Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 8401-8500 න් 15980

6. 1. 1. 7.
[තතියජානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, අඞ්ග සයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ වෙයි. රාජ භෝග්‍ය වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්‍ර අශ්වාජානේයයා රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. ගන්‍ධයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. ජවසම්පන්න (පදජව ඇත්තේ) ද වෙයි.
මහණෙනි, මෙ අඞ්ග සයින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ වෙයි. රාජ භෝග්‍ය ද වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයනට ක්‍ෂම වෙයි … ධර්‍මයනට ක්‍ෂම වෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
6. 1. 1. 8.
[අනුත්තරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, මෙ අනුත්තරයෝ සදෙනකි. කවර සදෙනෙක යත්:
දස්සනානුත්තරය, සවණානුත්තරය, ලාභානුත්තරය, සික්ඛානුත්තරය, පාරිචරියානුත්තරය, අනුස්සතානුත්තරය යි.
මහණෙනි, මෙ අනුත්තර ධර්‍ම සදෙන යි.
6. 1. 1. 9.
[අනුස්සතිට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, අනුස්මෘතිස්ථාන සදෙනෙකි. කවර සදෙනක යත්:
බුද්ධානුස්මෘති ය, ධර්‍මානුස්මෘති ය, සඞ්ඝානුස්මෘති ය, ශීලානුස්මෘති ය, ත්‍යාගානුස්මෘති ය, දේවතානුස්මෘති ය යි.
මහණෙනි, මෙ අනුස්මෘතිස්ථාන සදෙන යි.
6. 1. 1. 10.
[මහානාම සූත්‍රය]
10. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්‍ථු පුරාසන්නයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එකල්හි මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත්පස්ව හුන් මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, “යම් අරීසවුයෙක් ප්‍රාප්ත ආර්‍ය්‍යඵල ඇතියේ (සෝවන් වූයේ) දැනගත් ශික්‍ෂාත්‍රය ශාසන ඇතියේ වේ නම්, හෙ කවර විහාරයෙකින් බහුල කොට වාස කෙරේ දැ?”යි.
මහානාමයෙනි, යම් ආර්‍ය්‍යශ්‍රාවකයෙක් ප්‍රාප්ත ආර්‍ය්‍යඵල ඇතියේ (සෝවන් වූයේ) විඥාත ශාසන ඇතියේ වේ නම්, හෙ මෙ විහාරයෙන් බහුල කොට වාස කරන්නේ ය:
(1) මහානාමයෙනි, මෙ සස්නෙහි අරීසවු “මෙ මෙ කරුණෙන් ඒ භාග්‍යවත්හු අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ. සුගත්හ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍ය සාරථීහ. දේවමනුෂ්‍යයනට ශාස්තෘහ. චතුස්සත්‍ය ප්‍රතිබුද්ධයහ. භගවත්හ”යි තථාගතයන් අනුස්මරණ කෙරෙයි. මහානාමයෙනි, යම් කලෙක අරීසවු තථාගතයන් අනුස්මරණ කෙරේද, එසමයෙහි ඔහට රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. එ සමයෙහි ඔහුගේ චිත්තය තථාගතයන් ඇරැබැ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් අරීසවු අර්‍ත්‍ථගත (අටුවාකථා නිසා උපන්) ප්‍රීතිප්‍රමෝද්‍ය ලබන්නේ ය. පාළිධර්‍මය පිළිබඳ ප්‍රීතිප්‍රාමෝද්‍යය ලබන්නේ ය. පාළ්‍යර්‍ත්‍ථකථා නිසා උපන් ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාහට නාමකාය හා කරජකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය ඒකාග්‍ර වෙයි. මහානාමයෙනි, මේ අරීසවු රාග ද්වේෂ මෝහ විසින් විෂමගත ප්‍රජාව කෙරෙහි සමප්‍රාප්ත ව වෙසේ යයි ද, දුක් සහිත ප්‍රජාව කෙරෙහි නිදුක්ව වෙසේ යයි ද, විදර්‍ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතසට සපැමිණියේ බුද්ධානුස්මෘති කර්‍මස්ථානය වඩන්නේ යයි ද කියනු ලැබේ.
(2) තවද මහානාමයෙනි, අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපශ්‍ය විධියට නිසි ය, උපනයනාර්‍හය, විඥයන් විසින් තමන් කෙරෙහි එළවා දතයුතු”ය යි ධර්‍මය සිහි කෙරෙයි. මහානාමයෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යම් කලෙක ධර්‍මය සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ධර්‍මය ඇරැබ ඍජුගත මැ වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. පෙළදම් හා අරුත් නිසා උපන් ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට (පඤ්චවිධ) ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියෙන් යුත් සිතැතියහුගේ (උභය) කායය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුඛය විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධියට යෙයි. මහානාමයෙනි, මේ අරීසවු (රාග ද්වේෂ මෝහයෙන්) විෂමත්‍වයට ගිය සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි සමත්‍වයට පැමිණියේ වෙසේ යයි ද, දුක් සහිත ප්‍රජායෙහි නිදුක් වූයේ වෙසේ යයි ද, විදර්‍ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතසට පැමිණියේ ධර්‍මානුස්මෘතිය වඩන්නේ ය යි ද කියනු ලැබේ.
(3) තවද මහානාමයෙනි, අරීසවු “භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ සුප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ ඍජුප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ න්‍යායප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ සාමීචිප්‍රතිපන්න ය. යම් ඒ සතර පුරුෂ යුග්ම කෙනෙක්, අෂ්ටාර්‍ය්‍ය පුරුෂ පුද්ගල කෙනෙක් වෙත් නම්, භාග්‍යවත්හුගේ තෙල ශ්‍රාවක සඞ්ඝ ආහුනාර්‍හ වෙයි. ප්‍රාඝුණාර්‍හ වෙයි. දක්‍ෂිණාර්‍හ වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ”ය යි සඟුන් සිහිකෙරෙයි. මහානාමයෙනි, යම් කලෙක්හි අරීසවු සඞ්ඝයා සිහිකෙරේ නම්, ඔහට එකල්හි රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ සිත සඞ්ඝයා ඇරැබ ඍජුගත මැ වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් අරීසවු අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇත්තහුගේ චිත්තය සමාධිගත වෙයි. මහානාමයෙනි, මෙ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වාස කෙරේ යයි ද, සව්‍යාබාධප්‍රජායෙහි අව්‍යාබාධ ඇතිව වාස කෙරේ යයි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ සඞ්ඝානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.
(4) තවද මහානාමයෙනි, අරීසවු අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ තෘෂ්ණාදාසත්‍වයෙන් නිදහස් වූ විඥ ප්‍රශස්ත වූ තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් පරාමෘෂ්ට නො වූ සමාධියට හිතව වැටෙන තමාගේ ශීලයන් සිහිකරයි. මහානාමයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා ශීලය සිහිකෙරේ නම්, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එකල්හි ඔහුගේ චිත්තය ශීලය ඇරැබ ඍජුගත මැ වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්ත ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියෙන් යුත් සිත් ඇතියහුගේ කය සංහිඳෙන්නේ ය. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධියට වැටෙයි. මහානාමයෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වාස කෙරේ යයි ද, සව්‍යාබාධ ප්‍රජායෙහි අව්‍යාබාධව වාසය කෙරේ ය යි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ශීලානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.
(5) තවද මහානාමයෙනි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙක, යම්බඳු මම මාත්සර්‍ය්‍ය මලයෙන් පර්‍ය්‍යුත්‍ථිත ප්‍රජායෙහි විගත මල මාත්සර්‍ය්‍ය සිතින්, වුහුටු වත්හි බැලුම් නැතියෙම්, පවිත්‍ර අත් ඇතියෙම්, දීමෙහි ඇලුනෙම්, යැදුමට නිස්සෙම්, දානසංවිභාගයෙහි ඇලුනෙම්, ගෙහි වෙසෙමි. (එය) මට ඒකාන්තයෙන් සුලබ්ධය”යි තමාගේ ත්‍යාගය සිහි කරයි. මහානාමයෙනි, යම් කලෙක අරීසවු ත්‍යාගය සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එකල්හි ඔහුගේ සිත ත්‍යාගය ඇරැඹ ඍජුගත ම වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්තය ඇති අරීසවු අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියෙන් යුත් සිත් ඇතියහුගේ කය සන්හිඳෙන්නේ ය. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධිගත වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වාස කෙරේ යයි ද, සව්‍යාබාධ ප්‍රජායෙහි අව්‍යාබාධව වෙසේ යයි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ත්‍යාගානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.
(6) තවද මහානාමයෙනි, අරීසවු “සිවුමහරද වැසි දෙවියෝ ඇත. තවුතිසා වැසි දෙවියෝ ඇත. යාම දෙවියෝ ඇත. තුසිත දෙවියෝ ඇත. නිර්‍මාණරතී දෙවියෝ ඇත. පරනිර්මිත වශවර්ති දෙවියෝ ඇත. බ්‍රහ්මකායික දෙවියෝ ඇත. ඔවුනට මත්තෙහි දෙවියෝ ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත එ දෙවියෝ එහි මින් සැවගොස් උපන්හු නම්, මටද එබඳු ශ්‍රද්ධා ඇත. යම්බඳු ශීලයෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මේ අත්බැවින් ච්‍යුතව එහි උපන්හු නම්, මට ද එබඳු ශීලය විද්‍යමාන වෙයි. යම්බඳු ශ්‍රැතයෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්හු නම්, මට ද එබඳු ශ්‍රැතයෙක් ඇත. යම්බඳු ත්‍යාගයකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්හු නම්, මට ද එබඳු ත්‍යාගය ඇත. යම්බඳු ප්‍රඥායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්හු නම්, මට ද එබඳු ප්‍රඥාව ඇතැ”යි දේවතානුස්මෘතිය වඩන්නේ ය. මහානාමයෙනි, යම් කලෙක අරීසවු තමා ගේ ද ඒ දෙවියන් ගේ ද ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහිකෙරේ නම්, එ කල්හි ඔහට රාග පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නොවන්නේ ය. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නොවන්නේ ය. දේවතානුස්මෘතිය ඇරැබ එසමයෙහි ඔහුගේ සිත ඍජුගතම වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්ත ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයා අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රමෝදය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහානාමයෙනි, මෙ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වෙසේ යයි ද, සව්‍යාබාධ ප්‍රජායෙහි අව්‍යාබාධව වෙසේ යයි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ දේවතානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.
මහානාමයෙනි, යම්බඳු ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් ආගත ආර්‍ය්‍යඵල ඇතියේ විඥාත ශාසන ඇතියේ වේ නම්, හේ මේ විහාරයෙන් බහුල කොට වාස කෙරේ යයි.
මහානාම සූත්‍රය දසවැනි යි.
ප්‍රථම ආහුනෙය්‍ය වර්‍ගය යි.
එහි උද්දානය:
ආහුනෙය්‍ය සූත්‍ර දෙකය, ඉන්‍ද්‍රිය සූත්‍රය, බල සූත්‍රය, ආජානීය සූත්‍ර තුණය, අනුත්තරිය සූත්‍රය, අනුස්සති සූත්‍රය, මහානාම සූත්‍රය සමග ඒ සූත්‍ර දශයෙකි.
2. සාරාණීය වර්‍ගය
6. 1. 2. 1.
[පඨමසාරාණීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මෙ සාරාණීය (සිහිකටයුතු) ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණහට මෛත්‍රියෙන් යුත් කාය කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
(2) තවද මහණෙනි, භික්‍ෂුහට මෛත්‍රියෙන් යුත් වාක් කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
(3) තවද මහණෙනි, භික්‍ෂුහට මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
(4) තවද මහණෙනි, මහණ දැහැමි වූ ධර්‍මයෙන් ලබනලද යටත් පිරිසෙයින් පාත්‍රපර්‍ය්‍යාපන්න (භික්‍ෂා) මාත්‍ර වූ ද යම්ම ලාභ කෙනෙක් වෙත් නම්, එබඳු සිවුපසලාභයෙන් වෙන වෙන (මෙපමණ දෙමි - මොහුට දෙමි - ආදීන් සිතින්) නො බෙදුවා (සමසේ බෙදා) වළඳන සුලුව, සිල්වත් සබ්‍රම්සරුන් හා සමග සාධාරණ කොට වළඳන සුලුයේ වෙයි. මෙ ද සාරාණීය ධර්‍මයෙකි.
(5) තවද මහණෙනි, මහණ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධිය සඳහා වැටෙන යම්බඳු වූ ශීලයෝ වෙත් නම්, එබඳු ශීලයෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් ශීලසාමාන්‍යයට (ශීලයෙන් සමබවට) ගියේ වාසය කෙරෙයි. මෙ ද සාරාණීය ධර්‍මයෙකි.
(6) තවද මහණෙනි, මහණ නෛර්‍ය්‍යාණික වූ යම්ම ආර්‍ය්‍ය දෘෂ්ටියෙක් එ වූ පරිදි කරන පුද්ගලයාගේ මොනවට දුඃඛක්‍ෂයය පිණිස යේ නම්, එ බඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් දෘෂ්ටි සාමාන්‍යයට ගියේ වාස කෙරෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
මහණෙනි, මේ සාරාණීයධර්‍ම සයයි.
6. 1. 2. 2.
[දුතියසාරණීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, සබ්‍රම්සරුනට ප්‍රිය කරණ ගරු කරණ, සඞ්ග්‍රහ සඳහා අවිවාද සඳහා සමගි බැව් සඳහා ඒකීභාවය සඳහා පවත්නා මේ සාරාණීය ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහුගේ මෛත්‍රියෙන් යුත් කාය කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් එළඹ සිටියේ වෙයි. සබ්‍රම්සරුන්ට ප්‍රිය කරණ ගරු කරණ, මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍ර පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, ඒකීභාවය පිණිස වැටෙයි.
(2) තවද මහණෙනි, භික්‍ෂුහුගේ මෛත්‍රියෙන් යුත් වාක්කර්‍මය ... එළඹ සිටියේ වෙයි ...
(3) [තවද මහණෙනි, භික්‍ෂුහුගේ] මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, ඒකී භාවය පිණිස වැටෙයි.
(4) තවද මහණෙනි, මහණ දැහැමි වූ ධර්‍මයෙන් ලද යටත් පිරිසෙයින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍ර වූ ද යම් ඒ ලාභයෝ වෙත් නම්, එබඳු ලාභයෙන් අප්‍රතිවිභක්තභෝගී වෙයි, සිල්වත් සබ්‍රම්සරුන් හා සාධාරණ භෝගී වෙයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකී භාවය පිණිස වැටෙයි.
(5) තවද මහණෙනි, මහණ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධියට වැටෙන යම් ඒ ශීලයෝ වෙත් නම් එබඳු මාර්‍ගශීලයෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි හා නො හමුයෙහි හා ශීලසාම්‍යයට ගියේ වසයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහය පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකී භාවය පිණිස වැටෙයි.
(6) තවද මහණෙනි, මහණ නෛර්‍ය්‍යාණික වූ යම් ඒ ආර්‍ය්‍ය දෘෂ්ටියෙක් එය කරණුවහට මනාකොට දුඃඛක්‍ෂය පිණිස යේ නම්, එබඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි හා නො හමුයෙහි හා දෘෂ්ටිසාම්‍යයට ගියේ වසයි. ප්‍රියකරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකීභාවය පිණිස වැටෙයි.
මහණෙනි, ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍ම සදෙන සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකීභාවය පිණිස වැටෙත් යයි.
6. 1. 2. 3.
[නිස්සාරණීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, මෙ නිස්සාරණීය ධාතු සයෙකි. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් (ත්‍රීකචතුෂ්ක ධ්‍යානික) මෛත්‍රී චිත්තවිමුක්තිය භාවිත ය. පුන පුනා කරණලදු. යුක්තයානසදෘශ කරණලදු. පිහිට කරණලදු. ඉටනලදු. පුරුදුකරණලදු. මොනොවට ප්‍රගුණ කරණ ලදු. එතෙකුදු වුව ව්‍යාපාදය මාගේ චිත්තය වටාගෙණ සිටුනේය”යි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කියැයුතු වන්නේ ය. “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන කරණු නොමනා ය. ඇවැත්නි, මෛත්‍රී චිත්තවිමුක්ති භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු ව්‍යාපාදය ඔහුගේ සිත මැඩගෙණැ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල කරුණ අස්ථාන ය, වන්නට අවකාශ නැත, මෙ කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම්බඳු මේ මෛත්‍රී චේතෝ විමුක්තියෙක් වේ නම්, තෙල කරුණ ව්‍යාපාදයාගේ ම නිස්සරණ යි.”
(2) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් කරුණා චේතෝ විමුක්තිය වඩනලදු, නැවත නැවත කරණලදු, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදුවත් මාගේ සිත විහෙසා තෙමෝ වටාගෙණ සිටුනීය”යි මෙසේ කියා නම්, හේ “ඇවැත්නි, නහමක් එසේ කියව”යි මෙසේ කිවයුතු වන්නේ ය. “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යඛ්‍යාන කරණු නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො කියන්නාහ. ඇවැත්නි, කරුණාචේතෝවිමුත්තිය භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු විහෙසා තොමෝ ඔහුගේ සිත මැඩගෙණ සිටුනීය යන තෙල කරුණ නො වෙයි. අනවකාශ ය. තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ කරුණාචේතෝ විමුත්තියෙක් වේ නම්, තෙල විහෙසාවගේ නිස්සරණය මැ”යි.
(3) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් මුදිතා චේතෝවිමුත්තිය භාවිත ය, බහුලීකෘත්‍ය ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදුවුව අරතිය මාගේ චිත්තය වටාගෙණ සිටුනී ය”යි මෙසේ කියා නම්, හේ “නහමක් එසේ කියව”යි කියයුතු වන්නේ ය: “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මනා ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොම වදාරන්නාහ. ඇවැත්නි, මුදිතා චේතෝවිමුත්තිය භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු අරතිය ඔහුගේ සිත වටා ගෙණ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල කරුණ අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ මුදිතා චේතෝ විමුක්තියෙක් වේ නම් තෙල අරතිහුගේ නිඃසරණය මැ”යි.
(4) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් උපේක්‍ෂා වේතොවිමුක්තිය භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදු වුව රාගය මාගේ චිත්තය වටාගෙණ සිටුනේ ය”යි මෙසේ කියා නම්, හේ නහමක් එසේ කියවයි කිවයුතු වන්නේ ය. “ආයුෂ්මත්, නහමක් එසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අබිබවා කියව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නොමනා ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ. ඇවැත්නි, උපේක්‍ෂා චේතෝවිමුක්තිය වඩත්ම බහුලකරත්ම යුක්තයානයක් මෙන් කරත්ම පිහිට කරත්ම අධිෂ්ඨිතවත්ම පරිචිතවත්ම මොනොවට ප්‍රගුණ කරත්ම වැලිත් රාගය ඔහුගේ චිත්තය වටාගෙණ සිටුනේ ය යන යමක් වේ නම් තෙල කරුණ අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ උපේක්‍ෂා චේතෝවිමුක්තියෙක් වේ නම්, තෙල රාගයාගේ මැ නිඃසරණ වේ ය”යි.
(5) මහණෙනි, මෙ සස්නෙහි මහණ “(බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) අනිමිත්ත චේතෝවිමුක්තිය මා විසින් භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අධිෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදු වුව මාගේ විඥානය (රාගාදි) නිමිත්තානුසාරී ම වේ ය”යි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත් නහමක් එසේ කියව, භාග්‍යවත්හට නහමක් අභ්‍යාඛ්‍යාන කියව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නොමනා ය. භාග්‍යවත්හු මෙසේ නො ම වදාරන්නාහ. ඇවැත්නි, අනිමිත්ත චේතෝවිමුත්තිය භාවිත වුව බහුලීකෘත වුව වස්තුකෘත වුව අධිෂ්ඨිත වුව පරිචිත වුව සුසමාරබ්ධ වුව, ඔහුගේ විඥානය නිමිත්තානුසාරීම වේ යන යමෙක් වේ නම් තෙල අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම්බඳු මේ අනිමිත්ත චේතෝවිමුත්තියෙක් වේ නම්, තෙල සර්‍ව නිමිත්තයන්ගේ ම නිඃසරණය වේ ය”යි.
(6) මහණෙනි, මෙ සස්නෙහි මහණ මට ‘මම් වෙමි’ යන මානය දුරුවිය. ‘මෙ මම් වෙමි’ යන්න ද නො දක්මි. එතෙකුදු වුව විචිකිච්ඡා සඞ්ඛ්‍යාත කථංකථාශල්‍යය මාගේ චිත්තය වටාගෙණ සිටුනේ යයි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කියයුතු වන්නේ ය: “ආයුෂ්මත් නහමක් එසේ කියව, භාග්‍යවත්හට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවත්හට අභ්‍යාඛ්‍යානය නො මනා ය. භාග්‍යවත්හු මෙසේ නො ම වදාරන්නාහ. ඇවැත්නි, ‘මම වෙමි’ යන මානය දුරුවුව ද විචිකිච්ඡා කථංකථාශල්‍යය ‘මෙ මම් වෙමි’ යන්න නොදක්නහුගේ පවා චිත්තය වටාගෙණ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල අස්ථාන යි, වන්නට අනවකාශ යි, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, අස්මි යන මාන සමුද්ඝාත (අර්‍හන්මාර්‍ග) ය යන යමක් වේ නම්, තෙල විචිකිච්ඡා කථංකථාශල්‍යයාගේ ම නිඃසරණ ය”යි.
මහණෙනි, මෙ නිස්සාරණීය ධර්‍ම සය යි.
6. 1. 2. 4.
[භද්දක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ “ඇවැත් මහණෙනි”යි මහණුන් ඇමතූහ. “ඇවැත්නි”යි එ භික්‍ෂූහු ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ තෙල කරුණ දෙසූහ:
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඒ මහණහුට භද්‍ර වූ මරණයෙක් නො වේ නම්, භද්‍ර වූ කාලක්‍රියායෙක් නො වේ නම්, මහණ එ එ පරිද්දෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, යම් යම් මැ පරිද්දෙකින් වාස කරණ එ මහණහුට භද්‍ර මරණයෙක් නො වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් නො වේ නම්, මහණ ඒ ඒ පරිදියෙන් කෙසේ වෙසේය යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාම වූයේ කර්‍මනිරත වූයේ කර්‍මාරාමත්‍වයෙහි පුන පුනා යෙදුනේ (ග්‍රන්‍ථධුරාදියෙහි නොයෙදුනේ) වෙයි. භාෂ්‍යාරාම (දොඩමලු බවෙහි ඇලුම්) ඇතියේ භාෂ්‍යයෙහි නිරත වූයේ භාෂ්‍යාරාමත්‍වයෙහි නැවැත නැවැත යෙදුනේ වෙයි. නිද්‍රාරාම වූයේ නිද්‍රායෙහි නිරත වූයේ නිද්‍රාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි. ගණසඞ්ගණිකාරාම වූයේ ගණසඞ්ගණිකායේහි නිරත වූයේ සඞ්ගණිකාරාමත්‍වයෙහි (පිරිස් පිරිවරා ගැණීමෙහි) අනුයුක්ත වූයේ වෙයි. සංසර්‍ගාරාම (ගිහියන් හා හැනී විසීමෙහි ආසා) ඇතියේ සංසර්‍ගයෙහි නිරත වූයේ සංසර්‍ගාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි. (තණ්හා මාන දිට්ඨි යන) ක්ලේශ ප්‍රපඤ්චාරාම වූයේ ප්‍රපඤ්චයෙහි නිරත වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට භද්‍ර මරණයෙක් නොවේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් නොවේ නම්, මෙලෙසින් මහණ එ එ පරිද්දෙන් වාසය කෙරෙයි. ඇවැත්නි, මෙ මහණ (තෙබුමුවට නමැති) සත්කායයෙහි අභිරත වූයේ මනාහේතුයෙන් වෘත්තදුඃඛයාගේ අන්තකරණය පිණිස සත්කායය නො හළේ යයි කියනු ලැබේ.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහුට භද්‍ර මරණයෙක් වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් වේ නම්, මහණ එ එ පරිදියෙන් විහාර කරයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහුට භද්‍ර මරණයෙක් භද්‍ර කාලක්‍රියායෙක් වේ නම් මහණ කෙසේ නම් එ එ පරිදියෙන් වෙසේය යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාම නැතියේ කර්‍මයෙහි නිරත නො වූයේ කර්‍මාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. භාෂ්‍යාරාම නැතියේ භාෂ්‍යරත නො වූයේ භාෂ්‍යාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. නිද්‍රාරාම නැතියේ නිද්‍රාරත නොවූයේ නිද්‍රාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. සඞ්ගණිකාරාම නොවූයේ සඞ්ගණිකාරත නො වූයේ සඞ්ගණිකාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි. සංසර්‍ගාරාම නො වූයේ සංසර්‍ගරත නො වූයේ සංසර්‍ගාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි. ප්‍රපඤ්චාරාම නො වූයේ ප්‍රපඤ්චරත නො වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි.
ඇවැත්නි, මෙසේ මහණ යම් යම් පරිද්දෙකින් වාස කරණ ඔහුට භද්‍ර මරණ වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් වේ නම්, ඒ ඒ පරිද්දෙන් වාසය කෙරේ. ඇවැත්නි, මෙ මහණ නිර්‍වාණයෙහි අභිරත වූයේ මනා හේතුයෙන් වෘත්ත දුඃඛක්‍ෂය කරණු සඳහා සත්කාය හළේ යයි කියනු ලැබේ.
1. නුවණ නැති යමෙක් ප්‍රපඤ්චයෙහි අනුයුක්ත වූයේ ප්‍රපඤ්චයෙහි අභිරති ඇතියේ වේ නම්, හේ යෝගක්‍ෂේම නම් අනුත්තර නිර්‍වාණය නො ඇරැයී.
2. යමෙකුගේ ප්‍රපඤ්චය දුරලා නිෂ්ප්‍රපඤ්ච (නිර්‍වාණ) පදයෙහි රැඳුනේ වේ ද, හේ යෝගක්‍ෂේම නම් වූ අනුත්තර නිර්‍වාණය ඇරැයී.
6. 1. 2. 5.
[අනුතප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, යම් යම් වැ පරිද්දෙකින් වාස කරණ ඔහට කාලක්‍රියාව අනුශොචනා කටයුතු වේ නම්, මහණ ඒ ඒ පරිද්දෙන් වාස කරන්නේ ය.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාස කරණ ඔහට කාලක්‍රියාව අනුතාප කෙරේ නම්, කෙසේ මහණ ඒ ඒ පරිද්දෙන් වාස කෙරේය යත්:
ඇවැත්නි, මේ සස්නෙහි මහණ කර්‍මාරාම වූයේ කර්‍මයෙහි අභිරත වූයේ කර්‍මාරාමත්‍වයෙහි යෙදුනේ වෙයි. භාෂ්‍යාරාම ඇතියේ ... වෙයි. නිද්‍රාරාමතා ඇතියේ ... සඞ්ගණිකාරාමතා ඇතියේ ... සංසර්‍ගාරාමතා ඇතියේ ... වෙයි. ප්‍රපඤ්චාරාමතා ඇතියේ ප්‍රපඤ්චරත වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි යෙදුනේ වෙයි ...
ඇවැත්නි, මහණ මෙ සෙයින් යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාප කටයුතු වේ නම්, ඒ ඒ පරිදියෙන් විහරණ කරන්නේ ය. ඇවැත්නි, සත්කායයෙහි අභිරත මෙ මහණ මනා හේතුයෙන් වෘත්තදුඃඛයාගේ ක්‍ෂය කිරීම සඳහා සත්කාය ප්‍රහීණ නො කෙළේ ය යි කියනු ලැබේ.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාපකර නො වේ නම්, භික්‍ෂු ඒ ඒ පරිද්දෙන් වාස කරන්නේ ය.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාපකර නො වේ නම්, මහණ කෙසෙයින් එ එ පරිද්දෙන් වාස කරන්නේය යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාමතා නැතියේ කර්‍මරත නො වූයේ කර්‍මාරාමතායෙහි අනුයුක්ත නො වෙයි ... භාෂ්‍යාරාම නො වෙයි ... නිද්‍රාරාම නො වෙයි ... සඞ්ගණිකාරාම නො වෙයි ... සංසර්‍ගාරාම නො වෙයි ... ප්‍රපඤ්චාරාම නො වූයේ ප්‍රපඤ්ච රත නො වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි.
ඇවැත්නි, යම් යම් අයුරෙකින් වෙසෙන ඔහට කාලක්‍රියාව අනුතාප නො වේ නම්, භික්‍ෂු මෙ සෙයින් එ එ පරිදි වාසය කරන්නේ ය. ඇවැත්නි, නිර්‍වාණයෙහි අභිරත වූ මෙ මහණ මැනැවින් දුඃඛක්‍ෂය කරනු සඳහා සත්කාය ය ප්‍රහීණ කෙළේ යයි කියනු ලැබේ.
3. යමෙක් මෘග සදෘශ වූයේ ප්‍රපඤ්චයෙහි අනුයුක්ත වූයේ වේ නම්, අනුත්තර යෝගක්‍ෂේම නිර්‍වාණය වැරැදැ විය.
4. යමෙක් ප්‍රපඤ්චය හැරදමා නිෂ්ප්‍රපඤ්ච (නිර්‍වාණ) පදයෙහි ඇලුනේ ද, හේ අනුත්තර යෝගක්‍ෂේම නිර්‍වාණ පදය ඇරැයී යයි.
6. 1. 2. 6.
[නකුලපිතු සූත්‍රය]
16. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර නගරය සමීපයෙහි භෙසකලාවන නම් මෘගදාවයෙහි වැඩ වසන සේක. එ කල්හි නකුල පිතෘ ගෘහපති රෝගී වූයේ හටගත් දුක් ඇතියේ දළ ගිලන්බව ඇතියේ වෙයි. එක්බිති නකුල මාතෘ ගැහැවිදූ නකුල පිතෘගෘහපතිහට තෙල කරුණ සැළකළා ය:
(1) ගෘහපතියෙනි, මුඹ සාපේක්‍ෂව (තෘෂ්ණාසහිතව) නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂහට කලුරිය කිරීම දුක් වෙයි. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු ය. ගෘහපතියෙනි, “මාගේ ඇවෑමෙන් නකුලමාතෘ ගෙහි දරුවන් පුස්නට ගෘහවාසය පවත්වනුවට නො හැකිවන්නීය” යන මෙබඳු සිතෙක් මුඹට වනු හැකි. ගෘහපතියෙනි, තෙල කරුණ එසෙයින් නො දැක්ක යුතු. ගෘහපතියෙනි, මම කපු කටිනට, එළු ලොම් වෙළු නෙළනට කුසලයෙමි. ගෘහපතියෙනි, මුබගේ ඇවෑමෙන් මම දරුවන් පුස්නට හා ගෘහවාසය පවත්වනුවට පොහොසත්මි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු ය.