2. 1. 3. 4.
24. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්. කවර දෙදෙන යත්: යමෙක් එළවා කිය යුතු අර්‍ත්‍ථය ඇති සූත්‍රාන්තය හෙළි කළ අරුත් ඇති සූත්‍රාන්තය යි දක්වා ද, යමෙකුත් හෙළි කළ අරුත් ඇති සූත්‍රාන්තය එළවා කිය යුතු අරුත් ඇති සූත්‍රාන්තය යි දක්වා ද (යන මේ දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්.
2. 1. 3. 5.
25. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන නො කෙරෙත්. කවර දෙදෙන යත්: යමෙක් එළවා කිය යුතු අරුත් ඇති සූත්‍රාන්තය එළවා කිය යුතු අරුත් ඇති සූත්‍රාන්තය යි දක්වා ද, යමෙකුත් හෙළි කළ අරුත් ඇති සූත්‍රාන්තය හෙළි කළ අරුත් ඇති සූත්‍රාන්තය යි දක්වා ද, (යන මේ දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන නො කෙරෙත්.
2. 1. 3. 6.
26. මහණෙනි, පිළිසන්කමත්හට (පව්කම් ඇත්තහුට) නිරය හෝ තිරිසන් යෝනිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.
2. 1. 3. 7.
27. මහණෙනි, නො පිළිසන් කමත්හට දේවගතිය හෝ මනුෂ්‍යගතිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.
2. 1. 3. 8.
28. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකයාට නිරය හෝ තිරිසන් යෝනිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.
2. 1. 3. 9.
29. මහණෙනි, සම්‍යක්දෘෂ‍්ටිකයාට දේවගතිය හෝ මනුෂ්‍යගතිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.
2. 1. 3. 10.
30. මහණෙනි, දුශ්ශීලයාගේ පිළිගාවෝ (ප්‍රතිග්‍රාහකයෝ) දෙදෙනෙකි. නිරය හෝ තිරිසන් යෝනිය හෝ යි. මහණෙනි, සිල්වත්හුගේ පිළිගාවෝ දෙදෙනෙකි. දෙවියෝ හෝ මනුෂ්‍යයෝ හෝ යි.
2. 1. 3. 11.
31. මහණෙනි, මම කරුණු දෙකක් දක්නෙම් අරන් ද, වනපෙත් ද, ගැඹුරු වල් ද යන සෙනසුන් සේවනය කරමි. කවර දෙකෙක යත්: තමන්හට ඉහාත්මසුඛවිහරණය දක්නෙම් හෝ පශ්චිමජනතාවට අනුකම්පා කරන්නෙම් හෝ යි මහණෙනි, මම මේ කරුණු දෙක දක්නෙම් අරන් ද, වනපෙත් ද, ගැඹුරු වල් ද යන සෙනසුන් සේවනය කරමි.
2. 1. 3. 12.
32. මහණෙනි, මේ විද්‍යාභාගීය ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශමථය හා විදර්‍ශනාව හා යන දෙදෙනායි. මහණෙනි, ශමථය වඩන ලද්දේ කිනම් අර්‍ත්‍ථයක් සපයා ද? මාර්‍ගචිත්තය වැඩෙයි. වැඩුනු සිත කිනම් අර්‍ත්‍ථයක් සපයා ද?යම් රාගයෙක් වේ නම්, එය පැහෙයි (ප්‍රහීණ වේ.) මහණෙනි, විදර්‍ශනාව වඩන ලද්දී කිනම් අර්‍ත්‍ථයක් සපයා ද? මාර්‍ගප්‍රඥාව වැඩෙයි. වැඩුනු ප්‍රඥාව කිනම් අර්‍ත්‍ථයක් සපයා ද? යම් අවිද්‍යායෙක් වේ නම් එය පැහෙයි. මහණෙනි, රාගයෙන් කිලිටි වූ සිත නො මිදෙයි. අවිද්‍යායෙන් කිලිටි වූ ප්‍රඥාව නො වැඩෙයි. මහණෙනි, මෙසේ වනාහි රාගයාගේ ක්‍ෂයවිරාගයෙන් (ඵලසමාධිසඞ්ඛ්‍යාත) චිත්තවිමුක‍්තිය වේ. අවිද්‍යාවගේ ක්‍ෂයවිරාගයෙන් (ඵලප්‍රඥාසඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය වේ.
බාල වග තෙවැනි යි.
4. සමචිත්ත වර්‍ගය
2. 1. 4. 1.
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, තොපට අසත්පුරුෂ භූමිය හා සත්පුරුෂ භූමිය දෙසමි. එය අසව, මනාකොට මෙනෙහි කරව. කියමි (වදාළහ.) වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, අසත්පුරුෂ භූමිය කවර? මහණෙනි, අසත්පුරුෂ තෙමේ අකෘතඥ වෙයි, කෙළෙහිගුණ පාළකොට නො දන්නේ ද වෙයි. මහණෙනි, යම් මේ අකෘතඥ බවෙක් වේ ද, අකෘතවේදී බවෙක් වේ ද, මෙය අසත්පුරුෂයන් විසින් ම පසස්නා ලදී. මහණෙනි, යම් අකෘතඥ බවෙක් අකෘතවේදී බවෙක් වේ ද, මේ සම්පූර්‍ණ අසත්පුරුෂ භූමිය වෙයි.
මහණෙනි, සත්පුරුෂ භූමිය කවර? මහණෙනි, සත්පුරුෂ තෙමේ කෘතඥ වූයේ කෘතවේදී වූයේ වේ. මහණෙනි, තෙල කෘතඥ බවෙක් කෘතවේදී බවෙක් වේ ද, මෙය සත්පුරුෂයන් විසින් ම පසස්නා ලදී. මහණෙනි, තෙල කෘතඥ බවෙක් කෘතවේදී බවෙක් වේ ද, මේ සම්පූර්‍ණ සත්පුරුෂ භූමිය මැයි.
2. 1. 4. 2.
33. මහණෙනි, මම මවට ද පියාට දැයි දෙදෙනාට ප්‍රත්‍යුපකාරය සුකරය යි නො කියමි. මහණෙනි, ශතවර්‍ෂායුෂ්ක වූ යමෙක් සියවස් ජීවත් වන්නේ එක් අංසයෙකින් මව පිළිදගින්නේ එක් අංසයෙකින් පියා පිළිදගින්නේ වේ ද, හේ ම ඔවුන්ගේ සිරුරු සුවඳ සුණු ඉළීමෙන් හා අත්පා පිරිමැදීමෙන් හා සිහිල්පැන් හුණුපැන් නෑවීමෙන් හා අඞ්ගසම්බාහනයෙන් හා උපස්ථාන කෙරේ ද, ඔහුත් ඒ අංසයෙහි ම හිඳ මල මුත්‍ර පහකරන්නාහු නම්, මහණෙනි, හේ එසේ ද වුව, මවුපියන්ට උපකාරයෙක් හෝ ප්‍රත්‍යුපකාරයෙක් හෝ නොවේ මැයි.
මහණෙනි, බොහෝ සත්රුවන් ඇති මේ මහා පෘථිවියෙහි මවු පියන් සක්විති රජයෙහි පිහිටුවන්නේ නමුදු, මහණෙනි, මවුපියන්ට උපකාර කරණ ලද්දේ හෝ ප්‍රත්‍යුපකාර කරණ ලද්දේ හෝ නො ම වෙයි. එයට හේතු කවරේය? මහණෙනි, මවුපියෝ දූ පුතුනට බොහෝ උපකාර ඇතියහ. පුතුන් වඩන්නාහු පෝෂණය කරන්නාහු මේ ලෝකය දක්වනසුලු වෙති.
මහණෙනි, යමෙක් ශ්‍රද්ධා නැති මවුපියන් ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් කරවා ද, වසවා ද, පිහිටුවා ද, මසුරුවූවන් ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද, වසවා ද, පිහිටුවා ද. දුෂ‍්ප්‍රාඥවූවන් ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවා ද, වසවා ද, පිහිටුවා ද. මහණෙනි, මෙතෙකින් මවුපියනට උපකාර කරණ ලද්දේත් ප්‍රත්‍යුපකාර කරණ ලද්දේත් අධික උපකාර කරණ ලද්දේත් වේ යයි.
2. 1. 4. 3.
34. එකල්හි එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී ය ... එකත් පසෙක හුන් ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්සේ කෙබඳු වාද ඇතිසේක් ද? කුමක් වදාරණ දැ ද?
[භගවත්හු:]
බ්‍රාහ්මණය, මම ක්‍රියාවාදීත් වෙමි, අක්‍රියවාදීත් වෙමි.
[බමුණු:]
කිසෙයින් භවත් ගෞතමයන් වහන්සේ ක්‍රියාවාදීත් අක්‍රියවාදීත් වන සේක් ද?
[භගවත්හු:]
බ්‍රාහ්මණය, මම කායදුශ්චරිතයාගේත් වාග්දුශ්චරිතයාගේත් මනෝදුශ්චරිතයාගේත් අක්‍රියාව (නො කිරීම) කියමි. නන්වැදෑරුම් ලාමක අකුශලධර්‍මයන්ගේ නොකිරීම කියමි. බ්‍රාහ්මණය, මම කායසුචරිතයාගේත් වාක්සුචරිතයාගේත් මනස්සුචරිතයාගේත් කිරීම කියමි. නන්වැදෑරුම් කුශලධර්‍මයන්ගේ කිරීම කියමි. බ්‍රාහ්මණය, මම මෙසේ වනාහි ක්‍රියාවාදිත් අක්‍රියාවාදීත් වෙමි.
[බමුණු:]
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවියෙන් ශරණ ගත් උපාසකයකු කොට මා රුස්නා සේක් වා යි.
2. 1. 4. 4.
35. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, ලෝකයෙහි දක්‍ෂිණාර්‍හයෝ කෙතෙක් ද? කො තැන්හි දන් දිය යුතු ද?
ගෘහපතිය, ලෝකයෙහි දක්‍ෂිණාවට සුදුස්සො දෙදෙනෙක් වෙති. ශෛක්‍ෂ තෙමේ ය, අශෛක්‍ෂ තෙමේ ය යන දෙදෙනා යි. ගෘහපතිය, ලෝකයෙහි මේ දක්‍ෂිණාවට සුදුස්සෝ දෙදෙන වෙත්. මොවුන් කෙරෙහි දන් දිය යුතු වේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා ඉක්බිති සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල ගය ද වදාළසේක.
මේ ලෝකයෙහි ශෛක්‍ෂ තෙමේ ද අශෛක්‍ෂ තෙමේ ද යාග කරනුවනට ආහුනෙය්‍ය (ඇරැදෙන්නටඅර්‍හ) වෙති. ඔහු කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ඍජු වෙති. යාග කරන්නන්හට එය කෙත වෙයි මෙහි දෙන ලද්දේ මහත්ඵල වෙයි.
2. 1. 4. 5.
36. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඇවැත් මහණෙනි යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තෙල සූත්‍රය දෙසූහ:
ඇවැත්නි, අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගලයා හා බාහිර සංයෝජන ඇති පුද්ගලයා හා දෙසමි. එය අසව මොනොවට මෙනෙහි කරව. දෙසමි යී. ඇවැත්නි, එසේ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ:
ඇවැත්නි, අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගල තෙමේ කවරේ ය? ඇවැත්නි, මේ ශාසනයෙන් මහණ තෙමේ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් සමන්‍වාගතවූයේ ආචාරගෝචර සම්‍පන්‍න වූයේ වෙසෙයි. අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ ශික්‍ෂාපදයන් මොනොවට ගෙන හික්මෙයි. හෙ තෙමේ කාබුන් මරණින් මතු එක්තරා දේවනිකායකට එළඹෙයි හේ එයින් ච්‍යුතවූයේ ආගාමී වූයේ මේ මිනිස් බවට එන්නේ වෙයි. ඇවැත්නි, මෙ තෙමේ ආගාමී වූයේ මේ මිනිස් බවට එන අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
ඇවැත්නි, බාහිරසංයෝජන ඇති පුද්ගල තෙමේ කවරේ ය? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සමන්‍වාගත වූයේ ආචාර ගෝචර සම්‍පන්‍න වූයේ වෙසෙයි. අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයි. හෙ තෙමේ එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයි. හෙ තෙමේ කාබුන් මරණින් මතු එක්තරා දේවනිකායකට එළඹෙයි. හේ එයින් ච්‍යුත වූයේ මේ මිනිසත් බවට නො එන්නේ අනාගාමී වෙයි. ඇවැත්නි, මේ තෙමේ මේ මිනිසත් බවට නො එන්නේ බාහිරසංයෝජන ඇති අනාගාමී පුද්ගලයා යි කියනු ලැබේ.
ඇවැත්නි, යලිදු අනෙකක් කියමි: මහණ තෙමේ සිල්වත් වෙයි ... ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයි හෙ තෙම කාමයන්ගේ ම නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. හෙ තෙමේ ත්‍රිවිධ භවයන්ගේ ම නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. හෙතෙම (පඤ්චකාමගුණික වූ) තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපන්නේ වෙයි. හෙ තෙමේ භවලෝභය ක්‍ෂය කිරීම පිණිස පිළිපන්නේ වෙයි. හෙ තෙමේ කාබුන් මරණින් මත්තෙහි එක්තරා දේවනිකායෙක උපදී. හේ එයින් ච්‍යුත වූයේ මේ මිනිසත් බවට නො එන්නේ අනාගාමී වෙයි. ඇවැත්නි, මේ මිනිසත්බවට නො පැමිණෙන, අනාගාමී වූ බාහිර සංයෝජන ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
ඉක්බිති, බොහෝ වූ සමසිත් ඇති දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියාහු ය. එකත්පසෙක සිටි ඒ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහු ය:
වහන්ස, මේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පූර්‍වාරාම නම් වූ මුවරමාපහයෙහිදී භික්‍ෂූන්ට අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගලයා ද බාහිර සංයෝජන ඇති පුද්ගලයා ද දේශනා කෙරෙති. වහන්ස, පිරිස සතුටු වූ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹෙන සේක් නම් මැනැවි. භාග්‍යවතුන් වහන්සේතුෂ‍්ණීම්භාවයෙන් ඉවසූ සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් නො කරණ තුරු දිගු කළ අතක් වක් නො කරන තුරු ජේතවනයෙහි අතුරු දහන් වූ සේක් පූර්‍වාරාම නම් මුවරමාපහයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පෙරට පැණී ගිය සේක. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ශාරීපුත්‍රය, මෙහි බොහෝ වූ සමසිත් ඇති දෙවිවරු මා වෙත එළඹියාහු ය. එළඹ මා වැඳ එකත්පසෙක සිටියාහු ය. ශාරිපුත්‍රය, එකත් පසෙක සිටියා වූ ඒ දෙවියෝ මට තෙල සැළ කළාහු ය.
වහන්ස, මේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පූර්‍වාරාම නම්වූ මුවරමාපහයෙහි දී භික්‍ෂූන්ට අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගලයා ද බාහිරසංයෝජන ඇති පුද්ගලයා ද දේශනා කෙරෙති, වහන්ස, පිරිස තුටු වූය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනවැයි. ශාරීපුත්‍රය, ඒ දෙවියෝ දසදෙනක් ව ද, විසිදෙනක් ව ද, තිස්දෙනක් ව ද, සතළිස්දෙනක් ව ද, පණස්දෙනක් ව ද, සැටදෙනක් ව ද, හිදි අග් වැද සිටුනා පමණ තන්හිදු සිටිත්. ඔවුනොවුන් නො ද පෙළති යි.
ශාරිපුත්‍රය, තොපට මෙබඳු සිතෙක් විය හෙයි. එනම්: යම් හෙයෙකින් ඒ දෙවිවරු දසදෙනක් ව ද, විසිදෙනක් ව ද, තිස්දෙනක් ව ද, සතළිස්දෙනක් ව ද, පණස්දෙනක් ව ද, සැටදෙනක් ව ද, හිදි අග් වැද සිටුනා පමණ තන්හිදු සිටිත් ද, උනුන් නො ද පෙළත් ද, ඒ දෙවියන් විසින් ඒකාන්තයෙන් ඒ රූපභවයෙහි දී එසේ සිත වඩනා ලද්දේ ය (කියා යී).
ශාරීපුත්‍රය, මෙය මෙසේ නොදත යුතුය. ශාරීපුත්‍රය, යම් හෙයෙකින් ඒ දෙවියෝ දෙවිවරු දසදෙනක් ව ද විසිදෙනක් ව ද, තිස්දෙනක් ව ද, සතළිස්දෙනක් ව ද, පණස්දෙනක් ව ද, සැටදෙනක් ව ද, හිදි අග් වැද සිටුනා පමණ තන්හි සිටිත් ද. ඔවුනොවුන් නො පෙළත් ද, මෙසස්නෙහි දී ම ඒ දෙවියන් විසින් එසේ සිත වඩන ලද.
ශාරීපුත්‍රය, එහෙයින් මෙසේ හික්මිය යුතු ය: සන්හුන් ඉඳුරන් ඇත්තමෝ සන්හුන් සිත් ඇත්තමෝ වන්නම්හ (කියායි.) ශාරීපුත්‍රය, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය. ශාරීපුත්‍ර ය, සන්හුන් ඉඳුරන් ඇත්තා වූ ම සන්හුන් සිත් ඇත්තා වූ ම තොපගේ කායකර්‍මය ශාන්ත වන්නේ ය. වාක්කර්‍මය ශාන්ත වන්නේ ය. මනඃකර්‍මය ශාන්ත වන්නේ ය. සබ්‍රම්සරුන් කෙරෙහි ශාන්ත වූ ම උපහාරයක් කරන්නම්හ යි (කියායි). ශාරීපුත්‍රය, මෙසේ ම හික්මිය යුතු ය.
ශාරීපුත්‍රය, යම් කෙනෙක් මේ ධර්‍මපර්‍ය්‍යා නො ඇසූහු ද, ඒ අන්‍යතීර්‍ත්‍ථකයෝ නටුවාහු ම වෙති යි.
2. 1. 4. 6.
37. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වරණායෙහි කදදමදහතීරයෙහි වසන සේක. එකල්හි ආරාමදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වී ය. සම්මෝදනකථාවට නිසි සිහිකරනුවට නිසි කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ආරාමදණ්ඩ බ්‍රාහ්මණ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙය කී ය.
භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා සමග විවාද කෙරෙත් නම්, බ්‍රාහ්මණයෝ ද බ්‍රාහ්මණයන් හා සමග විවාද කෙරෙත් නම්, ගැහැවියෝ ද ගැහැවියන් හා සමග විවාද කෙරෙත් නම්, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
[කසයින්තෙරහු:]
බ්‍රාහ්මණය, කාමරාගයෙහි වැද ගැණුම ය, වෙසෙසින් බැඳීම ය, එරුණු ය, මැඩැගැණුම ය, ගිල ගැණුමය යන මේ හේතු කොට ගෙණ ම ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා සමග විවාද කෙරෙති. බ්‍රාහ්මණයෝ ද බ්‍රාහ්මණයන් හා සමග විවාද කෙරෙති. ගැහැවියෝ ද ගැහැවියන් හා සමග විවාද කෙරෙති.
[රුප්දඬුබමුණු:]
භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ශ්‍රමණයෝ ද ශ්‍රමණයන් හා සමග විවාද කෙරෙත් නම්, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
[කසයින්තෙරහු:]
බ්‍රාහ්මණය, දෘෂ්ටිරාගයෙහි වැද ගැණුම ය, වෙසෙසින් බැඳීම ය, එරුණු ය, මැඩැගැණුම ය, ගිල ගැණුම ය යන මේ හේතු කොට ගෙණ ශ්‍රමණයෝ ද ශ්‍රමණයන් හා සමග විවාද කෙරෙත්.
[රුප්දඬුබමුණු:]
භවත් කාත්‍යායනයෙනි, යමෙක් මේ කාමරාග විනිවේස විනිබන්‍ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානය ඉක්ම වී ද, මේ දිට්ඨිරාගවිනිවේස විනිබන්‍ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානයත් ඉක්ම වී ද එබඳු කිසිවෙක් ලෝකයෙහි ඇත් ද?
[කසයින්තෙරහු:]
බ්‍රාහ්මණය, ලෝකයෙහි යමෙක් මේ කාමරාග විනිවේස විනිබන්‍ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානය ඉක්ම වූයේ ද, මේ දිටඨිරාග විනිවේස විනිබන්‍ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානයත් ඉක්ම වී ද එබඳු කෙනෙක් ඇත.
[රුප්දඬුබමුණු:]
භවත් කාත්‍යායනයෙනි, යම් කෙනෙක් ලෝකයෙහි මේ කාමරාග විනිවේස විනිබන්‍ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානය ඉක්ම වූ හු නම්, යම් කෙනෙක් මේ දිට්ඨිරාග විනිවේස විනිබන්‍ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානයත් ඉක්ම වූහු නම්, ඔහු කවරහ?
[කසයින්තෙරහු:]
බ්‍රාහ්මණය,පෙරදිග දනව්වෙහි සැවැත් නම් නුවරෙක් ඇත. එහි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩවසන සේක. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ කාමරාග විනිවේශ විනිබන්‍ධ පරිගේධ පර්‍ය්‍යුත්‍ථාන අධ්‍යවසාය ඉක්ම වූ සේක. මේ දෘෂ්ටිරාග විනිවේශ විනිබන්‍ධ පරිගේධ පර්‍ය්‍යුත්‍ථාන අධ්‍යවසාය ද ඉක්ම වූ සේකැ යි.
මෙසේ කී කල්හි ආරාමදණ්ඩ බ්‍රාහ්මණ හුනස්නෙන් නැගී සිට උතුරුසළුව එකස් කොට ලා දකුණු දණමඩල පොළොවෙහි හැන භාග්‍යවතුන් වහන්සේ වසන දසට ඇඳිලි බැඳ යම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් මේ කාමරාග විනිවේශ විනිබන්‍ධ පරිගේධ පර්‍ය්‍යුත්‍ථාන අධ්‍යවසාය ඉක්ම වූහු ද, මේ දෘෂ්ටිරාග විනිවේශ විනිබන්‍ධ පරිගේධ පර්‍ය්‍යුත්‍ථාන අධ්‍යවසායයත් ද ඉක්ම වූහු ද ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේ වා යි තෙවරක් උදන් ඇනී.
භවත් කාත්‍යායනයෙනි, ඉතා මැනැවි ... භවත් කාත්‍යායනයෙනි, යම්සේ යටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ පිළිසන් වූවක් විවර කරන්නේ හෝ මංමුළා වූවකුහට මග කියන්නේ හෝ ‘ඇස් ඇත්තාහු රූප දක්නාහුය’ යි අඳුරෙහි තෙල්වැටුප් හෝ දරන්නේ වේ ද, එසේ ම භවත් කාත්‍යායනයන් විසින් නොයෙක් නියරින් ධර්‍මය ද දේශනා කරණ ලද. භවත් කාත්‍යායනයෙනි, තෙල මම ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද ශරණ කොට යෙමි. භවත් කාත්‍යායනයෝ අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට මා රුස්නා සේක්වා යි.
2. 1. 4. 7.
38. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මධුරායෙහි වූ ගුන්‍දාවනයෙහි වැඩ වසන සේක. එකල්හි කණ්ඩරායණ බමුණු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එලඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ හා සමග ... එකත් පසෙක හුන් කණ්ඩරායණ බමුණු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේට තෙල සැළ කෙළේය:
භවත් කාත්‍යායනයෙනි, ශ්‍රමණ කාත්‍යායන තෙමේ ජරාජීර්‍ණ වූ වියඅතට ගිය දෑමහලු වූ කල් ගිය පශ්චිම වයසට පැමිණි බ්‍රාහ්මණයන් නොවඳනේය යි ද, දැක හුනස්නෙන් නොනැඟසිටුනේ යයි ද, අස්නෙන් නො අමතනේ යයි ද, යන මෙය මා විසින් අසන ලදී. භවත් කාත්‍යායනයෙනි, ඒ කාරණය එසේ ම ය. “භවත් කාත්‍යායන තෙමේ ජරාජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පශ්චිම වයසට පැමිණි බමුණන් නො වඳනේය. දැක හුනස්නෙන් ද නැඟ නොසිටුනේය. අස්නෙනුදු නො අමතනේ ය. භවත් කාත්‍යායනයෙනි, එ කරුණ නොනිසිමැය”යි.
බ්‍රාහ්මණය, භාග්‍යවත් වූ (සියලු දතයුතු දේ) දන්නා වූ (සියලු දැකිය යුතු දේ හස්‍තමාලකයක් සේ) දක්නා වූ අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරණ ලද වෘද්ධභූමියෙක් හා දහරභූමියෙක් හා ඇත. බ්‍රාහ්මණය, ඉදින් උත්පත්තියෙන් අසූවයස් ඇති හෝ අනූවයස් ඇති හෝ සියක්වස් ඇති හෝ වෘද්ධයෙක් වේ නම් හෙ ද වස්තුකාම ක්ලේශකාමයන් වළඳ කෙරේ ද, වස්තුකාම ක්ලේශකාමයෙහි ලා ඉවස්නේ ද, කාමපරිළාහයෙන් දැවේ ද, කාමවිතර්‍කයන් විසින් කනු ලැබේ ද, කම්සුව පිරියෙස්ලියට උත්සාහවත් වූයේ ද, එකල්හි හෙ බාලයෙක යන සඞ්ඛ්‍යාවට ම යෙයි. බ්‍රාහ්මණය, ඉදින් තරුණ වූයේ මනා බොල් කළු කෙස් ඇත්තේ බහදුරු යොවුනින් සමනාවූයේ ප්‍රථම වයසින් යුක්ත දහරයෙක් හෝ වේ ද, හෙ ද වස්තුකාම ක්ලේශකාමයන් පරිභෝග නො කරනේ ද, වස්තුකාම ක්ලේශකාමයෙහි ලා නො ඉවස්නේ ද, කාමපරිදාහයෙන් නො දැවේ ද, කාමවිතර්‍කයන් විසින් නො කනු ලැබේ ද, කම්සුව පිරියෙස්නට උත්සාහවත් නො වේ ද, ‘එකල්හි හෙ තෙමේ පණ්ඩිත වූ ස්ථවිර නම’ යන සඞ්ඛ්‍යාවට ම යේ යි.
මෙසේ කී කල්හි කණ්ඩරායණ බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරුසළුව එකස් කොට ලා “වෘද්ධ වූ භවත්හු තුමූ වෘද්ධභූමියෙහි සිටියහ. දහර වූ අපි දහරභූමියෙහි සිටියමෝය” යි. තරුණ භික්‍ෂූන්ගේ පා (මෙසේ) සිරසින් වඳියි: භවත් කාත්‍යායනයෙනි, ඉතා මැනව ... භවත් කාත්‍යායන තෙමේ අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට මා රුස්නාසේක් වා යි.
2. 1. 4. 8.
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, යම් කලෙක්හි සොරු බලවත් වෙත් ද, රජවරු එසමයෙහි දුර්‍වල වෙත්. මහණෙනි, එසමයෙහි රජුට (ඇතුළුනුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළුනුවරින්) නික්මෙන්නට හෝ පසල්දනව්වෙයි (කටයුතු) සංවිධාන කරන්නට හෝ පහසු නො වෙයි. එසමයෙහි බමුණු ගැහැවියන් ට ද (ඇතුළුනුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළුනුවරින්) නික්මෙන්නට හෝ බැහැර කටයුතු සංවිධාන කරන්නට හෝ පහසු නො වේ. මහණෙනි, එසේ ම යම් සමයෙක්හි පවිටු භික්‍ෂූහු බලවත් වෙත් ද, එසමයෙහි පේශල භික්‍ෂූහු දුර්‍වල වෙත්. මහණෙනි, එසමයෙහි පේශල භික්‍ෂූහු පුන පුනා නිශ්ශබ්ද වූවාහු සඟ මැද කර බහා හිඳුනාහ. පසල් දනවු හෝ ඇසුරු කරන්නාහ. මහණෙනි, මේ කරුණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ.
මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වෙත් ද, එසමයෙහි සොරු දුර්‍වල වෙත්. මහණෙනි, එසමයෙහි රජුට (ඇතුළු නුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යන්නට හෝ පසල් දනවුවෙහි (කටයුතු) සංවිධාන කරන්නට හෝ පහසු වෙයි. එසමයෙහි බමුණු ගැහැවියනට ද (ඇතුළු නුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යන්නට හෝ බැහැර කටයුතු සංවිධාන කරන්නට හෝ පහසු වේ. මහණෙනි, එසේ ම යම් සමයෙක්හි පේශල භික්‍ෂූහු බලවත් වෙත් ද, එසමයෙහි පවිටු භික්‍ෂූහු දුර්‍වල වෙත්. මහණෙනි, එසමයෙහි පවිටු භික්‍ෂූහු පුන පුනා නිශ්ශබ්ද වූවාහු සඟ මැද කරබහා හිඳුනාහ. යම් මැ තැනෙක හෝ යෙත්. මහණෙනි, ඒ මේ කරුණ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිසුනට හිත පිණිස සුව පිණිස වේ.
2. 1. 4. 9.
40. මහණෙනි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ වරදවා පිළිපැදුම වර්‍ණනා නො කරමි. මහණෙනි, වරදවා පිළිපන් ගිහියා වේව යි පැවිද්දා වේව යි වරදවා පිළිපැදුම් හේතුයෙන් විදර්‍ශනා සහිත මාර්‍ගය පුරන්නට නො හැකි වෙයි.
මහණෙනි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ නිවැරදි පිළිපැදුම වර්‍ණනා කරමි. මහණෙනි, නිවැරදි ව පිළිපන් ගිහියා වේව යි පැවිද්දා වේව යි නිවැරදි පිළිපැදුම් හේතුයෙන් විදර්‍ශනා සහිත මාර්‍ගය පුරන්නට හැකි වෙයි.
2. 1. 4. 10.
41. මහණෙනි, යම් මහණ කෙනෙක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ (ශබ්දචින්තායෙන් වරදවා ගන්නට නිසි) සූත්‍රාන්තයෙන් අටුවා ද පෙළ ද පිළිබහන්නාහු ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස ද බොහෝ දෙනාට නොසුව පිණිස ද බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස ද දෙවිමිනිසුනට අහිත පිණිස ද දුක් පිණිස ද පිළිපන්නාහු ය. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ සස්න ද අතුරුදන් කෙරෙත්.
මහණෙනි, යම් මහණ කෙනෙක් මැනැවින් ගන්නා ලද ව්‍යඤ්ජන ප්‍රතිරූපක නොවූ (අක්‍ෂරචින්තායෙන් වැරදි ලෙස අදහස ගන්නට නොනිසි) සූත්‍රාන්තයෙන් අර්‍ත්‍ථ ද ධර්‍මය ද අනුව පවත්නාහු ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිසුනට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු ය. මහණෙනි, ඒ මහණහු බොහෝ කුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ ශාසනය තබත් යී.
සිවුවැනි සමසිත්වගයි.
[5. පරිස වර්‍ගය]
2. 1. 5. 1.
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: නොගැඹුරු (ප්‍රකට) පිරිස හා ගැඹුරු (මුවහ) පිරිස හා යන දෙකය.
මහණෙනි, නොගැඹුරු පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු වික්‍ෂිප්ත සිත් ඇති වෙත් ද, උස් ව නැඟූනු මාන නළ ඇති වෙත් ද, චපල වෙත් ද, රළුවදන් ඇති වෙත් ද, පලප් ඇති වෙත් ද, මුෂිතස්මෘති වෙත් ද, සම්‍යක්ප්‍රඥා නැති වෙත් ද, සමාධිගත සිත් නැති වෙත් ද, එකඟ නො වූ සිත් ඇති වෙත් ද, භ්‍රාන්ත සිත් ඇති වෙත් ද, (සංවර නොකෙළෙන්) පියවි ඉඳුරන් ඇති වෙත් ද, මහණෙනි, මේ උත්තාන (නොමුවහ) පිරිස යි කියනු ලැබේ.
මහණෙනි, ගැඹුරු පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු වික්‍ෂිප්ත සිත් නැති වෙත් ද, උස් ව නැඟූනු මාන නළ නැති වෙත් ද, චපල නො වෙත් ද, රළුවදන් නැති වෙත් ද, අසංවෘත වචන නැති වෙත් ද, එළඹසිටි සිහි ඇති වෙත් ද, සම්‍යක් ප්‍රඥා ඇති වෙත් ද, සමාධිගත සිත් ඇති වෙත් ද, එකඟ වූ සිත් ඇති වෙත් ද, සංවර කළ ඉඳුරන් ඇති වෙත් ද, මහණෙනි, මේ ගම්භීර පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ දෙපිරිස් අතුරෙන් යම් ගැඹුරු පිරිසෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 1. 5. 2.