Cūḷaniddesa

Lesser Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1940 segments

Showing entries 101-200 of 1940

5-2. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි ම නුවණැති වැ සිහි ඇති වැ උත්සාහ කරව. මෙහි මාගේ වචන අසා තමාගේ කෙලෙස් නිවනු පිණිස (ත්‍රිවිධ ශික්‍ෂාහි) හික්මෙන්නේ යැ.
5-3. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම දෙව් මිනිස් ලොවැ හැසිරෙන පලිබොධ රහිත වූ (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ දෙවාති දේවයන් දකිමි. සමතැස් ඇතියාණෙනි. එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්‍යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනැව.
5-4. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ලොවැ විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට මම නො හැක්කෙමි, නොහොත් උත්සාහ නො කෙරෙමි. තෙපි ශ්‍රේෂ්ඨ ධර්‍මය (නිවන) දන්මින් මෙසේ මේ ඕඝය තරණය කරන්නවු යැ.
5-5. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) ශ්‍රේෂ්ඨයන් වහන්ස, මම යම් සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ නිර්‍වාණ ධර්‍මයක් දැනගන්නෙම් නම් යම්සේ මම් ආකාශය සෙයින් නානාප්‍රකාර බවට නො පැමිණෙන්නෙම්, මෙ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුනෙම්, (තෘෂ්ණා-දෘෂ්ටි) නිශ්‍රය රහිත වැ හැසිරෙන්නෙම් නම් එසෙයින් (මට) අනුකම්පා කෙරෙමින් අනුශාසන කළ මැනව.
5-6. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බව්හි මැ ආත්මප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණ ධර්‍මය (ද නිර්‍වාණගාමිනී ප්‍රතිපද් ධර්‍මය ද) තොපට ප්‍රකාශ කරන්නෙමි.
5-7. (ආයුෂ්මත් ධෝතක මෙසේ කී:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා) ව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේ ගේ ඒ ධර්මද්‍යොතක වචනය ද රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.
5-8. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍ම ජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග (ලග්නා තැන) යැ යි දැනැ කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව යි.
ධෝතක මාණව පෘච්ඡා නිමි.
6. උපසීව මාණව පෘච්ඡා
6-1. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලකු හෝ දහමක් හෝ) ඇසුරු නො කෙළෙම් මහත් වූ (කාමාදි) ඕඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, (යම් පුඟුලකු හෝ දහමක් ඇසුරු කෙළෙම්) මේ කෙලෙස් වතුරු තරණය කෙරෙම් නම් ඒ නිශ්‍රය වදාළ මැනැවි.
6-2. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (අනිත්‍යාදි විසින්) දක්මින් ‘නත්‍ථි කිඤ්චී’යි පැවැති ඒ සමවත ඇසුරු කොට චතුරෝඝය තරණය කර. වස්තුකාම ක්ලේශකාම හැරපියා කථංකථා සඞ්ඛ්‍යාත විචිකිත්සායෙන් වැළැකුණෙහි රෑදාවල්හි තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
6-3. (ආයුෂ්මත් උපසීව මාණවක මෙසේ විචාරයි:) යමෙක් සියලු කාමයන්හි පහ වූ රාග ඇතියේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි වියෝගයට නො යන සුලු වැ සිටිනේ ද?
6-4. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) යමෙක් සියලු කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥා විමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම (එයින්) නො පිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි (කප්සැටදහසක්) සිටිනේ යි.
6-5. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, ඉදින් හෙතෙම එයින් නො පිරිහෙන සුලු වූයේ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටිනේ නම් හෙතෙම එහි මැ දුකින් මිදුණේ ශීතිභාවයට පැමිණියේ එහි මැ සිටිනේ ද එබඳු වූවහු ගේ විඥානය එහි මැ පිරිනිවේ ද?
6-6. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) වාතවේගයෙන් බැහැර කරන (නිවන) ලද ගිනිසිළෙක් යම්සේ අස්තයට යේ ද, (නිවේ ද,) (අසෝ දිගට ගියේ යැ යි) ව්‍යවහාරයට නොයේ ද, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුණේ අස්තයට යෙයි. ක්‍ෂත්‍රියා දි ව්‍යවහාරයට නො යෙයි.
6-7. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) (මුනීන්‍ද්‍රයන් වහන්ස,) ඒ පුද්ගල තෙම අස්තයට ගියේ (නිරුද්ධ වූයේ) නොහොත් අවිද්‍යමාන වූයේ ද? නොහොත් ඒකාන්තයෙන් ශාශ්වතභාවයෙන් අරෝග වූයේ (අවිපරිණාම ස්වභාව, ඇත්තේ) සිටිනේ ද? මුනීන්‍ද්‍රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද එහෙයිනි.
6-8. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්‍රමාණයෙක් නැත. (රාගාදි) යමෙකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත. (ස්කන්‍ධාදි) සියලු දහම් නැසූ කල්හි හැම (ක්ලේශාදි) වාදපථයෝ ද නසන ලදහ’යි.
උපසීව මාණවක පෘච්ඡා නිමි.
7. නන්‍ද මාණවක පෘච්ඡා
7-1. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ‘ලොවැ මුනීහු ඇත්තාහ’යි ජනයෝ කියති. එය කෙසේ ද? (සමාපත්ති-අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැයි කියත් ද? නොහොත් රූක්‍ෂ ජීවිතයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද?
7-2. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මෙ සස්නෙහි (ස්කන්‍ධාදියෙහි) දක්‍ෂයෝ දෘෂ්ටියෙන් ශ්‍රැතියෙන් ඥානයෙන් ‘මුනි’ යැයි නො කියති. යම් කෙනෙක් කෙලෙස් සෙනඟ නසා (රාගාදි) ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් නම් ඔහු ‘මුනීහු’ යැ යි මම කියමි.
7-3. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම් ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, නිදුකාණන් වහන්ස, කිම ඔහු (ඒ දෘෂ්ටිගතිකයෝ) ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වසන්නාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? භාග්‍යවතුන් වහන්ස මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැව.
7-4. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද, වැළිත් ඔහු ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් ජාතියත් ජරාවත් තරණය නො කළාහ’ යි කියමි.
7-5,6. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මේ මහණබමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද, ශීලව්‍රතයෙනුදු, ශුද්ධිය කියත් ද අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද මුනීන්‍ද්‍රයන් වහන්ස, ඉදින් ඒ දෘෂ්ටි ගතිකයන් ඕඝ තරණය නො කළවුනැ’යි වදාරන්න වු නම්, නිදුකාණන් වහන්ස, වැළිත් දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතිය ත් ජරාව ත් තරණය කෙළේ ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැවි.
7-7. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මම් හැම මහණ බමුණහු ජාති ජරා විසින් අවුරන ලදහ’යි නො කියමි. මෙලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටිශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැරපියා හැම අනේකවිධ කොතුහලමඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු ද එ සත්හු ඒකාන්තයෙන් ඕඝතරණය කළාහ යි කියමි.
7-8. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ කියයි:) මහර්ෂී වූ මුඹ වහන්සේ ගේ තෙල වදන් මම් රුස්මි, ගෞතමයන් වහන්ස, උපධි රහිත වූ නිවන මොනොවට ප්‍රකාශ කරන ලද යැ. මෙ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටි ශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රත ශුද්ධිය ද හැරපියා අනේකවිධ වූ හැම කොතුහල මඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු නම් මම ද ඔහු ‘ඕඝතරණය කළාහ’යි කියමි.
නන්‍දමාණව පෘච්ඡා නිමි.
8. හේමක මාණව පෘච්ඡා
8-1. (ආයුෂ්මත් හේමක මාණවක මෙසේ කී:) භාග්‍යවතුන් වහන්ස, පෙර (බාවරී බ්‍රාහ්මණා දි යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’ යි (යම් දහමක් මට ප්‍රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථායෙක. එ හැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනාසුලු යැ. මම් එහි නො ඇලුණෙමි.
8-2. මුනීන්‍ද්‍රයන් වහන්ස, යම් දහමක් දැන සිහි ඇති වැ හැසිරෙනුයේ ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් එබඳු වූ, තෘෂ්ණාව වනසන දහමක් මුඹ වහන්සේ මට වදාළ මැනව.
8-3. හේමක මාණවකය, මෙලො වැ රූපායතන ශබ්දායතන ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත වූ ප්‍රිය ස්වභාවයන්හි ඡන්‍දරාගය දුරු කිරීම ව්‍යුති රහිත වූ නිර්‍වාණපදය වෙයි.
8-4. ස්මෘතිමත් වූ දක්නාලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල අමාමහනිවන (මාර්‍ගඥානයෙන්) දැන (ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු සන්හිඳුණාහු ද වෙත් නම් ඔහු හැම කල්හි ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කළාහු වෙත්.
හේමක මාණව පෘච්ඡා නිමි.
9. තෝදෙය්‍ය මාණව පෘච්ඡා
9-1. (ආයුෂ්මත් තෝදෙය්‍ය මාණවක මෙසේ විචාරයි:) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද, යමක්හට තෘෂ්ණාව නැද්ද, යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහු ගේ විමෝක්‍ෂය කෙබඳු ද?
9-2. (බුදුහු මෙසේ වදාළහ: තෝදෙය්‍ය මාණවකය,) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද, යමක්හට තෘෂ්ණාව නැද්ද, යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමෝක්‍ෂයෙක් නැති.
9-3. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද, හේ ප්‍රඥා ඇතියේ ද නොහොත් (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණා කල්ප දෘෂ්ටිකල්ප කරනුයේ ද, ශාක්‍යයන් වහන්ස, යම්සේ මම් මුනිහු දැනගන්නෙම් නම් සමන්තචක්ෂු වූ භාග්‍යවතුන් වහන්ස, එසෙයින් එකරුණ මට ප්‍රකාශ කළ මැනැව.
9-4. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වෙයි, හේ තෘෂ්ණා සහිත වූයේ නො වෙයි. හේ ප්‍රඥා ඇත්තේ යැ නො ද (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණාකල්ප දෘෂ්ටිකල්ප කරනුයේ වෙයි. තෝදෙය්‍ය මාණවකය, මෙසේ (තෙපි) කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු පලිබොධ නැතියහු ‘මුනි’ යැ යි දැනගනුව’ යි.
තෝදෙය්‍යමාණව පෘච්ඡා නිමි.
10. කප්ප මාණව පෘච්ඡා
10-1. (ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, (පෙර-පර කෙළවරරහිත බැවින්) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඬනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැව. මුඹ වහන්සේ වැළිත් යම්සේ මෙ දුක යළි නො වන්නේ නම් එසෙයින් මට ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි.
10-2. (බුදුහු මෙසේ වදාළහ: කප්පමාණවකය,) මධ්‍ය වූ සසරැ සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව කප්පය තොපට කියමි.
10-3. අපර ප්‍රතිෂ්ඨා රහිත වූ තෙල ප්‍රතිෂ්ඨාව (රාගාදි) කිඤ්චන (පලිබොධ) රහිත යැ, ආදාන (තෘෂ්ණා) රහිත යැ, ජරා මරණ ව්‍යුපශමය වූ එය ‘නිවනැ’ යි කියමි.
10-4. ස්මෘතිමත්වූ දක්නා ලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල නිවන දැන (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවියාහු වෙද්ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිවාරකයෝ) නො වෙත් යයි.
කප්ප මාණව පෘච්ඡා නිමි.
11. ජතුකණ්ණී මාණව පෘච්ඡා
11-1. (ආයුෂ්මත් ජතුකණ්ණීමාණවක මෙසේ විචාරයි:) වීරයන් වහන්ස, මම් මුඹ වහන්සේ (කාමයන් නො කැමැති හෙයින්) අකාමකාමී වූ ඕඝය ඉක්ම වූ කෙනෙකැ යි අසා නිෂකාම වූ භාග්‍යවතුන් පුළුවුස්නට ආයෙමි. සහජාත වූ ඥානචක්‍ෂුස ඇතියාණෙනි ශාන්තිය හා ශාන්තිපදය (නිවන) හා වදාළ මැනැව. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ තථ්‍ය වූ පරිදි වදාළ මැනැවි.
11-2. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ තෙද ඇති හිරු තෙදින් පෘථිවිය සෙයින් කාමයන් මැඬලා වාසය කරන සේක් ද, එහෙයින් මහාප්‍රාඥයන් වහන්ස, මෙහි මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම මඳ නුවණැති වූ මට වදාළ මැනව.
11-3. (බුදුහු මෙසේ වදාළහ. ජතුකණ්ණී මාණවකය,) නෛෂ්ක්‍රම්‍යය ක්‍ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරු කරව, තෘෂ්ණාදෘෂ්ටි විසින් ගන්නා ලද්දෙක් හෝ හළයුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ නහමක් තොපට වේවා.
11-4. අතීතයෙහි යම් සංස්කාරයෙක් වී නම් එය වියළව, අනාගත සංස්කාරයට තට නහමක් කිඤ්චන (පලිබොධ) වේවා, ඉදින් ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් (තෘෂ්ණා දෘෂ්ටි විසින්) නො ගන්නෙහි නම් නිවුණෙක් වැ හැසිරෙන්නෙහි.
11-5. බමුණ, සර්‍වප්‍රකාරයෙන් නාමරූපයෙහි පහකරන ලද තෘෂ්ණා ඇති ඒ රහත්හට යම් ආස්‍රව කෙනකුන් කරණ කොට මාරයාගේ වශයට යා නම්, ඒ ආස්‍රවයෝ නැත්තාහ’යි.
ජතුකණ්ණී මාණව පෘච්ඡා නිමි.
12. භද්‍රාවුධ මාණව පෘච්ඡා
12-1. (ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්‍යාත ඕකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝදහම්හි නො සැලෙන, අනාගත ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය දුරැලූ චතුරෝඝය තරණය කළා වූ කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටිකල්ප දුරැලූ, ශෝභන ප්‍රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණ සෑයෙන් නික්ම යෙත්.
12-2. වීරයන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් කැමැති වූ නානා ජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස් වූහු යැ. මුඹ වහන්සේ ඔවුනට දහම් දෙසුව මැනැව. යම් හෙයකින් තෙල දහම් මුඹ වහන්සේ විසින් දන්නා ලද ද එහෙයිනි.
12-3. (බුදුහු මෙසේ වදාළහ: භද්‍රාවුධය,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදාන තෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද, එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා අනුවැ යෙයි.
12-4. එහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්‍රජාව ‘මෘත්‍යුධෙයයෙහි ඇලිණැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ යි.
භද්‍රාවුධ මාණව පෘච්ඡා නිමි.
13. උදය මාණව පෘච්ඡා
13-1. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ධ්‍යාන කරනසුලු වූ විගත රජස් ඇති වැ වැඩහුන් සිව්මඟින් කළ (සොළොස් වැදෑරුම්) කිස ඇති අනාස්‍රව වූ සියලු ධර්‍මයන්ගේ පරතෙර පැමිණි භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි. අවිද්‍යාව බිඳුනා අඤ්ඤා විමොක්ඛ සඞ්ඛ්‍යාත නිවන වදාළ මැනැව.
13-2. (බුදුහු මෙසේ වදාළහ: උදය,) කාමච්ඡන්‍දයන් ගේ ද දෞර්‍මනස්‍යයන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථීනමිද්ධයා ගේ දුරැලීම ද කෞකෘත්‍යයා ගේ වැළකීම ද ඇති-
13-3. චතුර්ත්ථධ්‍යානොපෙක්‍ෂා-ස්මෘති දෙකින් සංශුද්ධිය ඇති ධර්‍මතර්ක සඞ්ඛ්‍යාත සම්‍යක්සංකල්පය පෙරටු කොට ඇති අර්‍හත්ඵල විමෝක්‍ෂය අවිද්‍යාව ගේ බිඳීම යැ යි ප්‍රකාශ කරමි.
13-4. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ලෝවැසි තෙම කුමක් සංයෝජන කොට ඇත්තේ ද? ඒ ලෝවැසියා ගේ විචාරණය (හැසිරීමට කරුණ) කිම? කිනම් දහමක්හු ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’යි කියනු ලැබේද?
13-5. ලෝවැසි තෙම තෘෂ්ණාව සංයෝජන කොට ඇත්තේ යැ, විතර්‍කය ඔහුට විචාරණය වෙයි. තෘෂ්ණාව ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’යි කියනු ලැබේ.
13-6. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ස්මෘති සම්පන්න වැ වාසය කරන්නහු ගේ විඥානය කිසෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නා සඳහා පැමිණියම්හ, මුඹ වහන්සේ ගේ ඒ වචනය අසම්හ.
13-7. අධ්‍යාත්මාලම්බනයෙහි ද බහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන ස්මෘතිමත් වැ හැසිරෙනුවහු ගේ විඥානය මෙසේ නිරුද්ධ වේ යයි.
උදය මාණව පෘච්ඡා නිමි.
14. පෝසාල මාණව පෘච්ඡා
14-1. (ආයුෂ්මත් පෝසාල මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ සිඳුනාලද සැක ඇති යම් සර්‍වඥ කෙනෙක් ස්වකීය වූ ද පරකීය වූ ද අතීතය (පූර්‍වනිවාසානුස්මෘතිඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය ඒ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි.
14-2. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, ඉක්මවන ලද රූපසංඥා ඇති තදඞ්ගවිෂ්කම්භණ විසින් සියලු රූපකාය ප්‍රහාණය කරන සුලු වූ අධ්‍යාත්මයෙහිද බාහ්‍යයෙහිද කිසිවක් නැතැයි දක්නහු (ආකිඤ්චඤ්ඤායතනලාභීහුගේ ඥානය) පුළුවුස්මි. එබඳු වූ පුද්ගල තෙම කිසෙයින් (මත්තෙහි ඥානයට) පැමිණවිය යුත්තේ ද?
14-3. (බුදුහු මෙසේ වදාළහ: පොසාලය,) හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නා වූ තථාගත තෙමේ ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය පරායණ කොට ඇති වැ සිටුනා මේ පුඟුලා දනී.
14-4. ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සඞ්ඛ්‍යාත නන්‍දිය “සංයෝජනයෙකැ”යි දැන තෙල මෙසේ ම විශිෂ්ටඥානයෙන් දැන ඉක්බිති එහි (අනිත්‍යාදි විසින්) විදර්‍ශනා කෙරෙයි. වැස නිමවූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යවාස ඇති බාහිතපාපී වූ ඒ රහත්හු ගේ තෙල අර්හත්මාර්‍ගඥානය ද විපරීත වේ යයි.
පෝසාල මාණව පෘච්ඡා නිමි.
15. මෝඝරාජ මාණව පෘච්ඡා
15-1. (ආයුෂ්මත් මෝඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශක්‍ය මුනිහු විචාළෙමි. චක්‍ෂුෂ්මත්හු ප්‍රකාශ නො කළහ. දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරනලද්දාහු ප්‍රකාශ කරන සේකැ යි මා විසින් අසනලද.
15-2. මේ මිනිස්ලෝවැසි ද අන් ලෝවැසි ද දෙවියන් සහිත වූ බඹලෝවැසි ද යශස්වී වූ ගෞතමගෝත්‍ර ඇති මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය නො දනිත්.
15-3. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී වැ ආයෙමි, මෘත්‍යුරාජ ලොව කිසෙයින් බලන්නහු නො දකී ද?
15-4. මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරු කොට ලොව ශුන්‍ය තා විසින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි, මෙසෙයින් ලොව බලන්නහු මෘත්‍යුරාජ නො දක්නේ යි.
මෝඝරාජ මාණව පෘච්ඡා නිමි.
16. පිඞ්ගිය මාණව පෘච්ඡා
16-1. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්‍ණයෙමි, දුර්‍වලයෙමි, විවර්ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති. ශ්‍රවණය පහසු නො වෙයි. මම් (මුඹ වහන්සේ ගේ දහම් පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණ සෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාව ගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
16-2. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනවුන් දැක (කුශල ධර්‍මයෙහි) ප්‍රමත්ත ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශලධර්‍මයෙහි) අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.
16-3. සතර දිග යැ සතර අනුදිග යැ උඩ යැ යට යැ යන මේ දසදික් කෙනෙක් වෙත් ද, ලොවැ මෙ හැම තන්හි මුඹවහන්සේ විසින් නො දක්නා ලද නො අසන ලද ආඝ්‍රාණ ස්වාදන ස්පර්‍ශන නො කරන ලද යළි නො දන්නා ලද කිසිවක් නැති. මේ පහණසෑවෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් (නිර්‍වාණ) දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
16-4. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය, යම් හෙයෙකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්‍වයන් හටගත් සිත්තැවුලි ඇතියන් ජරායෙන් මඩන ලද්දවුන් වැ දක්න වු ද, එහෙයින් පිඞ්ගිය තෙපි අප්‍රමත්ත වැ පුනර්‍භවය නොවනු පිණිස තෘෂ්ණාව දුරු කරවයි.
පිඞ්ගිය මාණව පෘච්ඡා නිමි.
භාග්‍යවතුන් වහන්සේ මගධරටැ පහණසෑ නම් වෙහෙරෙහි වැඩවසනසේක් (බාවරී තවුසන්ගේ) පරිවාරක (පිඞ්ගිය) හා සමඟ සොළොස් බමුණන් විසින් අයදනා ලදහු පුන පුනා පුළුවුස්නා ලදහු, පැන විසඳුසේක. ඉදින් යමෙක් එකෙකි පැනයෙකැ පෙළ ඇරුත් දැන පෙළදහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙහි පිළිපදනේ නම් හේ ජරාමරණයා ගේ පරතෙරට යන්නේ මැ යැ. යම් හෙයෙකින් මේ ධර්‍මයෝ (නිර්‍වාණ) පාරගමනාර්හ වෙත් ද එහෙයින් මේ ධර්‍මපර්‍ය්‍යාය ‘පාරායණ’යි මැ නම් වී.
1. අජිත යැ තිස්සමෙත්තෙය්‍ය යැ පුණ්ණක යැ යළි මෙත්තගූ ය ධෝතක යැ උපසීව යැ නන්‍ද යැ යළි හේමක යැ,
2. තෝදෙය්‍ය-කප්ප දෙදෙනා යැ පණ්ඩිත වූ ජතුකණ්ණී යැ භද්‍රාවුධ යැ උදය යැ පෝසාල බ්‍රාහ්මණ යැ නුවණැති මෝඝරාජ යැ මහර්ෂී වූ පිඞ්ගිය යැ යන-
3. මොහු සමෘද්ධ වූ පසළොස් චරණධර්‍ම ඇති ඍෂි වූ බුදුන් කරා පැමිණියහ, සියුම් ප්‍රශ්නයන් පුළුවුස්නාහු බුද්ධශ්‍රේෂ්ඨයන් කරා පැමිණියාහ.
4. පැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇතිසැටියෙන් ප්‍රකාශ කළහ, සර්වඥමුනීහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.
5. ඔහු පසැස් ඇති සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් තුටු කරන ලද්දාහු උත්තම ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ වෙත බඹසරවස් වුසූහ.
6. එකෙකි පැනයට යම්සේ බුදුරජුන් විසින් වදාළ විසැඳුම් වේ ද, යමෙක් එසේ පිළිපදනේ නම් හෙ තෙම අපාර සඞ්ඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ යැ.
7. උතුම් වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුයේ අපාර සඞ්ඛ්‍යාත සසරින් පර තෙරට යන්නේ යැ. පාරගමනයට හේ මාර්‍ග වෙයි. එහෙයින් ‘පාරායණ’ නම් වී යයි.
8. (ආයුෂ්මත් පිඞ්ගිය බාවරීහට මෙසේ පැවැසී) පාරායණය බුදුන් වදාළ සෙයින් කියනෙම්, (බුදුහු) යම්සේ (සත්‍යාභිසම්බෝධයෙන්) දුටු සේක් නම් එසේ වදාළහ, නිර්‍මල වූ විපුලප්‍රඥා ඇති ප්‍රහීණ වූ කාම ඇති කෙලෙස් වල් හෝ තෘෂ්ණා විරහිත බුද්ධනාග තෙමේ කුමක් හෙයින් මුසවා කියන්නේ ද?
9. ප්‍රහීණ වූ මල හා මෝහය හා ඇති මානය හා මකුබව හා දුරැලූ උන් වහන්සේ ගේ ගුණෝපසංහිත වූ වචනය මම එකත්නෙන් කීර්‍තනය කරනෙම්.
10. බමුණාණෙනි, අවිදු අඳුර දුරැලූ සමතැස් ඇති ලෝකාන්තයට ගිය හැම භවයන් ඉක්ම වූ ආස්‍රව රහිත වූ සියලු දුක් දුරැලූ සත්‍යනාම ඇති බුදුහු මා විසින් උපාශ්‍රිතයහ.
11. යම්සේ පක්‍ෂි තෙම කුඩා වනය හැරපියා බොහෝ පලවැළ ඇති වනයකට පැමිණ වසන්නේ ද, එසෙයින් මම් ද (බාවරී ආදි) මඳ නුවණැතියන් හැරපියා (අනවතප්තාදි) මහවිලකට හංසයකු සෙයින් පැමිණියෙමි.
12. පෙර (බාවරී ආදි) යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථායෙක, එ හැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනාසුලු යැ.
13-14. යම් කෙනෙක් මට තමා විසින් දැක්ක යුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූ සේක්ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැත්ද ඒ ගෞතමයන් වහන්සේ අසහාය වැ අවිදු අඳුර දුරැලා වැඩ හුන්සේක, ද්‍යුතිමත්හ, ප්‍රභාකරයහ, ඥානධ්වජ ඇති සේක, විපුල ප්‍රඥා ඇති සේකැ’යි.
15-16. පිඞ්ගිය, යම් කෙනෙක් තොපට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැත් ද, ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුල ප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතකුදු කිම තෙපි වෙන් වැ වසවු දැ?යි. (බාවරී කී යැ.)