[අනුකම්පක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගිහියනට අනුකම්පා කෙරෙයි. කවර පසෙකින් යත්:
අධිසීලයෙහි සමාදන් කරවයි. චතුස්සත්‍යධර්‍මදර්‍ශනයෙහි යොදවයි. ගිලනුන් වෙත එළඹ “ඇවැත්නි, හැම සත්කාරයට නිසි තුණුරුවන් විසාහි ගිය ස්මෘතිය එළවා ගණුව” යි සිහි උපදවයි. මහබික්සඟහු එළඹියාහු වෙති. (ඔහු) නොයෙක් රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. එ ආවාසික මහණ ගිහියන් වෙත ගොස් (මෙසේ) දන්වාලයි. “ඇවැත්නි, මහබික්සඟහු එළඹියාහ. (ඔහු) නා නා රාජ්‍යයනට අයත් භික්‍ෂුහු වෙති. දැන් පින් කරණට කලැ” යි (කියායි.) ඕහට රූක්‍ෂ වේවයි ප්‍රණීත වේවයි යම් ම භෝජනයක් දෙත් නම්, එය තෙමේ වළඳයි, ශ්‍රද්ධාදෙයය විනිපාත නො කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ ගිහිනට අනුකම්පා කෙරේ යයි.
5. 5. 4. 6.
[ප්‍රථම අවණ්ණාරහ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරෑහි වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස (නොදැන) නුගුණ කියයුත්තාට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කිය යුත්තාහට නුගුණ කියයි. නො පිරික්සා නො පිවිස නො පැහැදියයුතු තැන්හි ප්‍රසාදය උපදවයි. නො පිරික්සා නො පිවිස පැහැදිය යුතු තැන්හි අප්‍රසාදය උපදවයි. සද්ධාදෙය්‍යය විනිපාතන කෙරෙයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ නිරයෙහි සිටුනේයි.
මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ (හිසින්) ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
විමසා පිවිස නුගුණ කියයුත්තාහට නුගුණ කියයි. විමසා පිවිස ගුණ කියයුත්තාහට ගුණ කියයි. විමසා පිවිස නො පැහැදියයුතු තැන්හි අප්‍රසාදය උපදවයි. විමසා පිවිස පැහැදියයුතු තැන්හි ප්‍රසාදය උපදවයි. සද්ධාදෙය්‍යය විනිපාතන නො කෙරෙයි.
මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි.
5. 5. 4. 7.
[ද්විතීය අවණ්ණාරහ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස නුගුණ කියයුත්තාහට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කියයුත්තාහට නුගුණ කියයි. ආවාසමච්ඡරිය ඇත්තේ ආවාසගේධය (ගිජුබව) ඇත්තේ වෙයි. කුලමච්ඡරිය ඇත්තේ කුලගෙධය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කරන්නේ වෙයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
විමසා පිවිස (දැන) අගුණ කියයුත්තහුගේ අගුණ කිය යි, විමසා පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියයි, ආවාසමච්ඡරිය ආවාසගේධය ඇත්තේ නො වේ, කුලමච්ඡරිය කුලගෙධය ඇත්තේ නො වේ. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරේ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ යයි.
5. 5. 4. 8.
[තෘතීය අවණ්ණාරහ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස අගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, නො විමසා නො පිවිස ගුණ කියයුත්තහුගේ අගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ වේ ද, කුලමච්ඡරිය ඇත්තේ වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ වේ ද,
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
විමසා පිවිස අගුණ කියයුත්තහුගේ අගුණ කියාද, විමසා, පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ නො වේ ද, කුලමච්ඡරිය ඇත්තේ නො වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ නො වේ ද,
මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ යයි.
5. 5. 4. 9.
[ප්‍රථම මච්ඡරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මෙ දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි , ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාදෙයය නසන්නේ වේ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.
මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය නැත්තේ වෙයි, කුලමච්ඡරිය නැත්තේ වෙයි, ලාභමච්ඡරිය නැත්තේ වෙයි, වණ්ණමච්ඡරිය නැත්තේ වෙයි, ශ්‍රද්ධාදෙයය නො නසන්නේ වෙයි.
මහණෙනි, මේ දහම්පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ ය යි.
5. 5. 4. 10.
[ද්වීතිය මච්ඡරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි, ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි, ධම්මමච්ඡරිය ඇත්තේ වෙයි.
මහණෙනි, මෙ පස්දහමින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය නැත්තේ වෙයි. කුලමච්ඡරිය නැත්තේ වෙයි, ලාභමච්ඡරිය නැත්තේ වෙයි, වණ්ණමච්ඡරිය නැත්තේ වෙයි, ධම්මමච්ඡරිය නැත්තේ වේ.
මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ යයි.
ආවාසික වර්‍ගය සතර වැනි යි.
එහි උද්දානය:
අභාවනීය සූත්‍ර ය, පිය සූත්‍ර ය, සෝභන සූත්‍ර ය, බහූපකාර සූත්‍ර ය, අනුකම්පක සූත්‍ර ය, යථාභතං ආදි කොට ඇති අවණ්ණාරභ සූත්‍ර තුන ය, මච්ඡරිය සූත්‍ර දෙක යයි සූත්‍ර දසයෙකි.
5. දුච්චරිත වර්‍ගය
5. 5. 5. 1.
[දුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමාට උපවාද කෙරෙයි, විඥයෝ දැන ගරහති, ලාමක කීර්තිශබ්දය උස්ව නැඟෙයි, මුළා වූයේ කලුරිය කෙරෙයි, කාබුන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසයි.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. විඥයෝ දැන පසසති. කල්‍යාණ කීර්තිශබ්දය උස්ව නැඟෙයි. නුමුළා වූයේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසයි.
5. 5. 5. 2.
[කාය දුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, කායදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි …]
මහණෙනි, කායසුචරිතයෙහි මේ අනුසස් පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
5. 5. 5. 3.
[වචීදුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
43. මහණෙනි, වාග්දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි … [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
මහණෙනි, වාග්සුචරිතයෙහි මේ අනුසස් පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
5. 5. 5. 4.
[මනෝදුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, මනෝදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි … [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි, නුවණැත්තෝ දැන පසසති. කල්‍යාණ කීර්තිශබ්දය උස්ව නැගෙයි. නො මුළාව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසයි.
5. 5. 5. 5.
[අපර දුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, දුශ්චරිතයෙහි ආදීනව පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද කෙරෙයි. නුවණැත්තෝ දැන ගරහති. ලාමක කීර්තිශබ්දය උස්ව නැඟෙයි. (දශකුශලකර්‍මපථ සඞ්ඛ්‍යාත) සද්ධර්‍මයෙන් විගතව සිටියි. (දශඅකුශලකර්‍මපථ සඞ්ඛ්‍යාත) අසද්ධර්‍මයෙහි පිහිටයි.
මහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසයි.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. විඥයෝ දැන පසසති. කල්‍යාණ කීර්තිශබ්දය නැගේ. අසද්ධර්‍මයෙන් විගතව සිටියි. සද්ධර්‍මයෙහි පිහිටයි.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පස යි.
5. 5. 5. 6.
[අපරකායදුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, කායදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි …]
මහණෙනි, කායසුචරිතයෙහි මේ ආනිසංස පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
5. 5. 5. 7.
[අපරවචීදුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, වාග්දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි .... [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
මහණෙනි, වාක්සුචරිතයෙහි මේ ආනිසංස පසෙකි ... [තෙමේත් තමහට උපවාද නොකෙරෙයි ...]
5. 5. 5. 8.