5. 4. 1. 7.
[දුක්කථා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, ඒ ඒ පුද්ගලයා සඳහා පුද්ගලයන් පස්දෙනකුන්ගේ කථා දුෂ්කථා වෙයි. කවර පස්දෙනකුන්ගේ ය යත්:
මහණෙනි, ශ්‍රද්ධාරහිතයාට ශ්‍රද්ධාකථා දුෂ්කථා ය. දුසිල්හට ශීලකථා දුෂ්කථා ය. අල්පශ්‍රැතයාහට බහුශ්‍රැතභාවය පිළිබඳ කථා දුෂ්කථා ය. මසුරුහට ත්‍යාගකථා දුෂ්කථා ය. දුෂ්ප්‍රාඥහට ප්‍රඥාකථා දුෂ්කථා යි.
මහණෙනි, කවර හෙයින් අශ්‍රද්ධයාහට ශ්‍රද්ධාකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, ශ්‍රද්ධා නැතියේ ශ්‍රද්ධා පිළිබඳ කථාව කරණු ලබත් ම කෝප විසින් ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැඟසිටී, කෝප හා ද්වේෂ හා නො සතුට හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ වනාහි එ ශ්‍රද්ධාසම්පද් තමා කෙරෙහි නො මැ දක්නේ ය. එ කරුණු කොට ගෙන ප්‍රීතිප්‍රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් අශ්‍රද්ධයාහට ශ්‍රද්ධාකථාව දුෂ්කථා වෙයි.
මහණෙනි, කවර හෙයින් දුසිල්හට ශීලකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, දුශ්ශීලයා ශීලකථාව කරණු ලබත් ම කෝපයෙන් ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැගී සිටුනේ ය, කෝපය හා ද්වේෂය හා අප්‍රත්‍යය හා පාළ කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ එ සීල සම්පදාව තමා කෙරෙහි නො දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය නො ද ලබනේ ය. එහෙයින් දුශ්ශීලයාට ශීලකථාව දුෂ්කථා වෙයි.
මහණෙනි, කවර හෙයින් අල්පශ්‍රැතයාහට බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව දුෂ්කථා වේය යත්: මහණෙනි, අල්පශ්‍රැතයා බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව කරණු ලබත් ම කෝපයෙන් ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, දළව නැගීසිටී, කෝපය හා ද්වේෂය හා නොසතුට හා පාළ කෙරෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ශ්‍රැතසම්පත් තමා තුළ නො ම දක්නේය. එ නිදාන කොට ප්‍රීතිප්‍රමෝදය ද නො ලබන්නේ ය. එහෙයින් අල්පශ්‍රැතහට බහුශ්‍රැත්‍ය කථාව දුෂ්කථායෙකි.
මහණෙනි, කවර හෙයින් මත්සරිහට ත්‍යාගකථාව දුෂ්කථා වේ ය යත්: මහණෙනි, මත්සරියා ත්‍යාගකථාව කරණු ලබත් ම ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට වැටෙයි, දළ ව නැගීසිටී, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, මත්සරි එ ත්‍යාගසම්පද් තමා කෙරෙහි නො ම දක්නේය. ඒ නිදාන කොටගෙන ප්‍රීතිප්‍රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් මත්සරිහට ත්‍යාගකථා දුෂ්කථා යි.
මහණෙනි, කවර හෙයින් දුෂ්ප්‍රාඥයාහට ප්‍රඥාකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, දුෂ්ප්‍රාඥ තෙමේ ප්‍රඥාකථා කරණු ලබත් ම ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, දළ ව නැඟසිටී, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ප්‍රඥාසම්පත් තමා කෙරෙහි ලා නො ම දක්නේ ය. එ නිදාන කොට ගෙණ ප්‍රීතිප්‍රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් දුෂ්ප්‍රාඥයාහට ප්‍රඥාකථාව දුෂ්කථා වෙයි.
මහණෙනි, මෙ පස් පුඟුලනට ඒ ඒ පුඟුල්හු නිසා (වැටෙන) කථාව දුෂ්කථා වෙයි.
මහණෙනි, ඒ ඒ පුඟුල්හු නිසා පුඟුලන් පස්දෙනකුන්ගේ කථාව සුකථායෙක් වෙයි. කවර පස්දෙනකුනට ය යත්:
මහණෙනි, සැදැහැතියහුට ශ්‍රද්ධාකථාව සුකථායෙක. සිල්වත්හට ශීලකථාව සුකථායෙක. බහුශ්‍රැතයාහට බාහුශ්‍රැත්‍යකථාව සුකථායෙක. ත්‍යාගීහට ත්‍යාගකථාව සුකථායෙක, ප්‍රඥාවත්හට ප්‍රඥාකථාව සුකථායෙකි.
මහණෙනි, කවරහෙයින් සැදැහැතියහුට ශ්‍රද්ධාකථාව සුකථා වේ ය යත්: මහණෙනි, සැදැහැතියේ ශ්‍රද්ධාකථාව කරණු ලබත් ම කෝප විසින් නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, දළව නැග නො සිටී. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙම එ සිල්සපුව තමා තුළ ම දක්නේ ය. එ හේතුකොට ගෙණ ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් ශ්‍රද්ධාවත්හට ශ්‍රද්ධාකථාව සුකථායෙකි.
මහණෙනි, කවර හෙයින් සිල්වත්හට ශීලකථාව සුකථා වේ ය යත්: මහණෙනි, සිල්වත් තැනැත්තේ ශීලකථා කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද නො වෙයි, කෝපය හා ද්වේෂය හා අප්‍රත්‍යය හා පාළ නො කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ශීලසම්පද් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් සිල්වත්හට ශීලකථාව සුකථායෙකි.
මහණෙනි, කවර හෙයින් බහුශ්‍රැතයාහට බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව සුකථා වේය යත්: මහණෙනි, බහුශ්‍රුත තෙමේ බාහුශ්‍රැත්‍යකථාව කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද නො වෙයි, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ තෙමේ එ ශ්‍රැතසම්පද් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් බහුශ්‍රැතයාට බාහුශ්‍රැත්‍යකථාව සුකථායෙකි.
මහණෙනි, කවර හෙයින් ත්‍යාගවත්හට ත්‍යාගකථාව සුකථා වේ ය යත්: මහණෙනි, ත්‍යාගවත් පුද්ගල ත්‍යාගකථාව කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, කොපයත් ද්වේෂයත් අප්‍රත්‍යයත් පාළ නො කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හේ ඒ ත්‍යාගසම්පද් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් ත්‍යාගවත්හට ත්‍යාගකථාව සුකථායෙකි.
මහණෙනි, කවර හෙයින් ප්‍රඥාවත්හට ප්‍රඥාකථාව සුකථා වේ ය යත්: මහණෙනි, ප්‍රඥාවත් තැනැත්තේ ප්‍රඥාකථාව කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද නො වෙයි, කොපයත් ද්වේෂයත් අප්‍රත්‍යයත් පාළ නො කරයි. කවර හෙයින යත්: මහණෙනි, හේ ඒ ප්‍රඥාසම්පත් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් ප්‍රඥාවත්හට ප්‍රඥාකථා සුකථායෙකි.
මහණෙනි, මෙ පස් පුඟුලනට ඒ ඒ පුඟුල්හු සඳහා කරණ කථා සුකථා වේ යයි.
5. 4. 1. 8.
[සාරජ්ජ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ නිස්තේජස්කභාවයට පැමිණියේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශ්‍රද්ධ වෙයි, දුශ්ශීල වෙයි, අල්පශ්‍රැත වෙයි, කුසීත වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මෙ ධර්‍ම පසින් සමන්‍වාගත මහණ (ශාරද්‍යයට) නිස්තේජස්කභාවයට පැමිණියේ වේ.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ විශාරද වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල්වත් වෙයි, බහුශ්‍රුත වෙයි, ප්‍රාරබ්ධවීර්‍ය්‍ය වෙයි, ප්‍රඥා ඇතියේ වේ.
මහණෙනි, මෙ ධර්‍ම පසින් සමන්‍වාගත මහණ විශාරද වේ යයි.
5. 4. 1. 9.
[උදායී සූත්‍රය]
9. මා විසින් මෙසෙයින් අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවෝ මහ ගිහිපිරිසක් විසින් පිරිවරණ ලද්දාහු ධර්‍ම දේශනා කරමින් හුන්නාහු වෙත්. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මහත් ගිහිපිරිස් විසින් පිරිවරණ ලදු වැ දම් දෙසමින් හුන් ආයුෂ්මත් උදායී තෙරුන් දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත් පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, ආයුෂ්මත් උදායී තෙරණුවෝ මහ ගිහි පිරිස් විසින් පිරිවරණ ලද්දාහු දම් දෙසත්හ”යි.
ආනන්‍දයෙනි, පරහට දම් දෙසනු සුකර නො වේ මැ යි. ආනන්‍දයෙනි, පරහට ධර්‍මදේශනා කරණුවහු විසින් තමා තුළ ධර්‍ම පසක් එළවාගෙණ මෙරමාහට දම් දෙසිය යුතු. කවර පසෙක යත්:
‘ආනුපූර්වී (පිළිවෙළ) කථාව කියන්නෙමි’ යි පරහට ධර්‍මය දෙසිය යුතු. ‘පර්‍ය්‍යාය (කරුණු) දක්වන්නෙම් කථා කියන්නෙමි’ යි පරහට දම් දෙසිය යුතු. ‘අනුකම්පා පිණිස ධර්‍මකථා කියන්නෙමි’යි පරහට දම් දෙසිය යුතු. ‘ලාභාපේක්‍ෂා නැතියෙම් ධර්‍මකථා කියන්නෙමි’යි පරහට දම් දෙසිය යුතු. ‘තමා හා මෙරමා හා නො ඝටා ධර්‍මකථා කියන්නෙමි’යි පරහට ධර්‍මය දෙසිය යුතු.
ආනන්‍දයෙනි, පරහට දම් දෙසනු සුකර නො වේ. ආනන්‍දයෙනි, පරහට ධර්‍මදේශනා කරන්නහු විසින් මෙ ධර්‍ම පස තමා තුළ එළවා පරහට ධර්‍මය දෙසිය යුතු යි.
5. 4. 1. 10.
[දුප්පටිවිනෝදය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මෙ කරුණු පසෙක් උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. කවර පසෙක යත්:
රාගය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. ද්වේෂය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. මෝහය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. උපන් ප්‍රතිභානය දුකසේ දුරැලිය හෙන්නේ ය. උපන් ගමික චිත්තය දුකසේ දුරැලිය හෙන්නේ ය.
මහණෙනි, මෙ කරුණු පස උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ යයි.
සද්ධම්මවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
සද්ධම්මනියාම සූත්‍ර තුණෙක, සද්ධම්මසම්මෝස සූත්‍ර තුණෙක, දුක්කථා සූත්‍රය, සාරජ්ජ සූත්‍රය, උදායී සූත්‍රය, දුප්පටිවිනෝදය සූත්‍රය දැයි දසයෙකි.
2. ආඝාත වර්‍ගය
5. 4. 2. 1.
[පළමුවන ආඝාතපටිවිනය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, යම් අරමුණෙක්හි මහණක්හට උපන් ආඝාතය (ද්වේෂය) සර්‍වප්‍රකාරයෙන් දුරුකටයුතු වේ නම්, එබඳු වූ මේ ආඝාතපටිවිනය (උපාය) යෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය (ත්‍රික චතුෂ්කධ්‍යාන වශයෙන්) භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු යි.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි කරුණා භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි උපේක්‍ෂාව (චතුර්‍ත්‍ථධ්‍යානවශයෙන්) වැඩිය යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, අසති අමනසිකාරය (නොසිහි නො මෙනෙහි කිරීම) එ පුද්ගලයා කෙරෙහි එළැවියැ යුතුයි. මෙසේ එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු යි.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි කර්‍මස්වකතාව මෙනෙහි කළයුතු: “මේ ආයුෂ්මත් කර්‍මස්වක (කර්‍මය ස්වකීය කොට ඇත්තේ) කර්‍මදායාද (කර්‍මය විසින් දෙන ලද විපාක කොටස ගන්නේ) වෙයි. කර්‍මයෝනි (කර්‍මය ම හේතු කොට ඇත්තේ) වෙයි. කර්‍මබන්‍ධු වෙයි. කර්‍මප්‍රතිසරණ (කර්‍මය පිළිසරණ කොට ඇත්තේ) වෙයි. කලණ වේවයි ලමු වේවයි යම් ම කර්‍මයක් කෙරේ නම්, එයට දායාද (විපාක කොටස ගන්නෙක්) වන්නේ ය” යි. මෙසේ එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු යි.
මහණෙනි, යම් අරමුණෙක මහණහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, මේ ඒ ආඝාතපටිවිනය පස යි.
5. 4. 2. 2.
[දෙවැනි ආඝාතපටිවිනය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. එ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘ඇවැත්නි’ යි එ මහණහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්හට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ තෙල කරුණ වදාළහ:
ඇවැත්නි, යම් අරමුණෙක භික්‍ෂූහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, එ බඳු ආඝාතපටිවිනය පසෙකි. කවර පසෙක යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ වෙයි. ඇවැත්නි, මෙ බඳු පුඟුල් කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ පිරිසිදු කායසමාචාර ඇති වෙයි. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ, නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ වෙයි. කලින් කල ශමථවිදර්‍ශනා චිත්තයාගේ (ඉපදීමට අවකාශ යයි කියන ලද) විවරය හා පහන්බව හා ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේත්, නො පිරිසිදු වාක්සමාචාර ඇතියේත් වෙයි. කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශය හා චිත්තයාගේ ප්‍රසන්නභාවය නො ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇතියේ ද, පිරිසිදු වාක්සමාචාර ඇතියේ ද වෙයි. කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශ හා චිත්තයාගේ ප්‍රසන්නභාවය හා ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ, පිරිසිදු වාක්සමාචාර ඇතියේ වේ නම්, කෙසේ එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු ය යත්:
ඇවැත්නි, යම්සේ පාංශුකූලික මහණෙක් වීථියෙහි මහලු පිළීකඩක් දැක වම්පසින් ඇක්ම දකුණුපසින් විදහා එහි යම් සාරයෙක් වේ නම්, එය ඉරාගෙණ යන්නේ වේ ද; ඇවැත්නි, එ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ වේ නම්, එ කල්හි ඔහුගේ යම් නො පිරිසිදු කායසමාචාරතායෙක් වේ ද, එ මෙනෙහි නො කටයුතු. ඔහුගේ යම් පිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, එ කල්හි එ මෙනෙහි කටයුතු. මෙසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, පිරිසිදු කායසමාචාර ඇතියේ නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:
ඇවැත්නි, යම්සේ සෙවෙල් හා පණකසෙවෙලින් වැකුණු පොකුණෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මඟ විඩාපත් වූ පවස් ඇති දියෙබානු කැමැති පුරුෂයෙක් එන්නේ වේ ද, හේ එ පොකුණට බැස දෑතින් සෙවෙල් හා පණක (නිල්වන් පත් - දිය පරැඬල්) සෙවෙල් ඔබමොබ පිහිරාපියා ඇදිලියෙන් (දොහොතින්) පැන් බී නික්මයන්නේ වේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් නොපිරිසිදු වාක්සමාචාර ඇතියේ, පිරිසිදු කායසමාචාර ඇතියේ වේ ද, ඔහුගේ යම් නොපිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, එ කල්හි ඔහුගේ එ වාක්සමාචාරය මෙනෙහි නොකොට යුතු ය. ඔහුගේ යම් පිරිසිදු කායසමාචාරභාවයෙක් වේ නම්, එ සමයෙහි ඔහුගේ එ කායසමාචාරය මෙනෙහි කටයුතු. මෙසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශය ද චිත්තප්‍රසාදය ද ලබා නම්, කිසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාත දුරැලිය යුතු ය යත්:
ඇවැත්නි, යම් සෙයෙකින් කුඩා ගොකුරෙක (හරක්කුර වළක) දියත්තෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මඟ විඩාපත් වූ හටගත් පවස් ඇති දියබොනු කැමැති පුරුෂයෙක් එන්නේ නම්, ඔහුට මෙ බඳු සිතෙක් වන්නේ ය: “කුඩා ගෝපදවළුයෙහි මේ මඳ දියත්තෙක, ඉදින් මම එය ඇඳිලියෙන් හෝ බඳුනෙකින් හෝ ගෙණ බොන්නෙම් නම්, එය කළඹනු යෙම් ද අළලනුයෙම් ද නොපියහෙනු කරනුයෙම් ද වෙමි. මම චතුගුණ්ඩික ව හෙවැ (දෙදනිනුදු දෙ අතිනුදු බිම හෙවැ) ගවයකු සෙයින් මුවින් හැද බී නික්මයෙම් නම් මැනැවැ” යි. හේ චතුගුණ්ඩික ව හෙවැ ගවයකු සෙයින් මුවින් හැදැ දිය බී නික්ම යන්නේ ද, ඇවැත්නි, එ පරිදි ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ කලින් කල චිත්තයාගේ අවකාශ හා චිත්තයාගේ ප්‍රසාද හා ලබන්නේ ද, ඔහුගේ යම් නො පිරිසිදු කායසමාචාරභාවයෙක් වේ නම්, එකල්හි ඔහුගේ එ කායසමාචාරය මෙනෙහි නොකට යුතු ය. එ කල්හි ඔහුගේ යම් නො පිරිසිදු වාක්සමාචාරභාවයෙක් වේ නම්, එ ද මෙනෙහි නොකටයුතු ය. හේ කලින් කල යම් චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශයක් හා චිත්තප්‍රසාදයක් හා ලබා නම්, එකල්හි ඔහුගේ එය ම මෙනෙහි කටයුතු. ඇවැත්නි, මෙසෙයින් එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු ය.
ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, කලින් කල චිත්තවිවරයක් හා චිත්තප්‍රසාදයක් හා නො ලබා නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:
ඇවැත්නි, යම්සේ විෂභාගාබාධ ඇති දුකට පත් දැඩි ගිලන්බව් ඇති පුරුෂයෙක් දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නේ වේ ද, ඔහුට ඉදිරියෙහිදු ග්‍රාමය දුර වෙයි. ඔහුට පසුපස්හිදු ග්‍රාමය දුර වෙයි. හේ සත්ප්‍රායභෝජන නො ලබන්නේ ය. සත්ප්‍රාය බෙහෙසද් ද නො ලබන්නේ ය. අනුරූප උපස්ථායකයකු ද නො ලබන්නේ ය. ග්‍රාමාන්තයට පමුණුවන්නකු ද නො ලබන්නේ ය. අද්ධාන මාර්‍ගයට පිළිපන් අන්‍යතර පුරුෂයෙක් ඔහු දක්නේ ය. හේ එ පුරුෂයා කෙරෙහි කාරුණ්‍යය ම එළවන්නේ ය, අනුද්දයාව ම එළවන්නේ ය, අනුකම්පාව ම එළවන්නේ ය: “මෙ පුරිස් සත්ප්‍රාය භෝජනය ලබන්නේ වේ නම්, සත්ප්‍රාය භෛෂජ්‍ය ලබන්නේ වේ නම්, අනුරූප උපස්ථායකයකු ලබන්නේ වේ නම්, ගමට පමුණුවන්නකු ලබන්නේ වේ නම්, මැනැව. එ කවර හෙයින යත්: මෙ පුරිස් මෙ තන්හි මැ අනයව්‍යසනයට (විපතට) නහමක් පැමිණේව” යි. ඇවැත්නි, එසෙයින් ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, කලින් කල චිත්තයාගේ විවරයක් හා චිත්තයාගේ ප්‍රසාදයක් හා නො ද ලබන්නේ වේ නම්, ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහි දු කරුණාව ම ඉපදවිය යුතු, අනුද්දයාව ම එළැවිය යුතු, අනුකම්පාව ම එළැවිය යුතු: “මේ ආයුෂ්මත් කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩන්නේ වේ නම්, වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩන්නේ වේ නම්, මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩන්නේ වේ නම්, මැනැව. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො වදනේ වේ නම්, ඉතා මැනැවැ”යි. ඇවැත්නි, මෙසේ එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ, කලින් කල චිත්තයාගේ විවර හා චිත්තයාගේ ප්‍රසාද හා ලබන්නේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:
ඇවැත්නි, යම්සේ පහන්දිය ඇති මියුරු දිය ඇති සිහිල් දිය ඇති සුදු වැලිතලා ඇති මනා තොට ඇති සිත්කලු වූ නන්රුකින් ගැවසීගත් පොකුණෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මං වෙහෙස ඇති පවස් ඇති දිය බොනු කැමැති පුරුෂයෙක් එන්නේ ය. හේ එ පොකුණට බැස ස්නාන ද කොට ජලපානය ද කොට පෙරළා ගොඩ අවුත් එ ම රුක්සෙවණෙහි හිඳිනේ හෝ හෝනේ හෝ වෙයි. එසෙයින් ම ඇවැත්නි, යම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇත්තේ පිරිසිදු වාක්සමාචාර ඇත්තේ කලින් කල චිත්තයාගේ විවර හා චිත්තයාගේ ප්‍රසාද හා ලබන්නේ වේ ද, ඔහුගේ යම් බඳු පරිශුද්ධකායසමාචාරතායෙක් වේ නම්, එ සමයෙහි ඔහුගේ එ පිරිසිදු කායසමාචාරය ම මෙනෙහි කටයුතු ය. ඔහුගේ යම්බඳු පිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, ඔහුගේ එ ද එ සමයෙහි මෙනෙහි කටයුතු ය. කලින් කල හේ චිත්තයාගේ යම් විවරයකුත් චිත්තයාගේ යම් ප්‍රසාදයකුත් ලබා නම්, එ කල්හි ඔහුගේ එ ද මෙනෙහි කටයුතු ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු වන්නේ ය. ඇවැත්නි, සමන්තපාසාදික පුඟුල් කරා එළඹ සිත පහදනේ ය.
ඇවැත්නි, යම් අරමුණෙක්හි භික්‍ෂුහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, මේ එ බඳු ආඝාතපටිවිනය පස යි.
5. 4. 2. 3.
[සාකච්ඡා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවත් මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූහ. ‘ඇවැත්නි’යි එ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කරුණ වදාළහ:
ඇවැත්නි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ගේ සාකච්ඡාවට නිසි වෙයි. කවර පසෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ, තෙමේත් සිල්සපන් වෙයි, ශීලසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, සමාධිසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, ප්‍රඥා සම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි.
ඇවැත්නි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ගේ සාකච්ඡාවට නිසි වේ ය යි.
5. 4. 2. 4.
[සාජීව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
ඇවැත්නි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ට අලංසාජීව (සාජීවයට - සමග වාසයට නිසි) වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ ද ශීලසම්පන්න වෙයි, ශීලසම්පත්කථාව පිළිබඳ කළ (පුළුවුත්) ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, සමාධිසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, ප්‍රඥාසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පත් කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි.
ඇවැත්නි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අලංසාජීව (ප්‍රඥාප්තශික්‍ෂාපදයෙහි සභාගවෘත්තික) වේ යයි.
5. 4. 2. 5.
[පඤ්හපුච්ඡා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
ඇවැත්නි, යම් කිසිවෙක් මෙරමා පැන පුළුවුස්නේ වේ නම්, එ හැම කරුණු පසෙකින් හෝ ඔවුනතුරෙන් අන්‍යතරයෙකින් හෝ වෙයි. කවර පසෙකින යත්:
මන්‍දභාවයෙන් මූඨභාවයෙන් මෙරමා පැන පුළුවුස්නේ ය. ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ මෙරමා පැන පුළුවුස්නේ ය. පරිභව කරණුයේ මෙරමා පැන පුළුවුස්නේ ය. දැනගණු කැමැත්තේ මෙරමා පැන පුළුවුස්නේ ය. නොහොත් “ඉඳින් මා විසින් ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ මැනැවින් විසඳා නම්, මෙසේ තෙල කරුණ මැනැව. ඉදින් මා විසින් ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ මනා කොට නො විසඳා නම්, මම ඔහට මනා කොට (පැන) විසඳමි”යි මෙ බඳු සිත් ඇතියේ මෙරමා පැන පුළුවුස්නේ ය.
ඇවැත්නි, යම් කිසිවෙක් මෙරමා ප්‍රශ්න පුළුවුස්නේ වේ නම්, එ හැම මෙ පස් කරුණින් හෝ තුලුන් කෙරෙහි අන්‍යතරයෙකින් හෝ පුළුවුස්නේ වෙයි.
ඇවැත්නි, මම වනාහි මෙ බඳු සිතැතියෙම් මෙරමා ප්‍රශ්න පුළුවුස්මි: “ඉදින් මා විසින් පැන පුළුවුස්නා ලදුයේ මැනැවින් විසඳා නම්, මෙසේ තෙල කරුණ මැනැවි. ඉදින් මා විසින් පැන පුළුවුස්නා ලදුයේ මනා කොට නො විසඳා නම්. මම ඔහට මනා කොට විසඳමි”යි.
5. 4. 2. 6.
[නිරෝධ සූත්‍රය]
[සැවැත්නිදාන යි]