මහණෙනි, කෙසේ රජුගේ මහඇත් ශ්‍රෝතෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් ඇත්දම්සැරි තෙල ඇත්හු ලවා කළ විරූ වේවයි නොකළ විරූ වේවයි යම් ම කාරණයක් කරවා නම්, එය අර්‍ත්‍ථ කොට (ඕනෑකමින්) මෙනෙහි කොට මුළු සිතින් ආවර්‍ජනා කොට යොමු කළ කන් ඇතිව අසයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ශ්‍රෝතෘ වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ මහ ඇත් හන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් රණබිමට ගියේ ඇතු ද නසයි, ඇතැරු ද නසයි, අසු ද නසයි, අසරු ද නසයි, රථය ද නසයි, රථිකයා ද නසයි, පාබළසෙන් ද නසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් රජ හන්තෘ වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් රක්‍ෂිතෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් රණබිමට ගියේ ඉදිරිකය රක්නේ ය, පශ්චිමකාය රක්නේ ය, ඉදිරි පා රක්නේය, පසු පා රක්නේය, හිස රක්නේ ය, දෙකන් රක්නේ ය, දෙකන් රක්නේ ය, දෙදළ රක්නේ ය, සොඬ රක්නේ ය, වල්පත් රක්නේ ය, ඇතැරු රක්නේ ය. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් රක්‍ෂිතෘ වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් ක්‍ෂන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් සැත්පහර ඉවසනුයේ වෙයි, කඩුපහර ඉවසනුයේ වෙයි, හී පහර ඉවසනුයේ වෙයි, පොරෝ පහර ඉවසනුයේ වෙයි, බෙර පණාබෙරසක් ගැටබෙර තිණව-ඩිණ්ඩිම බෙර යන තූර්‍ය්‍යයන්ගේ මහ හඬ ඉවසනුයේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ක්‍ෂන්තෘ වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් ගන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් ඇත්දම්සැරි තෙල ඇතු ගිය විරූ වේවයි නොගිය විරූ වේවයි යම් ම දිශාවකට මෙහෙයවා නම්, එ දිගට වහා යන්නේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ගන්තෘ වෙයි.
මහණෙනි, මේ කරුණු පසින් යුත් රජුගේ මහඇත් රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රෝතෘ ද වෙයි. හන්තෘ ද වෙයි, රක්‍ෂිතෘ ද වෙයි, ක්‍ෂන්තෘ ද වෙයි, ගන්තෘ ද වෙයි.
මහණෙනි, කෙසේ මහණ ශ්‍රෝතෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තථාගතයන් වහන්සේ විසින් ප්‍රවිදිත ධර්‍මවිනය දෙසනු ලබත් ම අර්‍ත්‍ථ කොට (ආශාවෙන්), මෙනෙහි කොට, සම්පූර්‍ණ සිතින් ආවර්‍ජනා කොට, නැඹුරු කළ කන් ඇතිව ධර්‍මය අසයි. මහණෙනි, මෙසේ මහණ ශ්‍රෝතෘ වෙයි.
මහණෙනි, කෙසේ මහණ හන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය සිත්හි නො රඳවයි, දුරු කෙරෙයි, හැරපියයි. විගතාන්ත (ප්‍රහීණ) කරයි, අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය සිත්හි වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කරයි, අභාවයට පමුණුවයි. උපන් විහිංසාවිතර්‍කය සිත්හි වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපනුපන් ලමු අකුසල් දහම් වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ හන්තෘ වෙයි.
මහණෙනි, කෙසේ මහණ රක්‍ෂිතෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූප දැක නිමිති නො ගන්නා සුලුයේ අනුවියඳුන් (උප ලකුණු) නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යා දෞර්‍මනස්‍යයෝ චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරණ තෙල පුද්ගලයා ලුහුබඳනාහු නම්, එ චක්‍ෂුරින්‍ද්‍රිය සංවර කිරීමට පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය ආඝ්‍රාණ කොට ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය පැහැස ... මනසින් ධර්‍මය දැන නිමිති නො ගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ මනින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල පුඟුල්හු ලුහුබඳනාහු නම්, ඒ මනින්‍ද්‍රිය සංවරය පිණිස පිළිපදිනේ ය. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මෙසේ මහණ රක්‍ෂිතෘ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ක්‍ෂන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීත හා උෂ්ණ හා සාපවස් හා මැසි මදුරු වා අවු සපුන් පහස් ඉවසන්නේ වෙයි. නපුරු කොට කියු නපුරු කොට පැමිණි (අසන්නට ලැබුනු) වචන ඉවසන්නේ වෙයි. දුක් වූ තීව්‍ර වූ ක්‍රෑර වූ කටුක වූ අශාත වූ අමනාප වූ පණ හරණා සුලු උපන් ශාරීරික වේදනා ඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ක්‍ෂන්තෘ වෙයි.
මහණෙනි, මහණ කෙසේ ගන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දීර්‍ඝකාලයෙහි සර්‍වසංස්කාරයන්ගේ ශමථය වන සර්‍වොපධීන්ගේ දුරැලීම වන තෘෂ්ණාක්‍ෂය වන විරාගය වය නිරෝධය වන නිර්‍වාණය වන යම් නොගියවිරූ දිශායෙක් වේ නම්, එ දිගට වහා යන සුලුයේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ගන්තෘ වෙයි.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්‍වාගත වූ මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි.
රාජවර්‍ගය සතර වැනි යි.
එහි උද්දානය:
චක්කානුවත්තන සූත්‍ර දෙකය, ධම්මරාජ සූත්‍රය, යස්සං දිසා සූත්‍රය, පත්‍ථනා සූත්‍ර දෙකය, අප්පං සූපති සූත්‍රය, භත්තාද සූත්‍රය, අක්ඛම සූත්‍රය, සෝතාර සූත්‍රය සමඟ දශයෙකි.
5. තිකණ්ඩකී වර්‍ගය
5. 3. 5. 1.
[අවජානාති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන මේ පුද්ගලයෝ පස් දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:
දී අවමන් කරන්නේ ය, එක්වැ විසීමෙන් අවමන් කරන්නේ ය, ග්‍රහණමුඛයෙක් වෙයි, ලෝලයෙක් වෙයි, මන්‍ද මොමුහයෙක් වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල දී අවමන් කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොවැ පුද්ගල පුඟුලක්හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසද් පිරිකර දෙයි. ඔහට මෙබඳු සිත් වෙයි: “මම දෙන්නෙම් වෙමි, මෙ තෙමේ පිළිගන්නේ වේ (මෙතෙම පිළිගන්නට නම් දනී) ය” යි. තෙල පුඟුල්හට දී අවමන් කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දී අවමන් කරන්නේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල සංවාසයෙන් (එක්ව විසීමෙන්) අවමන් කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොවැ පුද්ගල පුද්ගලයකු හා සමඟ දෙවසක් වේවයි තෙවසක් වේවයි එක්ව වසයි. සංවාසයෙන් (මම තොපගේ හැටි දනිමි යි) එපුඟුල්හට අවමන් කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සංවාසයෙන් අවමන් කෙරෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල ග්‍රහණමුඛ වේ ය යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් මෙරමාගේ ගුණය වේවයි අගුණය වේවයි කියත් ම එය වහා ම අදහන්නේ (පිළිගැණීමට හයාගත් මුව ඇත්තේ) වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ග්‍රහණමුඛ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල ලෝල වේ ය යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ඉත්‍වර (ස්වල්ප) ශ්‍රද්ධා ඇතියේ ඉත්‍වරභක්ති ඇතියේ ඉත්‍වරප්‍රේමඇතියේ ඉත්‍වරප්‍රසාද ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ලෝලයෙක් (වහා වෙනස්වන සුලු අස්ථිරයෙක්) වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මන්‍ද මෝමූහ වේ ය යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් කුශල අකුශල ධර්‍මයන් නො දන්නේ ය. සාවද්‍ය අනවද්‍ය ධර්‍මයන් නො දන්නේ ය. හීනප්‍රණීත ධර්‍මයන් නො දන්නේ ය. කෘෂ්ණශුක්ල සප්‍රතිභාග (අකුශලවිරුද්ධ කුශල, කුශලවිරුද්ධ අකුශල) ධර්‍මයන් නො දන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල මන්‍ද මොමුහ වෙයි.
මහණෙනි, මොහු ලෝකයෙහි විද්‍යාමාන පුද්ගලයෝ පස්දෙන යි.
5. 3. 5. 2.
[ආරම්භති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ පස්දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම (ආරම්භ) ද කෙරෙයි. (එ හේතුයෙන්) විපිළිසර ඇතියේ ද වෙයි. යම් තැනෙක්හි (යම් කරුණෙක්හි) ඔහුට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂව නිරුද්ධ වෙත් නම්, ඒ (අර්‍හත්‍වඵලසමාධි) චේතෝවිමුක්තිය හා (අර්‍හත්‍වඵලඥාන) ප්‍රඥාවිමුක්තිය ඇති සැටියෙන් (අර්‍හත්‍වාධිගම නැති හෙයින්) නො දන්නේ ය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ඇවැත් මඩනේ ය, (ඇවැතින් නැඟීසිටි හෙයින්) විපිළිසර ඇතියේ නො වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටියෙන් නො දන්නේ ය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. (ඇවැතින් නැඟී සිටියේ ද) විපිළිසර ඇතියේ වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් නො දන්නේ ය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. විපිළිසර ඇතියේ ද නො වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් නො දන්නේ ය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. විපිළිසර ඇතියේ නො වෙයි. යම් හෙයෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් දන්නේ ය. (මේ රහත් පුඟුල් ය)
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැත් මඩනේ හා විපිළිසර ඇතියේ හා වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටි නොදන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට ආපත්තිව්‍යතික්‍රමයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යාමාන වෙති. විප්‍රතිසාරයෙන් උපන් ආස්‍රවයෝ වැඩෙති. ආයුෂ්මත් ආරම්හප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයන් ප්‍රහීණ කොට විප්‍රතිසාරයෙන් උපන් ආස්‍රවයෝ දුරු කොට චිත්තය (සමාධි-ප්‍රඥා දෙක) වඩනේ මැනැව. එසේ වත් ම ආයුෂ්මත් මේ පස්වන (රහත්) පුඟුල් හා සමසම වන්නේ ය” යි.
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම කෙරේ ද, විපිළිසර ඇතියේ නො වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ ව නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇති සැටියෙන් නො දන්නේ ද, හේ මෙසෙයින් කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට වනාහි ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යමානයහ. විපිළිසරින් උපන් ආස්‍රවයෝ නො වැඩෙන්නාහ. ආයුෂ්මත් ඒකාන්තයෙන් ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයන් ප්‍රහීණ කොට සමාධිය හා ප්‍රඥාව හා වඩා නම් මැනැවැ. එසේවත් ම ආයුෂ්මත් තෙල පස්වන පුඟුල් හා සමසම වන්නේ ය”යි.
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රමය නො කෙරේ ද, (එහෙත්) විපිළිසර ඇතියේ වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇතිසැටියෙන් නො දන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්ට ආරම්හප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යාමාන නො වෙති. විපිළිසරින් උපන් ආස්‍රවයෝ වැඩෙන්නාහ. ආයුෂ්මත් ඒකාන්තයෙන් විපිළිසරින් උපන් ආස්‍රවයන් දුරු කොට චිත්තය හා ප්‍රඥාව හා වඩා නම් මැනැවැ. එසේ වත් ම ආයුෂ්මත් තෙල පස්වන පුද්ගලයා හා සමසම වන්නේ ය” යි.
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රමය නො කෙරේ ද, විපිළිසර ඇතියේ නො වේ ද, යම් කරුණෙක්හි ඔහට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම් ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇතිසැටියෙන් නො දන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයෝ අවිද්‍යාමානයහ. විපිළිසරින් උපන් ආස්‍රවයෝ නො වැඩෙන්නාහ. ආයුෂ්මත් චිත්තය හා ප්‍රඥාව වඩා නම් ඒකාන්තයෙන් මැනැවැ. එසේ වත් ම ආයුෂ්මත් තෙල පස්වන පුද්ගලයා හා සමසම වන්නේ ය” යි.
මහණෙනි, මෙසේ මේ (මුලින් කී) සතර පුද්ගලයෝ මේ පස්වන (රහත්) පුඟුල්හු විසින් මෙලෙසින් ඔවා දෙනු ලබන්නාහු අනුක්‍රමයෙන් ආස්‍රවක්‍ෂයට පැමිණෙන්නාහ යි.
5. 3. 5. 3.
[සාරන්‍දද සූත්‍රය]
43. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහාවනයෙහි කුළාරහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ වේසාලියට පිඬු පිණිස වැඩි සේක.
එසමයෙහි සාරන්‍දද චෙතියෙහි රැස්ව හුන් පන්සියක් පමණ ලිච්ඡවීන් අතුරෙහි මෙ අතුරු කථාව පාළ විය. “ලොව්හි පඤ්චරත්නයන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි, කවර පඤ්චරත්නයන්ගේ ය යත්: ලොව්හි හස්තිරත්නයාගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොව්හි අශ්වරත්නයාගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොව්හි මණිරත්නයාගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොව්හි ස්ත්‍රීරත්නයාගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොව්හි ගෘහපතිරත්නයාගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොව්හි මෙ පඤ්චරත්නයන්ගේ පාළවීම දුර්‍ලභ වේ”ය යි.
ඉක්බිති එ ලිච්ඡවීහු “එම්බා පුරුෂය, යම් විටෙක තෝ භාග්‍යවතුන් වහන්සේ වඩනවුන් දක්නෙහි ද, එකල්හි අපට දන්වාලව” යි මාර්‍ගයෙහි පුරුෂයකු රඳවාලූහ. එ පුරුෂයා භාග්‍යවතුන්වහන්සේ වඩනාවුන් දුරදීම දිට. දැක එ ලිච්ඡවීන් කරා ගියේ. ගොස් එ ලිච්ඡවීනට තෙල කී: “භවත්නි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඩනාහ. එයට දැන් කල් දනුව” යි.
එකල්හි එ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි එ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, අයැදුම්හ. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා සඳහා සාරන්‍දද චෛත්‍යය කරා වඩනා සේක්ව” යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සාරන්‍දද චෛත්‍යය කරා වැඩි සේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ එ ලිච්ඡවීනට තෙල කරුණ වදාළෝ:
“ලිච්ඡවීනි, දැන් තෙපි කවර නම් කථායෙකින් යුක්තව රැස්ව හුන්නාව? තොපගේ කවර නම් අතුරුකථායෙක් කොට අඩාළ වී දැ?” යි.
වහන්ස, මෙහි රැස්ව හුන් අප අතර මෙ නම් අතුරු කථායෙක් උපන: “ලෝකයෙහි පඤ්චරත්න කෙනකුන්ගේ පහළවීම දුර්‍ලභ ය. කවර පඤ්චරත්න කෙනකුන්ගේ ය යත්: ලෝකයෙහි හස්තිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලෝකයෙහි අශ්වරත්නයාගේ පහළ වනු දුලබ ය. ලෝකයෙහි මණිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලෝකයෙහි ස්ත්‍රීරත්නයාගේ පාළවනු දුබල ය. ලෝකයෙහි ගෘහපතිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලොව මෙ පස් රුවනුන්ගේ පාළ වනු දුලබ ය” යි.
වස්තුකාමක්ලේශකාමයන්හි අධිමුක්ත (දැඩිසේ ඇලුනු) ලිච්ඡවීන් වන තොප අතර කාමයන් අරභයා ම අතුරුකථා උපනේ ය.
ලිච්ඡවීනි, ලොවැ පඤ්චරත්න කෙනකුන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ ය. කවර පඤ්චරත්න කෙනකුන්ගේ ය යත්:
ලොවැ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොවැ තථාගතප්‍රවිදිත ධර්‍මවිනය දෙසන පුද්ගලයා දුර්‍ලභ වෙයි. ලොවැ තථාගතප්‍රවිදිත වූ දේශිත ධර්‍මවිනය දැනගන්නා පුද්ගලයා දුර්‍ලභ වෙයි. ලොවැ තථාගතප්‍රවිදිත වූ දේශිත ධර්‍මවිනය දන්නේ ම ධර්‍මානුධර්‍මය (ලෝකෝත්තර ධර්‍මප්‍රතිපදාව) අනුව පිළිපන් පුද්ගල දුර්‍ලභ වෙයි. ලොවැ කෘතඥ කෘතවේදී පුද්ගල දුර්‍ලභ වෙයි.
ලිච්ඡවීනි, ලොවැ මේ පඤ්චරත්නයන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වේ යයි වදාළසේක.
5. 3. 5. 4.
[තිකණ්ඩකී සූත්‍රය]
41. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නගරසමීපයෙහි තිකණ්ඩකී වනයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි මහණුන් ඇමතූ සේක. “වහන්සැ”යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, මහණ කලින් කල අප්‍රතිකූල ආලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇතිව වාස කරන්නේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල ප්‍රතිකූලාලම්බනයෙහි අප්‍රතිකූලසංඥා ඇතිව වෙසේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල අප්‍රතිකූලාලම්බනයෙහි දු ප්‍රතිකූලාලම්බනයෙහි දු ප්‍රතිකූලසංඥා ඇතිව වසන්නේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල ප්‍රතිකූලාලම්බනයෙහි දු අප්‍රතිකූලාලම්බනයෙහි දු අප්‍රතිකූලසංඥා ඇතිව වසන්නේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කලින් කල අප්‍රතිකූලාලම්බනය හා ප්‍රතිකූලාලම්බනය හා එ දෙක ම දුරලා උපේක්‍ෂක වැ ස්මෘතිසම්පන්න වූයේ සම්‍යක්ප්‍රඥා ඇති වැ වසන්නේ නම් මැනැවැ.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් පිණිස අප්‍රතිකූලාලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කෙරේ ය යත්: “ඇලුම් කටයුතු දහම්හි මට රාගය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මෙ අර්‍ත්‍ථය පිණිස අප්‍රතිකූලාලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේය.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් පිණිස ප්‍රතිකූලාලම්බනයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය යත්: “ද්වේෂයට නිසි (ආලම්බන) ධර්‍මයෙහි මට ද්වේෂය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මේ අර්‍ත්‍ථය පිණිස ප්‍රතිකූලාලම්බනයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් නිසා අප්‍රතිකූල වූ ද ප්‍රතිකූල වූ ද ආලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණය කරන්නේ ය යත්: “රජනීය ධර්‍මයෙහි මට රාගය නහමක් උපදීව” යි. “ද්වේෂයට නිසි ධර්‍මයෙහි මට ද්වේෂය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මේ අර්‍ත්‍ථය නිසා අප්‍රතිකූල වූ ද ප්‍රතිකූල වූ ද ආලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් නිසා ප්‍රතිකූලාලම්බනයෙහි දු අප්‍රතිකූලාලම්බනයෙහි දු අප්‍රතිකූලසංඥා ඇති වැ වසන්නේ ය යත්: “ද්වේෂ්‍ය ධර්‍මයෙහි මට ද්වේෂය නහමක් පාළ වේව යි, රජනීය ධර්‍මයෙහි මට රාගය නහමක් පාළ වේව” යි. මහණෙනි, මහණ මේ අර්‍ත්‍ථය නිසා ප්‍රතිකූලයෙහි දු අප්‍රතිකූලයෙහි දු අප්‍රතිකූලසංඥා ඇති වැ විහරණය කරන්නේ ය.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් නිසා අප්‍රතිකූලය හා ප්‍රතිකූලය හා එ දෙක හැරපියා උපේක්‍ෂක වැ ස්මෘතිසම්පන්න වැ නුවණැති වැ විහරණ කරන්නේය යත්: මහණෙනි, “මට කිසිදු අරමුණෙක්හි කොතන්හි දු රජනීයධර්‍මයෙහි ස්වල්පමාත්‍ර වූ ද රාගයෙක් නහමක් උපදීවා, මට කිසිදු අරමුණෙක්හි කොතැනෙක දී හෝ ද්වේෂ්‍ය ධර්‍මයන්හි ස්වල්පමාත්‍ර වූ ද ද්වේෂයෙක් නහමක් උපදීවා, මට කිසිදු අරමුණෙක්හි කොතැනෙක දී හෝ මෝහනීයධර්‍මයෙහි ස්වල්පමාත්‍ර වූ ද මෝහයෙක් නහමක් උපදීවා” යි. මේ අර්‍ත්‍ථය නිසා මහණ අප්‍රතිකූලය ද ප්‍රතිකූලය ද යන එ දෙක ම හැරපියා ස්මෘතිසම්පන්න ව සම්‍යක්ප්‍රඥා ඇති ව උපේක්‍ෂක ව විහරණ කරන්නේය”යි.
5. 3. 5. 5.
[නිරය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් නිරයෙහි උපදනේ යැ. කවර පසෙකින් යත්:
පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන සුලු වෙයි. මදපමා දෙකට කරුණු වූ රහමෙර බොන සුලු වෙයි.
මහණෙනි, මෙ ධර්‍ම පසින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් නිරයෙහි උපදනේ වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු හෙයින් ස්වර්‍ගයෙහි උපදනේ යැ. කවර පසෙකින යත්:
පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදන් ගැණුමින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි. මුසාවායෙන් වැළකියේ වෙයි. මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ වෙයි.
5. 3. 5. 6.
[භික්ඛුමිත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර නො සෙවිය යුත්තේ ය. කවර පසෙකින් යත්:
කර්‍මාන්ත කරවන්නේ ය. අධිකරණ ගන්නේ ය. දිසාපාමොක් මහණුන් කෙරෙහි විරුද්ධ වන්නේ ය. දීර්‍ඝචාරිකායෙහි, ව්‍යවස්ථා රහිත (යදෘච්ඡා) චාරිකායෙහි යෙදී වසන්නේ ය. කලින් කල ධාර්මික කථායෙන් කරුණු දක්වන්නට සමාදන් කරවන්නට සමුත්තේජනය (උත්සාහවත්) කරවන්නට සම්ප්‍රහර්‍ෂණය කරවන්නට ප්‍රතිබල නො වේ.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර නො සෙවිය යුත්තේ ය.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර සෙවිය යුත්තේ ය. කවර පසෙකින් යත්:
කර්‍මාන්ත නොකරවන්නේ ය. අධිකරණ නොගන්නේ ය. දිසාපාමොක් මහණුන් කෙරෙහි ප්‍රතිවිරුද්ධ නොවන්නේ ය. දීර්‍ඝචාරිකායෙහිත් යදාච්ඡාරිකායෙහිත් නොයෙදී වසන්නේ ය. කලින් කල දැහැමි කථායෙන් සන්‍දර්‍ශනය කරවන්නට සමාදන් කරවන්නට සමුත්තේජන කරවන්නට සම්ප්‍රහර්‍ෂණ කරවන්නට ප්‍රතිබල වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර සෙවිය යුත්තේ යි.
5. 3. 5. 7.
[අසප්පුරිස දාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, මේ අසත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
නො සකසා දෙයි. (ගෞරවයෙන්) සලකා නො දෙයි. සියතින් නො දෙයි. පටිවිද්ධයක් (ඉවත ලන්නක්) සෙයින් දෙයි හෝ නිතර නො දෙයි. අනාගමනදෘෂ්ටික (කර්‍මඵලවිපාක ඇදැහීම නැති) ව දෙයි.
මහණෙනි, මෙ පස අසත්පුරුෂදාන යි.
මහණෙනි, මේ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
සකසා දෙයි. ගරු කොට දෙයි. සියතින් දෙයි. නිරතුරු කොට දෙයි. ආගමනදෘෂ්ටි ඇති ව දෙයි.
මහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.
5. 3. 5. 8.
[සප්පුරිස දාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, මෙ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
ශ්‍රද්ධායෙන් දන් දෙයි. සකසා දන් දෙයි. නිසි කල්හි දන් දෙයි. දෙන දැයෙහි සිත් බැඳුම් නැතිව (මුත්තචාගීව) දන් දෙයි. තමා ද මෙරමා ද නො පෙළා (ගුණ නොමකා) දන් දෙයි.