Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 8601-8700 න් 15980

[සාමගාමක සූත්‍රය]
21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි සාමගාමකයෙහි පොක්ඛරණියා නම් වෙහෙරැ වැඩ වසන සේක.
එකල්හි අන්‍යතර දෙවියෙක් රාත්‍රි මධ්‍යමයාමයෙහි මනෝහර ඡවිවර්‍ණ ඇතියේ සියලු පොක්ඛරණියා වෙහෙර බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේය:
“වහන්ස, මෙ තුන් දහම් කෙනෙක් භික්‍ෂුහුගේ පරිහානිය සඳහා වැටෙත්. කවර තුන් දහම් කෙනෙක යත්:
කර්‍මාරාමතාය, භාෂ්‍යාරාමතාය, නිද්‍රාරාමතා යි. වහන්ස, මෙ තුන් දහම්හු භික්‍ෂුහුගේ පරිහානිය සඳහා වැටෙති”යි.
එ දෙවි මෙය කීය. භාග්‍යවතුන් වහන්සේ සමසිත් වූසේක. ඉක්බිති එ දෙවි “මා බස භාග්‍යවතුන් වහන්සේ අනුදත්සේක් වනැ”යි භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‍ෂිණා කොට එතන්හි ම අතුරුදන් ව ගියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, මෙ රෑ හි ඉකුත් පළමු යම ඇතිවත් ම අන්‍යතර දෙවියෙක් මනෝහර ඡවිවර්‍ණ ඇතියේ, සියලු පොක්ඛරණියා වෙහෙර එකලු කොට මා කරා එළැඹියේ ය. එළැඹ සකස් කොට මා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කී ය:
“වහන්ස, මෙ තුන් කරුණෙක් භික්‍ෂුහුගේ පරිහානියට වැටෙයි. කවර තුණෙක යත්: කර්‍මාරාමතා ය, භාෂ්‍යාරාමතා ය, නිද්‍රාරාමතා යි. වහන්ස, මෙ දහම් තුණ භික්‍ෂුහුගේ පිරිහීමට වැටේය යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා පැදකුණු කොට එහි ම අතුරුදන්වී.
මහණෙනි, යම්බඳු තොප කුශලධර්‍මයන්ගෙන් පිරිහීමට වැටෙන්නවුන් දෙවියෝ පවා දනිත් නම්, එ තොපට අලාභ ය, එ තොපට නො මනා ලැබුමෙකි.
මහණෙනි, අනෙකුදු පරිහානිය ධර්‍ම තුණක් දෙසමි. එ අසවු මනා කොට මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘එසේ ය වහන්සැ’යි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, පරිහානීය ධර්‍ම තුන්දෙන කවරහ යත්: සඞ්ගණිකාරාමතා ය, දෝවචස්සතා ය, පාපමිත්තතා යි.
මහණෙනි, මෙ පරිහානීය ධර්‍ම තුණ යි.
මහණෙනි, යම් මැ කෙනෙක් අතීතකාලයෙහි කුශලධර්‍මයෙන් පිරිහුණුහු නම්, එ හැම මෙ සකරුණෙන් ම කුශලධර්‍මයෙන් පිරිහුණහ. මහණෙනි, යම් මැ කෙනෙක් අනාගතකාලයෙහි කුශලධර්‍මයෙන් පිරිහෙත් නම්, එ හැම මෙ මැ සකරුණු හෙයින් කුශලධර්‍මයෙන් පිරිහෙත්. මහණෙනි, මෙ කල්හි යම් මැ කෙනෙක් කුශලධර්‍මයෙන් පිරිහෙත් නම්, එ හැම දෙන මෙ කරුණු සයෙන් මැ කුශලධර්‍මයෙන් පිරිහෙත් ය යි.
6. 1. 3. 2.
[අපරිහානියධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, මෙ අපරිහානියධර්‍ම සයක් දෙසන්නෙමි. එ අසවු. මනා කොට මෙනෙහි කරවු. වදාරමි. “එසේ ය වහන්සැ”යි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, එ අපරිහානියධර්‍ම සය කවරේය යත්:
කර්‍මාරාමතා නොවනු ය. භාෂ්‍යාරාමතා නොවනු ය. නිද්‍රාරාමතා නොවනු ය. සඞ්ගණිකාරාමතා නොවනු ය. සුවචභාවය, කල්‍යාණමිත්‍රතා යි. මහණෙනි, මෙ අපරිහානියධර්‍ම සය යි.
මහණෙනි, යම් මැ කෙනෙක් අතීත කාලයෙහි කුශලධර්‍මයෙන් නො පිරිහුණාහු නම්, ඔහු හැම මෙ සකරුණු හේතු කොටගෙන කුශලධර්‍මයෙන් නො ම පිරිහුණාහ. මහණෙනි, යම් ම කෙනෙක් අනාගත කාලයෙහි කුශලධර්‍මයන්ගෙන් නො පිරිහෙන්නාහු නම්, එ හැම දෙන මෙ දහම් සය හෙයින් ම කුශලධර්‍මයෙන් නො පිරිහෙන්නාහ. මහණෙනි, යම් මැ කෙනෙක් වර්‍තමාන කාලයෙහි කුශලධර්‍මයන්ගෙන් නො පිරිහෙත් නම්, එ හැම දෙන මෙ කරුණු සයින් මැ කුශලධර්‍මයෙන් නො පිරිහෙත ය යි.
6. 1. 3. 3.
[භය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, ‘භය’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘දුක්ඛ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘රෝග’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘ගණ්ඩ - ගඩ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘සඞ්ග - ඇලීම’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘පඞ්ක - මඩ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි.
මහණෙනි, කවර හෙයින් ‘භය’ යන තෙල කාමයනට නාම වේ ද යත්: මහණෙනි, කාමරාගයෙන් රක්ත වූ මෙ පුඟුල් ඡන්‍දරාගයෙන් විනිබද්ධ වූයේ දෘෂ්ටධාර්මික භයෙනුදු නො මිදෙයි. සාම්පරායිකභයෙනුදු නො මිදෙයි. එ හෙයින් ‘භය’ යන තෙල කාමයනට නාමයෙකි. මහණෙනි, කවර හෙයින් ‘දුඃඛය’ යන ... ‘රෝග’ ය යන ... ‘ගණ්ඩය’ යන ... ‘සඞ්ගය’ යන ... ‘පඞ්ක’ය යන ... තෙල කාමයනට නමෙක යත්: මහණෙනි, කාමරාගයෙන් රක්ත වූ මෙ පුඟුල් ඡන්‍දරාගයෙන් විනිබද්ධ වූයේ දෘෂ්ටධාර්මික පඞ්කයෙනුදු නො මිදෙයි. සාම්පරායික පඞ්කයෙනුදු නො මිදේ. එ හෙයින් ‘පඞ්ක’ යන තෙල කාමයනට නමෙකි.
5. යමෙක පුහුදුන් පුඟුල් ආසක්ත වේ නම්, ‘භය’ හා ‘දුක්ඛ’ හා ‘රෝග’ හා ‘ගණ්ඩ’ හා ‘සඞ්ග’ ‘පඞ්ක’ යන දෙක හා තෙල කාමයහ’යි කියනු ලැබෙත්.
6. ජාතිමරණයට ප්‍රත්‍යය වූ චතුරුපාදානයෙහි භය දැක ජාතිමරණ සංක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණාලම්බනයෙහි (සත්ත්‍වයෝ) මිදෙත්.
7. ක්‍ෂේමභාවයට පැමිණි ලෝකෝත්තර සුඛ ඇති දිටුදැමියෙහි ම කෙලෙසුන්ගෙන් පිරිනිවි සර්‍වවෛර භය ඉක්මවා ගිය ඔහු සර්‍වදුඃඛය ඉක්මවූහ යි.
6. 1. 3. 4.
[හිමවන්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ හිමවත් පර්‍වතරාජයා බිඳලන්නේය. ලාමක අවිද්‍යා පිළිබඳ කවර කථායෙක.
කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධියට සමවැදුම්හි කුශල වෙයි. සමාධි ස්ථිතියෙහි කුශල වෙයි. සමාධියෙන් නැගී සිටුමෙහි කුශල වෙයි. සමාධි කල්‍යතායෙහි (සමාධිසිත පැහැදවීමෙහි) කුශල වෙයි. සමාධිගෝචරයෙහි (කුශල අරමුණෙහි) කුශල වෙයි. සමාධි අභිනීහාරයෙහි (මතු මතු සමවත් සමවැදුම පිණිස ප්‍රථමධ්‍යානාදි සමවත් එළවීමෙහි) කුශල වෙයි.
මහණෙනි, මෙ ස කරුණින් සමන්‍වාගත මහණ හිමවත් පර්‍වතරාජයා (වුව) බිඳලන්නේ ය. ලාමක අවිද්‍යාව පිළිබඳ කවර කථා ය යි.
6. 1. 3. 5.
[අනුස්සතිට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, මෙ අනුස්මෘතිස්ථාන සයෙකි.
කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි අරීසවු “මෙ සෙයිනුදු එ භගවත්හු අර්‍හත්හ ... දේව මනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි (තථාගතයන් ගුණ විසින්) අනුස්මරණ කෙරෙයි.
මහණෙනි, යම් සමයක අරීසව් තථාගතයන් අනුස්මරණ කෙරේ ද, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත සිතෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මියේ මිදුනේ නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ (බුද්ධානුස්මෘතිය) ද අරමුණු කොට මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
(2) තවද මහණෙනි, අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය ... විඥයන් තමා කෙරෙහි ලා දතයුතුය”යි ධර්‍මය අනුස්මරණ කෙරෙයි.
මහණෙනි, යම් සමයෙක්හි අරීසවු ධර්‍මය අනුස්මරණ කෙරේ ද, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි උහුගේ සිත කෙලෙසුන් කෙරෙන් නික්මියේ මුක්ත වූයේ ගේධයෙන් නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ (ධර්‍මානුස්මෘතිය) ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
(3) තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක “භාග්‍යවත්හු ගේ ශ්‍රාවක සඞ්ඝ සුපිළිපන් වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය”යි සඞ්ඝයා අනුස්මරණ කරයි. මහණෙනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක සඞ්ඝයා මෙනෙහි කෙරේ නම්, එ කල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ උත්‍ථිත වූයේ ඔහුගේ සිත ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි. මහණෙනි, මෙ ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ වන්නාහ.
(4) තවද මහණෙනි, අරීසවු අඛණ්ඩ වූ ... සමාධියට වැටෙන තමාගේ ශීලයන් මෙනෙහි කෙරෙයි. මහණෙනි, යම් කලෙක අරීසවු සිල් මෙනෙහි කෙරේ නම්, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ නැගි සිටියේ උජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධ වෙත්.
(5) තවද මහණෙනි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙකි. ඒකාන්තයෙන් මට මනා ලාභයෙක ... යදනට යෝග්‍ය වූයෙම්, දානසංවිභාගයෙහි ඇලුනෙම් වෙ මැ”යි තමාගේ ත්‍යාග ගුණය මෙනෙහි කෙරෙයි. මහණෙනි, යම් කලෙක අරීසවු ත්‍යාගය මෙනෙහි කෙරේ නම්, එ කල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල කාමගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධ වෙත්.
(6) තවද මහණෙනි, අරීසවු “චාතුම්මහාරාජික දෙවියෝ ඇත. තාවතිංස දෙවියෝ ඇත. යාම දෙවියෝ ඇත. තුසිත දෙවියෝ ඇත. නිම්මාණරති දෙවියෝ ඇත. පරනිම්මිතවසවත්ති දෙවියෝ ඇත. බ්‍රහ්මකායික දෙවියෝ ඇත. ඔවුනට මත්තෙහි දු දෙවියෝ ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්හු නම්, මට ද එබඳු ශ්‍රද්ධාව විද්‍යමාන වෙයි. යම්බඳු ශීලයෙකින් ... ශ්‍රැතයෙකින් ... ත්‍යාගයෙකින් ... ප්‍රඥායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් ච්‍යුතව එහි උපන්හු නම්, මට ද එබඳු ප්‍රඥා ඇතැ”යි දෙවියන් මෙනෙහි කරයි. මහණෙනි, යම් කලෙක අරීසවු තමාගේ ද එ දෙවියන්ගේ ද ශ්‍රද්ධාව ද ශීලය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ප්‍රඥාව ද මෙනෙහි කෙරේ නම්, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එ සමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ උත්‍ථිත වූයේ ඍජුගත ම වේ. මහණෙනි, ‘ගේධ’ යන ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි.
මහණෙනි, මෙ ද අරමුණු කොට මෙලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධියට යෙත්. මහණෙනි, මෙ අනුස්සතිට්ඨාන සයයි.
6. 1. 3. 6.
[මහා කච්චාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ‘ඇවැත්නි මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ මහණහු ආයුෂ්මත් මහා කාත්‍යායන තෙරුන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ තෙල කීහ.
ඇවැත්නි, ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, අද්භූතය ... සුභාෂිතයෙක්මය. සියල්ල දන්නා, සියල්ල දක්නා, අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස, දුක් දොම්නස් අස්තයට යවනු පිණිස, (මාර්‍ග සඞ්ඛ්‍යාත) න්‍යායයාගේ අධිගමය පිණිස, නිර්‍වාණය සාක්‍ෂාත් කරණු පිණිස (පඤ්චකාමගුණ සඞ්ඛ්‍යාත) සම්බාධයෙහි (ෂඩ් අනුස්මෘති නම් වූ) අවකාශාධිගමය අවබෝධ කරණ ලදි. කවර සයෙක යත්:
(1) ඇවැත්නි, මෙ සස්නෙහි අරීසවු “මෙ මෙකරුණෙනුදු එ භගවත්හු (අර්‍හත්හු) ... දේවමනුෂ්‍යනට ශාස්තෘහ. බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන් වහන්සේ සිහිකෙරෙයි. ඇවැත්නි, යම් කලෙක්හි අරීසවු තථාගතයන් සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වන්නේ ය. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්තවූයේ නැගී සිටියේ ඍජුගත ම වන්නේ ය. ඇවැත්නි ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එ අරිසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහත් භාවයට ගිය (ස්ඵරණවශයෙන්) අප්‍රමාණ වූ වෛර රහිත වූ (ක්‍රෝධදුඃඛ සඞ්ඛ්‍යාත) ව්‍යාබාධයෙන් තොරවූ චිත්තයෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙ ලෙව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ ස්වභාව ඇතියාහු වෙත්.
(2) තවද ඇවැත්නි, යම් කලෙක අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාතය ... විඥයන් විසින් සිය සතන්හි එළවා දතයුතුය”යි ධර්‍මය සිහිකරන්නේ ය. ඇවැත්නි, යම් කලෙක අරීසවු ධර්‍මය සිහිකෙරේ නම්, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වේ. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්තවූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එ අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සමවූ විපුල වූ මහද්ගත වූ අවෛර වූ ව්‍යාබාධ (දුක්) රහිත වූ චිත්තයෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙලෙව්හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.
(3) තවද ඇවැත්නි, ආර්‍ය්‍ය ශ්‍රාවක “භාග්‍යවත්හු ගේ ශ්‍රාවකසඞ්ඝ සුපිළිපන් වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය”යි සඞ්ඝයා සිහිකරයි. ඇවැත්නි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සඞ්ඝයා සිහිකෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි. ඇවැත්නි, එ මැ අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සමවූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ (දුක් නැති) චිත්තයෙන් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධ ස්වභාව ඇති වෙත්.
(4) තවද ඇවැත්නි, අරීසවු අඛණ්ඩ වූ ... සමාධියට වැටෙන තමාගේ ශීලයන් අනුස්මරණය කරයි. ඇවැත්නි, අරීසවු යම් කලෙක තමාගේ ශීලය අනුස්මරණය කෙරේ නම්, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට අධිවචනයෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ (නිදුක් වූ) සිතින් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙ ලෙව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ ස්වභාව ඇති වෙත්.
(5) තවද ඇවැත්නි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙකි. මට ඒකාන්තයෙන් මනාලාභයෙකි ... යදනට නිසියෙම්, දානසංවිභාගයෙහි රතයෙමැ”යි තමාගේ ත්‍යාගය සිහිකෙරෙයි. ඇවැත්නි, යම් කලෙක අරීසවු තමාගේ ත්‍යාගය සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. එ කල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ සිතින් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙසෙයින් මෙලොව්හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.
(6) තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක “චාතුම්මහාරාජික දෙවියෝ ඇත ... ඔවුනට මත්තෙහි දෙවියෝ ද ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම්, මට ද එබඳු ශ්‍රද්ධා විද්‍යමාන ය. යම්බඳු ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු ද, මට ද එබඳු ප්‍රඥා ඇතැ”යි දේවතාවන් අනුස්මරණ කරයි. ඇවැත්නි, යම් කලෙක්හි අරීසවු තමාගේත් එ දෙවියන්ගේත් ශ්‍රද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍රඥා හා සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාග පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වේ. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නිෂ්ක්‍රාන්ත වූයේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ චිත්තයෙන් වාසකරයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙසෙයින් මෙලොව් හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.
ඇවැත්නි, “ඒ භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස දුක් දොම්නසුන් අස්තයට යවනු පිණිස, න්‍යායාධිගමය පිණිස, නිර්‍වාණය සාක්‍ෂාත් කරණු පිණිස, සම්බාධයෙහි අවකාශාධිගමයට කරුණු වන අනුස්මෘති ස්ථාන සය අවබෝධ කරණ ලද ය, යන මෙය ආශ්චර්‍ය්‍යයෙක. ඇවැත්නි, අද්භුතයෙක.
6. 1. 3. 7.
[පඨමසමය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළේ ය:
“වහන්ස, මනෝභාවනීය (වැඩූ සිත් ඇති) භික්‍ෂුවකු දක්නට එළැඹෙනු සඳහා සමය කෙතෙක්දැ”යි.
මහණ, මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනු සඳහා මෙකල් සයෙකි. කවර සයෙක යත්:
(1) මහණ, මෙ සස්නෙහි මහණ කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයෙන් මඩනා ලද සිතින් වාස කෙරේ නම්, උපන්නා වූ ද කාමරාගයාගේ නිස්සරණය තත් වූ පරිදි නොදන්නේ නම්, එසමයෙහි එළැඹ මනෝභාවනීය මහණ මෙසේ කියැයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයෙන් මඩනා ලද සිතින් වාසකරමි. උපන්නා වූත් කාමරාගයාගේ යථාභූත නිස්සරණය නො දන්මි. ආයුෂ්මත් මට කාමරාගයාගේ ප්‍රහාණය සඳහා ධර්‍මය දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ කාමරාගයාගේ ප්‍රහාණයට ධර්‍මදේශනා කෙරෙයි. මහණ, මේ වනාහි මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනු සඳහා ප්‍රථම කාලය වෙයි.
(2) තවද මහණ, යම් කලෙක්හි මහණ ව්‍යාපාද පර්‍ය්‍යුත්‍ථිත, ව්‍යාපාදාභිභූත සිතින් වාසය කෙරේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණය තත් වූ පරිදි නොදන්නේ නම්, එකල එළැඹ භාවනීය භික්‍ෂූ මෙසේ කියැයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි ව්‍යාපාද පර්‍ය්‍යුත්‍ථිත ව්‍යාපදාභිභූත සිතින් වාස කරමි. උපන් ව්‍යාපාදයාගේ යථාභූත නිස්සරණය නො ම දන්මි. ආයුෂ්මත් මට ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස දහම් දෙසා නම්, මැනැවැ”යි ඔහට මනෝභාවනීය මහණ ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස ධර්‍මය දෙසන්නේ ය. මහණ මෙ වනාහි මනෝභාවනීය භික්‍ෂුහුගේ දර්‍ශනය සඳහා එළඹෙන්නට දෙවන කාලය වෙයි.
(3) තවද මහණ, යම් කලෙක්හි මහණ ථිනමිද්ධයෙන් මැඩුනු ථිනමිද්ධ පරෙතසිතින් වාසකෙරේ නම්, උපන් ථීනමිද්ධයාගේ ද නිඃසරණය යථාභූතයෙන් නොදන්නේ නම්, එකල්හි එළඹ මනෝභාවනීය භික්‍ෂු මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි ථීනමිද්ධයෙන් මැඩුනු, ථීනමිද්ධය අනුව ගිය සිතින් වෙසෙමි. උපන් ථීනමිද්ධයාගේත් නිඃසරණය යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් තෙමේ මට ථීනමිද්ධයාගේ ප්‍රහාණය පිණිස නිසිදම් දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ ථීනමිද්ධයාගේ ප්‍රහාණය පිණිස දම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහුගේ දර්‍ශනය සඳහා මෙ තුන්වන කාලය වෙයි.
(4) තවද මහණ, යම් කලෙක මහණ උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු උද්ධච්චකුක්කුච්ච පරෙත සිතින් වාස කෙරේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ ද නිඃසරණය යථාභූතයෙන් නොදන්නේ නම්, එසමයෙහි එළඹ මනෝභාවනීය භික්‍ෂුතෙම මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු උද්ධච්චකුක්කුච්ච අනුව ගිය සිතින් වෙසෙමි. උපන් උද්ධදච්චකුක්කුච්චයාගේ ද නිඃසරණය යථාභූතයෙන් නො ම දන්මි. ආයුෂ්මත් මට උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණය සඳහා නිසි දහම් දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණය සඳහා ධර්‍මය දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය භික්‍ෂුහුගේ දර්‍ශනය සඳහා එළඹෙන්නට මේ සතරවන කාලය වෙයි.
(5) තවද මහණ, යම් කලෙක්හි මහණ විචිකිච්ඡායෙන් මැඩුනු විචිකිච්ඡා පරෙත සිතින් වාස කෙරේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණය යථාභූතයෙන් නොදන්නේ නම්, එසමයෙහි වෙත පැමිණ මනෝභාවනීය මහණ මෙසේ කියයුතු වන්නේය: “ඇවැත්නි, මම වනාහි විචිකිච්ඡායෙන් මැඩුනු විචිකිච්ඡාව අනුවගිය සිතින් වසමි. උපන් විචිකිච්ඡාවගේ ද නිඃසරණය යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් මට විචිකිච්ඡාවගේ ප්‍රහාණය සඳහා ධර්‍මය දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ විචිකිච්ඡාවගේ ප්‍රහාණය සඳහා නිසි දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහුගේ දර්‍ශනය සඳහා එළඹෙනුවට මෙ පස්වන කාලය වෙයි.
(6) තවද මහණ, යම් කලෙක මහණ යම් මැ නිමිත්තකට පැමිණ යම් මැ නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් (බාධා රහිත) ආස්‍රවක්‍ෂය වේ නම්, එ නිමිත්ත නො දත්තේ, නො දක්නේ නම්, එකල්හි එළඹ මනෝභාවනීය මහණ මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම් වනාහි යම් නිමිත්තකට පැමිණ, යම් නිමිත්තක් මෙනෙහි කරණුවහට අනන්තරායෙන් ආස්‍රවක්‍ෂය වේ නම්, එබඳු නිමිත්ත නො දන්මි. නො දක්මි. ආයුෂ්මත් මට ආස්‍රවයන්ගේ ක්‍ෂය සඳහා ධර්‍මය දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය භික්‍ෂුහුගේ දර්‍ශනයට එළඹෙනුවට මේ සවන කාලය වෙයි.
6. 1. 3. 8.
[දුතිය සමය සූත්‍රය]
28. එක් කලෙක්හි බොහෝ මහලු වහන්දෑ බරණැස් නුවර සමීපයෙහි වූ ඉසිපතන නම් මිගදායෙහි වසන්නාහ. ඉක්බිති පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණ, මණ්ඩල මාලයෙහි (මඬුලු සටහනින් කළ භෝජන ශාලායෙහි) රැස්ව හුන් මහලු වහන්දෑ අතුරෙහි මෙ අතුරු කථාව පහළ විය: “ඇවැත්නි, මනෝභාවනීය (භාවනාවෙන් මනවඩන) මහණකු දැකීමට එළඹෙනුවට නිසිකල් කවරේදැ?”යි.
මෙ සෙයින් කී කල්හි අන්‍යතර භික්‍ෂුනමක් එ භික්‍ෂුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියේ පා දොවා පලක් බැඳ (අසරමිණිය ගොතා) කය ඍජු කොට තබා සිහිය පරිමුඛ කොට (කමටහන්හි) එළවා හුන්නේ වේ ද, මනෝභාවනීය මහණහු දැක්ම සඳහා එළැඹෙන්නට එ සමය වේය”යි.
මෙසේ කියත් ම, අන්‍යතර මහණෙක් එ භික්‍ෂුහට තෙල කී: “ඇවැත්නි, යම් කලෙක මනෝභාවනීය භික්‍ෂු පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණියේ පා දොවා පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හුන්නේ වේ නම්, ඇවැත්නි, මනෝභාවනීය භික්‍ෂුහු දක්නා සඳහා එළැඹෙන්නට එ කල් නො වේ. එ සමයෙහි ඔහුගේ පිණ්ඩපාත චර්‍ය්‍යයෙන් උපන් ක්ලමථය ද නො සන්හුන් වෙයි. එසමයෙහි ඔහුගේ භක්ත ක්ලමථය ද නො සන්හුන් වෙයි. එසෙයින් මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙන්නට එ නොකල. ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ සවස් කල්හි පිළිසලණින් නැගියේ, වෙහෙරැ පසුපසැ සෙවණෙක්හි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා ස්මෘතිය කමටහන් අභිමුඛ කොට එළවා හුන්නේ ද, මනෝභාවනීය මහණහු දැක්මට එළැඹෙන්නට එ කලැ”යි.
මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් එ භික්‍ෂුහට තෙල කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ සවස් වරුයෙහි පිළිසලණින් නැඟීසිටියේ වෙහෙර පසුපස සෙවණෙක්හි පලක් බැඳ කය ඉදු කොට තබා කමටහන් අභිමුඛ කොට සිහි එළවා හුන්නේ වේ නම්, එ මනෝභාවනීය මහණහු දැක්මට එළැඹෙන්නට නොකල් වෙයි. ඔහු විසින් දහවල් යම් මැ සමාධි නිමිත්තයෙක් මෙනෙහි කරණ ලද වේ නම්, එසමයෙහි එය ම ඔහුගේ මනෝද්වාරයෙහි ආපාථ වශයෙන් හැසිරෙයි. එහෙයින් මනෝභාවනීය භික්‍ෂුහු දක්නට එළැඹෙන්නට එ නොකල් වෙයි. ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය භික්‍ෂු රෑ පැසුළුයම්හි නැඟී පලක් බැඳ කය ඉදු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හුන්නේ වේ ද, මනෝභාවනීය භික්‍ෂූහු දක්නට එළැඹෙන්නට එ කලැ”යි.
එසෙයින් කී කල්හි අන්‍යතර මහණෙක් එ මහණහට තෙල කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය භික්‍ෂු රෑ පැසුළුයමැ නැගිට පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා ස්මෘතිය ඉදිරියෙහි එළවා හුන්නේ වේ ද, එසමයෙහි ඔහුගේ කය ඕජට්ඨායී (ඕජස් වැඩී සිටියේ) වෙයි. ඔහුට බුදුන්ගේ සස්න මෙනෙහි කරන්නට පහසු වෙයි. එහෙයින් මනෝභාවනීය භික්‍ෂුහු දක්නට එළඹෙන්නට එ කල් වේ ය” යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ මහලු වහන්දෑට තෙල කීය: ඇවැත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් තෙල කරුණ හමුයෙහි අසනලදි. හමුයෙහි පිළිගන්නාලදි:-
“මහණ, මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙනුවට මෙකල් සයෙක. කවර සයෙක යත්:
(1) මහණ, මෙසස්නෙහි මහණ යම් කලෙක කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයා විසින් මැඩුණු සිතින් වාස කෙරේ නම්, උපන් කාමරාගයාගේත් නිඃසරණයත් යථාභූතයෙන් නො දන්නේ නම්, එසමයෙහි මනෝභාවනීය මහණ වෙත එළැඹ මෙ සෙයින් කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයා විසින් මැඩුණු සිතින් වසමි. උපන් කාමරාගයාගේ නිඃසරණයත් යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් කාමරාගයාගේ ප්‍රහාණය සඳහා මට දහම් දෙසා නම්, ඒකාන්තයෙන් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ කාමරාගයාගේ ප්‍රහාණය සඳහා (සුදුසු) දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනුවට මෙ ප්‍රථම සමය යි.
(2) තවද මහණ, යම් කලෙක්හි මහණ ව්‍යාපාදයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ ව්‍යාපාදයා විසින් මැඩුණු සිතින් වෙසෙයි ... (3) ථිනමිද්ධයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ ථීනමිද්ධයෙන් මැඩුණු චිත්තයෙන් වෙසෙයි ... (4) උද්ධච්චකුක්කුච්චයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුණු සිතින් වෙසෙයි ... (5) විචිකිච්ඡායෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ විචිකිච්ඡා විසින් මැඩුණු සිතින් වාස කරයි ... (6) යම් මැ නිමිත්තකට පැමිණ යම් මැ නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් ම ආස්‍රවක්‍ෂය වේ නම්, එ නිමිත්ත නො දන්නේ නො දක්නේ නම්, එ සමයෙහි එළැඹ මනෝභාවනීය මහණ මෙසෙයින් කිවයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි යම් මැ නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් ආස්‍රවක්‍ෂය වේ නම්, එ නිමිත්ත නො දන්මි, නො දක්මි. ආයුෂ්මත් මට දහම් දෙසා නම් ඒකාන්තයෙන් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ ආස්‍රවක්‍ෂය සඳහා දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙන්නට මෙ සවන කලැ”යි.
ඇවැත්නි, “මහණ, මනෝභාවනීය භික්‍ෂූහු දක්නට වෙත එළැඹෙන්නට මෙ සය කල්ය”යි මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි.
6. 1. 3. 9.
[උදායී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් (ලාළු) උදායී තෙරුන් ඇමැතූ සේක:
“උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ “උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක. දෙවනවට දු ආයුෂ්මත් උදායි තෙරණුවෝ නිහඬ වූහ. තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ “උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි ආයුෂ්මත් උදායී තෙරුන් ඇමැතූ සේක. තෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ නිහඬ වූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් උදායි තෙරුන්ට තෙල කීහ: “ඇවැත් උදායියෙනි, ශාස්තෘහු මුඹ අමතන්නාහ”යි. “ඇවැත් ආනන්‍දයෙනි, මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුල අසමි” (ප්‍රශ්නය ගැණ කල්පනා කරමි) යි.
“වහන්ස, මෙ සස්නෙහි මහණ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙයි. එ කෙසෙයින යත්: එක් ජාතියකුදු ... ජාති දෙකෙකුදු ... මෙසෙයින් ආකාර සහිත කොට උදෙසීම් සහිත කොට අනේකවිධ පූර්වේනිවාසය අනුස්මරණය කරයි. වහන්ස, මෙ වනාහි අනුස්සතිට්ඨානයෙකැ”යි (උදායී තෙරණුවෝ කීහ.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍දතෙරුන් ඇමතූසේක: “ආනන්‍දයෙනි, මෙ උදායී මෝඝපුරුෂ තෙම (සමාධි - විදර්‍ශනා සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි නො ම යෙදුනේ වාස කරන්නේ ය”යි මම දැනගත්මි.
“ආනන්‍දයෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි.
වහන්ස, අනුස්මෘතිස්ථානයෝ පස්දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:
(1) වහන්ස, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම ... (ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ...) තෘතීයධ්‍යානයට එළඹ වාස කරයි.
වහන්ස, මෙ (ත්‍රිවිධධ්‍යාන) අනුස්මෘතිස්ථානය මෙසෙයින් වඩන ලදුයේ මෙසෙයින් බහුලකරණ ලදුයේ ඉහාත්මයෙහි සුඛවිහාර පිණිස වැටෙයි.
(2) තවද වහන්ස, මෙ සස්නෙහි මහණ (ථීනමිද්ධය දුරුකරණ) ආලෝකසංඥාව මෙනෙහි කෙරෙයි. දවහලැයි සංඥාව තබයි. දවහල් යම් සේ ආලෝක සංඥාව මෙනෙහි කෙරේ නම්, එසෙයින් රාත්‍රිය ද, රාත්‍රිය යම් සේ ආලෝක සංඥා මෙනෙහි කෙරේ නම්, එසේ ම දවහල් ද මෙනෙහි කරයි. මෙසේ විවෘත වූ නීවරණයන්ගෙන් නො වැළඳි සිතින් සප්‍රභාසචිත්තය (දිවැස් නුවණ පිණිස ඕභාස සහිත සිත) වඩයි.
වහන්ස, මෙ (ආලෝකසංඥා) අනුස්මෘතිස්ථානය මෙ සෙයින් වඩන ලදුයේ මෙ සෙයින් බහුලකරණ ලදුයේ ඥානදර්‍ශන ප්‍රතිලාභය (දිවැස් නුවණ ලැබීම) සඳහා වැටෙයි.