(6) වහන්ස, එහි ලා නන්‍ද ය, වච්ඡ ය, කිස ය, සඞ්කිච්ච ය, මක්ඛලිගෝසාල ය යන මොහු පූරණකාශ්‍යප විසින් පරමශුක්ලාභිජාතිකයහ යි පණවන ලදහ.
වහන්ස, පූරණකාශ්‍යප විසින් මෙ ෂඩ්අභිජාතීහු පණවන ලදහ’යි.
කිමෙක ආනන්‍දයෙනි, හැම ලෝවැස්සෝ පූරණකාශ්‍යපයාගේ තෙල පැණවීම - මෙ ඡළාභිජාතීන් පැණවීම අනුදන්නාහු දැ’යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
ආනන්‍දයෙනි, යම්සේ දිළිඳු නිර්ධන ආඪ්‍ය නො වූ පුරුෂයෙක් වේ නම්, නො කැමැත්තා වූ ම ඔහුගේ අත්හි “එම්බා පුරුෂය, මෙ මස් තා විසින් කෑයුතු ය. මිල ද දියයුතු ය”යි මළ ගොණකුගේ මස් කොටසක් බලාත්කාරයෙන් අත තබත් නම්,
ආනන්‍දයෙනි, එ සෙයින් ම පූරණකාශ්‍යප විසින් තෙල මහණ බමුණන්ගේ අප්‍රතිඥායෙන් ම අව්‍යක්ත වූ ක්‍ෂේත්‍රඥ නො වූ (අභිජාති ප්‍රඥප්තිවිෂය නො දන්නා වූ) අදක්‍ෂ වූ බාලයකු විසින් කරණු ලබන්නක් සේ ම ෂඩභිජාතිහු පණවනලදහ.
ආනන්‍දයෙනි, මම මේ අභිජාතීන් සදෙනකු පණවමි. එ අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’යි.
වහන්ස, එසේ යයි, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
ආනන්‍දයෙනි, ෂඩභිජාතීහු කවරහ:
ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුරුෂයෙක් කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව ම උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුරුෂයෙක් කෘෂ්ණාභිජාති ඇති ව ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ වූ අශුක්ල වූ නිර්‍වාණයට පැමිණෙයි. (ආර්‍ය්‍යභූමි සඞ්ඛ්‍යාත නිර්‍වාණ ජාතියෙහි උපදනේ ය.) ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ වූ අශුක්ල වූ නිර්‍වාණයට පැමිණෙයි.
(1) ආනන්‍දයෙනි, කෙසේ නම් කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණාභිජාතියෙහි උපදනේ ය: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සැඬොල්කුලයෙහි වේවයි, වැදිකුලයෙහි වේවයි, කුලුපොතු කුලයෙහි වේවයි, සොම්මර කුලයෙහි වේවයි, පුප්සඬුකුලයෙහි වේවයි දිළිඳු අල්ප පාන භෝජන ඇති, දුකසේ දිවිවැටුම් ඇති, යම් කුලයෙක දුකසේ ආහාර පාන වස්ත්‍ර ලැබේ නම් එබඳු නීචකුලයෙක උපදනේ ය. හෙ දුර්වර්‍ණ ඇතියේ නපුරු දැකුම් ඇතියේ ලකුණ්ටක වූයේ බොහෝ ආබාධ ඇතියේ කණෙක් වේවයි කොරෙක් වේවයි පිළෙක් වේවයි පක්‍ෂහතයෙක් වේවයි අහර පැන් වස්ත්‍ර යානමල්ගඳවිලෙවුන්ශය්‍යා ආවසථ ප්‍රදීපෝපකරණ නො ලබනසුලුයේ වෙයි. හේ කයින් දුසිරිත් පුරයි. වචනයෙන් දුසිරිත් පුරයි. මනසින් දුසිරිත් පුරයි. හේ කයින් දුසිරිත් පුරා වචනයෙන් දුසිරිත් පුරා මනසින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව උපදනේ ය.
(2) ආනන්‍දයෙනි, කෙසේ නම් කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් හීන කුලයෙක උපදනේ ය ... හෙ ද දුර්වර්‍ණ ඇතියේ ශය්‍යාවසථප්‍රදීපෝපකරණ නො ලබනසුල්ලේ වෙයි. හෙ කයින් සුසිරිත් පුරයි, වචනයෙන් සුසිරිත් පුරයි, මනසින් සුසිරිත් පුරයි. හෙ කයින් සුසිරිත් පුරා, වචනයෙන් සුසිරිත් පුරා, මනසින් සුසිරිත් පුරා කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයෙහි උපදනේ ය. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය.
(3) ආනන්‍දයෙනි, කිසෙයින් කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සැඬොල් කුලෙහි වේවයි ... දුර්වර්‍ණ වූයේ නපුරු දැකුම් ඇතියේ ලකුණ්ටක වූයේ ... නීචකුලයෙහි උපදනේ වෙයි. හෙ කෙස් රවුළු බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට වදනේ ය. හෙ මෙසේ පැවිදි වූයේ ම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්ච නීවරණයන් දුරු කොට සිවුසීවටන්හි සුපිහිටි සිතැතියේ සප්තබෝධ්‍යඞ්ගයන් තත් වූ පරිදි වඩා අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණෙයි.
(4) ආනන්‍දයෙනි, කිසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාව ඇති ව උපදනේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි වේවයි, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි වේවයි, ගෘහපතිමහාසාරකුලයෙහි වේවයි, ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භෝග ඇති බොහෝ රන් රිදී ඇති ප්‍රචුර වස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති උසස් කුලයෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වූයේ දර්‍ශනීය වූයේ ප්‍රසාදගුණ ඇතියේ උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ ආහාර පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථප්‍රදීපෝපකරණ ලබනසුල්ලේ වෙයි. හෙ කයින් දුසිරිත් පුරයි. වචනයෙන් දුසිරිත් පුරයි. මනසින් දුසිරිත් පුරයි. හේ කයින් දුසිරිත් පුරා වචනයෙන් දුසිරිත් පුරා මනසින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති ඇති විනිපාත වූ නිරයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙසේ ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාව ඇති ව උපදනේ ය.
(5) ආනන්‍දයෙනි, කිසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි වේවයි ... උපන්නේ වෙයි ... ශය්‍යාවසථප්‍රදීපෝපකරණ ලබන්නේ වෙයි. හේ කයින් සුසිරිත් පුරයි, වචනයෙන් සුසිරිත් පුරයි, මනසින් සුසිරිත් පුරයි. හේ කයින් සුසිරිත් පුරා වචනයෙන් සුසිරිත් පුරා මනසින් සුසිරිත් පුරා කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයෙහි උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ සෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාව ඇති ව උපදනේ ය.
(6) ආනන්‍දයෙනි, කිසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි වේවයි, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි වේවයි, ගෘහපතිමහාසාරකුලයෙහි වේවයි ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භෝග ඇති බොහෝ රන්රිදී ඇති ප්‍රචුරවස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති උසස් කුලයෙහි උපන්නේ වේ. හේ ද මනා රූ ඇතියේ දැකුම්කලු වූයේ ප්‍රසාදජනක වූයේ උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ ආහාරපාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථප්‍රදීපෝපකරණ ලබනසුල්ලේ වෙයි. හෙ කෙස්රවුළු බහා කාෂායවස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හේ මෙසේ පැවිදි වූයේ ම චිත්තෝපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්චනීවරණයන් දුරු කොට සතර සතිපට්ඨානයෙහි මොනොවට පිහිටි සිතැතියේ සප්තබෝධ්‍යඞ්ගයන් යාථාවයෙන් වඩා අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙ සෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිවණයට පැමිණෙයි.
ආනන්‍දයෙනි, මොහු අභිජාතීහු සදෙන වෙති යි.
6. 2. 1. 4.
[ආසව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා පාහුනෙය්‍ය හා දක්ඛිණෙය්‍ය හා අඤ්ජලිකරණීය හා ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහාතව්‍ය වෙත් නම් එ ආස්‍රවයෝ සංවරයෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ අධිවාසනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ පරිවර්‍ජනායෙන් ප්‍රහීණ වෙත්, යම් ආස්‍රව කෙනෙක් විනෝදනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, ඒ ආස්‍රවයෝ විනෝදනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ භාවනායෙන් ප්‍රහීණ වෙත්.
(1) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහීණ වෙත් නම්, එ සංවරයෙන් ප්‍රහාතව්‍ය ආස්‍රවයෝ කවරහ: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත ව වාස කරයි. මහණෙනි, යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් අසංවෘත ව වාස කරණ ඔහට දුඃඛපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් සංවෘතව වාස කරණ ඔහට එ විඝාතපරිදාහකර (දුක් - දැවිලි කරණ) ආස්‍රවයෝ නො මැ වෙත්. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ... ඝ්‍රාණේන්‍ද්‍රිය ... ජිහ්වේන්‍ද්‍රිය ... කායේන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත වූයේ වාස කෙරෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය සංවරයෙන් අසංවෘත ව වසන ඔහුට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, මනින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත ව වසන ඔහට ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයෙන් අසංවෘත ව වසන ඔහට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, සංවරයෙන් සංවෘතව වාස කරන ඔහට ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහීණ වෙත් නම්, මොහු සංවරයෙන් ප්‍රහාතව්‍ය ආස්‍රව යි කියනු ලැබෙත්.
(2) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත් නම්, ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට යම්තාක් ශීතයාගේ නැස්ම පිණිස ම උෂ්ණයාගේ නැස්ම පිණිස ම මැසි - මදුරු - වා - අව් - සර්‍පයන්ගේ පහස නැස්ම පිණිස ම ලජ්ජාස්ථාන පිළිසන් කරණු පිණිස ම සිවුරු සෙව්නේ ය.
නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට පිඬුවා සෙවුනේ ය: නො ම දව පිණිස ය, නො ම මද පිණිස ය, නො ම උනුතැන් පුරනු පිණිස ය, නො ම සැරසුම් පිණිස ය, මෙ සිරුරෙහි පැවැත්ම සඳහා ම ය, යැපීම සඳහා ම ය, සාදුක් නසනු සඳහා ම ය, බ්‍රහ්මචර්‍ය්‍යානුග්‍රහ සඳහා ම ය. මෙ සෙයින් (මෙ පිඬු බොජුනෙන්) පැරණි සාදුක් වේදනාත් නස්මි. නව වේදනාත් නො ම උපදවන්නෙමි. (මෙයින්) මාගේ ජීවනයාත්‍රාව ද අනවද්‍යතාව ද ඵාසුවිහරණය ද වන්නේ ය යි.
නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට සීතයාගේ නැස්ම පිණිස ම උෂ්ණයාගේ නැස්ම පිණිස ම මැසි - මදුරු - වා - අව් - සර්‍පයන්ගේ පහස් නැස්ම පිණිස ම ඍතුපීඩා විනෝදනය (පහකිරීම) පිණිස ම පිළිසලනෙහි ඇල්ම පිණිස ම සෙනසුන් සෙව්නේ ය.
නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට උපන් ව්‍යාබාධකර වේදනාවන් නස්නා සඳහා ම අව්‍යාබාධපරමතාව (නිරෝග බව) සඳහා ම බෙහෙත් පිරිකර සෙව්නේ ය.
මහණෙනි, යම් හෙයෙකින් ප්‍රතිසේවනා නො කරණුවහට දුඃඛපරිදාහකර ආස්‍රවයෝ උපදිත් නම්, ප්‍රතිසේවනා කරණුවහට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්.
මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත් නම්, මොහු ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය ආස්‍රවයෝ ය යි කියනු ලැබෙත්.
(3) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහීණ වෙත් ද, අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය ඒ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ශීතය උෂ්ණය ක්‍ෂුධාව පිපාසාව මැසි මදුරුවාතාතප සරීසාපසංස්පර්‍ශය සහනය කෙරෙයි. නපුරු කොට කියනලද නපුරු කොට (තමන් වෙත) පැමිණි වාක්පථ සහනය කෙරෙයි. උපන් දුක් වූ තීව්‍ර වූ ක්‍රෑර වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනා ඉවසන සැහැවි ඇතියේ වෙයි. යම් හෙයෙකින් නො ඉවසන ඔහට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, ඉවසන ඔහට මෙසේ එ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහීණ වෙත් නම්, මෙ ආස්‍රවයෝ අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය යි කියනු ලැබෙත්.
(4) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් (වැළහීමෙන්) ප්‍රහීණ වෙත් නම්, පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට සැඬ ඇත් වළහයි. සැඬ අස් වළහයි. සැඬ ගොන් වළහයි. සැඩ කුකුරු වළහයි. අහි ය, කණු ය, කටුලැහැබ් ය, කුඩා සැඬදිය හෙබ් ය, ප්‍රපාත ය, ස්‍යන්‍දනිකා ය, ගවරවළ ය යන මෙ හැම වළහයි. යම්බඳු නො මනා අස්නෙක හුන්නහු යම්බඳු ආගෝචරයෙක්හි සරන්නාහු, යම්බඳු ලමු මිතුරන් සෙවුනහු, විඥ සබ්‍රහ්මචාරීහු ලමු තන්හි ලා අවමන් කොට කල්පනා තෙරෙත් නම්, හේ එ බඳු නොමනා සෙනසුන් ද, එ අගෝචරස්ථාන ද, එ ලමු මිතුරන් ද නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට වළහයි. මහණෙනි, යම් හෙයෙකින් පරිවර්‍ජනා නො කරණ ඔහට විඝාතපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, පරිවර්‍ජනා කරණ ඔහට මෙසේ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් ප්‍රහීණවෙත් නම්, මෙ ආස්‍රවයෝ පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය යි කියනු ලැබෙත්.
(5) මහණෙනි, යමෙක් විනෝදනායෙන් (හැරලීමෙන්) ප්‍රහීණ වෙත් නම්, විනෝදනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට උපන් කාමවිතර්‍ක සිත්හි නො රඳවන්නේ ය, දුරලන්නේ ය, පහකරන්නේ ය, විගතාන්ත (අවසන්) කරන්නේ ය, ක්‍රමයෙන් අභාවයට යවන්නේ ය. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට උපන් ව්‍යාපාද විතර්‍ක ... උපන් විහිංසා විතර්‍ක ... උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසන්නේ ය, දුරලන්නේ ය, පහකරන්නේ ය, විගතාන්ත කරන්නේ ය, අනභාවයට යවන්නේ ය. මහණෙනි, යම් හෙයෙකින් විනෝදනා නො කරණ ඔහට විඝාතපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, විනෝදනා කරණ ඔහට විඝාතපරිදාහකර ඒ ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් විනෝදනායෙන් ප්‍රහීණ වෙත් නම්, මෙ ආස්‍රවයෝ විනෝදනායෙන් ප්‍රහාතව්‍යහයි කියනු ලැබෙත්.
(6) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් භාවනායෙන් ප්‍රහීණ වෙත් නම්, භාවනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ව්‍යවසර්‍ගයට (නිවනට) නැමෙන සුලු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ... ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි ... විරියසම්බොජ්ඣඞ්ගය වඩයි ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකනිඃශ්‍රිත විරාගනිඃශ්‍රිත නිරෝධනිඃශ්‍රිත ව්‍යවසර්‍ගයට නැමෙනසුලු උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, නො වඩනා ඔහට යම් හෙයකින් විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, වඩනා ඔහට මෙසේ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් භාවනායෙන් ප්‍රහීණ වෙත් නම්, මෙ ආස්‍රවයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයහයි කියනු ලැබෙත්.
මහණෙනි, මෙ දහම් සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය ද පාහුනෙය්‍ය ද දක්ඛිණෙය්‍ය ද අඤ්ජලිකරණීය ද ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ද වේ ය යි.
6. 2. 1. 5.
[දාරුකම්මික සූත්‍රය]
5. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගමෙහි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසනසේක. එකල්හි දාරුකම්මික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් දාරුකම්මික ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: ගැහැවිය, තාගේ කුලයෙහි දන් දෙනු ලැබේ දැයි. වහන්ස, මාගේ කුලයෙහි දන් දෙනු ලැබේ. යම් ඒ මහණෙක් ආරණ්‍යක වෙත් නම්, පිණ්ඩපාතික වෙත් නම්, පාංසුකූලික වෙත් නම්, රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු වෙත් නම්, වහන්ස, එබඳු මහණුන් කෙරෙහි මවිසින් දන් දෙනු ලැබේ ය යි.
ගැහැවිය, කාමභෝගී වූ පුත්‍ර සම්බාධ සයනයෙහි වෙසෙන ගිහි වූ කසී සඳුන් වළඳ කරණ මල්ගඳවිලෙවුන් දරණ රන් රිදී ඉවසන තා විසින් ‘මොහු රහත්හ කියා හෝ මොහු රහත්මගට පිළිපන්හ’යි කියා හෝ තෙල කරුණ දත නො හැකි වේ.
(1) ගෘහපතිය, ආරණ්‍යක වූ ද මහණ උඩනු වූයේ නැඟි මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරගිය තෙපුල් ඇතියේ නට සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා නැතියේ සමාහිත නො වූයේ භ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික (ස්වභාවික නොදැමුනු) ඉන්‍ද්‍රිය ඇත්තේ වෙයි ද, මෙසේ හෙ තෙම එ කරුණෙන් ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, මහණ ආරණ්‍යක වූයේ ද උද්ධත නො වූයේ ද නැඟි මානනළ නැතියේ අචපල වූයේ දොඩමලු නො වූයේ නො විසුරුණු වදන් ඇතියේ එළඹ සිටි සිහි ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ සමාහිත වූයේ එකඟ සිත් ඇතියේ ඇවුරූ ඉඳුරන් ඇතියේ වේ ද, මෙසේ හෙතෙම එ කරුණින් පැසැසිය යුත්තේ ය.
(2) ගෘහපතිය, ග්‍රාමාන්තවිහාරි (ගම්වැසි) නමුදු මහණ උඬනු වූයේ ... මෙසේ හේ ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය ග්‍රාමාන්තවිහාරී නමුදු මහණ උද්ධත නො වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් පැසැසිය යුත්තේ ය.
(3) ගෘහපතිය, පිණ්ඩපාතික වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, පිණ්ඩපාතික වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ එ කරුණින් හෙතෙම ප්‍රශංසාර්‍හ වෙයි.
(4) ගෘහපතිය, නිමන්ත්‍රණ ඉවසන්නා වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හේ ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, නිමන්ත්‍රණ ඉවසන සුලු වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ ඒ කරුණින් හෙතෙම ප්‍රශංසාර්‍හ වෙයි.
(5) ගෘහපතිය, පාංශුකූලික වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, පාංශුකූලික වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ හේ එකරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.
(6) ගෘහපතිය, ගිහියන් දෙන චීවරධර වූ ද මහණ උද්ධත වූයේ උද්ගත මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරුණු වදන් ඇතියේ නට සිහි ඇතියේ මනා නුවණ නැතියේ සමාහිත නො වූයේ විභ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික වූ ඉන්‍ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. ගෘහපතිය, ගෘහපතිචීවරධර වූ ද මහණ අනුද්ධත වූයේ උද්ගත මානනළ නැතියේ චපල නො වූයේ දොඩමලු නො වූයේ නො විසිරුණු වදන් ඇතියේ එළඹසිටි සිහි ඇතියේ මනා නුවණ ඇතියේ සමාහිත වූයේ එකඟසිත් ඇතියේ සංවෘත ඉන්‍ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.
ගෘහපතිය, එහෙයින් ම තෝ සඟුන් කෙරෙහි දන් දෙව. සඟුන් කෙරෙහි දන් දෙන තාගේ සිත පහන් වන්නේ ය. එබඳු තෝ පහන් සිත් ඇතියේ සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නෙහි යි.
වහන්ස, තෙල මම අද පටන් කොට සඞ්ඝයා කෙරෙහි දන් දෙන්නෙමි යි.
6. 2. 1. 6.
[හත්‍ථිසාරිපුත්ත සූත්‍රය]
6. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් මිගදායෙහි වැඩවසන සේක. එ සමයෙහි බොහෝ තෙර මහණහු පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියාහු මණ්ඩලමාළයෙහි රැස්ව හුන්නාහු අභිධර්‍මමිශ්‍ර කථා කෙරෙත්.
එහි හස්තිශාරිපුත්‍ර ආයුෂ්මත් චිත්ත තෙරහු තෙර මහණුන් අභිධර්‍මකථා කරත් ම අතරින් අතරැ කථා හෙළත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ඇත්සැරියුත් ආයුෂ්මත් චිත්ත තෙරුන්ට තෙල කීහ: “ආයුෂ්මත් හත්‍ථිසාරිපුත්‍ර චිත්ත තෙරහු තෙරමහණුන් අභිධර්‍මකථා කරත් ම අතරින් අතරැ නහමක් කථා හෙළත්වා. ආයුෂ්මත් චිත්ත තෙරණුවෝ කථාපර්‍ය්‍යවසානය ඉවසත්වා”යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙරණුවන්ගේ සබඳ මහණහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්හට තෙල කීහ: “ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්‍ර නහමක් ගටත්වා. ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්‍ර පණ්ඩිතයහ. ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්‍ර තෙරහු තෙරමහණුන්හට අභිධර්‍මකථා කියන්නට ද පොහොසත්හ”යි.
ඇවැත්නි, මෙරමාගේ චිත්තාචාරය නො දන්නවුන් විසින් තෙල නො දත හැක්ක.
(1) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් යම්තාක් කල් ශාස්තෲන් වහන්සේ හෝ අන්‍යතර ගුරුස්ථානීය වූ සබ්‍රහ්මචාරියකු හෝ ඇසුරු කොට වෙසේ නම් එතෙක් කල් සුරතාකාර නිවාතාකර වෙයි. උපශාන්තාකාර වෙයි. යම් මැ කලෙක හේ ශාස්තෘහු කෙරෙන් බැහැර යේ නම්, හේ ගුරුස්ථානීය සබ්‍රහ්මචාරීන් කෙරෙන් බැහැර යේ නම්, හේ මහණුන් හා සමඟ මෙහෙණන් හා සමඟ උවසුවන් හා සමඟ උවැසියන් හා සමඟ රජුන් හා සමඟ රජමහ ඇමැතියන් හා සමඟ තීර්‍ත්‍ථකයන් හා සමග තීර්‍ත්‍ථක ශ්‍රාවකයන් හා සමග සංසෘෂ්ට ව වෙසෙයි. සංසෘෂ්ට ව ව්‍යපකෘෂ්ට ව ප්‍රාකෘතික ඉන්‍ද්‍රියයන් ඇතිව භාෂ්‍යකථායෙහි නියැලී වසන ඔහුගේ සිත රාගය ධර්‍ෂ කෙරෙයි (සමාධියෙන් දුරලයි) හේ රාගයා විසින් ධර්ෂිත (මැඩුණු) සිතින් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන (ගිහි) භාවයට යෙයි.
ඇවැත්නි, යම් පරිදි වැඩෙන ශස්‍ය බුදින ගොණෙක් දමින් හෝ බඳනාලදුයේ, ගොවුදෙහි හෝ අවුරණලදුයේ වේ නම්, ඇවැත්නි, “සස් බුදින මෙ ගොන් යලිදු ශස්‍යයට නො බස්නේ ය”යි යමෙක් මෙසේ කියා නම්, ඇවැත්නි, ඒ කියනුයේ මැනවින් කියෙන්නේ දැයි. ඇවැත්නි, නැත් මැයි. ඇවැත්නි, යම් හෙයෙකින් සස් බුදින එ ගොන් දාමය හෝ සිදැ ගොවුද හෝ බිඳැ වැලිදු ශස්‍යයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් යම්තාක් ශාස්තෲන් වහන්සේ හෝ අන්‍යතර ගුරුස්ථානීය සබ්‍රහ්මචාරියකු හෝ ඇසුරු කොට වෙසේ ද, ඒ තාක් සුරතයකු සෙයින් සුරත වෙයි,. නිවාතයකු සෙයින් නිවාත වෙයි. උපශාන්තයකු සෙයින් උපශාන්ත වෙයි. යම් කලෙක හේ ශාස්තෲන් වහන්සේ කෙරෙන් බැහැර යේ ද, ගුරුස්ථානීය වූ සබ්‍රම්සරුන් කෙරෙන් බැහැර යේ ද, හේ භික්‍ෂූන් හා භික්‍ෂූණීන් හා උවසුවන් හා උවැසියන් හා රජුන් හා රජමහඇමැතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා සංසෘෂ්ට ව වෙසෙයි. සංසෘෂ්ට වුහුටු කමටහන් ඇති ව ප්‍රාකෘතික ඉන්‍ද්‍රියයන් ඇති ව භාෂ්‍යකථායෙහි අනුයුක්ත ව වසන ඔහුගේ සිත රාගය ගෙණ සිටුනේ වෙයි. රාගයා විසින් ගත් සිතින් හෙ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන භාවයට වැටෙයි.
(2) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් කාමයන්ගෙන් වෙන් ව ම (අකුසල ධර්‍මයන්ගෙන් වෙන් ව ම) ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. හෙ ප්‍රථමධ්‍යානලාභියෙමි යි භික්‍ෂූන් හා ... සංසෘෂ්ට වූයේ වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
ඇවැත්නි, යම්පරිදි සතරමංසන්‍ධියෙහි දළ පොද ඇති මේඝය වස්නේ රජස් අතුරුදන් කෙරේ ද, මඩ පාළ කෙරේ ද, ඇවැත්නි, “මෙ සතරමං සන්‍ධියෙහි යලිත් රජස් පාළ නො වන්නේ ය”යි යමෙක් මෙසේ කියා නම් ඇවැත්නි, එ කියනුයේ මනා කොට කියන්නේ වේ දැ?යි. ඇවැත්නි, මෙය නො වේ ම ය. ඇවැත්නි, යම් හෙයෙකින් අසෝ මහාපථයෙහි මනුෂ්‍යයෝ හෝ ඉක්මයෙති, ගවපසුහු හෝ ඉක්මයෙති, අව්සුළං හෝ තෙතමන සිඳ ගන්නේ ය. ඉක්බිති රජස් පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. හෙ ප්‍රථමධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට යෙයි.
(3) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් විතර්‍කවිචාරයන්ගේ ව්‍යපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ ද්විතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
ඇවැත්නි, යම් පරිදි ගමකට වේවයි, නියම්ගමකට වේවයි, නුදුරෙහි මහදහතළායෙක් වේ නම්, එහි මහත් පොද ඇති මේඝය වස්නේ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන් හා කැටකැබිලිති හා අතුරුදන් කරවයි. ඇවැත්නි, යමෙක් “දැන් මෙ දහතළායෙහි වැලිදු සිප්පිබෙලි සක්බෙලි කැටකැබිලිත් පාළ නො වේ ය”යි කියන්නේ නම්, ඇවැත්නි, හේ මොනොවට කියන්නේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි. ඇවැත්නි, යම් හෙයෙකින් ඒ තළායෙහි මිනිස්සු හෝ පානය කරන්නාහ. ගවපසුහු හෝ පානය කරන්නාහ. අව්සුළං හෝ තෙත්ගතිය ගෙවාගන්නේ ය. වැලිදු සිප්පිබෙලි සක්බෙලි කැට කැබිලිති පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් විතර්‍ක විචාරව්‍යපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හේ ද්විතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
(4) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ප්‍රීති විරාගයෙනුදු ... තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ තෘතීයධ්‍යානලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
ඇවැත්නි, යම් පරිදි පිණිබොජුන් වළඳනා පුරුෂයකු හට ප්‍රකට දෝෂ ඇති, කුද්‍රෑසක භෝජනය නුරුස්නේ ද, “දැන් මෙ පුරිස්හට නැවත බොජුන් නො රුස්නේ ය”යි යමෙක් කියා නම්, ඇවැත්නි, එ කියනුයේ මනා කොට කියන්නේ දැයි? ඇවැත්නි, මෙ නො වේ මැ යි. “ඇවැත්නි, පිණිබොජුන් වැළඳු තෙල පුරිස්හට යම්තාක් කයෙහි එ ඕජාව සිටුනේ ද, ඒතාක් අන් බොජුනක් නො ම රුස්නේ ය. යම් කලෙක ඔහුගේ ඒ ඕජාව අතුරුදන් වේ නම්, එකල නැවතත් ඒ බොජුන රුස්නේ ය” යන තෙල කරුණ විද්‍යාමාන වේ. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ප්‍රීති විරාගයෙන් ... තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ තෘතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
(5) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සුඛයාගේත් ප්‍රහාණයෙන් දුඃඛයාගේත් ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හේ චතුර්‍ත්‍ථධ්‍යානලාභියෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
ඇවැත්නි, යම් පරිදි කඳුනැම්මෙක වාපහස නො ලත් නො නැඟි රළ ඇති දියවිලෙක් වේ නම්, ඇවැත්නි, යමෙක් තෙල දියවිල්හි යලිදු රළ පාළ නො වන්නේ ය’යි මෙසේ කියා නම්, ඇවැත්නි, කියන හේ මොනොවට කියන්නේ වේ දැයි. ඇවැත්නි, මෙ නො වේ මැ යි. ඇවැත්නි, පැදුම්දිගින් යම්බඳු මහවැසිසුළඟෙක් හමා නම්, එ සුළඟ එ දියවිල්හි රළ දනවා නම්, පැලදිගින් යම් මහ වැසි සුළඟෙක් හමා නම් ... උතුරුදිගින් යම් මහ වැසි සුළඟෙක් හමා නම් ... දකුණුදිගින් යම් මහ වැසි සුළඟෙක් හමා නම්, එ සුළඟ එ දියවිල්හි රළ දනවා නම්, තෙල කරුණ විද්‍යමාන මැ වේ. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සුඛයාගේ ප්‍රහාණයෙන් ද දුඃඛයාගේ ප්‍රහාණයෙන් ද ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ (මම්) චතුර්‍ත්‍ථධ්‍යානලාභියෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි … ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
(6) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් (නිත්‍ය ආදි) හැම නිමිත්තයන් මෙනෙහි නො කිරීමෙන් (බලවත් විදර්‍ශනා සමාධි සඞ්ඛ්‍යාත) අනිමිත්ත චිත්තසමාධියට එළඹ වෙසෙයි. ‘හෙ අනිමිත්ත චිත්තසමාධි ලාභියෙමි’යි භික්‍ෂූන් හා භික්‍ෂූණීන් හා උපාසකයන් හා උපාසිකාවන් හා රජුන් හා රාජමහාමාත්‍යයන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා සමඟ හැනී වෙසෙයි. සංසෘෂ්ට ව වුහුටු වැර ඇති ව ප්‍රාකෘතික ඉන්‍ද්‍රියයන් ඇතිව භාෂ්‍යකථායෙහි නියැලී වාස කරණ ඔහුගේ සිත රාගය තෙමේ ඝටයි. හේ රාගයෙන් ඝැටුනු සිතින් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
ඇවැත්නි, යම් පරිදි රජෙක් වේවයි, රජමහඇමැතියෙක් වේවයි, සිවුරඟ සෙන් සමග අදන්මගට පිළිපන්නේ අන්‍යතර වන ලැහැබෙක්හි එක් රැයක් විසීමට එළඹේ නම් එහි හස්තිශබ්දයෙන් අශ්වශබ්දයෙන් රථශබ්දයෙන් පත්තිශබ්දයෙන් බෙර පණාබෙර සක් ගැටබෙර නිනාද හඬින් සීරුන්ගේ හඬ අතුරුදන් වන්නේ ද, ඇවැත්නි, මේ වන ලැහැබ්හි වැලිදු සීරුන්ගේ හඬ පාළ නො වන්නේ ය’යි යමෙක් මෙසේ කියා නම්, ඇවැත්නි, කියන හේ මනා කොට කියන්නේ දැයි? ඇවැත්නි, මෙ නො වේ මැ යි. ඇවැත්නි, යම් හෙයෙකින් රජ වේවයි, රජමහඇමති වේවයි, එ වනලැහැබින් නික්ම යේ නම්, එකල්හි නැවතත් සීරුන්ගේ ශබ්දය පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් හැම නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චිත්තසමාධියට එළඹ වාස කෙරෙයි. හේ මම් ‘අනිමිත්තචේතෝසමාධිලාභියෙමි’යි භික්‍ෂූන් හා භික්‍ෂූණීන් හා උපාසකයන් හා උපාසිකාවන් හා රජුන් හා රජමහඇමතින් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා සමග හැනී වෙසෙයි. සසට ව වුහුටු කමටහන් ඇති ව පියෙවි ඉඳුරන් ඇති ව භාෂ්‍යකථාහි නියුතු ව වසන ඔහුගේ සිත රාගය තෙමේ ඝටයි. රාගයෙන් ඝැටුනු සිතින් යුත් හෙ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
ඉක්බිති ආයුෂ්මත් හත්‍ථිසාරිපුත්ත නම් චිත්ත තෙරණුවෝ පසු කල්හි ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට (ගිහි බවට) පෙරළා වැටුනාහ. එකල්හි හත්‍ථිසාරිපුත්ත චිත්ත තෙරණුවන්ගේ යහළු මහණහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්ට තෙල සැළකළහ: “කිමෙක් ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් විසින් චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙර ‘මේ මේ විහාරසමාපත්ති ලාභියෙක, වැලිදු ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය’යි තමන් සිතින් ඔහු සිත පිරිසිඳ දැනගන්නා ලදුයේ වේ දැ?යි, නො එසේ වුව වහන්ස, චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙමේ මේ මේ විහාරසමාපත්තිලාභියෙක, වැලිදු ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය’යි දේවතාවෝ එ පවත් සැළකළාහු දැ”යි.
ඇවැත්නි, “චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙමේ මෙ මෙ විහාරසමාපත්තිලාභියෙක, වැලිදු ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය’යි මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ මා විසින් දන්නා ලදුයේ යැ. ඇවැත්නි, චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙමේ මේ මේ විහාරසමපත්තිලාභියෙක, එතෙකුදු වුව ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය යන තෙල පුවත දෙවියෝ ද මට සැළ කළහ”යි.
එකල්හි චිත්තහත්‍ථිසාරිපුත්‍රයන්ගේ යහළු මහණහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එහි එළඹියාහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ. “වහන්ස, චිත්තහත්‍ථිසාරිපුත්ත තෙමේ මේ මේ විහාරසමාපත්තිලාභියෙක, එසේ වුව ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටිනැ”යි.
මහණෙනි, චිත්ත තෙමේ නොබෝ කල්හි නෛෂ්ක්‍රම්‍ය ගුණ සිහිපත් කරන්නේ ය යි.
ඉක්බිති චිත්තහත්‍ථිසාරිපුත්ත තෙමේ නො බෝ කලෙකින් ම කෙස් රවුළු බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සස්නට වන. ඉක්බිති ආයුෂ්මත් චිත්තහත්‍ථිසාරිපුත්ත තෙර එකලා වූයේ ගණසඞ්ගණිකා යෙන් වෙන් වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ ප්‍රහිතාත්ම ව වාස කරන්නේ නොබෝ කලෙකින් ම ආචාරකුලපුත්‍රයෝ මනාකොට ගෙන් නික්ම යම් අර්‍ත්‍ථයක් පිණිස ශාසනයට පැමිණේ නම්, එ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ විසී. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවනලද, මඟකටයුතු කරණලද, මෙ ක්ලේශක්‍ෂය පිණිස කටයුතු අනෙකක් නැතැයි මනා කොට දැනැගත්තේ ය. ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර වූහ යි.
6. 2. 1. 7.
[මජ්ඣෙ සූත්‍රය]
7. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් ඉසිපතන නම් මිගදායයෙහි වැඩ වසන සේක. එ සමයෙහි පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණි මණ්ඩලමාලයෙහි රැස්ව හුන් බොහෝ තෙරමහණුන් අතර මෙ අතුරු කථාව පහළ විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායන සමාගමයෙහි තිස්ස මෙත්තෙය්‍ය මාණවකයාගේ ප්‍රශ්නයෙහි දී:
එ (රහත් භික්‍ෂුතෙම) “උභයාන්තය ප්‍රඥායෙන් දැන මධ්‍යයෙහි නො තැවරේ නම් ඔහු මහාපුරුෂය යි කියමි. හේ මේ පස්කඳෙහි සිබ්බනිසඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඉක්ම ගියේ ය”යි. (මෙය වදාරණ ලදි)
ඇවැත්නි, එක් අන්තය කවරේ යැ, දෙවන අන්තය කවරේ යැ, මධ්‍යය කවරේ යැ, සිබ්බනි කවර යැයි.
(1) මෙ සේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්හට තෙල කීය: “ඇවැත්නි, (ස්පර්‍ශවශයෙන් උපන් හෙයින් වර්‍තමාන ආත්මභාව සඞ්ඛ්‍යාත) ස්පර්‍ශය එක් අන්තයෙක. (අනාගතාත්මභාව සඞ්ඛ්‍යාත) ඵස්සසමුදය දෙවන අන්ත ය, (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ස්පර්‍ශ නිරෝධය මධ්‍යය වෙයි. තෘෂ්ණාව සිබ්බනි යැ. තෘෂ්ණාව ම එ (ආත්මභාවද්වය සඞ්ඛ්‍යාත) ඵස්සය හා ඵස්සසමුදය ඒ ඒ භවයාගේ අභිනිර්‍වෘත්තිය සඳහා හිවන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ (චතුස්සත්‍යධර්‍ම සඞ්ඛ්‍යාත) අභිඥේයය මනා කොට දන්නේ ය. (ලෞකික සත්‍යද්වය සඞ්ඛ්‍යාත) පරිඥේය පිරිසිඳ දන්නේ ය. අභිඥේයය අභිජානන කරණුයේ පරිඥේයය පරිජානන කරණුයේ ඉහාත්ම භාවයෙහි ම වෘත්ත දුඃඛය කෙළවර කරන්නේ ය යි.
(2) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්හට මෙය කී ය: “ඇවැත්නි, අතීතාත්මභාවය එක අන්තයෙක, අනාගතාත්මභාවය දෙවන අන්තය යි, ප්‍රත්‍යුත්පන්නාත්මභාවය මධ්‍යය යි. තෘෂ්ණාව සිබ්බනිය යි. තෘෂ්ණාව ම ඒ ඒ භවයාගේ ඉපැත්ම සඳහා එය (අතීතානාගතපච්චුප්පන්න ඛන්‍ධ) හිවනේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥේයය අභිජානනය කෙරෙයි. පරිඥේයය පරිජානනය කෙරෙයි. අභිඥේයය මනාකොට දන්නේ පරිඥේයය පිරිසිඳ දන්නේ ඉහාත්මභාවයෙහි ම දුක් කෙළවර කරන්නේ ය”යි.
(3) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, සුඛ වේදනා එක් අන්ත යැ, දුක්ඛවේදනාව දෙවන අන්ත යැ, අදුක්ඛමසුඛ වේදනාව මධ්‍යය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම ඒ ඒ භවයාගේ අභිනිර්‍වෘත්තිය සඳහා එය හිවන්නේ ය. ඇවැත්නි මෙතෙකින් මහණ අභිඥේයය අභිඥාත වෙයි, ... ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වේ ය”යි.
(4) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, නාමය එක් අන්ත යැ, රූපය දෙවන අන්තය වෙයි. ප්‍රතිසන්‍ධි විඥානය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව එය මසයි ... ඉහාත්මයෙහි ම දුක් අන්ත කරන්නේ වේ ය” යි.
(5) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කීය: “ඇවැත්නි, ෂට්ආධ්‍යාත්මිකායතන එක අන්ත යැ. ෂට්බාහ්‍යආයතන දෙවන අන්ත යි. කර්‍මවිඥානය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම එ එ භවයාගේ ඉපැත්ම පිණිස එය හිවයි. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥේයය අභිඥාත වෙයි ... ඉහාත්මයෙහි දුක් (අන්තකරන්නේ වේ ය”යි)
(6) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කීය: “ඇවැත්නි, (ත්‍රෛභූමක වර්‍ත සඞ්ඛ්‍යාත) සත්කාය එක අන්ත යැ, (සමුදයසත්‍ය සඞ්ඛ්‍යාත) සත්කායසමුදය දෙවන අන්ත යි, (නිරෝධසත්‍ය සඞ්ඛ්‍යාත) සත්කාය නිරෝධය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම එ එ භාවයාගේ ඉපැත්ම පිණිස එය හිවන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥෙය අභිඥාත වෙයි, පරිඥේයය පරිඥාත වෙයි, අභිඥේයය අභිඥාන කෙරෙමින් පරිඥේයය පරිඥානකෙරෙමින් ඉහාත්මභාවයෙහි ම දුක් අන්තකරන්නේ වේ ය”යි.
මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කීය: “ඇවැත්නි, අප හැම දෙන විසින් ම ස්වකීය ප්‍රතිභානය ප්‍රකාශ කරණ ලදි. ඇවැත්නි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම්හ, එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකරම්හ, අපහට යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ විවරණ කෙරෙත් නම් එපරිදි එය ධරම්හ”යි. ඇවැත්නි, එසේ ය යි, තෙර මහණහු එ මහණහට පිළිවදන් ඇස්වූහ.
එක්බිති තෙර මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් තෙර මහණහු හැම දෙනා හා සමග යම් ප්‍රමාණ කථාසංලාපයෙක් ඇති වී නම්, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. වහන්ස, කවුරුන්ගේ (භාෂිතය) සුභාෂිත වේ දැ?”යි.
“මහණෙනි, පර්‍ය්‍යායයෙන් (ඒ ඒ කරුණින්) තොප හැමගේ කථා සුභාෂිත ය. වැලිදු මා විසින් පාරායනයෙහි ‘මෙත්තෙය්‍ය පඤ්හ’යෙහි යමක් සඳහා:
“එ (රහත් මහණ) ප්‍රඥාවෙන් උභයාන්තය දැන මධ්‍යයෙහි නො තැවරේ නම්, ඔහු මහාපුරුෂ යයි ද, හේ මෙලොව සිබ්බනී සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඉක්මගියේ යි කියමි”යි වදාරන ලද නම්, එය මනා කොට අසව මෙනෙහි කරව, කියන්නෙමි”යි
‘වහන්ස, එසේ ය’යි, එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
මහණෙනි, වර්‍තමාන ආත්මභාව (සඞ්ඛ්‍යාත) ඵස්සය එක් අන්තයක, (අනාගතාත්මභාව සඞ්ඛ්‍යාත) ඵස්සසමුදය දෙවන අන්තය වෙයි. ඵස්ස නිරෝධය මධ්‍යය වෙයි. තෘෂ්ණාව සිබ්බනිය යි. තෘෂ්ණාව ම ඒ ඒ ආත්මභාවයාගේ අභිනිර්‍වෘත්තිය සඳහා එය හිවන්නේ ය. මහණෙනි, මෙ පමණෙකින් මහණ අභිඥේයය අභිජානන කෙරෙයි. පරිඥේයය පරිජානන කෙරෙයි. අභිඥෙය විශිෂ්ටඥානයෙන් දන්මින් පරිඥේයය පිරිසිඳ දන්මින් ඉහාත්මයෙහි දුඃඛය අවසන් කරන්නේ වේ ය යි.
6. 2. 1. 8.
[පුරිසින්‍ද්‍රියඤාණ සූත්‍රය]
8. මා විසින් මෙසෙයින් අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි මහබික්සඟුන් හා සමඟ සැරිසරනසේක් දණ්ඩකප්පක නම් කෝශලයන්ගේ නියම්ගමට වන්සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් ඉවත් ව අන්‍යතර වෘක්‍ෂමූලයෙක්හි පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඒ භික්‍ෂුහු ද ආවාස සොයන්නට දණ්ඩකප්පකයට වන්හ.
එක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බොහෝ මහණුන් හා කැටිවලා ගාත්‍ර පරිෂේකය සඳහා අචිරවතී නදිය වෙත එළඹියහ. අචිරවතී නිදයෙහි ගාත්‍රපරිෂේක (ස්නාන) කොට නදියෙන් නැඟී එක්සිවුරු ඇතියාහු අඟපසඟ තෙත සිඳුවමින් සිටියහ.
එකල්හි (දේවදත්තපාක්‍ෂික) අන්‍යතර මහණෙක් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කරුණ කී:
“ඇවැත් ආනන්‍දයෙනි, කිම භාග්‍යවතුන් වහන්සේ විසින් හැම තතු සිතින් ආවර්‍ජනා කොටගෙන ‘දෙව්දත් අපායෙහි උපදනෙක, නිරයගාමි යැ, (නිරයෙහි) කපක් සිටුනේ වන්නෙ යැ, පිළියම් නො කළ හෙන්නේ යැ’යි වදාරණ ලදුයේ ද, නොහොත් කිසියම් පර්‍ය්‍යායයෙකින් වදාරණ ලදුයේ දැ”යි.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල කරුණ එලෙසින් ම ව්‍යාකෘත ය’යි.
එක්බිති ආයුෂ්මත් ආනන්‍දතෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළහ:
වහන්ස, මෙ (නියම්ගම්) හි බට මම බොහෝ මහණුන් හා ශරීර පරිෂේකය සඳහා අචිරවතී නදිය කරා එළැඹියෙමි. අචිරවතී නදියෙහි සිරැර සනහා ගොඩනැඟී සිරුරු තෙත් සිඳුවමින් ඒකචීවර වැ සිටියෙමි. වහන්ස, එකල්හි අන්‍යතර (දේවදත්තපාක්‍ෂික) මහණෙක් මා කරා පැමිණියේ ය. පැමිණ මට තෙල පවත් කී:
“ඇවැත් ආනන්‍දයෙනි, කිමෙක භාග්‍යවතුන් වහන්සේ විසින් හැම තතු සිතින් ආවර්‍ජනා කොට ගෙන ‘දේවදත්ත ආපායික යැ, නිරයගාමි යැ, කපක් සිටුනේ වන්නේ යැ, පිළියම් නො කළ හෙන්නේ ය’යි වදාරනලද ද? නොහොත් කිසියම් පර්‍ය්‍යායයෙකින් ව්‍යාකෘත වේ දැයි, වහන්ස, මෙසේ කී කල්හි මම ‘ඇවැත්නි, තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ සෙයින් ව්‍යාකෘත ය’යි එ මහණහට කීමි යි.
ආනන්‍දයෙනි, හේ පැවිදිව නො බෝකල් ඇති නවක මහණෙක් හෝ අව්‍යක්ත බාල ස්ථවිර මහණෙක් හෝ වියහෙයි. යමක් මා විසින් ඒකාන්තයෙන් ව්‍යාකෘත නම්, එහි කිසෙයින් ද්විධාභාවයෙක් වේද? ආනන්‍දයෙනි, දේවදත්ත බඳු යම් මැ පුද්ගලයෙක් මා විසින් සියල්ල සිතින් ආවර්‍ජනා කොට ව්‍යාකෘත වේ නම්, මම එබඳු අන් එකද පුඟුලකු බුදු ඇසින් නො මැ දක්මි. ආනන්‍දයෙනි, යම්තාක් මම දේවදත්තයාගේ අස්ලොම් අගක් වදනා තැන් පමණ වූ කුශලධර්‍මයක් නො දිටිම් ද, ඒතාක් මම ‘දෙව්දත්හු අපායෙහි උපදනට නිසි කම් ඇතියෙක, නිරෑහි උපදනේ යැ, ප්‍රතිකර්‍ම රහිත වූයේ යැ, කල්පස්ථායී වන්නේ යැ’ යි දෙව්දතු ව්‍යාකෘත නො කෙළෙම් ම ය. ආනන්‍දයෙනි, යම් කලෙක මම දේවදත්තගේ අස්ලොම් අග වදනා තැන් පමණකුදු කුශලධර්‍මයක් නො දිටිම් ද, එකල්හි මම ‘දේවදත්ත ආපායික යැ. නේරයික යැ, කල්පස්ථායී යැ, අතෙකිච්ඡ ය යි දෙව්දතු විවරණ කෙළෙමි’යි.
ආනන්‍දයෙනි, යම් සේ පුරුෂප්‍රමාණයෙන් අධික වූ ගූථයෙන් මුව විට තෙක් පිරි සිටි ගූථකූපයෙක් වේද, එහි සශීර්‍ෂක ව (හිසතෙක්) නිමග්න වූ පුරුෂයෙක් වේද, ඔහට අර්‍ත්‍ථ කැමැති හිත කැමැති යෝගක්‍ෂේම (නිර්‍භය) කැමැති ඒ ගූථ කූපයෙන් උදුරණු කැමැති කිසි පුරුෂයෙක් උපදනේ ය, හේ ඒ ගූථකූපය වටා ඇවිදිනුයේ යම් තැනෙක්හි ගෙණ (ඔහු) උදුරාලන්නේ නම් අස්ලොම් අගක් බැහියහැකි පමණකුදු ගූථයෙන් නො මැකි තැනක් නො දක්නේ ය. ආනන්‍දයෙනි, එපරිද්දෙන් ම යම් කලෙක සිට මම දෙව්දත්හුගේ අස්ලොම් අගක් වදනා තැන් තරම් වූ ද කුශලධර්‍මයක් නො දිටිම් ද, එකල්හි මම ‘දේවදත්ත ආපායික ය, නේරයික ය, කල්පස්ථ ය, අතෙකිච්ඡ ය’ යි දෙව්දතු විවරණ කෙළෙමි.
ආනන්‍දයෙනි, ඉදින් තෙපි පුරුෂෙන්‍ද්‍රියඥාන විභාග කරණ තථාගතයන්ගේ භාෂිතය අසවු දැ’යි. භාග්‍යවතුන් වහන්ස, තෙල භාෂිතයට මේ කලි, සුගතයන් වහන්ස, යම් සෙයකින් භාග්‍යවතුන් වහන්සේ පුරුෂෙන්‍ද්‍රියඥාන විභාග කරණ සේක් නම්, මෙ තෙල භාෂිතයට කලි. භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු එ දරන්නාහ යි. ආනන්‍දයෙනි, එසේ වී නම් මනාකොට අසව, මෙනෙහි කරව, වදාරමි යි. වහන්ස. එසේ යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
(1) ආනන්‍දයෙනි, මෙ ලොව්හි මම’ මෙ පුඟුල්හට කුසල්දහම්හු ද අකුසල් දහම්හු ද විද්‍යමානයහ’ යි මෙසෙයින් තමන් සිතින් ඔහු සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි ‘මෙ පුඟුල්හුගේ කුශලධර්‍මයෝ අතුරුදන් වූහ, අකුශලධර්‍මයෝ සම්මුඛීභූතයහ. මොහුට ප්‍රහීණ නො වූ කුශලමූල ද ඇත. ඒ කුශලමූලයෙන් මොහුට කුසල් පාළ වන්නේ ය. මෙසේ වත් ම ‘මේ පුඟුල් මත්තෙහි නො පිරිහෙන සැහැවි ඇති වන්නේ ය’ යි මෙසේ තමන් සිතින් ඔහු සිත පිරිසිඳ දන්මි.