Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 8901-9000 න් 15980

20. සර්‍වසංයෝජනයන් ඉක්මගිය (කෙලෙස්) වනයෙන් නිවනට පැමිණි, (ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යයෙහි අභිරත වූ ශෛලපර්‍වතයෙන් ගුළු රනක් සෙයින් කාමයෙන් මුක්ත වූ උන්වහන්සේ දෙවියෝ නමදිත්.
21. අන්‍ය පර්‍වතයන් ඉක්මවා දිලෙන හිමවත් පර්‍වතය සෙයින් බුද්ධනාග තෙම හැම නාගයන් මැඩැගෙණ වොරඳනා රුචි (බැබැළුම්) ඇතියේ ය. හැම නාගනාම ඇතියන් අතුරෙහි (පව් නො කරන හෙයින්) සත්‍ය වූ නාග නාම ඇති බුදුතෙම අනුත්තර වෙයි.
22. තොපට නාගයා කීර්‍තනය කරමි: හෙ (අකුශලධර්‍මසඞ්ඛ්‍යාත) ආගු නො කෙරෙයි. (ශුචිශීලසඞ්ඛ්‍යාත) සුරතභාවය ද, (කරුණා හා කරුණාපූර්‍වභාගසඞ්ඛ්‍යාත) අවිහිංසාව ද බුද්ධනාග වූ ඔබගේ (පෙර) දෙපා වෙයි.
23. (ධුතසමාදාන සඞ්ඛ්‍යාත) තපස ද, (ආර්‍ය්‍යමාර්‍ගශීල සඞ්ඛ්‍යාත) බ්‍රහ්මචර්‍ය්‍යය ද නාග වූ ඔබගේ අපර වූ චරණ (පසුබා) දෙක යි. මහාබුද්ධනාග තෙම ශ්‍රද්ධා නැමැති සොඬ ඇතියේ ෂඩඞ්ගෝපේක්‍ෂා සඞ්ඛ්‍යාත ශ්වේතදන්ත ඇතියේ ය.
24. එ බුද්ධනාගයාගේ ග්‍රීවාව ස්මෘති ය යි. ශීර්‍ෂය (සර්‍වඥතා නැමැති) ප්‍රඥා යි. ධර්‍මචින්තාව (ධර්‍ම කොටස් පිරිසිඳ දන්නා ඥානය) මීමාංසා (සොඬ අග) යි. (චතුර්‍ත්‍ථධ්‍යාන සඞ්ඛ්‍යාත) ධර්‍මය ම (ඍද්ධිවිධාදි අභිඥාබලරාශිභූතස්ථාන හෙයින්) කුක්‍ෂිසමාවාප නම් (උදරය) වෙයි. ත්‍රිවිධ විවේකය උහුගේ වාලධි ය යි.
25. ධ්‍යාන කරණසුලු එ බුද්ධනාග ඵලසමාපත්ති සඞ්ඛ්‍යාත ආශ්වාසයෙහි (ප්‍රාණයෙහි) නියැලියේ අද්ධ්‍යාත්මයෙහි මොනොවට සමාහිත ය. බුද්ධනාග යන්නේ ද සමාහිත ම වෙයි. බුද්ධනාග සිටියේ ද සමාහිත ම වෙයි.
26. නාග තෙම හෝනේ ද සමාහිත ම වෙයි. හිඳුනේ ද සමාහිතම වෙයි. හැම ද්වාරයෙහි ම නාග තෙමේ සංවෘත ය. තෙල නාගයාගේ පරිපූර්‍ණත්‍වය යි.
27. (හේ සම්‍යගාජීවයෙන් ලත්) අනවද්‍ය ප්‍රත්‍යයන් වළඳ කරයි. (මිථ්‍යාජීවයෙන් ලත්) සාවද්‍ය ප්‍රත්‍යයන් නො වළඳන්නේ ය. ආහාර වස්ත්‍ර ලැබ සන්නිධි කරණය (රැස්කොට තැබීම) දුරලන්නේ ය.
28. කුදු මහත් බන්‍ධන වූ හැම සංයෝජනයන් සිඳලා යම් මැ දිගෙකැ යේ නම් අපේක්‍ෂා නැතියේ ම යෙයි.
29. දියෙහි උපන් හෙළ පියුම යම් සෙයින් වැඩේ ද, පිවිතුරු සුවඳැතියේ සිත්කලු වූයේ යම්සේ දියෙන් නො තැවරේ ද,
30. එසෙයින් ලොව්හි මොනොවට උපන් බුදුරජ ලොව්හි නො මැ ඇලෙයි. දියෙන් තවර නො ගන්නා පියුම සෙයින් ලෝකයෙන් නො මැ තැවැරෙයි.
31. දැල්වුනු මහගින්න අනාහාරයෙන් සන්හිඳෙයි. (එසෙයින්) සංස්කාරයන් සන්හුන් කල්හි (පුද්ගලයා) නිර්‍වෘත ය යි කියනු ලැබේ.
32. අර්‍ත්‍ථය හඳුන්වන මෙ උපමාව (පිළිසිඹියාපත්) විඥයන් විසින් දෙසන ලදු. (උදායිත්‍ථේර) නාගයා විසින් දෙසනලද බුද්ධනාගයා සෙසු ක්‍ෂීණාස්‍රවනාගයෝ දන්නාහ.
33. වීතරාග වූ වීතද්වේෂ වූ වීතමෝහ වූ ආස්‍රව නැති නාග තෙම (පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත) සිරුර හැරලමින්, අනාස්‍රව වූයේ (අනුපාදිශේෂ පරිනිර්‍වාණයෙන්) පිරිනිවේ ය යි.
6. 1. 5. 2.
[මිගසාලා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙණ මිගසාලා උපාසිකාවගේ නිවස කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි හුන්හ. ඉක්බිති මිගසාලා උපාසිකා ආනන්‍ද තෙරුන් කරා එළැඹියා ය. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සකසා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හුන් මිගසාලා උපාසිකා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට තෙල කරුණ සැළකළා:
වහන්ස ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරිලොව්හි සමභාවයෙන් සමගති ඇති වූහු නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මේ ධර්‍මය කෙසේ නම් (කවර නම් කරුණෙකින් අප විසින්) දතයුතු වේ ද?
වහන්ස, මපියානෝ පුරාණයෝ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියාහු වෙන් වූවාහු බ්‍රහ්මචාරී වූහු. “උහු සකෘදාගාමි සත්ත්‍ව වූහු ය, කලුරිය කළාහු තුසිතදේවකායට එළැඹියාහු”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘතය. වහන්ස, මාගේ ඍෂිදත්ත නමැති පිතෘව්‍යයෙක් (=සුලුපියෙක්) ද ස්වදාරයන් හා සතුටු වූයේ බ්‍රහ්මචාරී නො වී ය. හෙ ද සකෘදාගාමී සත්ත්‍ව වූයේ කලුරිය කළේ තුසිතකායට එළැඹියැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. (ප්‍රකාශිතය.)
වහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇතිවූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ ධර්‍මය කිසෙයින් දතයුත්තේ දැ’?යි.
බුහුනනියනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසෙයින් ම තෙල ව්‍යාකෘත ය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මිගසාලා උවැසියගේ නිවෙස්නෙහි පිණ්ඩපාතය ගෙණ හුනස්නෙන් නැඟී වැඩියහ. එකල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පසුබත්හි පිඬුවායෙන් වැළකියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, මම පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ මෙ සැවැත්හි මිගසාලා උවැසියගේ නිවෙස්නට එළඹියෙමි. එළඹ පැන වූ අස්නෙහි හුන්මි. වහන්ස, ඉක්බිති මිගසාලා උපාසිකා මා කරා එළඹියා. එළඹ මා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හිඳ මිගසාලා උවැසි මට තෙල පැවැසූ:
වහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇත්තාහු වූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ දහම් කිසෙයින් කිසෙයින් දතයුතු ද? වහන්ස, මපියානෝ පුරාණයෝ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළැකියාහු දුරු වූවාහු බ්‍රහ්මචාරී වූහ. “සකෘදාගාමි පුද්ගල වූ උහු කාලක්‍රියා කළාහු තුසිතදේවකායට එළඹියහ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, මාගේ පිතෘව්‍යයෙක් (සුළුපියෙක්) වූ ඉසිදත්ත අබ්‍රහ්මචාරී වූයේ ස්වදාරයන් හා සන්තුෂ්ට වී ය. “හේ ද සකෘදාගාමී පුද්ගල වූයේ කලුරිය කළේ තුසිතකායට එළඹියැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇති වූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ ධර්‍මය කිසෙයින් කිසෙයින් දතයුතු දැ?’යි.
වහන්ස, මෙසේ කී කල්හි මම මිගසාලා උවැසියට තෙල කීමි: “බුහුනනියනි, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල මෙසෙයින් ම ව්‍යාකෘත ය”යි.
ආනන්‍දයෙනි, මාගම් වූ මාගම්නුවණින් සමන්‍වාගත වූ බාල වූ මිගසාලා උවැසි කවර? පුරුෂපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙහි නො පැකිළ පවත්නා නුවණ ඇති තථාගතයෝ කවරහ?
ආනන්‍දයෙනි, මෙ පුඟුලෝ සදෙනෙක් ලොව විද්‍යමානයහ. කවර සදෙනෙක යත්:
ආනන්‍දයෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සුඛසංවාස ඇතියේ මැනැවින් සුරත වෙයි. සබ්‍රම්සරහු (උහු හා) ඒකතෝවාසයෙන් තුස්නාහ. උහු විසින් කණින් ඇසියයුතු දැය ද නො අසනලද වෙයි. (වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) බහුශ්‍රැතභාවයෙන් කළමනා දැය ද නො කරනලද වෙයි. සම්‍යක්දෘෂ්ටියෙන් පිළිවිදිය මනා දැය ද නො පිළිවිදිනාලද වෙයි. සාමයිකවිමුක්තිය (කලින් කල ධර්‍මශ්‍රවණය නිසා ලබන ප්‍රීති ප්‍රාමෝද්‍යය) ද නො ලබන්නේ වෙයි. හේ කාබුන් මරණින් මතු පරිහානියට ම යෙයි. විශේෂයට නො යෙයි. හානගාමියෙක් ම වෙයි. විශේෂගාමියෙක් නො වෙයි. (1)
ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් සුඛසංවාස ඇතියේ සොරත වෙයි. සබ්‍රම්සරහු ඒකතෝවාසයෙන් ඔහු හා තුස්නාහ. උහු විසින් කණිනුදු අසා කළමනා කරන ලද වෙයි, වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත බහුශ්‍රැතභාවයෙනුදු කළමනා කරන ලද වෙයි, නුවණිනුදු පිළිවිදිය යුතු දෑ මොනොවට පිළිවිදිනා ලද වෙයි, සාමයිකවිමුක්තිය ද ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට යෙයි. පරිහානියට නො යෙයි. විශේෂගාමියෙක් ම වෙයි, හානගාමියෙක් නො වෙයි. (2)
ආනන්‍දයෙනි, එ කරුණෙහි ලා (පුද්ගලයන් කෙරෙහි) ප්‍රමාණග්‍රාහකයෝ පමණ කෙරෙත්: “මොහුගේ ද එ ම දහම්හු වෙති. අනෙකාගේ ද එ ම දහම්හු වෙති. කවර හෙයින් උන් අතුරෙහි එකෙක් (ගුණයෙන්) හීන වේ ද, එකෙක් ප්‍රණීත වේ දැ”යි. ආනන්‍දයෙනි, ඔවුන්ගේ ඒ ප්‍රමාණකරණය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි.
ආනන්‍දයෙනි, ඒ පුඟුලන් අතුරෙහි යම් මෙ පුද්ගලයෙක් සුඛසංවාස ඇතියේ සුරත වේ ද, සබ්‍රම්සරහු ඒකතෝවාසයෙන් තුස්නාහු ද, ඔහු විසින් කණිනුදු කළමනා කරන ලද වෙයි. වීර්‍ය්‍යයෙනුදු කළමනා කරන ලද වෙයි. දෘෂ්ටියෙනුදු මොනොවට පිළිවිදිනා ලද වෙයි. සාමයිකවිමුක්තිය ද ලබන්නේ ය. ආනන්‍දයෙනි, මෙ පුඟුල් ද තෙල පළමු පුඟුල්හුගෙන් සුන්‍දරතරත් වෙයි. ප්‍රණීතතරත් වෙයි. ඒ කවරහෙයින යත්: ආනන්‍දයෙනි, (විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත) ධර්‍මස්‍රෝතස මෙ පුඟුල් ආර්‍ය්‍යභූමියට පමුණුවයි. තථාගතයන් මුත් අන් කවරෙක් එ අන්තරය (කරුණ) දන්නේ ද?
ආනන්‍දයෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා පුඟුලන් කෙරෙහි නහමක් ප්‍රාමාණික වවු. පුඟුලන් අතුරෙහි නහමක් ප්‍රමාණ ගණුව. ආනන්‍දයෙනි, පුඟුලන් අතුරෙහි පමණ ගණුයේ ගුණ විසින් සෑරේ මැ යි.
ආනන්‍දයෙනි, මම් ම හෝ අවශ්‍යයෙන් පුඟුලන් අතුරෙහි පමණ ගන්නෙම්. මා බඳු යමෙක් (බුදුවරයෙක්) හෝ වේ නම්, හේ හෝ පමණ ගන්නේ ය.
ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයකු විසින් ක්‍රෝධය හා මානය අධිගත (පැමිණෙන ලද) වෙයි. කලින් කල ඔහට ලෝභධර්‍මයෝ උපදනාහ. ඔහු විසින් කණිනුදු කළමනා නො කරන ලද වෙයි. වැරයෙනුදු කළමනා නො කරන ලද වෙයි. දෘෂ්ටියෙනුදු නො පිළිවිදිනා ලද වෙයි. සාමයික විමුක්තිය ද නො ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු පිරිහීමට යෙයි, විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වෙයි. (3)
ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් ක්‍රෝධය හා මානය අධිගත වෙයි. කලින් කල ඔහට ලෝභධර්‍මයෝ උපදනාහ. ඔහු විසින් කණිනුදු කළමනා කරන ලද වෙයි ... හානගාමී නො වේ. (4)
ආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ පමණ කෙරෙත් ... යමෙක් මා බඳු වේ නම් හේ හෝ පමණ ගන්නේ ය.
ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් ක්‍රෝධමානය අධිගත වෙයි. කලින් කල ඔහට වචීසංසාරයෝ (අල්ලාපසල්ලාප වචන) උපදනාහ. ඔහු විසින් කණිනුදු කළමනා නො කරන ලද වෙයි. වැරයෙනුදු කළමනා නො කරන ලද වෙයි. නුවණිනුදු නො පිළිවිදිනා ලද වෙයි. සාමයික විමුක්තිය ද නො ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු පරිහානියට යෙයි. විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි, විශේෂගාමී නො වෙයි. (5)
ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයකු විසින් ක්‍රෝධමානය අධිගත වෙයි. ඔහට කලින් කල වචීසංසාරයෝ උපදිත්. ඔහු විසින් ශ්‍රවණයෙනුදු කරන ලද වෙයි. බහුශ්‍රැතභාවයෙනුදු කරන ලද වෙයි. දෘෂ්ටියෙනුදු පිළිවිදිනා ලද වෙයි. සාමයික විමුක්තිය ද ලබයි. හෙ කාබුන් මරණින් මතු විශේෂයට යෙයි. පරිහානියට නො යෙයි. විශේෂගාමී ම වෙයි, හානගාමී නො වෙයි. (6)
ආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත්: මොහුගේ ද එ ම ධර්‍මයෝ ම වෙති, අනෙකාගේ ද එ ම ධර්‍මයෝ වෙති. කවර හෙයින් ඔවුනතුරෙන් එකෙක් හීන වේ ද, එකෙක් ප්‍රණීත වේ දැ?යි. ආනන්‍දයෙනි, ඔවුන්ගේ එ ප්‍රමාණ කරණය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි.
ආනන්‍දයෙනි, එහි ලා යම් පුඟුලකු විසින් ක්‍රෝධමානය අධිගත වේ නම්, කලින් කල ද ඔහට වචීසංසාරයෝ උපදනාහු නම්, ශ්‍රවණයෙනුදු කරන ලද වේ නම්, බහුශ්‍රුත භාවයෙනුද කරන ලද වේ නම්, දෘෂ්ටියෙනුදු පිළිවිදිනාලද වේ නම්, සාමයික විමුක්තිය ද ලබා නම්, ආනන්‍දයෙනි, මෙ පුඟුල් අසු පළමු පුඟුලාගෙන් විශිෂ්ටතර ද ප්‍රණීතතර ද වෙයි. ඒ කවර හෙයින යත්: ආනන්‍දයෙනි, (තියුණු විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත) ධර්‍මස්‍රෝතස මෙ පුඟුල් ආර්‍ය්‍යභූමියට පමුණුවයි. තථාගතයන් මුත් කවරෙක් ඒ කරුණ දන්නේ ද?
ආනන්‍දයෙනි, එහෙයින් ම මෙ කරුණෙහි ලා පුඟුලන් කෙරෙහි ප්‍රාමාණක නො වව. පුඟුලන් කෙරෙහි ප්‍රමාණය නහමක් ගණුව. ආනන්‍දයෙනි, පුඟුලන් කෙරෙහි පමණ ගන්නේ (උන්) ගුණ සාරාලයි.
ආනන්‍දයෙනි, මම හෝ අවශ්‍යයෙන් පුඟුලන් කෙරෙහි පමණ ගන්නෙමි. යමෙක් මා සේ බුදු වේ නම්, හේ හෝ පුඟුලන් කෙරෙහි පමණ ගන්නේ ය.
ආනන්‍දයෙනි, බාල වූ අව්‍යක්ත මාගම් වූ මාගම්නුවණ ඇති මිගසාලා උවැසි කවර? පුරුෂපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙහි තථාගතවරයෝ කවරහ?
ආනන්‍දයෙනි, මෙ (සොරතයෝ දෙදෙන ය, අධිගත කෝධ මාන ලෝභ ඇති දෙදෙන ය, අධිගත කෝධමාන වචීසංසාර ඇති දෙදෙන ය යන) පුද්ගලයෝ සදෙන ලොව්හි විද්‍යමානයහ.
ආනන්‍දයෙනි, පුරාණ යම්බඳු ශීලයෙකින් සමන්‍වාගත වී ද, ඉසිදත්ත එබඳු ශීලයෙන් සමන්‍වාගත වී නම්, මෙ කරුණෙහි ලා පුරාණ තෙමේ ඉසිදත්තයන්ගේ ඥානගතිය ද නො ම දන්නේ ය. ආනන්‍දයෙනි, ඉසිදත්ත යම්බඳු ප්‍රඥායෙකින් සමන්‍වාගත වී ද, එබඳු වූ ප්‍රඥායෙන් පුරාණ සමන්‍වාගත වී නම්, මෙ කරුණෙහි ලා ඉසිදත්ත තෙමේ පුරාණයන්ගේ ඥානගතිය ද නො ම දන්නේ වෙයි. ආනන්‍දයෙනි, මෙසේ මෙ පුඟුලෝ දෙදෙන එක් එක් අඞ්ගයෙකින් (ගුණයෙකින්) හීනයහ යි.
(පුරාණ, ශීලයෙන් ද, ඉසිදත්ත ප්‍රඥායෙන් ද විශේෂී විය. පුරාණයන්ගේ ශීලය ඉසිදත්තයන්ගේ ප්‍රඥාස්ථානයෙහි ද, ඉසිදත්තයන්ගේ, ප්‍රඥාව පුරාණයන්ගේ ශීලස්ථානයෙහි ද විය. පුරාණ ශීලයෙන් ද ඉසිදත්ත ප්‍රඥායෙන් ද විශේෂවීය - යනු භාවයි.)
6. 1. 5. 3.
[ඉණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. (1) මහණෙනි, ලොව්හි කාමභෝගීහට දිළිඳුබව දුකෙක් දැ?යි.
වහන්ස, එසේ ය.
(2) මහණෙනි, යම් හෙයෙකින් ස්වාපතෙය රහිත (තමන් අයත් ධනය නැති) අනාඪ්‍ය වූ (පොහොසත් නො වූ) දිළින්දෙක් (දිවි වැටුම් පිණිස) ණය ගන්නේ නම්, මහණෙනි, ලොව්හි ඒ කාමභෝගීහට ණය ගැණුම ද දුකෙක් දැ?යි.
වහන්ස එසේ ය.
(3) මහණෙනි, යම් හෙයෙකින් ස්වධන රහිත අනාඪ්‍ය වූ දිළින්දෙක් ණය ගෙණ වෘද්ධිය (=පොලිය) පිළිණ කෙරේ. මහණෙනි වෘද්ධිය ද ලොව්හි ඒ කාමභෝගීහට දුකෙක් ද?
වහන්ස, එසේ ය.
(4) මහණෙනි, යම් හෙයෙකින් අස්වක වූ (ධන නැති) අනාඪ්‍ය වූ (බැරි) දිළින්දෙක් වෘද්ධිය පිළිණ කොට නිසි කල්හි අළ (දීමට ප්‍රතිඥාත) වෘද්ධිය නො දේ නම්, ඔහුට චෝදනා ද කෙරෙත්. මහණෙනි, ලොව්හි ඒ කාමභෝගීහට චෝදනාත් දුකෙක් ද?
වහන්ස, එසේ ය.
(5) මහණෙනි, යම් හෙයෙකින් අස්වක අනාඪ්‍ය දිළිඳු තෙමේ චෝදනා කරණු ලබන්නේ නො දෙයි. මහණෙනි, ඔහු (පිරිස් මැද නිගනිමින්) ලුහුබඳනාහ. මහණෙනි, ලොව්හි කාමභෝගීහට ලුහුබැඳුමුත් දුකෙක් ද?
වහන්ස, එසේ ය.
(6) මහණෙනි, යම්හෙයෙකින් අස්වක අනාඪ්‍ය දිළින්දෙක් ලුහුබඳනා ලබනුයේ නො දෙයි. ඔහු සොරගෙයි දු බඳනාහ. මහණෙනි, ලොව්හි කාමභෝගීහට බන්‍ධනයත් දුකෙක් දැ?යි.
වහන්ස, එසේ ය.
මහණෙනි, මෙසෙයින් කාමභෝගීහට ලොව්හි දිළිඳුබවත් දුකෙක, ණය ගැණුමත් ලොව්හි කාමභෝගීහට දුකෙක. වෘද්ධියත් ලොව්හි කාමභෝගීහට දුකෙක. චෝදනාත් ලොව්හි කාමභෝගීහට දුකෙක. ලුහුබැඳුමුත් ලොව්හි කාමභෝගීහට දුකෙක, බන්‍ධනයත් ලොව්හි කාමභෝගීහට දුකෙක.
මහණෙනි, එපරිදි ම යම් කිසිවකුහට කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නැද්ද, කුශලධර්‍මයෙහි හිරි නැද්ද, කුශලධර්‍මයෙහි ඔතප් නැද්ද, කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නැද්ද, කුශලධර්‍මයෙහි ප්‍රඥා නැද්ද, මහණෙනි, මෙතෙමේ තමා සතු ගුණ නැතියේ ගුණයෙන් ආඪ්‍ය නො වූයේ දිළිඳු යයි ආර්‍ය්‍ය විනයෙහි කියනු ලැබේ. මහණෙනි, අස්වක වූ අනාඪ්‍ය වූ එ මෙ දිළිඳු තෙම කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නැති වත් ම කුශලධර්‍මයෙහි හිරි නැතිවත් ම කුශලධර්‍මයෙහි ඔතප් නැති වත් ම කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නැති වත් ම, කුශලධර්‍මයෙහි ප්‍රඥා නැති වත් ම, කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. මෙ ඔහුගේ ණය ගැණුම යයි කියමි.
හේ ඒ කායදුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදනහේතුයෙන් ලාමක ඉච්ඡාව පිහිටුවයි. ‘මා නහමක් දනීව’යි කැමති වෙයි. ‘මා නහමක් දනීව’යි සඞ්කල්පනා කෙරෙයි. ‘මා නහමක් දනීව’යි වදන් බෙණෙයි. ‘මා නහමක් දනීව’යි කයින් පැරකුම් කෙරෙයි. හේ ඒ වාග්දුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදන හේතුයෙන් ... හේ ඒ මනෝදුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදන හේතුයෙන් ලමු ඉච්ඡා පිහිටුවයි. ‘මා නහමක් දනීව’යි කැමැති වෙයි. ‘මා නහමක් දනීව’යි සඞ්කල්පනා කෙරෙයි. ‘මා නහමක් දනීව’යි වදන් බෙණෙයි. ‘මා නහමක් දනීව’යි කයින් පැරකුම් කෙරෙයි. මේ ඔහුගේ වෘද්ධි යයි. (පොලීපිළිණ යයි) කියමි.
ඔහුට ප්‍රියශීල සබ්‍රම්සරහු මෙසේ කියත්: ‘එ මෙ ආයුෂ්මත් මෙසේ කරණසුලු ය. මෙබඳු සමාචාර ඇතියෙකැ’යි මෙ ඔහුට චෝදනා යයි කියමි.
අරණ්‍යගත වේවයි, වෘක්‍ෂමූලගත වේවයි, ශුන්‍යාගාරගත වේවයි, ඔහුට විපිළිසර සහගිය ලමු අකුශල විතර්‍කයෝ පහළ වෙත්. මෙ ඔහුට අනුචරියා යයි (ලුහුබැඳුම්) යයි කියමි.
මහණෙනි, අස්වක වූ අනාඪ්‍ය වූ එ දිළිඳු තෙමේ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත්කොට කාබුන් මරණින් මතු නිරෑබැඳුම්හි හෝ බැඳෙයි. තිරිසන්යොන්බැඳුම්හි හෝ බැඳෙයි.
මහණෙනි, අනුත්තරයෝගක්‍ෂේමාධිගමය සඳහා යම් ම ධර්‍මයෙක් මෙසේ දරුණු වේ නම්, මෙසේ කටුක වේ නම්, මෙසේ අන්තරායකර වේ නම්, මහණෙනි, මෙ නිරෑබැඳුම හෝ මෙ තිරිසන්යොන්බැඳුම හෝ යම් පරිදි වේ නම්, එබඳු අන් එක ද දහමක් මම නුවණැසින් නො දක්මි.
34. ලොව්හි දිළිඳු බව ද ණය ගැණුම ද දුකැයි කියනු ලැබේ. දිළිඳු වූයේ ණය ගෙණ වළඳ කරණුයේ වැනසේ.
35. එහෙයින් ඔහු (ගැරහීම් විසින්) ලුහුබඳිත්. (නිරයාදියෙහි) බැඳුමට ද යෙයි. කාමලාභ පතනුවනට තෙල බැඳුම දුක් මැයි.
36. එසෙයින් ම ආර්‍ය්‍යවිනයෙහි යමකුට ශ්‍රද්ධා නැද්ද, හිරි නැද්ද, ඔතප් නැද්ද, පව්කම්හි විනිශ්චය නැද්ද,
37. හේ කායදුශ්චරිත හා වාග්දුශ්චරිත කොට, මනෝදුශ්චරිත ද කොට ‘මා නහමක් දනීව’යි කැමැති වේ.
38. හෙ ඒ ඒ තැන්හි පුන පුනා පව්කම් වඩනුයේ, කයින් වදනින් වැලිදු සිතින් සැලෙයි.
39. දුර්මේධ වූ පවුකම් ඇති හේ තමන්ගේ දුෂ්කෘත දන්මින්, දිළිඳු වූයේ ණය ගෙණ වළඳ කෙරෙමින් වැනසෙයි.
40. එහෙයින් යමකුට විපිළිසරින් හටගත් දුක් වූ මානසිකසඞ්කල්පයෝ වෙත් නම්, ඔහු ගම්හි වේවයි, වැලිත් වල්හි වේවයි ඒ පුඟුල් ලුහුබඳිත්.
41. පව්කම් ඇති ඒ දුර්මේධ තෙමේ තමන්ගේ දුෂ්කෘත දන්නේ අන්‍යතර තිරිසන් යෝනියකට ගොස් හෝ නිරෑහි හෝ බැඳේ. යම් බන්‍ධනයකින් ධීරතෙමේ මිදේ නම්, තෙල බන්‍ධනය දුක් මැයි.
42. දැහැමින් ලද භෝගයෙන් සිත්පහදමින් දෙනුයේ වේ ද, එබඳු සැදැහැති ගෘහපතිහුගේ දෙලොව්හි ජයග්‍රහණය වේ.
43. දිටුදැමියෙහි හිත පිණිස ද පරලොව්හි සුව පිණිස ද මෙලෙසින් ගෘහස්ථයන්ගේ තෙල ත්‍යාග නම් පුණ්‍යය වැඩෙයි.
44. එසෙයින් ම යමක්හට ආර්‍ය්‍යවිනයෙහි සැදැහැ පිහිටියේ ද, හේ හිරියෙන් යුත් සිත් ඇතියේ, ඔතප් ඇතියේ, පැණවත් වූයේ, ශීලයෙන් සංවෘත වේ ද,
45. තෙල පුඟුල් අරීවිනයෙහි සුවසේ දිවි වටනේ යයි කියනු ලැබේ. නිරාමිස සුඛය (තුන් දැහැන් නිසා උපදනා සුවය) ලැබ (චතුර්‍ත්‍ථධ්‍යාන) උපේක්‍ෂාවත් ලබන්නේ ය.
46. නිරතුරු ඇරඹූ වැර ඇතියේ පඤ්චනීවරණයන් හැරපියා ධ්‍යාන උපයා ගෙණ එකඟසිත් ඇතියේ නුවණ ඇතියේ ස්මෘතිමත් වෙයි.
47. මෙසේ සර්‍වසංයෝජනක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි යථාභූතය දැන සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාදි විසින් නො ගැණීමෙන් සම්‍යග් හේතු විසින් මාර්‍ගචිත්තය (කෙලෙසුන්ගෙන්) මිදෙයි.
48. මැනැවින් විමුක්ත සිත් ඇති මොනොවට එහි පිහිටි එ රහත්හට ඉදින් “මාගේ මාර්‍ගඵල විමුක්තිය අකෝප්‍යය”යි භවසංයෝජනක්‍ෂයෙහි පස්විකුම්නැණ වේ නම්,
49. තෙල ඥානය ම පරම වෙයි. තෙල සුඛය ම අනුත්තර වෙයි. ශෝක රහිත රාගාදි රජස් රහිත තෙල අර්‍හත්ඵලය උත්තම අනණභාවය (ණය නැති බව) වෙයි.
6. 1. 5. 4.
[මහාචුන්‍ද සූත්‍රය]
46. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ චේතිරට සහජාති නම් නියම්ගම්හි වෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ භික්‍ෂුහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන්හට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ තෙල දෙසූහ:
(1) ඇවැත්නි, මෙ සස්නෙහි ධර්‍මකථික භික්‍ෂුහු භාවනානුයෝගී භික්‍ෂූන් ඝටා බෙණෙත්. “මොහු ‘(අපි) දැහැන් වඩන්නමෝ’යි දැහැන් වඩන්නමෝ’යි සිතත්. ප්‍රකර්‍ෂයෙන් සිතත්. මොහු කුමක් නම් ධ්‍යාන කෙරෙත් ද, මොහු කුමක් පිණිස නම් ධ්‍යාන කෙරෙත් ද, මොහු කිනම් කරුණෙකින් ධ්‍යාන කෙරෙත් දැ”යි. එකරුණෙහි ලා ධර්‍මකථික භික්‍ෂුහු ද නො පහදනාහ. ධ්‍යාන කරන භික්‍ෂූහු ද නො පහදනාහ. ඔහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස දෙව් මිනිස්නට සුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
(2) “ඇවැත්නි, මෙ සස්නෙහි දැහැන් වඩන මහණහු ධර්‍මකථිකභික්‍ෂූන් අපසාදනය කෙරෙති: මොහු වනාහි ‘අපි ධර්‍මයෝගියමෝ වම්හයි, අපි ධර්‍මයෝගියමෝ වම්හ’යි, උඬගු වූවාහු උද්ගත මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු විසිරුණු තෙපුල් ඇතියාහු නට සිහි ඇතියාහු මනා නුවණ නැතියාහු එකඟ සිත් නැතියාහු බමණ සිත් ඇතියාහු පියවි (නො දැමුනු) ඉඳුරන් ඇතියාහු වෙති. මොහු කුමන ධර්‍මයෝගයක් ඇත්තාහු ද, මොහු කුමක් පිණිස ධර්‍මයෝග ඇත්තාහු ද, මොහු කිනම් කරුණෙකින් ධර්‍මයෝග ඇත්තාහු දැ”යි. එ කරුණෙහි ලා ධ්‍යාන කරණසුලු භික්‍ෂූහු ද නො පහදිති. ධර්‍මයෝග භික්‍ෂූහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
(3) ඇවැත්නි, මෙ සස්නෙහි ධර්‍මයෝග භික්‍ෂුහු ධර්‍මයෝග භික්‍ෂූන්ගේ ම ගුණ කියති. ධ්‍යායී භික්‍ෂූන්ගේ ගුණ නො කියත්. එකරුණෙහි ලා ධර්‍මයෝග භික්‍ෂුහු ද නො පහදිති, ධ්‍යායීභික්‍ෂුහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස නො පිළිපන්හු වෙත්.
(4) ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ධ්‍යායී භික්‍ෂූන්ගේ ම ගුණ කියති. ධර්‍මයෝග භික්‍ෂුන්ගේ ගුණ නො කියත්. එකරුණෙහි ලා ධ්‍යායී භික්‍ෂුහු ද නො පහදිති. ධර්‍මයෝග භික්‍ෂුහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිතසුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
(5) ඇවැත්නි, එහෙයින් මෙ කරුණෙහි ලා මෙසේ හික්මියයුතු: ධර්‍මයෝග වූ ම අපි ධ්‍යායී භික්‍ෂූන්ගේ ගුණ වනන්නම්හ’යි. ඇවැත්නි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි. ඒ කවරහෙයින් යත්: ඇවැත්නි, යම් කෙනෙක් අමෘත නිර්‍වාණධාතුව නාමකයින් පැහැසැ වෙසෙත් නම්, එ පුද්ගලයෝ දුලබ වෙත් මැ යි.
(6) ඇවැත්නි, එහෙයින් ම මෙ කරුණෙහි ලා මෙසේ හික්මිය යුතු යි. ‘ධ්‍යායී වූ ම අපි ධර්‍මයෝග භික්‍ෂූන්ගේ ගුණ කියම්හ’යි. ඇවැත්නි, තොප විසින් මෙසේ ම හික්මියයුතු. එ කවර හෙයින යත්: ඇවැත්නි, ලොව්හි යම් කෙනෙක් ගැඹුරු ස්කන්‍ධධාතු ආදි අර්‍ත්‍ථපද විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් විනිවිද දක්නාහු නම් එ පුද්ගලයෝ දුර්‍ලභ වෙත් මැ යි.
6. 1. 5. 5.
[පඨමසන්‍දිට්ඨික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. එකල්හි මොලියසීවක පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් මොලියසීවක පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය:
“වහන්ස, ධර්‍මය සාන්දෘෂ්ටික ය, ධර්‍මය සාන්දෘෂ්ටික ය”යි කියනු ලැබේ. වහන්ස, කවර කරුණෙකින් ධර්‍මය සාන්දෘෂ්ටිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුත් වේ දැ?යි.
සීවකය, මෙ කරුණෙන්ම මෙහි ලා තා මැ පුළුවුස්නෙමි. යම් පරිදි තට රුස්නේ නම්, එපරිදි එය ප්‍රකාශ කරව’යි. සීවකය, එ කිමැයි හඟිහි? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය ඇතැ”යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ ම ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය නැතැ”යි දන්හි දැ’?යි.