මහණෙනි, මෙ කරුණෙහි ලා දායකතෙම දානයෙන් පූර්‍වයෙහි මැ සොම්නස් ඇති වෙයි. දන්දෙනුයේ සිත් පහන් කෙරෙයි. දන් දී සතුටු සිතැති වෙයි. මෙ දායකයාගේ අඞ්ග තුණ ය.
ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුණ කවරැ යත්:
මහණෙනි, මෙ කරුණෙහි ලා පිළිගාවෝ වීතරාග හෝ වෙත්, රාග විනයට පිළිපන්නාහු හෝ වෙත්. වීත ද්වේෂ හෝ වෙත්, ද්වේෂවිනයට පිළිපන්නාහු හෝ වෙත්. වීතමෝහ හෝ වෙත්, මෝහවිනයට පිළිපන්නාහු හෝ වෙත්. මේ ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුණ යි.
මෙලෙස දායකයාගේ අඞ්ග තුණෙක. ප්‍රතිග්‍රාහකයින්ගේ අඞ්ග තුණෙක. මහණෙනි, මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්‍ෂිණා වෙයි.
මහණෙනි, මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්‍ෂිණාමය පුණ්‍යයාගේ “මෙතරම් පුණ්‍යප්‍රවාහයෙක, කුශලප්‍රවාහයෙක, සුව ගෙණ දෙන්නෙක, ස්වග්‍රසුඛදායකය, සුඛවිපාක ඇත්තෙක, ස්වර්‍ගයට හිතව වැටෙන්නෙක. ඉෂ්ට කාන්ත මනාප හිත සුඛ සඳහා වැටෙන්නෙකැයි ප්‍රමාණය ගන්නට සුකර නො වෙයි. වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය මහා පුණ්‍යස්කන්‍ධයෙකැ යන සඞ්ඛ්‍යාවට ම යෙයි.
මහණෙනි, යම් පරිදි මහ සයුරෙහි, “මෙතෙක් දියනැලි යි හෝ මෙතෙක් දියනැලිසියෙක හෝ, මෙතෙක් දියනැලි දහසෙකැයි හෝ, මෙතෙක් දිය නැලිසියදහසෙකැයි හෝ ජල ප්‍රමාණය ගන්නට නො හැකි වේ ද, වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය වූ මහදියකඳෙකැයි ම සඞ්ඛ්‍යාවට යේ.
මහණෙනි, එපරිදි ම මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්‍ෂිණායෙහි මෙපමණ පුණ්‍යෝපප්‍රාප්තියෙක, මෙපමණ කුශලොපප්‍රාප්තියෙක, සුවගෙණ දෙන්නෙක, ස්වග්‍රසුඛ දායකය, සුඛ විපාක ඇතියෙක, ස්වර්‍ගයට හිතව වැටෙන්නේය, ඉෂ්ට කාන්ත මනාප හිත සුව පිණිස වැටෙන්නේ යයි පුණ්‍යයාගේ ප්‍රමාණය ගණුවට සුකර නෙ වේ. වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය මහා පුණ්‍යස්කන්‍ධයෙක ම යන සඞ්ඛ්‍යාවට යෙයි.
14. දෙනුවට පළමු මැ සොම්නස් සහගියා වන්නේය. දෙමින් සිත් පහදන්නේ ය. දන් දී (ඉක්බිති) සතුටු සිතැති වන්නේ ය. තෙල දානයාගේ පරිපූර්‍ණතා යි.
15. වීතරාග වූ වීත ද්වේෂ වූ වීතමෝහ වූ අනාස්‍රව වූ ශීල සංයමයෙන් (කායිකවාචසිකසංවරයෙන්) සංයත වූ බ්‍රම්සැරිහු යඥ සඞ්ඛ්‍යාත දානයට සම්පන්න ක්‍ෂේත්‍ර යි.
16. තමා ම අත්පා දෙවැ සියතින් දීමෙන් (දායක සඞ්ඛ්‍යාත) තමාගෙනුදු (ප්‍රතිග්‍රාහක සඞ්ඛ්‍යාත) පරාගෙනුදු තෙල යඥය මහත්ඵල වෙයි.
17. මෙසේ (රුවන් තියා කෙරෙහි) සැදැහැති ධාරණ ප්‍රඥා ඇති පණ්ඩිත තෙම (ලාභමාත්සර්‍ය්‍යාදින්) මුත් සිතින් දන්වැට පවත්වා නිදුක් සුව ඇති ස්වර්‍ගලෝකයට එළැඹෙන්නේ යි.
6. 1. 4. 8.
[අත්තකාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු ස්මරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, “මම වනාහි ආත්මකාරයෙක් (තමන් කරණ ක්‍රියා) නැත. පරකාරයෙක් (අනුන් කරණ ක්‍රියා) නැත යන මෙබඳු වාද ඇතියෙම්, මෙබඳු දෘෂ්ටි ඇතියෙම් වෙමි”යි.
බ්‍රාහ්මණය, මෙබඳු වාද ඇතියකු මෙබඳු දෘෂ්ටි ඇතියකු මම නහමක් දකිම්වා, (අසුවල් තැන වෙසෙතැයි) නහමක් අසම් ව යි. කිසෙයින් නම් තෙමේ අභික්‍රමණ කරණුයේ තෙමේ ප්‍රතික්‍රමණ කරණුයේ “ආත්මකාරයෙක් නැත, පරකාරයෙක් නැතැ”යි කියන්නේ ද?
බ්‍රාහ්මණය, ‘ආරම්භධාතුයෙක් (ක්‍රියා කිරීමෙහි පළමු උපදනා වීර්‍ය්‍යය) ඇත’ යන එය කිම හඟිහිදැ?යි.
පින්වතුන් වහන්ස, එසේ ඇති යයි.
ආරම්භධාතු ඇතිවත්ම ප්‍රථමාරම්භවීර්‍ය්‍යවත් සත්ත්‍වයෝ පැණෙත් ද?
‘එසේ ය’ පින්වතුන් වහන්සැයි.
බ්‍රාහ්මණය, ‘ප්‍රථමාරම්භවීර්‍ය්‍යය ඇතිවත් ම ප්‍රථමාරම්භවීර්‍ය්‍යවත් (ප්‍රථමාරම්භවීර්‍ය්‍යයෙන් ක්‍රියා කරණ) සත්ත්‍වයෝ පැණෙති’ යන යමෙක් වේ නම්, මේ සත්ත්‍වයන්ගේ ආත්මකාර යි, මේ සත්ත්‍වයන්ගේ පරකාර යි.
බ්‍රාහ්මණය, (කුසීතභාවයෙන් නික්මෙන සැහැවි ඇති) නික්ඛමධාතුයෙක් = වීර්‍ය්‍යයෙක් ඇත … (පැරැකුම් සැහැවි ඇති) පරක්කමධාතුයෙක් ඇත … ස්ථාමධාතුයෙක් (බලවත් වීර්‍ය්‍යයෙක්) ඇත ... ස්ථිතිධාතුයෙක් (පිහිටි වීර්‍ය්‍යයෙක්) ඇත … උපක්‍රමධාතුයෙක් (උපක්‍රම ශක්තියෙක්) ඇත යන එය කිම හඟිහි දැ?යි.
පින්වතුන් වහන්ස, එසේ යැයි.
උපක්‍රමධාතුව (උපක්‍රම ස්වභාවය) ඇති වත් ම උපක්‍රමවත් සත්ත්‍වයෝ පැණෙත් දැ?යි.
පින්වතුන් වහන්ස, එසේ යැයි.
බ්‍රාහ්මණය, උපක්‍රමධාතුව ඇති වත් ම උපක්‍රමවත් සත්ත්‍වයෝ පැනෙති යන යමෙක් වේ නම්, මෙය සත්ත්‍වයන්ගේ ආත්මකාරයි, මෙය පරකාර යි.
බ්‍රාහ්මණය, මෙබඳු වාද ඇතියකු මෙබඳු දෘෂ්ටි ඇතියකු මම නහමක් දකිම්වයි, අසම්වයි. කෙසෙයින් නම් තෙමේ අභික්‍රමණ කරණුයේ තෙමේ ප්‍රතික්‍රමණ කරණුයේ “ආත්මකාරයෙක් නැත, පරකාරයෙක් නැතැ”යි මෙසේ කියන්නේ දැ?
(බමුණු තෙම අත්තකාර පරකාර යථාවයෙන් දැන බුදුරදුන් සරණ ගොස් මෙසේ කීය:)
භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය … මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගියකු කොට ධරණ සේක් වයි.
6. 1. 4. 9.
[කම්මනිදාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, (වර්‍තතගාමි) කර්‍මයන්ගේ සමුදයට (රැස්වීමට) මෙ නිදාන තුණෙක.
කවර තුණෙක යත්:
කර්‍මයන්ගේ සමුදයට ලෝභය නිදානයෙකි. කර්‍මයන්ගේ සමුදයට ද්වේෂය නිදානයෙකි. කර්‍මයන්ගේ සමුදයට මෝහය නිදානයෙකි.
මහණෙනි, ලෝභයෙන් අලෝභය නූපදනේ ය. වැලිත් මහණෙනි, ලෝභයෙන් ලෝභය මැ උපදනේ ය. මහණෙනි, ද්වේෂයෙන් අද්වේෂය නූපදනේ ය. වැලිත් මහණෙනි, ද්වේෂයෙන් ද්වේෂය ම උපදනේ ය. මහණෙනි, මෝහයෙන් අමෝහය නූපදනේ ය. මහණෙනි, වැලිත් මෝහයෙන් මෝහය ම උපදනේ ය.
මහණෙනි, ලෝභයෙන් උපන් කර්‍මයෙන්, ද්වේෂයෙන් උපන් කර්‍මයෙන්, මෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ නො පැණෙත්. මනුෂ්‍යයෝ නො පැණෙත්. යම්බඳු අනෙකුදු සුගතිහු නො පැණෙත්.
වැලිත් මහණෙනි, ලෝභජකර්‍මයෙන්, ද්වේෂජකර්‍මයෙන්, මෝහජකර්‍මයෙන් නිරය පැණෙයි. තිරිසන් යොන් පැණෙයි. ප්‍රේත විෂය පැණෙයි. අනෙක් කිසි දුගතිහුදු පැණෙති.
මහණෙනි, කර්‍මයන්ගේ සමුදයට මෙ නිදාන තුණ යි.
මහණෙනි, කර්‍මයන්ගේ සමුදයට මෙ නිදාන තුණෙකි. කවර තුණෙක යත්:
කර්‍මයන්ගේ සමුදය සඳහා අලෝභය නිදානයෙක. කර්‍මයන්ගේ සමුදය සඳහා අද්වේෂය නිදානයෙක. කර්‍මයන්ගේ සමුදය සඳහා අමෝහය නිදානයෙක.
මහණෙනි, අලෝභයෙන් ලෝභය නූපදනේ ය. වැලිත් මහණෙනි, අලෝභයෙන් අලෝභය ම උපදනේ ය. මහණෙනි, අද්වේෂයෙන් ද්වේෂය නූපදනේ ය. වැලිත් අද්වේෂයෙන් අද්වේෂයම උපදනේ ය. මහණෙනි, අමෝහයෙන් මෝහය නූපදනේ ය. වැලිත් මහණෙනි, අමෝහයෙන් අමෝහය ම උපදනේ ය.
මහණෙනි, අලෝභජ කර්‍මයෙන්, අද්වේෂජ කර්‍මයෙන්, අමෝහජ කර්‍මයෙන්, නිරය නො පැණෙයි. තිරිසන්යොන් නො පැමිණෙයි. ප්‍රේත විෂය නො පැණෙයි. අනෙක් යම් කිසි දුගතිහුදු නො පැණෙති. වැලිත් මහණෙනි, අලෝභජ කර්‍මයෙන්, අද්වේෂජකර්‍මයෙන්, අමෝහජ කර්‍මයෙන් දෙවියෝ පැණෙත්. මනුෂ්‍යයෝ පැණෙත්. යම්බඳු අනෙකුදු කිසියම් සුගතිහු පැණෙත්.
මහණෙනි, කර්‍මයන්ගේ සමුදය සඳහා මෙ නිදාන තුණ යි.
6. 1. 4. 10.
[කිම්බිල සූත්‍රය]
40. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගර සමීපයෙහි වූ මිදෙල් වනයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ශාසන සද්ධර්‍මය යම් හෙයෙකින් චිරස්ථායී නො වේ නම්, එ හේතු කවරේ ය? ඒ ප්‍රත්‍යය කවරේ ය? යි.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි තථාගයන් වහන්සේ පිරිනිවිකල්හි මහණහු මෙහෙණහු උවසුහු උවැසිහු ශාස්තෲන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. ධර්‍මයෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. සඟුන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. ශික්‍ෂායෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. අප්‍රමාදයෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. පිළිසඳරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ.
කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවිකල්හි ශාසන සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, මෙ හේතුය, මෙ ප්‍රත්‍යය යි.
වහන්ස, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසනසද්ධර්‍මය චිරස්ථායී වේ නම්, එ හේතු කවර, එ ප්‍රත්‍යය කවරැයි.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි තථාගතයන් පිරිනිවිකල්හි මහණහු මෙහෙණහු උවසුහු උවැසිහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. ධර්‍මය කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. සඟුන් කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. ශික්‍ෂායෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. අප්‍රමාදයෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. පිළිසඳරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ.
කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, මෙ ඒ හේතු ය, මෙ ඒ ප්‍රත්‍යය යි.
6. 1. 4. 11.
[දාරුක්ඛන්‍ධ සූත්‍රය]
41. මා විසින් මෙසේ අසනලද. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ රාජගහ සමීපයෙහි ගිජ්ඣකූට පර්‍වතයෙහි වාස කරත්.
එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ බොහෝ වහන්දෑ හා සමග ගිජුකුළුපව්යෙන් බස්නාහු අන්‍යතරප්‍රදේශයෙක්හි මහ දැවකඳක් දුටහ. දැක භික්‍ෂූන් ඇමැතූහ. “ඇවැත්නි, තෙපි තෙල මහදැවකඳ දක්නහු දැ?”යි.
“එසේ ය ඇවැත්නි”යි.
ඇවැත්නි, චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් කැමැතියේ නම්, අසු දැවකඳ පෘථිවිධාතු ම ය යි සළකන්නේ ය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, යම් පෘථිවිධාතුවක් නිසා චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් “අසු දැව කඳ පෘථිවිධාතු ම ය”යි සලකා නම්, තෙල දැවකඳෙහි (එබඳු) පෘථිවිධාතුයෙක් ඇත.
ඇවැත්නි, චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් කැමතියේ නම් අසු දැවකඳ අබ්ධාතු ම ය යි සළකන්නේ ය … තේජෝධාතු ම ය යි සළකන්නේ ය … වායෝධාතු ම ය යි සළකන්නේ ය … ශුභධාතු ම ය යි සළකන්නේ ය … අශුභධාතු ම ය යි සළකන්නේ ය. එ කවර හෙයින යත්: ඇවැත්නි, යම් අශුභධාතුවක් නිසා චිත්ත වශීභාවයට පත් ඍද්ධිමත් මහණ තෙල දැව කඳ අශුභධාතු ම ය යි සළකන්නේ නම්, අසු දැව කඳෙහි (එ) අශුභධාතුව ඇතැයි.
6. 1. 4. 12.
[නාගිත සූත්‍රය]
42. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහබික්සඟුන් හා සමග සැරි සරණසේක්, කෝශලයන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එ ඉච්ඡානඞ්ගලයෙහි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වාස කරන්නාහ.
ඉච්ඡානඞ්ගලික බ්‍රාහ්මණ ගෘහපතිහු “ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉච්ඡානඞ්ගලයට වැඩිසේක් ම ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වසන්නාහ. “ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ ... බුද්ධයහ, භගවත්හ” යි ඒ භගවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණ කිතුගොසෙක් උස් ව නැගියේ ය. උන්වහන්සේ දෙවියන් සහිත මෙ ලෝකය ... එබඳු රහතුන්ගේ දර්‍ශනය මනා වන්නේ ය”යි ඇසූහු ම ය.
ඉක්බිති ඉච්ඡානඞ්ගල වැසි බමුණු ගැහැවියෝ එ රෑ ඇවෑමෙන් ප්‍රභූත ඛාද්‍යභෝජ්‍යයන් රැගෙණ ඉච්ඡානඞ්ගල වනෂණ්ඩය කරා එළඹියහ. එළැඹ බිහි දොර කොටුයෙහි උස්හඬ මහහඬ ඇති ව සිටියහ.
එ සමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමැතූසේක: නාගිතයෙනි, උස් හඬ ඇති, මහ හඬ ඇති ඔහු කවරහු දැ? මත්ස්‍යවිලෝපයෙහි (මාළු කඩයක) කෙවුළන් වැනියහ’යි.
“වහන්ස, තෙල ඉච්ඡානඞ්ගලවැසි බමුණු ගැහැවිහු බොහෝ කෑයුතු බුදියයුතු දෑ ගෙණ භාග්‍යවතුන් වහන්සේ හා භික්‍ෂු සඞ්ඝයා උදෙසා මැ බිහිදොර කොටුයෙහි සිටියහ”යි.
නාගිතයෙනි, මම නහමක් පිරිවර හා එක් වෙම්වා, පිරිවර ද මා හා නහමක් එක් වේවා. නාගිතයෙනි, යම් නෙක්ඛම්මසුඛයක්, පවිවේක සුඛයක්, උපසම සුඛයක්, සම්බොධ සුඛයක් මම කැමැති සේ ලබන සුලුයෙම්, නිදුකින් ලබන සුලුයෙම්, විපුල කොට ලබන සුලුයෙම් ද, යමෙක් වනාහි මේ නෙක්ඛම්මසුඛය, පවිවේක සුඛය, උපසමසුඛය, සම්බෝධසුඛය කැමැති සේ ලබන සුලුයේ නිදුකින් ලබන සුලුයේ විපුල කොට ලබන සුලුයේ නො වේ නම්, හේ, එ මීඪ (අසූචි) සුඛය, නිද්‍රාසුඛය, ලාභ සත්කාර වර්‍ණභණනය නිසා උපන් සුඛය ඉවසන්නේ ය.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් ඉවසන සේක් වා. සුගතයන් වහන්සේ ඉවසන සේක් වා. භාග්‍යවතුන් වහන්සේට ඉවසන කාලය වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිගෙක්හි වඩනාසේක් නම්, නියම් ගම් වැසි වූ ද දනවුවැසි වූ ද බ්‍රාහ්මණ ගෘහපතිහු එදිගට නැමුනාහු මැ වන්නාහ. වහන්ස, යම්සේ මහපොද යුත් වැසි වසිත් ම නිම්න වූ පරිදි මැ (නැමුනු තැන් කරාම) දියගලා යේ ද, වහන්ස, එසෙයින් මැ භාග්‍යවතුන් වහන්සේ දැන් යම් යම් දිගෙක්හි වඩනාසේක් නම්, නියම්ගම්වැසි වූ ද දනවුවැසි වූ ද බමුණු ගැහැවිහු එදිගට නැමුනාහු ම වන්නාහ. වහන්ස, එ කවර හෙයින යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශීල-ප්‍රඥා එබඳු මැ යි.
නාගිතයෙනි, මම පිරිවර හා නහමක් එක් වෙම්වා. පිරිවර ද මා හා නහමක් එක් වේවා. නාගිතයෙනි, මම යම් නෙක්ඛම්මසුඛයක්, පවිවේක සුඛයක්, උපසමසුඛයක්, සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුලුයෙම්, නිදුකින් ලබනසුලුයෙම්, විපුල කොට ලබන සුලුයෙම් ද, යමෙක් මෙ නෙක්ඛම්මසුඛය, පවිවේකසුඛය, උපසමසුඛය, සම්බෝධසුඛය කැමැති සේ ලබනසුලුයේ, නිදුකින් ලබන සුලුයේ, විපුල කොට ලබන සුලුයේ නොවේ නම්, හේ එ මීඪසුඛය නිද්‍රාසුඛය ලාභසත්කාරවර්‍ණභණන සුඛය ඉවසන්නේ ය.
(1) නාගිතයෙනි, මම මෙ සස්නෙහි ග්‍රාමාන්ත විහාරී වු සමාහිත ව හුන මහණක්හු දක්මි. නාගිතයෙනි, මට මෙ බඳු සිතෙක් වෙයි: “දැන් ආරාමිකයෙක් වේවයි, හෙරණෙක් වේවයි, සහදැමියෙක් වේවයි, මෙ ආයුෂ්මත්හු එ සමාධිනිමිත්තයෙන් ගළවන්නේ ය”යි. නාගිතයෙනි, මම එ මහණහුගේ එ ග්‍රාමාන්ත විහාරයෙන් තුටු සිතැතියෙම් නො වෙමි.
(2) නාගිතයෙනි, මම මෙ සස්නෙහි අරණෙහි නිදමින් හිඳිනා ආරණ්‍යක මහණකු දක්මි. නාගිතයෙනි, මට මෙ බඳු සිතෙක් වෙයි: “දැන් මෙ ආයුෂ්මත් මෙ නිද්‍රාක්ලමථය දුරු කොට ඒකාග්‍රතාභූත අරණ්‍යසංඥාව ම මෙනෙහි කෙරේ”යි. නාගිතයෙනි, මම එ භික්‍ෂුහුගේ එ අරණ්‍ය විහාරයෙන් සතුටු සිතැතියෙම් වෙමි.
(3) නාගිතයෙනි, මම මෙ සස්නෙහි අරණෙහි අසමාහිත ව හුන් අරණ්‍යක මහණකු දක්මි. නාගිතයෙනි, මට මෙ බඳු සිතෙක් වෙයි: “දැන් මෙ ආයුෂ්මත් අසමාහිත වූ හෝ සිත සමාහිතකරන්නේය. සමාහිත වූ හෝ සිත රැකගන්නේ ය”යි. නාගිතයෙනි, එ භික්‍ෂුහුගේ එ අරණවාසයෙන් මම සතුටු සිතැතියෙම් වන්නෙමි.
(4) නාගිතයෙනි, මම මෙ සස්නෙහි අරණෙහි සමාහිත ව හුන් ආරණ්‍යක මහණකු දක්මි. නාගිතයෙනි, එ මට මෙබඳු සිතෙක් වන්නේ ය: “දැන් මෙ ආයුෂ්මත් අවිමුක්ත වූ හෝ චිත්තය විමුක්ත කරන්නේ ය. විමුක්ත වූ හෝ සිත රක්නේ ය”යි. නාගිතයෙනි, මම එ භික්‍ෂුහුගේ එ ආරණ්‍යක වාසයෙන් සතුටු සිතැතියෙම් වෙමි.
(5) නාගිතයෙනි, මම මෙ සස්නෙහි ග්‍රාමාන්ත විහාරි වූ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු මහණකු දක්මි. හෙ ඒ ලාභ සත්කාර ශ්ලෝකය පතමින් පිළිසලන හරණේ ය. අරණෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් හැර පියයි. ගම් නියම්ගම් රජදහනට වැද වාසකෙරෙයි. නාගිතයෙනි, මම ඒ භික්‍ෂුහුගේ ඒ ග්‍රාමාන්ත විහාරයෙන් සතුටු සිතැතියෙම් නො වෙමි.
(6) නාගිතයෙනි, මම මෙ සස්නෙහි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු ආරණ්‍යක මහණකු දක්මි. හේ එ ලාභසත්කාරශ්ලෝකය දුරැ ලා පිළිසලන නො පියයි. අරණ වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් නො පියයි. නාගිතයෙනි, මම එ භික්‍ෂුහුගේ එ අරණ්‍ය විහාරයෙන් සතුටු සිතැතියෙම් වෙමි.
නාගිතයෙනි, යම් කලෙක්හි මම් අදන් මගට පිළිපන්නෙම් ඉදිරිපස්හි හෝ පසුපස්හි හෝ කිසිවකු නො දක්නෙම් ද, නාගිතයෙනි, එ සමයෙහි මට යටත් පිරිසෙයින් සුලුවටන් මහවටන් කරන්නට පවා පහසු වේ මැයි.
සිවුවැනි දේවතා වර්‍ග යි.
එහි උද්දානය:
සේඛ සූත්‍රය, අපරිහානිය සූත්‍ර දෙකෙක, මොග්ගල්ලාන සූත්‍රය, විජ්ජාභාගිය සූත්‍රය, විවාදමූල සූත්‍රය, දාන සූත්‍රය, අත්තකාරි සූත්‍රය, නිදාන සූත්‍රය, කිම්බිල සූත්‍රය, දාරුක්ඛන්‍ධ සූත්‍රය, නාගිත සූත්‍රය යි ද්වාදශ සූත්‍ර කෙනෙකි.
5. ධම්මික වර්‍ගය
6. 1. 5. 1.
[නාග සූත්‍රය]
43. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ සැවැත් නුවර පිඬු පිණිස වන්සේක. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා වැඩියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමැතූසේක:
ආනන්‍දයෙනි, දිවාවිහාර සඳහා යම්හ, පුබ්බාරාම නම් වූ මුවරමාපහය කරා එළැඹෙන්නමෝවයි.
“එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් හා සමග පුබ්බාරාම නම් වූ මිගාරමාතුපාසාදය කරා එළැඹි සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කල්හි පිළිසලනින් නැගිසේක් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමැතූහ:
“ආනන්‍දයෙනි, සිරිරු සිලිලින් සනහන්නට පූර්‍වකෝෂ්ඨය (පුබ්බකොට්ඨක නම් නහනතොට) කරා යම්හ”යි.
“එසේය වහන්සැ”යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු ඇස්සූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් හා (පන්සියක් භික්‍ෂූන්) සමග පූර්‍වකෝෂ්ඨකය කරා ගාත්‍රපරිෂේකයට (නහන පිණිස) වැඩිසේක. පූර්‍වකොෂ්ඨකයෙහි සිරිරු නහවා ගොඩවී ඒකචීවර වූ සේක් (හඳනය පමණක් හැඳ) සිරිරු දියසිඳුවමින් සිටිසේක.
එසමයෙහි පසේනදි කොසොල් මහරජුගේ ‘සෙත’ නම් ඇත්රජ මහාතූර්‍ය්‍යතාලම්-වාදයෙන් පූර්‍වකෝෂ්ඨයෙන් ගොඩ එන්නේ ය. එසේ වත් ම, ජනයා ඔහු දැක මෙසේ කියයි:
භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ මහානාගයා (ඇත්රජ) අභිරූප වෙයි. භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ ඇත්රජ දර්‍ශනීයය. භවත්නි, මහරජුගේ මෙ ඇත්රජ ප්‍රාසාදික ය. භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ ඇත්රජ තුනුසපුයෙන් යුතු (පිරිපුන් අඟපසඟ ඇතියේ) ය යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: වහන්ස, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති ඇතක්හු ම දැක, ‘පින්වත්නි, ඒකාන්තයෙන් මහ නාගයෙකැයි කියා ද? නැතහොත්, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟින් යුක්ත වූ අන්කිසිවකුදු දැක, “පින්වත්නි, ඒකාන්තයෙන් මහානාගයෙකැයි කියා දැ?” යි.
උදායියෙනි, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති ඇත්රජකුදු දැක “භවත්නි, ඒකාන්තයෙන් මහානාගයෙක” යනු කියයි. උදායියෙනි, අශ්වයකුදු ... උදායියෙනි, ගොනකුදු ... උදායියෙනි, උරගයකුදු ... උදායියෙනි, වෘක්‍ෂයකුදු ... උදායියෙනි, ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති මනුෂ්‍යයකුදු දැක ජනයා “භවත්නි, ඒකාන්තයෙන් මහානාගයෙක” යනු කියයි. වැලිත් උදායියෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි යමෙක් ආගු සඞ්ඛ්‍යාත ලමු අකුසල්දම් කයින් වචසින් මනසින් නො කෙරේ නම්, මම ඔහු ‘නාග’ යයි කියමියි.
වහන්ස, අසිරි ය! වහන්ස අද්භූත ය!! වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය සුභාෂිත ම ය: “වැලිත් උදායියෙනි දෙවිබඹුන් සියෝ මරුන් සියෝ ලෝකයෙහි, මහණබමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ ප්‍රජායෙහි යමෙක කාවිසිමුනි තුන්දොරින් පව් නො කෙරේ ද, මම උහු නාගයහයි කියමි”යි වදාළසේක.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ මේ සුභාෂිතය මේ ගාථායෙන් අනුමෝදන් වෙමි:
18. මනුෂ්‍ය වූ මැ තමා විසින් දැමුනු (ද්විවිධ සමාධියෙන්) සමාහිත වූ නිර්‍වාණමාර්‍ගයෙහි වසන (ධ්‍යානයෙන්) චිත්තව්‍යුපශමයෙහි නියැලුනු,
19. ස්කන්‍ධාදි සර්‍වධර්‍මඥානයෙහි පාරප්‍රාප්ත වූ යම් බුද්ධනාගයකු මනුෂ්‍යයෝ නමදිත් නම්, ඒ බුදුන් දෙවියෝ ද නමදිත් ය යනු අර්‍හත් වන මුබ වෙත මා විසින් අසනලදී.