17-18. බමුණාණෙනි, යම් කෙනෙක් මට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතකුදු මම් වෙන් වැ නො වෙසෙමි.
19. බ්‍රාහ්මණයෙනි, (මම්) අප්‍රමත්ත වූයෙම් දිවරැය ඇසින් මෙන් මනසින් ඒ ගෞතම බුදුන් දක්මි, නමස්කාර කෙරෙමින් මැ රැය ඉක්මවමි, එයින් මැ අවිප්‍රවාසය හඟිමි.
20. මාගේ ශ්‍රද්ධාව ද ප්‍රීතිය ද මනස ද ස්මෘතිය ද ගෞතමශාසනයෙන් පහවැ නො යෙයි, විපුල ප්‍රඥා ඇති උන් වහන්සේ යම් යම් දසකට වඩනාසේක් ද, ඒ ඒ දසට මැ මම් නම්‍ර වූයෙම් වෙමි.
21. ජීර්‍ණ වූ (එහෙයින් මැ) අල්පවීර්‍ය්‍ය ඇති මාගේ කය එකරුණින් මැ එහි නො යෙයි, සංකල්ප ගමනින් එක්වන් යෙමි. එහෙයින් බ්‍රාහ්මණයෙනි, මාගේ සිත ඒ බුදුන් ඇති තැන්හි යෙදුණේ වෙයි.
22. කාමපඞ්කයෙහි (මඩෙහි) හෝනෙම් හාත්පසින් සැලෙනුයෙම් ශාස්තෘ සඞ්ඛ්‍යාත ද්වීපයෙන් ද්වීපයට පා වැ ගියෙමි. ඉක්බිති (පහණ සෑ වෙහෙරෙහි දී) චතුරෝඝය තරණය කළ ආස්‍රව රහිත වූ සම්බුදුන් දිටිමි.
23. මුක්ත ශ්‍රද්ධා ඇති වක්කලී ස්ථවිර යැ භද්‍රාවුධ යැ ආළවිගෝතම යැ යන මොහු යම් බඳු වූහු ද එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වව, පිඞ්ගිය, තෙපි මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සංසාරයාගේ පාරයට යව.
24. තෙල මම් මුනීන් වහන්සේ ගේ වචනය අසා බෙහෙවින් පහදිමි, සම්බුදුහු පෙරළු (රාගාදි) සියන් ඇතියහ, (රාගාදි) ඛිල රහිතයහ. ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන ඇතියහ.
25. අධිදේවකර ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන හීන-ප්‍රණීත වූ (හෝ, තමාත් මෙරමාත් පිළිබඳ වූ) අධිදේවත්වකර සියලු ධර්‍මජාතය දතුවහ, ශාස්තෘහු සැක ඇති වැ මැ “නිසැකයම්හ”යි පිළින කරනුවන් ගේ ප්‍රශ්න කෙළවර කරනුවහ.
26. යම් නිවනකට කිසි තැනෙක්හි උපමා නැද්ද, (රාගාදියෙන්) ගෙන යා නො හැකි අකෝප්‍ය වූ නිවන එකත්නෙන් අධිගම කරනෙම්, මෙහි ලා මට සැකයෙක් නැති. මෙසෙයින් පිඞ්ගිය තෙපි මා ශ්‍රද්ධායෙහි අධිමුක්තසිත් ඇතියකු කොට ධරව යි.
පාරායණ වර්‍ගය නිමි.
1. අජිත සූත්‍ර නිර්‍දෙශය
1. 1.
(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්) ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුණේ)ද? කවර හෙයින් නො පැනේ ද? කිමෙක් ඹහට අභිලේපන යැ යි වදාරන සේක් ද?කිමෙක් ඔහට මහද්භය වේ ද?
කෙනස්සු නිවුතො ලෝකෝ යනු: නිරයලොක යැ තිර්‍ය්‍යක්ලොක යැ ප්‍රෙතලොක යැ මනුෂ්‍යලොක යැ දිව්‍යලොක යැ සකන්ධලෝක යැ ධාතුලොක යැ ආයතනලෝක යැ මෙලෝ යැ පරලෝ යැ බඹලෝ යැ දෙව්ලෝ යැ යන මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මෙලොව කිමෙකින් අවුරන ලද්දේ වසන ලද්දේ යටින් වසන ලද්දේ උඩින් වසන ලද්දේ පිළිසන් වූයේ යටිහුරු කරන ලද්දේ දැ? යි ‘කෙනස්සු නිවුතො ලෝකෝ’ යනු වේ.
ඉච්චායස්මා අජිතො යනු: ‘ඉච්ච’ යනු පදසන්ධි යැ,පදසංසර්ග යැ පදපූර්ණ යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ තෙල ‘ඉච්ච’ යනු පදයන්ගේ අනුපූර්වතා යි. ආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු ප්‍රියයවචන යැ ගරු වචනයැ සගෞරවවචනය යැ සප්‍රතිශ්‍රයට නමෙකි. ‘අජිතො’ යනු: ඒ බමුණුගේ නම යැ සංඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ, නාමකර්ම යැ නාමධෙය්‍ය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යැ නු’ යි ‘ඉච්චායස්මා අජිතො’ යනු වේ.
කෙනස්සු නප්පකාසති යනු: කවර කරුණෙකින් ලෝකය ප්‍රකාශ නො කෙරේ ද ඥාන ප්‍රභාෂ නො කෙරේ ද ඥානප්‍රතාප නො කෙරේ ද දීප්ත නො වේ ද නො දන්නේ ද නො පැනේ දැ?යි ‘කෙනස්සු නප්පකාසති’ යනු වේ.
කිස්සාභිලොපනං බ්‍රෑසි යනු: කිමෙක් ලෝකයාගේ ඇලීම ලැගීම බැඳීම උපක්ලේශය වේ ද, කිමෙකින් ලෝකයා ඇලුණේ වෙසෙසින් ඇලුණේ මොනොවට ඇලුණේ කිලිටි වූයේ වෙසෙසින් කිලිටි වූයේ මැකුණේ හැනුණේ ලැගුණේ ලග්නා ලද්දේ ඇවුරුණේ යි. බ්‍රෑසි කියන සේක් ද දෙසන සේක් ද පනවන සේක් ද පිහිටුවන සේක් ද විවරණය කරන සේක් ද විභාග කරනසේක් ද නො ගැඹුරු කරන සේක් ද ප්‍රකාශ කරන සේක් දැ?යි ‘කිස්සාභිලෙපනං බ්‍රෑසි’ යනු වේ.
කිංසු තස්ස මහබ්භයං යනු: කිමෙක් ලෝකයාට භය මහද්භය පීඩා ඝට්ටන උපද්‍රව උපසර්‍ග වේ දැ?යි ‘කිංසු තස්ස මහබ්භයං’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“කෙනස්සු -පෙ- මහබ්භයං” යි.
1. 2.
(බුදුහු මෙසේ වදාළහ: අජිතය,) ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ මසුරු හෙයින් ප්‍රමාද හෙයින් ප්‍රකාශ නො වෙයි, ඔහට තෘෂ්ණාව අභිලේපන යැ යි කියමි. දුක මහද්භය වෙයි.
අවිජ්ජාය නිවුතො ලෝකෝ යනු “අවිජ්ජා” යනු: දුඃඛසත්‍යයෙහි නො දැනීම දුඃඛසමුදයසත්‍යයෙහි නො දැනීම දුඃඛනිරෝධසත්‍යයෙහි නො දැනීම දුඃඛනිරොධගාමීනිප්‍රතිපදාසත්‍යයෙහි නො දැනීම පූර්‍වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්වාන්තා- පරාන්තයෙහි නො දැනීම ඉදංප්‍රත්‍යයභාව සඞ්ඛ්‍යාත ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි නො දැනීම යැ. මෙ බඳු යම් නො දැන්මෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවෙධයෙක් (රූපාදිය අනිත්‍යාදි සාමාන්‍යයෙන්) සඞ්ග්‍රහ නො කිරීමෙක් (අනිත්‍යාදීන්) නො බැසැගැන්මෙක් සම වැ නො බැලීමෙක් ප්‍රත්‍යවෙක්ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් සම්‍යක් ඥාන රහිත බවෙක් මුළායෙක් බලවත් මුළායෙක් හාත්පසින් මුළායෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් (සිත මැඩලන) අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යී කියනු ලැබේ.
ලෝකෝ යනු: නිරයලෝක යැ තිර්‍ය්‍යක්ලෝක යැ ප්‍රේතවිෂය ලෝක යැ මනුෂ්‍යලෝක යැ දිව්‍යලෝක යැ ස්කන්ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙලෝ යැ පරලෝ යැ බඹලෝ යැ දෙව්ලෝ යැ යි මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මේ ලෝකය මේ අවිද්‍යායෙන් ඇවුරුණේ වැසුණේ යටින් වැසුණේ උඩින් වැසුණේ පිළිසන් වූයේ යටිහුරු කරන ලද්දේ නුයි “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යනු වේ. අජිත යනු බුදුහු ඒ බමුණු නමින් අමතති.
භගවා යනු: ගෞරව නමෙකි, තව ද බිඳහළ රාග ඇත් නුයි භගවත් යැ නැසූ ද්වේෂ ඇත්නුයි- නැසූ මෝහ ඇත් නුයි- නැසූ මාන ඇත් නුයි-නැසූ දෘෂ්ටි ඇත්නුයි- නැසූ කෙලෙස්කටු ඇත්නුයි- නැසූ කෙලෙස් ඇත්නුයි- දහම්රුවන් භාග- විභාග- ප්‍රතිවිභාග කෙළේ නුයි භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි- භාවිතකාය- භාවිත ශීල-භාවිතචිත්ත- භාවිත ප්‍රඥා ඇත් නුයි භගවත් යැ නොහොත් බුදුහු අල්ප ශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රහස්‍යයට නිසි වූ විවේකයට යෝග්‍ය වූ වන සෙනසුන් වෙනෙහි දුර සෙනසුන් වන කෙළවර සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, බුදුහු චීවර පිණ්ඩපාත සේනාසන-ගිලානප්පච්චය භේසජ්ජ පරික්ඛාරය නට හිමි වූවාහු නුයි භගවත් යැ,බුදුහු අර්ථරසයට ධර්‍මරසයට විමුක්ති රසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ,
බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්ෂයන්ට අෂ්ට අභිභායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි- බුදුහු දශ සංඥාභාවනාවන්ට දසකසිණසමාපත්තීන්ට ආනාපානසති සමාධියට අසුභ සමාපත්තියට හිමි වූවාහු නුයි- බුදුහු සතර සතිපටිඨානයන්ට සතරසම්‍යක්ප්‍රධානයන්ට සතර සෘද්ධිපාදයන්ට පඤ්චෙන්ද්‍රීයයන්ට පඤ්චබලයන්ට සප්තබොධ්‍යඞ්ගයන්ට ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්ගයට හිමි වූවාහු නුයි- බුදුහු දශ තථාගත බලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද් ධර්‍මයන්ට ෂඩ්භිඥාවන්ට ෂඩ්බුද්ධධර්මයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ නමි. තෙල ‘භගවත්’ යන නාමය මෑණියන් විසින් නොකරන ලද, පියාණන් විසින්- බෑයකු විසින්- බූනක විසින්-සගයහළුවන් විසින්- නෑ සහලේ නෑයන් විසින්- මහණබමුණන් විසින්- දේවතාවන් විසින් නො කරන ලද, මේ ‘භගවත්’යන තෙල නාමය භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්වඥතා ඥානයා ගේ ප්‍රතිලාභය සමග රහත්ඵලය ප්‍රක්‍යක්ෂ කිරීමෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි.
විවිච්ජා පමාදා නප්පකාසති යනු: පඤ්ච මාත්සර්‍ය්‍යයෝ ‘විවිච්ජා’ යි කියනු ලැබෙත්: ආවාසමාත්සර්‍ය්‍යයැ කුලමාත්සර්‍ය්‍ය යැ ලාභමාත්සර්‍ය්‍ය යැ වර්‍ණමාත්සර්‍ය්‍ය යැ ධර්‍මමාත්සර්‍ය්‍ය යැ යි. යම් මෙ බඳු මසුරු බවෙක් මසුරු අයුරෙක් මාත්සර්‍ය්‍යසමඞ්ගී බවෙක්(ස්වකීය සම්පත්)ව්‍යාප්ත කරනු කැමැති බවෙක් අනාර්‍ය්‍ය බවෙක්(තද මසුරු කමෙක්) කටුක බැවින් සිත හකුළන බවෙක් සිත් නො ගත් බවෙක් වේ ද මේ ‘මාත්සර්‍ය්‍ය’ යි කියනු ලැබේ. තව ද පඤ්චස්කන්‍ධයෙහි මසුරු බව ද ‘මච්ඡරිය’ නම, ධාතුමාත්සර්‍ය්‍ය ද ආයතනමාත්සර්‍ය්‍යය ද ‘මච්ඡරිය’නම, ග්‍රාහය මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.
ප්‍රමාදය කිය යුත්තේ යැ: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාම ගුණයෙහි හෝ චිත්තයාගේ ව්‍යවසර්‍ගය (සිත හැරපීම) ව්‍යවසර්ගානුප්‍රදානය දශකුශලධර්මයන්ගේ හෝ භාවනායෙහි නො සකස් වැ කරන බව සතතයෙන් නො කරන බව නො නිමි ක්‍රියා ඇති බව හැකුළුණු පැවැතුම් ඇති බව බහාලූ ඡන්‍ද ඇති බව බහාලූ ධූර (වීර්‍ය්‍ය) ඇති බව ආසේවන නො කිරීම භාවනා නො කිරීම පුනපුනා නො කිරීම (කුසල්දහම්හි) නො සිටීම නො යෙදීම ප්‍රමාද නම. යම් මෙ බඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමත්ත බවෙක් වේ ද මේ ‘පමාද’ යී කියනු ලැබේ.
විවිච්ඡා පමාදා නප්පකාසති යනු: මේ මාත්සර්‍ය්‍යයෙනුදු මේ ප්‍රමාදයෙනුදු ලෝවැසියා ප්‍රකාශ නො වෙයි ඥානප්‍රහාස නො කෙරෙයි ඥානප්‍රතාප නො කෙරෙයි නො බබළයි ප්‍රකට නො වෙයි නො පැනේ නුයි ‘විවිච්ඡා පමාදා නප්පකාසති’ යනු වේ.
ජප්පාභිලෙපනං බ්‍රෑමි යනු: ‘ජප්පා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් (පුනපුනා පමුණුවන හෙයින්) අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඊප්සායෙක් (බොල් කෙලෙස් බැවින් මුසපත් කරන) මූර්ඡායෙක් අධ්‍යවසානයෙක් ගිජු බවෙක් හාත්පසින් ගිජු බවෙක් (අරමුණෙහි ලැගෙන) සඞ්ගයෙක් (ගැලෙන හෙයින්) පඞ්කයෙක් (ඒ ඒ භවයට ආකර්‍ෂණ කරන හෙයින්) එජාවෙක් (රවටන හෙයින් මායාවෙක්)(සසරවට උපදවන හෙයින්) ජනිකායේක් (දුක හා සංයොග කෙරෙමින් උපදවන හෙයින්) සංජනතියෙක් (හිවන බැවින්) සිබ්බනියෙක් ජාලිනියෙක් (සරිත් සදෘශ වැ ආකර්‍ෂණ කරන හෙයින්) නදියෙක් වෙසෙසින් ඇලීමෙක් (බඳනා හෙයින්) හුයෙක් (විස්තෘත වන හෙයින්) විසතායෙක් ආයූහනියෙක් (සහාය වන හෙයින්) ද්විතීයාවක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් වනයෙක් (බලවත් බැවින්) වනථයෙක් සන්ථායෙක් ස්නේහයෙක් අපේක්ෂායෙක් ප්‍රතිබන්ධුයෙක් ආශායෙක් ආශංසායෙක් ආශංසිත බවෙක්, රූපයෙහි ආශායෙක් ශබ්දාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්පර්ශාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් (ජල්පන කරන හෙයින්) ජල්පායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිත බවෙක් (පුනපුනා අරමුණෙහි අදනා බැවින්) ලෝලුප බවෙක් ලොලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නඟුට සලන බවෙක් මධුර අරමුණු කැමැති වන බවෙක් අධර්‍මරාගයෙක් විෂමලොභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක්, කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධ තෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් සපර්ශතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (උපදනා කුශලාචාර ගන්නා) පරියුට්ඨානයෙක් (පරිවෙෂ්ටන කරන හෙයින්) ලතායෙක් විවිධ වීප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබඩිශයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියෙක් තෘෂ්ණා සඞ්ඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණා සඞ්ඛ්‍යාත ගර්දුල (ශූනකබන්ධන) යෙක් තෘෂ්ණා සමූදායෙක්, අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ ලෝවැසියාට ජප්පා යැ ලේපන යැ ලග්ගන යැ බන්‍ධන යැ උපක්කිලේස’ යි කියනු ලැබේ. මේ ජල්පායෙන් ලෝවැසියා ඇලුණේ වෙසෙසින් ඇලුණේ මොනොවට ඇලුණේ කිලිටි වූයේ වෙසෙසින් කිලිටි වූයේ තැවැරුණේ හැනුණේ ලැගුණේ ලග්නා ලද්දේ ඇවුණේ යි බ්‍රෑමි කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙමී ‘ජප්පාභිලෙපනං බ්‍රෑමි’ යනු වේ.
දුක්ඛමස්ස මහබ්භයං යනු: දුක්ඛං යනු ජාති දුක යැ ජරා දුක යැ ව්‍යාධි දුක යැ මරණ දුක යැ සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක යැ නිරෑහි වූ දුක යැ තිරිසන්යොන්හි වූ දුක යැ ප්‍රේතවිෂයයෙහි වූ දුක යැ මිනිසුන් පිළිබඳ දුක යැ ගර්‍භාවක්‍රාන්තිය මුල් කොට ඇති දුක යැ ගර්භස්ථිතිය මුල් කොට ඇති දුක යැ ගර්භව්‍යුත්ථානය මුල් කොට ඇති දුක යැ උපන්නහු පිළිදග්නා දුක යැ උපන්නහු පරා අයත් බැව්හි දුක යැ ආත්මොප ක්‍රම දුක යැ පරොපක්‍රම දුක යැ සංස්කාර දුක යැ විපරිණාම දුක යැ චක්ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්ෂරොග යැ කරණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මූර්ඡා යැ ප්‍රස්කන්දිකා (රක්තාතීසාර) යැ ශුල යැ විසූවිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස යැ ක්‍ෂය යැ අපස්මාර යැ දද්දු (දද) යැ කණ්ඩුති යැ කච්ඡූ යැ රඛසා (නියපහරින් වන වණ) යැ විතච්ඡිකා (හොරි) යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පිඞ්කා (පොළ) යැ භගන්දර යැ පිතින් උපදන් ආබාධ යැ සෙමින් උපදනා ආබාධ යැ වයින් උපදනා ආබාධ යැ සාන්නිපාතික ආබාධ යැ සෘතුපරිණාමයෙන් උපදනා අබාධ යැ විෂමපරිහාරයෙන් උපදනා ආබාධ යැ ඖපක්‍රමික ආබාධ යැ කර්‍මවිපාකයෙන් උපදනා ආබාධ යැ ශීත-උෂ්ණ සා-පවස් යැ මල-මූ පහ කිරීම යැ මැසි මදුරු-වා-අව්-දිග්දෑ පහසින් වූ දුක යැ මාතෘමරණයෙන් වූ දුක යැ පිතෘමරණයෙන් වූ දුක යැ භ්‍රාතෘමරණයෙන් වූ දුක යැ භගිනී මරණයෙන් වූ දුක යැ පුත්‍රමරණයෙන් වූ දුක යැ දුහිතෘමරණයෙන් වූ දුක යැ ඥාතිව්‍යසනයෙන් වූ දුක යැ භොගව්‍යසන දුක යැ ශීලව්‍යසන දුක යැ දෘෂ්ටිව්‍යසන දුක යි.(රූපාදි) යම් ධර්‍ම කෙනෙකුන් ගේ ආදියෙහි (පළමු) ඉපදීම පැනේ ද අස්තඞ්ගම (භවඞ්ග) යෙන් නිරුද්ධ වීම පැනේ ද, (කුශලාකුශල) විපාකය තෙමේ කර්‍මය ඇසුරු කෙළේ ද (කුශලාකුශල) කර්‍මය තෙමේ විපාකය ඇසුරු කෙළේ ද, (පඤ්චවෝකාරයෙහි) රූපය නාමය ඇසුරු කෙළේ ද නාමය රූපය ඇසුරු කෙළේ ද, (යම් දහමක්) ජාතිය විසින් ලුහු බඳනා ලද ජරාව විසින් අනුව හැසිරෙන ලද ව්‍යාධි විසින් මඩනා ලද මරණය විසින් නස්නා ලද වේ ද, දුකෙහි පිහිටියේ ද, ත්‍රාණ-ලෙන-සරණ රහිත ද අසරණ වූයේ ද මේ ‘දුක්’ යයි කියනු ලැබේ. මේ දුක ලෝ වැසියාහට භය-මහද්භය-පීඩන-ඝටන-උපද්‍රව-උපසර්‍ග වේ නුයි ‘දුක්ඛමස්ස මහබ්භයං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අවිජ්ජා නිවුතො ලෝකෝ -පෙ- දුක්ඛමස්ස මහබ්භයං” යී.
1. 3.
(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) හැම තන්හි (තෘෂ්ණාදි) ස්‍රෝතස්හු (රූපාදි ආයතනයන්හි) ගලා යෙති, ස්‍රෝතසුන් ගේ ආවරණය කවරැ? ස්‍රෝතසුන්ගේ සංවරය වදාළ මැනැව කවර දහමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද? (පසිඳනු ලැබෙත් ද?)
සවන්ති සබ්බධි සෝතා යනු: ‘සෝත’ යනු තෘෂ්ණා ස්‍රොතස (නදිය) දෘෂ්ටිස්‍රොතස ක්ලේශස්‍රොතස දුශ්චරිත ස්‍රොතස අවිද්‍යා ස්‍රොතස. සබ්බධි යනු: හැම ආයතනයන්හි සවන්ති යනු: වැගිරෙති (උපදිති) යට බලා යෙති ගලායෙති පුනපුනා පවතිත්. ඇස කෙරෙන් රූපවිෂයයෙහි (තෘෂ්ණා ස්‍රෝතස්හු) වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. කනින් ශබ්ද විෂයයෙහි වැගිරෙති නැහැයෙන් ගන්ධවිෂයයෙහි වැගිරෙති...දිවින් රසවිෂයයෙහි වැගිරෙති...කයින් ස්ප්‍රෂ්ටව්‍යවිෂයයෙහි වැගිරෙති...මනසින් ධර්‍මවිෂයයෙහි වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. ඇසින් රූපතෘෂ්ණා (ස්‍රෝතස්හු) වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. කනින් ශබ්දතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත් නැහැයෙන් ගන්‍ධතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. දිවින් රස තෘෂ්ණාව වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. කයින් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. මනසින් ධර්‍මතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත් නුයි ‘සවන්ති සබ්බධි සෝතා’ යනු වේ.
ඉච්චායස්මා අජිතො යන්නෙහි ‘ඉච්ච’ යනු පදසන්ධි යැ ... තෙල ‘ඉච්ච’ යනු පදානුපූර්‍වතා යැ. ආයස්මා යනු: ප්‍රියවචන යැ ... අජිතො යනු ඒ බමුණාගේ නම යැ ... අභිලාපය වේ නුයි ‘ඉච්චායස්මා අජිතො’ යනු වේ.
සෝතානං කිං නිවාරණං යනු: ස්‍රොතසූන්ට කිමෙක් ආවරණ (ඇවිරීම) යැ නීවරණ (වැසීම) යැ සංවරණ යැ රක්ෂණ යැ ගෝපන යැ නුයි ‘සෝතානං කිං නිවාරණං’ යනු වේ.
සෝතානං සංවරං බ්‍රෑහි යනු: ආවරණය නීවරණය සංවරණය රක්‍ෂණය ගෝපනය, බ්‍රෑහි- වදාළ මැනැව දෙසුව මැනැව පැනවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ තළ මැනැව නුයි ‘සෝතානං සංවරං බ්‍රෑහි’ යනු වේ. කෙන සෝතා පිථියරෙ යනු: කිමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද පසිඳනු ලැබෙත් ද නො වැගිරෙත් ද යට බලා නො යෙත් ද නොගලත් ද පුනපුනා නො පවතිත් දැයි ‘කෙන සෝතා පිථියරෙ’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“සවන්ති සබ්බධි සෝතා -පෙ- කෙන සෝතා පිථියරෙ” යි.
1. 4.
(බුදුහු මෙසේ වදාළහ: අජිතය) ලොවැ යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද ස්මෘතිය ඔවුනට ආවරණය වෙයි. (එ මැ ස්මෘතිය) ස්‍රෝතසුන් ගේ සංවරය යි කියමි, (මාර්‍ග) ප්‍රඥාව විසින් තුලුහු පියනු (පසිඳනු) ලැබෙත්.
යානි සෝතානි ලෝකස්මිං යනු: තෙල යම් ස්‍රෝතස් කෙනෙක් මා විසින් කීර්‍තනය කරන ලද්දාහු ප්‍රකීර්තනය කරන ලද්දාහු කියන ලද්දාහු දෙසන ලද්දාහු පනවන ලද්දාහු පිහිටුවන ලද්දාහු විවෘත කරන ලද්දාහු විභාග කරන ලද්දාහු නො ගැඹුරු කරන ලද්දාහු ප්‍රකාශ කරන ලද්දාහු ද, ඒ කෙසේ යැ යත්: තෘෂ්ණා ස්‍රොතස යැ දෘෂ්ටි ස්‍රොතස යැ ක්ලේශස්‍රොතස යැ දුශ්චරිතස්‍රොතස යැ අවිද්‍යා ස්‍රොතස යි. ලෝකස්මිං යනු අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දිව්‍යලෝකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතනලෝකයෙහි නුයි ‘යානි සෝතානි ලෝකස්මිං’ යනු වේ. අජිත යනු: බුදුහු ඒ බමුණු නමින් අමතති.
සති තෙසං නිවාරණං යන්නෙහි- සති යනු: යම් සිහියෙක් පුනපුනා සිහි කිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහිකිරීමෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන බවෙක් ධරන බවෙක් (අරමුණෙහි) බැසගන්නා බවෙක් විස්මෘත නො කරන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්ගයෙක් වේ ද මේ ‘ස්මෘති’ යයි කියනු ලැබේ. නිවාරණං යනු: ආවරණ යැ නීවරණ යැ සංවරණ යැ රක්ෂණ යැ ගෝපන යැ නුයි “සති තෙසං නිවාරණං” යනු වේ.
සෝතානං සංවරං බ්‍රෑමි යනු: ස්‍රෝතසුන්ගේ ආවරණය නීවරණය සංවරණය රක්‍ෂණය ගෝපන යි, බ්‍රෑමි: කියමි ... නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘සෝතානං සංවරං බ්‍රෑමි’ යනු වේ.
පඤ්ඤායෙතෙ පිථියරෙ යන්නෙහි: ‘පඤ්ඤා’ යනු යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් අමෝහයෙක් දහම් විමසීමෙක් ... සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද එයයි. පඤ්ඤායෙතෙ පිථියරෙ යනු: ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු (වසනු) ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
‘හැම සංස්කාරයෝ අනිත්‍යහ යි දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු වසනු ලැබෙති. පසිඳිති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නොපවතිත්. ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්. ‘හැම සංස්කාරයෝ අනාත්මහ’ යි දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුන පුනා නො පවතිත්.
‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නොවැගිරෙති යට බලා නොයෙති නො ගලති පුනපුනා නො පවතිත්. ‘සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ’ යයි ... ‘විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වේ’ යයි ... “නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වේ” යයි ... ‘ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වේ’ යයි ... ‘ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වේ’ යයි ... වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ’ යයි ... ‘තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වේ’ යයි... “උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ’ යයි ... “භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ’ යයි ... ‘ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යයි’ දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නොවැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ’ යයි ... ‘සංස්කාර නිරෝධයෙන් විඥානනිරෝධය වේ’ යයි ... විඥානනිරෝධයෙන් නාමරූප නිරෝධය වේ’ යයි ... ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ’ යයි ... ‘ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශ නිරෝධය වේ’ යයි ... ‘ස්පර්‍ශ නිරෝධයෙන් වේදනානිරෝධය වේ, යයි ... ‘වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වේ යයි ... ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ’ යයි ... ‘උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ’ යයි ... භව නිරෝධයෙන් ජාතිනිරොධය වේ’ යයි ... ‘ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ’ යයි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
‘මේ දුකැ’ යි ... ‘මේ දුඃඛසමුදයැ’ යි ...‘මේ දුඃඛනිරෝධයැ’ යි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා’ යි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
‘මොහු ආස්‍රවය’ යි ... ‘මේ ආස්‍රව සමුදය’ යි ... ‘මේ ආස්‍රවනිරොධය’ යි ... ‘මේ ආස්‍රවනිරොධගාමිනීප්‍රතිපදා’ යි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
‘මේ ධර්‍මයෝ ස්වලක්ෂණාවබෝධයෙන් දතයුත්තාහ’ යි ... ‘මේ ධර්‍මයෝ සාමාන්‍ය ලක්ෂණාවබෝධයෙන් දතයුත්තාහ’ යි ... ‘මේ ධර්‍මයෝ ප්‍රහාතව්‍යහ’ යි ... ‘මේ ධර්‍මයෝ භාවිතව්‍යහ’ යි ... ‘මේ ධර්‍මයෝ සාක්‍ෂාත් කර්තව්‍යහ’ යි දන්නහු ගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
ෂඩ්විධ ස්පර්‍ශායතනයන්ගේ සමුදය (ප්‍රත්‍යය) ද අස්තගමන ද අනුසසුදු දොසුදු නිර්ගමනදු දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳිනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
පඤ්ච උපාදානස්කන්‍ධයන්ගේ සමුදය ද අස්තගමන ද අනුසසුදු දොසුදු නිර්ගමන දු දන්නහුගේ දක්නහුගේ...සතර මහාභූතයන්ගේ සමුදය ද අස්තගමන ද අනුසසුදු දොසුදු නිර්ගමන දු දන්නහුගේ දක්නහුගේ ... සමුදය ස්වභාවය ඇති යම් කිසිවක් වේ නම් එහැම නිරෝධස්වභාවය ඇත්තේ යයි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පිසනු ලැබෙති පසිඳිනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත් නුයි “පඤ්ඤායෙතෙ පිථියරෙ” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යානි සෝතානි ලෝකස්මිං -පෙ- පඤ්ඤායෙතෙ පිථියරෙ” යී.
1. 5.
(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන සියල්ල කොහි නිරුද්ධ වේ ද?නිදුකාණෙනි, මා විසින් පුළුවුස්නාලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළ මැනැව.
පඤ්ඤා චෙව සතීචාපි යන්නෙහි ‘පඤ්ඤා’ යනු: යම් ප්‍රඥායෙක් ප්‍රජනනාකාරයෙක් විමසීමෙක් ප්‍රකර්ෂයෙන් විමසීමෙක් දහම් විමසීමෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්ෂණයෙක් පණ්ඩිත බවෙක් කෞශල්‍යයෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් (අනිත්‍යාදීන් පිරික්සන) උපපරීක්‍ෂායෙක් (පෘථිවිය වැනි හෙයින්) භූරීප්‍රඥායෙක් (කෙලෙසුන් නසන) මේධායෙක් (සම්ප්‍රයුක්තධර්මයන් මෙහෙයන) පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග් ඥානයෙක් (සිත වීථියට නඟන) පතෝද ප්‍රඥායෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලොකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. සති යනු: යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ දැ’ යි “පඤ්ඤා චෙව සතී චාපි” යනු වේ. ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.
නාමරූපඤ්ච මාරිස යන්නෙහි: “නාමං” යනු: සතර අරූප ස්කන්‍ධයෝ යැ, රූපං යනු සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. මාරිස යනු: තෙල මාරිස යනු ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව වචන යැ සප්‍රතිශ්‍රයට නමෙක් නුයි “නාමරූපඤ්ච මාරිස” යනු වේ.
එතං මෙ පුට්ඨො පබ්‍රෑහි යනු: “එතං මෙ” යනු යමක් පුළුවුසීම් ද යමක් අයදීම් ද යමක් අධ්‍යෙෂණ කෙරෙම් ද යම් කරුණකට පහදවම් ද (තෙල කරුණ) පුට්ඨො යනු: පුළුවුස්නා ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු, (මුඹ වහන්සේ) පබ්‍රෑහි යනු: කිව මැනැව පැවැසුව මැනැව දෙසුව මැනැව පැනවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ කළ මැනැව යි “එතං මෙ පුට්ඨො පබ්‍රෑහි” යනු වේ.
කත්‍ථේතං උපරුජ්ඣති යනු: තෙල නාමරූපය කොහි නිරුද්ධ වේ ද නිවේ ද අභාවයට යේ ද සන්හිඳේ දැ යි “කත්‍ථේතං උපරුජ්ඣති”යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“පඤ්ඤා චෙව සතී චාපි -පෙ- කත්‍ථේතං උපරුජ්ඣති” යි.
1. 6.
අජිත තෙපි යම් පැනයක් විචාළ වු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද (පශ්චිම) විඥානයා ගේ නිරෝධය හා මැ (පෙරපසු නො වැ) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි (විඥාන නිරෝධය ඉක්ම නො යෙයි.)
යමෙතං පඤ්හං අපුච්ජි යනුයෙහි: “යමෙතං” යනු ප්‍රඥාව ද ස්මෘතිය ද නාමරූපය ද, අපුච්ජි යනු විචාළ වු අයැදියවු අධ්‍යෙෂණ කළ වු පැහැදවූවහු නු යි “යමෙතං පඤ්හං අපුච්ජි” යනු වේ.
අජිත තං වදාමි තෙ යනු: බුදුහු ඒ බමුණු නමින් අමතති. තං යනු: ප්‍රඥාව ද ස්මෘතිය ද නාමරූපය ද, වදාමි යනු කියමි පවසමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙමි නුයි “අජිත තං වදාමි තෙ” යනු වේ.
යත්‍ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති යනු: “නාමං” යනු සතර අරූපස්කන්ධයෝ යැ. රූපං යනු සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද, අසෙසං යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘අසෙසං’ යනු. උපරුජ්ඣති යනු නිරුද්ධ වෙයි නිවෙයි අභාවයට යෙයි සන්හිඳේ නුයි “යත්‍ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති” යනු වේ.
විඤ්ඤාණස්ස නිරොධෙන එත්‍ථෙතං උපරුජ්ඣති යනු: සෝවන් මඟනැණින් අභිසංස්කාරවිඥානය (කුශලාකුශලසම්ප්‍රයුක්ත චිත්තයා) ගේ (අභව්‍යොත්පත්ති විසින්) නිරුද්ධ වීමෙන් සප්ත භවයන් තබා අනවරාග්‍ර සංසාරවෘත්තයෙහි නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල සෝවන් මාර්‍ගයෙහි තෙල නාම රූපධර්මයෝ (අභව්‍යොත්පත්ති විසින්) නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. සෙදගැමිමඟනැණින් අභිසංස්කාරවිඥානයාගේ නිරුද්ධ වීමෙන් භව දෙකක් තබා පඤ්චභවයන්හි නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල සෙදගැමි මාර්‍ගයෙහි තෙල නිමරූපධර්මයෝ නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. අනගැමි මඟනැණින් අභිසංස්කාර විඥානයාගේ නිරුද්ධ වීමෙන් එක් භවයක් තබා රූපධාතු යෙහි වේව යි අරූපධාතුයෙහි වේවයි නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල අනගැමි මාර්‍ගයෙහි තෙල නාමරූපධර්මයෝ නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. රහත් මඟනැණින් අභිසංස්කාර විඥානය නිරුද්ධ වීමෙන් නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල රහත් මාර්‍ගයෙහි තෙල නාමරූප ධර්‍මයෝ නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන රහත්හුගේ පශ්චිම විඥානයාගේ (ච්‍යුති චිත්තයාගේ) නිරෝධයෙන් ප්‍රඥාව ද ස්මෘතිය ද නාමය ද රූපය ද යන තෙල ධර්‍මයෝ තෙල අර්‍හන්මාර්‍ගයෙහි නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත් නුයි “විඤ්ඤාණස්ස නිරොධෙන එත්‍ථෙතං උපරුජ්ඣති” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යමෙතං පඤ්හං අපුච්ඡි -පෙ- එත්‍ථෙතං උපරුජ්ඣති” යී.
1. 7.
නිදුකාණෙනි,මෙ ලොවැ (අනිත්‍යාදි විසින්) විමසන ලද ධර්‍ම ඇති යම් (රහත්) කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් ද මා විසින් පුළුවුස්නා ලද (ශෛක්‍ෂාශෛක්‍ෂධර්‍මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මට වදාළ මැනැව.
යෙ ව සඞ්ඛාතධම්මා සෙ යනු: “සඞ්ඛාතධම්මා” යි (අනිත්‍යාදි විසින් විමසූ දහම් ඇති) අර්‍හත් ක්ෂීණාස්‍රවයෝ කියනු ලැබෙති. කවර කරුණින් අර්‍හත් ක්ෂීණාස්‍රවයෝ “සඞ්ඛ්‍යාතධර්‍ම” යි කියනු ලැබෙත් ද යත්: ඔහු විමසූ දහම් ඇතියහ, දන්නා ලද දහම් ඇතියහ, තුලනය කරන ලද දහම් ඇතියහ, තීරණය කරන ලද දහම් ඇතියහ, ප්‍රකට කළ දහම් ඇතියහ, විභාවනය කරන ලද දහම් ඇතියහ, “හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විමසූ දහම් ඇතියහ, දන්නා ලද දහම් ඇතියහ, තුලනය කරන ලද දහම් ඇතියහ, තීරණය කරන ලද දහම් ඇතියහ, ප්‍රකට කළ දහම් ඇතියහ, විභාවන කරන ලද දහම් ඇතියහ. ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි විමසූ දහම් ඇතියහ ... ‘හැම සංස්කාරයෝ අනාත්මහ’ යි විමසූ දහම් ඇතියහ ... ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්’ යයි විමසූ දහම් ඇතියහ ... ‘සමුදය ස්වභාවය ඇති යම් කිසිවක් වේ නම් එහැම නිරෝධ ස්වභාවය ඇත්තේ යැ’ යි විමසූ දහම් දන්නා ලද දහම් තුලනය කරන ලද දහම් තීරණය කරන ලද දහම් ප්‍රකට කරන ලද දහම් විභාවනය කරනලද දහම් ඇතියහ, නොහොත් ඔවුන් විසින් ස්කන්‍ධයෝ ප්‍රකාශ කරන ලදහ, ධාතූහු ප්‍රකාශ කරන ලදහ, ආයතනයෝ ප්‍රකාශ කරන ලදහ, ගතීහු ප්‍රකාශ කරන ලදහ, උත්පත්තීහු ප්‍රකාශ කරන ලදහ, ප්‍රතිසන්ධිය ප්‍රකාශ කරන ලද යැ, භවයෝ ප්‍රකාශ කරන ලදහ, සංසාරයෝ ප්‍රකාශ කරන ලදහ, වෘත්තයෝ ප්‍රකාශ කරන ලදහ, නොහොත් ඔහු ස්කන්ධපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ධාතු පර්‍ය්‍යන්තයෙහි- ආයතන පර්‍ය්‍යන්තයෙහි- ගතිපර්‍ය්‍යන්තයෙහි- උත්පත්තිපර්‍ය්‍යන්තයෙහි- ප්‍රතිසන්ධි පර්‍ය්‍යන්තයෙහි- භව පර්‍ය්‍යන්තයෙහි-සංසාර පර්‍ය්‍යන්තයෙහි- වෘත්ත පර්‍ය්‍යන්තයෙහි- අන්තිමභවයෙ හි- අන්තිම ශරීරයෙහි සිටියහ, රහත් හු අන්ති ම දෙහධරයෝ යි.
1. “ඔවුන්ගේ මේ පශ්චිම කොටිය (කෙළවර) වෙයි, මේ පශ්චිම ශරීරය යි, ජාතිමරණ සංසාරය, පුනර්‍භවය ඔවුනට නැතැ’ යි”.
එ කරුණින් අර්‍හත් ක්ෂීණාස්‍රයෝ ‘සඞ්ඛ්‍යාතධර්ම’ යි කියනු ලැබෙති ‘යෙ ච සඞ්ඛාතධම්මාසෙ’ යනු වේ.
යෙ ච සෙඛා පුථූ ඉධ යනු: ‘සෙඛා’ යි කවර කරුණින් ‘ශෛක්‍ෂයෝ’ යි කියනු ලැබෙති යත්: හික්මෙත් (ශික්ෂාගනිත්) නුයි ශෛක්‍ෂ නම් වෙත්. කුමක් හික්මෙති යත්. අධිශීලය (අධිශීලයෙහි) ද හික්මෙති, අධිචිත්තය ද හික්මෙති, අධිප්‍රඥාව ද හික්මෙත්. අධිශීලක්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සමන්‍වාගත වූයේ ආචාර ගෝචර සම්පන්න වැ අල්පමාත්‍ර වූ අකුශල ධර්‍මයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි, (ඒ ඒ ශික්‍ෂාපදය) මනාකොට ගෙන (සමාදන් වැ) ශික්‍ෂා කොට්ඨාසයෙහි හික්මෙයි, ක්ෂුද්‍ර වූ ශීලස්කන්‍ධය ද මහත් වූ ශීලස්කන්‍ධය ද ශීල යැ කුශල ධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා යැ ආදි යැ පාද යැ සංයම යැ සංවර යැ මුඛ (ප්‍රධාන) යැ ප්‍රමුඛ යි. මේ ‘අධිශීලශික්‍ෂා’ යි.
අධිචිත්තශික්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කෙරේ. මේ අධිචිත්තශික්ෂා යි.
අධිප්‍රඥාශික්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ උදයව්‍යය ගාමිනී වූ ආර්‍ය (නිර්දෝෂ) වූ නිර්වේද පක්‍ෂයෙහි වූ මනාසේ නිවනට පමුණුවන්නා වූ නුවණින් පරිපූර්‍ණ වූයේ ප්‍රඥාවත් වෙයි, හෙතෙම ‘මේ දුකැ’ යි තතු සේ දැනගනියි. මේ ‘දුක්සමුදය’ යි ... මේ දුක්නිරොධ යයි ... මේ ‘දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැ’ යි තතු සේ දැනගනී. මොහු ‘ආස්‍රවයහ’ යි ... මේ ‘ආස්‍රවසමුදය’ යි ... මේ ‘ආස්‍රවනිරොධ’ යි ... මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’ යි තතු සේ දැනගනී. මේ අධිප්‍රඥාශික්ෂා යි.
මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙති, දනිමින් හික්මෙති දකිමින් හික්මෙති, ප්‍රත්‍යවේක්ෂා කෙරෙමින් හික්මෙති, සිත පිහිටුවමින් හික්මෙති, සැදැහැයෙන් ඇලෙමින් හික්මෙති, වීර්‍ය්‍යය දැඩි වැ ගනිමින් හික්මෙති, සිහි එළවමින් හික්මෙති, සිත එකඟ කෙරෙමින් හික්මෙති, ප්‍රඥායෙන් දැනගනිමින් හික්මෙති, ස්වභාව ලක්ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වභාවලක්‍ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙති, සාමාන්‍ය ලක්ෂණවබොධයෙන් දතයුත්ත සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙති, හළයුතු සමුදය හැරපියමින් හික්මෙති, වැඩියයුතු මඟ වඩමින් හික්මෙති, පසක් කළයුතු නිවන පසක් කෙරෙමින් හික්මෙති, හැසිරෙති, මොනොවට හැසිරෙති, මොනොවට ගෙන පවතිත්. එකරුණින් ‘ශෛක්‍ෂහ’ යි කියනු ලැබෙත්.
පුථූ යනු: බොහෝ වූ තෙල ශෛක්‍ෂයෝ සෝවන්හු ද එමඟට පිළිපන්හු ද සෙදගැමිහු ද එමඟට පිළිපන්හු ද අනගැමිහු ද එමඟට පිළිපන්හු ද රහත්මඟට පැමිණියාහු ද එමඟට පිළිපන්හු ද,
ඉධ යනු: මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ අත්බව්හි මේ මිනිස්ලොවැ නුයි ‘යෙ ච සෙඛා පුථූ ඉධ’ යනු වේ.
තෙසං මේ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි මාරිස යනු: යම් හෙයකින් මුඹ වහන්සේ නිපුණ ද පණ්ඩිත ද පැනැති සේක් ද බුද්ධිමත් සේක් ද නැණැති සේක් ද ගූඪාර්ථ ප්‍රකට කොට දන්නාසේක් ද තුලිතඥාන ඇති සේක් ද (එහෙයින්) තෙසං: ඒ රහතුන්ගේ ද ශෛක්‍ෂයන්ගේ ද ඉරියං යනු: චර්‍ය්‍යාව වෘත්තිය පැවැත්ම ආචාරය ගෝචරය විහරණය ප්‍රතිපදාව, පුට්ඨො යනු: පුළුවුස්නා ලදහු විචාරන ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු, පබ්‍රෑහි යනු කිව මැනැව පැවැසුව මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ කළ මැනැව. මාරිස යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරවවචන යැ, තෙල මාරිස යනු සප්‍රතිශ්‍රයට නමෙක් නුයි, ‘තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි මාරිස’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“යෙ ච සඞ්ඛාතධම්මා සෙ -පෙ- පුට්ඨො පබ්‍රෑහි මාරිස” යි.
1. 8.
කාමයෙහි ගිජු නො වන්නේ යැ සිතින් නො කැළඹුණෙක් වන්නේ යැ සියලු දහම්හි දක්‍ෂ වූ මහණ තෙම ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යි.
කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය යනු: ‘කාමා’ යි විස්තර විසින් වස්තුකාමයෝ යැ ක්ලේශකාමයෝ යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති. වස්තු කාමයෝ කවරහ යත්: මනවඩන රූපයෝ යැ මනවඩන ශබ්දයෝ යැ මන වඩන ගන්‍ධයෝ යැ මනවඩන රසයෝ යැ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ අතුරුණු යැ පොරෝන යැ දැසි දස්හු යැ එළු බැටෙළු යැ හූරු කුකුළු යැ ඇත් අස් ගව වෙළඹහු යැ කෙත් යැ වතු යැ කහවණු යැ රන් යැ ගම් නියම්ගම් රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගෙ යැ යම් කිසි ඇලුම් කටයුතු වස්තු යැ (යන) මොහු වස්තුකාමයෝ යැ.
තවද, අතීත කාමයෝ යැ අනාගත කාමයෝ යැ වර්තමානකාමයෝ යැ අධ්‍යාත්ම කාමයෝ යැ බාහ්‍ය කාමයෝ යැ අධ්‍යාත්මබාහ්‍ය කාමයෝ යැ හීන කාමයෝ යැ මධ්‍යම කාමයෝ යැ ප්‍රණීත කාමයෝ යැ සතර අපායෙහි වූ කාමයෝ යැ මිනිස් ලොවැ වූ කාමයෝ යැ දෙව්ලොවැ වූ කාමයෝ යැ එළඹ සිටි කාමයෝ යැ (අරමුණු මවා රමණය කරන) නිර්මිත කාමයෝ යැ පරනිර්මිත කාමයෝ යැ අනිර්මිත (පියවින් පිළියෙල වූ) කාමයෝ යැ (මේ මාගේ යැයි) පිළිගත් කාමයෝ යැ (එසෙයින්) නො පිළිගත් කාමයෝ යැ මේ මාගේ යැ යි ගත් කාමයෝ යැ (එසේ නො ගත්) අමමායිත කාමයෝ යැ සියලු මැ කාමාවචර ධර්‍මයෝ යැ සියලු මැ රූපාවචර ධර්‍මයෝ යැ සියලු මැ අරූපාවචර ධර්‍මයෝ යැ තෘෂ්ණාවට කරුණු වූ තෘෂ්ණාවට අරමුණු වූ (ධර්‍මයෝ) ප්‍රාර්‍ත්‍ථනා කළයුතු අර්‍ත්‍ථයෙන් ඇලීමට යොග්‍යාර්ත්ථ යෙන් (කුලමදාදි) මද ඉපැදවියයුතු අර්‍ත්‍ථයෙන් කාමයෝ යි, මොහු වස්තුතාමයෝ යි කියනු ලැබෙත්.
ක්ලේශකාමයෝ කවරහ යත්: ඡන්‍දය කාම යැ රාගය කාම යැ ඡන්‍දරාගය කාම යැ සංකල්පය කාම යැ රාගය කාම යැ සංකල්පරාගය කාම යැ පඤ්චකාමගුණයෙහි යම් කාමසඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් කාමගෙධයෙක් (කාමයෙහි ගිජු බවෙක්) කාමමූර්ඡායෙක් කාමයන්හි ඇතුළු වීමෙක් කාමසඞ්ඛ්‍යාත ඕඝයෙක් කාමයෝගයෙක් කාමෝපාදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද.
2. කාමය, තා ගේ මුල දිටිමි, තෝ සංකල්පය හේතු කොට ගෙන උපදනෙහි, (දැන් මම) තා නො පතමි, කාමය මෙසෙයින් තෝ නූපදනෙහියැ යි.
මොහු ක්ලේශකාමයෝ යී කියනු ලැබෙත්.
ගේධ යී තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක්, බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එය යි.
කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය යනු: ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ගිජු නො වන්නේ යැ, ලෝභ නො කරන්නේ යැ, ගිජු නො වූයෙක් නො ගෙතුණෙක් මුසපත් නො වූයෙක් නො වතුළෙක් වන්නේ යැ, දුරු කළ ගේධ ඇතියෙක් පහ වූ ගේධ ඇතියෙක් හරන ලද ගේධ ඇතියෙක් වමාළ ගේධ ඇතියෙක් මුදාලු ගේධ ඇතියෙක් ප්‍රහීණ වූ ගේධ ඇතියෙක් දුරැලූ ගේධ ඇතියෙක් වන්නේ යැ,දුරු කළ රාග ඇතියෙක් පහ වූ රාග ඇතියෙක් හරන ලද රාග ඇතියෙක් වමාළ රාග ඇතියෙක් මුදාලූ රාග ඇතියෙක් පුහුන් රාග ඇතියෙක් දුරැලූ රාග ඇතියෙක් තෘෂ්ණා රහිතයෙක් (තෘෂ්ණා සියන් නැතියෙක් හෝ) නිවියෙක් සිහිල් වූයෙක් (කායිකචෛතසික) සුව විඳුනා සුල්ලෙක් වන්නේ යැ, උත්තම ස්වභාවය ඇති සිතින් යුතු වැ වාසය කරන්නේ යැ නුයි ‘කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය’ යනු වේ.
මනසා නාවිලො සියා යනු: ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක්, හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපමනොවිඥාන ධාතුයෙක් වේ ද එය යි. කායදුශ්චරිතයෙන් සිත නො පහන් වූයේ කැළඹුණේ කම්පිත වූයේ (අරමුණෙහි) ගැටුණේ සැලුණේ භ්‍රාන්ත වූයේ නො සන් හිඳුණේ වෙයි. වාග්දුශ්චරිතයෙන් ... මනෝදුශ්චරිතයෙන් ... රාගයෙන් ... ද්වේෂයෙන් ... මෝහයෙන් ... ක්‍රෝධයෙන් ... උපනාහයෙන් ... මකු බැවින් ... පලාසයෙන් ... ඊර්‍ෂ්‍යායෙන් ... මාත්සර්‍ය්‍යයෙන් ... සඨ බැවින් ... ස්තම්භයෙන් ... සාරම්භයෙන් ... මානයෙන් ... අතිමානයෙන් ... මදයෙන් ... ප්‍රමාදයෙන් ... හැම කෙලෙසුන් ගෙන් ... හැම දුසිරිතින් ... හැම දරථයෙන් ...
හැම පරිදාහයන්ගෙන් ... හැම සන්තාපයන්ගෙන් ... හැම අකුශලාභිසංස්කාරයන්ගෙන් සිත නො පහන් වූයේ කැළඹුණේ කම්පිත වූයේ ගැටුණේ සැලුණේ බැමුණේ නො සන්හිඳුණේ වෙයි. මනසා නාවිලො සිය යනු සිතින් නො පහන් වූයෙක් නො කැළඹුණෙක් කම්පිත නො වූයෙක් නො ගැටුණෙක් නො සැලුණෙක් නො බැමුණෙක් සන්හිඳුණෙක් වන්නේ යැ, නො පහන් බව කරන කෙලෙසුන් හැරපියන්නේ යැ, බැහැර කරන්නේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනු අභාවයට පමුණු වන්නේ යැ. තවද, නො පහන් බව කරන කෙලෙසුන් කෙරෙන් දුරින් දුරුවූයේ නො ඇලුණේ සියලු ලෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ (එක් වැ නො යෙදුණු) සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘මනසා නාවිලො සියා’ යනු වේ.
කුසලො සබ්බධම්මානං යනු: ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි හැම දහම්හි දක්‍ෂ වූයේ, ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’ යි හැම දහම්හි දක්‍ෂ වූයේ, ‘හැම සංස්කාරයෝ අනාත්මයහ’ යි හැම දහම්හි දක්‍ෂ වූයේ, ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’ හැම දහම්හි දක්‍ෂ වූයේ, ... සමුදය ස්වභාව ඇති යම් කිසිවක් වේ නම් එ හැම නිරෝධස්වභාව ඇත්තේ යයි හැම දහම්හි දක්‍ෂ වූයේ නුයි මෙසේ ත් ‘තුසලො සබ්බධම්මානං’ යනු වේ.
නොහොත් අනිත්‍ය හෙයින් හැම දහම්හි දක්‍ෂ වූයේ දුක් හෙයින් ... රෝග හෙයින් ... ගණ්ඩ හෙයින් ... ශල්‍ය හෙයින් ... අඝ (දුක්) හෙයින් ... ආබාධ හෙයින් ... පර (අවසඟ) හෙයින් ... බිඳෙන හෙයින් ... ව්‍යසන හෙයින් ... උපද්‍රව හෙයින් ... භය හෙයින් ... උපසර්‍ග හෙයින් ... චල හෙයින්- බිඳෙන සුලු හෙයින් ... අධ්‍රැව හෙයින් ... අත්‍රාණ හෙයින් ... අලෙන හෙයින් ... අශරණ හෙයින් ... අශරණී භූත හෙයින් ... සිස් .. තුච්ඡ ... ශූන්‍ය ... අනාත්ම ... ආදීනව ... විපරිනාමස්වාභාව ... අසාර ... අඝමූල ... වධක ... විභව ... සාස්‍රව ... හෙතුප්‍රත්‍යයාභිසංස්කෘත ... මාරාමිෂ ... ජාතිධර්‍ම ... ජරාධර්‍ම ... ව්‍යාධිධර්‍ම ... මරණධර්‍ම ... ශොකපරිදෙවදුඃඛදෞර්මනස්ස්‍යොපායාසධර්ම ... සාංක්ලෙශිකධර්ම ... සමුදයධර්‍ම ... අස්තඞ්ගම ... ආස්වාද ... ආදීනව ... නිස්සසරණ හෙයින් හැම දහම්හි දක්‍ෂ වූයේ නුයි මෙසේ ත් ‘කුසලො සබ්බධම්මානං’ යනු වේ.