මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අග්‍රධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැ ඇතියේ වෙයි, හිරි ඇතියේ වෙයි, ඔතප් ඇතියේ වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ප්‍රඥා ඇතියේ වෙයි. කයයෙහිදු දිවියෙහිදු අපේක්‍ෂා නැතියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ අග්‍රධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වේ යයි.
6. 2. 3. 10.
[රත්තිදිවස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත භික්‍ෂුහට යම් මැ රාත්‍රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්‍මයන්හි හානියක් මැ මුත් වෘද්ධියෙක් කැමැති නො විය යුතු ය. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර (ලදසේ යම්කිසි) චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් නො සතුටු වූයේ මහේච්ඡ වූයේ (මහේච්ඡාවෙන් උපන් ලෝභයෙන්) දුඃඛිත වෙයි, ශ්‍රද්ධා නැතියේ වෙයි, දුශ්ශීල වෙයි, කුසීත වෙයි, නට සිහි ඇතියේ වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණහට යම් මැ රාත්‍රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්‍මයන්හි හානියෙක් මැ කැමැති විය යුතු යි. වෘද්ධියෙක් නො වේ.
මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණහට යම් මැ රාත්‍රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්‍මයන්හි වෘද්ධියක් මැ මුත් හානියෙක් නො කැමැති වියයුතු. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ මහේච්ඡ නො වූයේ ඉතරෙතරචීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වූයේ දුඃඛිත නො වෙයි, සැදැහැතියේ වෙයි, සිල්වත් වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ස්මෘති ඇතියේ වෙයි, ප්‍රඥාවත් වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණහට යම් මැ රාත්‍රියක් වේවයි, දවසෙක් වේවයි පැමිණේ නම්, කුශලධර්‍මයන්හි හානියෙක් නො වෙයි, වෘද්ධියෙක් මැ වේ.
අරහත්තවර්‍ගය තෙවැනි යි.
එහි උද්දානය:
දුක්ඛ සූත්‍රය, අරහත්ත සූත්‍රය, උත්තරිමනුස්සධම්ම සූත්‍රය, සුඛසෝමනස්ස සූත්‍රය, අධිගම සූත්‍රය, මහන්තත්ත සූත්‍රය, නිරය සූත්‍ර දෙක ය, අග්ගධම්ම සූත්‍රය, රත්තිදිවස සූත්‍රය දැයි දශයෙකි.
4. සීති වර්‍ගය
6. 2. 4. 1.
[සීතිභාව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අනුත්තර ශීතලභාවය (නිවණ හෝ ක්ලේශජාතව්‍යුපශමය) ප්‍රත්‍යක්‍ෂ කරන්නට නො පොහොසත් වෙයි. කවර සයෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ, යම් කලෙක්හි සිත නිග්‍රහ කළ (සමාධියෙන් දැමිය) යුතු වේ නම් ඒකාලයෙහි සිත නො නිගන්නේ ය. යම් කලෙක්හි සිත ප්‍රග්‍රහ (වීර්‍ය්‍යයෙන් උත්සාහවත්) කටයුතු වේ නම්, එ සමයෙහි සිත නංවා නො ගන්නේ ය. යම් සමයෙක්හි සිත මොනොවට (සමාධියෙන්) පහන් කටයුතු වේ නම් එ සමයෙහි සිත සම්ප්‍රහර්‍ෂණ නො කරන්නේ ය. යම් සමයෙක්හි සිත අධ්‍යුපේක්‍ෂණ (උපේක්‍ෂාවෙන් මධ්‍යස්ථ) කටයුතු වේ නම් එ සමයෙහි සිත අධ්‍යුපේක්‍ෂණ නො කරන්නේ ය. හීනාධිමුක්ති (ලමු අදහස්) ඇතියේ ද වෙයි. සත්කායදෘෂ්ටියෙහි අභිරත වූයේ ද වෙයි.
මහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර සයෙකින් යත්:
මහණෙනි මෙ සස්නෙහි මහණ යම් කලෙක්හි චිත්තය නිග්‍රහ කටයුතු වේ නම්, එසමයෙහි චිත්තය නිග්‍රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය ප්‍රගෘහීතව්‍ය වේ නම්, එසමයෙහි චිත්තය ප්‍රග්‍රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය සම්ප්‍රහර්‍ෂයට නිසි වේ නම්, එ සමයෙහි චිත්තය සම්ප්‍රහර්‍ෂ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය අධ්‍යුපේක්‍ෂණීය වේ නම් එ සමයෙහි චිත්තය අධ්‍යුපේක්‍ෂා කෙරෙයි, ප්‍රණීතාධිමුක්ති (උතුම් අදහස්) ඇතියේ ද වෙයි. නිර්‍වාණයෙහි අභිරත ද වේ.
මහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි.
6. 2. 4. 2.
[ආවරණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, සකරුණෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසනුයේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට (මාර්‍ගයට) බස්නට අභව්‍ය වෙයි. කවර සකරුණෙන යත්:
(පඤ්චානන්තර්‍ය්‍යකර්‍ම සඞ්ඛ්‍යාත) කර්‍මාවරණතායෙන් සමන්‍වාගත වෙයි, (නියතමිථ්‍යාදෘෂ්ටි සඞ්ඛ්‍යාත) ක්ලේශාවරණයෙන් සමන්‍වාගත වෙයි, (අකුසලවිපාකපටිසන්‍ධි හෝ කුසලවිපාකහේතුක ප්‍රතිසන්‍ධි සඞ්ඛ්‍යාත) විපාකාවරණයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රද්ධා නැතියේත් වෙයි, කත්තුකාමතාකුසලච්ඡන්‍ද නැතියේ ද වෙයි, දුෂ්ප්‍රාඥ ද වෙයි.
මහණෙනි, මේ සකරුණෙන් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ග නියාමයට බස්නට අභව්‍ය වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ගනියාමයට බස්නට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
කර්‍මාවරණතායෙන් සමන්‍වාගත නො වෙයි, ක්ලේශාවරණතායෙන් සමන්‍වාගත නො වෙයි, විපාකාවරණතායෙන් සමන්‍වාගත නො වෙයි, ශ්‍රද්ධා ඇතියේ වෙයි, කත්තුකාමතාකුසලච්ඡන්‍දයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥා ඇතියේ වෙයි.
මහණෙනි, මෙ සකරුණින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ග නියාමයට බස්නට භව්‍ය වෙයි.
6. 2. 4. 3.
[වෝරෝපිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මව දිවියෙන් ගැළවූයේ වෙයි, පියා දිවියෙන් ගැළවූයේ වෙයි, රහතුන් දිවියෙන් ගැළවූයේ වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ශරීරයෙහි ලෙහෙ උපදවනලද වෙයි, සඟහු බිඳුවනලද වෙත්, ජඩ වූයේ කෙලතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත වූයේ සදහම් අසනුයේ ද කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට නො නිසියේ වේ.
මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසනුයේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මව දිවියෙන් නො ගැළවූයේ වෙයි, පියා දිවියෙන් නො ගැළවූයේ වෙයි, රහතුන් දිවියෙන් නො ගැළවූයේ වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ලෝහිත නො උපදවනලද වෙයි, සඟහු නො බිඳුවනලද වෙති, ජඩ නො වූයේ කෙලතොලු නො වූයේ ප්‍රඥාවත් වේ.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වය සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වේ ය යි.
6. 2. 4. 4.
[සුස්සූසති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, ධර්‍ම සයෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
තථාගතයන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මය දෙසනුලබත් මැ නො අසනු කැමැතියේ වෙයි, කන් යොමු නො කෙරෙයි, දැනගැණුමට සිත නො එළවයි, අනර්‍ත්‍ථය ගන්නේ ය, අර්‍ත්‍ථය බැහැර ලන්නේ ය, ශාසනයට අනනුලෝම ක්‍ෂාන්තියෙන් (ධර්‍මචිත්තයෙන්) සමන්‍වාගත වෙයි.
මහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට බස්නට නො නිසි වෙයි.
මහණෙනි, සකරුණෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට බස්නට නිසි වෙයි. කවර සයෙකින යත්:
තථාගතයන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මවිනය දෙසනු ලබත් මැ අසනු කැමැති වෙයි, ඇසීමට කන් යොමු කෙරෙයි, දැනගැණීමට සිත් එළවයි, අර්‍ත්‍ථය ගන්නේ ය, අනර්‍ත්‍ථය හරණේ ය, ශාසනයට අනුලොම් වූ ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට භව්‍ය වේ ය යි.
6. 2. 4. 5.
[අප්පහාය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, කරුණු සයක් නො දුරලා, දෘෂ්ටිසම්පත් (සෝවන්මග) පසක් කරන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බත පරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ යි.
මහණෙනි, මෙ කරුණු සය නො දුරලා දෘෂ්ටිසම්පත් සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි.
මහණෙනි, ධර්‍ම සයක් දුරු කොට දිට්ඨිසම්පදා පසක් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ ය යි.
මහණෙනි, මෙ කරුණු සය දුරු කොට දෘෂ්ටිසම්පත් සාක්‍ෂාත් කරන්නට නිසි වේ ය යි.
6. 2. 4. 6.
[පහීණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, දිට්ඨිසම්පන්න (සෝවන්) පුද්ගලයාගේ මෙ දහම් සය ප්‍රහීණ ය. කවර සයෙක යත්:
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ යි.
මහණෙනි, මෙ දහම් සය දිට්ඨිසම්පන්න පුඟුල්හට ප්‍රහීණ යි.
6. 2. 4. 7.
[අභබ්බ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, දිටුසපන් පුඟුල් (සෝවන් පුද්ගල) කරුණු සයක් උපදවන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
සක්කාය දිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ ය යි.
මහණෙනි, දිටුසපන් පුඟුල් මෙ කරුණු සය උපදවන්නට නො පොහොසත් වේ ය යි.
6. 2. 4. 8.
[අභබ්බට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න පුද්ගල ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ධර්‍මය කෙරෙහි අගෞරව ඇති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල සඟුන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ශික්‍ෂායෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල අනාගමනීය (පඤ්චවේර-ද්වාසට්ඨිදිට්ඨි යන) කරුණට ප්‍රත්‍යාගමන (ආපසු පැමිණීම) කරන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල (කාමාවචර භූමියෙහි) අෂ්ටම භවයක් උපදවන්නට නො නිසි වෙයි.
මහණෙනි, මේ අභව්‍යස්ථාන සය යි.
6. 2. 4. 9.
[දුතිය අභබ්බට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි සංස්කාරයක් නිත්‍ය විසින් පිළිගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි සංස්කාරයක් ශුභ විසින් පිළිගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි ධර්‍මයක් ආත්ම විසින් ගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ආනන්තර්‍ය්‍යකර්‍ම කරන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටි සම්පන්න පුද්ගල (දිට්ඨ සුත මුත සඞ්ඛ්‍යාත) කොතුහලමඞ්ගලයෙන් ශුද්ධිය කරා හැරීමට (පිරිසුදුබව පිළිගැණීමට) අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයකු සොයන්නට අභව්‍ය වෙයි.
මහණෙනි, මෙ අභව්‍යස්ථාන සය යි.
6. 2. 4. 10.
[තතිය අභබ්බට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න පුද්ගල මව දිවියෙන් ගළවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල පියා දිවියෙන් ගළවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල රහතුන් දිවියෙන් ගළවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ශරීරයෙන් ලෙහෙ උපදවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල සඞ්ඝයා බිඳුවන්නට අභව්‍ය වෙයි.
මහණෙනි, මෙ අභව්‍යස්ථාන සය යි.
6. 2. 4. 11.
[චතුත්‍ථ අභබ්බට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගල තෙම ස්වයංකෘත (තමා විසින් කරණ ලදැයි ආත්මවාදීන් කියන) සුඛදුඃඛ (නිත්‍ය ශුභ ආත්ම විසින් පිළිගන්නට අභව්‍ය වෙයි). දෘෂ්ටිසම්පන්න පුද්ගල පරකෘත (පරා විසින් කරණ ලදැයි කියන) සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල ස්වයංකෘත වූත් පරකෘත වූත් සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අසයංකාර වූ අධීත්‍යසමුත්පන්න (හේතු රහිතව උපන්) සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අපරංකාර වූ අධීත්‍යසමුත්පන්න සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අසයංකාර වූ ද අපරංකාර වූ ද අධීත්‍යසමුත්පන්න සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි.
එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් එ දෘෂ්ටිසම්පන්න පුද්ගලයා විසින් හේතුව ද හේතුසමුත්පන්න ධර්‍මයෝ ද මොනොවට දක්නා ලද්දාහු ද, එහෙයිනි.
මහණෙනි, මෙ අභව්‍යස්ථාන සය යි.
සීතිවර්‍ගය සතර වැනි යි.
එහි උද්දානය: