බ්‍රාහ්මණ ධම්මිකයෙනි, පෙර වූ දැයක් කියමි. සාමුද්‍රික වෙණෙදෝ දිශාකාකයකු (තෙරදක්නා කවුඩකු) ගෙණ නැවෙන් සමුදුර වන්හ. ඔහු නැව මුහුදුතෙර නො දකුත් ම තීරදර්ශීලිහිණි මුදත්. එ ලිහිණි පෙරදිගට යේ මැ යි. පැදුම් දිගට යේ මැ යි. උතුරුදිගට යේ මැ යි. දකුණුදිගට යේ මැ යි. උඩු දෙසට යේ මැ යි. අනුදිගට යේ මැ යි. හෙ ඉදින් නුදුරැ මුහුදුතෙර දක්නේ නම් එ සෙයින් ම ගියේ ම වෙයි. ඉදින් හෙ අවට මුහුදු තොට නො දක්නේ නම් එ නැව කරා වටාලා එයි. බ්‍රාහ්මණ ධම්මිකය, එ පරිදි ම යම් හෙයෙකින් තා එ එ වෙහෙරින් නෙරත් නම්, එබඳු තෝ එ එ වෙහෙරින් නෙරණ ලදුව මා කරා ම එන්නෙහි.
බ්‍රාහ්මණ ධම්මිකයෙනි, වූ විරි දැයෙකි. කෝරව්‍ය රජුට සුප්පතිට්ඨ නම් අතුපසක් ඇති සිහිල් සෙවණැති මනරම් නුගරුකෙක් වී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නම් නිග්‍රෝධරාජයාගේ ශාඛාභිනිවේශය (අතුපතර) දොළොස් යොදුන් විය. මුල් අරළුන්ගේ අභිනිවේශය පස් යොදුන් විය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ සහල් නැළියක බත පිසනා තලි බඳු මහත්ඵල වී. නිදොස් දඬුඑල්බෑ මිහි බඳු රසවත් ඵල එ රුක්හි වි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ එක් කඳක් ඇතොවුරන් සමඟ රජ වළඳ කෙරෙයි. බලකායය එක් කඳක් වළඳ කෙරෙයි. නියම්ගම්දනව් වැස්සෝ එක් කඳක් වළඳ කෙරෙති. මහණ බමුණෝ එක් කඳක් වළඳ කෙරෙති. මෘගපක්‍ෂීහු එක් කඳක් වළඳ කෙරෙති. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නම් න්‍යග්‍රෝධරාජයාගේ ඵල කිසිවෙක් නො රක්නේ ය. උනුන්ගේ කොටසෙහි ඵලයෝ උනුන්ට හිංසා නො කෙරෙති.
බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති අන්‍යතර පුරුෂයෙක් සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ ඵල කැමැති තාක් භක්‍ෂණය කොට අත්තක් බිඳ දමා නික්ම ගියේ ය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සුප්පතිට්ඨ නුගරුක අරක් ගෙණ විසූ දෙවිහට මෙ බඳු සිතෙක් වී: “යමෙක් සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ ඵල කැමැති සේ භක්‍ෂණය කොට අතු බිඳ දමා නික්ම ගියේ වේ ද, මෙ මිනිස් අත්‍යර්‍ත්‍ථයෙන් පවිටු ය. භවත්නි, එ කැතියෙන් ආශ්චර්‍ය්‍ය යි, භවත්නි, එකැතියෙන් අද්භුතයි. සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයා මතුයෙහි ඵල නො දේ නම් මැනැවි”යි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයා මතුයෙහි පල නො දින.
බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති කෝරව්‍ය රජ සක්දෙවිඳු කරා එළඹියෙ. එළඹ සක්දෙවිඳු හට තෙල කී: නිදුකානෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධවෘක්‍ෂය ඵල නො දෙන්නේ ය යන්න දන්නෙහි දැ?යි.
බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සක්දෙවිඳු යම් පරිද්දෙකින් මහ වැසිසුළඟෙක් අවුත් සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයා පෙරළිය හේ නම්, මුලිනුදුරා ලිය හේ නම්, එබඳු ඍද්ධිප්‍රයෝගයක් කෙළේ ය.
බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සුප්පතිට්ඨ න්‍යග්‍රොධවෘක්‍ෂයෙහි විසූ දෙවියා දුකට පත් වූයේ, දොම්නස් වූයේ, කඳුළු වැකි මුහුණු ඇතියේ, හඬමින් එකත් පසෙක සිටියේ ය.
බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සක්දෙවිඳු සුප්පතිට්ඨ න්‍යග්‍රොධවෘක්‍ෂයෙහි විසූ දෙවියා වෙත එළඹියේ ය. එළඹ සුප්පතිට්ඨ න්‍යග්‍රොධවෘක්‍ෂයෙහි වුසූ දෙවියහට තෙල කී: “දේවතායෙනි, කවර හෙයින් තෙපි දුකට පැමිණියහු දොම්නස් ඇතියහු කඳුළු වැකි මුහුණු ඇතියහු හඬමින් එකත් පසෙක සිටියහු දැ”යි.
“එසේ ම ය, නිදුකානෙනි, මහ වාසුළඟෙක් අවුත් මාගේ භවන ඇද හෙළී ය. උපුළ මුල් ඇති කෙළේ ය”යි.
දේවතායෙනි, තොප වෘක්‍ෂධර්‍මයෙහි සිටුත් ම, මහවාසුළඟෙක් අවුත් භවන හෙළී ද, උන්මූල කෙළේ දැ?යි. නිදුකානෙනි, රුකෙක් රුක්දම්හි කෙසේ නම් සිටියේ වේ දැ?යි.
දේවතායෙනි, මෙ ලොව්හි වෘක්‍ෂයාගේ මුල් කැමතියහු මුල් ගෙණ යත්. සිවි කැමැතියහු සිවි ගෙණ යත්. පත් කැමැතියහු පත් ගෙණ යත්. මල් කැමැතියහු මල් ගෙණ යත්. ඵල කැමැතියහු ඵල ගෙණ යත්. එහෙයින් දේවතාවා විසින් නොසතුටු බවෙක් වේ ව යි, අනභිරද්ධියෙක් (කෝපයක්) වේ ව යි නො කළ යුතු ය. දේවතායෙනි, මෙසේ වනාහි රුක රුක් දහම්හි සිටියේ වෙයි.
නිදුකානෙනි, මා වෘක්‍ෂධර්‍මයෙහි නො සිටුත් ම, මහ වැසිසුළඟෙක් අවුත් භවනය හෙළී ය. උන්මූල කෙළේ ය යි. දේවතායෙනි, ඉදින් තෝ වෘක්‍ෂධර්‍මයෙහි සිටුහු නම්, තාගේ භවනය පෙර පරිද්දෙන් සිටිනේ වේ යි. නිදුකානෙනි, මම වෘක්‍ෂධර්‍මයෙහි පිහිටන්නෙමි. මාගේ භවනය පෙර පරිද්දෙන් වේව’යි.
එකල්හි බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සක්දෙවිඳු යම් පරිදි මහ වැසි සුළඟෙක් අවුත් සුප්පතිට්ඨනිග්‍රෝධ වෘක්‍ෂය ඔසොවා ලී නම්, මුල් සිවි සහිත වී නම්, එ පරිදි ඍද්ධ්‍යභිසංස්කාරයක් කෙළේ ය.
බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ජාතිභූමක උපාසකයෝ එ පරිද්දෙන් ම ශ්‍රමණධර්‍මයෙහි සිටියා වූ ම තා ජාතිභූමියෙහි හැම සත් වෙහෙරින් නෙරලූහු දැයි. වහන්ස, කිසෙයින් මහණෙක් මහණදම්හි සිටියේ වේ දැ?යි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙ සස්නෙහි මහණ ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නො කෙරෙයි. ක්‍රෝධ දනවන්නහුට පෙරළා ක්‍රෝධ නො දනවයි. ඩබර කරන්නහුට පෙරළා ඩබර නො කරයි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙසෙයින් ම මහණ මහණදම්හි සිටියේ වේ යයි.
වහන්ස, ශ්‍රමණධර්‍මයෙහි නො පිහිටියා වූ ම මා ජාතිභූමක උපාසකයෝ ජාතිභූමියෙහි ඇති හැම සත්වෙහෙරින් නෙරූහ යි.
(1) බ්‍රාහ්මණ ධම්මිකයෙනි, භූතපූර්‍වයක් කියමි. කාමයෙහි විෂ්කම්භණ වශයෙන් වීතරාග වූ තීර්‍ත්‍ථඞ්කර වූ සූනේත්‍ර නම් ශාස්තෘවරයෙක් වී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුනෙත්‍ර ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. සුනෙත්‍ර ශාස්තෘ තෙමේ සවුවනට බ්‍රහ්මලෝකසහවාසයට දහම් දෙසයි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසන සුනෙත්‍ර ශාස්තෘ කෙරෙහි යම් කෙනෙක් සිත් නොපැහැදූහු නම්, උහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹියහ. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහභාවය පිණිස දම් දෙසන සුනෙත්‍ර ශාස්තෘහු කෙරෙහි යම් කෙනෙක් සිත් පැහැදූහු නම් ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයෙහි උපන්හ.
(2) බ්‍රාහ්මණ ධම්මිකයෙනි, වූ විරීදැයෙකි. මූගපක්ඛ නම් ශාස්තෘවරයෙක් වී ... (3) අරණෙමි නම් ශාස්තෘවරයෙක් වී ... (4) කුද්දාලක නම් ශාස්තෘවරයෙක් වී ... (5) හත්‍ථිපාල නම් ශාස්තෘවරයෙක් වී ... (6) ජෝතිපාල නම් කාමයන්හි වීතරාග වූ තීර්‍ත්‍ථඞ්කර වූ ශාස්තෘවරයෙක් වී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ජෝතිපාල ශාස්තෘහුගේ අනේකශත ශ්‍රාවකයෝ වූහ. ජෝතිපාල ශාස්තෘ ශ්‍රාවකයනට බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසන ජෝතිපාල ශාස්තෘහු කෙරෙහි යම් කෙනෙක් සිත් නො පැහැදූහු නම් ඔහු කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයෙහි උපන්හ. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසන ජෝතිපාල ශාස්තෘ කෙරෙහි යම් කෙනෙක් සිත් පැහැදූහු නම් උහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයෙහි උපන්හ.
බ්‍රාහ්මණ ධම්මිකයෙනි, එ කිමැයි හඟිහි ද? යමෙක් කාමයෙහි වීතරාග වූ අනේකශතපරිවාර ඇති ශ්‍රාවකසඞ්ඝයා සහිත තීර්‍ත්‍ථඞ්කර වූ මේ ෂට්ශාස්තෲනට දුෂ්ට සිත් ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, හෙතෙමේ බොහෝ පව් රැස් කෙරේ දැ?යි. වහන්ස, එසේ ය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, කාමයෙහි වීතරාග වූ අනේකශත පරිවාර ඇති ශ්‍රාවකසඞ්ඝයා සහිත තීර්‍ත්‍ථඞ්කරවූ මේ ෂට්ශාස්තෲනට යමෙක් දුෂ්ට සිත් ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, හෙතෙමේ බොහෝ පව් රැස් කරන්නේ ද, යමෙක් දෘෂ්ටිසම්පන්න වූ (සෝවන් වූ) එකද පුද්ගලයකුට ප්‍රදුෂ්ට සිත් ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, මෙ තෙමේ එයට අධිකතර පව් රැස් කරන්නේ ය. එ කවර හෙයින යත්:
බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි යම් බඳු මේ ගුණ කැණීමෙක් වේ නම් එබඳු ගුණ කැණීමෙක් මෙ සස්නෙහි බැහැර ඇතැයි මම නො කියමි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, එ හෙයින් ම මෙ කරුණෙහිලා මෙසේ හික්මිය යුතු: ස්වකීය සබ්‍රම්සරුන් කෙරෙහි ප්‍රදුෂ්ට සිත් අපට නො වේවයි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, තා විසින් මෙසේ ම හික්මිය යුතු යයි.
50-51. සුනෙත්ත හා මූගපක්ඛ හා අරණෙමි බ්‍රාහ්මණ හා කුද්දාලක හා හත්‍ථිපාල ශාස්තෘ හා, සත්රජුනට පුරෝහිත වූ මහාගෝවින්‍ද තැන්පත් ජෝතිපාල මාණව දැයි අතීත කාලයෙහි අහිංසක වූ යශස්වී වූ තෙල ෂට්ශාස්තෘ කෙනෙක් වූහ.
52. ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්‍ධ නැති, කරුණධ්‍යානයෙහි මිදුනු (කරුණායෙහි ද කරුණාපූර්‍වභාගයෙහි ද සිටි) කාමසංයෝජන මැඩ ගිය එ ශාස්තෘහු කාමරාගය දුරු කොට බ්‍රහ්මලෝකොපග වූහ. (බඹලොව උපන්හ.)
53. ඔවුනට (කෝධ සඞ්ඛ්‍යාත) ආමගන්‍ධරහිත වූ කරුණධ්‍යානයෙහි විමුක්ත වූ කාම සංයෝජන ඉක්මගියා වූ අනේක ශත ශ්‍රාවකයෝ වූහ. ඔහු ද කාමරාගය දුරු කොට බ්‍රහ්මලෝකෝපග වූහ.
54. ප්‍රදුෂ්ට චිත්තසංකල්ප ඇති යම් පුරුෂයෙක් බාහිර ශාසනයට අයත් වීතරාග වූ සමාහිත වූ තෙල ඍෂිනට පරිභව කෙරේ ද?
55. එබඳු එ පුරිස් බොහෝ පව් රැස් කෙරෙයි. යමෙක් බුද්ධශ්‍රාවක වූ දෘෂ්ටිසම්පන්න වූ එක ද භික්‍ෂුනමකට -
56. ප්‍රදුෂ්ට චිත්තසඞ්කල්ප ඇතියේ පරිභව කෙරේ නම්, මෙ පුරිස් ඔහට අධිකතර පව් රැස් කෙරෙයි.
57. ද්වාෂට්ඨිදෘෂ්ටිප්‍රහාණය කරණ සුලු ශ්‍රාවකයකු (පරිභව විසින්) නො ගටන්නේ ය. තෙල පුඟුල් (ස්‍රෝතාපත්ති ඵලස්ථයා) අරීසඟනට (රහතුන් පටන්) සප්තම පුඟුලැයි කියනු ලැබේ.
58. කාමයන්හි යම් පුඟුලෙක් අවීතරාග වේ ද, යම් පුඟුලක්හුගේ ශ්‍රද්ධා ය, ස්මෘතිය, වීර්‍ය්‍ය ය, ශමථ සඞ්ඛ්‍යාත සමාධිය, සංස්කාරපරිග්‍රහණඥානය දැයි පඤ්ච විදර්‍ශනෙන්‍ද්‍රියයෝ මෘදු වෙත් නම්,
59. එබඳු මහණකු ගටා කැලැ මැ හැනෙයි. (පළමු ම) තමන් (ගුණ) නසා පැසුලු අනෙකා වෙහෙසන්නේ ය.
60. යමෙකුත් තමා (අධ්‍යාත්මය) රක්නේ ද, බැහැරි පුඟුල් උහු විසින් රක්නාලද වෙයි. එහෙයින් ගුණ විසින් නො පිරිහුනු පණ්ඩිත තෙමේ හැම කල් තමා රක්නේ යි.
ධම්මික වර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
නාග සූත්‍රය, මිගාසාලා සූත්‍රය, ඉණ සූත්‍රය, චුන්‍ද සූත්‍රය, සන්‍දිට්ඨික සූත්‍ර දෙකය, ඛේම සූත්‍රය, ඉන්‍ද්‍රිය සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, ඛත්තිය සූත්‍රය, අප්‍රමාද සූත්‍රය, ධම්මික සූත්‍රය යි දොළොසෙකි.
ප්‍රථම පණ්ණාසකය සමාප්ත යි.
2. දෙවැනි පණ්ණාසකය
මහා වර්‍ගය
6. 2. 1. 1.
[සෝණ සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් සෝණ තෙරණුවෝ රජගහනුවර සීතවනයෙහි වාස කෙරෙති.
එකල්හි රහෝගත ව පිළිසලනට ගිය ආයුෂ්මත් සෝණ තෙරණුවන්ට මෙ බඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “භගවත්හුගේ ඇරඹු වීර්‍ය්‍ය ඇති යම් කිසි ශ්‍රාවක කෙනෙක් වෙසෙත් නම්, මම ඔවුනතුරෙන් අන්‍යතරයෙක්මි. වැලිදු මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයෙන් නො මිදෙයි. මාගේ කුලයෙහි භෝගයෝ ඇත් මැ යි. භෝගයන් වළඳන්නට ද පින් කරන්නට ද හැකි වේ. මම් ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන (උපසම්පදා පිළිකෙව්) කොට හුනු බවට (ගිහි බවට) පැමිණ භෝගයනුදු වළඳ කෙරෙම් නම් පිණුදු කෙරෙම් නම් මැනැවැ”යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ (තමන් වහන්සේගේ) සිතින් ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ චිත්තපරිවිතර්‍කය දැන වදාරා බලවත් පුරුෂයෙක් හැකුළු අත හෝ දිගුකරන්නේ යම් සේ නම්, දිගු කළ අතක් හෝ හකුළන්නේ යම් සේ නම්, එසෙයින් ම ගිජුකුළු පව්යෙහි අතුරුදන් වූ සේක් සීතවනයෙහි ආයුෂ්මත් සෝණ තෙරණුවන්ගේ හමුයෙහි පැණී ගිය සේක. භාග්‍යවතුන් වහන්සේ පැන් වූ අස්නෙහි හුන්සේක. ආයුෂ්මත් සෝණ තෙරහු ද භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් සෝණ තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
සෝණයෙනි, රහෝගත ව එකලා ව හුන් තොපගේ සිත්හි මෙබඳු පරිවිතර්‍කයෙක් පහළ වූයේ නො වේ ද? “භාග්‍යවතුන් වහන්සේගේ යම් කිසි ශ්‍රාවක කෙනෙක් රුකුළු වැර ඇතියාහු වෙසෙත් නම්, මම ඔවුනතර අන්‍යතරයෙක්මි. වැලිත් මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් නො මිදෙයි. මාගේ කුලයෙහි භෝග ඇත් මැ ය. භෝග වළඳ කරන්නාට ද පින් කරන්නට ද හැකි වේ. මම ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන භාවයට ගොස් භෝගයනු දු වළඳ කෙරෙම් නම්, පිණුදු කෙරෙම් නම් මැනැවැ”යි.
වහන්ස, එසේ ය.
සෝණයෙනි, එ කිමැයි හඟිහි. තෝ පෙර අගාරික වූයෙහි වීණාතන්ත්‍රිස්වරයෙහි (වෙණවැයීමෙහි) දක්‍ෂයෙහි?
වහන්ස, එසේ ය.
සෝණයෙනි, එ කිමැයි හඟිහි. යම් විටෙක තාගේ වීණායෙහි තන්ත්‍රීහූ අත්‍යායත (ඉතා තද) වෙත් නම්, තාගේ වීණාව එ සමයෙහි ස්වරවත් වේ දැයි, කර්‍මණ්‍යත් වේ දැ?යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
සෝණයෙනි, එ කිමැයි හඟිහි. යම් විටෙක තාගේ වීණායෙහි තන්ත්‍රීහූ ඉතා ලිහිල් වෙත් නම්, එ සමයෙහි තාගේ වීණාව ස්වරවත් වේ දැයි කර්‍මණ්‍ය හෝ වේ දැ?යි. වහන්ස, තෙල නො වේ මැ යි.
සෝණයෙනි, යම් විටක තාගේ වීණායෙහි තන්ත්‍රීහූ අත්‍යායත නො වෙත් නම්, අතිසිථිල නො වෙත් නම්, සමගුණයෙහි පිහිටියාහු නම්, එවිට තාගේ වීණාව ස්වරවත් හෝ වේ ද, කර්‍මණ්‍යත් හෝ වේ දැ?යි.
වහන්ස, එසේ ය.
සෝණයෙනි, එ පරිදි ම අත්‍යාරබ්ධ වීර්‍ය්‍යය උද්ධච්චය පිණිස වැටෙයි. අතිලීන වීර්‍ය්‍යය ය කුසීත භාවයට වැටෙයි. සෝණයෙනි, එ කරුණින් මෙහිලා තෝ වීර්‍ය්‍ය සමත්‍වය ඉටුව, ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියසමත්‍වය පිළිවිදුව, එහි නිමිති ගණුව යි. (ශමථවිදර්‍ශනා මාර්‍ගඵල නිමිති නිපදව යන අර්‍ත්‍ථයි.)
වහන්ස, එසේ ය යි ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භගවත්හට පිළිවදන් ඇස්සූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ට මේ ඔවායෙන් ඔවා දි බලවත් පුරුෂයෙක් හැකුළු අතක් හෝ දිගු කරණුයේ යම් සේ නම්, දික්කළ අතක් හෝ හකුළනුයේ යම් සේ නම්, එ පරිද්දෙන් ම සීතවනයෙහි අතුරුදන් වූ සේක් ගිජුකුළුපව්යෙහි පැණී ගිය සේක.
ඉක්බිති ආයුෂ්මත් සෝණ තෙරහු පසුකාලයෙහි වීර්‍ය්‍යසමත්‍වය ඉටූහ. ඉන්‍ද්‍රියසමත්‍වය පිළිවිදියහ. එහි නිමිති ද ගත්හ. ඉක්බිති එකලා වූ කයින් ගණයා කෙරෙන් වෙන් වූ අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂක වූ ආයුෂ්මත් සෝණ තෙරහු නො බෝ දිනෙකින් ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම් එ බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසාන අනුත්තර අර්‍හත් ඵලය දිටුදැමියෙහි ම, තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වූසූහ. ජාති සඞ්ඛ්‍යාත පුනර්‍භවය ක්‍ෂීණ විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ද වැස නිමවන ලද, සිවුමග කරණී කරණලද, නැවත මෙ බව පිණිස (මේ සොළොස් වැදෑරුම් කෘත්‍යය හෝ ක්ලේශක්‍ෂය පිණිස) අනෙකක් (අනෙක් මාර්‍ගභාවනාකෘත්‍යයෙක්) නැතැයි මොනොවට දත්හ. ආයුෂ්මත් සෝණ තෙරණුවෝ රහතුන් කෙරෙහි අන්‍යතර වූහ.
ඉක්බිති අර්‍හත්‍වයට පත් ආයුෂ්මත් සෝණ තෙරුන්හට තෙල සිත විය: “මම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම් නම්, එළඹ භගවත්හු හමියෙහි අර්‍හත්‍වය පාළ කෙරෙම් නම් මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්‍යවතුන් කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, යම් ඒ අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ කළ කරණී ඇති, බහා තැබූ කෙළෙස් බර ඇති, පැමිණි රහත් බව ඇති, පරික්‍ෂීණ භවසංයෝජන ඇති, මොනවට දැනැ විමුක්ත වූ භික්‍ෂුනමෙක් වේ නම්, හෙ කරුණු සයක් අධිමුක්ත (පිළිවිද සිටියේ) වෙයි. නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වෙයි. ප්‍රවිවේකාධිමුක්ත වෙයි. අව්‍යාබාධාධිමුක්ත වෙයි. තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි. උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. අසම්මෝහාධිමුක්ත වෙයි.
(1) වහන්ස, මෙ සස්නෙහි කිසි ආයුෂ්මතක්හට මෙබඳු සිතෙක් වන්නේ ම ය: “හුදෙක් (ප්‍රතිවේදයෙන් තොර) ශ්‍රද්ධා මාත්‍රය ම නිසා මෙ ආයුෂ්මත් ඒකාන්තයෙන් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වේ ය”යි. වහන්ස, තෙල කරුණ එසේ නො දැක්කයුතු වෙයි. වහන්ස, වැස නිම වූ කළ කරණී ඇති, ක්‍ෂීණාස්‍රව මහණ තමහට කටයුතු දෙයක් හෝ කළදැය නැවත කිරීමෙන් වැඩීමක් හෝ නො දක්නේ, රාගක්‍ෂයෙන් වීතරාගී බැවින් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත (නෛෂ්ක්‍රම්‍යසංඛ්‍යාත අර්‍හත්‍වය ප්‍රත්‍යක්‍ෂ කොට ඵලසමවත්හි සිටියේ) වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහත මෝහ ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වෙයි.
(2) වහන්ස, මෙ සස්නෙහි කිසි ආයුෂ්මතක් හට මෙබඳු සිතෙක් වන්නේ ය: “මේ ආයුෂ්මත් ඒකාන්තයෙන් ලාභසත්කාරයශස් පතනුයේ ප්‍රවිවේකාධිමුක්ත වේ ය”යි. වහන්ස, තෙල කරුණ එසේ නො දතයුතු වෙයි. වහන්ස, වැස නිම වූ, කළ කරණී ඇති ක්‍ෂීණාස්‍රව මහණ තමහට කරණී හෝ කළ දැ පිළිබඳ පුනපුනා රැස් කිරීමක් හෝ නො දක්නේ, රාගක්‍ෂයෙන් ප්‍රහතරාග බැවින් ද්වේෂක්‍ෂයෙන් ප්‍රහතද්වේෂ බැවින් මෝහක්‍ෂයෙන් ප්‍රහතමෝහ බැවින් ප්‍රවිවේකාධිමුක්ත වෙයි.
(3) වහන්ස, මෙ සස්නෙහි කිසි ආයුෂ්මතක් හට මෙ බඳු සිතෙක් වන්නේ ම ය. “මෙ ආයුෂ්මත් සීලබ්බත පරාමාසය ම සාර විසින් ගන්නේ අව්‍යාබාධාධිමුක්ත වෙයි”, වහන්ස, තෙල කරුණ එසේ නො දැක්ක යුතු වෙයි. වහන්ස, වැස නිම වූ කළ කරණී ඇති ක්‍ෂීණාස්‍රව මහණ තමන්ගේ කරණී හෝ කෘතයාගේ පුන පුනා වෘද්ධියක් හෝ නො දක්නේ රාගක්‍ෂයෙන් විහතරාග බැවින් අව්‍යාබාධාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් අව්‍යාබාධාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් අව්‍යාබාධාධිමුක්ත වෙයි ...
(4) රාගක්‍ෂයෙන් විහතරාග බැවින් තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි ...
(5) රාගක්‍ෂයෙන් විහතරාග බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. ...
(6) රාගක්‍ෂයෙන් විහතරාග බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් අසම්මෝහාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් අසමෝහාහාධිමුක්ත වෙයි.
වහන්ස, මෙසේ මොනොවට විමුක්තචිත්ත ඇති භික්‍ෂූහුගේ චක්‍ෂුර්විඥේය වූ බොහෝ (දෙව්රූ වැනි) වූ ද රූපයෝ ඇස්හමුවට එත් ද, ඔහුගේ සිත නො ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත ම වූයේ ස්ථිත වූයේ අචලප්‍රාප්ත වූයේ වෙයි. එ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය. බලවත් වූ ද ශ්‍රෝත්‍රවිඥේය ශබ්දාලම්බනයෝ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධාලම්බනයෝ ... ජිව්හාවිඥේය රසාලම්බනයෝ ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෝ … මනෝවිඥේය ධර්‍මාලම්බනයෝ ඔහුගේ මනස හමුවට එත් නම්, ඔහුගේ සිත නො ම ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත ම වූයේ ස්ථිත වූයේ අචලප්‍රාප්ත වෙයි. ඒ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය.
වහන්ස, සිදුරු නැති බුහුරු නැති ඒකඝන වූ ශෛලපර්‍වතයෙක් යම් බඳු වේ ද, ඉක්බිති පැදුම් දිගින් බලවත් වැසිසුළඟෙක් ඒ නම් එය නො ම සලන්නේ ය. වෙසෙසින් නො සලන්නේ ය. නො වෙවුළුවන්නේ ය. ඉක්බිති පැලදිගින් බලවත් වැසි සුළඟෙක් ඒ නම් ... උතුරු දිගින් බලවත් සුළඟෙක් ඒ නම් ...... ඉක්බිති දකුණු දිගින් බලවත් වැසිසුළඟෙක් ඒ නම්, එය නො ම සලන්නේ ය. වෙසෙසින් නො ම සලන්නේ ය. නො වෙවුළුවන්නේ ය.
වහන්ස, එ පරිදි ම මෙසේ විදර්‍ශනාප්‍රතිපත් - ඵලසමාපත් වශයෙන් මොනොවට විමුක්ත සිත් ඇති භික්‍ෂුහුගේ ආපාථයට බලවත් වූ ද චක්‍ෂුර්විඥේය රූපාලම්බනයෝ එත් නම්, ඔහුගේ සිත නො ම ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම (ක්ලේශාලම්බන හා මිශ්‍ර නො වූයේ ම) පිහිටියේ අචලප්‍රාප්ත වූයේ කම්පා නො වූයේ වෙයි. ඒ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය. බලවත් වූ ද ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දාලම්බනයෝ ... ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධාලම්බනයෝ ... ජිහ්වාවිඥේය වූ රසාලම්බනයෝ ... කායවිඥේය වූ ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෝ ... මනෝවිඥෙය වූ ධර්‍මාලම්බනයෝ සිතට ආපාථගත වෙත් නම්, ඔහුගේ සිත නො ම ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම ස්ථිත වූයේ ම අචලප්‍රාප්ත වෙයි. එ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය යි.
61. නෛෂ්ක්‍රම්‍ය සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය ද, චිත්තප්‍රවිවේකය ද, පිළිවිද සිටි, අව්‍යාබාධාධිමුක්ත වූ උපාදානක්‍ෂය පිළිවිද සිටියා වූ,
62. තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වූ චිත්තයාගේ අසම්මෝහය පිළිවිද සිටි රහත්හුගේ චිත්තය ආයතනයන්ගේ උත්පාදය දැක මනා කොට මිදේ.
63. මොනොවට මිදුනු ශාන්ත වූ සිත් ඇති එ භික්‍ෂුහට කළදැය පෙරළා වැඩුමෙක් නැත. කටයුතු ද නැත.
64-65. ඒකඝන ශෛලපර්‍වතයෙක් යම්සේ සුළඟින් නො සැලේ ද, එ සෙයින් රූප ශබ්ද ගන්‍ධ රස ස්පර්‍ශ යන ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද හැම ධර්‍මයෝ තාදීහුගේ සිත නො සලත්. ඔහුගේ ස්ථිත වූ සිත විමුක්ත වේ. එ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ යි.
6. 2. 1. 2.
[ඵග්ගුණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. එ සමයෙහි ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු හටගත් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන්බව ඇතියාහු වෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“වහන්ස, ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු උපන් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන්බව ඇතියාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරා අනුකම්පා කොට වඩනාසේක් නම් මැනැවැ”යි. භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවසාවදාළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වරුවෙහි පිළිසලනින් නැඟී සිටිසේක් ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරා වැඩියහ. ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුරදී ම දුටහ. දැක හැඳෙහි නැගීසිටුනා අයුරක් දැක් වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්ට තෙල වදාළහ: “ඵග්ගුණයෙනි, කම් නැත, තො හැඳෙන් නො නැඟෙව. පළමු පනවනලද මෙ අසුන් ඇත. එහි මම හිඳිනෙමි”යි. භාග්‍යවතුන් වහන්සේ පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්හට තෙල වදාළහ:
“ඵග්ගුණයෙනි, කිම, සැහිය හේ ද, කිම, යැපිය හේ ද, කිම, දුක් වේදනා සන්හිඳුමට යේ ද, වැඩුමට නො යේ ද, සන්හිඳුමෙක් පැණේ ද, වැඩුමෙක් නො පැණේ දැ?”යි.
වහන්ස, මා විසින් නො සැහිය හෙයි. නො යැපිය හෙයි. මාගේ දුඃඛවේදනාවෝ වැඩෙත්, නො සන්හිඳෙත්, වැඩුමෙක් පැණේ, සන්හිඳුමෙක් නො පැණේ ය යි.
වහන්ස, යම් පරිදි බලවත් පුරුෂයක් තියුණු කඩුසිළින් මුදුන මඩනේ ද, වහන්ස, එ පරිදි ම අධිමාත්‍රවාතයෝ මා මුදුන පෙළත්. වහන්ස, මා විසින් ඉවැසිය නො හෙයි. යැපිය නො හෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි වූවාහු වැඩෙත්, නො සන්හිඳෙත්, වැඩුමෙක් පැණෙයි, සන්හිඳුමෙක් නො පැණේය යි.
වහන්ස, බලවත් පුරුෂයෙක් දැඩි වරරැහැනින් හිස්හි හිස්වෙළුම් දෙන්නේ යම්සේ වේ ද, වහන්ස, එ පරිදි ම මාගේ හිසෙහි ශීර්‍ෂවේදනාවෝ වෙති. වහන්ස, මා විසින් සැහිය හෙන්නේ නො වෙයි. යාපනීය නො වෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි ව නැඟී එති. බැස නො යෙති. නැඟ ඊම් අවසන පෙණෙයි. බැසීම් අවසන නො පෙණෙයි.
වහන්ස, දක්‍ෂ ගෝඝාතකයෙක් වේවයි, ගෝඝාතකාන්තේවාසිකයෙක් වේවයි තිහිණි ගෙරිකපන සැතින් කුස සිඳින්නේ යම්සේ වේ ද, වහන්ස, එපරිදි ම අධිමාත්‍ර වාතයෝ මාගේ කුස සිඳිත්. වහන්ස, මා විසින් සැහිය හෙන්නේ නො වෙයි. යාපනීය නො වෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි ව නැඟ එත්, බැස නො යෙත්, නැඟ ඊම් අවසන පෙණෙයි, බැසීම් අවසන නො පෙණෙයි.
වහන්ස, යම් පරිදි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුඹුල් පුරුෂයකු අත්හි වෙන වෙන ගෙණ අඟුරුවළක ලා දවන්නාහු වෙසෙසින් දවන්නාහු නම්, වහන්ස, එ පරිදි ම මාගේ කයෙහි අධිමාත්‍ර දාහය වෙයි. වහන්ස, මා විසින් ඉවසිය නො හේ. යැපිය නො හේ. මාගේ ගාඪවේදනාවෝ නැඟ එති. බැස නො යෙත්. නැඟ ඊම් පැණෙයි, බැස යාමෙක් නො පැණෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා හුනස්නෙන් නැඟී වැඩි සේක.
ඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වඩනා හා ම කලුරිය කළහ. මැරෙණ කල්හි උන්වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන් වූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ. “වහන්ස, ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නො බෝකල් ඇතිවත් ම, කලුරිය කළහ. ඔහුගේ ඒ මැරෙණ මොහොතෙහි ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්වූහ” යි.
ආනන්‍දයෙනි, කවර හෙයින් ඵග්ගුණ භික්‍ෂුහුගේ ඉන්‍ද්‍රියයෝ පහන් නො වෙත් ද? ආනන්‍දයෙනි, ඵග්ගුණ භික්‍ෂුහුගේ සිත පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත විය. එ දහම් දෙසුම් අසා ඔහුගේ සිත පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත විය.
ආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි, නිසි කල්හි අර්‍ත්‍ථොපපරීක්‍ෂායෙහි මෙ අනුසස් සයෙක. කවර සයෙක යත්:
(1) ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණහුගේ චිත්තය පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත වෙයි. හේ ඒ මරණසමයෙහි තථාගතයන් දක්නට ලබන්නේ ය. ඔහට තථාගතයෝ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පරියොසානකල්‍යාණ කොට අර්‍ත්‍ථ සහිත කොට ව්‍යඤ්ජන සහිත කොට කේවලපරිපූර්‍ණ කොට පිරිසිදු කොට දහම් දෙසති, බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරති. එ දහම් දෙසුම් අසා පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගෙන් ඔහුගේ සිත මිදෙයි. ආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි මෙ පළමු අනුසසි.
(2) ආනන්‍දයෙනි, වැලිත් මහණහුගේ චිත්තය පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත වෙයි. හේ ඒ මරණකාලයෙහි තථාගතයන් දක්නට නො ම ලබනුයේ වෙයි. යලිදු තථාගතශ්‍රාවකයකු දක්නට ලබනුයේ වෙයි. ඔහට තථාගතශ්‍රාවක ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවලපරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට දම් දෙසයි, බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි. ඒ දම් දෙසුම් අසා ඔහුගේ සිත පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් මිදෙයි. ආනන්‍දයෙනි, සුදුසු කල්හි ධර්‍මශ්‍රවණයෙහි මෙ දෙවැනි අනුසසි.
(3) තවද ආනන්‍දයෙනි, මහණහුගේ සිත පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත වෙයි. හේ ඒ මරණකාලයෙහි තථාගතයන් දක්නට නො ම ලබන්නේ ය. තථාගත ශ්‍රාවකයකු ද දක්නට නො ම ලබන්නේ ය. වැලිදු ඇසූ පරිදි පර්‍ය්‍යාප්ත පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කෙරෙයි. අනුවිචාර කෙරෙයි. සිතින් විමසා බලයි. ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කණය කරණ අනුවිචාර කරණ සිතින් විමසා බලන ඔහුගේ සිත පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් මිදෙයි. ආනන්‍දයෙනි, නිසි කල්හි දහම් ඇසුම්හි නිසි කල්හි අර්‍ත්‍ථොපපරික්‍ෂායෙහි මෙ තෙවැනි අනුසසි.
(4) ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණහුගේ සිත පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත වෙයි. අනුත්තර නිර්‍වාණයෙහි චිත්තය අවිමුක්ත වෙයි. හේ ඒ මරණ කාලයෙහි තථාගතයන් දක්නට ලබන්නේ ය. ඔහට තථාගතයෝ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට ... දහම් දෙසත්, බ්‍රහ්මචර්‍ය්‍ය පවසත්. ඔහුගේ සිත එ දම් දෙසුම අසා උපධිසඞ්ඛය සඞ්ඛ්‍යාත අනුත්තර නිර්‍වාණය නිමිති කොටගෙන මිදෙයි. ආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි මෙ සිවුවැනි අනුසසි.
(5) තවද ආනන්‍දයෙනි, මහණහුගේ සිත පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත වෙයි. අනුත්තර උපධිසඞ්ඛයෙහි චිත්තය අවිමුක්ත වෙයි. හේ එ මරණ සමයෙහි තථාගතයන් දක්නට නො ම ලබන්නේ ය. වැලිත් තථාගත ශ්‍රාවකයකු දක්නා ලබන්නේ ය. ඔහට තථාගත ශ්‍රාවක ආදිකල්‍යාණ කොට ... පිරිසිදු කොට ධර්‍මදේශනා කෙරෙයි, බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි. එ දම් දෙසුම් අසා ඔහුගේ සිත අනුත්තර නිර්‍වාණයෙහි මිදෙයි. ආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි මෙ පස්වන අනුසසි.
(6) තවද ආනන්‍දයෙනි, භික්‍ෂුහුගේ චිත්තය පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් මිදුනේ වෙයි. අනුත්තර උපධිසඞ්ඛයෙහි සිත අවිමුක්ත වෙයි. හේ ඒ මරණකාලයෙහි තථාගතයන් දක්නා නො ලබන්නේ ම ය. තථාගතශ්‍රාවකයකු දු දක්නා නො ලබන්නේ ය. වැලිදු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කෙරෙයි, අනුවිචාර කෙරෙයි, සිතින් විමසා බලයි. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණය කරණ, අනුවිචාර කරණ, සිතින් විමසාබලන ඔහුගේ සිත අනුත්තර උපධිසඞ්ඛයෙහි මිදෙයි. ආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි නිසි කල්හි අර්‍ත්‍ථොපපරීක්‍ෂායෙහි මෙ සවන අනුසැසි.
ආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි නිසි කල්හි අර්‍ත්‍ථොපපරීක්‍ෂායෙහි මේ ආනිසංස සය යි.
6. 2. 1. 3.
[ඡළාභිජාති සූත්‍රය]
3. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
වහන්ස, පූරණකාශ්‍යප විසින් අභිජාති (ජාතිවිශේෂ) සයෙක් පණවන ලද: කෘෂ්ණාභිජාති පණවනලදු. නීලාභිජාති පණවනලදු. ලෝහිතාභිජාති පණවනලදු. හරිද්‍රාභිජාති පණවනලදු. ශුක්ලාභිජාති පණවනලදු. පරමශුක්ලාභිජාති පණවනලදු.
(1) වහන්ස, එහි ලා පූරණකාශ්‍යප විසින් රුදුරු එළුවැදිහ, හූරුවැදිහ, ලිහිණිවැදිහ, මුවවැදිහ, මත්ස්‍යඝාතකයහ, සොරහ, චෝරඝාතකයහ, බන්‍ධනාගාරිකයහ, අනිකුදු කුරිරුකම් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔහු ද කණ්හාභිජාති කොට පණවන ලදහ.
(2) වහන්ස, එහිලා පූරණකාශ්‍යප විසින් කණ්ටකවුත්තික භික්‍ෂුහු ද, අන්‍ය වූත් කර්‍මවාදී ක්‍රියාවාදීහු නීලාභිජාතිකහයි පණවන ලදහ.
(3) වහන්ස, එහි ලා පූරණකාශ්‍යප විසින් ඒකසාටක නිගණ්ඨයෝ ලෝහිතාභිජාතිකයහ යි පණවන ලදහ.
(4) වහන්ස, පූරණකාශ්‍යප විසින් ගිහි සුදුවත් හඳනා අචෙලකශ්‍රාවකයෝ හරිද්‍රාභිජාතිකයහ යි පණවන ලදහ.
(5) වහන්ස, පූරණකාශ්‍යප විසින් ආජීවකයෝ ද, ආජීවිකාවෝ ද ශුක්ලාභිජාතිකයහ යි පණවන ලදහ.