Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 9701-9800 න් 15980

සීතිභාව සූත්‍රය, ආවරණ සූත්‍රය, වෝරෝපිත සූත්‍රය, සුස්සූසති සූත්‍රය, අප්පහාය සූත්‍රය, පහීණ සූත්‍රය, අභබ්බ සූත්‍රය, පඨම, දුතිය, තතිය, චතුත්‍ථ අභබ්බට්ඨාන සූත්‍රයෝ දැයි සූත්‍ර එකොළොසෙකි.
5. ආනිසංස වර්‍ගය
6. 2. 5. 1.
[පාතුභාව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, සදෙනකුන්ගේ පාළවීම ලොව්හි දුර්‍ලභ වෙයි. කවර සදෙනකුන්ගේ ය යත්:
තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ පහළවීම ලොව්හි දුර්‍ලභ වෙයි, තථාගතප්‍රවිදිත ධර්‍ම විනය දෙසන පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි, ආර්‍ය්‍යායතනයෙහි (මධ්‍යමදේශයෙහි) ඉපැත්ම ලොව්හි දුර්‍ලභ වෙයි, ලොව්හි ඉන්‍ද්‍රියයන්ගේ අවිකලභාවය දුර්‍ලභ වෙයි, ලොව්හි අජඩතා හා අනෙලමූගත්‍ව දුර්‍ලභ වෙයි, ලොව්හි කුශලධර්‍මච්ඡන්‍දය දුර්‍ලභ වෙයි.
මහණෙනි, මෙ සදෙනාගේ පාළවීම දුර්‍ලභ වෙයි.
6. 2. 5. 2.
[ආනිසංස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
43. මහණෙනි, ස්‍රෝතාපත්තිඵල සාක්‍ෂාත් ක්‍රියායෙහි මෙ අනුසස් සයෙකි. කවර සයෙක යත්:
ශාසන සද්ධර්‍මයෙහි නියත වෙයි, නො පිරිහෙන සැහැවි ඇතියේ වෙයි, කෙළවර කරණලද කෙලෙස් පිළිබඳ දුක් (නැවත) නො වෙයි, (පුහුදුන් හා) අසාධාරණඥානයෙන් සමන්‍වාගත වෙයි, ඔහු විසින් හේතු ද මොනොවට දක්නාලදුයේ වේ, හේතු සමුත්පන්නධර්‍මයෝ ද මොනොවට දක්නාලදහ.
මහණෙනි, ස්‍රෝතාපත්තිඵල සාක්‍ෂාත් ක්‍රියායෙහි මෙ අනුසස් සය යි.
6. 2. 5. 3.
[අනිච්ච සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, එ මහණ කිසිදු සංස්කාරයන් නිත්‍යවශයෙන් බලන්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය’ යන තෙල කරුණ විද්‍යමාන නො වේ. අනුලෝමික ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යක්ත්‍ව නියාමයට නො බස්නේ සෝවත්පල වේවයි සෙදගැමිපල වේවයි අනගැමිපල වේවයි රහත්පල වේවයි පසක් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණෙනි, එ මහණ එකැතින් සර්‍වසංස්කාරයන් අනිත්‍ය විසින් දක්නේ, අනුලෝමික ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි, අනුලෝමික ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍ව නියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝතාපත්තිඵලය හෝ සකදාගාමිඵලය හෝ අනාගාමිඵලය හෝ අර්‍හත්ඵලය හෝ පසක් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
6. 2. 5. 4.
[දුක්ඛ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, ඒ මහණ එකැතින් කිසි සංස්කාරයක් සුබ විසින් දක්නේ … තෙල කරුණ විද්‍යමාන නො වේ.
ඒ මහණ එකැතින් සර්‍ව සංස්කාරයන් දුඃඛ විසින් දක්නේ … තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
6. 2. 5. 5.
[අනත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, ඒ මහණ එකැතින් කිසි ධර්‍මයක් ආත්මවශයෙන් දක්නේ … තෙල කරුණ විද්‍යමාන නො වේ.
ඒ මහණ එකැතින් සර්‍ව ධර්‍මයන් අනාත්ම විසින් දක්නේ … තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
6. 2. 5. 6.
[නිබ්බාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය දුඃඛ විසින් දක්මින් අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යක්ත්‍වනියාමයට නො බස්මින් සෝතාපත්තිඵලය වේවයි සකදාගාමිඵලය වේවයි අනාගාමි ඵලය වේවයි අර්‍හත්ඵලය වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණෙනි, ඒ මහණ එකැතින් නිර්‍වාණය සුඛ විසින් දක්නේ අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝතාපත්තිඵලය හෝ සකදාගාමිඵලය හෝ අනාගාමිඵලය හෝ අර්‍හත්ඵලය හෝ සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
6. 2. 5. 7.
[අනවත්‍ථිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, අනුසස් සයක් මොනොවට දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා (කොටස්) රහිත කොට අනිත්‍යසංඥාව සිත්හි එළවා ගන්නට නිසි වේ මැ යි. කවර සයෙක යත්:
හැම සංස්කාරයෝ අනවස්ථිත (ස්ථාන භේද රහිත ව බිඳෙනසුලු) සෙයින් මට වැටහෙත්, (ස්කන්‍ධ සඞ්ඛ්‍යාත) හැම ලොව්හිදු මාගේ සිත නො ඇලෙන්නේ ය, මාගේ සිත සකල ත්‍රෛධාතුක ලෝකයෙන් ද නැඟ සිටුනේ ය, මාගේ චිත්තය නිර්‍වාණයට නැඹුරු වන්නේ ය, මාගේ සංයෝජනයෝ ද ප්‍රහාණයට යන්නාහ, උත්තම ශ්‍රමණභාවයෙන් (ආර්‍ය මාර්‍ගයෙන්) සමන්‍වාගත ද වන්නේ ය.
මහණෙනි, මෙ අනුසස් සය මැනැවින් දක්නා මහණහු විසින් හැම සංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට අනිත්‍යසංඥාව එළවන්නට සුදුසු ය යි.
6. 2. 5. 8.
[උක්ඛිත්තාසික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, අනුසස් සයක් මැනවින් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට දුඃඛසංඥාව එළවන්නට නිසි මැ යි. කවර සයෙක යත්:
ඔසොවාගත් අසිපත් ඇති වධකයා කෙරෙහි මෙන් සර්‍වසංස්කාරයන්හිදු මගේ නිර්වේදසංඥාව එළඹ සිටියේ වෙයි, සකල ත්‍රෛධාතුක ලෝකයෙන් මාගේ සිත ද නැඟ සිටුනේ ය, නිර්‍වාණයෙහි මැ ශාන්තභාවය දක්නෙම් වන්නෙමි, මාගේ අනුශයයෝ ද මුලුසුන් බවට යෙති, සිවුමඟ කරණී කරණ සුලු වන්නෙමි, ශාස්තෘහු ද මා විසින් මෙත්සහගිය පරිචරණයෙන් (වතින්) අරියනලද්දාහු වෙති යි.
මහණෙනි, මෙ අනුසස් සය දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි කොටස් නො බෙදා දුඃඛසංඥාව එළවන්නට වටනේ ය යි.
6. 2. 5. 9.
[අතම්මය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, අනුසස් සයක් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට අනාත්මසංඥාව එළවන්නට වටනේ ය. කවර සයෙකින යත්:
සව්ලෝහිදු (තණ්හා-දිට්ඨි සඞ්ඛ්‍යාත) තම්මය නැතියෙම් වන්නෙමි. මගේ (මාන සඞ්ඛ්‍යාත) අහඞ්කාරදෘෂ්ටීහු ද උපරෝධයට (ආවරණයට) යන්නාහ. මාගේ මමඞ්කාර සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෝ ද උපරුද්ධ වන්නාහ. අසාධාරණ වූ (පුහුදුන් හා සාධාරණ නො වූ) ඥානයෙනුදු සමන්‍වාගත වන්නෙමි. හේතුව ද මා විසින් මොනොවට දක්නා ලද වෙයි. හේතුයෙන් උපන් ඵලධර්‍මයෝ ද මොනොවට දක්නාලදහු වෙති.
මහණෙනි, මෙ අනුසස් සය මැනැවින් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයෙහි සීමා නො කොට අනාත්මසංඥාව එළවන්නට නිසි වේ ය යි.
6. 2. 5. 10.
[භව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
51. මහණෙනි, මෙ භවයෝ තිදෙනෙක් ප්‍රහාතව්‍ය වෙත්. ශික්‍ෂාතුණෙක්හි හික්මිය යුතු වෙයි.
කවර තුන් භවයෝ පැහිය යුතු වෙත් යැ යත්:
කාමභවය, රූපභවය, අරූපභවය යි. මේ තුන් භවයෝ පැහිය යුතු වෙත්.
කවර ශික්‍ෂාත්‍රයක හික්මිය යුතු ද යත්:
අධිශීලශික්‍ෂායෙහි ය, අධිචිත්තශික්‍ෂායෙහි ය, අධිප්‍රඥාශික්‍ෂායෙහි යි. මෙ ශික්‍ෂාත්‍රයහි හික්මිය යුතු යි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ මෙ තුන් භවයෝ ප්‍රහීණ වෙත් නම්, (මහණ) මෙ තුන් ශික්‍ෂායෙහි ශික්‍ෂිතශික්‍ෂ වේ නම්, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණා සිඳී ය, සංයෝජන උපුටා හළේ ය, මනාකොට මානප්‍රහාණයෙන් (අර්‍හත්‍වාවබෝධයෙන්) වෘත්තදුඃඛය අන්ත කෙළේ ය යි කියනු ලැබේ.
6. 2. 5. 11.
[තණ්හා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
52. මහණෙනි, මෙ තෘෂ්ණාවෝ තිදෙනෙක් ද මානයෝ තිදෙනෙක් ද ප්‍රහාතව්‍ය වෙත්.
කවර තෘෂ්ණාවෝ තිදෙනෙක් ප්‍රහාතව්‍යයෝ වෙති යත්:
කාමතෘෂ්ණා ය, භවතෘෂ්ණා ය, විභවතෘෂ්ණා යි. මෙ තුන්තෘෂ්ණාවෝ පැහිය යුතු වෙත්.
කවර මානයෝ තිදෙනෙක් ප්‍රහාතව්‍ය වෙති යත්:
මාන ය, අවමාන ය, අතිමාන යි. මෙ තුන් මානයෝ ප්‍රහාතව්‍ය වෙත්.
මහණෙනි, යම් කලෙක භික්‍ෂූහුගේ මෙ තෘෂ්ණාවෝ තුන්දෙන ප්‍රහීණ වෙත් ද, මෙ මානයෝ තුන්දෙන ප්‍රහීණ වෙත් ද, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණාව සිඳලී ය, සංයෝජන උපුළේ ය, මනා කොට මානාභිසමයෙන් (අර්‍හත්ත්‍වාවබෝධයෙන්) වෘත්තදුඃඛය කෙළවර කෙළේ ය යි කියනු ලැබේ.
ආනිසංසවර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
පාතුභාව සූත්‍රය, ආනිසංස සූත්‍රය, අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, නිබ්බාන සූත්‍රය, අනවත්‍ථිත සූත්‍රය, උක්ඛිත්තාසික සූත්‍රය, අතම්මය සූත්‍රය, භව සූත්‍රය, තණ්හා සූත්‍රය දැයි එකොළොසෙකි.
දෙවන පණ්ණාසයක නිමි.
පණ්ණාසකාතිරෙක වග්ගා
1. තික වර්‍ගය
6. 1. 1.
[රාග සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මෙ ධර්‍මයෝ තිදෙනෙකි, කවර තිදෙනෙක යත්:
රාගය හා ද්වේෂය හා මෝහය හා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ තිදෙන යි.
මහණෙනි, මෙ තුන් දහමුන්ගේ ප්‍රහාණය සඳහා ධර්‍මයෝ තිදෙනෙක් වැඩියයුතු වෙත්. කවර තුන් දෙනෙක යත්:
රාගයාගේ ප්‍රහාණය පිණිස අශුභය වැඩියයුතු යැ, ද්වේෂයාගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩිය යුතුයැ, මෝහයාගේ ප්‍රහාණය පිණිස ප්‍රඥාව වැඩිය යුතු යි.
මහණෙනි, මෙ තුන් දහමුන්ගේ ප්‍රහාණය පිණිස මෙතුන් දහම් වැඩිය යුතු යි.
[දුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, මෙ ධර්‍මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක යත්:
කායදුශ්චරිත ය, වචීදුශ්චරිත ය, මනෝදුශ්චරිතය යි. මහණෙනි, මොහු තුන්ධර්‍මයෝ යි.
මහණෙනි, මෙ ත්‍රිවිධ ධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා ධර්‍මයෝ තිදෙනෙක් වැඩියයුතු වෙත්. කවර තිදෙනෙක යත්:
මහණෙනි, කායදුශ්චරිතයාගේ ප්‍රහාණය සඳහා කායසුචරිතය වැඩිය යුතු යැ, වාග්දුශ්චරිතයාගේ ප්‍රහාණය සඳහා වාක්සුචරිතය වැඩිය යුතු යැ, මනෝදුශ්චරිතයාගේ ප්‍රහාණය සඳහා මනෝසුචරිතය වැඩිය යුතු යි.
මහණෙනි, මේ තුන් දහමුන්ගේ ප්‍රහාණය සඳහා මෙ තුන් ධර්‍මයෝ වැඩිය යුතු වෙත් යයි.
[විතක්ක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, මෙ දහම්හු තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක යත්:
කාමවිතර්‍කය හා ව්‍යාපාදවිතර්‍කය හා විහිංසාවිතර්‍කය යි. මහණෙනි, මොහු තුන් ධර්‍මයෝ ය.
මහණෙනි, මේ තුන් දහම් පැහීමට තුන් දහමෙක් වැඩිය යුතුය. කවර තුණෙක යත්:
කාමවිතර්‍කයාගේ ප්‍රහාණය සඳහා නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය වැඩියයුතු, ව්‍යාපාද විතර්‍කයාගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාදවිතර්‍කය වැඩිය යුතු, විහිංසාවිතර්‍කයාගේ ප්‍රහාණය සඳහා අවිහිංසාවිතර්‍කය වැඩිය යුතු යි.
මහණෙනි, මෙ ත්‍රිවිධ ධර්‍ම ප්‍රහීණ කිරීමට මෙ ධර්‍මත්‍රය වැඩිය යුතු යයි.