6. 1. 4.
[සඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
කාමසංඥා, ව්‍යාපාදසංඥා, විහිංසාසංඥා යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
මහණෙනි, මෙ තුන් දහම් ප්‍රහීණ කිරීම සඳහා ධර්‍ම තුණෙක් වැඩිය යුතු. කවර තුණෙක යත්:
කාමසංඥාවගේ ප්‍රහාණය සඳහා නෛෂ්ක්‍රම්‍යසංඥා වැඩිය යුතු, ව්‍යාපාදසංඥාවගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාද සංඥා වැඩිය යුතු, විහිංසාසංඥාවගේ ප්‍රහාණය සඳහා අවිහිංසාසංඥාව වැඩිය යුතු යි.
මහණෙනි, මෙ ධර්‍මයන් තුන්දෙනා ගේ ප්‍රහාණය සඳහා මෙ තුන් දහම් වැඩියයුතු යයි.
6. 1. 5.
[ධාතු සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක යත්:
කාමධාතු හා ව්‍යාපාදධාතු හා විහිංසාධාතු යි. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙන යි.
මහණෙනි, මෙ තුන්දහමුන්ගේ ප්‍රහාණය සඳහා දහම් තිදෙනෙක් වැඩිය යුතු ය. කවර තිදෙනෙක යත්:
කාමධාතුහුගේ ප්‍රහාණය සඳහා නෙක්ඛම්මධාතුව වැඩියයුතු යැ, ව්‍යාපාදධාතුහුගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාදධාතුව වැඩිය යුතු යැ, විහිංසාධාතුහුගේ ප්‍රහාණය සඳහා අවිහිංසාධාතුව වැඩිය යුතුයි.
මහණෙනි, මෙ දහම් තිදෙනාගේ ප්‍රහාණය සඳහා මෙ දහම් තිදෙන වැඩිය යුත්තාහ යි.
6. 1. 6.
[අස්සාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ දහම්හු තිදෙනෙකි. කවර තිදෙනක යත්:
ආස්වාද (ශාශ්වත) දෘෂ්ටිය හා ආත්මානු (සත්කාය) දෘෂ්ටිය හා මිථ්‍යාදෘෂ්ටි (දෙසැටමිසදිටු) යි. මහණෙනි, මෙ දහම් තිදෙන ය.
මෙ ධර්‍මයන් තිදෙන ප්‍රහීණ කරණු සඳහා ධර්‍මයෝ තිදෙනෙක් වැඩිය යුතු. කවර තිදෙනෙක යත්:
ආස්වාදදෘෂ්ටිහුගේ ප්‍රහාණය සඳහා අනිත්‍යසංඥා වැඩිය යුතු ය. ආත්මානුදෘෂ්ටිහුගේ ප්‍රහාණය සඳහා අනාත්මසංඥා වැඩිය යුතු යැ, මිථ්‍යාදෘෂ්ටිහුගේ ප්‍රහාණය සඳහා මාර්‍ග සම්‍යග්දෘෂ්ටිය වැඩිය යුතු යි.
මහණෙනි, මෙ තුන් දහමුන්ගේ ප්‍රහාණය සඳහා මෙ තුන් දහම්හු වැඩිය යුත්තාහ යි.
6. 1. 7.
[අරති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, මෙ දහම්හු තිදෙනෙකි. කවර තිදෙනෙක යත්:
අරති හා විහිංසා හා අධම්මචරියා යි. මහණෙනි, මෙ දහම් තිදෙන ය.
මහණෙනි, මෙ දහම් තුණ ප්‍රහීණ කිරීමට දහම් තුණක් වැඩිය යුතු. කවර තුණෙක යත්:
අරතිහුගේ ප්‍රහාණය සඳහා මුදිතා වැඩිය යුතු ය. විහිංසාවගේ ප්‍රහාණය සඳහා අවිහිංසාව වැඩිය යුතු ය. අධර්‍මචර්‍ය්‍යාවගේ ප්‍රහාණය සඳහා ධර්‍මචර්‍ය්‍යාව වැඩියයුතු.
මහණෙනි, මෙ දහම් තිදෙනගේ ප්‍රහාණය සඳහා මෙ දහම් තිදෙන වැඩිය යුත්තාහ යි.
6. 1. 8.
[අසන්තුට්ඨිතා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, මෙ ධර්‍මයෝ තිදෙනෙකි. කවර තිදෙනක යත්:
අසන්තුට්ඨිතා ය, අසම්පජඤ්ඤ ය, මහිච්ඡතා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙනා යි.
මහණෙනි, මෙ දහම් තිදෙනාගේ ප්‍රහාණය සඳහා දහම් තිදෙනෙක් වැඩියයුත්තාහ. කවර තිදෙනෙක යත්:
අසන්තුෂ්ටියගේ ප්‍රහාණය පිණිස සන්තුෂ්ටිතාව වැඩියයුතු, අසම්ප්‍රජන්‍යයාගේ ප්‍රහාණය පිණිස සම්ප්‍රජන්‍යය වැඩියයුතු, මහේච්ඡතාවගේ ප්‍රහාණය පිණිස අල්පේච්ඡතාව (ඉච්ඡා නැතිබව) වැඩියයුතු.
මහණෙනි, මෙ තුන් ධර්‍මයන් ප්‍රහීණ කිරීමට මෙ තුන් ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
6. 1. 9.
[දෝවචස්සතා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
දෝවචස්සතා ය, පාපමිත්තතා ය, චිත්තයාගේ වික්‍ෂේප ය යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
මහණෙනි, මෙ දහම් තුණ පහනු සඳහා දහම් තුණෙක් වැඩියයුතු. කවර තුණෙක යත්:
දුර්‍වචභාවය දුරු කරණු සඳහා සුවචභාවය වැඩියයුතු, පවිටු මිතුරන් ඇතිබව ප්‍රහීණ කරණු සඳහා කලණමිතුරන් ඇතිබව වැඩියයුතු, චිත්තයාගේ වික්‍ෂේපය දුරලනු සඳහා ආනාපානසතිය වැඩිය යුතු.
මහණෙනි, මෙ තුන්දහමුන්ගේ ප්‍රහාණය සඳහා මෙ තුන්දම වැඩිය යුතුය යි.
6. 1. 10.
[උද්ධච්ච සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
උද්ධච්චය හා අසංවරය හා පමාද යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
මහණෙනි, මෙ තුන් දහම් දුරු කරණු සඳහා දහම් තුණෙක් වැඩිය යුතු ය. කවර තුණෙක යත්:
උද්ධච්චයාගේ ප්‍රහාණය පිණිස සමථය වැඩිය යුතු. අසංවරයාගේ ප්‍රහාණය සඳහා සංවරය වැඩිය යුතු. ප්‍රමාදයාගේ ප්‍රහාණය පිණිස අප්‍රමාදය වැඩිය යුතු යි.
මහණෙනි, මෙ තුන්දහම් ප්‍රහීණ කරණු සඳහා මෙ ධර්‍ම තුණ වැඩිය යුතු යයි.
තික වර්‍ගය.
එහි උද්දානය:
රාග සූත්‍රය, දුච්චරිත සූත්‍රය, විතක්ක සූත්‍රය, සඤ්ඤා සූත්‍රය, ධාතු සූත්‍රය, අස්සාද සූත්‍රය, අරති සූත්‍රය, අසන්තුට්ඨිතා සූත්‍රය, දෝවචස්ස සූත්‍රය, උද්ධච්ච සූත්‍රය දැයි දසයෙකි.
2. සාමඤ්ඤ වර්‍ගය
6. 2. 1.
[කායානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, කරුණු සයක් නො පහා කයෙහි කායානුදර්ශී ව (කය පිළිකුල් ආදීන් බලමින්) වාස කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉඳුරන්හි පියූ දොර නැතිබව ය, භෝජනයෙහි පමණ නොදන්නා බව යි.
මහණෙනි, මෙ කරුණු සය නො දුරලා කයෙහි කායානුදර්ශී ව වසන්නට අභ්‍යව්‍ය වේ ය යි.
මහණෙනි, කරුණු සයක් දුරු කොට කයෙහි කායානුදර්ශී ව වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා ය, භෝජනයෙහි අමාත්‍රඥතා යි.
මහණෙනි, මෙ කරුණු සය දුරු කොට කයෙහි කායානුදර්ශී ව වසන්නට භව්‍ය වේ යයි.
6. 2. 2-15.
[අජ්ඣත්තකායානුපස්සී ආදී සූත්‍ර පසළොස]
[සැවැත්නිදාන යි]
2-15. මහණෙනි, කරුණු සයක් දුරු නො කොට අධ්‍යාත්මකායයෙහි කායානුදර්ශී ව වසන්නට … බාහිරකායයෙහි … අධ්‍යාත්මබාහිරකායයෙහි … වේදනාවන්හි … අධ්‍යාත්මවේදනාවන්හි … බාහිරවේදනාවන්හි … අධ්‍යාත්මබාහිරවේදනාවන්හි … චිත්තයෙහි … අධ්‍යාත්මචිත්තයෙහි ... බාහිරචිත්තයෙහි … අධ්‍යාත්මබාහිරචිත්තයෙහි … ධර්‍මයන්හි … අධ්‍යාත්මධර්‍මයන්හි … බාහිරධර්‍මයන්හි … අධ්‍යාත්මබාහිරධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා ය, භෝජනයෙහි අමාත්‍රඥතා යි.
මහණෙනි, මෙ දහම් සය දුරු කොට අධ්‍යාත්මබාහිරධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වසන්නට භව්‍ය වේ යයි.
6. 2. 16.
[තපුස්ස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ධර්‍ම සයෙකින් සමන්‍වාගත තපුස්ස (ද්වේවාචික උපාසක) ගහපති තථාගතයන් වහන්සේ කෙරෙහි නිෂ්ඨඞ්ගත (බුදුගුණෙහි නිසැක) වූයේ පහන් සිතැත්තේ අමෘත (නිර්‍වාණ) දර්‍ශන ඇතියේ අමෘතය ප්‍රත්‍යක්‍ෂ කොට වෙසෙයි. කවර සයෙකින යත්:
බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් (ගුණ දැන පැහැදීමෙන්), (නවලෝකොත්තර) ධර්‍මයෙහි අවෙත්‍යප්‍රසාදයෙන්, අෂ්ටාර්‍ය්‍යපුද්ගලසඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන්, ආර්‍ය්‍යශීලයෙන්, ආර්‍ය්‍ය (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානයෙන්, ආර්‍ය්‍ය (ශෛක්‍ෂඵල) විමුක්තියෙන් යන සයෙනි.
මහණෙනි, මෙ ධර්‍ම සයෙන් සමන්‍වාගත තපුස්සගහපති තථාගතයන් කෙරෙහි නිෂ්ඨාගත වූයේ අමෘත දර්‍ශන ඇතියේ අමෘතය සාක්‍ෂාත් කොට වෙසේ යයි.
6. 2. 17-36.
[භල්ලිකාදිවිංශති සූත්‍ර]
[සැවැත්නිදාන යි]
17-36. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත භල්ලික (ද්වේවාචික) ගෘහපති ... අනාථපිණ්ඩික සුදත්ත ගෘහපති ... මච්ඡිකාසණ්ඩිකචිත්ත ගෘහපති ... හත්‍ථක ආළවක ... මහානාම ශාක්‍ය ... වෛශාලික උග්ග ගෘහපති ... උග්ගත ගෘහපති ... සූරඅම්බට්ඨ ... ජීවකකෝමාරභච්ච ... නකුලපිතු ගෘහපති ... තවකණ්ණික ගෘහපති ... පූරණ ගෘහපති ... ඉසිදත්ත ගෘහපති ... සන්‍ධාන ගෘහපති ... විජය ගෘහපති ... වජ්ජීයමහිත ගෘහපති ... මෙණ්ඩක ගෘහපති ... වාසෙට්ඨ උපාසක ... අරිට්ඨ උපාසක ... සාරග්ග උපාසක ... තථාගතයන් කෙරෙහි නිෂ්ඨාවට ගියේ අමෘතදර්‍ශන ඇතියේ අමෘතය සාක්‍ෂාත් කොට වෙසේ ය යි. කවර සයෙකින යත්:
බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන, ධර්‍මය කෙරෙහි අවේත්‍ය ප්‍රසාදයෙන, සඞ්ඝයා කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන, ආර්‍ය්‍යශීලයෙන, ආර්‍ය්‍යඥානයෙන, ආර්‍ය්‍යවිමුක්තියෙනැයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත සාරග්ග උපාසක තථාගතයන් කෙරෙහි සැදැහැයෙන් නිෂ්ඨාවට ගියේ දුටු නිවන් ඇතියේ අමෘතය සාක්‍ෂාත් කොට වෙසේ යයි.
සාමඤ්ඤ වර්‍ගය.
ඡක්කනිපාතයෙහි රාගාදිපෙය්‍යාල සූත්‍ර
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු ය. කවර සයෙක යත්:
දර්‍ශනානුත්තරිය යැ, ශ්‍රවණානුත්තරිය යැ, ලාභානුත්තරිය යැ, ශික්‍ෂානූත්තරිය යැ, පරිචර්‍ය්‍යානුත්තරිය යැ, අනුස්මෘත්‍යානුත්තරිය යි.
මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු ය. කවර සයෙක යත්:
බුද්ධානුස්මෘති යැ, ධර්‍මානුස්මෘති යැ, සඞ්ඝානුස්මෘති යැ, ශීලානුස්මෘති යැ, ත්‍යාගානුස්මෘති යැ, දේවතානුස්මෘති ය යි.
මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩියයුතු යයි.
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු යි. කවර සයෙක යත්:
අනිත්‍යසංඥා යැ, අනිත්‍යයෙහි දුඃඛසංඥා යැ, දුඃඛයෙහි අනාත්මසංඥා යැ, ප්‍රහාණ සංඥා යැ, විරාගසංඥා යැ, නිරෝධ සංඥා යි.