Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසුත්‍රාන්තපිටකයෙහි
Pali BJTඅඞ්ගුත්තරනිකායො
Sinhala BJTඅඞ්ගුත්තරසඟිය
Pali BJTපඨමො භාගො
Sinhala BJTප්‍රථම භාගය
Pali BJT1. එකක නිපාතො
Sinhala BJT1. ඒකකනිපාතය
Pali BJT1. චිත්තපරියාදානවග්ගො
Sinhala BJT1. චිත්තපරියාදාන වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. 1. 1.
Sinhala BJT1. 1. 1.
Pali BJTඑවං මෙ සුතං : එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක:
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි, යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ ඉත්ථිරූපං. ඉත්ථිරූපං භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතීති.
Sinhala BJTමහණෙනි, මේ ස්ත්‍රීරූපය යම්සේ වේ ද, එසේ යම් රූපයෙක් (රූපගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ (කුසල් සිත පැහැර ගෙණ) සිටුනේ ද, එබඳු වූ අන් එක ද රූපයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
Pali BJT1. 1. 2.
Sinhala BJT1. 1. 2.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකසද්දම්පි සමනුපස්සාමි, යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ ඉත්ථිසද්දො. ඉත්ථිසද්දො භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතීති.
Sinhala BJTමහණෙනි, මේ ස්ත්‍රීශබ්දය යම්සේ වේ ද, එසේ යම් ශබ්දයෙක් (ශබ්දගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ශබ්දයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීශබ්දය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
Pali BJT1. 1. 3.
Sinhala BJT1. 1. 3.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකගන්ධම්පි සමනුපස්සාමි, යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ ඉත්ථිගන්ධො. ඉත්ථිගන්ධො භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතීති.
Sinhala BJTමහණෙනි, මේ ස්ත්‍රීගන්‍ධය (ස්ත්‍රීන් ඇසිරි කළ විලෙවුන් ඈ ගඳ) යම්සේ වේ ද, එසේ යම් ගන්‍ධයක් (ගන්‍ධගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ගන්‍ධයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීගන්‍ධය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
Pali BJT1. 1. 4.
Sinhala BJT1. 1. 4.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකරසම්පි සමනුපස්සාමි, යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ ඉත්ථිරසො. ඉත්ථිරසො භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතීති.
Sinhala BJTමහණෙනි, මේ ස්ත්‍රීරසය යම්සේ වේ ද, එසේ යම් රසයෙක් (රසගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද රසයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීරසය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
Pali BJT1. 1. 5.
Sinhala BJT1. 1. 5.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකඵොට්ඨබ්බම්පි සමනුපස්සාමි, යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ ඉත්ථිඵොට්ඨබ්බො. ඉත්ථිඵොට්ඨබ්බො භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතීති.
Sinhala BJTමහණෙනි, මේ ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යය (ස්ත්‍රියගේ කයෙහිදු කයසැදි දැයෙහිදු පහස) යම්සේ වේ ද, එසේ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් (ස්ප්‍රෂ්ටව්‍යගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
Pali BJT1. 1. 6.
Sinhala BJT1. 1. 6.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි, යං එවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ පුරිසරූපං. පුරිසරූපං භික්ඛවෙ ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨතීති.
Sinhala BJTමහණෙනි, මේ පුරුෂරූපය යම්සේ වේ ද, එසේ යම් රූපයෙක් (රූපගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක් ද රූපයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂරූපය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
Pali BJT1. 1. 7.
Sinhala BJT1. 1. 7.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකසද්දම්පි සමනුපස්සාමි, යං එවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ පුරිසසද්දො. පුරිසසද්දො භික්ඛවෙ ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨතීති.
Sinhala BJTමහණෙනි, මේ පුරුෂශබ්දය යම්සේ වේ ද, එසේ යම් ශබ්දයක් (ශබ්දගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ශබ්දයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂශබ්දය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
Pali BJT1. 1. 8.
Sinhala BJT1. 1. 8.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකගන්ධම්පි සමනුපස්සාමි, යං එවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ පුරිසගන්ධො. පුරිසගන්ධො භික්ඛවෙ ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨතීති.
Sinhala BJTමහණෙනි, මේ පුරුෂගන්‍ධය යම්සේ වේ ද, එසේ යම් ගන්‍ධයෙක් (ගන්‍ධගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ගන්‍ධයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂගන්‍ධය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
Pali BJT1. 1. 9.
Sinhala BJT1. 1. 9.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකරසම්පි සමනුපස්සාමි, යං එවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ පුරිසරසො. පුරිසරසො භික්ඛවෙ ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨතී.
Sinhala BJTමහණෙනි, මේ පුරුෂරසය යම්සේ වේ ද, එසේ යම් රසයෙක් (රසගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද රසයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂරසය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
Pali BJT1. 1. 10.
Sinhala BJT1. 1. 10.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකඵොට්ඨබ්බම්පි සමනුපස්සාමි, යං එවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨති. යථයිදං භික්ඛවෙ පුරිසඵොට්ඨබ්බො. පුරිසඵොට්ඨබ්බො භික්ඛවෙ ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨතීති.
Sinhala BJTමහණෙනි, මේ පුරුෂස්ප්‍රෂ්ටව්‍යය යම්සේ වේ ද, එසේ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් (ස්ප්‍රෂ්ටව්‍යගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂස්ප්‍රෂ්ටව්‍යය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
Pali BJTවග්ගො පඨමො.{*}
Sinhala BJTපළමු වග යි.
Pali BJT2. නීවරණප්පහානවග්ගො
Sinhala BJT2. නීවරණප්‍රහාණ වර්‍ගය
Pali BJT1. 2. 1.
Sinhala BJT1. 2. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා කාමච්ඡන්දො උප්පජ්ජති, උප්පන්නො වා කාමච්ඡන්දො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති, යථයිදං භික්ඛවෙ සුභනිමිත්තං. සුභනිමිත්තං භික්ඛවෙ අයොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව කාමච්ඡන්දො උප්පජ්ජති, උප්පන්නො ච කාමච්ඡන්දො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතී.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමච්ඡන්‍දය උපදනේ නම්, උපන්නා වූ ද කාමච්ඡන්‍දය භූයස්ත්‍වය (නැවත නැවත වන බව) පිණිස විපුලබව පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ ශුභනිමිත්ත යම්සේ වේ ද, එබඳු වූ අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ශුභනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද කාමච්ඡන්‍දය උපදනේ ය, උපන්නා වූ ද කාමච්ඡන්‍දය භූයස්ත්‍වය පිණිස විපුලත්‍වය පිණිස පවත්නේ ය.
Pali BJT1. 2. 2.
Sinhala BJT1. 2. 2.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා ව්යාපාදො{1} උප්පජ්ජති, උප්පන්නො වා ව්යාපාදො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති, යථයිදං භික්ඛවෙ පටිඝනිමිත්තං. පටිඝනිමිත්තං භික්ඛවෙ අයොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව ව්යාපාදො{1} උප්පජ්ජති, උප්පන්නො ච ව්යාපාදො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්‍යාපාදය උපදනේ නම්, උපන්නා වූ ද ව්‍යාපාදය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ ප්‍රතිඝ (අනිෂ්ට) නිමිත්ත යම්සේ වේ ද, එබඳු වූ අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ප්‍රතිඝනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද ව්‍යාපාදය උපදනේ ය. උපන්නා වූ ද ව්‍යාපාදය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
Pali BJT1. 2. 3.
Sinhala BJT1. 2. 3.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නං වා ථිනමිද්ධං{2} උප්පජ්ජති, උප්පන්නං වා ථිනමිද්ධං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අරති තන්දී විජම්භිකා{3} භත්තසම්මදො චෙතසො ච ලීනත්තං. ලීනචිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නං චෙව ථිනමිද්ධං උප්පජ්ජති, උප්පන්නඤ්ච ථිනමිද්ධං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ථිනමිද්ධය (චිත්ත චෛතසිකයන් කර්‍මණ්‍ය නොවන බව) උපදනේ නම්, උපන්නා වූ ද ථිනමිද්ධය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ (දුර සෙනසුන්හි හෝ අධිකුශලධර්‍මයෙහි නොඇල්ම වූ) අරතිය ද, (අලසබව වූ) තන්‍දිය ද, (ඇඟ මැළි කැඩීම වූ) විජම්භිකාව ද, (බත්මත නම් වූ) භත්තසම්මදය ද, චිත්තයාගේ හැකුළුණු බව වූ ලීනත්‍වය ද යම්සේ වේ ද, එබඳු වූ අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, හැකිළුණු සිත් ඇත්තහුට නූපන්නා වූ ද ථිනමිද්ධය උපදනේ ය. උපන්නා වූ ද ථිනමිද්ධය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
Pali BJT1. 2. 4.
Sinhala BJT1. 2. 4.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නං වා උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති, උප්පන්නං වා උද්ධච්චකුක්කුච්චං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති, යථයිදං භික්ඛවෙ චෙතසො අවූපසමො. අවූපසන්තචිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නං චෙව උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති, උප්පන්නං ච උද්ධච්චකුක්කුච්චං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද (චිත්තයාගේ නොසන්හුන් බව හා විපිළිසරබව ය යි කියන ලද) උද්ධච්චකුක්කුච්චය උපදනේ නම්, උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, චිත්තයාගේ මේ නොසන්හුන්බව යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම නුවණැසින් නො දක්මි. මහණෙනි, නොසන්හුන් සිත් ඇත්තහුට නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය උපදනේය. උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
Pali BJT1. 2. 5.
Sinhala BJT1. 2. 5.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා විචිකිච්ඡා උප්පජ්ජති, උප්පන්නා වා විචිකිච්ඡා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අයොනිසො මනසිකාරො. අයොනිසො භික්ඛවෙ මනසි කරොතො අනුප්පන්නා චෙව විචිකිච්ඡා උප්පජ්ජති, උප්පන්නා ච විචිකිච්ඡා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද (බුද්ධාදි අට තන්හි සැකය යි කියන ලද) විචිකිච්ඡාව උපදනේ නම්, උපන්නා වූ ද විචිකිච්ඡාව භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ නුනුවණින් මෙනෙහි කිරීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද විචිකිච්ඡාව උපදනේ ය. උපන්නා වූ ද විචිකිච්ඡාව භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
Pali BJT1. 2. 6.
Sinhala BJT1. 2. 6.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා කාමච්ඡන්දො නුප්පජ්ජති, උප්පන්නො වා කාමච්ඡන්දො පහීයති, යථයිදං භික්ඛවෙ අසුභනිමිත්තං. අසුභනිමිත්තං භික්ඛවෙ යොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව කාමච්ඡන්දො නුප්පජ්ජති උප්පන්නො ච කාමච්ඡන්දො පහීයතීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමච්ඡන්‍ද නූපදනේ නම්, උපන්නා වූ ද කාමච්ඡන්‍දය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ අශුභනිමිත්ත යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, අශුභනිමිත්ත නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කාමච්ඡන්‍දය නූපදනේ ය. උපන්නා වූ ද කාමච්ඡන්‍දය ප්‍රහීණ වේ.
Pali BJT1. 2. 7.
Sinhala BJT1. 2. 7.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා ව්යාපාදො නුප්පජ්ජති, උප්පන්නො වා ව්යාපාදො පහීයති, යථයිදං භික්ඛවෙ මෙත්තා චෙතොවිමුත්ති. මෙත්තං භික්ඛවෙ චෙතොවිමුත්තිං යොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව ව්යාපාදො නුප්පජ්ජති, උප්පන්නො ච ව්යාපාදො පහීයතීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්‍යාපාදය නූපදනේ නම්, උපන්නා වූ ද ව්‍යාපාදය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ මෛත්‍රීචිත්තවිමුක්තිය යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තිය නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද ව්‍යාපාදය නූපදනේ ය. උපන්නා වූ ද ව්‍යාපාදය ප්‍රහීණ වේ.
Pali BJT1. 2. 8.
Sinhala BJT1. 2. 8.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නං වා ථිනමිද්ධං නුප්පජ්ජති, උප්පන්නං වා ථිනමිද්ධං පහීයති, යථයිදං භික්ඛවෙ ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු. ආරද්ධවිරියස්ස භික්ඛවෙ අනුප්පන්නඤ්චෙව ථිනමිද්ධං නුප්පජ්ජති, උප්පන්නඤ්ච ථිනමිද්ධං පහීයතීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ථිනමිද්ධය නූපදනේ නම්, උපන්නා වූ ද ථිනමිද්ධය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ (ප්‍රථමාරම්භවීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) ආරම්භධාතු ද (කුසීතභාවයෙන් නික්මුනු බැවින් එයට වඩා බලවත්) නික්කමධාතු ද, (සම්බාධ මැඩ මතු මත්තට යන හෙයින් එයට ද වඩා බලවත්) පරක්කමධාතු ද යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ආරබ්ධවීර්‍ය්‍ය ඇතියහුට නූපන්නා වූ ද ථිනමිද්ධය නූපදනේ ය. උපන්නා වූ ද ථිනමිද්ධය ප්‍රහීණ වේ.
Pali BJT1. 2. 9.
Sinhala BJT1. 2. 9.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නං වා උද්ධච්චකුක්කුච්චං නුප්පජ්ජති, උප්පන්නං වා උද්ධච්චකුක්කුච්චං පහීයති, යථයිදං භික්ඛවෙ චෙතසො වූපසමො. වූපසන්තචිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නං චෙව උද්ධච්චකුක්කුච්චං නුප්පජ්ජති, උප්පන්නඤ්ච උද්ධච්චකුක්කුච්චං පහීයතීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය නූපදනේ නම්, උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ චිත්තයාගේ සන්හිඳීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, සන්හුන් සිත් ඇත්තහුට නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය නූපදනේ ය. උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වේ.
Pali BJT1. 2. 10.
Sinhala BJT1. 2. 10.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා විචිකිච්ඡා නුප්පජ්ජති, උප්පන්නා වා විචිකිච්ඡා පහීයති, යථයිදං භික්ඛවෙ යොනිසො මනසිකාරො. යොනිසො භික්ඛවෙ මනසි කරොතො අනුප්පන්නා චෙව විචිකිච්ඡා නුප්පජ්ජති, උප්පන්නා ච විචිකිච්ඡා පහීයතීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නාවූ වූ ද විචිකිච්ඡාව නූපදනේ නම්, උපන්නා වූ ද විචිකිච්ඡාව ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ නුවණින් මෙනෙහි කිරීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද විචිකිච්ඡාව නූපදනේ ය. උපන්නා වූ ද විචිකිච්ඡාව ප්‍රහීණ වේ.
Pali BJTවග්ගො දුතියො.{*}
Sinhala BJTදෙවන වග යි.
Pali BJT3. අකම්මනියවග්ගො
Sinhala BJT3. අකර්‍මණ්‍ය වර්‍ගය
Pali BJT1. 3. 1.
Sinhala BJT1. 3. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං අකම්මනියං හොති, යථයිදං{*} චිත්තං. චිත්තං භික්ඛවෙ අභාවිතං අකම්මනියං හොතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) නොවඩන ලද්දේ අකර්‍මණ්‍ය (=කර්‍මයට අහිත) වේ නම්, චිත්තය බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවඩන ලද සිත අකර්‍මණ්‍ය වේ.
Pali BJT1. 3. 2.
Sinhala BJT1. 3. 2.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං කම්මනියං හොති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ භාවිතං කම්මනියං හොතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) වඩන ලද්දේ කර්‍මණ්‍ය වේ ද, චිත්තය බඳු අන් එක ද ධර්‍මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, (භාවනා වශයෙන්) වඩන ලද සිත කර්‍මණ්‍ය වේ.
Pali BJT1. 3. 3.
Sinhala BJT1. 3. 3.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අභාවිතං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අභාවිතං මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) නොවඩනා ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවඩන ලද සිත මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 3. 4.
Sinhala BJT1. 3. 4.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං මහතො අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ භාවිතං මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) වඩන ලද්දේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 3. 5.
Sinhala BJT1. 3. 5.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අභාවිතං අපාතුභූතං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අභාවිතං අපාතුභූතං මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ නොවඩන ලද්දේ (විදර්‍ශනා මාර්‍ග ඵල නිර්‍වාණයන් අරමුණු කොට) පහළ නො වූයේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවැඩු (විදර්‍ශනාදිය අරමුණු කොට) පහළ නො වූ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 3. 6.
Sinhala BJT1. 3. 6.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං පාතුභූතං මහතො අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ භාවිතං පාතුභූතං මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ වඩන ලද්දේ පහළ වූයේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු (විදර්‍ශනාදිය අරමුණු කොට) පහළ වූ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 3. 7.
Sinhala BJT1. 3. 7.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අභාවිතං අබහුලීකතං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අභාවිතං අබහුලීකතං මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ නොවඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නො වැඩු බහුල වශයෙන් පුරුදු නොකළ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 3. 8.
Sinhala BJT1. 3. 8.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තති. යථයිදං{*} චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තතී”ති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු බහුල වශයෙන් කළ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 3. 9.
Sinhala BJT1. 3. 9.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අභාවිතං අබහුලීකතං දුක්ඛාවහං{1} හොති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අභාවිතං අබහුලීකතං දුක්ඛාවහං{1} හොතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ නොවැඩුයේ බහුල වශයෙන් නොකෙළේ දුක් එළවන්නේ වේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවැඩු බහුල වශයෙන් නොකළ සිත දුක් එළවන්නේ වෙයි.
Pali BJT1. 3. 10.
Sinhala BJT1. 3. 10.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං බහුලීකතං සුඛාවහං{2} හොති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ භාවිතං බහුලීකතං සුඛාවහං{2} හොතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ වැඩුයේ බහුල වශයෙන් කෙළේ සුව එළවන්නේ වේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, භාවිතය වූ බහුලීකෘත වූ සිත සුව එළවන්නේ වේ.
Pali BJTවග්ගො තතියො.{3}
Sinhala BJTතෙවන වග යි.
Pali BJT4. අදන්තවග්ගො
Sinhala BJT4. අදන්ත වර්‍ගය
Pali BJT1. 4. 1.
Sinhala BJT1. 4. 1.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අදන්තං මහතො අනත්ථාය සංවත්තති. යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අදන්තං මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ නොදැමුනේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත් බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොදැමුනු සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 4. 2.
Sinhala BJT1. 4. 2.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං දන්තං මහතො අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ දන්තං මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ දැමුනේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, දැමුනු සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 4. 3.
Sinhala BJT1. 4. 3.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අගුත්තං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අගුත්තං මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ (සතිසංවරයෙන්) ගෝපනය නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, අගෝපිත වූ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 4. 4.
Sinhala BJT1. 4. 4.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං ගුත්තං මහතො අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ ගුත්තං මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ ගෝපනය කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ගෝපිත වූ සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 4. 5.
Sinhala BJT1. 4. 5.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අරක්ඛිතං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං{*} චිත්තං. චිත්තං භික්ඛවෙ අරක්ඛිතං මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ නොරක්නා ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොරැකුනු සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 4. 6.
Sinhala BJT1. 4. 6.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං රක්ඛිතං මහතො අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ රක්ඛිතං මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ රක්නා ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, රැකුනු සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 4. 7.
Sinhala BJT1. 4. 7.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අසංවුතං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අසංවුතං මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ සංවර නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, සංවර රහිත සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 4. 8.
Sinhala BJT1. 4. 8.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං සංවුතං මහතො අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ සංවුතං මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ සංවර කරණ ලද්දේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, සංවර කළ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 4. 9.
Sinhala BJT1. 4. 9.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අදන්තං අගුත්තං අරක්ඛිතං අසංවුතං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අදන්තං අගුත්තං අරක්ඛිතං අසංවුතං මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ නොදැමුනේ ගෝපනය නොකරණ ලද්දේ සංවර නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොදැමුනු ගෝපනය නොකළ නොරැකි සංවර රහිත සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 4. 10.
Sinhala BJT1. 4. 10.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං මහතො අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ දැමුනේ ගෝපනය කරණ ලද්දේ රක්නා ලද්දේ සංවර කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, දාන්ත වූ ගුප්ත වූ රක්‍ෂිත වූ සංවෘත වූ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJTවග්ගො චතුත්ථො.{1}
Sinhala BJTසිවුවන වග යි.
Pali BJT5. සූකවග්ගො.
Sinhala BJT5. ශුක වර්‍ගය
Pali BJT1. 5. 1.
Sinhala BJT1. 5. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ සාලිසූකං වා යවසූකං වා මිච්ඡාපණිහිතං හත්ථෙන වා පාදෙන වා අක්කන්තං හත්ථං වා පාදං වා භෙච්ඡති,{*} ලොහිතං වා උප්පාදෙස්සතීති, නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු: මිච්ඡාපණිහිතත්තා භික්ඛවෙ සූකස්ස. එවමෙව ඛො භික්ඛවෙ සො වත භික්ඛු මිච්ඡාපණිහිතෙන චිත්තෙන අවිජ්ජං භෙච්ඡති, විජ්ජං උප්පාදෙස්සති, නිබ්බානං සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු: මිච්ඡාපණිහිතත්තා භික්ඛවෙ චිත්තස්සාති.
Sinhala BJTමහණෙනි, (උඩු අක් කොට නො තබා) වරදවා තබන ලද හැල්වී නංඩුයෙක් වේවයි යව වී නංඩුයෙක් වේව යි, අතින් වේවයි පයින් වේවයි, ඇක්මුනේ, අත වේවයි පය වේවයි බිඳුනේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙ කරුණ විද්‍යමාන නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, නංඩුව වරදවා තැබූ වන බැවිනි. මහණෙනි, එපරිදි ඒකාන්තයෙන් ඒ මහණ වරදවා තබන ලද සිතින් (දුඃඛාදි අට තන්හි නොදැනීම) ය යි කියන ලද අවිද්‍යාව බිඳුනේ ය, (අභීන්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව උපදවන්නේ ය, නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යාම මෙ කරුණ විද්‍යමාන නො වේ. ඒ කවර හෙයින යත්:- මහණෙනි, සිත වරදවා තැබූ වන බැවිනි.