Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 9301-9400 න් 15980

ආනන්‍දයෙනි, යම් පරිදි නො කඩ වූ කුණු නො වූ වාඅව්වෙන් නො නට සාරය ගත් මොනොවට රැස් (යහන්) කරණලද මනා කෙත්හි මනාසේ පිරියම් කළ බිම්හි වපුළ බීජයෝ වෙත් නම්, ආනන්‍දයෙනි, මෙ බිජුවටහු වෘද්ධියට විරූඪියට විපුලභාවයට පැමිණෙත් යයි තො දන්හි දැයි. වහන්ස, එසේ ය.
ආනන්‍දයෙනි, එ පරිදි ම මම ‘මේ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’ යි මෙසේ මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි මෙ පුඟුල්හුගේ කුශලධර්‍මයෝ අතුරුදන් වූහ. අකුශලධර්‍මයෝ සම්මුඛීභූත වූහ. මොහුට සමුච්ඡින්න නො වූ කුශලමූල ද ඇත, ඔහුට ඒ කුශලමූලයෙන් කුසල් පාළ වන්නේ ය. මෙසේ ඇතිවත් ම ‘මෙ පුඟුල් මතුයෙහි නො පිරිහෙන සැහැවි ඇති වන්නේ ය’ යි මෙසේ එ පුඟුල්හු මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දැන ගණිමි. ආනන්‍දයෙනි, මෙසේත් තථාගතයන් විසින් පුරුෂ පුද්ගල සිතින් සිත පිරිසිඳ විදිත වෙයි.
ආනන්‍දයෙනි, තථාගතයන් විසින් පුරුෂේන්‍ද්‍රිය (පරෝපරියත්ත) ඥානය මෙසේත් සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, මෙසේත් තථාගතයන් විසින් මතුයෙහි ධර්‍මසමුත්පාදය තමන් සිතින් උහු සිත පිරිසිඳ දන්නා ලදුයේ වෙයි.
(2) ආනන්‍දයෙනි, මෙ ලොව්හි මම ඇතැම් පුඟුලකු ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි ‘මෙ පුඟුල්හුගේ අකුශලධර්‍මයෝ අතුරුදන් වූහ. කුශලධර්‍මයෝ සම්මුඛීභූතයහ. මොහුට අසමුච්ඡින්න වූ අකුශලමූල ද ඇත. ඒ අකුශලමූලයෙන් අකුශල පාළවන්නේ ය. මෙසේ වත් ම, මෙ පුඟුල් මතුයෙහි පරිහානධර්‍ම ඇතියේ වන්නේ ය’යි, මෙසේ මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි.
ආනන්‍දයෙනි, යම් පරිදි අඛණ්ඩ වූ ඈහ නො වූ අව්සුළඟින් නො නට සාරදායී වූ සුඛසයිත වූ බිජුවටහු අතලගලෙක නික්‍ෂිප්ත වෙත් ද, ආනන්‍දයෙනි, මෙ බිජුවටහු වෘද්ධියට විරූඪියට විපුලභාවයට නො පැමිණෙත් ය යි තෙපි දන්වයි? වහන්ස, එසේ ය’යි.
ආනන්‍දයෙනි, එ පරිදි ම මම මෙ ලොව්හි ඇතැම් පුඟුලකු ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි ‘මෙ පුඟුල්හට අකුශලධර්‍මයෝ අතුරුදන්හ, කුශලධර්‍මයෝ සම්මූඛිභූතයහ, මොහුට අකුශලමූල ද නුසුන් ව ඇත. ඔහුට ඒ අකුශල මුලින් අකුශල පාළවන්නේ ය මෙසේ වත් ම මෙ පුඟුල් මතුයෙහි පරිහාන ධර්‍ම වන්නේ ය’යි සිතින් සිත පිරිසිඳඔහු දන්මි.
ආනන්‍දයෙනි, මෙසේත් තථාගතයන් විසින් පුරුෂපුද්ගල සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. ආනන්‍දයෙනි, මෙසේත් තථාගතයන් විසින් පුරුෂේන්‍ද්‍රිය ඥානය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, මෙසේත් තථාගතයන් විසින් මතුයෙහි (ඔහුගේ) ධර්‍මසමුත්පාදය සිතින් සිත පිරිසිඳ දන්නාලද්දේ වෙයි.
(3) ආනන්‍දයෙනි, මෙ ලොව්හි මම ඇතැම් පුඟුලකු ‘මෙ පුද්ගලහට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසු කල්හි ‘මෙ පුඟුල්හට වලගඅගවදනා තැන් පමණකුදු ශුක්ලධර්‍මයෙක් නැත, මෙ පුඟුල් ඒකාන්ත කෘෂ්ණ අකුශලධර්‍මයෙන් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි.
ආනන්‍දයෙනි, යම් පරිදි කඩ වූ කුණු වූ අවුසුළඟින් පහළ බීජයෝ මනා කෙතෙක්හි සුපිරියම් කළ බිමෙක නික්‍ෂිප්ත වූවාහු වෙද්ද, ආනන්‍දයෙනි, තෙපි ‘මේ බීජයෝ වෘද්ධියට විරූඪියට විපුලභාවයට නොපැමිණෙන්නාහ’යි දන්වයි? වහන්ස, එසේ ය.
ආනන්‍දයෙනි, එපරිදි ම මම මෙ ලොව්හි ඇතැම් පුඟුලකු ‘මෙ පුඟුල්හට කුසල් දම්හු ද අකුසල් දම්හු ද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසු කලෙක ‘මෙ පුඟුල්හට වලග කෙළ වදනා තැන් පමණකුදු ශුක්ලධර්‍මයෙක් නැත. ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශල ධර්‍මයෙන් මෙ පුඟුල් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට උපත් විසින් එළඹෙන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි. ආනන්‍දයෙනි, මෙසේ ද තථාගතයන් විසින් පුරුෂ පුද්ගල සිය සිතින් ඔහු සිත පිරිසිඳ දන්නා ලදුයේ වෙයි.
ආනන්‍දයෙනි, මෙසේ ද තථාගතයන් විසින් පුරුෂයාගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, මෙසේ ද තථාගතයන් විසින් පුරුෂයාගේ මතුයෙහි ධර්‍මසමුත්පාදය සිතින් සිත පිරිසිඳ දන්නාලදුයේ වේ ය යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: ‘වහන්ස, මෙ පුඟුලන් තුන්දෙනාහට තුල්‍ය වූ අන්‍ය තුන් පුඟුල් කෙනෙක් පැණවිය හැකි වෙත් දැ?’යි. ‘ආනන්‍දයෙනි, හැක්කැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
(4) ආනන්‍දයෙනි, මෙ ලොව්හි මම ඇතැම් පුඟුලකු, ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසුකල්හි ‘මෙ පුඟුල්හුගේ කුශලධර්‍මයෝ අතුරුදන් වූහ. අකුශලධර්‍මයෝ සම්මුඛීභූත වූහ. මොහුට නො සුන් කුසල්මුල් ද ඇත. එ ද සර්‍වාකාරයෙන් නැස්මට යේ. මෙ පුඟුල් මතුයෙහි පරිහානධර්‍ම ඇති වන්නේ ය’යි. මෙ සේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි.
ආනන්‍දයෙනි, යම්පරිදි ඇවිළගත් දිලෙන අඞ්ගාරයෝ අතලගලෙක බහාලනලද්දාහු වෙද්ද, ආනන්‍දයෙනි, මෙ අඟුරු වෘද්ධියට විරූඪියට විපුලභාවයට නො පැමිණේ ය’යි තෙපි දන්වයි. වහන්ස, එසේ ය.
ආනන්‍දයෙනි, යම් සේ සවස් කල්හි හිරු බැසයත් ම ආලෝකය අතුරුදන් වන්නේ ය. අන්‍ධකාරය පාළවන්නේ ය’යි තෙපි දන්වයි. වහන්ස, එසේ ය.
තවද ආනන්‍දයෙනි, තෙපි යම්සේ අර්‍ධරාත්‍රිය ආසන්නවත් ම භක්තකාල සමයෙහි රජකුලයන්ගේ බත්හල්හි ‘ආලෝකය අතුරුදන් විය, අන්‍ධකාරය පාලවිය’යි දන්වයි. වහන්ස, එසේ ය.
ආනන්‍දයෙනි, එපරිදි ම මම මෙලොව්හි ඇතැම් පුඟුලකු ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසුකල්හි ‘මෙ පුඟුල්හුගේ කුශලධර්‍මයෝ අතුරුදන් වූහ. අකුශලධර්‍මයෝ සම්මුඛීභූතයහ, මොහුට අසමුච්ඡින්න වූ කුශලමූලය ද ඇත, එ ද සර්‍වාකාරයෙන් සමුද්ඝාතයට යන්නේ ය. මෙසේ මෙ පුඟුල් මතුයෙහි පරිහානධර්‍ම ඇතියේ වන්නේ ය’යි සිතින් සිත පිරිසිඳ මෙසේ ඔහු දනිමි. ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් පුරුෂපුද්ගල සිතින් සිත පිරිසිඳ දක්නාලද්දේ වෙයි.
ආනන්‍දයෙනි, මෙ සේ ද තථාගතයන් වහන්සේ විසින් පුරුෂයාගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, තථාගතයන් වහන්සේ විසින් මතුයෙහි ධර්‍මසමුත්පාදය සිතින් සිත පිරිසිඳ දන්නාලද්දේ ය.
(5) ආනන්‍දයෙනි, ‘මෙ ලොව්හි මම ඇතැම් පුඟුලකු මෙ පුඟුල්හට කුසල දම්හුදු අකුසල් දම්හුදු විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසුකාලයෙහි ‘මෙ පුඟුල්හුගේ අකුශලධර්‍මයෝ අතුරුදන් වූහ, කුශලධර්‍මයෝ සම්මුඛීභූතයහ. මොහුට නොසුන් අකුශල මූලය ද ඇත, එ ද සර්‍වප්‍රකාරයෙන් සමුද්ඝාතයට යන්නේ ය. මෙ සේ මෙ පුඟුල් මතුයෙහි අපරිහානධර්‍ම ඇතියේ වන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි.
ආනන්‍දයෙනි, යම් පරිදි ඇවිළගත් දැල්වුනු ගිනිසිළු සහිත වූ අඟුරු වියලි තණපිඩෙක්හි වේවයි, කැටපිඩෙක්හි වේවයි බහනලදුයේ නම්, ආනන්‍දයෙනි, තෙපි මෙ අඟුරු වෘද්ධියට විරූඪියට විපුලභාවයට පැමිණේය’යි දන්ව. වහන්ස, එසේ ය.
තවද ආනන්‍දයෙනි, රාත්‍රි ප්‍රත්‍යූෂයෙහි හිරු නැඟෙත් ම ආනන්‍දයෙනි, තෙපි ‘අන්‍ධකාරය අතුරුදන් වන්නේ ය, ආලෝකය පාළවන්නේ ය’යි දන්ව යි. වහන්ස, එසේ ය.
තවද ආනන්‍දයෙනි, මධ්‍යමසමයාසන්නවත් ම භක්ත කාලසමයෙහි ‘අන්‍ධකාරය අපගත විය, ආලෝකය ප්‍රාදුර්භූත වී යයි තෙපි දන්ව’යි. වහන්ස එසේ ය.
ආනන්‍දයෙනි, එපරිදි ම මම මෙලොව්හි ඇතැම් පුඟුලකු ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද පවත්නාහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසුකල්හි ‘මෙ පුඟුල්හුගේ අකුශලධර්‍මයෝ අතුරුදන් වූහ. කුශලධර්‍මයෝ එළඹ සිටියහ. මොහුට අසමුච්ඡින්න වූ අකුශලමූලය ද ඇත. එ ද සර්‍වාකාරයෙන් සමුග්ඝාතයට යෙයි, මෙසේ මේ පුඟුල් මතු අපරිහානධර්‍ම වන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි. ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් පුරුෂපුද්ගලයා සිතින් සිත පිරිසිඳ විදිත වෙයි.
ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් පුරුෂේන්‍ද්‍රියඥානය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් මතුයෙහි ධර්‍මසමුත්පාදය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි.
(6) ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයකු ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’යි මම සිතින් සිත පිරිසිඳ දන්මි. පසුකල්හි ‘මෙ පුඟුල්හට වලඟකෙළ වදනා තැන් පමණකුදු අකුශලධර්‍මයෙක් නැත. මෙ පුද්ගල ඒකාන්තයෙන් අනවද්‍ය ශුක්ලධර්‍මයෙන් සමන්‍වාගත වූයේ ඉහාත්මභාවයෙහි ම පිරිනිවෙන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි.
ආනන්‍දයෙනි, යම්පරිදි සිහිල් වූ නිවුනු අඟුරු වියලිතණපිඩෙක්හි වේවයි, වියලිදරරැසෙක වේවයි බහනලද වේ නම්, ආනන්‍දයෙනි, තෝ මෙ අඟුරු වෘද්ධියට විරූඪියට විපුලභාවයට නො පැමිණේ ය යි දන්හි දැයි. වහන්ස, එසේ ය.
ආනන්‍දයෙනි, එපරිද්දෙන් ම මම මෙ ලොව්හි ඇතැම් පුද්ගලයකු ‘මෙ පුද්ගලයාහට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි ‘මෙ පුද්ගලයාට වලගකෙළ වදනා තැන් පමණකුදු අකුශලධර්‍මයෙක් නැත. ඒකාන්තයෙන් අනවද්‍ය වූ ශුක්ලධර්‍මයෙන් සමන්‍වාගත වූ මෙ පුද්ගලයා ඉහාත්මයෙහි ම පිරිනිවෙන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි. ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් පුරුෂපුද්ගලයා සිතින් සිත පිරිසිඳ දන්නාලද්දේ වෙයි.
ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් පුරුෂේන්‍ද්‍රියඥානය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් මත්තෙහි ධර්‍මසමුත්පාදය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි.
ආනන්‍දයෙනි, මෙ පුද්ගලයන් අතුරෙහි යම් ඒ පළමු තුන් පුඟුල් කෙනෙක් වෙත් නම්, ඒ තුන් පුඟුලන් අතුරින් එකෙක් අපරිහානධර්‍ම ඇතියේ ය. එකෙක් පිරිහෙන සැහැවි ඇතියේ ය. එකෙක් ආපායික ය, නේරයික ය. ආනන්‍දයෙනි, මේ පුද්ගලයන් අතුරෙහි යම් ඒ පශ්චිම තුන් පුද්ගල කෙනෙක් වෙත් නම්, මෙ තුන්දෙන අතුරින් එකෙක් පරිහානධර්‍ම ඇතියේ ය. එකෙක් අපරිහානධර්‍ම ඇතියේ ය. එකෙක් පිරිනිවන සැහැවි ඇතියේ ය යි.
6. 2. 1. 9.
[නිබ්බේධික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, තොපට ‘නිබ්බේධික පරියාය’ නම් ධර්‍මපර්‍ය්‍යා ය දෙසමි. එ අසව, මනාකොට මෙනෙහි කරව, කියම්හය. ‘වහන්ස, එසේ ය’යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
මහණෙනි, නිබ්බේධිකපරියාය නම් ධර්‍මපර්‍ය්‍යා ය කවරේ ය යත්:
මහණෙනි, කාමයෝ දතයුතු වෙත්. කාමයන්ගේ නිදානසම්භවය දතයුතු වෙයි. කාමයන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය දතයුතු වෙයි. කාමයන්ගේ විපාකය දතයුතු වෙයි. කාමනිරෝධය දතයුතු වෙයි. කාමනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු වේ.
මහණෙනි, වේදනා දතයුතු ය. වේදනාවන්ගේ නිදානසම්භවය දතයුතුය. වේදනාවන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය දතයුතු ය. වේදනාවන්ගේ විපාකය දතයුතු ය. වේදනානිරෝධය දතයුතු ය. වේදනානිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.
මහණෙනි, සංඥා දතයුතු ය. සංඥාවන්ගේ නිදානසම්භවය දතයුතු ය. සංඥාවන්ගේ වේමත්තතාව දතයුතු ය. සංඥාවන්ගේ විපාකය දතයුතු ය. සංඥානිරෝධය දතයුතු ය. සංඥානිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.
මහණෙනි, ආස්‍රවයෝ දතයුත්තාහ. ආස්‍රවයන්ගේ නිදානසසම්භවය දතයුතු වෙයි. ආස්‍රවයන්ගේ වේමත්තතාව දතයුතු ය. ආස්‍රවයන්ගේ විපාක දතයුතු ය. ආස්‍රවනිරෝධය දතයුතු ය. ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද් දතයුතු යි.
මහණෙනි, කර්‍මය දතයුතු ය. කර්‍මයන්ගේ නිදානසම්භවය දතයුතු ය. කර්‍මයන්ගේ වේමත්තතාව දතයුතු ය. කර්‍මවිපාකය දතයුතු ය. කර්‍මනිරෝධය දතයුතු ය. කර්‍මනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.
මහණෙනි, දුඃඛය දතයුතු ය. දුඃඛයාගේ නිදානසම්භවය දතයුතු ය. දුඃඛයාගේ වේමත්තතාව දතයුතු ය. දුඃඛයාගේ විපාකය දතයුතු ය. දුඃඛනිරෝධය දතයුතු ය. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.
(1) “මහණෙනි, කාමයෝ දතයුත්තාහ. කාමයන්ගේ නිදානසම්භවය දතයුතු. කාමයන්ගේ වේමත්තතාව දතයුතු. කාමයන්ගේ විපාකය දතයුතු. කාමනිරෝධය දතයුතු. කාමනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු ය”යි තෙල යමක් කියනලද නම්, තෙල කුමක් ඇරැබ කියනලද යැ යත්:
මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර් විඥේය රූපයෝය ... ශ්‍රෝතවිඥේය ශබ්දයෝ ය ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ ය ... ජිව්හා විඥේය රසයෝ ය ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රජනීය වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ ය යි, මෙ කාමගුණ පසෙක. මහණෙනි, වැලිත් මොහු කාමයෝ නො වෙති. මොහු ආර්‍ය්‍යයන්ගේ විනයෙහි කාමගුණ නම්හයි කියනු ලැබෙත්.
66. ලොවුහි පුරුෂයක් හට සඞ්කල්ප විසින් උපන් රාගය, කාම වෙයි. යම්බඳු විසිතුරු ආලම්බනයෝ වෙත් නම්, තුලුහු කාම නො වෙත්. පුරුෂයාගේ සඞ්කල්පරාගය ම කාම වෙයි. ලොව්හි විසිතුරු වස්තූහු එලෙසින් ම සිටුනාහ. වැලිත් එ අරමුණු කෙරේ උපන් ඡන්‍දරාගය ධීරයෝ විනයනය කරත්.
මහණෙනි, කාමයන්ගේ නිදාන සම්භවය (උප්පත්ති කාරණ) කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශය කාමයන්ගේ නිදානසම්භවය යි.
මහණෙනි, කාමයන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය කවරේ ය යත්: මහණෙනි, රූපාලම්බනයෙහි කාමය අනෙකෙකි, ශබ්දාලම්බනයෙහි කාමය අනෙකෙකි. ගන්‍ධාලම්බනයෙහි කාමය අනෙකෙකි. රසාලම්බනයෙහි කාමය අනෙකෙකි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි කාමය අනෙකෙකි. මහණෙනි, මෙ කාමයන්හි වේමත්තතා යි කියනු ලැබේ.
මහණෙනි, කාමයන්ගේ විපාක කවරේ ය යත්: යම් ආත්මභාවයක් කැමැති වනුයේ එයිනෙයින් උපන් පුණ්‍යභාගිය වූ හෝ අපුණ්‍යභාගිය වූ හෝ ආත්මභාවයක් උපදවා නම්, මහණෙනි, කාමයන්ගේ මෙ විපාක යි කියනු ලැබේ.
මහණෙනි, කාමනිරෝධය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශනිරෝධය කාමනිරෝධය යි.
මෙ අරිඅටඟි මඟ ම කාමනිරෝධගාමිනීප්‍රතිපදා යි. එ නම්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධිය යි.
මහණෙනි, යම් කලෙක පටන් අරීසවු මෙසෙයින් කාමයන් දන්නේ ද, මෙසෙයින් කාමයන්ගේ නිදානසම්භවය දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ වේමත්තතා දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ විපාක දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ නිරෝධය දන්නේ ද, මෙසෙයින් කාමයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදා දන්නේ ද, හෙ මෙ නිර්වේධක බ්‍රහ්මචර්‍ය්‍යය වූ කාම නිරෝධය දන්නේ ය.
“මහණෙනි, කාමයෝ දතයුත්තාහ ... කාමනිරෝධගාමිනිපටිපදා දතයුතු ය”යි මෙසෙයින් තෙල යමක් කියනලද නම්, තෙල කරුණ මෙ සඳහා කියනලද.
(2) “මහණෙනි, වේදනා දතයුතු ය ... වේදනා නිරෝධගාමිනීපටිපදා දතයුතු ය”යි මෙසේ තෙල යමක් කියනලද නම්, තෙල කරුණ කවර හෙයින් කියනලදයැ යත්:
මහණෙනි, සුඛවේදනා ය, දුක්ඛවේදනා ය, අදුක්ඛමසුඛවෙදනා ය යි මෙ වේදනා තුණෙක.
මහණෙනි, වේදනාවන්ගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශය වේදනාවන්ගේ නිදානසම්භව යි.
මහණෙනි, වේදනාවන්ගේ වේමත්තතාව කවර යත්: මහණෙනි, සාමිසසුඛවේදනායෙක් ඇත. නිරාමිස සුඛවේදනායෙක් ඇත. සාමිසදුක්ඛවේදනායෙක් ඇත. නිරාමිස දුක්ඛවේදනායෙක් ඇත. සාමිසඅදුක්ඛමසුඛ වේදනායෙක් ඇත. නිරාමිස අදුක්ඛමසුඛවේදනායෙක් ඇත. මහණෙනි, වේදනාවන්ගේ මෙ වේමත්තතා යි කියනු ලැබේ.
මහණෙනි, වේදනාවන්ගේ විපාකය කවරේ ය යත්: මහණෙනි, යම් ආත්මභාවයක් කැමැති වනුයේ එයිනෙයින් උපන් පුණ්‍යභාගිය වූ හෝ අපුණ්‍යභාගිය වූ හෝ ආත්මභාවයක් උපදවා නම්, මහණෙනි, මෙ වේදනාවන්ගේ විපාක යි කියනු ලැබේ.
මහණෙනි, වේදනානිරෝධය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශ නිරෝධය වේදනා නිරෝධ යි.
මෙ අරීඅටඟි මඟ ම වේදනානිරෝධගාමිනිපටිපදා වෙයි. එ නම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධි යි.
මහණෙනි, යම් කලෙක පටන් අරීසවු මෙසේ වේදනාවන් දන්නේ ද, මෙසේ වේදනානිදානසම්භවය දන්නේ ද, මෙසේ වේදනාවන්ගේ වේමත්තතාව දන්නේ ද, මෙසේ වේදනාවන්ගේ විපාක දන්නේ ද, මෙසේ වේදනාවන්ගේ නිරෝධය දන්නේ ද, මෙසේ වේදනා නිරෝධගාමිනිපටිපදා දන්නේ ද, හෙ මෙ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය වූ වේදනානිරෝධය දන්නේ ය.
“මහණෙනි, වේදනා දතයුතු ය ... වේදනානිරෝධගාමිනිපටිපදා දතයුතු ය”යි මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල කරුණ මෙ පිණිස කියන ලදි.
(3) “මහණෙනි, සංඥා දතයුතුය ... සංඥානිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල කරුණ කුමක් පිණිස කියන ලද ය යත්:
මහණෙනි, මෙ සංඥා සයෙක: රූපසංඥා ශබ්දසංඥ ගන්‍ධසංඥ රසසංඥා ස්ප්‍රෂ්ටව්‍යසංඥ ධර්‍මසංඥා යි.
මහණෙනි, සංඥාවන්ගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශය සංඥාවන්ගේ නිදාන සම්භව යි.
මහණෙනි, සංඥාවන්ගේ වේමත්තතා කවර යත්: මහණෙනි, රූපයෙහි අන් සංඥායෙක, ශබ්දයෙහි අන් සංඥායෙක, ගන්‍ධයෙහි අන් සංඥායෙක, රසයෙහි අන් සංඥායෙක, ස්ප්‍රෂ්ටව්‍යයෙහි අන් සංඥායෙක, ධර්‍මයෙහි අන් සංඥායෙක, මහණෙනි, මෙ සංඥාවන්ගේ වේමත්තතා යි.
මහණෙනි, සංඥාවන්ගේ විපාක කවරේ ය: මහණෙනි, මම (කථා) ව්‍යවහාර සඞ්ඛ්‍යාත විපාකහේතුයෙන් සංඥාව කියමි. යම් යම් සැටියෙකින් හඳුනාගන්නේ ද, (මෙ බඳු සංඥා ඇතියෙම් වීම් යි) එ එ සැටියෙන් ව්‍යවහාර කෙරෙයි. මහණෙනි, මේ සංඥාවන්ගේ විපාක යයි කියනු ලැබේ.
මහණෙනි, සංඥානිරෝධ කවරේ ය: මහණෙනි, ස්පර්‍ශනිරෝධය සංඥානිරෝධ වෙයි.
මේ අරීඅටඟිමඟ ම සංඥානිරෝධගාමිනීප්‍රතිපත් වෙයි. හේ කිසේ ය: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.
මහණෙනි, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සංඥාව දන්නේ වේ ද, මෙසේ සංඥාවන්ගේ නිදානසම්භවය දන්නේ වේ ද, මෙසේ සංඥාවන්ගේ වේමත්තතාව දන්නේ වේ ද, මෙසේ සංඥාවන්ගේ විපාක දන්නේ වේ ද, මෙසේ සංඥානිරෝධය දන්නේ වේ ද, මෙසේ සංඥානිරෝධගාමිනීප්‍රතිපත් දන්නේ වේ ද, හේ මේ නිර්වේධක බ්‍රහ්මචර්‍ය්‍යය වූ සංඥානිරෝධය දන්නේ වෙයි.
මහණෙනි, “සංඥා දතයුතු ය ... සංඥානිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසේ යම් එ බසෙක් කියනලද ද, මෙ බස් තෙල පිණිස කියනලදි.
(4) “මහණෙනි, ආස්‍රවයෝ දතයුත්තාහ ... ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි යමක් කියනලද නම්, තෙල කරුණ කුමක් පිණිස කියන ලද ය යත්:
මහණෙනි, මෙ ආස්‍රවයෝ තුන්දෙනෙකි: කාමාස්‍රව ය, භවාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි.
මහණෙනි, ආස්‍රවයන්ගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, අවිද්‍යාව ආස්‍රවයන්ගේ නිදානසම්භව වෙයි.
මහණෙනි, ආස්‍රවයන්ගේ වේමත්තතා කවර: මහණෙනි, නිරයගමනට ප්‍රත්‍යය වූ ආස්‍රවකෙනෙක් ඇත. මහණෙනි, තිරිශ්චීනයෝනි ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රේතවිෂය ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, මිනිස්ලෝ ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, දෙව්ලෝ ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, මේ ආස්‍රවයන්ගේ වේමත්තතා යි කියනු ලැබේ.
මහණෙනි, ආස්‍රවයන්ගේ විපාක කවරේ ය යත්: මහණෙනි, යම් හෙයකින් අවිද්‍යාගත සත්ත්‍ව තෙමේ එයින් හටගත් පුණ්‍යභාගිය වේවයි, අපුණ්‍යභාගිය වේවයි අත්බවක් දනවා ද, මහණෙනි, මෙ ආස්‍රවයන්ගේ විපාකය යි කියමි.
මහණෙනි, ආස්‍රවනිරෝධ කවරේ ය: මහණෙනි, අවිද්‍යානිරෝධය ආස්‍රවනිරෝධ වෙයි.
මෙ අරීඅටැඟි මඟ ම ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් වෙයි. හෙ කිසේ ය: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.
මහණෙනි, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ආස්‍රව දන්නේ වේ ද, මෙසේ ආස්‍රව නිදානසම්භව දන්නේ ද, මෙසේ ආස්‍රවයන්ගේ වේමත්තතා දන්නේ වේ ද, මෙසේ ආස්‍රවයන්ගේ විපාක දන්නේ වේ ද, මෙසේ ආස්‍රවනිරෝධය දන්නේ වේ ද, මෙසේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් දන්නේ වේ ද, හේ මෙ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය වූ ආස්‍රවනිරෝධය දන්නේ වෙයි.
මහණෙනි, “ආස්‍රව දතයුතු ය ... ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසේ යම් එ බසෙක් කියනලද ද, මෙ බස් තෙල පිණිස කියන ලදි.
(5) “මහණෙනි, කර්‍මය දතයුතු ය ... කර්‍මනිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
මහණෙනි, (විධාන) චේතනාව කර්‍මය ය යි මම කියමි. (ද්වාරප්‍රවෘත්තචේතනායෙන්) සිතා කයින් වචසින් මනසින් කර්‍ම කෙරෙයි.
මහණෙනි, කර්‍මයන්ගේ නිදානසම්භවය කවරේ ය: මහණෙනි, ස්පර්‍ශය කර්‍මයන්ගේ නිදානසම්භව යි.
මහණෙනි, කර්‍මයන්ගේ වේමත්තතා කවර: මහණෙනි, නිරෑහි විපාක දෙන කර්‍මයෙක් ඇත. තිරිසන්යොන්හි විපාක දෙන කර්‍මයෙක් ඇත. ප්‍රේතවිෂයෙහි විපාක දෙන කර්‍මයෙක් ඇත. මනුෂ්‍යලෝකයෙහි විපාක දෙන කර්‍මයෙක් ඇත. දේවලෝකයෙහි විපාක දෙන කර්‍මයෙක් ඇත. මහණෙනි, මෙ කර්‍මයන්ගේ වේමත්තතා යි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මයන්ගේ විපාක කවරේ ය යත්: මහණෙනි, දිටුදැමියෙහි හෝ අනතුරු අත්බව්හි හෝ අනෙක් අත්බවෙක හෝ යි මම කර්‍මයන්ගේ විපාකය ත්‍රිවිධ කොට කියමි. මහණෙනි, මෙ කර්‍මයන්ගේ විපාක ය යි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මනිරෝධය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශනිරෝධය කර්‍මනිරෝධ යි.
මෙ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම කර්‍මනිරෝධගාමිනිප්‍රතිපදා යි. එ නම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.
මහණෙනි, යම් කලෙක් පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ කර්‍ම දන්නේ ද, මෙසේ කර්‍මයන්ගේ නිදානසම්භව දන්නේ ද, මෙසේ කර්‍මයන්ගේ වේමත්තතා දන්නේ ද, මෙසේ කර්‍මයන්ගේ විපාක දන්නේ ද, මෙසේ කර්‍මනිරෝධය දන්නේ ද, මෙසේ කර්‍මනිරෝධගාමිනීපටිපදා දන්නේ ද, හෙ කර්‍මනිරෝධ නම් වූ මෙ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය දන්නේ ය.
මහණෙනි, “කර්‍මය දතයුතු ය ... කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව දතයුතු ය”යි මෙසේ තෙල යමක් කියනලද නම්, තෙල කරුණ මේ සඳහා කියන ලදි.
(6) “මහණෙනි, දුඃඛය දතයුතු ය, දුඃඛයාගේ නිදානසම්භවය දතයුතු ය. දුඃඛයාගේ වේමත්තතාව දතයුතු ය. දුඃඛයාගේ විපාකය දතයුතු ය. දුඃඛයාගේ නිරෝධය දතයුතු ය. දුඃඛයාගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දතයුතු ය”යි මෙසේ තෙල යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
ජාතිය ද දුකෙක, ජරාව ද දුකෙක, ව්‍යාධිය ද දුකෙක, මරණය ද දුකෙක, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, උපායාසයෝ ද දුක්හ. යමක් කැමැති වනුයේත් නොලබා නම් එ ද දුකෙක, සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්හ.
මහණෙනි, දුඃඛයාගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, තෘෂ්ණාව දුඃඛයාගේ නිදානසම්භවය යි.
මහණෙනි, දුඃඛයාගේ වේමත්තතා කවර: මහණෙනි, අධිමාත්‍ර බලවත් දුඃඛයෙක් ඇත. අල්පමාත්‍ර දුඃඛයෙක් ඇත. දන්‍ධවිරාගී දුඃඛයෙක් ඇත, ක්‍ෂිප්‍රවිරාගී දුඃඛයෙක් ඇත. මහණෙනි, මෙ දුඃඛයාගේ වේමත්තතා යි.
මහණෙනි, දුඃඛයාගේ විපාක කවරේ ය: මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් යම් දුකෙකින් මඩනා ලදුයේ වැළඳගත් සිත් ඇතියේ ශෝක කෙරෙයි. වෙහෙසෙයි. වැලපෙයි. ලෙහි අත් පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. යම් හෝ දුකෙකින් මඩනා ලදුයේ වැළඳගත් සිත් ඇතියේ ‘මේ දුක නිරුද්ධ කිරීම පිණිස කවරෙක් එක් පදමතුරක් දෙ පදමතුරක් දනී දැ’යි පිටත්හි සෙවීමට පැමිණෙයි. මහණෙනි, මම දුක සම්මෝහ විපාක ඇතියක් කොට ද පර්‍ය්‍යෙෂණා විපාක ඇතියක් හෝ කොට ද කියමි.
මහණෙනි, දුඃඛනිරෝධය කවරේ ය යත්: මහණෙනි, තණ්හානිරෝධය දුඃඛනිරෝධ යි.
මෙ අරිඅටඟි මඟ ම දුඃඛනිරොධගාමිනිප්‍රතිපදා යි. එ නම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.
මහණෙනි, යම් තැනෙක පටන් අරීසවු මෙසේ දුඃඛය දන්නේ ද, මෙසේ දුඃඛයාගේ නිදානසම්භවය දන්නේ ද, මෙසේ දුඃඛයාගේ නානාකරණය දන්නේ ද, මෙසේ දුඃඛයාගේ විපාක දන්නේ ද, මෙසේ දුඃඛයාගේ නිරෝධය දන්නේ ද, මෙසේ දුඃඛනිරොධගාමිනිප්‍රතිපදා දන්නේ ද, හේ දුඃඛනිරෝධය වූ මේ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය දන්නේ ය.
මහණෙනි, “දුඃඛය දතයුතු ය, දුඃඛයාගේ නිදානසම්භවය දතයුතු ය, දුඃඛයාගේ නානාකරණය දතයුතු ය. දුඃඛයාගේ විපාකය දතයුතු ය. දුඃඛනිරෝධය දතයුතු ය. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු ය”යි මෙසේ යමක් කියනලද නම්, තෙල කරුණ මෙ පිණිස කියන ලදි.
මහණෙනි, මේ ඒ නිබ්බේධිකපරියාය වූ ධම්මපරියාය යි.
6. 2. 1. 10.
[සීහනාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, යම් බලයෙකින් සමන්‍වාගත තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිජානන කෙරෙත් නම්, පිරිස්හි සිංහනාද කෙරෙත් නම්, ශ්‍රේෂ්ඨ ඥානචක්‍ර සඞ්ඛ්‍යාත බ්‍රහ්මචක්‍රය පවත්වත් නම්, තථාගතයන්ගේ මෙ එ බඳු තථාගතබල සයෙක. කවර සයෙක යත්: