Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 7301-7400 න් 15980

16. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟී සිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍ව ය නො ලබන්නේ වේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්‍යතර මනෝමය (ශුද්ධාවාස) කායකට පිළිසිඳ විසින් පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ යි.
මෙසෙයින් වදාරත් ම ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල කරුණ කීහ: “ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, තෙල හේතු රහිතය, වන්නට අවකාශ නැත. යම් කරුණෙකින් එ මහණ කවලීකාරාහාරය වළඳන (කාමාවචර) දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්‍යතර මනෝමය (ශුද්ධාවාස) දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
දෙවන වට දු ... තෙවන වට දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ වෙයි. ඉදින් හේ ඉහාත්මයෙහි ම අර්‍හත්‍වය සාක්‍ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමයදේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟී සිටුනේත් වෙයි යන තෙල කරුණ වේ යි.
[දෙවන වට දු ... ] තෙවන වට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත්තෙරුනට තෙල සැළකළහ: “ආයුෂ්මත් ශාරීප්‍රත්‍රයෙනි, තෙල හේතු රහිතය, අවකාශ රහිත ය. යම් කරුණෙකින් එ මහණ කවලීකාරාහාර වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමයදේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ නොවේ”යි.
එ කල ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරනුහට තෙල සිත විය: “තෙවන වට දක්වාත් ආයුෂ්මත් උදායී තෙරණුවෝ මාගේ බස බැහැර කරත්. කිසිදු මහණෙක් මාගේ භාෂිතය අනුමෙව්නි නො කරයි. මම් භාග්‍යවතුන් වහන්සේ කරා යෙම් නම්, මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ:
“ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය සාක්‍ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ”යි.
මෙසේ දෙසත් ම ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. යම් හෙයෙකින් එ මහණ කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධයට සමවදනේත්, එයින් නැඟිසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
දෙවන වට දු ... තෙවන වට දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: “ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය සාක්‍ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ”යි.
[දෙවන වට දු ...] තෙවන වට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත්තෙරුන්ට තෙල කරුණ කීහ: “ඇවැත්නි, ශාරීප්‍රත්‍රයෙනි, තෙල හේතුරහිත ය, ප්‍රත්‍යය රහිත ය. යම් හෙයෙකින් එ මහණ කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේව නිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්හට තෙල සිත් විය: “ආයුෂ්මත් උදායී භාග්‍යවතුන් වහන්සේ හමියෙහිදු තෙවන වට දක්වා මාගේ බසට ප්‍රතික්‍රෝශ කෙරෙයි. කිසි ද මහණෙක් මා බස අනුමෙවෙනි නො කෙරෙයි. මම තුෂ්ණීම්භූත වෙම් නම් මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණීම්භූත වූහ.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ උදායී තෙරුන් ඇමතූසේක: උදායිනි, තෝ මනෝමය කාය කිමැයි හඟනාව? යි. වහන්ස, යම් අරූපී සංඥාමය දෙවි කෙනෙක් වෙත් නම්, උහු ය යි. උදායිනි, බාල වූ අව්‍යක්ත වූ තාගේ කථායෙන් කවර වැඩෙක? තො ද බිණිය යුතු කොට හඟිහි දැ? යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමැතූ සේක: ආනන්‍දය, ගර්‍හාවෙක් මැ නු! ස්ථවිර මහණකු වෙහෙසනු ලබනු (දැක නොසලකා) බලා හිඳුනාව!! ආනන්‍දය, වෙහෙසනු ලබන ස්ථවිර මහණ කෙරෙහි කරුණායෙකුදු නො වී!!!
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධි සම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ නො කෙරේ නම්, කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ විද්‍යාමාන වේ ය යි. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී වෙහෙරට වැඩිසේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝකල් වත් ම ආයුෂ්මත් උපවාන තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් උපවාන තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, උපවානයෙනි, මෙහි අන්‍ය භික්‍ෂූහු ස්ථවිර මහණුන් වෙහෙසති. අපි ඔවුන් නො පුළුවුස්මහ. ඇවැත්නි, උපවානයෙනි, යම් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ සවස් වරුයෙහි පිළිසලනින් නැඟීසිටිසේක් තෙල කරුණ ම අරබයා වදාරණ සේක් නම් තෙල අසිරියෙක් නො වේ. මෙ කරුණෙහි ලා ආයුෂ්මත් උපවානයන්හට ම ප්‍රතිවචනයෙක් වැටහේ නම්, මැනැවි. අපට දොම්නස බැස සිටියේ ය”යි.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වරුයෙහි පිළිසලනින් නැඟීසිටි සේක් උපස්ථාන ශාලාව කරා වැඩිසේක. වැඩ පැන්වූ අස්නෙහි වැඩ හුන්සේක. වැඩහිඳ ආයුෂ්මත් උපවානයන්ට තෙල කරුණ වදාළහ:
උපවානයෙනි, කෙතෙක් කරුණින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මන වඩනුයෙක් හා ගුරු වූයෙක් හා සම්භාවනාර්‍හයෙක් වේ දැ? යි.
වහන්ස, කරුණු පසෙකින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මනාපයෙක් හා ගුරු වූයෙක් හා භාවනීයයෙක් හා වේ. කවර පසෙකින යත්:
වහන්ස, මෙ සස්නෙහි තෙර මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙණ සිකපදයෙහි හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... ප්‍රඥායෙන් පිළිවිදියේ වෙයි. කළණ තෙපුල් ඇතියේ කල්‍යාණකථා කරන්නේ පරිපූර්‍ණ වූ නිදොස් කෙළතොලු නො වූ ගම්භීරාර්‍ත්‍ථයන් ප්‍රකාශ කරණ වචනයෙන් සමන්‍වාගත වෙයි. අධිචිත්තයෙහි උපන් ඉහාත්මයෙහි සුඛවිහාර වන සතර ධ්‍යානයන් කැමැතියේ ලබන සුලුයේ සුවසේ ලබන සුලුයේ විපුල කොට ලබන සුලුයේ වෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට අර්‍හත්‍වයට පැමිණ වාසය කරයි.
වහන්ස, මෙ කරුණුපසින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මනාපයෙක් හා ගුරු වූයෙක් හා භාවනීයයෙක් හා වේ ය යි.
“සාධු! සාධූ!! උපවානය, උපවානය, මේ කරුණු පසින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මනාපයෙක් හා ගුරු හා භාවනීය හා වෙයි. උපවානය, මෙ දහම් පස තෙර මහණහට විද්‍යාමාන නො වේ නම්, කවර කරුණෙකින් සබ්‍රම්සරහු ඔහට-කඩදත්බැවින් හෝ පුලුකෙහෙබැවින් හෝ ඇඟරැලි නැඟුණු බැවින් හෝ සත්කාර කෙරෙත් ද? ගුරුකාර කෙරෙත් ද? සම්මාන කෙරෙත් ද? පුදත් ද? උපවානයෙනි, යම් හෙයෙකින් තෙර මහණහට මෙ පඤ්චධර්‍මයෝ විද්‍යාමාන වෙත් ද, එ හෙයින් සබ්‍රම්සරහු ඔහට සත්කාර කරන්නාහ, ගුරුකාර කරන්නාහ, සම්මාන කරන්නාහ, පූජා කරන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
5. 4. 2. 7.
[චෝදනා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමැතූ සේක ...
ඇවැත්නි, පරහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් ධර්‍ම පසක් තමා කෙරෙහි එළවා මෙරමා චෝදනා කළ යුත්තේ ය. කවර පසෙක යත්:
අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් කියනෙමි, ද්වේෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි.
ඇවැත්නි, පරහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙ කරුණු පස තමා කෙරෙහි එළවා අන්‍යයා චෝදනා කළ යුත්තේ ය.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු නිසි කල්හි නො ව අකාලයෙහි චෝදනා කරණු ලබන කිපියහු දක්මි. භූතයෙන් නො ව අභූතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, මොළොකින් නො ව පරොස්බසින් චෝදනා කරණු ලබන කිපියහු, අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, මෛත්‍රීසහගතචිත්තයෙන් නො ව ද්වේෂසහගතචිත්තයෙන් චෝදනා කරණු ලබන කිපියහු දක්මි.
ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා ලද මහණහට පස් අයුරෙකින් අවිප්‍රතිසාරය ඉපැදවිය යුත්තේ ය:
ආයුෂ්මත් කාලයෙන් නො ව අකාලයෙන් චූදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් භූතයෙන් නො ව අභූතයෙන් චූදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් මොළොකින් නොව පරොස් බසින් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් මෙත්සිතින් නො ව ද්වේෂසහගත චිත්තයෙන් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි.
ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා ලද භික්‍ෂුහට මෙ කරුණ පසින් අවිප්‍රතිසාරය ඉපැදවිය යුතු යි.
ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරණ මහණහට කරුණු පසෙකින් විප්‍රතිසාරය දැනැවිය යුතු.
ඇවැත්නි, තොප විසින් නිසි කල්හි නො ව අකාලයෙහි (හේ) චූදිත වෙයි. එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් භූතයෙන් නො ව අභූතයෙන් (හේ) චූදිත වෙයි. එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් මොළොකින් නො ව පරොසින් චූදිත වෙයි, තොපගේ විප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චුදිත වෙයි, තොපගේ විප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් මෙත්සිතින් නො ව ද්වේෂචිත්තයෙන් චුදිත වෙයි, එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි.
ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරණ මහණහට මෙ පස්කරුණින් විප්‍රතිසාරයට දැනැවිය යුතු. එ කවර හෙයින යත්: අන් මහණෙක් ද (තව මහණකු) අභූතයෙන් චෝදනා කටයුතු කොට නො සිතනු පිණිසයි.
ඇවැත්නි, මම මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු අකාලයෙහි නො ව කාලයෙහි චෝදනා කරණු ලබන කිපියහු දක්මි. අභූතයෙන් නො ව භූතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, පරොස් බසින් නො ව මෙළොකින් චෝදනා කරණු ලබන කිපියහු, අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, ද්වේෂචිත්තයෙන් නො ව මෛත්‍රීචිත්තයෙන් චෝදනා කරණු ලබන කිපියහු දක්මි.
ඇවැත්නි, ධර්‍මයෙන් චෝදිත භික්‍ෂූහට පස් අයුරෙකින් විප්‍රතිසාරය දැනැවිය යුතු:
ආයුෂ්මත් අකාලයෙහි නො ව කාලයෙහි චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිසි වෙයි. ආයුෂ්මත් අභූතයෙන් නො ව භූතයෙන් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිසි වෙයි. ආයුෂ්මත් පරොසින් නො ව මොළොකින් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිස්ස. ආයුෂ්මත් අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිස්ස. ආයුෂ්මත් ද්වේෂචිත්තයෙන් නො ව මෙත්සිතින් චොදිතයෙහි, තොපගේ විප්‍රතිසාරට එ නිස්සැයි.
ඇවැත්නි, ධර්‍මයෙන් චෝදිත භික්‍ෂුහට මෙ කරුණු පසින් විපිළිසර දැනැවිය යුතු.
ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරණ මහණහට කරුණු පසෙකින් අවිප්‍රතිසාරය දැනැවිය යුතු යි:
ඇවැත්නි, තොප විසින් (හේ) අකාලයෙහි නො ව කාලයෙහි චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අභූතයෙන් නො ව භූතයෙන් චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් පරොසින් නො ව මොළොකින් චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චෝදිත ය, තොපගේ අවිප්‍රතිසාරයට එ නිස්ස. ඇවැත්නි, තොප විසින් ද්වේෂචිත්තයෙන් නො ව මෙත්සිතින් චෝදිත ය, තොපගේ අවිප්‍රතිසාරයට එ නිස්සැයි.
ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරණ මහණහට මෙ කරුණු පසින් අවිප්‍රතිසාරය දැනැවිය යුතු ය. එ කවර හෙයින යත්: යම් හෙයෙකින් අන් මහණෙක් ද (තව මහණකු) භූතයෙන් චෝදනා කටයුතු කොට හඟනේ වේ නම්, එහෙයිනි.
ඇවැත්නි, චෝදනා ලත් පුඟුල්හු විසින් සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි ද යන ධර්‍ම දෙකෙහි පිහිටිය යුතු ය. ඇවැත්නි, අන්‍යයෝ ඉදින් මට ද කාලයෙහි වේව යි, අකාලයෙහි වේව යි, භූතයෙන් වේව යි, අභූතයෙන් වේව යි, මොළොකින් වේව යි, පරොසින් වේව යි, අර්‍ත්‍ථසංහිතයෙන් වේව යි, අනර්‍ත්‍ථසංහිතයෙන් වේව යි, මෛත්‍රීචිත්තයෙන් වේව යි, ද්වේෂචිත්තයෙන් වේව යි චෝදනා කරත් නම්, මම ද සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි ද යන ධර්‍ම දෙක්හි පිහිටන්නෙමි:
“ඉදින් තෙල ධර්‍මය මා කෙරෙහි ඇතැයි දන්නෙම් නම්, ‘තෙල ධර්‍මය මා කෙරෙහි ඇතැ’යි එය ඇතිසේ කියමි. ඉදින් තෙල ධර්‍මය මා කෙරෙහි නැතැයි දනිම් නම්, ‘තෙල ධර්‍මය මා කෙරෙහි විද්‍යාමාන නො වේ’ යයි එය නැතිසෙ කියමි.”
එතෙකුදු වුව ශාරීපුත්‍රය, තොප විසින් මෙසේ කියනු ලබන්නාහු මෙහි ඇතැම් තුච්ඡපුරුෂ කෙනෙක් එය පැදකුණු කොට (ඇදුරු කොට) නො ගන්නාහ යි.
වහන්ස, යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා නැත්තාහු දිවිවැටුම් හේතු කොට ගත්තාහු ශ්‍රද්ධා නැති වැ මැ අගාරයෙන් නික්මැ ශාසනයට පැමිණියාහු පැවිදි වූවාහු, කෛරාටික වූවාහු වඤ්චක වූවාහු මායා ඇත්තාහු උඬනු වූවාහු උද්ගත මානනළ ඇතියාහු චපල වූවාහු දොඩමලු වූවාහු අසංයත වචන ඇත්තාහු ඉඳුරන්හි නොපියූ දොර ඇතියාහු භෝජනයෙහි මාත්‍රඥ නො වූවාහු ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා නැතියාහු ශික්‍ෂාහි තීව්‍ර ගෞරව නැත්තාහු ප්‍රත්‍යයබාහුල්‍යය ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු (පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත) අවක්‍රමණයෙහි පූර්‍වාඞ්ගම වූවාහු ප්‍රවිවේකයෙහි හළ වැර ඇත්තාහු අලස වූවාහු හීනවීර්‍ය්‍ය ඇත්තාහු නට-සිහි ඇත්තාහු සම්‍යක් ප්‍රඥා නැත්තාහු, සමාහිත නොවූවාහු විභ්‍රාන්ත වූ සිත් ඇත්තාහු ප්‍රඥා නැත්තාහු කෙළතොලු වූවාහු වෙත් නම්, ඔහු මා විසින් මෙසේ කියනු (ඔවා දෙනු) ලබන්නාහු එය පැදකුණු කොට (ඇදුරු කොට) නො ගණිත්.
වහන්ස, යම් සැදැහැති කුලපුත්‍ර කෙනෙක් ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පැවිදිවූවාහු, කෛරාටික නොවූවාහු වංචක නොවූවාහු මායා රහිත වූවාහු උඬනු නො වූවාහු උද්ගත මානනළ නැත්තාහු චපල නො වූවාහු දොඩමලු නො වූවාහු සංයත වචන ඇත්තාහු ඉඳුරන්හි පියූ දොර ඇතියාහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු නිදිවැරීමෙහි යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තාහු ශික්‍ෂායෙහි තීව්‍ර ගෞරව ඇත්තාහු, ප්‍රත්‍යය බාහුලක නො වූවාහු සස්න ලිහිල් කොට නො ගන්නාහු අවක්‍රමණයෙහි හළ වැර ඇතියාහු ප්‍රවිවේකයෙහි පූර්‍වාඞ්ගම වූවාහු රුකුළු වැර ඇතියාහු නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු සම්‍යක්ප්‍රඥා ඇත්තාහු සමාහිත වූවාහු එකඟසිත් ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු කෙළතොලු නොවූවාහු වෙත් නම්, ඔහු මා විසින් මෙසේ කියනු ලබන්නාහු පැදකුණු කොට මතෙපුල් ගණිත් ය යි සැරියුත් තෙරණුවෝ කීහ.
ශාරීපුත්‍රයෙනි, යම් පුද්ගල කෙනෙක් අශ්‍රද්ධාවත් වූවාහු ජීවිකාව ම අර්‍ත්‍ථ කොට ගත්තාහු ශ්‍රද්ධා නැතියාහු ගිහිගෙන් නික්මැ ශාසනයට පැමිණියාහු සළබව් ඇතියාහු මායා ඇත්තාහු වඤ්චා ඇත්තාහු උඩනු වූවාහු උස්ව නැගි මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු සංකීර්‍ණවචන ඇත්තාහු ඉඳුරන්හි නො පියූ දොර ඇතියාහු භෝජනයෙහි මාත්‍රඥ නො වූවාහු ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා නැත්තාහු ශික්‍ෂාහි තීව්‍ර ගෞරව නැත්තාහු, ප්‍රත්‍යයබාහුල්‍යයෙන් යුක්ත වූවාහු ශාසනය ලඝු කොට ගත්තාහු (පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත) අවක්‍රමණයෙහි පෙරටුව යන්නාහු ප්‍රකර්‍ෂ විවේකයෙහි හැරපී වීර්‍ය්‍යධූර ඇත්තාහු කුසීත වූවාහු හීනවීර්‍ය්‍ය ඇත්තාහු නට සිහි ඇත්තාහු සම්ප්‍රඥානයෙන් තොර වූවාහු අසමාහිත වූවාහු විභ්‍රාන්ත සිත් ඇත්තාහු දුෂ්ප්‍රාඥ වූවාහු කෙළතොලු වූවාහු නම්, ඔහු සිටිත්වා.
ශාරීපුත්‍රයෙනි, යම් ශ්‍රද්ධාවත් කුලපුත්‍ර කෙනෙක් ගිහිගෙන් නික්ම ශාසනයට පැමිණියාහු, සළබව් නැත්තාහු මායා නැත්තාහු වඤ්චනික නො වූවාහු උඩනු නො වූවාහු මානනළ නැත්තාහු චපල නො වූවාහු දොඩමලු නො වූවාහු නො විසුළ තෙපුල් ඇතියාහු ඉඳුරන්හි පියූ දොර ඇත්තාහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු නිදිවැරීමෙහි යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තාහු ශික්‍ෂාහි තීව්‍ර ගෞරව ඇත්තාහු, බාහුලික නො වූවාහු සස්න ලිහිල් කොට නො ගත්තාහු අවක්‍රමණයෙහි හැරපියූ වීර්‍ය්‍ය ධූර ඇත්තාහු ප්‍රවිවේකයෙහි පූර්‍වාඞ්ගම වූවාහු රුකුළු වැර ඇතියාහු නිවන් කෙරෙහි මෙහෙයුනු සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු සම්‍යක්ප්‍රඥා ඇත්තාහු සමාහිත වූවාහු එකඟ සිත් ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු කෙළතොලු නො වූවාහු වෙත් නම්, ශාරීපුත්‍රයෙනි, තෙපි ඔවුනට කියව. ශාරීපුත්‍රයෙනි, සබ්‍රම්සරුන්ට ඔවා දෙව. ශාරීපුත්‍රයෙනි “සබ්‍රම්සරුන් අසද්ධර්‍මයෙන් නඟා සිටුවා සද්ධර්‍මයෙහි පිහිටුවන්නෙමි”යි. සබ්‍රම්සරුන්ට අනුශාසනා කරව. ශාරීපුත්‍රයෙනි, තොප විසින් මෙසෙයින් ම හික්මිය යුතු ය යි භගවත්හු වදාළහ.
5. 4. 2. 8.
[සීල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
18. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමැතූහ ... ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුශ්ශීලයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධි විපන්න (වියුක්ත) යාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාවිරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
ඇවැත්නි, යම්සේ නට අතුකොළ ඇති රුකෙක් වේ නම්, එහි පිට පොතු ද වැඩුමට නො යේ. සිවිදු වැඩුමට නො යේ. බොරුදු වැඩුමට නොයේ. සාරයත් වැඩුමට නො යේ. ඇවැත්නි, එසෙයින් ම ශීලවිපත්තියට පත් දුශ්ශීලයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාවිරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශන සම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
ඇවැත්නි, යම්සේ අතුපතරින් ගැවසීගත් රුකෙක් වේ නම්, එහි පිටපොතුත් වැඩුමට යේ. සිවිදු වැඩුමට යේ. බොරුදු වැඩුමට යේ. සාරයදු වැඩුමට යේ. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ ය යි.
5. 4. 2. 9.
[ඛිප්පනිසන්ති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
19. එ කල්හි ආයුෂ්මත් අනද තෙරණුවෝ සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළකළහ:
ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මහණ කෙතෙක් කරුණින් කුශලධර්‍මයෙහි වහා රුකුළුකන් ඇති වේ ද, සුගෘහීත කොට ගන්නා සුලුයේත් වේ ද, බොහෝ කොට ගන්නේත් වේ ද? ඔහු විසින් ගන්නා ලද දැය විස්මෘතත් නො වේ දැ? යි.
“ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බහුශ්‍රැතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරුනට ම තෙල වැටහේව” යි. එසේ වී නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, අසනු මැනැවි, මනා කොට මෙනෙහි කළ මැනැවි, කියමි යි.
‘ඇවැත්නි, එසේ ය’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:
ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ අර්‍ත්‍ථයෙහි ද කුශල වෙයි. පාළි ධර්‍මයෙහි ද කුශල වෙයි. නිරුක්ති වචනයෙහි ද කුශල වෙයි. ව්‍යඤ්ජන (පදභේද) යෙහි ද කුශල වෙයි. පූර්‍වාපරසන්‍ධානයෙහි (මුල අග ගැළපීමෙහි) ද කුශල වෙයි.
ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මෙ පමණෙකින් ම මහණ කුශලධර්‍මයෙහි වහා අසන්නේ (දරන්නේ) වෙයි. මොනවට උගන්නේ ද වෙයි. බොහෝ කොට ද ගන්නේ ය. ඔහු විසින් ගන්නා ලද දැය නො නස්නේ ය යි.
ආශ්චර්‍ය්‍යය ඇවැත්නි, අද්භූත ය ඇවැත්නි, ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් විසින් මෙය සුභාෂිත මැ යැ. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් මේ දහම් පසින් සමන්‍වාගත කොට “ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අර්‍ත්‍ථකුශලයහ, ධර්‍මකුශලයහ, නිරුක්තිකුශලයහ, ව්‍යඤ්ජනකුශලයහ, පූර්‍වාපරසන්‍ධානකුශලයහ”යි ධරම්හ.
5. 4. 2. 10.
[භද්දජී සූත්‍රය]
20. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වසන්නාහ. එ කල්හි ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් හා සමඟ සතුටුවූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවන්ට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:
ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවනි, දර්‍ශනයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? ශ්‍රවණයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? සුඛයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? සංඥාවන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? භවයන් කෙරෙහි කුමක් අග්‍ර වේ දැයි?
ඇවැත්නි, මෙරමා අභිභවා සිටි අනෙකක්හු විසින් අනභිභූත වූ ඒකාන්තයෙන් සියල්ල දක්නාවූ හැම දෙන සියවසයෙහි පවත්වන සුලු බ්‍රහ්මයෙක් ඇත. යමෙක් එ බ්‍රහ්මයා දක්නේ වේ නම්, මෙය දර්‍ශනයන් කෙරෙහි අග්‍රය.
ඇවැත්නි, ආභාස්වර නම් වූ සුඛයෙන් පිරී පැතිර සිටුනා දෙවිකෙනෙක් ඇත. ඔහු ඇතැම් කලෙක “අහෝ සුඛ ය, අහෝ සුඛය ය”යි උදන් අනත්. යමෙක් එ හඬ අසා නම්, මෙය ශ්‍රවණයන් කෙරෙහි අග්‍ර ය.
ඇවැත්නි, ශුභකෘතස්න නම් දෙවි කෙනෙක් ඇත. සුඛිත වූ ඔහු විද්‍යමාන වූ ම සුව විඳුනාහ. මෙ සුඛයන් කෙරෙහි අග්‍ර ය.
ඇවැත්නි, ආකිඤ්චන්‍යායතනෝපග දෙවි කෙනෙක් ඇත. මෙ සංඥාවන් කෙරෙහි අග්‍ර යයි.
ඇවැත්නි, නෛවසංඥානාසංඥායතනොපග දෙවි කෙනෙක් ඇත. මෙ භවයන් කෙරෙහි අග්‍ර යයි.
ආයුෂ්මත් භද්‍රජිත් තෙරුන‍්ගේ මෙ බස බහු ජනයාගේ (බොහෝ දෙනාගේ) බස් හා සැසැඳේ ය යි.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බහුශ්‍රැතයහ, ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන්ට ම (තෙල කරුණ) වැටහේව යි.
ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවනි, එසේ වී නම්, මනා කොට අසව, මැනැවින් මෙනෙහි කරව, කියමි යි. ‘ඇවැත්නි, එසේ ය’ යි ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කරුණ කීහ:
ඇවැත්නි, යම් පරිද්දෙකින් (ඉටු අනිටු කවර හෝ අරමුණක්) දක්නහුට එයට අනතුරුව ම ආස්‍රවයන්ගේ ක්‍ෂය වේ නම්, මෙ දර්‍ශනයන් කෙරෙහි අග්‍ර වෙයි. යම් පරිද්දෙකින් අසන්නහුට එයට අනතුරුව ට ආස්‍රවක්‍ෂය වේ නම්, මෙ ශ්‍රවණයන් කෙරෙහි අග්‍ර වෙයි. යම් මාර්‍ගසුඛයෙකින් සුඛිත වූවහුට අනතුරුව ම අර්‍හත්ත්‍ව ය උපදී නම්, මේ මාර්‍ගසුඛය සුඛයන් කෙරෙහි අග්‍ර ය. යම් මාර්‍ගසංඥාවක් ඇතියහුට (මාර්‍ගසංඥාවට) අනතුරුව ම ආස්‍රවක්‍ෂය වේ නම්, මේ සංඥාවන් කෙරෙහි අග්‍රය. යම් අත්බැවෙක සිටියහුට අනන්තරව ම (මාර්‍ගයට අනතුරුව ම) ආස්‍රවක්‍ෂය (ඵලය) වේ නම්, මේ පශ්චිමභවය භවයන් කෙරෙහි අග්‍ර වේ යයි.
ආඝාතවර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
ආඝාතවිනය සූත්‍ර දෙක ය, සාකච්ඡා සූත්‍රය, සාජීව සූත්‍රය, පඤ්හපුච්ඡා සූත්‍රය, නිරෝධ සූත්‍රය, චෝදනා සූත්‍රය, සීල සූත්‍රය, නිසන්ති සූත්‍රය, භද්දජීසූත්‍ර ය දැ යි දසයෙකි.
3. උපාසක වර්‍ගය
5. 4. 3. 1.
[සාරජ්ජ සූත්‍රය]
21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. “වහන්ස” යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක ශාරද්‍යයට (බියට) බටුයේ වෙයි. කවර පසෙකින් යත්:
පණිවා කරණුයේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසාවා කියනුයේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙර බොනුයේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක ශාරද්‍යයට බටුයේ වේ.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක විශාරද වෙයි. කවර පසෙකින් යත්:
පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදනින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහරින් වැළකියේ වෙයි. මුසවායෙන් වැළකියේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙරින් වැළකියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක විශාරද වේ ය යි.
5. 4. 3. 2.
[විසාරද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක අවිශාරද වූයේ ගිහි ගෙයි වාස කරයි. කවර පසෙකින් යත්:
පණිවා කරන්නේ වෙයි ... මද පමා දෙකට කරුණු රහමෙර පානය කරන්නේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක අවිශාරද වූයේ ගිහිගෙහි වසයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක විශාරද ව ගිහිගෙහි වසයි. කවර පසෙකින් යත්:
පණිවායෙන් වැළකියේ වෙයි ... මද පමා දෙකට කරුණු රහමෙරින් වැළකියේ වෙයි.