සුත්‍රාන්තපිටකයෙහි
අඞ්ගුත්තරසඟිය
ප්‍රථම භාගය
1. ඒකකනිපාතය
1. චිත්තපරියාදාන වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1. 1.
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක:
මහණෙනි, මේ ස්ත්‍රීරූපය යම්සේ වේ ද, එසේ යම් රූපයෙක් (රූපගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ (කුසල් සිත පැහැර ගෙණ) සිටුනේ ද, එබඳු වූ අන් එක ද රූපයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 2.
මහණෙනි, මේ ස්ත්‍රීශබ්දය යම්සේ වේ ද, එසේ යම් ශබ්දයෙක් (ශබ්දගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ශබ්දයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීශබ්දය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 3.
මහණෙනි, මේ ස්ත්‍රීගන්‍ධය (ස්ත්‍රීන් ඇසිරි කළ විලෙවුන් ඈ ගඳ) යම්සේ වේ ද, එසේ යම් ගන්‍ධයක් (ගන්‍ධගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ගන්‍ධයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීගන්‍ධය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 4.
මහණෙනි, මේ ස්ත්‍රීරසය යම්සේ වේ ද, එසේ යම් රසයෙක් (රසගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද රසයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීරසය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 5.
මහණෙනි, මේ ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යය (ස්ත්‍රියගේ කයෙහිදු කයසැදි දැයෙහිදු පහස) යම්සේ වේ ද, එසේ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් (ස්ප්‍රෂ්ටව්‍යගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 6.
මහණෙනි, මේ පුරුෂරූපය යම්සේ වේ ද, එසේ යම් රූපයෙක් (රූපගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක් ද රූපයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂරූපය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 7.
මහණෙනි, මේ පුරුෂශබ්දය යම්සේ වේ ද, එසේ යම් ශබ්දයක් (ශබ්දගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ශබ්දයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂශබ්දය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 8.
මහණෙනි, මේ පුරුෂගන්‍ධය යම්සේ වේ ද, එසේ යම් ගන්‍ධයෙක් (ගන්‍ධගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ගන්‍ධයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂගන්‍ධය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 9.
මහණෙනි, මේ පුරුෂරසය යම්සේ වේ ද, එසේ යම් රසයෙක් (රසගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද රසයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂරසය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 10.
මහණෙනි, මේ පුරුෂස්ප්‍රෂ්ටව්‍යය යම්සේ වේ ද, එසේ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් (ස්ප්‍රෂ්ටව්‍යගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂස්ප්‍රෂ්ටව්‍යය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
පළමු වග යි.
2. නීවරණප්‍රහාණ වර්‍ගය
1. 2. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමච්ඡන්‍දය උපදනේ නම්, උපන්නා වූ ද කාමච්ඡන්‍දය භූයස්ත්‍වය (නැවත නැවත වන බව) පිණිස විපුලබව පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ ශුභනිමිත්ත යම්සේ වේ ද, එබඳු වූ අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ශුභනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද කාමච්ඡන්‍දය උපදනේ ය, උපන්නා වූ ද කාමච්ඡන්‍දය භූයස්ත්‍වය පිණිස විපුලත්‍වය පිණිස පවත්නේ ය.
1. 2. 2.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්‍යාපාදය උපදනේ නම්, උපන්නා වූ ද ව්‍යාපාදය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ ප්‍රතිඝ (අනිෂ්ට) නිමිත්ත යම්සේ වේ ද, එබඳු වූ අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ප්‍රතිඝනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද ව්‍යාපාදය උපදනේ ය. උපන්නා වූ ද ව්‍යාපාදය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 3.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ථිනමිද්ධය (චිත්ත චෛතසිකයන් කර්‍මණ්‍ය නොවන බව) උපදනේ නම්, උපන්නා වූ ද ථිනමිද්ධය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ (දුර සෙනසුන්හි හෝ අධිකුශලධර්‍මයෙහි නොඇල්ම වූ) අරතිය ද, (අලසබව වූ) තන්‍දිය ද, (ඇඟ මැළි කැඩීම වූ) විජම්භිකාව ද, (බත්මත නම් වූ) භත්තසම්මදය ද, චිත්තයාගේ හැකුළුණු බව වූ ලීනත්‍වය ද යම්සේ වේ ද, එබඳු වූ අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, හැකිළුණු සිත් ඇත්තහුට නූපන්නා වූ ද ථිනමිද්ධය උපදනේ ය. උපන්නා වූ ද ථිනමිද්ධය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 4.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද (චිත්තයාගේ නොසන්හුන් බව හා විපිළිසරබව ය යි කියන ලද) උද්ධච්චකුක්කුච්චය උපදනේ නම්, උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, චිත්තයාගේ මේ නොසන්හුන්බව යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම නුවණැසින් නො දක්මි. මහණෙනි, නොසන්හුන් සිත් ඇත්තහුට නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය උපදනේය. උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 5.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද (බුද්ධාදි අට තන්හි සැකය යි කියන ලද) විචිකිච්ඡාව උපදනේ නම්, උපන්නා වූ ද විචිකිච්ඡාව භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ නුනුවණින් මෙනෙහි කිරීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද විචිකිච්ඡාව උපදනේ ය. උපන්නා වූ ද විචිකිච්ඡාව භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 6.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමච්ඡන්‍ද නූපදනේ නම්, උපන්නා වූ ද කාමච්ඡන්‍දය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ අශුභනිමිත්ත යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, අශුභනිමිත්ත නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කාමච්ඡන්‍දය නූපදනේ ය. උපන්නා වූ ද කාමච්ඡන්‍දය ප්‍රහීණ වේ.
1. 2. 7.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්‍යාපාදය නූපදනේ නම්, උපන්නා වූ ද ව්‍යාපාදය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ මෛත්‍රීචිත්තවිමුක්තිය යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තිය නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද ව්‍යාපාදය නූපදනේ ය. උපන්නා වූ ද ව්‍යාපාදය ප්‍රහීණ වේ.
1. 2. 8.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ථිනමිද්ධය නූපදනේ නම්, උපන්නා වූ ද ථිනමිද්ධය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ (ප්‍රථමාරම්භවීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) ආරම්භධාතු ද (කුසීතභාවයෙන් නික්මුනු බැවින් එයට වඩා බලවත්) නික්කමධාතු ද, (සම්බාධ මැඩ මතු මත්තට යන හෙයින් එයට ද වඩා බලවත්) පරක්කමධාතු ද යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ආරබ්ධවීර්‍ය්‍ය ඇතියහුට නූපන්නා වූ ද ථිනමිද්ධය නූපදනේ ය. උපන්නා වූ ද ථිනමිද්ධය ප්‍රහීණ වේ.
1. 2. 9.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය නූපදනේ නම්, උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ චිත්තයාගේ සන්හිඳීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, සන්හුන් සිත් ඇත්තහුට නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය නූපදනේ ය. උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වේ.
1. 2. 10.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නාවූ වූ ද විචිකිච්ඡාව නූපදනේ නම්, උපන්නා වූ ද විචිකිච්ඡාව ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ නුවණින් මෙනෙහි කිරීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද විචිකිච්ඡාව නූපදනේ ය. උපන්නා වූ ද විචිකිච්ඡාව ප්‍රහීණ වේ.
දෙවන වග යි.
3. අකර්‍මණ්‍ය වර්‍ගය
1. 3. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) නොවඩන ලද්දේ අකර්‍මණ්‍ය (=කර්‍මයට අහිත) වේ නම්, චිත්තය බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවඩන ලද සිත අකර්‍මණ්‍ය වේ.
1. 3. 2.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) වඩන ලද්දේ කර්‍මණ්‍ය වේ ද, චිත්තය බඳු අන් එක ද ධර්‍මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, (භාවනා වශයෙන්) වඩන ලද සිත කර්‍මණ්‍ය වේ.
1. 3. 3.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) නොවඩනා ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවඩන ලද සිත මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 4.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) වඩන ලද්දේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 5.
මහණෙනි, යමක් මෙසේ නොවඩන ලද්දේ (විදර්‍ශනා මාර්‍ග ඵල නිර්‍වාණයන් අරමුණු කොට) පහළ නො වූයේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවැඩු (විදර්‍ශනාදිය අරමුණු කොට) පහළ නො වූ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 6.
මහණෙනි, යමක් මෙසේ වඩන ලද්දේ පහළ වූයේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු (විදර්‍ශනාදිය අරමුණු කොට) පහළ වූ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 7.
මහණෙනි, යමක් මෙසේ නොවඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නො වැඩු බහුල වශයෙන් පුරුදු නොකළ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 8.
මහණෙනි, යමක් මෙසේ වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු බහුල වශයෙන් කළ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 9.
මහණෙනි, යමක් මෙසේ නොවැඩුයේ බහුල වශයෙන් නොකෙළේ දුක් එළවන්නේ වේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවැඩු බහුල වශයෙන් නොකළ සිත දුක් එළවන්නේ වෙයි.
1. 3. 10.
මහණෙනි, යමක් මෙසේ වැඩුයේ බහුල වශයෙන් කෙළේ සුව එළවන්නේ වේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, භාවිතය වූ බහුලීකෘත වූ සිත සුව එළවන්නේ වේ.
තෙවන වග යි.
4. අදන්ත වර්‍ගය
1. 4. 1.
මහණෙනි, යමක් මෙසේ නොදැමුනේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත් බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොදැමුනු සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 2.
මහණෙනි, යමක් මෙසේ දැමුනේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, දැමුනු සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 3.
මහණෙනි, යමක් මෙසේ (සතිසංවරයෙන්) ගෝපනය නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, අගෝපිත වූ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 4.
මහණෙනි, යමක් මෙසේ ගෝපනය කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ගෝපිත වූ සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 5.
මහණෙනි, යමක් මෙසේ නොරක්නා ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොරැකුනු සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 6.
මහණෙනි, යමක් මෙසේ රක්නා ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, රැකුනු සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 7.
මහණෙනි, යමක් මෙසේ සංවර නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, සංවර රහිත සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 8.
මහණෙනි, යමක් මෙසේ සංවර කරණ ලද්දේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, සංවර කළ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 9.
මහණෙනි, යමක් මෙසේ නොදැමුනේ ගෝපනය නොකරණ ලද්දේ සංවර නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොදැමුනු ගෝපනය නොකළ නොරැකි සංවර රහිත සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 10.
මහණෙනි, යමක් මෙසේ දැමුනේ ගෝපනය කරණ ලද්දේ රක්නා ලද්දේ සංවර කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, දාන්ත වූ ගුප්ත වූ රක්‍ෂිත වූ සංවෘත වූ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
සිවුවන වග යි.
5. ශුක වර්‍ගය
1. 5. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, (උඩු අක් කොට නො තබා) වරදවා තබන ලද හැල්වී නංඩුයෙක් වේවයි යව වී නංඩුයෙක් වේව යි, අතින් වේවයි පයින් වේවයි, ඇක්මුනේ, අත වේවයි පය වේවයි බිඳුනේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙ කරුණ විද්‍යමාන නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, නංඩුව වරදවා තැබූ වන බැවිනි. මහණෙනි, එපරිදි ඒකාන්තයෙන් ඒ මහණ වරදවා තබන ලද සිතින් (දුඃඛාදි අට තන්හි නොදැනීම) ය යි කියන ලද අවිද්‍යාව බිඳුනේ ය, (අභීන්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව උපදවන්නේ ය, නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යාම මෙ කරුණ විද්‍යමාන නො වේ. ඒ කවර හෙයින යත්:- මහණෙනි, සිත වරදවා තැබූ වන බැවිනි.