මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක විශාරද වූයේ ගිහිගෙහි වෙසේ ය යි.
5. 4. 3. 3.
[නිරය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි උපදනේ වෙයි. කවර පසෙකින් යත්:
පණිවා කරන්නේ වෙයි, ... මදපමා දෙකට කරුණු වූ රහමෙර පානය කරන්නේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් යම්සේ නම්, එසේ නිරයෙහි උපදනේ වේ.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තැබුවක් යම්සේ නම්, එසෙයින් ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
පණිවායෙන් වැළකියේ වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසෙකින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් යම් සේ නම්, එසෙයින් ස්වර්‍ගයෙහි උපදනේ වේ ය යි.
5. 4. 3. 4.
[වෙර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළෝ:
ගැහැවිය, භය පසක් හා වෛර පසක් හා ප්‍රහීණ නො කිරීමෙන් දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. නිරයට ද පැමිණේ. කවර පසෙක යත්:
පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසාවා ය, මද පමා දෙකට කරුණුවූ රහමෙර යැ යි.
ගැහැවිය, මෙ භය පස හා වෛර පස හා ප්‍රහීණ නො කිරීමෙන් දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. නිරයට ද පැමිණේ.
ගැහැවිය, භය පසක් හා වෛර පසක් හා ප්‍රහීණ කිරීමෙන් සිල්වත් ය යි කියනු ලැබේ. සුගතියට ද එළඹේ. කවර පසෙක යත්:
පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසාවා ය, මද පමා දෙකට කරුණු වූ රහමෙර යි.
ගැහැවිය, මෙ භය පස හා වෛර පස හා ප්‍රහීණ කොට සිල්වත් යයි කියනු ලැබේ. සුගතියට ද එළඹේ ය යි.
ගැහැවිය, පණිවා කරණුයේ ප්‍රාණඝාතප්‍රත්‍යයෙන් යම් ම දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්‍රසව කෙරේ නම්, සාම්පරායික භය වෛර හා ප්‍රසව කෙරේ නම්, මානසික දුක්දොම්නස් විඳුනේ නම්, පණිවායෙන් දුරුවූයේ දෘෂ්ටධාර්මික භය හා වෛර හා නො ම ප්‍රසව කෙරෙයි, සාම්පරායික භය හා වෛර හා නො ම ප්‍රසව කෙරෙයි, මානසික දුක්දොම්නස් නො ම විඳුනේ ය. පණිවායෙන් දුරුවුවහුට මෙසේ එ භය හා වෛර හා සන්හුන් වෙයි. ගැහැවිය, අයිනාදන් ගන්නා සුලුයේ ... ගැහැවිය, කාමයෙහි මිසහසර ඇතියේ ... ගැහැවිය, මුසාබස් කියනුයේ ... ගැහැවිය, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොනුයේ මදපමා දෙකට කරුණු වූ රහමෙර බිම් හේතුයෙන් යම් දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්‍රසව කෙරේ නම්, සාම්පරායික භය වෛර හා ප්‍රසව කෙරේ නම්, මානසික දුක්දොම්නස් විඳුනේ නම්, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ එ දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්‍රසව නො කෙරෙයි සාම්පරායික භය හා වෛර හා ප්‍රසව නො කෙරෙයි. මානසික දුක්දොම්නස් නො ම විඳුනේ ය මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූවහුට මෙ ලෙසින් එ භය හා වෛර හා සන්හිඳුනේ වේ යයි.
80. යමෙක් පණිවා කෙරේ නම්, මුසාවාත් බෙණේ නම්, ලොව්හි නුදුන් දෑ ගන්නේ නම්, පරඹුන් කරා ද යේ නම්, යම් පුඟුලෙක් රහමෙර පානයත් කෙරේ නම්,
81. හේ පඤ්ච වෛරයන් ප්‍රහීණ නො කොට දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. ඒ දුෂ්ප්‍රාඥ කාබුන් මරණින් මතු නිරයට එළඹෙයි.
82. යමෙක් පණිවා නො කෙරේ ද, මුසාවා නො බෙණේ ද, ලොව්හි අයිනාදන් නොගන්නේ ද, පරඹුන් කරා නො යේ ද, යම් නරයෙක් රහමෙර පානයෙහිත් නො යෙදේ ද,
83. හේ පඤ්ච වෛරයන් දුරු කොට සිල්වත් ය යි කියනු ලැබේ. කාබුන් මරණින් මතු ඒ සප්‍රාඥ තෙමේ සුගතියට පැමිණේ ය යි.
5. 4. 3. 5.
[උපාසකචණ්ඩාල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක, උපාසක-චණ්ඩාල ද උපාසකමල ද උපාසකප්‍රතිකෘෂ්ට (උපාසක පිළිකුල) ද වෙයි. කවර පසෙකින් යත්:
ශ්‍රද්ධා නැත්තේ වෙයි. දුශ්ශීල වෙයි. කොතුහලමඞ්ගලික (සුබනිමිති බලනු) යෙක් වෙයි. කර්‍මය නො ව මඞ්ගලය අදහයි. මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයකු සොයයි. එහිදු පූර්‍වකාර කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක, උපාසකචණ්ඩාල හා උපාසකමල හා උපාසක ප්‍රතිකෘෂ්ට හා වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක, උපාසකරත්න හා උපාසකපද්ම හා උපාසකපුණ්ඩරීක හා වෙයි. කවර පසෙකින් යත්:
ශ්‍රද්ධා ඇතියේ වෙයි. සිල්වත් වෙයි. කොතුහලමඞ්ගලික නො වෙයි. මඞ්ගලය නො ව කර්‍මය නහමයි. මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයකු නො සොයයි. මෙහිදු පූර්‍වකාර කරන්නේ ය.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක, උපාසකරත්න ද උපාසකපද්ම ද උපාසකපුණ්ඩරික ද වේ ය යි.
5. 4. 3. 6.
[පීති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. එ කල්හි අනාථපිණ්ඩික ගෘහපති පන්සියක් පමණ උපාසකයන් විසින් පිරිවරණ ලදුයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
ගෘහපති, තෙපිදු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟුන් වටනහු ය. ගෘහපතිය, එ පමණෙකින් ම තුෂ්ටිය කළමනා නො වේ. “අපි බික්සඟුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරින් වටම්හ” යි.
එහෙයින් ගෘහපතිය, මෙ කරුණෙහි ලා මෙසේ හික්මියයුතු යි: “කිනම් උපායෙකින් අපි කලින් කල (ප්‍රථම-ද්වීතීයධ්‍යානික) ප්‍රීතිය ලබා වසමෝ දැ?” යි. ගෘහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“වහන්ස, ආශ්චර්‍ය්‍ය ය! වහන්ස, අද්භූත ය!! වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය සුභාෂිතය ම ය: ගෘහපතිය, තෙපිදු බික්සඟුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් වටනහු ය. ගෘහපතිය, “අපි චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙන් බික්සඟුන් වටම්හ” යන එපමණෙකින් ම තුෂ්ටිය නො කළමනා ය. ගෘහපතිය, එ හෙයින් මෙ කරුණෙහි ලා මෙසෙයින් හික්මිය යුතු යි: කවර උපායෙකින් අපි කලින් කල ප්‍රවිවේකප්‍රීතිය ලබා වාසය කරමෝ දැ? යි. ගෘහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ” යි.
වහන්ස, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක (ප්‍රථම- ද්වීතීයධ්‍යානික) ප්‍රීතිය ලබා වෙසේ නම්, එ සමයෙහි ඔහට කරුණු පසෙක් නැත:
කාමයන් ඇරැබැ උපදනා යම් දුක්දොම්නසෙක් වේ නම්, ඒ සමයෙහි ඔහුට එ ද නැත. කාමෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එ සමයෙහි ඔහුට එ ද නැත. අකුශලෝපසංහිත වූ යම් දුක් දොම්නසෙක් වේ නම්, එසමයෙහි ඔහට එ ද නැත. අකුශලෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එසමයෙහි ඔහට එ ද නැත. කුශලොපසංහිත යම් දුක්දොම්නසෙක් වේ නම්, එ ද ඔහට එ සමයෙහි නැත.
වහන්ස, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක ප්‍රීතිය ලබා වාසය කෙරේ නම්, මෙ පස් දහම්හු එ සමයෙහි ඔහට නො වෙත් යයි.
ශාරීපුත්‍රයෙනි, මැනැවැ! මැනැවැ!! ශාරීපුත්‍රයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේකප්‍රීතිය ලබා වෙසේ නම්, ඔහට එ සමයෙහි පස් දහම් කෙනෙක් නො වෙති:
කාමෝපසංහිත වූ දුක්දොම්නසෙක් වේ නම්, එ සමයෙහි ඔහට එ ද නො වෙයි. කාමෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, ඔහට එ සමයෙහි එ ද නො වෙයි. අකුශලෝපසංහිත වූ යම් දුක්දොම්නසෙක් වේ නම්, එ ද ඔහට එ සමයෙහි නො වෙයි. අකුශලෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එ ද එ සමයෙහි ඔහට නො වෙයි. කුශලොපසංහිත වූ යම් දුක්දොම්නසෙක් මේ නම්, එ සමයෙහි ඔහට එ ද නො වෙයි.
ශාරීපුත්‍රයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක ප්‍රීතිය ලබා වෙසේ නම්, ඔහට එ සමයෙහි මේ පඤ්චකාරයෝ නො වෙත් ය යි.
5. 4. 3. 7.
[වණිජ්ජා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, උවසුහු විසින් අකරණීය (නොකටයුතු) මෙ වෙණෙදම් පසෙකි. කවර පසෙකින් යත්:
ශස්ත්‍රවාණිජ්‍ය (සත්ත්‍ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම) ය, සත්ත්‍වවාණිජ්‍ය (වහල් වෙළෙඳාම) ය, මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ය, මද්‍යවාණිජ්‍ය (මත්පැන් හා මාදක ද්‍රව්‍ය වෙළෙඳාම) ය, විෂවාණිජ්‍ය (වස වෙළෙඳාම) යි.
මහණෙනි, උවසුහු විසින් නො කටයුතු මේ වෙණෙදම් පස යි.
5. 4. 3. 8.
[රාජ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරිස් පණිවා හැරපියා පණිවායෙන් දුරු වූයේ වේ යයි රජහු තෙල පුඟුල් ගෙණ පණිවා විරමණහේතුයෙන් නසති හෝ බඳිති හෝ තොප රටින් නෙරති හෝ යම් මැ රිසි දැයක් කෙරෙති හෝ යි තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ” යි. වහන්ස, තෙල කරුණ නැත් මැ ය. මහණෙනි, මැනැවි, මා විසිනුදු මහණෙනි, “මේ පුරිස්පණිවා හැරපියා පණිවායෙන් වැළැකියේ වේ ය”යි රජහු තෙල පුඟුල් ගෙණ පණිවායෙන් වැළැකීම් හේතුයෙන් නසති හෝ (දඟගෙහිලා) බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමැති දැයක් කෙරෙති හෝ” යි තෙල කරුණ නොම දක්නා ලද, නො මැ අසන ලද.
තවද ඔහු විසින් කළ ඒ පාපකර්‍මය “මෙ පුරුෂ තෙම ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ දිවියෙන් තොර කළැ” යි එසේ ම දන්වති. රජවරු එ පුඟුල්හු අල්වාගෙන ප්‍රාණඝාතහේතුයෙන් නසන්නාහු හෝ බඳනාහු හෝ රටින් නෙරනාහු හෝ යම් මැ රිසි වූ දැයක් කරන්නාහු හෝ වෙති. මෙ වැන්නක් තොප විසින් දකිනා ලද විරූ හෝ අසන ලද විරූ හෝ ඇත් දැ? යි. වහන්ස , අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් වෙයි. ඇසෙන්නේත් වේ ය යි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පරුෂ අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකියේ වේ යයි තෙල පුඟුල් රජහු අල්වාගෙන අයිනාදනින් වැළකීම් හේතුයෙන් නසා ලති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ රිසි පරිදි හෝ යමක් මැ කෙරෙත්” ය යි තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මැනැව මහණෙනි, “මේ පුරුෂයා අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකියේ වේ ය යි රජහු තෙල පුඟුල්හු අල්වාගෙන අයිනාදනින් විරමණහේතුයෙන් නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමැති දැයක් හෝ කෙරෙතැයි” තෙල මා විසිනුදු නොම දක්නා ලද, නො අසන ලදැ යි.
වැලිත් “මේ පුරුෂයා ගමින් වේ ව යි වලින් වේ ව යි ස්තෙය සඞ්ඛ්‍යාත අයින් (නුදුන් දැය) ගත්තේ ය” යි ඔහු විසින් කළ එ පාපකර්‍මය එ ලෙසින් ම දන්වති. රජහු ඔහු අල්වාගෙන අයිනාදන් හේතුයෙන් නසන්නාහ යි ද බඳනාහ යි ද රටින් නෙරනාහ යි ද යථාප්‍රත්‍යයක් කරන්නාහ යි ද යන මෙ බඳු දැයෙක් තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලදුයේත් අසන ලදුයේත් ඇසෙන්නේත් වේ ය යි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂයා කාමයෙහි මිසහසර හැරැපියා කාමයෙහි මිසහසරින් වැළකියේ වේ ය” යි රජහු එ පුඟුල් රැගෙන කාමයෙහි මිථ්‍යාචාරවිරමණප්‍රත්‍යයයෙන් නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමති දැයක් හෝ කෙරෙති” යි යන තෙල කරුණ තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මහණෙනි, මැනැවි. මහණෙනි, “මෙ පුරුෂයා කාමයෙහි මිථ්‍යාචාරය හැරපියා කාමමිථ්‍යාචාරවිරමණප්‍රත්‍යයෙන් නසති යි ද බඳිති යි ද රටින් නෙරති යි ද යථාප්‍රත්‍යයක් කරති” යි ද යන තෙල කරුණ මා විසිනුදු නො ම දක්නා ලද, නො ම අසන ලද.
වැලිදු “මෙ පුරුෂයා පරඹුන් කෙරෙහි පර කුමාරීන් කෙරෙහි මිථ්‍යාචාරයට පැමිණියේ යයි එ පරිද්දෙන් ම ඔහුගේ ඒ පාපකර්‍මය දන්වත්. රජවරු ඔහු ගෙණ කාමයෙහි මිථ්‍යාචාරහේතුයෙන් නසති යි හෝ කාරාගෘහයෙහි බඳනාහ යි හෝ රටින් නෙරණාහ යි හෝ කැමැති පරිදි කරන්නාහ” යි යන තෙල කරුණ තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලදුයේත් අසන ලදුයේත් ඇසෙන්නේත් ඇතැයි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂ මුසුවා හැරපියා මුසවායෙන් වැළකියේ වේ ය යි රජහු තෙල පුඟුල් ගෙණ මුසවායෙන් විරමණප්‍රත්‍යයෙන් නසති යි හෝ බඳිති යි හෝ රටින් නෙරති යි හෝ කැමැති දැයක් හෝ කෙරෙති” යි දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මහණෙනි, මැනැවි. මහණෙනි, තොප විසින් “මෙ පුරුෂ මුසවාහැරපියා මුසවායෙන් වැළැකියේ වේ යයි රජහු ඔහු අල්වාගෙන මුසාවායෙන් විරමණප්‍රත්‍යයයෙන් නසති යි හෝ බඳිති යි හෝ රටින් නෙරති යි හෝ කැමැති පරිදි හෝ කෙරෙත්” ය යි මා විසිනුදු නො ම දක්නා ලද, නො අසන ලදැයි.
වැලිදු “මෙ පුරුෂ ගෘහපතියකුගේ වේව යි ගෘහපතියක්හූගේ වේව යි මුසාවායෙන් අර්‍ත්‍ථය නසන ලදැ” යි ඔහුගේ එ පාපකර්‍මය එසේ ම දන්වත්. රජහු තෙල පුඟුල් ගෙණ මුසවාහේතුයෙන් නසති හෝ බඳිති හෝ නෙරවති හෝ යථාප්‍රත්‍යයයක් හෝ කරති යි මෙබඳු දැය තොප විසින් දක්නා ලද ද? අසන ලද දැ?යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේ ද වෙයි. අසන ලද්දේ ද වෙයි. ඇසෙන්නේ ද වේ ය යි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂ මද පමා දෙකට කරුණු වූ රහමෙරපානය හැරපියා මද පමා දෙකට කරුණු වූ රහමෙරපානයෙන් වැළකියේ යැ යි මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකීම් හේතුයෙන් රජහු තෙල පුඟුල් ගෙණ නසත් ය යි ද බඳිත් ය යි ද රටින් නෙරනාහ යි ද යථාප්‍රත්‍යයක් කරත්” ය යි ද යන තෙල කරුණ තොප විසින් දක්නා ලද ද? අසන ලද දැ?යි. වහන්ස, තෙල කරුණ නැති මැ ය. මැනැව, මහණෙනි, “මෙ පුරුෂ මද පමා දෙකට කරුණු වූ රහමෙර හැරපියා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වේ ය යි රජහු ඔහු ගෙණ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් විරමණය හේතු කොට ගෙණ නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යථාප්‍රත්‍යයයක් හෝ කරති,” යි මහණෙනි, මා විසිනුදු තෙල නො ම දක්නා ලද. නො ම අසන ලද.
වැලිත් මෙ පුරුෂ “මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙහි යෙදුනේ ස්ත්‍රියක වේව යි, පුරුෂයකු වේව යි, දිවියෙන් ගැළවී ය. මෙ පුරුෂයා මදප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙහි යෙදුනේ ගමින් වේව යි, වලින් වේව යි ස්තෙය සඞ්ඛාත වූ අයින් ගත්තේ වන. මෙ පුරුෂ මදප්‍රමාදකාරණ වූ සුරාමේරයපානයෙහි යෙදුනේ පරඹුන් කෙරෙහි පරකුමාරීන් කෙරෙහි මිසහසරට පැමිණියේ වන. මෙ පුරුෂ මදප්‍රමාදකාරණ වූ රහමෙර පානයෙහි නියැලියේ ගෘහපතියකුගේ වේව යි, ගෘහපතිපුත්‍රයකු වේ ව යි, මුසවායෙන් අර්‍ත්‍ථය බිඳී ය” යි ඔහුගේ පාපකර්‍ම එ ලෙසින් ම දන්වත්. මදප්‍රමාදස්ථාන සුරාමේරය හේතු කොට ගෙණ රජහු ඔහු අල්වාගෙන නසත් නම් හෝ බඳිත් නම් හෝ රටින් නෙරත් නම් හෝ යථාප්‍රත්‍යයයක් කරත් නම් හෝ තොප විසින් මෙබඳු කරුණෙක් දක්නා ලද ද? අසන ලද දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් ඇසෙන්නේත් වේ යැ යි.
5. 4. 3. 9.
[ගිහි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. එ කල්හි අනේපිඬු ගැහැවි පන්සියක් පමණ උවසුවන් විසින් පිරිවරණ ලදුවැ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ඇමතූ සේක:
ශාරිපුත්‍රයෙනි, සුදුවත් හඳනා (පඤ්චශික්‍ෂාපදයෙහි) සංවෘතක්‍රියා ඇති යම් කිසි ගිහියකු ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති විශුද්ධචිත්තය ඇසුරු කළ සතර ධර්‍මයන් කැමතිසේ ලබනුවහු නිදුකින් ලබනුවහු විපුල කොට ලබනුවහු දනිවූ ද? හෙතෙම කැමති වනුයේ “ක්‍ෂයකළ නිරය (නිරයගාමිකර්‍ම) ඇතියෙම් වෙමි. කෟෂය කළ තිරිසන් යොන් ඇතියෙම් වෙමි. ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි. ක්‍ෂීණ වූ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙම් වෙමි. අපායට නොවැටෙන සැහැවි ඇතියෙම් මාර්‍ගනියාමයෙන් නියතයෙම්, සම්බෝධිය (අර්‍හත්ත්‍වය) පරායණ කොට ඇතියෙම්, සෝවන් වෙමි” යි තෙමේ ම තමා පාළ කරන්නේ ය.
කවර (පඤ්චශික්‍ෂාපදයෙක් හි) සංවෘත ක්‍රියා ඇතියේ වේ ය යත්:
ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදනින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහසරික් වැළකියේ වෙයි. මුසවායෙන් වැළකියේ වෙයි. මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
මෙ පඤ්චශික්‍ෂාපදයෙහි සංවෘතකර්‍ම ඇතියේ වෙයි.
ආභිචේතසික වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති කවර දහම් කැමැති සෙයින් ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වේ ය යත්:
ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක “මෙ මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථීයහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ” යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් විශුද්ධ නො වූ චිත්තයාගේ ශුද්ධිය සඳහා පර්‍ය්‍යවදාත නො වූ චිත්තයාගේ පර්‍ය්‍යාවදානය සඳහා මෙ ප්‍රථම උත්තමචිත්තය ඇසුරුකළ දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.
තවද ශාරිපුත්‍රයෙනි, ආර්‍ය්‍යශ්‍රාවක “භාග්‍යවතුන් වහන්සේ විසින් සපර්‍ය්‍යාප්තික නවලෝකෝත්තරධර්‍මය ස්වාඛ්‍යාතය, ලෝකෝත්තරධර්‍මය සාංදෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, උපනයනාර්‍හය, විඥයන් විසින් තමන් කෙරෙහි ලා වේදිතවය්‍ය” යි ධර්‍මයෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ ශුද්ධිය සඳහා අපර්‍ය්‍යවදාත චිත්තයාගේ පර්‍ය්‍යවදානය සඳහා මෙ දෙ වන ආභිචේතසික දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.
තවද ශාරීපුත්‍රයෙනි, අරීසවු “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන් ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා ඍජුමාර්‍ගයට පිළිපන්නේ ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා න්‍යාය (අර්‍හත්‍වය පිණිස) ප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා අනුරූප ප්‍රතිපත්තියට පිළිපන්නේ ය. ඔහු කවරහ යත්: පුරුෂයුගම (මාර්‍ගස්ථ ඵලස්ථ විසින්) සතරක් වන අෂ්ට පුරුෂපුද්ගලයෝ ය. භාග්‍යවතුන් වහන්සේගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ආහුනෙය්‍යය වෙයි, පාහුනෙය්‍යය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ” යයි අෂ්ටාර්‍ය්‍යපුද්ගල සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ විශුද්ධිය සඳහා අපර්‍ය්‍යවදාත චිත්තයාගේ පර්‍ය්‍යවදානය සඳහා මේ තුන් වන ආභිචෛතසික දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.
තවද ශාරීපුත්‍රයෙනි, අරීසවු ආර්‍ය්‍යකාන්ත වූ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ තෘෂ්ණෘදාසව්‍යයෙන් මිදුනු විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණාමානදෘෂ්ටියෙන් පරාමෘෂ්ට නො වූ චිත්තසමාධිය උපදවන ශීලයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ විශුද්ධිය සඳහා අපර්‍ය්‍යවදාත චිත්තයාගේ පර්‍ය්‍යවදානය සඳහා මේ සතර වන ආභිචෛතසික වූ දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.
මෙසේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මේ ආභිචෛතසික දෘෂ්ටධර්‍මසුඛවිහාර සතර කැමති සෙයින් ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල සෙයින් ලබනුයේ වෙයි.
ශාරීපුත්‍රයෙනි, මේ පඤ්චශික්‍ෂාපදයෙහි සංවෘතකර්‍මාන්ත ඇති, මෙ ආභිචෛතසික දෘෂ්ටධර්‍මසුඛවිහාරයන් සතර කැමති සෙයින් ලබන නිදුකින් ලබන විපුල කොට ලබන හෙළපිළී හඳනා යම් මැ ගිහියකු දනිවූ ද? හේ කැමැති වන්නේ නම්, ක්‍ෂීණනිරය ඇතියෙම් වෙමි, ක්‍ෂීණ තිරශ්චීනයෝනි ඇතියෙම් වෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි, ක්‍ෂීණාපායදුර්‍ගතිවිනිපාත ඇතියෙම් වෙමි, සෝවන් වෙමි, විනිපාත ධර්‍ම නැතියෙම් නියතයෙම් සම්බෝධිපරායන වෙමි” යි තෙමේ ම තමා පාළ කරන්නේ යි.
84. නුවණැතියේ නිරයෙහි භය දැක පව් හැරලන්නේය. ආර්‍ය්‍යධර්‍මය (පඤ්චශීලය) සමාදන් කොට ගෙණ පව් දුරැ ලන්නේ ය.
85. වීර්‍ය්‍ය ඇති කල්හි (දැන දැන) ප්‍රාණීන් නො පෙළන්නේ ය. දැනැ දැනැ මුසවාත් නො කියන්නේ ය. නුදුන් දෑ ද නො පහස්නේ ය.
86. සිය අඹුන් හා සමඟ තුටු වන්නේ පරඹුන් කෙරෙහි නො ඇලෙන්නේ ය. පුරුෂ තෙමේ සිත මුළා කරණ රහමෙර නො ම බොන්නේ ය.
87. සම්බුදුන් සිහිකරන්නේ ය. නවලෝකෝත්තරධර්‍මය ද අනුස්මෘති වශයෙන් අනුවිතර්‍කණය කරන්නේ ය. දෙව්ලොවැ (බඹලොව) උපත් සඳහා නිදුක් වූ හිත වූ (බ්‍රහ්මවිහාර) සිත වඩන්නේ ය.
88. පුණ්‍යාර්ත්‍ථි වූ පුණ්‍යගවේෂකයාහට දේයධර්‍මය ඇති කල්හි පළමු කොට බුදුපසේබුදුමහරහතුන් කෙරෙහි දෙන ලද, දක්‍ෂිණා තොමෝ විපුල (ඵල ඇත්තී) වෙයි.
89-91. ශාරීපුත්‍රයෙනි, සත්පුරුෂයන් නියම කොට පවසමි. මාගේ භාෂිතය අසව. කළුපැහැ ඇති වේව යි, සුදු වේව යි, රතු වේව යි, රන්වන් වේව යි, කල්මාෂ (ලප) සහිත වේව යි, සමානරූප ඇති වේව යි, පරෙවිපැහැති වේව යි, මෙසේ තෙල යම් කිසි ගවයන් කෙරෙහි ධුරවහනයට සමත් බලසම්පන්න දැමුනු කල්‍යාණ ජව හා වීර්‍ය්‍ය ඇති පුඞ්ගවයෙක් උපදනේ වේ නම්, ඔහු ම ධුරයෙහි යොදත්. ඔහුගේ වර්‍ණය නො පිරික්සත් (නො සලකත්.)
92-95 එ පරිද්දෙන් ම මනුෂ්‍යයන් කෙරෙහි ක්‍ෂත්‍රියකුලයෙහි වේව යි, බ්‍රාහ්මණකුලයෙහි වේව යි, වෛශ්‍යකුලයෙහි වේව යි, ශුද්‍රකුලයෙහි වේව යි, සැඩොල් පුප්සඩුකුලෙහි වේව යි, මෙබඳු යම් කිසි තෙල කුලන් අතුරෙහි වූ කිසි යම් ජාතියෙක්හි උපන් දැමුනාවූ මනා ව්‍රත ඇති ධර්මිෂ්ධ වූ සත්‍යවාදී වූ ලජ්ජායෙන් යුත් සිත් ඇති ප්‍රහීණ වූ පුනර් ජාතිමරණ ඇති බ්‍රහ්මචර්‍ය්‍යය පිළිබඳ සකලගුණයෙන් යුත් දුරු කළ කෙලෙස්බර ඇති සංයෝගරහිත වූ සිවුමඟින් කළ කිස ඇති ආස්‍රව රහිත වූ සර්‍වධර්‍මයන්ගේ පරතෙර පත් උපාදාන විසින් නො ගෙණ කෙලෙස් පිරිනිවනින් පිරිනිවියෙක් වේ ද, කෙලෙස්රජස් නැති ඒ (ක්‍ෂීණාස්‍රව පුද්ගල සඞ්ඛ්‍යාත) පුණ්‍යක්‍ෂේත්‍රයෙහි දෙන ලද දක්‍ෂිණා තොමෝ (ඵලයෙන්) විපුල වෙයි.
96. කාරණාකාරණ නො දන්නා තන්වැසි නුවණ නැති අශ්‍රැතවත් බාලයෝ ම බුදුසස්නෙන් පිටත්හි (විපුල ඵල ඇතැයි) දන් දෙත්. සත්පුරුෂයන් නො ම ඇසුරු කෙරෙත්.
97. යම් කෙනෙක් සප්‍රාඥ වූ ධීර ය යි සම්මත වූ සත්පුරුෂයන් උපාසනය (ආශ්‍රය) කෙරෙත් ද, ඔවුන්ගේ ශ්‍රද්ධාව ද සුගතයන් වහන්සේ කෙරෙහි හටගත් මුල් ඇතිව පිහිටියා වෙයි ද,
98. ඔහු දෙව්ලොව ද යෙති. මෙ මිනිසත්හි උතුම් කුලයෙක හෝ උපදනාහ. එ පණ්ඩිතයෝ අනුපිළිවෙළින් නිවන අවබෝධ කෙරෙත් ය යි.
5. 4. 3. 10.
[ගවේසී සූත්‍රය]
30. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන හා සමඟ කොසොල්දනව්යෙහි සැරිසරණසේක. දීර්‍ඝමාර්‍ගයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර ප්‍රදේශයෙක්යි මහසල්වනයක් දුටු සේක. දැක මාර්‍ගයෙන් ඉවත් ව එ සල්වන කරා වැඩි සේක. වැඩ එ සල්වනයට පිවිස එක් පියසෙක වැඩසිට සිනා පාළ කළ සේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල සිත් විය: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවර! ප්‍රත්‍යය කවර! තථාගතයෝ නො කරුණෙන් සිනා පාළ නො කෙරෙත් ය” යි.
එක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ යැ? තථාගතයෝ නො කරුණෙහි සිනා පාළ නො කෙරෙති” යි.
ආනන්‍දයෙනි, පෙර මෙ පියෙස්හි සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ දනක් ඇති ගැවසීගත් මිනිසුන් ඇති නුවරෙක් විය. ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වු කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ එ නුවර නිසා විසූහ.
ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වු කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේට, ශීලයෙහි අපරිපුරකාරී වූ ගවේසී නම් උපාසකයෙක් විය. ආනන්‍දයෙනි, ගවේසී උවසුවහු විසින් පන්සියයක් පමණ උවසුවෝ (උපාසකත්‍වයට) පිළිණ කරවන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු ශීලයෙහි අපරිපුරාකාරී වූහ.
ආනන්‍දයෙනි, එක්බිති, ගවේසී උපාසකයාහට තෙල සිත් විය. “මම් වනාහි මේ පන්සියක් උවසුවනට බහුකාරයෙමි, පූර්‍වඞ්ගමයෙමි, සමාදන් කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි අපරිපුරකාරීයෙමි. මේ පන්සියක් උවසුවෝ ද ශීලයෙහි අපරිපුරකාරි වෙති. මෙසෙයින් තෙල කරුණ සමසම වෙයි. කිසිදු අතිරේකයෙක් නැත. මම් අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැව” යි.