Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 9001-9100 න් 15980

වහන්ස, එසේ ය.
සීවකය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය ඇතැ”යි දන්හි නම්, අවිද්‍යමාන වූ ම ලෝභය මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය නැතැයි දන්හි නම්,
සීවකය, මෙසේ ධර්‍මය සාන්දෘෂ්ටික (තමන් විසින් දතයුතු) වේ ...
සීවකය, එ කිමැයි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ද්වේෂය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මෝහය ..... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ලෝභධර්‍මය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම ද්වේෂධර්‍මය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම මෝහධර්‍මය “මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය ඇතැ”යි දන්හි ද, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය නැතැ”යි දන්හි දැ’යි.
වහන්ස, එසේ ය.
සීවකය, යම් හෙයෙකින්, අධ්‍යාත්මයෙහි විද්‍යාමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය ඇතැයි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය නැතැ”යි දන්හි නම්,
සීවකය, මෙසේ ම ධර්‍මය සන්‍දිට්ඨික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුද වන්නේ ය යි.
ඉතා මැනැවැ ... භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරණසේක්වා යි.
6. 1. 5. 6.
[දුතියසන්‍දිට්ඨික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ:
‘භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සන්‍දිට්ඨික ය, ධර්‍මය සන්‍දිට්ඨික ය’යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කවර කරුණෙකින් ධර්‍මය සාන්දෘෂ්ටික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතුත් වේ දැ?’යි.
බ්‍රාහ්මණය, එකරුණෙන් ම මෙහි ලා තා මැ පුළුවුස්නෙමි. තට යම් පරිදි රුස්නේ නම් එ පරිදි පාළ කරව’යි. බ්‍රාහ්මණය, එ කිමැ’යි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇතැ”යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැතැ”යි දන්නෙහි දැ?යි.
භවත්නි, එසේ ය.
බ්‍රාහ්මණය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇතැ”යි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ රාගය ‘මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැතැ’යි දන්හි නම්,
බ්‍රාහ්මණය, මෙසෙයින් ධර්‍මය සන්‍දිට්ඨික වෙයි ...
බ්‍රාහ්මණය, එ කිමැයි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ද්වේෂය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මෝහය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කායසන්‍දෝසය (කායද්වාරය කිලිටි වන කරුණ) ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ වචීසන්‍දොසය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය ඇතැ’යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය නැතැ’යි දන්හි දැ?යි.
භවත්නි, එසේ ය.
බ්‍රාහ්මණය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ (-පෙ-) මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය ඇතැ’යි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය නැතැ’යි දන්හි නම්,
බ්‍රාහ්මණය, මෙලෙසින් ධර්‍මය සන්‍දිට්ඨික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතු වේ ය යි.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණගිය උපාසකයකු කොට ධරණ සේක්ව යි.
6. 1. 5. 7.
[ඛේම සූත්‍රය]
49. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද සැවැත් නුවර අන්‍ධවනයෙහි වසන්නාහ. එකල්හි ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඛේම තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ, වැසැ නිම වූ බඹසර ඇති, සිවුමඟින් කළ කිස ඇති, බහාතැබූ ත්‍රිවිධ භාර ඇති, පත් රහත් ඵල ඇති, පරික්‍ෂීණ භවසංයෝජන ඇති, සම්‍යග් හේතුයෙන් දැන අර්‍හත්ඵල විමුක්තියෙහි මිදුනු, යම් එ මහණෙක් වේ නම්, ඔහට “මට ශ්‍රෙෂ්ඨයෙක් ඇතැ”යි හෝ ‘මට සදෘශයෙක් ඇතැ’යි හෝ ‘මට හීනයෙක් ඇතැ’යි හෝ මෙබඳු (මාන) යෙක් නො වෙයි.
ආයුෂ්මත් ඛේම තෙරණුවෝ මෙය කීහ. ශාස්තෲන් වහන්සේ අනුදත්හ. ඉක්බිති ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ශාස්තෲන් මා වදන් අනුදත්හ’යි හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
ඉක්බිති ආයුෂ්මත් ඛේම තෙරුන් නික්මගිය නොබෝ කල් වත් ම ආයුෂ්මත් සුමන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“වහන්ස, අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ වැස නිමකළ බඹසර ඇති, කළ සිවුමග කරණී ඇති, බහාතැබූ ත්‍රිවිධභාර ඇති, පිළිවෙළින් පත් රහත්බව ඇති, පරීක්‍ෂීණභවසංයෝජන ඇති, මොනවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, ‘මට ශ්‍රෙෂ්ඨයෙක් නැතැ’යි හෝ ‘මට සාදෘශයෙක් නැතැ’යි හෝ ‘මට හීනයෙක් නැතැ’යි හෝ යන මෙබඳු මානයෙක් ඔහට නැතැ”යි.
ආයුෂ්මත් සුමන තෙරණුවෝ මෙය සැළකළහ. ශාස්තෲන් වහන්සේ අනුදත්හ. ඉක්බිති ආයුෂ්මත් සුමන තෙරණුවෝ ‘මා වදන් ශාස්තෲහු අනුදත්හ’යි හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඛේම තෙරුන් ද ආයුෂ්මත් සුමන තෙරුන් ද නික්මගිය නොබෝ කල් ඇතිවත් ම, භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මෙසෙයින් ම කුලපුත්‍රයෝ අර්‍හත්‍වය පාළ කෙරෙති. අර්‍ත්‍ථය ද කියන ලද. තෙමේ ද අනුපනීත වෙයි. වැලිත් මෙ සස්නෙහි ඇතැම් තුච්ඡපුරුෂයෝ සිනාසෙන්නවුන් සෙයින් අර්‍හත්ත්‍වය පාළ කෙරෙත්. උහු පසු දුකට පත් වන්නාහ යි.
49. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කෙරෙහි දු හීන පුද්ගලයන් කෙරෙහි දු සම පුද්ගලයන් කෙරෙහි දු මානයෙන් නො එළඹෙත්. ජාතිය ක්‍ෂීණ ය. මඟබඹසර වැස නිමවනලද. ඒ රහත්හු සංයෝජනයන්ගෙන් විමුක්ත ව හැසිරෙත්.
6. 1. 5. 8.
[ඉන්‍ද්‍රියසංවර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, ඉන්‍ද්‍රියසංවර නැති වත් ම ඉන්‍ද්‍රියසංවර රහිතයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සිල් නැති වත් ම ශීලවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැති වත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ තරුණවිදර්‍ශනාසඞ්ඛ්‍යාත යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැති වත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ (බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) නිර්වේදය හා ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) විමුක්තිය හා ප්‍රත්‍යවේක්‍ෂාඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
මහණෙනි, අතුපතර නැති රුකෙක යම්බඳු වේ ද, එහි පතුරුත් පරිපූර්‍ණත්‍වයට නො යෙයි. සිවි දූ පරිපූර්‍ණත්‍වයට නො යෙයි. බොරු දු පරිපූර්‍ණත්‍වයට නො යෙයි. හර දු පරිපූර්‍ණත්‍වයට නො යෙයි. මහණෙනි, එ පරිදි ම ඉන්‍ද්‍රියසංවර නැති වත් ම ඉන්‍ද්‍රියසංවරවිපන්නයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි … විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
මහණෙනි, ඉන්‍ද්‍රියසංවරය ඇති වත් ම ඉන්‍ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇති වත් ම ශීලසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය (තරුණ විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය (බලවත් විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය (අර්‍හත්ඵල - ප්‍රත්‍යවේක්‍ෂාඥානය) උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
මහණෙනි, අතුපතර සපන් රුකෙක් යම්සේ වේ ද, එහි පතුරු ද පරිපූර්‍ණත්‍වයට යෙයි, සිවි දු පරිපූර්‍ණත්‍වයට යෙයි, බොරු ද පරිපූර්‍ණත්‍වයට යෙයි. හර දු පරිපූර්‍ණත්‍වයට යෙයි. මහණෙනි, එපරිදි ම ඉන්‍ද්‍රියසංවරය ඇති වත් ම ඉන්‍ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යයි.
6. 1. 5. 9.
[ආනන්‍ද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
51. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මහණ කෙතෙක් කරුණින් නො ඇසූ දහමුන් අසා ද? ඔහු විසින් ඇසූ දහමුත් වනසට නො යේ ද? ඔහු විසින් යම් ධර්‍මකෙනෙක් සිතින් පහස්නාලද විරූහු නම්, එ දහම්හු දු මනෝද්වාරයෙහි හැසිරෙත් ද? නො දත් කරුණුත් හේ දන්නේ දැ?යි.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බහ්‍රශ්‍රැතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට ම තෙල කරුණ වැටහේවයි.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, එ හෙයින් ම අසනු මැනැවැ. මොනොවට මෙනෙහි කළ මැනැවැ. කියමි යි. ඇවැත්නි, එසේ යයි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ සූත්‍ර, ගෙය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්‍ම, වෙදල්ල යන ධර්‍මය පිරිවහයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කෙරෙයි, අනුවිචාර කෙරෙයි, සිතින් විමසා බලයි. යම් ආවාසයෙක්හි බහුශ්‍රුත වූ අධිගත (දීඝාදි) ආගම ඇති, ධර්‍මධර වූ විනයධර වූ මාතිකා (ප්‍රාතිමෝක්‍ෂ) ධර වූ තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළඹ “වහන්ස, මෙ කිසේ ය, මෙ භාෂිතයාගේ අරුත් කවරැ”යි පරිපෘච්ඡා කෙරෙයි. පරිතුලනා කෙරෙයි. ඔහට එ ආයුෂ්මත්හු අවිවෘත වූ දැය ද විවෘත කෙරෙත්. නො පළට දැය ද පළට කෙරෙත්. සැකයට කරුණු වූ නන්වැදෑරුම් ධර්‍මයෙහි සැක ද දුරු කෙරෙත්.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙතෙක් කරුණින් මහණ අශ්‍රැත ධර්‍මයත් අසයි. ඔහු විසින් ශ්‍රැතධර්‍මයෝත් වනසට නො යෙත්. උහු විසින් යම් ධර්‍ම කෙනෙක් පෙර සිතින් පහස්නාලදවිරූ නම් එ ධර්‍මයෝ ද මනෝද්වාරයෙහි හැසිරෙත්. නො දත් කරුණු ද දන්නේ ය යි.
ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය ය, ඇවැත්නි, අද්භූත ය. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් විසින් මෙය සුභාෂිත මැ යි. ඇවැත්නි, අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් මේ සදහමින් සමන්‍වාගතයකු කොට දරම්හ. (1) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍මය, වෙදල්ල ය යන ධර්‍ම පිරිවහත්. (2) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි විස්තර විසින් ධර්‍මය පරනට දෙසත්. (3) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විස්තර විසින් මෙරමා කියවත්. (4) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විස්තර විසින් සජ්ඣායනා කෙරෙත්. (5) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කෙරෙත්, අනුවිචාරණ කෙරෙත්, මනසින් සිතා විමසා බලත්. (6) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් ආවාසයෙක බහුශ්‍රුත ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතිකාධර තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙත්. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කලින් කල ඔවුන් කරා එළඹ පරිපෘච්ඡා කෙරෙත්, පරිප්‍රශ්න කෙරෙත්: “වහන්ස, මෙ කිසේ ය? මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය කවරේ දැ?”යි. එ ආයුෂ්මත්හු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට අවිවෘතය ද විවෘත කරත්, නො පාළ වූ දැය ද පාළ කෙරෙත්, සැකයට කරුණු වූ නන් වැදෑරුම් දහම්හි සැක ද දුරු කෙරෙත් ය යි.
6. 1. 5. 10.
[ඛත්තිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
52. එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හින. එකත්පසෙක හුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
(1) භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියයෝ කවර අධිප්‍රාය (අදහස්) ඇත්තාහු ද? කවර උපවිචාර (ආසා - සෙවීම්) ඇතියාහු ද? කවර අධිෂ්ඨාන (ප්‍රාර්‍ත්‍ථනා) ඇතියාහු ද? කවර අභිනිවේශ (කුමක් සඳහා නැමුනු සිත්) ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන (අවසන් අපේක්‍ෂා) ඇතියාහු දැ යි.
බමුණ, ක්‍ෂත්‍රියයෝ භෝගාධිප්‍රායයහ. පැණවත් වම්හ යන උපවිචාර ඇතියහ. බලකාය අධිෂ්ඨාන කොට ඇතියහ. පොළෝ (අධිපති බව) පිණිස අභිනිවේශ ඇතියහ. ඓශ්චර්‍ය්‍ය - රාජ්‍යාභිෂේකය පර්‍ය්‍යවසාන කොට ඇතියහ යි.
(2) භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැ?යි.
බ්‍රාහ්මණය, බමුණෝ භෝගාධිප්‍රාය ඇතියහ. ප්‍රඥොපවිචාර ඇතියහ. මන්ත්‍රාධිෂ්ඨාන ඇතියහ. යඥාභිනිවේශ (යාග කිරීමෙහි නැමුනු සිත්) ඇතියහ. බ්‍රහ්මලෝක පර්‍ය්‍යවසාන ඇතියහ.
(3) භවත් ගෞතමයන් වහන්ස, ගැහැවිහු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැ?යි.
ගැහැවියෝ භෝගාධිප්‍රාය ඇතියහ, ප්‍රඥොපචිචාර ඇතියහ, ශිල්පාධිෂ්ඨාන ඇතියහ, කර්‍මාන්තාභිනිවේශ ඇතියහ, නිෂ්ඨිත කර්‍මාන්ත (කර්‍මාන්තය නිමවීම) පර්‍ය්‍යවසාන කොට ඇතියහ යි.
(4) භවත් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීහු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
බ්‍රාහ්මණය, ස්ත්‍රීහු පුරුෂාධිප්‍රාය ඇතියහ. අලඞ්කාරෝපවිචාර ඇතියහ. පුත්‍රාධිෂ්ඨාන ඇතියහ. අසපත්තී (ගෘහයෙහි දෙවැන්නියක් නැති තමන් පමණක් අධිපති භාවයෙහි) අභිනිවේශ ඇතියහ, ඓශ්චර්‍ය්‍ය (සම්පත්) පර්‍ය්‍යවසාන ඇතියහ යි.
(5) භවත් ගෞතමයන් වහන්ස, සොරු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
බ්‍රාහ්මණය, සොරු ආදානය අධිප්‍රාය කොට ඇතියහ, ගහනෝපවිචාර (මුවහතැන් පිළිබඳ උපවිචාර) ඇතියහ, ශඨාධිෂ්ඨාන (සටබැව් අධිෂ්ඨාන කොට) ඇතියහ. අන්‍ධකාරාභිනිවේශ ඇතියහ. අදර්‍ශනය පර්‍ය්‍යවසාන කොටඇතියහ යි.
(6) භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණයෝ කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
බ්‍රාහ්මණය, ශ්‍රමණයෝ ක්‍ෂාන්තිය හා සුරතභාවය අධිප්‍රාය කොට ඇතියාහ, ප්‍රඥොපවිචාර ඇතියාහ. ශීලාධිෂ්ඨාන ඇතියාහ, අකිඤ්චනභාවාභිනිවේශ (ග්‍රහණ නැති බව අභිනිවේශ කොට) ඇතියාහ, නිර්‍වාණපර්‍ය්‍යාවසාන ඇතියාහ යි.
භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍ය යි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූත යි. භවත් ගෞතමයන් වහන්සේ ක්‍ෂත්‍රියයන්ගේ ද අධිප්‍රාය හා උපවිචාර හා අධිෂ්ඨාන හා අභිනිවේශ හා පර්‍ය්‍යවසාන හා දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ගැහැවියන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ස්ත්‍රීන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ සොරුන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රමණයන්ගේ ද අධිප්‍රාය හා උපවිචාර හා අධිෂ්ඨාන හා අභිනිවේශ හා පර්‍ය්‍යවසාන හා දන්නාහ.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවි හිමියෙන් මා තෙරුවන් සරණ ගිය උවසුවකු කොට ධරන සේක්ව යි.
6. 1. 5. 11.
[අප්පමාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
53. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතු සිහි එළවිය යුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, භාවිත වූ බහුලීකෘත වූ යම් ධර්‍මයෙක් දෘෂ්ටධාර්මික අර්‍ත්‍ථය හා යම් සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ ද, එබඳු එක ධර්‍මයෙක් ඇද්දැ? යි.
බ්‍රාහ්මණය, භාවිත වූ බහුලීකෘත වූ යම් ධර්‍මයෙක් දිටුදැම් අර්‍ත්‍ථ හා යම් සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ ද යන උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මයෙක් ඇත.
භවත් ගෞතමයන් වහන්ස, යම් ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටු දැමි අර්‍ත්‍ථ හා පරලෙව්හි අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මය කවරේ දැ?යි.
බ්‍රාහ්මණය, යම් ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අර්‍ත්‍ථ හා සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මය අප්‍රමාදය වෙයි.
(1) බ්‍රාහ්මණය, යම් කිසි ජඞ්ගම (භූමියෙහි හැසිරෙන) ප්‍රාණීන්ගේ පාදයෝ වෙත් නම්, එ හැම යම්සේ ඇත්පියෙහි සමවධානයට (ඇතුළත් වීමට) යෙත් ද, ඇත්පිය මහත්ත්‍වයෙන් එ පදයනට අග්‍ර යයි කියනුලැබේ ද, බ්‍රාහ්මණය, එ පරිදි ම අප්‍රමාද නම් වූ එක ම ධර්‍මය භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැම් අරුත් හා යම් පරලොව්හි අරුතෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ.
(2) බ්‍රාහ්මණය, යම් පරිදි කූටාගාරයක්හුගේ යම්කිසි ගොනැස්හු වෙත් නම්, එ හැම කූටය (මුදුන) ට ගියාහු කූටයට නැමුනාහු කූටය හා එක් වූවාහු වෙත් ද, කූටය ඔවුනට අග්‍ර යයි කියනුලැබේ ද, බ්‍රාහ්මණය, එසෙයින් ම (අප්‍රමාදය) ...
(3) බ්‍රාහ්මණය, යම් පරිදි බබුස්තණ නෙළනුයෙක් බබුස්තණ නෙළා අක්හි ගෙණ යටිහුරු කොට සලා නම් දෙපසින් සලා නම් අත්හි හෝ රුක්හි ගටා නම්, බ්‍රාහ්මණය, එ පරිදි (අප්‍රමාදය) ...
(4) බ්‍රාහ්මණය, යම් පරිදි නටුයෙන් සිඳී ගිය අඹකැනෙහි යම් ම අඹ නටුව හා බැඳුනේ නම් එ හැම එ අනුව ගියේ වේ ද, බමුණ, එ පරිදි (අප්‍රමාදය) ...
(5) බ්‍රාහ්මණය, යම් පරිදි යම්කිසි කුඩා රජහු වෙත් නම්, එ හැම දෙන සක්විති රජු අනුව යන්නාහු වෙත් ද, සක්විති රජ උනට අග්‍ර යයි කියනු ලැබේ ද, බ්‍රාහ්මණය, එ පරිදි ම (අප්‍රමාදය) ...
(6) බ්‍රාහ්මණය, යම් පරිදි තාරක රූපයන්ගේ යම් කිසි ප්‍රභායෙක් වේ නම්, එ හැම චන්‍ද්‍රප්‍රභාවගේ සොළොස්වන අංශුවකුත් නො අගනේ ය. සඳපහන් උනට අග්‍ර යයි කියනු ලැබේ ද, බ්‍රාහ්මණය, එපරිදි ම අප්‍රමාදය භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අරුත් හා යම් සම්පරායෙහි අරුතෙක් වේ නම් එ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ වේ.
බ්‍රාහ්මණය, යම් එක ම ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අර්‍ත්‍ථ හා යම් සම්පරායෙහි අර්‍ත්‍ථ වේ නම් ඒ උභයාර්‍ත්‍ථයන් ම මැනැවින් ගෙණ සිටුනේ වේ යයි.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය, ඉතා කාන්තය ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා ධරණ සේක්ව යි.
6. 1. 5. 12.
[ධම්මික සූත්‍රය]
54. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් ධම්මික තෙරහු ජාතිභූමියෙහි වූ ජාතිභූමිගත හැම සප්ත ආවාසයෙහි ම ආවාසික වෙති.
එකල්හි ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්හට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති, වෙහෙසති, මුවසැතින් විදිති, බසින් ගටා බෙණෙති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු, මුවසැතින් විදිනු ලබන්නාහු, වචනයෙන් ගටා බණනු ලබන්නාහු, නික්ම යෙති. නො සිටිති. ආවාසය පියායෙති.
ඉක්බිති ජාතිභූමියෙහි වැසි උවසුවනට තෙල සිත් වී: “අපි බික්සඟුන් සිවුරු පිඬුවාසෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකරින් පස්වටම්හ. එසේ වුව ද ආගන්තුක භික්‍ෂුහු නික්ම යෙති. නො සිටිති, ආවාසය පියායෙත්. යම් හේතුයෙකින් ආගන්කුක භික්‍ෂුහු නික්ම යෙත් නම්, නො සිටුනාහු නම්, ආවාසය පියායෙත් නම්, එයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ?”යි.
ඉක්බිති ජාතිභූමක උපාසකයනට තෙල සිත් වී “මෙ ආයුෂ්මත් ධම්මික තෙරහු භික්‍ෂූන්ට ආක්‍රෝශ කෙරෙත්. පරිභව බෙණෙත්. වෙහෙසත්. මුවසැතින් විදිත්. වචනයෙන් ගටා බෙණෙත්. ඒ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනු ලබන්නාහු මුවසැතින් විදිනු ලබන්නාහු වචනයෙන් ඝටනු ලබන්නාහු නික්ම යන්නාහ. නො සිටුනාහ. ආවාසය පියායන්නාහ. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් නෙරන්නමෝ (බැහැර කරන්නමෝ) නම් මැනැවැයි.
ඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත එළඹියාහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු මෙ ආවාසයෙන් නික්ම යෙත්වා. මුබගේ මෙහි විසුමෙන් කම් නැතැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහු අන්‍ය ආවාසයක් කරා ගියහ. එහි දු ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්ට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති. වෙහෙසති. මුවසැතින් විදුති. වචනයෙන් ගටා බෙණෙති. එ භික්‍ෂුහු ද ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු මුවසැතින් විදිනු ලබන්නාහු, වචනයෙන් ගටා බණනු ලබන්නාහු නික්ම යෙති. නො සිටිති. ආවාසය පියායෙති.
එකල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: අපි චීවරපිණ්ඩපාතශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් බික්සඟුන් උවටැන් කරම්හ. එසේ වුව ද, ආගන්තුක භික්‍ෂුහු නික්ම යෙති. නො සිටුනාහ. ආවාසය සිස් කරන්නාහ. යම් හෙයෙකින් ආගන්තුක භික්‍ෂූහු නික්ම යෙත් නම්, නො සිටිත් නම්, ආවාසය පියත් නම්, එයට හේතු කවරැ, ප්‍රත්‍යය කවරැයි.
එකල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: මේ ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්ට ආක්‍රෝශ කෙරෙති. පරිභව කෙරෙති. හිංසා කෙරෙති. විතුදනය කෙරෙති. වචනයෙන් ඝටති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු, විතුදනය කරණු ලබන්නාහු, වචනයෙන් කෝප දනවනු ලබන්නාහු, නික්මයෙති, නො සිටිති, ආවාසය පියායෙති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් නෙරමෝ නම් මැනැවැයි.
ඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්හට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු මේ ආවාසයෙන් නික්ම යෙත්වා. මුබගේ මෙහි විසුමින් කම් නැතැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහු එ ආවාසයෙනුදු අන්‍ය ආවාසයක් කරා ගියහ. එහි දු ආයුෂ්මත් ධම්මික තෙරහු මහණුන්ට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති, හිංසා කෙරෙති, විතුදනය කෙරෙති, වචනයෙන් කෝප දනවති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනුලබන්නාහු, විතුදනය කරණු ලබන්නාහු වචනයෙන් ගටනු ලබන්නාහු, බැහැර යෙති, නො සිටිති, ආවාසය පියත්.
එ කල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වීය: “අපි චීවර පිණ්ඩපාත ශයනාසනග්ලානප්‍රත්‍ය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් බික්සඟුන් පස්වටම්හ. එසේ වුව ද, ආගන්තුක මහණහු නික්මයෙති, නො සිටිති, ආවාසය පියායෙති. යම් හෙයෙකින් ආගන්තුක භික්‍ෂූහු නික්ම යෙත් නම් නො සිටිත් නම් ආවාසය පියත් නම් එයට හේතු කවරැ ප්‍රත්‍යය කවරැ”යි.
ඉක්බිති ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: “මෙ ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුනට ආක්‍රෝශ කෙරෙති ... වචනයෙන් ගටා බෙණෙති. එ ආගන්තුක භික්‍ෂූහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනු ලබන්නාහු විතුදනය කරණු ලබන්නාහු වචනයෙන් ගටා බණිනු ලබන්නාහු, නික්මයෙත්, නො සිටිති, ආවාසය පියා යෙති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් නෙරණමෝ නම් මැනැවැ”යි.
ඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් නික්ම යෙත්ව”යි.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහට තෙල සිත් වී: “මම ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් ජාතිභූමක උවසුවන් විසින් නෙරණලදයෙම් වෙමි. දැන් කොහි නම් යෙම් දැ”යි. ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහට තෙල සිත් වී: “මම භාග්‍යවතුන් වහන්සේ කරා යෙම් නම්, යෙහෙකැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරණුවෝ පාසිවුරු ගෙණ රජගහ නුවර බලා නික්මගියහ. පිළිවෙළින් රජගහ නුවර ගිජුකුළු පව්යෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ධම්මික තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “බ්‍රාහ්මණ ධම්මිකයෙනි, තෙපි දැන් කොහි සිට එවු දැ”යි. වහන්ස, ජාතිභූමක උවසුවන් විසින් මම ජාතිභූමියෙහි සත් වෙහෙරින් නෙරණාලදුයෙමි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, යම් හෙයෙකින් තා එ එ වෙහෙරින් නෙරත් නම් තට මෙ (ජාතිභූමියෙහි) වාසයෙන් කවර ඵලයෙක? එ බඳු තෙපි එ එ වෙහෙරින් නෙරණා ලදුව මා වෙත එන්නහු යන තෙල කරුණ නිසි ය.