(3) තවද වහන්ස, මහණ පතුලෙන් උඩ, කේශමස්තකයෙන් යට සිවිය හිම් කොට ඇති නානාප්‍රකාර අශුචියෙන් යුත් මෙ මැ (තමන්ගේ මැ) කය ප්‍රත්‍යවේක්‍ෂා කරයි: මෙ කයෙහි කෙස් ඇත, ලොම් ඇත, නිය, දත්, සිවි, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩු, හදවත්, අක්මා, දලබු, බඩදිව, පෙණහලු, අතුණු අතුණුබහන්, උදරයෙහි වූ නො පැසුණු අහර - පැසුණු අහර, පිත්, සෙම්, පූයා, ලෙහෙ, ඩහ, මේදස්, කඳුළු, වුරුණු කෙල, සොටු, හිස්මිදුලු, මූත්‍ර ඇතැ”යි.
වහන්ස, මෙ (කය) අනුස්මෘතිස්ථානය මෙ සෙයින් වඩනා ලදුයේ මෙ සෙයින් බහුලකරණ ලදුයේ කාමරාගයාගේ ප්‍රහාණය පිණිස වැටෙයි.
(4) තවද වහන්ස, මහණ සොහොනෙහි දැමූ මළ එක් දිනක් ඇති වේවයි, මළ දෙදිනක් ඇති වේවයි, මළ තෙදිනක් ඇති වේවයි, ඉදිමීගිය, නිල්වන් වූ වෑහෙන පූයා ඇති මළ සිරුරක් යම් පරිදි දක්නේ නම්, හේ (තමාගේ) මෙ මැ කය මෙසෙයින් නුවණින් එළවා බලන්නේ ය: “මෙ කය ද මෙබඳු සැහැවි ඇතියේ ය. මෙබඳු වන සුල්ලේ ය. තෙල සැහැවි නො ඉක්ම වී ය”යි.
සොහොන්හි දමනලද කවුඩන් විසින් හෝ කනු ලබන, උකුස්සන් විසින් හෝ කනු ලබන, ගිජුලිහිණින් විසින් හෝ කනු ලබන, ශුනකයන් විසින් හෝ කනු ලබන, සිවලුන් විසින් හෝ කනු ලබන, විවිධ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන මළ සිරුරක් යම් සෙයින් දක්නේ නම්, හේ “මෙ කය ද මෙබඳු සැහැවි ඇතියේ ය, මෙබඳු වන සුලු ය, මෙබඳු සැහැවි නො ඉක්මවීය”යි මෙ මැ කය මෙසේ නුවණින් එළවා බලයි.
සොහොන්හි දමනලද මස් ලේ සහිත වූ නහරින් සම්බන්‍ධය ඇති ඇටසැකිලි සිරුරක් ... මස් නැති ලෙයින් වැකුනු නහර වැල් බැඳුම් ඇති ඇටසැකිලි සිරුරක් ... පහවගිය මස් ලේ ඇති, නහර වැල් බැඳුම් ඇති ඇටසැකිලි සිරුරක් ... එක් දිශායෙක්හි අත් ඇට ය, එක් දිශායෙක්හි පා ඇට ය, එක් දිශායෙක්හි කෙණ්ඩා ඇට ය, එක් දිගෙක කලවා ඇට ය, එක්දිගෙක කටි ඇට ය, එක්දිගෙක පිටිකටු ය, එක්දිගෙක්හි හිස් කබල ය යි, මෙසේ පහ වූ සම්බන්‍ධය ඇති දිසාවිදිසාවන්හි විසිරැගිය ඇට ඇති මළසිරුරක් යම්සේ දක්නේ නම්, හේ “මෙ සිරුර ද මෙබඳු සැහැවි ඇත්තේ ය, මෙබඳු වන සුලුය, මෙබව නො ඉක්මවිය” යි මෙ කය මෙසේ නුවණින් එළවා බලයි.
සොහොන්හි දැමූ සක් පැහැසේ සුදු වූ ඇට ඇති සිරුර ... බොහෝ හවුරුදු ඉක්මගිය මුළුදුන් (ගොඩගැසුනු) ඇට ඇති ... දිරාගිය සුණු වූ ඇට ඇති ... යම්සේ දක්නේ නම්, හේ “මේ කය ද මෙබඳු සැහැවි ඇතියේ ය, මෙබඳු වනසුලු ය, මෙබව නො ඉක්මියේ යැ”යි මෙසෙයින් මෙ කය නුවණින් තුලනා කොට බලන්නේ ය.
වහන්ස, මෙසෙයින් වඩනාලද, මෙසෙයින් බහුලීකෘත මෙ (අශුභ) අනුස්මෘතිස්ථානය අස්මිමාන සමුද්ඝාතය පිණිස වැටේ ය යි.
(5) තවද වහන්ස, මහණ සුඛප්‍රහාණයෙනුදු ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙයි.
වහන්ස, මෙසේ වඩන ලද, මෙසේ බහුලීකෘත මෙ (චතුර්‍ත්‍ථධ්‍යාන) අනුස්මෘතිස්ථානය අනේකධාතුප්‍රතිවේධය සඳහා වැටේ ය යි.
වහන්ස, මොහු වනාහි පඤ්ච අනුස්මෘතිස්ථානයෝ යි.
ආනන්‍දයෙනි, මැනැව, මැනැව, ආනන්‍දයෙනි, එ සෙයින් ම තෝ මෙ සවන අනුස්මෘතිස්ථානය ද ධරව:
(6) ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ ස්මෘති ඇතියේ ම ඉදිරියට යෙයි. ස්මෘති ඇතියේ ම වටාලා එයි. ස්මෘතිමත් ව ම සිටියි. ස්මෘතිමත් ව ම හිඳියි. ස්මෘතිමත් ව ම ශය්‍යා කෙරෙයි. ස්මෘතිමත් ව ම කර්‍මාන්ත ඉටයි.
ආනන්‍දයෙනි, මෙසේ වඩනලද, මෙසේ බහුල කරණලද මෙ අනුස්මෘතිස්ථානය ස්මෘතිසම්ප්‍රජන්‍යය සඳහා වැටේ යයි.
6. 1. 3. 10.
[අනුත්තරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, මෙ අනුත්තරිය (ශ්‍රේෂ්ඨ) ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
දස්සනානුත්තරිය, සවණානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචරියානුත්තරිය, අනුස්සතානුත්තරිය යන සය යි.
(1) මහණෙනි, දස්සනානුත්තරිය කවරේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් හස්තිරත්න දක්නට ද යෙයි. අශ්වරත්න දක්නට ද යෙයි. මණිරතන දක්නට ද යෙයි. කුදුමහත් දැය හෝ දක්නට ද යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකු හෝ බමුණකු හෝ දක්නට ද යෙයි. මහණෙනි, තෙල දර්‍ශනය ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල දර්‍ශනය හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍යය. අනර්‍ත්‍ථය සඳහා වැටෙයි. නිර්වේදයට නො ද වැටෙයි. විරාගයට නො ද වැටෙයි. නිරෝධයට නො ද වැටෙයි. ක්ලේශව්‍යපශමයට නො ද වැටෙයි. අභිඥානයට නො ද වැටෙයි. සම්බෝධියට නො ද වැටෙයි. නිර්‍වාණයට නො ද වැටෙයි. මහණෙනි, යමෙකුත් පිහිටි සැදැහැතියේ, පිහිටි ප්‍රේම ඇතියේ, ඒකාන්තයට (අචල ශ්‍රද්ධාවට) පැමිණියේ, අතිශයින් පහන් වූයේ, තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයකු හෝ දක්නට යේ නම්, මහණෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස, දුක්දොම්නස දුරලනු පිණිස, න්‍යායාධිගමය පිණිස, නිවන් පසක් කරණු පිණිස පවත්නා හෙයින්, පිහිටි සැදැහැතියේ පිහිටි ප්‍රේම ඇතියේ ඒකන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයන් හෝ දක්නට යන්නේ ය යන තෙල කරුණ දර්‍ශනයන් අතුරෙන් අනුත්තරිය දර්‍ශන වේ. මහණෙනි, මෙ දස්සනානුත්තරිය යි කියනු ලැබේ. මෙසෙයින් දර්‍ශනානුත්තරිය වෙයි.
(2) සවණානුත්තරිය කෙසේ වේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් භේරීශබ්ද ඇසීමට යෙයි. වීණාශබ්ද ඇසීමට යෙයි. ගීතශබ්ද ඇසීමට යෙයි. කුදු මහත් ශබ්ද හෝ ඇසීමට යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකුගේ වේවයි, බමුණකුගේ වේවයි, ධර්‍මශ්‍රවණයට යෙයි. මහණෙනි තෙල ශ්‍රවණය ඇත් මැ යි. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල ශ්‍රවණය හීන ය, ග්‍රාම්‍ය ය, පෘථග්ජනයන් සතු ය, අනාර්‍ය්‍ය ය. අනර්‍ත්‍ථය ඇසුරු කෙළේ ය. නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ක්ලේශව්‍යපශමයට නො වැටෙයි. අභිඥානයට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්‍වාණයට නො වැටෙයි. මහණෙනි, පිහිටි සැදැහැති, පිහිටි ප්‍රේම ඇති, අචලශ්‍රද්ධාවට පත් අභිප්‍රසන්න යමෙක් තථාගතයන් වහන්සේගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ ධර්‍මය ඇසීමට යේ නම්, මහණෙනි, පිහිටි ශ්‍රද්ධා ඇතියේ පිහිටි ප්‍රේම ඇතියේ ඒකාන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ ධර්‍මය ඇසීමට යන්නේය යන තෙල කරුණ - සත්ත්‍ව විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස, දුක්දොම්නසුන්ගේ අස්තගමය පිණිස, න්‍යායාධිගමය පිණිස, නිවන් පසක් කරණු පිණිස පවත්නා හෙයින් ශ්‍රවණයන් අතුරෙහි අනුත්තරිය වෙයි. මහණෙනි, මේ සවණානුත්තරිය යි කියනු ලැබේ.
මෙසේ දස්සනානුත්තරිය වෙයි. මෙසේ සවණානුත්තරිය වෙයි.
(3) ලාභානුත්තරිය කෙසේ වේය යත්: මහණෙනි, මෙ ලොව්හි එකෙක් පුත්‍රලාභ ද ලබන්නේ ය. දාරලාභ ද ලබන්නේ ය. ධනලාභ ද ලබන්නේ ය. කුදු මහත් ලාභ හෝ ලබන්නේ ය. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකු කෙරේ වේවයි බමුණකු කෙරේ වේවයි ශ්‍රද්ධාව ලබන්නේ ය. මහණෙනි, තෙල ලාභය ඇත්මැයි. එ නැතැයි නො කියමි. මහණෙනි, එ ලාභය ද හීන ය. ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථසංහිත ය. නිර්වේදයට නො වැටෙයි ... නිවන් පිණිස නො වැටෙයි. මහණෙනි, යමෙකුත් තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතශ්‍රාවකයන් කෙරෙහි හෝ පිහිටි සැදැහැතියේ පිහිටි ප්‍රේම ඇතියේ අචලශ්‍රද්ධා ඇතියේ අභිප්‍රසන්න වූයේ සැදැහැ ලබන්නේ නම්, තථාගතයන් වහන්සේ කෙරේ වේවයි හෝ තථාගතශ්‍රාවකයන් කෙරෙහි වේවයි බැසගත් සැදැහැතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තයට ගියේ අභිප්‍රසන්න වූයේ, යම් මේ සත්ත්‍ව විශුද්ධිය පිණිස ශෝක පරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස දුක් දොම්නස් දුරලනු පිණිස න්‍යායාධිගමය පිණිස නිවන් පසක් කරණු පිණිස පවත්නා ශ්‍රද්ධාව ලබන්නේ නම්, තෙල ශ්‍රද්ධාලාභය ලාභයන් අතුරෙහි අනුත්තරිය වේ ය යි. මහණෙනි, මෙ ලාභානුත්තරිය යි කියනු ලැබේ.
මෙසේ දර්‍ශනානුත්තරිය වෙයි, ශ්‍රවණානුත්තරිය වෙයි, ලාභානුත්තරිය වෙයි.
(4) සික්ඛානුත්තරිය කෙසේ වේ යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් හස්තිශිල්පයෙහි දු හික්මෙයි. අශ්වශිල්පයෙහි දු හික්මෙයි. ධනුශිල්පයෙහි දු හික්මෙයි. ඛඩ්ගශිල්පයෙහි දු හික්මෙයි. කුදු මහත් ශිල්පයෙක්හි හෝ හික්මෙයි. මිථ්‍යාදෘෂ්ටික වූ මිථ්‍යාප්‍රතිපන්න වූ මහණකු හෝ බමුණකු අනුව හෝ හික්මෙයි. මහණෙනි, තෙල ශික්‍ෂාව ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල ශික්‍ෂා හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථ සංහිත ය, නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ව්‍යපශමයට නො වැටෙයි. අභිඥාවට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්‍වාණයට නො වැටෙයි. මහණෙනි, යමෙකුත් තථාගතයන් වහන්සේ විසින් ප්‍රවිදිත වූ ධර්‍ම විනයෙහි අධිශීලයත් හික්මෙයි ද, අධිචිත්තයත් හික්මෙයි ද, අධිප්‍රඥාවත් හික්මේ ද, (ධර්‍මයෙහි) පිහිටි සැදැහැ ඇතියේ, පිහිටි ප්‍රේම ඇතියේ, අචල ශ්‍රද්ධා ඇතියේ, අභිප්‍රසන්න වේ ද, මහණෙනි, තථාගතධර්‍මවිනයෙහි බැසගත් සැදැහැතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තයට ගියේ අභිප්‍රසන්න වූයේ අධිශීලය ද හික්මෙයි, අධිචිත්තය ද හික්මෙයි, අධිප්‍රඥා ද හික්මෙයි යන යමක් වේ නම්, සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස, දුඃඛදෞර්‍මනස්‍යන්ගේ අස්තගමය පිණිස න්‍යායයාගේ අධිගමය පිණිස, නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කාරය පිණිස පවත්නා තෙල ශික්‍ෂාව ශික්‍ෂාවන් අතුරෙන් අනුත්තරිය වේ. මහණෙනි, මෙ සික්ඛානුත්තරිය යි කියනු ලැබේ.
මෙසේ දස්සනානුත්තරිය වෙ යි. සවණානුත්තරිය වෙ යි. ලාභානුත්තරිය වෙ යි. සික්ඛානුත්තරිය වෙ යි.
(5) පාරිචරියානුත්තරිය කෙසේ වේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් ක්‍ෂත්‍රියකුට ද මෙහෙ කෙරෙයි. බ්‍රාහ්මණයකුට ද මෙහෙ කෙරෙයි. ගැහැවියකුට ද මෙහෙ කෙරෙයි. කුදු මහත් පුඟුලකුට හෝ මෙහෙ කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටික මිථ්‍යාප්‍රතිපන්න ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට මෙහෙ කෙරෙයි. මහණෙනි, තෙල පාරිචරියාව ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල පාරිචරියාව හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථයට වැටෙයි. නිර්වේදයට නො වැටෙයි ... නිර්‍වාණයට නො වැටෙයි. මහණෙනි, යමෙකුත් බැසගත් සැදැහැතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තයට ගියේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේට හෝ තථාගතශ්‍රාවකයකුට හෝ මෙහෙ කෙරේ නම්, මහණෙනි, බැසගත් ශ්‍රද්ධා ඇතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයකුට හෝ මෙහෙ කෙරෙයි යන යමෙක් වේ නම්, එය සත්ත්‍ව විශුද්ධියට ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමයට දුක් දොම්නසුන්ගේ අස්තගමයට න්‍යායයාගේ අධිගමයට නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කාරයට හිත වන හෙයින් තෙල පාරිචරියාවන් අතරෙහි අනුත්තරිය වෙයි. මහණෙනි, මෙ පාරිචරියානුත්තරියයි කියනු ලැබේ.
මෙසේ දස්සනානුත්තරිය වෙයි. සවණානුත්තරිය වෙයි. ලාභානුත්තරිය වෙයි. සික්ඛානුත්තරිය වෙයි. පාරිචරියානුත්තරිය වෙයි.
(6) අනුස්සතානුත්තරිය කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් පුත්‍රලාභය ද සිහිකෙරෙයි, භාර්‍ය්‍යාලාභය ද සිහිකෙරෙයි, ධනලාභය ද සිහිකෙරෙයි, කුදුමහත් ලාභයක් හෝ සිහිකෙරෙයි, මිසදිටු ඇති හෝ වරදවා පිළිපන් මහණකු හෝ බමුණකු හෝ සිහිකෙරෙයි. මහණෙනි, තෙල අනුස්මෘතිය ඇත. තෙල නැතැයි නොකියමි. මහණෙනි, තෙල හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් අයත් අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථය ඇසුරු කළ අනුස්මෘතිය නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ව්‍යාපශමයට නො වැටෙයි. අභිඥාවට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්‍වාණයට නො වැටෙයි. මහණෙනි, යමෙකුත් පිහිටි සැදැහැ ඇතියේ පිහිටි ප්‍රේම ඇතියේ අචල ශ්‍රද්ධා ඇතියේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයකු හෝ සිහි කෙරේ නම්, මහණෙනි, සත්ත්‍ව විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමය පිණිස දුක්දොම්නසුන්ගේ අස්තගමය පිණිස න්‍යායාධිගමය පිණිස නිවන් පසක් කිරීම පිණිස (පවත්නා හෙයින්), මහණෙනි, පිහිටි සැදැහැ ඇතියේ පිහිටි පෙම් ඇතියේ අචල ශ්‍රද්ධාවට පැමිණියේ මැනැවින් පහන් වූයේ තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ සිහි කෙරේ ය යන යමෙක් වේ නම්, තෙල අනුස්මෘතීන් අතුරෙහි අනුත්තරිය වේ. මහණෙනි, මේ මෙය අනුස්සතානුත්තරිය යි කියනු ලැබේ. (අනුස්සතානුත්තරිය මෙසේ වෙයි)
මහණෙනි, මේ අනුත්තරිය ධර්‍ම සය යි.
9. යම් කෙනෙක් අනුත්තරදර්‍ශනය ද අනුත්තර ශ්‍රවණය ද ලැබ ලාභානුත්තරියට පැමිණ සික්ඛානුත්තරියෙහි ඇලුනාහු -
10. පරිචරියායෙහි එළැඹ සිටියාහු විවේකප්‍රතිසංයුක්ත වූ ක්‍ෂේම වූ අමෘතය කරා යන සුලු අනුස්මෘතිය වඩත් ද,
11. අප්‍රමාදයෙහි ප්‍රමුදිත, නිපක ප්‍රඥායෙන් යුක්ත, ශීලයෙන් සංවෘත වූ ඔහු, යම් තැනෙක්හි දුක නිරුද්ධ වේ නම් ඒකාන්තයෙන් එ නිවණට නිසිකල්හි පැමිණෙති.
තුන්වැනි අනුත්තරිය වර්‍ගය යි.
එහි උද්දානය:
සාවක සූත්‍රය, අපරිහානිය සූත්‍රය, භය සූත්‍රය, හිමවන්ත සූත්‍රය, අනුස්සතිට්ඨාන සූත්‍රය, කච්චාන සූත්‍රය, පඨමසමය සූත්‍රය, දුතියසමය සූත්‍රය, උදායී සූත්‍රය, අනුත්තරියසූත්‍රය දැ යි දශයෙකි.
4. දේවතා වර්‍ගය
6. 1. 4. 1.
[සේඛ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, මේ ධර්‍මයෝ සදෙනෙක් ශෛක්‍ෂ්‍ය භික්‍ෂුහුගේ පිරිහීම පිණිස වැටෙති.
කවර සදෙනෙක යත්: කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියෙහි අගුත්තද්වාරතා ය, භෝජනයෙහි අමත්තඤ්ඤුතා යි. මහණෙනි, මේ ධර්‍මයෝ සදෙන ශෛක්‍ෂ්‍ය භික්‍ෂුහුගේ පිරිහීම පිණිස වැටෙත්.
මහණෙනි, මෙ ධර්‍මයෝ සදෙනෙක් ශෛක්‍ෂ්‍යභික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස වැටෙත්.
කවර සයෙක යත්: කම්මාරාමතා නො වනු ය, භස්සාරාමතා නො වනු ය, නිද්දාරාමතා නො වනු ය, සඞ්ගණිකාරාමතා නො වනු ය, ඉන්‍ද්‍රියයෙහි ගුත්තද්වාරතා ය, භෝජනයෙහි මත්තඤ්ඤුතා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ සදෙන ශෛක්‍ෂ්‍යභික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස වැටෙති යි.
6. 1. 4. 2.
[ප්‍රථම අපරිහාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. එකල්හි එක්තරා දෙවියෙක් මැදුම්යම්හි අතිකමනීය වර්‍ණ ඇතියේ මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස් ව සිටි එ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“වහන්ස, මේ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙත්.
කවර සයෙක යත්: සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස මේ දහම්හු සදෙන භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙත්.”
ඒ දෙවි මෙය කීය. ශාස්තෘහු සමනුඥ (අනුමෝදන්) වූහ. එකල ඒ දෙවි “මට ශාස්තෘහු සමනුඥයහ”යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රැය ඇවෑමෙන් මහණුන් ඇමතූහ: මහණෙනි, මෙ රෑහි රෑ පෙරයම ඉක්ම යත් ම විශිෂ්ටවර්‍ණ ඇති අන්‍යතර දේවපුත්‍රයෙක් මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පස්ව සිටි ඒ දෙවි මට තෙල සැළකෙළේ ය:
“වහන්ස, මෙ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙත්.
කවර සයෙක යත්: සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස, මෙ සදහම්හු භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති යී”
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් කෙළේ ය.
12. ශාස්තෘගුරුක, ධර්‍ම ගුරුක, සඞ්ඝයා කෙරෙහිදු තීව්‍රගෞරව ඇති, අප්‍රමාද ගුරුක, ධර්‍මාමිස වශයෙන් (මහණදම්හි අප්‍රමාද වෙහි ද, ප්‍රත්‍යය ලාභ සුලබ ද ආදීන්) පිළිසඳර කිරීමෙහි ගෞරව ඇති මහණ පරිහානියට අභව්‍ය වෙයි. නිවන් වෙතැ ම වූයේ වෙයි.
6. 1. 4. 3.
[දුතිය අපරිහාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, මෙ රෑහි අන්‍යතර දේව පුත්‍රයෙක් රෑ පෙරයම් ඉක්මයත් ම මුළු දෙව්රම බබුළුවා මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේය:
“වහන්ස, මෙ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ නො පිරිහීමට වැටෙත්.
කවර සයෙක යත්: සත්‍ථුගාරවතා හා ධම්මගාරවතා හා සඞ්ඝගාරවතා හා සික්ඛාගාරවතා හා හිරිගාරවතා හා ඔත්තප්පගාරවතා හා යි. වහන්ස, මෙ ධර්‍මයෝ සදෙන භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති.”
මහණෙනි, එ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එතන්හි ම අතුරුදන් වී ය යි.
13. ශාස්තෘන් කෙරෙහි ගෞරව ඇති, ධර්‍මය කෙරෙහි ගෞරව ඇති, සඟුන් කෙරෙහිදු තීව්‍රගෞරව ඇති, හිරිඔතප් සපන්, ප්‍රතිශය (මහල්ලන් කෙරෙහි යටත් පැවැතුම්) ඇති, ගෞරවසහිත මහණ පිරිහීමට අභව්‍ය වෙයි. නිවන් වෙතැ ම වූයේ ය.
6. 1. 4. 4.
[මොග්ගල්ලාන සූත්‍රය]
34. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි ඒකාකී වූ පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්‍කයෙක් පාළවිය: “කවර නම් දෙවිකෙනකුන්ට අපායට නොහෙන සැහැවි ඇති, නිවණට නියත වූ, සත්‍යාවබෝධය පරායණ කොටැති, සෝවන් පුඟුලමෝ වම්හ”යි යන මෙබඳු ඥානයෙක් වේ දැයි”යි.
එ සමයෙහි කලුරිය කළ තිස්ස නම් මහණ අන්‍යතර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ වෙයි. එහිදු “තිස්ස බ්‍රහ්ම මහ ඉදුහ ඇත්තේය, මහ අනුභාව ඇත්තේය”යි වෙසෙසින් ඔහු හඳුනත්.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගුකරන්නේ හෝ දික්කළ අතක් හකුළන්නේ හෝ යම් සේ නම්, එ පරිද්දෙන් ම ජේතවනයෙහි අතුරුදන්වූවාහු එ බඹලොව්හි පාළ වූහ. තිස්ස බ්‍රහ්මයා වඩනා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් දුරින් ම දුටුයේ ම ය. දැක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්හට තෙල කීය:
“නිදුක, මුගලනෙනි, මොබැ එව, නිදුක, මුගලන, ස්වාගතයැ, නිදුක මෞද්ගල්‍යානයෙනි, මෙහි ඊම සඳහා බොහෝ කලෙකින් මෙ පර්‍ය්‍යාය (වාරය) කෙළේ ය. නිදුක මුගලන, මෙ අස්න පණවන ලද. හිඳිනු මැනැවැ”යී. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පැන් වූ අස්නෙහි හිඳගත්හ.
තිස්සබ්‍රහ්ම ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් තිස්සබ්‍රහ්මහට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කීහ:
තිස්සයෙනි, “අපායට නො හෙන සැහැවි ඇති, නිවණට නියත වූ සත්‍යාවබෝධය පරායණ කොට ඇති, සෝවන් පුඟුලමෝ වම්හ” යන මෙ අයුරින් කවර නම් දෙවිකෙනකුන්ට ඥානයෙක් වේ දැ?”යි.
නිදුක, මුගලනෙනි, “(අපි) අපායට නොහෙන සැහැවි ඇති, නිවණට නියතවූ, සම්බෝධි පරායණ කොට ඇත, සෝවන් පුඟුලමෝ වම්හ” යන මෙබඳු ඥානයෙක් සිවුමහරජය වැසි දෙවියනට වන්නේ යි.
තිස්සයෙනි, “අපි අවිනිපාත ධර්‍ම වූ, නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය සිවුමහ රජය වැසි හැම දෙවියනට වේ දැ?”යි.
නිදුක, මෞද්ගල්‍යායනයෙනි, “අපි අවිනිපාත වූ, නියත වූ සම්බෝධි පරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙ ඥානය හැම චාතුර්මහාරාජික දෙවියනට නොවන්නේ ය. මෞද්ගල්‍යායනයෙනි, යම් ඒ චාතුම්මහාරාජික දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් (අධිගත සෝවන්පල පැහැදීමෙන්) සමන්‍වාගත නොවෙත් නම්, ධර්‍මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත නොවෙත් නම්, සඟුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත නො වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත (මාර්‍ගඵල) ශීලයෙන් සමන්‍වාගත නොවෙත් නම්, එ දෙවියනට “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය නොවන්නේ ය. නිදුක, මෞද්ගල්‍යායනයෙනි, යම් එ චාතුම්මහාරාජික දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, ධර්‍මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙත් නම්, ඔවුනට “අපි අවිනිපාත වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්න යම්හ” යන මෙබඳු ඥානය වන්නේ ය.
තිස්සයෙනි, “අපි අවිනිපාත වූ නියත වූ සම්බෝධි පරායණ වූ සෝතාපන්නයම්හ”යන මෙබඳු ඥානය චාතුම්මහාරාජික දෙවියන්ට ම වේ ද? නොහොත් තාවතිංස දෙවියනට ද … යාම දෙවියනට ද … තුසිත දෙවියනට ද … නිම්මාණරතී දෙවියනට ද … පරනිම්මිත වසවත්තී දෙවියනට ද … “අවිනිපාතධම්ම වූ නියත වූ සම්බෝධි පරායණ වූ, ස්‍රෝතාපන්නයම්හ”යි මෙබඳු ඥානය වේ ද? (...)
නිදුක, මුගලනයෙනි, පරනිම්මිත වසවත්තී දෙවියනට ම “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය වන්නේ ය.
තිස්සයෙනි, හැම පරනිම්මිත වශවර්ත්ති දෙවියන්ට ම “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය වේ දැ?යි.
නිදුක, මෞද්ගල්‍යානයෙනි, හැම පරනිම්මිත වසවත්තී දෙවියනට ම “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය නො වෙයි. නිදුක, මුගලනයෙනි, යම් පරනිම්මිත වශවර්‍තති දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත නොවෙත් නම්, ධර්‍මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත නො වෙත් නම්, සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත නො වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත නො වෙත් නම්, එ දෙවියනට “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධි පරායණවූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානයෙක් නො වේ. නිදුක, මුගලනෙනි, යම් (පරානිම්මිත වශවර්ති) දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, ධර්‍මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙත් නම්, ඔවුනට “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය වන්නේ ය යි.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ තිස්ස බ්‍රහ්මයාගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදනා කොට බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දික්කරණුයේ හෝ දික්කළ අතක් හකුළනුයේ යම් සේ වේ නම්, එසෙයින් ම බ්‍රහ්මලෝකයෙහි අතුරුදන්ව ජේතවනයෙහි පහළ වූහ.
6. 1. 4. 5.
[විජ්ජාභාගිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, මෙ විජ්ජාභාගිය (විද්‍යා කොටස් පිළිබඳ) ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
අනිච්චසඤ්ඤා (අනිත්‍යානුදර්‍ශනයෙහි උපන් සංඥාව), අනිච්චේ දුක්ඛසඤ්ඤා (අනිත්‍යයෙහි දුඃඛානුදර්‍ශනයෙහි උපන් සංඥාව), දුක්ඛෙ අනත්තසඤ්ඤා (දුකෙහි අනාත්මානුදර්‍ශනයෙහි උපන් සංඥාව), පහාණසඤ්ඤා (ප්‍රහාණානු දර්‍ශනයෙහි උපන් සංඥාව), විරාගසඤ්ඤා (විරාගානු දර්‍ශනයෙහි උපන් සංඥාව), නිරෝධසඤ්ඤා (නිරෝධානුදර්‍ශනයෙහි උපන් සංඥාව) ද වෙත්.
මහණෙනි, මෙ විජ්ජාභාගිය ධර්‍ම සය යි.
6. 1. 4. 6.
[විවාදමූල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, මෙ විවාදමූල සයෙකි. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කිපෙන සුලුයේ බද්ධවෛර ඇතියේ වෙයි. මහණෙනි, යම් මැ මහණෙක් ක්‍රෝධන උපනාහී වේ නම්, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ප්‍රතිශ්‍රය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. ධර්‍මයෙහිදු ප්‍රතිශය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. සඟුන් කෙරෙහි දු ප්‍රතිශය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. ශික්‍ෂාහිදු පරිපූරකාරි නො වෙසෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ප්‍රතිශය (ගුරු පිහිට) නැතියේ, ගෞරව නැතියේ වෙසේ නම්, ධර්‍මයෙහි ප්‍රතිශ්‍රය නැතියේ, ගෞරව නැතියේ වෙසේ නම්, සඟුන් කෙරෙහි ප්‍රතිශ්‍රය නැතියේ ගෞරව නැතියේ වෙසේ නම්, ශික්‍ෂාහි පරිපූරකාරි නො වේ නම්, හෙ යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස, දෙවි මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ නම්, සඟුන් අතුරෙහි එබඳු විවාද දනවයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් ආභ්‍යන්තරික පර්‍ෂද්හි වේවයි බාහිර පර්‍ෂද්හි වේවයි දක්නහු නම්, එ ලමු වාදයාගේ ප්‍රහාණය පිණිස ම ව්‍යායාම කරව. මහණෙනි, මෙබඳු විවාද මූලයක් ඉදින් ආභ්‍යන්තරීක පර්‍ෂද්හි වේවයි, බාහිර පර්‍ෂද්හි වේවයි, නොදක්නහු නම්, මහණෙනි, තෙපි එ කරුණෙහිලා මතුයෙහි එ මැ ලමු විවාද මූලයාගේ අනුත්පාදය පිණිස පිළිපදුව. මෙසෙයින් තෙල ලමු විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසෙයින් මතුයෙහි තෙල ලමු විවාදමූලයාගේ අනුත්පාද වෙයි.
(2) තවද මහණෙනි, මහණ මෙරමා ගුණ මකන සැහැවි ඇතියේ යුග ග්‍රාහ (දෙදෙන සමව ගැණීම්) ලක්‍ෂණ ප්‍රදාස ඇතියේ වෙයි … (3) ඊර්‍ෂ්‍යා ඇතියේ මාත්සර්‍ය්‍ය ඇතියේ වෙයි … (4) ශඨ වූයේ මායා ඇතියේ වෙයි … (5) ලාමක ඉච්ඡා ඇතියේ මිසදිටු (නාස්තික වාද, අහේතුක වාද, අක්‍රිය වාද) ඇතියේ වෙයි ... (6) ස්වදෘෂ්ටිය ම පරාමර්‍ෂණ කරණ සුලුයේ දෘඪග්‍රාහී වූයේ ගත්මත නොහළ හැකියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් ස්වදෘෂ්ටිය පරාමර්‍ෂණ කරණ සුලුවූයේ දෘඪග්‍රාහීවූයේ ගත්මත නොහළ හැකියේ වේ නම්, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. සඟුන් කෙරෙහි අගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. ශික්‍ෂායෙහි අපරිපූරකාරී වෙයි. හේ යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස අහිත පිණිස දෙව් මිනිස්නට දුක් පිණිස වේ නම්, සඞ්ඝයා අතුරෙහි එබඳු විවාද දනවයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පර්‍ෂද්හි වේවයි, බාහිර පර්‍ෂද්හි වේවයි, දක්නහු නම්, මහණෙනි, එකරුණෙහි ලා එ මැ ලාමක විවාද මූලයාගේ ප්‍රහාණය පිණිස ව්‍යායාම කරව. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පර්‍ෂද්හි හෝ බාහිර පර්‍ෂද්හි හෝ නොදක්නාහු නම්, මහණෙනි, එකරුණෙහි ලා තෙපි එ මැ ලාමක විවාද මූලයාගේ මතුයෙහි අනුත්පාදය පිණිස පිළිපදුව. මෙසෙයින් තෙල ලාමක විවාද මූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසෙයින් මතුයෙහි තෙල ලාමක විවාද මූලයාගේ අනුත්පාදය වෙයි.
මහණෙනි, මෙ විවාද මූල සය යි.
6. 1. 4. 7.
[ඡළඞ්ගදාන සූත්‍රය]
37. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වේළුකණ්ටක නුවරවැසි නන්‍දමාතා උපාසිකා ශාරිපුත්‍ර මෞද්ගල්‍යායන ප්‍රමුඛ බික් සඟුන් කෙරෙහි ෂඩඞ්ග සමන්‍වාගත දක්‍ෂිණා පිහිටුවයි.
භාග්‍යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිව්‍ය චක්‍ෂුර්ඥානයෙන් සැරියුත් මුගලන් පාමොක් බික්සඟුන් කෙරෙහි දන් පිහිටුවන වේළුකණ්ටකී නන්‍දමාතා උවැසිය දැක වදාළසේක්මැයි. දැකවදාරා මහණුන් ඇමැතූසේක:
මහණෙනි, තෙල වේළුකණ්ට කී නන්‍දමාතා උපාසිකා සැරියුත් මුගලන් පාමොක් බික්සඟුන් කෙරෙහි ෂඩඞ්ග සමන්‍වාගත දක්‍ෂිණා (දනක්) දෙයි.
මහණෙනි, කී සෙයින් ෂඩඞ්ග සමන්‍වාගත දක්‍ෂිණා වේය යත්:
මහණෙනි, මෙ කරුණෙහි ලා දායකයාගේ අඞ්ග තුණෙක් වෙයි. පිළිගාවන්ගේ අඞ්ග තුණෙක් වෙයි.
දායකයාගේ කවර අඞ්ග තුණෙක යත්: