්‍මය දන්නාහු කියනු ලැබෙති. යාජයොගා යනු: යඥයොගයෙහි (දීමෙහි) යෙදුණාහු ආදරයෙන් යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු එක් වැ යෙදුණාහු එය කරන්නාහු එය බහුල වැ කරන්නාහු එය ගරු කරන්නාහු එයට නතු වූ සිත් ඇත්තාහු එහි නතු වූ කය ඇත්තාහු එහි අභිමුඛ වූ කය ඇත්තාහු එහි අධිමුක්ත වූවාහු එය අධිපති කොට ඇත්තාහු නු යි ‘තෙ යාජයොගා’ යනු වේ. භවරාගරත්තා යනු: භවයන්හි යම් භවච්ඡන්‍දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නෙහයෙක් භවපරිදාහයෙක් භවමූර්ඡායෙක් භවය ගිලගැනීමෙක් වේ ද, හේ ‘භවරාග’ යයි කියනු ලැබෙයි. භවරාගයෙන් භවයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු වැතුරුණාහු ලැගුණාහු ලග්න වූවාහු ඇවුරුණා හු නුයි’ තෙ යාජයොගා භවරාගරත්තා’ යනු වේ.
නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි යනු: දීමෙහි යෙදුණු ඔහු භවරාගයෙහි ඇලුණාහු ජාතිජරාමරණය තරණය උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය ව්‍යතික්‍රමණය නො කළාහු යැ. ජාතිජරාමරණයෙන් නො නික්මුණාහු බැහැර නො වූවාහු ඉක්ම නො ගියාහු මොනවට ඉක්ම නොගියාහු ව්‍යතික්‍රමණය නො කළාහු ජාතිජරාමරණය ඇතුළත පෙරළෙති, ඇතුළුසසරමග පෙරළෙති. ජාතියට පිවිසියාහු ජරායෙන් පතළාහු ව්‍යාධියෙන් මඩනා ලද්දාහු මරණයෙන් පහරන ලද්දාහු රක්‍ෂා විරහිත වූවාහු නිලීනස්ථාන රහිත වූවාහු අසරණ වූවාහු තමහට ප්‍රතිෂ්ඨා නො කරන්නාහු යයි කියමි, පවසමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවෘත කෙරෙමි, විභාග කෙරෙමි, නො ගැඹුරු කෙරෙමි, ප්‍රකාශ කෙරෙමි නුයි ‘තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ආසිංසන්ති ථොමයන්ති ... නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි” යී.
(ආයුෂ්මත්, පුණ්ණක මෙසේ විචාරයි) “නිදුකාණෙනි, යාගයෙහි යෙදුණු ඔහු ඉදින් යාගයන් කරණ කොට ගෙන ජාතියත් ජරාවත් තරණය නො කළාහු නම් නිදුකාණෙනි, එකල්හි දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එ කරුණ පුළුවුස්මි. භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.”