18. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත භික්‍ෂු සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට සුදුසු නො වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධි සමවැදීමෙහි දක්‍ෂ නො වෙයි. සමාධි ස්ථිරකිරීමෙහි දක්‍ෂ නො වේ. සමාධියෙන් නැගිටීමෙහි දක්‍ෂ නො වේ. සකසා කරන්නේ ද නො වෙයි. නිතර භාවිත කරන්නේ ද නො වේ. අපත්‍ථ්‍ය ක්‍රියා කරන්නේ ද වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ සමාධියෙන් බලවත්භාවයට පැමිණීමට අභව්‍ය වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධි සමාපත්ති කුශල වෙයි. සමාධි ස්ථිති කුශල වෙයි. සමාධි ව්‍යුත්‍ථාන කුශල වෙයි. සකසා කරණසුලු වෙයි. සත්තභාවයෙන් කරණ සුලු වෙයි. සත්ප්‍රායකාරී වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් යුත් මහණ සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට භව්‍ය වේ ය යි.
6. 2. 2. 9.
[පඨමජ්ඣාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, කරුණු සයක් නො පියා ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා ය, ඔහු විසින් ධ්‍යානප්‍රඥායෙන් කාමයන්හි ආදීනව යථාභූතයෙන් නො දක්නා ලද්දේ වෙයි.
මහණෙනි, මේ කරුණු සයක් නො පියා ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට අභව්‍ය වෙයි.
මහණෙනි, මෙ කරුණු සයක් ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා ය, ඔහු විසින් සම්‍යක්ප්‍රඥායෙන් කාමයන්හි ආදීනව යථාභූතයෙන් දක්නා ලද්දේ වෙයි.
මහණෙනි, මෙ කරුණු සය ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වේ ය යි.
6. 2. 2. 10.
[දුතිය පඨමජ්ඣාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, කරුණු සයක් ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානයට පැමිණ වසන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
කාමවිතක්ක ය, ව්‍යාපාදවිතක්ක ය, විහිංසාවිතක්ක ය, කාමසඤ්ඤා ය, ව්‍යාපාදසඤ්ඤා ය, විහිංසාසඤ්ඤා යි.
මහණෙනි, මෙ කරුණු සය ප්‍රහීණ නොකොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට අභව්‍ය වෙයි.
මහණෙනි, කරුණු සයක් ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
කාමවිතක්ක ය, ව්‍යාපාදවිතක්ක ය, විහිංසාවිතක්ක ය, කාමසඤ්ඤා ය, ව්‍යාපාදසඤ්ඤා ය, විහිංසාසඤ්ඤා යි.
මහණෙනි, මෙ කරුණු සය ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වේ ය යි.
අනාගාමී වර්‍ගය දෙ වැනි යි.
එහි උද්දානය:
අනාගාමිඵල සූත්‍රය, අරහත්තඵල සූත්‍රය, මිත්ත සූත්‍රය, සංගණිකාරාම සූත්‍රය, දේවතා සූත්‍රය, සමාධි සූත්‍රය, සක්ඛිභබ්බ සූත්‍රය, බල සූත්‍රය, පඨමජ්ඣාන සූත්‍රය, දුතිය පඨමජ්ඣාන සූත්‍රය යි, සූත්‍ර දශයෙකි.
3. අරහත්ත වර්‍ගය
6. 2. 3. 1.
[දුක්ඛ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම පීඩා සහිත, උපායාස සහිත, පරිදාහ සහිත දුකෙන් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු. කවර සයෙකින යත්:
කාමවිතර්‍කයෙන, ව්‍යාපාදවිතර්‍කයෙන, විහිංසාවිතර්‍කයෙන, කාමසංඥායෙන, ව්‍යාපදාසංඥායෙන, විහිංසාසංඥායෙනැ යි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි විඝාත (උපද්‍රව) සහිත, උපායාස (දැඩි ආයාස) සහිත, පරිදාහ (කායික මානසික දැවිලි) සහිත දුඃඛයෙන් වෙසෙයි. කාබුන් මරණින් මත්තෙහි දුර්‍ගතිය කැමැති විය යුතු.
මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම පීඩා රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වෙසෙයි. කාබුන් මරණින් මත්තෙහි සුගතිය කැමැති විය යුතු. කවර සයෙකින යත්:
නෛෂ්ක්‍රම්‍යවිතර්‍කයෙන, අව්‍යාපාදවිතර්‍කයෙන, අවිහිංසාවිතර්‍කයෙන, නෛෂ්ක්‍රම්‍යසංඥායෙන, අව්‍යාපාදසංඥායෙන, අවිහිංසාසංඥායෙනැ යි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වාසය කරයි. කාබුන් මරණින් මතුයෙහි සුගතිය කැමැති විය යුතු ය යි.
6. 2. 3. 2.
[අරහත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, කරුණු සයක් නො පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි. කවර සයක යත්:
මාන ය (ජාති ආදීන් හඟින මානය), ඔමාන ය (මම හීනවෙමි යි යන මානය), අතිමාන ය (ඉතා උසස් මානය), අධිමානය (අනධිගතය අධිගතය යන මානය), ථම්භ (ක්‍රෝධ මාන දෙකින් තදබව) ය, අතිනිපාත ය (හීනයාටත් හීනවෙමි යන මාන) යි.
මහණෙනි, මෙ කරුණු සය නො පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට නො නිසි වේ.
මහණෙනි, ධර්‍ම සයක් ප්‍රහීණ කොට අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
මාන ය, ඔමාන ය, අතිමාන ය, අධිමාන ය, ථම්භ ය, අතිනිපාත ය යි.
මහණෙනි, මෙ ධර්‍ම සය ප්‍රහීණ කොට අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි.
6. 2. 3. 3.
[උත්තරිමනුස්සධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, ධර්‍ම සයක් ප්‍රහීණ නො කොට මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවය ගෙණදීමට සමත් ඥානදර්‍ශන විශේෂය පසක් කරන්නට අභව්‍ය වෙයි. කවර සයක යත්:
මුළාසිහි ඇති බව ය, විමසුම් නුවණ නැති බව ය, ඉඳුරන්හි නො පියූ දොර ඇති බව ය, බොජුන්හි පමණ නො දන්නා බව ය, කොහොන් වත් ය, (සිවුපස සඳහා අනුන් උස් හෝ පාත් හෝ කොට කරණ කථා නමැති) ලපනා යි.
__missing trans__
මහණෙනි, ධර්‍ම සයක් ප්‍රහීණ කොට උත්තරිමනුෂ්‍යධර්‍මයෙන් ආර්‍ය්‍යභාවකරණයට සමත් ඥානදර්‍ශනවිශේෂය පසක් කරන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
මුළාසිහි ඇති බව ය විමසුම් නුවණ නැති බව ය ඉඳුරන්හි පියූ දොර ඇති බව ය භෝජනයෙහි පමණ නොදන්න බව ය කුහනා ය ලපනා යි.
මහණෙනි, මෙ දහම් සය පහා මිනිස්දමින් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමත් ඥානදර්‍ශන විශේෂය පසක් කිරීමට භව්‍ය වේ ය යි.
6. 2. 3. 4.
[සුඛසෝමනස්ස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල කොට ඇති ව වෙසෙයි. ඔහු විසින් ආස්‍රවයන්ගේ ක්‍ෂය සඳහා කාරණය ද (පරිපූර්‍ණ කොට) අරඹන ලද වේ ය යි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ධර්‍මාරාම (ධර්‍මයෙහි ඇලුනේ) වෙයි. භාවනාරාම (භාවනායෙහි ඇලුනේ) වෙයි. ප්‍රහාණාරාම (කෙලෙස් පහකිරී මෙහි ඇලුනේ) වෙයි. ප්‍රවිවේකාරාම (කායචිත්තඋපධි විවේකයෙහි ඇලුනේ) වෙයි. අව්‍යාපද්‍යාරාම වෙයි. නිෂ්ප්‍රපඤ්චාරාම (නිවනෙහි ඇලුනේ) වෙයි.
මහණෙනි, මෙ දම් සයෙන් යුත් මහණ දිටුදැමියෙහි ම සුව සොම්නස් බිහිලි කොට වෙසෙයි. ආස්‍රවක්‍ෂය පිණිස කාරණය ද (පරිපූර්‍ණ කොට) අරඹන ලද වේ ය යි.
6. 2. 3. 5.
[අධිගම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, කරුණු සයෙකින් යුත් මහණ නො ලද අධිකුශල ධර්‍මය ලබන්නට හෝ ලද කුශලධර්‍මය වඩන්නට හෝ අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආගමන (අයෙහි) කුශල නො වෙයි. අපගමන (වැයෙහි) කුශල නො වෙයි. උපායකුශල නො වෙයි. නො ලත් කුසල්දහමුන්ගේ අධිගමය (ලැබීම) පිණිස කත්තුකාමතාකුසලච්ඡන්‍දය නො උපදවයි. අධිගත කුශල ධර්‍මයන් නො රක්නේ වෙයි. සාතත්‍ය (නිරන්තර) ක්‍රියායෙන් කුසල් දහම් නො සපයන්නේ වෙයි.
මහණෙනි, මෙ ධර්‍ම සයෙන් සමන්‍වාගත මහණ නො ලත් කුශලධර්‍මය ලබන්නට හෝ ලද කුශලධර්‍මය වඩන්නට හෝ අභව්‍ය වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ නො ලද කුශලධර්‍මය ලබන්නට හෝ ලද කුශලධර්‍මය වඩන්නට හෝ භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආයකුශල ද වෙයි, අපායකුශල ද වෙයි, උපායකුශල ද වෙයි, අනධිගත කුශලධර්‍මයන්ගේ අධිගමය සඳහා ඡන්‍දය උපදවයි, අධිගත කුශල ධර්‍මයන් රක්නේ වෙයි, සතතක්‍රියායෙන් සපයන්නේ වෙයි.
මහණෙනි, මෙ ධර්‍ම සයෙන් සමන්‍වාගත මහණ නො ලත් කුසල්දහම් ලබන්නට ද ලත් කුසල්දහම් වඩන්නට ද භව්‍ය වන්නේ ය යි.
6. 2. 3. 6.
[මහන්තත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම ධර්‍මයන්හි මහද්භාවයට විපුලභාවයට පැමිණේ. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඥානාලෝක බහුල කොට ඇතියේ වෙයි, භාවනානුයෝග බහුල කොට ඇතියේ වෙයි, ප්‍රීතිප්‍රාමෝද්‍ය බහුල කොට ඇතියේ වෙයි. කුශලධර්‍මයන්හි අසන්තුෂ්ටි (නො සෑහීම) බහුල කොට ඇතියේ වෙයි, කුශලධර්‍මයන්හි නො බහාතැබූ (අත් නො හළ) වීර්‍ය්‍යය ඇතියේ වෙයි, දැනුදු මතුයෙහිදු වීර්‍ය්‍යය කෙරේ මැ යි.
මහණෙනි, මෙ දහම් සයෙන් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම ධර්‍මයන්හි මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණේ ය යි.
6. 2. 3. 7.
[පඨම නිරය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවක් යම්සේ නම් එ සෙයින් නිරයෙහි (උපදනේ) වෙයි. කවර සයෙකින යත්:
පණිවා කරණුයේ වෙයි, අයිනාදන් ඇතියේ වෙයි, කාමයෙහි මිසහසර ඇතියේ වෙයි, මුසවා කියන සුලුයේ වෙයි, ලමු ආශා ඇතියේ වෙයි, මිසදිටු ඇතියේ වෙයි.
මහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම් එ සෙයින් නිරයෙහි උපදනේ වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහාතැබූයේ යම්සේ නම් එසෙයින් ස්වර්‍ගයෙහි පිහිටියේ වෙයි. කවර සයෙකින යත්:
පණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි, මුසවායෙන් වැළැකියේ වෙයි, අල්පෙච්ඡ වෙයි, සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම් එසෙයින් ස්වර්‍ගයෙහි පිහිටියේ වේ ය යි.
6. 2. 3. 8.
[දුතිය නිරය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබනලද්දේ යම්සේ නම් එසේ නිරයෙහි වෙයි. කවර සයෙකින යත්:
මුසවා බණනුයේ වෙයි, පිසුනුබස් ඇතියේ වෙයි, පරොස්බස් ඇතියේ වෙයි, පලප් බණනුයේ වෙයි, ලුබ්ධ (ලෝභී) වෙයි, ප්‍රගල්භ (අවිනීත) ද වේ යි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත වූයේ ගෙණෙන ලද්දක් බහාතැබූ සෙයින් නිරයෙහි වේ යයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම්, එසෙයින් ස්වර්‍ගයෙහි පිහිටියේ වෙයි. කවර සයෙකින යත්:
මුසවායෙන් වැළකියේ වෙයි, පිසුනුබසින් වැළැකියේ වෙයි, පරොස්බසින් වැළැකියේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි, අලුබ්ධ වෙයි, ප්‍රගල්භ නො වෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුයේ යම්සේ නම් එසෙයින් ස්වර්‍ගයෙහි වේ යයි.
6. 2. 3. 9.
[අග්ගධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අග්‍රධර්‍මය වන අර්‍හත්‍වය පසක් කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැ නැතියේ වෙයි, හිරි නැතියේ වෙයි, ඔතප් නැතියේ වෙයි, කුසීත වෙයි, දුෂ්ප්‍රාඥ (ප්‍රඥා නැතියේ) වෙයි, කයෙහි දු දිවියෙහි දු සාපේක්‍ෂ (ආසා ඇතියේ) වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් යුක්ත මහණ අග්‍රධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය පසක් කරන්නට අභව්‍ය වෙයි.