Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 7701-7800 න් 15980

මහණෙනි, යම් කලෙක මිනිස්සු කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් දැක සිත් පහදවත් නම්, මහණෙනි, එ කුලය එ සමයෙහි ස්වර්‍ගය පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් දැක මනුෂ්‍යයෝ ප්‍රත්‍යුත්‍ථාන කෙරෙත් ද, (හුනස්නෙන් නැගිටිත් ද, අභිවාදනා කෙරෙත් ද, අසුන් දෙත් ද, මහණෙනි, එ සමයෙහි එ කුලය උසස් කුලවත් බව සඳහා පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දනට මනුෂ්‍යයෝ මසුරුමල දුරු කෙරෙත් නම්, මහණෙනි, එ සමයෙහි එ කුලය මහායශෂ්ක (මහයස පිරිවර ඇතිවන) බව සඳහා පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දනට මිනිස්සු ශක්ති වූ පරිදි බල වූ පරිදි දාන සංවිභාග කෙරෙත් නම්, මහණෙනි, එ සමයෙහි එ කුලය මහා භොග පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් සමයෙක්හි මිනිස්සු කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් පරිපෘච්ඡා කෙරෙත් ද, පරිප්‍රශ්න කෙරෙත් ද, (ඔවුන්ගෙන්) ධර්‍මය අසත් ද, මහණෙනි, එ සමයෙහි එ කුලය මහා ප්‍රඥා පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයට එළඹෙත් නම්, එහි මිනිස්සු මෙ කරුණු පසින් බොහෝ පින් ප්‍රසව (රැස්) කරන්නාහයි.
5. 4. 5. 10.
[නිස්සාරණීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, මේ නිස්සාරණීය ධාතුහු (නික්මීමෙහි - වෙන්වීමෙහි ධර්‍ම) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි කාමයන් මෙනෙහි කරණ මහණහුගේ සිත කාමයන්හි නො බැසගන්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත (මිදුනේ) නො වන්නේ ය. (අශුභයෙහි ප්‍රථමධ්‍යාන සඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යය මෙනෙහි කරණ ඔහුගේ සිත එහි බැසගන්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනොවට අශුභභාවනාවට ගියේ සුභාවිත වූයේ කාමයන්ගෙන් මොනවට නැඟීසිටියේ කාමයන්ගෙන් මොනොවට මිදුනේ කාමයන් කෙරෙන් මොනවට විසංයුක්ත වූයේ වෙයි. කාමයන් හේතුකොට දුක් වූ පරිදාහ ඇති යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හේ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හෙ එ කාමවේදනා නො විඳුනේ ය. මෙ (අශුභධ්‍යානය) කාමයන්ගේ නිඃසරණය යි කියන ලද.
තවද මහණෙනි, ව්‍යාපාදය මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත ව්‍යාපාදයෙහි නො හෙයි. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. අව්‍යාපාදය මෙනෙහි කරණ ඔහුගේ සිත (මෛත්‍රීධ්‍යාන සඞ්ඛ්‍යාත) අව්‍යාපාදයෙහි පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ ඒ මෛත්‍රීධ්‍යාන චිත්තය මොනවට මෛත්‍රීධ්‍යානයට ගියේ සුභාවිත වූයේ මොනවට ව්‍යාපාදයෙන් නැඟී සිටියේ මොනවට අධිමුක්ත වූයේ ව්‍යාපාදයෙන් මොනවට විසංයුක්ත වෙයි. ව්‍යාපාදප්‍රත්‍යයයෙන් යම් දුඃඛපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙ එයින් මුක්ත වෙයි. හෙ ඒ ව්‍යාපාදවේදනාව නො විඳුනේ ය. මෙ මෛත්‍රීධ්‍යාන ව්‍යාපාදනිඃසරණය යි කියන ලද.
තවද මහණෙනි, විහිංසාව මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත විහිංසායෙහි නො බස්නේ ය. එහි නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. (කරුණාධ්‍යාන සඞ්ඛ්‍යාත) අවිහිංසාව මෙනෙහි කරණ ඔහුගේ සිත කරුණාධ්‍යාන සඞ්ඛ්‍යාත අවිහිංසායෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. මොනවට කරුණාවට ගිය ඔහුගේ එ සිත සුභාවිතය. මොනවට නැඟී සිටියේ ය. සුවිමුක්ත ය. විහිංසායෙන් මොනවට විසංයුක්ත ය. විහිංසාප්‍රත්‍යයයෙන් දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙ ඔවුන්ගෙන් මුක්ත වයි. හෙ එ විහිංසා වේදනාව නො විඳුනේ ය. මේ කරුණාධ්‍යානය විහිංසාවගේ නිඃසරණය යි.
තවද මහණෙනි, රූපය මෙනෙහි කරණ භික්‍ෂුහුගේ චිත්තය රූපයෙහි නො බස්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. අරූපාරම්මණය මෙනෙහි කරණ ඔහුගේ සිත අරූපධ්‍යානයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනවට අරූපධ්‍යානයට ගියේ සුභාවිත වූයේ මොනවට නැඟී සිටියේ සුවිමුක්ත වූයේ රූපයන්ගෙන් මොනවට විසංයුක්ත වෙයි. රූප ප්‍රත්‍යය කොට දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් , හෙ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හෙතෙම එ වේදනා නො විඳුනේ ය. මෙ අරූප ධ්‍යානය රූපයන්ගේ නිස්සරණය යි කියන ලද.
තවද මහණෙනි සත්කාය (පඤ්චෝපාදානස්කන්‍ධය) මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත සත්කායයෙහි නො බස්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. සත්කායනිරෝධය මෙනෙහි කරණ ඔහුගේ සිත සත්කායනිරෝධයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනවට සත්කායනිරෝධයට ගියේ සුභාවිත වූයේ මොනොවට නැඟී සිටියේ සුවිමුක්ත වූයේ සත්කායයෙන් මොනවට විසංයුක්ත වෙයි. සත්කායප්‍රත්‍යයයෙන් දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙතෙම ඔවුන් කෙරෙන් මිදුනේ වෙයි. හෙ එ වේදනාව නො විඳුනේ ය. (අර්‍හත් ඵලසමාපත් සිත) සත්කායයාගේ නිඃසරණය යි කියන ලද.
ඔහුගේ කාමනන්‍දිය ද අනුශය (ඉපදීම) නො කෙරෙයි. ව්‍යාපාදනන්‍දිය ද අනුශය නො කෙරෙයි. විහිංසානන්‍දිය ද අනුශය නො කෙරෙයි. රූපනන්‍දිය ද අනුශය නො කෙරෙයි. සත්කායනන්‍දිය ද අනුශය නො කෙරෙයි. කාමනන්‍දිද අනුශය නො කිරීමෙන් ව්‍යාපාදනන්‍දි ද අනුශය නො කිරීමෙන් විහිංසානන්‍දි ද අනුශය නො කිරීමෙන් රූපනන්‍දි ද අනුශය නො කිරීමෙන් සත්කායනන්‍දිය ද අනුශය නො කිරීමෙන් මෙ මහණ අනුශය නැතියේ තෘෂ්ණාව මුලුසුන් කළේ යයි ද සංයෝජන මුලිනුදුරා ලූයේ යයි ද මැනවින් මානයාගේ ප්‍රහාණාභිසමයෙන් දුක් කෙළවර කෙළේයයි ද කියනු ලැබේ
මහණෙනි, මේ පඤ්චනිස්සාරණීය ධාතුහු යි.
සෝණවර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
සෝණ සූත්‍රය, ද්‍රෝණ සූත්‍රය, සඞ්ගාරව සූත්‍රය, කාරණපාලි සූත්‍රය, පිඞ්ගියානී සූත්‍රය, මහා සුපින සූත්‍රය, වස්සන්තරාය සූත්‍රය, සුභාසිතවාචා සූත්‍රය, කුල සූත්‍රය, නිස්සාරණීය සූත්‍රය දැයි දසයෙකි.
සතරවන පණ්ණාසකය සමාප්තයි.
5. පස්වන පණ්ණාසකය
1. කිම්බිල වර්‍ගය
5. 5. 1. 1.
[කිම්බිල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගර සමීපයෙහි වූ මිදෙල්වෙනෙහි වසන සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල (කෘමිලා) තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන්වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, එයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ? යී.
කිම්බිලයෙනි, තථාගතයන් පිරිනිවි කල්හි මෙ සස්නෙහි භික්‍ෂුහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ සථරුන් කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය (ආශ්‍රය) නැතියාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. ශික්‍ෂා කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. ඔවුනොවුන් කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, මේ (එයට) හේතු ය, මේ (එයට) ප්‍රත්‍යයයි.
වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, එයට හේතු කවරැ? එයට ප්‍රත්‍ය කවරැ?යි.
කිම්බිලයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි මෙ සස්නෙහි මහණහු මෙහෙණහු උවසුහු උවැසියෝ ශාස්තෲන් කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. ශික්‍ෂායෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. උනුනට ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, මේ එයට හේතු ය, මේ එයට ප්‍රත්‍යය යි.
5. 5. 1. 2.
[ධම්මසවණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, ධර්‍මශ්‍රවණයෙහි මෙ අනුසස් පසෙක කවර පසෙක යත්:
අශ්‍රැතය (නො ඇසූ විරූ දෙය) අසන්නේ ය. ශ්‍රැතය (ඇසූ විරූ දෙය) පිවිතුරු කරන්නේ ය. සැක දුරුකරන්නේ ය. දෘෂ්ටිය ඍජු කරන්නේ ය. ඔහුගේ සිත පහදනේ ය. මහණෙනි, ධර්‍මශ්‍රවණයෙහි මෙ අනුසස් පස යි.
5. 5. 1. 3.
[අජානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ රාජාඞ්ග සඞ්ඛ්‍යාවට ම යෙයි. කවර පසෙකින් යත්:
ඍජුත්‍වයෙන් (අවඞ්කගමන), ජවයෙන (පදජවය), මෘදුත්‍වයෙන (සිරුරුමෘදුබව), ක්‍ෂාන්තියෙන (ඉවසීම), සුරතභාවයෙන. මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත රජුගේ භද්‍රාශ්වාජානීය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රාජාඞ්ග සඞ්ඛ්‍යාවට ම යෙයි.
මහණෙනි, එ සෙයින් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුන්‍යෙය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින් යත්:
ඍජුත්‍වය (ඥානයාගේ ඍජු ගමන), ජවය (සූර ඥානවත්භාවය) මෘදුත්‍වය (මෘදුසිල් ඇති බව), ක්‍ෂාන්තිය (අධිවාසන ක්‍ෂාන්තිය), සුරතභාවය යන මෙයිනි. මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි
5. 5. 1. 4.
[බල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ බල පසෙකි. කවර පසෙක යත්:
ශ්‍රද්ධාබලය, ශ්‍රීබලය, ඔත්තප්පබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල යි. මහණෙනි, මේ බල පස යි.
5. 5. 1. 5.
[චේතෝඛිල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මෙ චේතෝඛිල (සිත්හි තදබැව්) පසෙක. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ස්ථරුන් කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. අධිමෝක්‍ෂ නො කෙරෙයි. ප්‍රසාද නො කෙරෙයි. මහණෙනි, යම් මහණෙක් ස්ථරුන් කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, අධිමෝක්‍ෂ නො කෙරේ ද, සම්ප්‍රසාදය නො කෙරේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියාව පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමේ නම්, මේ ප්‍රථම චේතෝඛිල යි.
තවද මහණෙනි, මහණ ධර්‍මයෙහි සැක කරයි ... [ඔහුගේ සිත ... නො නැමෙයි ... මේ දෙවන චේතෝඛිලයි] සඟුන් කෙරෙහි සැක කරයි. ... [ඔහුගේ සිත ... නොනැමෙයි ... මේ තුන්වන චේතෝඛිලයි]. ශික්‍ෂායෙහි සැක කරයි ... [ඔහු ගේ සිත ... නො නැමෙයි. මේ සතරවන චේතෝඛිලයි]. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇතියේ ගැටුනු සිත් ඇතියේ හටගත් (ක්‍රෝධ) හුල් ඇතියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ ගැටුනුසිත් ඇතියේ හටගත් හුල් ඇතියේ වේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමේද, මෙ පස්වන චේතෝඛිල යි.
මහණෙනි, මෙ චේතෝඛිල පසයි.
5. 5. 1. 6.
[විනිබන්‍ධ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මේ චිත්තයාගේ විනිබන්‍ධයෝ (සිත වෙළා බැඳලන ධර්‍මයෝ) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙහි නො පහවූ රාග ඇතියේ නො පහවූ ඡන්‍ද ඇතියේ නො පහවූ ප්‍රේම ඇතියේ නො පහවූ පිපාසා ඇතියේ නො පහවූ පරිදාහ ඇතියේ නො පහවූ තෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් ම මහණෙක් කාමයන්හි අවිගත රාග ඇතියේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගත ප්‍රේම ඇතියේ අවිගත පිපාසා ඇතියේ අවිගත පරිදාහ ඇතියේ අවිගත තෘෂ්ණා ඇතියේ වේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. මෙ චිත්තයාගේ ප්‍රථම විනිබන්‍ධ වෙයි.
තවද මහණෙනි, ස්වකීය කායයෙහි අවිගත රාග ඇතියේ වෙයි. ... [චිත්තයාගේ මේ දෙවන විනිබන්‍ධය වේ] ... බාහිර රූපයෙහි අවිගත රාග ඇතියේ වෙයි. ... [චිත්තයාගේ මේ තෙවන විනිබන්‍ධය වේ.] ... කැමති තාක් කුස්පුරා අහර වළඳා ශය්‍යාසුඛයෙහි හා පාර්‍ශවසුඛයෙහි හා නිද්‍රාසුඛයෙහි හා යෙදුනේ වාසය කරයි ... [චිත්තයාගේ මේ සිව්වන විනිබන්‍ධය වේ.] … අන්‍යතර දේවනිකායක් පතා ‘මම මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තවසින් වේවයි බ්‍රම්සරින් වේවයි මහායශස්ක දෙවියෙක් හෝ (අල්පයශසක දෙවියන් අතර) අප්‍රකට දෙවියෙක් හෝ වන්නෙමි’ යි බ්‍රහ්මචර්‍ය්‍යය රක්නේය. මහණෙනි, යම් මහණෙක් මම් මේ සිවුපිරිසිදු සිලින් වේවයි ව්‍රතසමාදානයෙන් වේවයි තපචරණයෙන් වේවයි දේවයෙක් හෝ අන්‍යතර දේවයෙක් හෝ වන්නෙමි’යි එක්තරා දේවනිකායක් පතා බ්‍රහ්මචර්‍ය්‍ය රක්නේ නම්, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමෙකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම්, චිත්තයාගේ මේ පස්වන විනිබන්‍ධ යි.
මහණෙනි, මොහු පස්දෙන චිත්තයාගේ විනිබන්‍ධයෝ යි.
5. 5. 1. 7.
[යාගු සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, හුළුකැන්හි (කැඳෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
සාගිනි නසයි, පවස දුරුකෙරෙයි, වාතය අනුලොම් (කොට බැහැර) කෙරෙයි, වස්තිය (ධමනීන්) ශුද්ධ කෙරෙයි, ආමාවශේෂය (නො පැසී ඉතිරි ආහාරය) පැසව යි.
මහණෙනි, හුළුකැන්හි මේ අනුසස් පසයි.
5. 5. 1. 8.
[දන්තකට්ඨ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, දැහැටි නො වැළඳීමෙහි මේ දොස් පසෙක. කවර පසෙක යත්:
ඇසට අහිතකර ය, මුව දුඟඳ වෙයි, රස නහර පිරිසිදු නො වෙයි, පිත් සෙම් බත අවුරාලයි, ඔහට බත නොරිසියෙයි.
මහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පස යි.
මහණෙනි, දැහැටි වැළඳීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
ඇසට හිත වෙයි, මුව දුඟඳ නො වෙයි, රසනහර පිරිසිදු වෙත්, පිත්සෙම් බත නො අවුරාලයි, ඔහට බත රිසියෙයි.
මහණෙනි, මේ දැහැටි වැළඳීමෙහි අනුසස් පස යි.
5. 5. 1. 9.
[ගීතස්සර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, දීර්‍ඝ ගීතස්වරයෙන් (ගාථා වෘත්තය වනසා) දහම් බණනුවහට මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ද ඒ ස්වරයෙහි ඇලෙති. “අපි යම් සේ ගයමෝ නම්, මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ද එසෙයින් ම ගයති” යි ගෙහෙවියෝ ද අවඥා කෙරෙත්. ස්වරාකෘතිය පතන්නහුගේ සමාධිභේදය ද වෙයි. පශ්චිම ජනතාව (එය ආදර්‍ශයට ගෙණ) දෘෂ්ටානුගතියට පැමිණෙයි.
මහණෙනි, දීර්‍ඝ ගීතස්වරයෙන් දහම් බණනුවහට මේ දොස්පස වේ යයි.
5. 5. 1. 10.
[මුට්ඨස්සති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මුසපත් සිහි ඇතිව, මනා (ප්‍රත්‍යවේක්‍ෂා) නුවණ නැතිව නින්දට වැටෙනුවහට මෙ දොස් පසෙකි. කවර පසෙක යත්:
දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. පව්සිහින දක්නේ ය. දෙවියෝ නොරක්නාහ. අශූචි (ශුක්‍ර) මිදෙයි.
මහණෙනි, නට සිහි ඇතිව මනා නුවණ නැතිව නින්දට වැටෙනුවහට මේ දොස් පස වෙයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණැතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
සුවසේ හොවියි. සුවසේ පිබිදෙයි. ලමු සිහින නොදක්නේය. දෙවියෝ රක්නාහ. අශූචි නො මිදෙයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණ ඇතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසයි.
කිම්බිලවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
කිම්බිල සූත්‍රය, ධම්මසවණ සූත්‍රය, ආජානීය සූත්‍රය, බල සූත්‍රය, චේතෝඛිල සූත්‍රය, චේතෝවිනිබන්‍ධ සූත්‍රය, යාගු සූත්‍රය, දන්තකට්ඨ සූත්‍රය, ගීතස්සර සූත්‍රය, මුට්ඨස්සති සූත්‍රය දැයි දශයෙකි.
2. අක්කෝසක වර්‍ගය
5. 5. 2. 1.
[අක්කෝසක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුන්ට ආක්‍රෝශ පරිභව කරන්නේ ආර්‍ය්‍යනට උපවාද කරන සුලු වේ නම්, ඔහු විසින් ආදීනව පසෙක් කැමැති විය යුතු ය. කවර පසෙක යත්: