මහණෙනි, සැදැහැයෙන් දන් දී යම් යම් ම තැනෙක එ දානයාගේ විපාක උපදනේ නම්, මහාධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ දැකුම්කලු වූයේ පහන් එළවන සුලුයේ අභිරූප ද වෙයි.
මහණෙනි, සකසා දන් දීම යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. පුත්‍රයෝ වෙත්ව යි, අඹුහු වෙත්ව යි, දාසයෝ වෙත්ව යි, කම්කරුහු වෙත්ව යි, ඔහට යම් (පිරිවර) කෙනෙක් වෙත් නම්, ඔහු ද ශුශ්‍රෑෂා කෙරෙති (කීකරු වෙති). කන් යොමු කෙරෙති. දැනුම් සඳහා සිත් එළවත්.
මහණෙනි, නිසි කල්හි දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්‍ය ද වෙයි. නිසි කල්හි ලත් ඔහුගේ අර්‍ත්‍ථයෝ ප්‍රචුර වෙත්.
මහණෙනි, දෙන දැයෙහි නොබැඳසිත් ඇති ව දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්‍ය ද වෙයි. උදාර වූ පස්කම්ගුණ වළඳ කරුණු සඳහා සිත් නැමෙයි.
මහණෙනි, තමා හා මෙරමා නො ඝටා දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාකය උපදනේ නම්, මහද්ධන මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන්ගෙන් වේවයි, සොරුන්ගෙන් වේවයි, අප්‍රිය දායාදයන්ගෙන් (තමන්ට අප්‍රියවූවන්ගෙන්) වේවයි, කිසිවක්හුගෙන් ඔහට භෝගයන්ගේ උපඝාතයෙක් නො එයි.
මහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.
5. 3. 5. 9.
[පළමුවැනි සමයවිමුත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, සමයවිමුක්ත (ඒ ඒ ක්‍ෂණයෙහි විෂ්කම්භනවශයෙන් ලෞකිකවිමුක්තියෙන් විමුක්ත සිත් ඇති) මහණුහුගේ පරිහානිය සඳහා මෙ ධර්‍මයෝ පස්දෙනෙක් විද්‍යාමාන වන්නාහ. කවර පස්දෙනෙක් යත්:
කර්‍මාරාමතා ය, භාෂ්‍යාරාමතා ය, නිද්‍රාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා නොකරන්නේ ය.
මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෝ සමයවිමුක්ත මහණහුගේ පිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, මේ පඤ්චධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
නවකර්‍මාන්තයෙහි නො ඇලීම ය, කථායෙහි නො ඇලීම යි, නිද්‍රායෙහි නො ඇලීම ය, සමූහයන් කෙරෙහි නො ඇලීම ය, යථාවිමුක්තචිත්තය (ඒ ඒ කෙලෙස් යටපත් වීමෙන් සිත මිදුනු අයුරු) ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය.
මහණෙනි, මේ පඤ්චධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ යි.
5. 3. 5. 10.
[දෙවැනි සමයවිමුත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් සමයවිමුක්ත භික්‍ෂුහුගේ පරිහානිය සඳහා පවත්නාහ. කවර පසෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා ය, භෝජනයෙහි අමත්තඤ්ඤූතා යි.
මහණෙනි, මේ පඤ්චධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ පරිහානිය සඳහා වැටෙත්.
මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙන සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය සඳහා පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
නවකම්හි නො ඇල්ම ය, කථායෙහි නො ඇල්ම ය, නිද්‍රායෙහි නො ඇල්ම ය, ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා ය (සංවරය), භෝජනයෙහි මාත්‍රඥතා යි.
මහණෙනි, මෙ ධර්‍මයෝ පස්දෙන සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය සඳහා වැටෙත් ය යි.
තිකණ්ඩකිවර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
අවජානාති සූත්‍රය, ආරම්භති{*} සූත්‍රය, සාරන්‍දද සූත්‍රය, තිකණ්ඩකී සූත්‍රය, නිරය සූත්‍රය, මිත්ත සූත්‍රය, අසප්පුරිසදාන සූත්‍රය, සප්පුරිසදාන සූත්‍රය, පඨමසමයවිමුත්ත සූත්‍රය, දුතියසමයවිමුත්ත සූත්‍රය දැයි දශයෙකි.
තෙවන පණ්ණාසකය සමාප්ත යි.
4. සිවුවැනි පණ්ණාසකය
1. සද්ධම්ම වර්‍ගය
5. 4. 1. 1.
[පළමුවැනි සම්මත්තනියාම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසනුයේ ද කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට (ආර්‍ය්‍යමාර්‍ගයට) බැසගැණීමට අභව්‍ය වෙයි. කවර පසෙකින යත්:
කථාවට පරිභව කෙරෙයි. ධර්‍මකථිකයාට පරිභව කෙරෙයි. තමාට පරිභව කෙරෙයි. එකඟ නො වූ සිත් ඇති වැ වික්‍ෂිප්තචිත්තයෙන් යුක්ත වැ ධර්‍මය අසයි. නුනුවණින් මෙනෙහි කරණුයෙක් ද වේ.
මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වේ.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වැ සද්ධර්‍මය අසන්නේ සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
කථාවට පරිභව නො කරයි. කථිකයාට පරිභව නො කරයි. තමාට පරිභව නො කරයි. එකඟසිත් ඇතියේ අවික්‍ෂිප්තචිත්තයෙන් යුක්ත වැ ධර්‍මය අසයි. නුවණින් මෙනෙහි කරණුයේ ද වේ.
මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත වැ සද්ධර්‍මය අසනුයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාම (ආර්‍ය්‍යමාර්‍ග) යට බස්නට භව්‍ය වේ යයි.
5. 4. 1. 2.
[දෙවැනි සම්මත්තනියාම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මය කෙරෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර පසෙකින යත්:
කථාවට පරිභව කෙරෙයි. කථිකයාහට පරිභව කෙරෙයි. තමාට පරිභව කෙරෙයි. ජඩවූයේ කෙළතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන ඇතියේ වේ.
මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වේ.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වැ සදහම් අසන්නේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බැසගන්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
කථාවට පරිභව නො කෙරෙයි. කථිකයාහට පරිභව නො කෙරෙයි. තමාහට පරිභව නො කෙරෙයි. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රඥාවත් වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන නැතියේ වේ.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත වූයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමට (නියත මාර්‍ගයට) බස්නට භව්‍ය වේ යයි.
5. 4. 1. 3.
[තුන්වැනි සම්මත්තනියාම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය නොවේ. කවර පසෙකින යත්:
ගුණමකු වූයේ ගුණමකුසිතින් මඩනා ලදුයේ ධර්‍මය අසයි. උපාරම්භ චිත්ත (වාද නගන සිත්) ඇතියේ සිදුරු සොයන සුලුයේ ධර්‍මය අසයි. තදබැව් ඇතියේ ධර්‍ම දේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් ඝැටුනු සිතැත්තේ වෙයි. ජඩ වූයේ කෙළතොලු වූයේ දුෂ්ප්‍රඥ වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන ඇතියේ වෙයි.
මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත වූයේ ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ දහම් අසන්නේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
ගුණමකු නො වූයේ ගුණමකු සිතින් නො මැඩුනේ දහම් අසයි. උපාරම්භචිත්ත රහිත වූයේ රන්ඩ්‍රගවේෂී නො වූයේ දහම් අසයි. ධර්‍මදේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් නො ඝැටුනු සිතැතියේ තදබැව් නැතියේ වෙයි. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රඥාවත් වෙයි. නො දත් දැයෙහි ‘දත්මි’ යන මාන නැතියේ වෙයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ව දහම් අසනුයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වේ යයි.
5. 4. 1. 4.
[පළමුවැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය (වනඝ) පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු සකස් කොට දහම් නො අසති. සකස් කොට දහම් නො පිරිවහති. සකස් කොට දහම් නො ධරති. සකස් කොට ධැරූ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පරීක්‍ෂා නො කරති. සකස් කොට අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මය නො පිළිපදිත්.
මහෙණනි, මෙ කාරණයෝ පස්දෙන සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහයි.
මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු සකස් කොට දහම් අසති. සකස් කොට දහම් පිරිවහති. සකස් කොට දහම් ධරති. සකස් කොට ධැරූ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සති. සකස් කොට අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මය පිළිපදනා හ.
මහණෙනි, මෙ කාරණයෝ පස්දෙන සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නාහයි.
5. 4. 1. 5.
[දෙවැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුදහන පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු සූත්‍රය, ගෙයය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්‍මය, වේදල්ලය යන ධර්‍මය ප්‍රගුණ නො කරත්. මහණෙනි, මේ ප්‍රථම ධර්‍මය සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදහන්වීම පිණිස පවත්නේය.
තවද මහණෙනි, භික්‍ෂූහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට නො දෙසන්නාහ. මහණෙනි, මේ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේය.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය පරහට විස්තර විසින් වනපොත් නො කරවත්. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදහන පිණිස පවත්නේය.
තවද මහණෙනි, භික්‍ෂූහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විස්තර විසින් හැදෑරීම් නො කෙරෙත්. මහණෙනි, මෙ සතරවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණ නො කරත්, අනුවිචාරණ නො කරත්. සිතින් අනුප්‍රේක්‍ෂණ නො කරත්. මහණෙනි, මෙ පස්වන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිය අන්තර්‍ධානය පිණිස පවත්නේය.
මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ යි.
මහණෙනි, මේ කාරණයෝ පස් දෙනෙක් සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවනු පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහු සූත්‍රය, ගෙයය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්‍මය, වේදල්ලය යන ශාස්තෘධර්‍මය ප්‍රගුණ කරත්. මහණෙනි, මේ පළමුවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අන්තර්‍ධාන නො වනු පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට දෙසති. මහණෙනි, මේ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස පවත්නේය.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට වනපොත් කරවත්. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙති. මහණෙනි, මේ සතරවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කරත්, අනුවිචාරණය කරත්, සිතින් අනුප්‍රේක්‍ෂා කරත්. මහණෙනි, මේ පස්වන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.
මහණෙනි, මෙ පස්දෙන සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස පවත්නාහ යි.
5. 4. 1. 6.
[තුන්වැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ ප්‍රමෝෂයට අතුරුදන් වීමට වැටෙති. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂුහු උපිළිවෙළින් උගන්නා ලද සූත්‍රාන්තය උපිළිවෙළින් තබන ලද පදව්‍යඤ්ජනයෙන් යුක්ත කොට ප්‍රගුණ කරත්. මහණෙනි, උපිළිවෙළින් තබන ලද පදව්‍යඤ්ජන ඇති පාළි සූත්‍රයාගේ අර්‍ත්‍ථය ද දුර්නය වෙයි. මහණෙනි, මෙ පළමු කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, භික්‍ෂූහු දුර්වචභාවකර ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූවාහු දුර්වච වෙති. නො සහනු වූවාහු අනුසසුන් පැදකුණින් නො ගන්නාහු වෙත්. මහණෙනි, මෙ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
තවද මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් බොහෝ ඇසූපිරූ තැන් ඇතියාහු ආගතාගම වූවාහු ධර්‍මධර විනයධර මාතෘකාධර වූවාහු වෙත් නම්, ඔහු සකස් කොට සූත්‍රාන්තය මෙරමාහට වනපොත් නො කරවත්. ඔවුන් ඇවෑමෙන් සූත්‍රාන්තය සුන්මුල් ඇති වෙයි. පිළිසරණ නැති වෙයි. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
තවද මහණෙනි, තෙර මහණහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු වෙත්. ශාසනය ලිහිල් කොට ගත්තාහු පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි පූර්‍වාඞ්ගම වන්නාහු ප්‍රවිවේකයෙහි හැරපියූ වීර්‍ය්‍යධුර ඇත්තාහු අප්‍රාප්ත වූ විශේෂයාගේ ප්‍රාප්තිය සඳහා අනධිගත ධර්‍මයාගේ අධිගමය සඳහා අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කාරය සඳහා වැර නො වඩනාහ. ඔවුන්ගේ පශ්චිම ජනතාව ද දෘෂ්ටානුගතියට පැමිණෙයි. එ ජනතාව ද සිවුපස බහුල කොට ඇත්තී සස්න ලිහිල් කොට ගත්තී අවක්‍රමණයෙහි (පරිහානියෙහි) පෙරට ව යන්නී ප්‍රවිවේකයෙහි හැරපියූ වැර ඇත්තී වෙයි. අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය සඳහා අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර නො අරඹයි. මහණෙනි, මේ සතරවන ධර්‍මය සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුධන්වීම පිණිස වැටෙයි.
තවද මහණෙනි, සඟහු බිඳුනාහු වෙත්. මහණෙනි, සඞ්ඝයා බුන් කල්හි අන්‍යෝන්‍යයනට ආක්‍රෝෂයෝ ද වෙති. අන්‍යෝන්‍යයනට පරිභවයෝ ද වෙති. උනුනට වටා බිණුම් ද වෙති. අන්‍යෝන්‍යයනට පරිවර්‍ජනයෝ ද වෙත්. එහි ලා නො පහන් වූවෝ ද නො පහදනාහ. පහන් වූ ද ඇතැමුන‍්ගේ අන්‍යථාත්‍වය (කළකිරීම) වෙයි. මෙ පස්වන ධර්‍මය සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය සඳහා අන්තර්‍ධානය සඳහා වැටෙයි.
මහණෙනි, මෙ පස් දහම්හු සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නාහ.
මහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නො වීම පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු මොනොවට උගන්නා ලද සූත්‍රාන්තය මොනොවට යොදන ලද පදව්‍යඤ්ජනයෙන් යුක්ත කොට පිරිවහත්. මහණෙනි, මැනැවින් තබන ලද පදව්‍යඤ්ජනයෙන් යුත් සූත්‍රාන්තයාගේ අර්‍ත්‍ථය ද ප්‍රණීත වෙයි. මහණෙනි, මේ ප්‍රථමධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය සඳහා අප්‍රමෝෂය සඳහා අතුරුදන් නො වීම සඳහා වැටෙයි.
තවද මහණෙනි, මහණහු සුවචභාවය කරණ ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූවාහු සුවච වෙති. ඉවසන්නාහු පැදකුණෙන් අනුශාසනය පිළිගන්නාහු වෙත්. මහණෙනි, මේ ද්විතීය ධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවතී.
තවද මහණෙනි, බහුශ්‍රුත වූ ආගතාගම වූ ධර්‍මධර - විනයධර - මාතෘකාධර වූ යම් ප්‍රසිද්ධ භික්‍ෂුහු වෙත් නම්, ඔහු සකස් කොට මෙරමාහට දහම් කියවති. ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය සුන් මුල් ඇතියේ නො වෙයි. පිළිසරණ සහිත වේ. මහණෙනි, මේ තෙවන ධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවීම පිණිස වැටෙයි.
තවද මහණෙනි, ස්ථවිර භික්‍ෂුහු බාහුලික නොවෙත්. සස්න ලිහිල් කොට නො ගත්තාහු අවක්‍රමණයෙහි හැරපියූ වැරධුර ඇතියාහු ප්‍රකර්‍ෂ විවේකයෙහි පූර්‍වාඞ්ගම වූවාහු අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය සඳහා අනධිගතයාගේ අධිගමය සඳහා අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර අරඹත්. ඔවුන්ගේ පශ්චිම ජනතාව ද ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඒ ජනතා ද බාහුලික නොවැ සාථලික නොවැ අවක්‍රමණයෙහි හැරපියූ වැර ඇති වැ ප්‍රවිවේකයෙහි පූර්‍වාඞ්ගම වැ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය සඳහා අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර අරඹයි. මහණෙනි, මේ සතරවන ධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය සඳහා අප්‍රමෝෂය සඳහා අතුරුදහන් නොවීම සඳහා වැටෙයි.
තවද මහණෙනි, සඟහු සමඟ වූවාහු සතුටු වන්නාහු විවාද නොකරන්නාහු එක් උදෙසීම් ඇත්තාහු පහසුවෙන් වාස කරත්. මහණෙනි, සඟුන් සමඟ වූ කල්හි අන්‍යෝන්‍යයනට ආක්‍රෝශයෝ නො ද වෙති. අන්‍යෝන්‍යයනට පරිභවයෝ නො ද වෙති. උනුනට පිරිවටා බිණුම් නො ද වෙති. අන්‍යෝන්‍යයනට පරිත්‍යජනයෝ නො ද වෙත්. එකරුණෙහි ලා අප්‍රසන්නයෝ ද පහන් වන්නාහ. ප්‍රසන්නයන්ගේ ද භූයෝභාවය වෙයි. මහණෙනි, මේ පස්වන ධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවීම පිණිස වැටෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙන්නාහ යි.