Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 6901-7000 න් 15980

මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත ශාරිපුත්‍රයෝ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය මනාකොට අනුව පවත්වත්. එ ධර්‍මචක්‍රය ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලොවැ කිසිවකු විසින් හෝ ප්‍රතිවර්‍තන කළ හැකි නො වෙයි. (ප්‍රතික්‍ෂේප ද කළ නො හෙයි.)
5. 3. 4. 3.
[ධම්මරාජ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, “දැහැමි වූ ධර්‍මරාජන් වූ යම් චක්‍රවර්ති රජෙක් වේ නම්, හෙ ද අරාජක ආඥාචක්‍රය නො පවත්වා ය” යි. මෙ සෙයින් වදාළ කල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවත්හට තෙල කරුණ සැළ කළේ ය: “වහන්ස, ධාර්මික වූ ධර්‍මරාජන් වූ චක්‍රවර්තී රජහට කවරෙක් රජ වේ දැ?” යි, “මහණ, ධර්‍මය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
මහණ, මෙ ලොව්හි දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ ධර්‍මය ම නිසා ධර්‍මයට සත්කාර කරණුයේ ධර්‍මයට බුහුමන් කරණුයේ ධර්‍මය ධ්වජ කොට ඇතියේ ධර්‍මය කේතු කොට ඇතියේ ධර්‍මය ආධිපත්‍යය කොට ඇතියේ අන්තඃපුරජනයා කෙරෙහි දැහැමි රැකවරණ ගෝපන සංවිධාන කරයි.
තවද මහණ, ධාර්මික ධර්‍මරාජන් වූ සක්විතිරජ දහම ම නිසා ධර්‍මයට සත්කාර කරණුයේ ධර්‍මයට සත්කාර කරණුයේ ධර්‍මය ගුරු කරණුයේ ධර්‍මයට බුහුමන් කරණුයේ ධර්‍මය ධ්වජ කොට ඇතියේ ධර්‍මය කේතු කොට ඇතියේ ධර්‍මය ආධිපත්‍යය කොට ඇතියේ අනුයුක්ත ක්‍ෂත්‍රියයන් කෙරෙහිදු, බලකාය කෙරෙහිදු, බමුණු ගැහැවියන් කෙරෙහිදු, නියම්ගම් දනවුවැස්සන් කෙරෙහිදු, ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහිදු, මෘගපක්‍ෂීන් කෙරෙහිදු ධාර්මික රක්‍ෂාවරණගෝපන කරයි.
මහණ, ධාර්මික වූ ධර්‍මරාජන් වූ එ සක්විතිරජ ධර්‍මය ම නිසා ධර්‍මයට සත්කාර කරණුයේ ධර්‍මය ගුරු කරණුයේ ධර්‍මයට බුහුමන් කරණුයේ ධර්‍මධ්වජ වූයේ ධර්‍මකේතු වූයේ ධර්‍මාධිපත්‍යය ඇතියේ අන්තඃපුරජනයා කෙරෙහි ධාර්මිකරක්‍ෂාවරණගෝපනය කොට අනුයුක්ත ක්‍ෂත්‍රියයන් කෙරෙහි ද බලකාය කෙරෙහි ද බ්‍රාහ්මණගෘහපතියන් කෙරෙහි ද නියම්ගම්දනවුවැසියන් කෙරෙහි ද ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි ද මෘගපක්‍ෂීන් කෙරෙහි ද ධාර්මික රක්‍ෂාවරණගුප්තිය කොට ධර්‍මයෙන් ම ආඥාචක්‍රය පවත්වයි. එ ආඥාචක්‍රය වනාහි මනුෂ්‍යභූත කිසිදු පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තනය කළ හැකි නො වෙයි.
මහණ, එ පරිද්දෙන් ම ධාර්මික ධර්‍මරාජන් වූ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ධර්‍මය ම නිසා ධර්‍මයට සත්කාර කරන්නාහු ධර්‍මය ගරු කරන්නාහු ධර්‍මයට බුහුමන් කරන්නාහු ධර්‍මය ධ්වජ කොට ඇත්තාහු ධර්‍මය කේතු කොට ඇත්තාහු ධර්‍මය ආධිපත්‍යය කොට ඇත්තාහු භික්‍ෂූන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගුප්තිය සලසන්නාහ. “මෙබඳු කායකර්‍මය සෙවිය යුතු ය, මෙබඳු කායකර්‍මය නො සෙවිය යුතුය, මෙබඳු වාක්කර්‍මය සෙවිය යුතු ය, මෙබඳු වාක්කර්‍මය නො සෙවිය යුතු ය, මෙබඳු මනඃකර්‍මය සෙවිය යුතු ය, මෙබඳු මනඃකර්‍මය නො සෙවිය යුතු ය, මෙබඳු ආජීවය සෙවිය යුතු ය, මෙබඳු ආජීවය නො සෙවිය යුතු ය, මෙබඳු ගම් නියම්ගම් සෙවිය යුතුය, මෙබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු ය” යි.
තවද මහණ, ධාර්මික ධර්‍මරාජන් වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ ධර්‍මය ම නිසා ධර්‍මයට සත්කාර කරන්නාහු ධර්‍මය ගරු කරන්නාහු ධර්‍මයට බුහුමන් කරන්නාහු ධර්‍මය ධ්වජ කොට ඇත්තාහු ධර්‍මය කේතු කොට ඇත්තාහු ධර්‍මය ආධිපත්‍ය කොට ඇත්තාහු භික්‍ෂුණින් කෙරෙහි … උපාසකයන් කෙරෙහි ... උපාසිකාවන් කෙරෙහි “මෙබඳු කායකර්‍මය සෙවිය යුතු, මෙබඳු කායකර්‍මය නො සෙවිය යුතු, මෙබඳු වාක්කර්‍මය සෙවිය යුතු, මෙබඳු වාක්කර්‍මය නො සෙවිය යුතු, මෙබඳු මනඃකර්‍මය සෙවිය යුතු, මෙබඳු මනඃකර්‍මය නො සෙවිය යුතු, මෙබඳු ආජීවය සෙවිය යුතු, මෙබඳු ආජීවය නො සෙවිය යුතු, මෙබඳු ගම් නියම්ගම් සෙවිය යුතු, මෙබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු ය”යි ධාර්මික රක්‍ෂාවරණගුප්තිය සලසන්නාහ.
මහණ, එ ධාර්මික ධර්‍මරාජන් වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ ධර්‍මය ම නිසා ධර්‍මයට සත්කාර කරන්නාහු ධර්‍මය ගරු කරන්නාහු ධර්‍මයට බුහුමන් කරන්නාහු ධර්‍මය ධ්වජ කොට ඇතියාහු ධර්‍මය කේතු කොට ඇතියාහු ධර්‍මය ආධිපත්‍ය කොට ඇතියාහු භික්‍ෂූන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, භික්‍ෂුණීන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, උපාසකයන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, උපාසිකාවන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, ධර්‍මයෙන් ම අනුත්තරධර්‍මචක්‍රය පවත්වන සේක. එ ධර්‍මචක්‍රය ලොව්හි ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ අන් කිසිවකු විසින් හෝ ප්‍රතිවර්‍තනය කළ හැකි නොවේ ය යි.
5. 3. 4. 4.
[ඛත්තියරාජ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජ යම් ම දිශායෙක්හි වාස කෙරේ නම්, ස්වකීය වූ ම විජිතයෙහි වෙසෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි මූර්‍ධාභික්‍ෂිත ක්‍ෂත්‍රිය රජ මවු පසින් හා පියපසින් හා යන උභයපාර්‍ශවයෙන් මනා කොට උපන්නේ, සුපිරිසිදු මවුකුසැතියේ, සත්මුතු පරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නොලන ලදුයේ උපක්‍රෝශ නො ලදුයේ වෙයි. මහාධන ඇතියේ මහාභෝග ඇතියේ පිරිපුන් ධනකෝෂ හා ධාන්‍යකෝෂ්ඨාගාර ඇතියේ ආඪ්‍ය වෙයි. කීකරු වූ ඔවා අනුව කරණ සිවුරඟසෙනගින් සමන්‍වාගත වූයේ බලවත් වෙයි.
ඔහුගේ පරිණායක පණ්ඩිත වෙයි. (ප්‍රඥාව්‍යක්තතායෙන්) ව්‍යක්ත වෙයි. (ස්ථානෝචිතප්‍රඥායෙන් යුක්තවන හෙයින්) මේධාවී වෙයි. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න අර්‍ත්‍ථයන් සිතීමට ප්‍රතිබල වෙයි. මෙ සතර දහම්හු ඔහුගේ යශස් පරිපාක කරවත්. මේ යශස නැමැති පස්වන කරුණින් සමන්‍වාගත හෙතෙමේ යම් ම දිශායෙක්හි වෙසේ නම්, ස්වකීය වූ ම විජිතයෙහි (වෙසෙන සේ) වෙසෙයි. ඒ කවර හේතුයෙන් යත්: විජේතෘනට (ධර්‍මවිජය ඇත්තනට) තෙල එසෙයින් ම වෙයි.
මහණෙනි, එපරිදි ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ යම් ම දිශායෙක්හි වාස කෙරේ නම්, පඤ්චවිධ විමුක්තියෙන් යුත් ඇතියේ ම වාස කෙරෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචරිම්පන්න වූයේ අණුමාත්‍රවරදෙහි දු බිය දක්නා සුලුයේ සිකපදයෙහි සමාදන් කොටගෙන හික්මෙයි. ජාතිසම්පන්න වූ මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය මහරජකු සෙයිනි.
(නවාඞ්ගශාසන සඞ්ඛ්‍යාත) ශ්‍රැතයට ආධාර වූයේ රාසි කොටගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ධර්‍මකෙනෙක් ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු අර්‍ත්‍ථසහිත ව්‍යඤ්ජන සහිත වූවාහු කේවල පරිපූර්‍ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් අසා උගන්නා ලද්දාහු ප්‍රගුණ කරණ ලද්දාහු වචනයෙන් වනපොත් කරණ ලද්දාහු (සූත්‍ර දශකාදි විසින්) සිතින් පිරික්සා බලන ලද්දහු ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්. ආඪ්‍ය වූ මහද්ධන ඇති මහාභෝග ඇති පිරිපුන් ධනාගාර හා ධාන්‍යාගාර ඇති මුදුනෙහි බිසෙස් ලද කැත්මහරජකු මෙනි.
අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත්තිය පිණිස ස්ථාමවත් වූයේ දළපැරැකුම් ඇතියේ කුශලධර්‍මයෙහි නොහළ වැර ධූර ඇතියේ ඇරැඹූ වීර්‍ය්‍ය ඇතියේ වාස කෙරෙයි. බලසම්පන්න මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජකු මෙනි.
ආර්‍ය්‍ය වූ නිර්වේදයට නිසි වූ මැනැවින් දුඃඛක්‍ෂයට යන සුලු උදාවිය දෙක අනුව ගිය විදර්‍ශනාප්‍රඥායෙන් සමන්‍වාගත මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය මහරජු සෙයිනි.
ඔහුගේ මේ සතර දහම්හු විමුක්තිපරිපාකය කරවත්. හේ මේ විමුක්තිය පස්වනු කොට ඇති ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ යම් ම දිශායෙක්හි වෙසේ නම්, විමුක්තචිත්ත ව වෙසෙයි. එ කවර හෙයින් යත්: මහණෙනි, විමුක්තචිත්තයනට (මිදුනු සිත් ඇතියනට) තෙල එසෙයින් ම වෙයි.
5. 3. 4. 5.
[පළමුවන පත්‍ථනා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වූ මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුගේ දෙටුපුත් රාජ්‍යය පතන්නේ ය. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රියරජුගේ ජ්‍යේෂ්ඨපුත්‍ර තෙමේ මවුපසින් හා පියපසින් හා යන දෙපසින් සුජාත වූයේ, පිරිසිදු මවුකුස් ඇතියේ, සත්මුතුපරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපක්‍රෝෂ නැතියේ වෙයි. උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ ප්‍රසාද එළවන සුලුයේ අභිරූප වෙයි. මාපියනට ප්‍රිය මනාප වෙයි. නියම් ගම්දනවු වැස්සනට ප්‍රිය මනාප වෙයි. හස්තිශිල්ප වේවයි, අශ්වශිල්ප වේවයි, රථ ශිල්ප වේවයි, ධනුශිල්ප වේවයි, ඛඞ්ගශිල්ප වේවයි, මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුන්ගේ යම් ශිල්පස්ථානයෝ වෙත් නම්, එහි හික්මුනේ පරිපූර්‍ණ වෙයි.
ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම වනාහි මවුපසින් හා පියපසින් හා දෙපසින් සුජාතයෙම්, පිරිසුදු මවුකුස් ඇතියෙම්, සත්මුතු පරපුර තෙක් ජාති වාදයෙන් බැහැර නො කරණ ලදුයෙම්, අනුපකෘෂ්ටයෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍යය නො පතනෙම් ද? මම් වනාහි දැකුම්කලුයෙම් ප්‍රසාදජනකයෙම් උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගතයෙම් අභිරූපය යෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍යය නො පතන්නෙම් ද? මම වනාහි මා පියනට ප්‍රියමනාප යෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍ය නො පතන්නෙම් ද? මම වනාහි නියම්ගම් දනවුවැස්සනට ප්‍රිය මනාපයෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍යය නො පතන්නෙම් ද? මම වනාහි හස්තිශිල්ප වේවයි, අශ්වශිල්ප වේවයි, රථශිල්ප වේවයි, ඛඩගශිල්ප වේවයි, මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුන්ගේ යම් ශිල්පස්ථාන කෙනෙක් වෙත් නම්, එහි හික්මුනෙම් පරිපූර්‍ණයෙම් වෙමි. කවර හෙයින් මම රජය නො පතන්නෙම් දැ?”යි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජුගේ දෙටුපුත් රජය පතයි.
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂයය (නිවන) පතන්නේ ය. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ මෙ කරුණෙනුදු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තරපුරුෂදම්‍යසාරථිහ. දෙව් මිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භගවත් හ” යි තථාගතයන් වහන්සේගේ (චතුස්සත්‍යඥාන) බෝධිය හදහයි. අල්පාතඞ්ක වූයේ ස්වල්පාබාධ වෙයි. ඉතා සිහිල් නො වූ ඉතා උණුසුම් නැති මධ්‍යම වූ ප්‍රධන්විර්‍ය්‍යට නිසි වූ සමව අහර පැසවන ජඨරාගනියෙන් සමන්‍වාගත වෙයි. මායා නැතියේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥ සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, තමා තතුසේ පාළ කරණුයේ සළබව් නැතියේ වේ. අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභය පිණිස රුකුළු වැර ඇතියේ දළපැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො හළ වැරධුර ඇතියේ ස්ථාමවත් වූයේ විහරණ කෙරෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේදයට වැටෙන මනා සේ දුඃඛක්‍ෂය කරා යන උදයව්‍යයට යන ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි.
ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම සැදැහැතියෙම් වෙමි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ ... දෙව්මිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භාග්‍යවත්හ”යි හදහමි. කවර කරුණෙකින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි අල්පාතඞ්ක ඇතියෙම් අල්පාබාධා ඇතියෙම්, අතිශීත නො වූ අත්‍යුෂණ නො වූ මධ්‍යම වූ ප්‍රධානක්‍ෂම වූ සම ව අහර පැසවන ජඨරාග්නියෙන් සමන්‍වාගතයෙමි. කවර කරුණෙකින් මම ආස්‍රවක්‍ෂය (නිර්‍වාණය) නො පතන්නෙම් ද? මම වනාහි මායා රහිතයෙමි, අශඨයෙම් ශාස්තෲන් කෙරෙහි වේවයි, විඥ සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, තමා තතුසේ පාළ කරන්නෙම් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂයය නො පතම් ද? මම වනාහි අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස, කුශලධර්‍මයන්ගේ ලාභය පිණිස රුකුළු වැර ඇතියෙම් කුශලධර්‍මයෙහි නො හළ වැර ඇතියෙම් දළපැරකුම් ඇතියෙම් ස්ථාමවත්ව වෙසෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතන්නෙම් ද? මම වනාහි ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනවට දුඃඛක්‍ෂයට යන උදයව්‍යයගාමීනිප්‍රඥායෙන් සමන්‍වාගත වෙමි. කවර කරුණෙකින් මම ආස්‍රවක්‍ෂය නො පතන්නෙම් ද?
මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආස්‍රවක්‍ෂය පතන්නේ ය යි.
5. 3. 4. 6.
[දෙවැනි පත්‍ථනා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වූ මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුගේ දෙටු පුත් යුවරජ තනතුර පතන්නේ ය. කවර පසෙකින් යත්:
මහණෙනි, මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජුගේ දෙටුපුත් මවුපසින් හා පියපසින් හා උභයපක්‍ෂයෙන් සුජාත වූයේ, පිරිසිදු මවුකුස ඇතියේ, සත්වන පියමුතුපරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපකෘෂ්ට නො වෙයි. උත්තමරූපසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ දැකුම්කලු වූයේ ප්‍රසාදජනක වූයේ විශිෂ්ට රූපසම්පත් ඇතියේ වෙයි. මවුපියනට ප්‍රියමනාප වෙයි. බලසෙනඟට ප්‍රියමනාප වෙයි. පාණ්ඩිත්‍යයෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥව්‍යක්තභාවයෙන් යුක්ත වූයේ තන්වැසි නුවණින් යුක්ත වූයේ අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ වෘද්ධි අර්‍ත්‍ථයන් සිතීමෙහි ප්‍රතිබල වෙයි.
ඔහට මෙබඳු සිතෙක් වෙයි. “මම වනාහි මවුපසින් හා පියපසින් හා දෙපසින් ම සුජාතයෙම් පිරිසිදු මවුකුස් ඇතියෙම් සත්වන පියමුතුපරපුර තෙක් ජාතිවාදයෙන් අක්‍ෂිප්තයෙම් උපක්‍රෝශ නො ලදුයෙම් වෙමි. කවර හෙයින් මම යුවරජ තනතුරු නො පතම් ද? මම වනාහි පරමවර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගතයෙම් අභිරූපයෙම් දර්‍ශනීයයෙම් ප්‍රසාදජනකයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි මාපියනට ප්‍රියමනාපයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි බලසෙනඟට ප්‍රියමනාපයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි පණ්ඩිතයෙමි, ව්‍යක්තයෙමි, තන්වැසි නුවණැතියෙම්. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න අර්‍ත්‍ථයන් සිතීමට ප්‍රතිබලයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද?”
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුගේ දෙටුපුත් යුවරජය පතන්නේ ය.
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආස්‍රවක්‍ෂය පතයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපදයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... (ධර්‍මයෝ) ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත්. සතර සීවටන්හි මොනවට එළඹ සිටි සිත් ඇතියේ වෙයි. අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා රුකුළු වැර ඇතිව වාස කරයි, දළපැරකුම් ඇතියේ කුශලධර්‍මයෙහි නො හළ වැර ඇතියේ ස්ථාමවත් වෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේදයට වැටෙන මැනැවින් දුඃඛක්‍ෂයට යන උදාවියට යන ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
ඔහට මෙබඳු සිතෙක් වෙයි. “මම වනාහි සිල්වත් වෙමි. ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් සංවෘතයෙමි. ආචාරගෝචර සම්පන්නයෙමි. අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුල්ලෙම් වාස කරමි. සමාදන් කොට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි ශ්‍රැතධරයෙමි ශ්‍රැතසන්නිචය ඇතියෙමි, බහුශ්‍රැතයෙමි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථවූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පාළ කෙරෙත් නම්, එබඳු ධර්‍මයෝ මා විසින් බහුශ්‍රුත වූවාහු ධෘත වෙත්. වචනයෙන් ප්‍රගුණ කරණ ලදහ. මනසින් අනුප්‍රේක්‍ෂිතයහ. ප්‍රඥායෙන් සුපිළිවිදුනා ලදහ. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි සතර ස්මෘතිප්‍රස්ථානයෙහි එළඹ සිටි සිහි ඇතියෙම් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා රුකුළු වැර ඇතියෙම් වෙසෙමි. කුශලධර්‍මයෙහි නො හළ වීර්‍ය්‍යධූර ඇතියෙම් දළපැරකුම් ඇතියෙම් ස්ථාමවත් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි ආර්‍ය්‍ය වූ නිර්වේදය පිණිස පවත්නා මැනැවින් දුඃඛක්‍ෂයට යන සුලු උදාවිය නුවණින් ප්‍රඥාවත් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් දැ?”යි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආස්‍රවක්‍ෂය පතන්නේ යයි.
5. 3. 4. 7.
[අප්පංසුපති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, මෙ පස් දෙනෙක් රාත්‍රියෙහි අල්ප කොට නිදන්නාහ. බහුල කොට නිදි වරන්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, පුරුෂයන් කෙරෙහි අධිප්‍රාය ඇති ස්ත්‍රී රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අධිප්‍රාය ඇති පුරුෂ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, වස්තු පැහැර ගැණීමෙහි අධිප්‍රාය ඇති සොර රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදිවරයි. මහණෙනි, රජකරණීහි නියුතු රජ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි. මහණෙනි, කෙලෙසුන්ගෙන් මිදීමෙහි අධිප්‍රාය ඇති මහණ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි.
මහණෙනි, මෙ පස් දෙන රාත්‍රියෙහි අල්ප කොට නිදත්. බොහෝ කොට නිදි වරත් යයි.
5. 3. 4. 8.
[භත්තාදක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, රජුගේ ඇත් කරුණු පසෙකින් සමන්‍වාගත වූයේ බොහෝ බත් බුදිනේ ද වෙයි. (අන්‍යයන්ට බාධාවනසේ) ඇවුරු අවකාශ ඇතියේ ද වෙයි. (තන්හි තන්හි) ලඩ හෙළනුයේත් වෙයි. ඇතුන් ගණින කලැ ලහගන්නා සුලුයේ ද වෙයි. රජුගේ හස්තියා මැ යි යන සංඛ්‍යාවට ද යෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් රූප නො සහනුයේ වෙයි. ශබ්දයන් නොසහනූයේ වෙයි. ගන්‍ධයන් නොසහනුයේ වෙයි. රස නොසහනුයේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් නොසහනුයේ වෙයි.
මහණෙනි, රජුගේ හස්තිනාගයා මෙ කරුණු පසින් සමන්‍වාගත වූයේ භක්තාදක ද වෙයි. අවකාශස්ථරණ ද වෙයි. ලඬ හෙළනුයේ ද වෙයි. ලහ ගනුයේ ද වෙයි. “රජුගේ නාගයා ම වේ” යන සඞ්ඛ්‍යාවට ද යෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ බොහෝ අහර වළඳනුයේත් වෙයි. අවකාශ අවුරණුයේත් වෙයි. (ඇඳ) පුටු මඩනේ ද වෙයි. ශලාකග්‍රාහී ද වෙයි. “මහණෙක” යන සඞ්ඛ්‍යාවට ද යෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපාලම්බනයන් නොසහනේ වෙයි. ශබ්දාලම්බනයන් නොසහනේ වෙයි. ගන්‍ධාලම්බනයන් නොසහනේ වෙයි. රසාලම්බනයන් නොසහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන් නොසහනේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ බොහෝ අහර වළඳනේ වෙයි. අවකාශ අවුරණුයේ ද වෙයි. පීඨමර්‍දන කරණුයේ ද වෙයි. ශලාකග්‍රාහී ද වෙයි. “මහණෙක් ම ය” යන සඞ්ඛ්‍යාවට ද යේ යයි.
5. 3. 4. 9.
[අක්ඛම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, කරුණු පසෙකික් සමන්‍වාගත රාජකීය හස්ති රාජාර්‍හ නො වෙයි, රාජභෝග්‍ය නො වෙයි, “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට ද නො යෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව රජුගේ ඇත් රූප නොසහනේ වෙයි. ශබ්ද නොසහනේ වෙයි. ගන්‍ධ නොසහනේ වෙයි. රස නොසහනේ වෙයි. ස්පර්‍ශ නොසහනේ වෙයි.
මහණෙනි, රජුගේ ඇත්රජ කෙසේ නම් රූප නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත්රජ සඞ්ග්‍රාම භූමියට ගියේ ඇත්මුළ හෝ දැක අස්මුළ හෝ දැක රියසෙන් හෝ දැක පාබළසෙන් හෝ දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. මැනැවින් නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නොපොහොසත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්තිරාජයා රූප නො ඉවසන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ශබ්ද නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත්රජ සඞ්ග්‍රාමභූමියට ගියේ ඇත්හඬ වේවයි අසා අස්හඬ වේවයි අසා රියහඬ වේවයි අසා පාබලසෙන්හඬ වේවයි අසා බෙර පණාබෙර සක් තිණව යන තූර්‍ය්‍යනාද වේවයි අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. දැඩිව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො පොහෝනේ වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ ඇත්රජ ශබ්ද නොඉවසන්නේ වෙයි.
මහණෙනි, රජුගේ හස්තිනාග කෙසේ නම් ගන්‍ධයන් නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමයට ගියේ රජුගේ අභිජාත වූ යම් ඇත්කෙනෙක් සඞ්ග්‍රාමාවචර වූහු නම්, උන්ගේ මුත්‍රපුරීෂ ගන්‍ධය අසා ගැලෙයි. පසුබසී. මනා කොට නොසිටුනේ ය. සංග්‍රාමවතරණයට නොපොහොනේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත්රජ ගන්‍ධයනට අක්‍ෂම වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ හස්තියා රසයනට අක්‍ෂම වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සංග්‍රාමභූමියට ගියේ එක් දිනෙක තණ දිය දීමෙකින් අපමානික වූයේ (දිනක තණදිය නො ලදුයේ) හෝ, තෘණොදකදාන දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ පසෙකින් හෝ අපමානිත වූයේ ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. මනා සේ නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට වදනට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ නාග රසයනට අක්‍ෂම වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් සප්‍රෂ්ටව්‍යයනට අක්‍ෂම වේ ය යත්: මහණෙනි, මෙලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ එක් ශරවේධයෙකින් හෝ විදුනා ලදුයේ, (ශරවේධ) දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ ශරවේධ පසෙකින් හෝ විදුනා ලදුයේ සංසීදන කෙරෙයි. විසීදන කෙරෙයි. මනා කොට නොසිටුනේ ය. සංග්‍රාමභූමියට බස්නට නොසමත් වෙයි. මහණෙනි, මෙ සෙයින් රජුගේ ඇත් ස්ප්‍රෂ්ටව්‍යයනට අක්‍ෂම වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත රාජකීය නාග රාජාර්‍ග නො වෙයි. රාජභෝග්‍ය නො වෙයි. “රාජාඞ්ගයෙක” යන ගණනට නො ම යෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍ග නො වෙයි. ප්‍රාඝුණාර්‍හ නො වෙයි. දක්‍ෂිණාර්‍හ නො වෙයි. අඤ්ජලිකරණාර්‍හ නො වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් නො සහනේ වෙයි. ශබ්දයන් නොසහනේ වෙයි. ගන්‍ධයන් නොසහනේ වෙයි. රසයන් නොසහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් නොසහනේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ රූපයන් නො ඉවසන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුසින් රූපාලම්බන දැක රඤ්ජනයට නිසි රූපයෙහි රැඳෙයි. සිත සමාහිත කිරීමට නො හැක්කේ ය. මහණෙනි, මෙ සෙයින් මහණ රූපයන් නො ඉවසන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම මහණ ශබ්ද නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රෝතයෙන් ශබ්ද අසා රජනීය ශබ්දයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කරණට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ශබ්දයන් නො ඉවසන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ගන්‍ධයන් නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඝ්‍රාණයෙන් ගන්‍ධ අසා රජනීය ගන්‍ධයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ගන්‍ධයන් ඉවසනුවට නො හැකි වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ රසයන් නො සහනේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ජිහ්වායෙන් රස විඳ රජනීය රසයෙහි රැඳෙයි. සිත සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ රසයන් ඉවසනුවට අක්‍ෂම වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් ඉවසනුවට අක්‍ෂම වේය යත්: මහණෙනි, මෙ සස්නෙයි මහණ ස්ප්‍රෂ්ටව්‍යය පැහැස රජනීය ස්ප්‍රෂ්ටව්‍යයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් නො සහනේ වෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ නො වෙ යි. ප්‍රාඝුණාර්‍හ නො වෙයි. දක්‍ෂිණාර්‍හ නො වෙයි. අඤ්ජලිකරණාර්‍හ නො වෙයි. ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර නො වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත රජුගේ හස්තිනාග රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ හස්තිනාග රූපයන් සහනු වෙයි ... ස්ප්‍රෂ්ටව්‍යයන් සහනට ක්‍ෂම වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ හස්තිනාග රූපයන් සහනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ හස්තිනාග සඞ්ග්‍රාමයට ගියේ ඇත්මුළ දැක වේවයි ... සඞ්ග්‍රාමභූමියට බස්නට සමත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්ති රූපයන් සහනු වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ශබ්දයන් සහනු වේය යත: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ හස්තිශබ්ද අසා හෝ අශ්වශබ්ද අසා හෝ රථශබ්ද අසා හෝ පදාතිශබ්ද අසා හෝ භේරිපණවශඞ්ඛතිණවනිනාද අසා හෝ සංසීදන නො කෙරෙයි. විසීදන නො කෙරෙයි. සංස්තම්භන කෙරෙහි. සඞ්ග්‍රාමභූමියට වදනට හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් ශබ්දයන් සහනු වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ හස්ති ගන්‍ධයන් සහනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ රජුගේ යම් අභිජාත වූ සඞ්ග්‍රාමාවතීර්‍ණ වූ හස්තිහූ වෙත් නම්, ඔවුන්ගේ මූත්‍රපුරීෂගන්‍ධ අසා සංසීදන නො කරයි. විසීදන නො කරයි. සංස්තම්භන කරයි. සඞ්ග්‍රාමභූමියට බස්නට හැකි වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්ති ගන්‍ධයන් සහනු වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ හස්ති රසයන් සහනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ එක් තණදිය දීමෙකින් වේවයි අපමානිත වූයේ, (තණදිය දීම්) දෙකෙකින් වේවයි තුණෙකින් සතරෙකින් වේවයි තණ දිය දීම් පසෙකින් වේවයි අපමානිත වූයේ සංසීදන නො කෙරෙයි. විසීදන නො කෙරෙයි. සංස්තම්භන කෙරෙයි. සඞ්ග්‍රාමාවතරණයට සමත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්ති රසයන් සහනු වෙයි.
මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ස්ප්‍රෂ්ටව්‍යයන් සමනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමයට ගියේ එක් ශරවේධයෙකින් විදුනා ලදුයේ හෝ ශරවේධ දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ පසෙකින් හෝ විදුනා ලදුයේ සංසීදන නො කෙරෙයි. විසීදන නො කෙරෙයි. සංස්තම්භන කෙරෙයි. සඞ්ග්‍රාමයට බස්නට සමත් වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් ස්ප්‍රෂ්ටව්‍යයන් සහනු වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත රජුගේ ඇත් රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි.
මහණෙනි, ඒ පරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපාලම්බනයන් සහනුයේ වෙයි. ශබ්දාලම්බනයන් සහනුයේ වෙයි. ශබ්දාලම්බනයන් සහනුයේ වෙයි. ගන්‍ධාලම්බනයන් සහනුයේ වෙයි. රසාලම්බනයන් සහනුයේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන් සහනුයේ වෙයි.
මහණෙනි, කෙසේ මහණ රූපයන් ඉවසනුයේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුසින් රූපාලම්බන දැක රජනීය රූපයෙහි නො ඇලෙයි. සිත සමාහිත කිරීමට සමත් වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ රූපයන් සහනුයේ වෙයි.
මහණෙනි, කෙසේ මහණ ශබ්දයන් ඉවසන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රෝත්‍රයෙන් ශබ්දාලම්බන අසා රජනීය ශබ්දාලම්බනයෙහි නො ඇලෙයි. සිත සමාහිත කරණට හැකියේ වෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ ශබ්දයන් ඉවසනුයේ වෙයි.
මහණෙනි, කෙසේ මහණ ගන්‍ධයන් ඉවසන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඝ්‍රාණයෙන් ගන්‍ධාලම්බන ආඝ්‍රාණ කොට රජනීය ගන්‍ධාලම්බනයෙහි නො ඇලෙයි. සිත සමාහිත කරණයට හැකියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ගන්‍ධයන් ඉවසනුයේ වෙයි.
මහණෙනි, කෙසේ මහණ රසයන් ඉවසනුයේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ජිහ්වායෙන් රසාලම්බන විඳ රජනීය රසාලම්බනයෙහි නො ඇලෙයි. චිත්තය සමාහිත කරණයට හැකි වෙයි. මහණෙනි, මහණ මෙසේ රසයන් ඉවසනුයේ වෙයි.
මහණෙනි, කෙසේ මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් ඉවසනුයේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කයින් ස්ප්‍රෂ්ටව්‍ය පැහැස රජනීය ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි නො ඇලෙයි. චිත්තය සමාහිත කරණට හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් ඉවසනුයේ වෙයි.
මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුන්‍යෙය වෙයි. පාහුන්‍යෙය වෙයි. දක්ඛිණ්‍යෙය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.
5. 3. 4. 10.
[සෝතාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත රාජකීය මහඇත් රාජාර්‍හ වෙයි, රාජභෝග්‍ය වෙයි, “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් අසන්නේ ද වෙයි, නසන්නේ ද වෙයි, රකින්නේ ද වෙයි, ඉවසන්නේ ද වෙයි, යන්නේ ද වෙයි.