Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 601-700 න් 15980

4. මහණෙනි, මේ අතපනීය වූ (නොතවන) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසිවකු විසින් කායසුචරිතය කරණ ලද වෙයි. කායදුශ්චරිතය නොකරණ ලද වෙයි. වාක්සුචරිතය කරණ ලද වෙයි. වාග්දුශ්චරිතය නොකරණ ලද වෙයි. මනඃසුචරිතය කරණ ලද වෙයි. මනෝදුශ්චරිතය නොකරණ ලද වෙයි. හේ මා විසින් කායසුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් කායදුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් වාක්සුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් වාග්දුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් මනස්සුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් මනෝදුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මහණෙනි, මේ වනාහි අතපනීය (නොතවන) ධර්‍මයෝ දෙදෙනයි.
2. 1. 1. 5.
උපඤ්ඤාත සූත්‍රය
5. මහණෙනි, මම ධර්‍මයන් දෙදෙනකුගේ ගුණ එළඹ දැන ගතිමි: (ධ්‍යානාදි) කුශලධර්‍මයන්හි (මෙතෙක් පමණියි) යම් නොතුස්නා බවෙක් වේ ද, ප්‍රධන් වීර්‍ය්‍යයෙහි යම් නොපසු බස්නා බවෙක් වේ ද (යන දෙකයි). මහණෙනි, මම නොපසු බස්නා සැහැවි ඇත්තෙම් ‘ඒකාන්තයෙන් සිරුරෙහි සම හා නහර හා ඇට ඉතිරි වේවා, මස් ලේ වියළේවා, යමෙක් පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ලැබිය යුතු වේ නම්, එය නො ලැබ වීර්‍ය්‍යයාගේ තැබීමෙ (නැවැත්මෙ) ක් නම් නො වේ ය’ යි වැර වැඩීමි. මහණෙනි, ඒ මා විසින් සම්බෝධිය අප්‍රමාදයෙන් ලබන ලදු, අනුත්තර වූ (අර්‍හත්ඵල, නිර්‍වාණ සඞ්ඛ්‍යාත) යෝගක්‍ෂේමය අප්‍රමාදයෙන් ලබන ලදී.
මහණෙනි, තෙපි දු නො පසු බස්නා වැර වඩව: ‘ඒකාන්තයෙන් ශරීරයෙහි සම හා නහර හා ඇට ඉතිරි වේවා, මස් ලේ වියළේවා, යමෙක් පුරුෂශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ලැබිය යුතු වේ නම්, එය නො ලැබ වීර්‍ය්‍යයාගේ නැවැත්මෙක් නම් නො වේ ය’ කියා යි. මහණෙනි, තෙපි දු මඳ කලෙකින් ම යමක් (යම් රහත්ඵලක්) උදෙසා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට මොනොවට යෙත් නම්, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයෙහි කෙළවර වූ ඒ අනුත්තර ආර්‍ය්‍යඵලය දිටුදැමියෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට සපයා වාසය කරව.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුයි: ‘මාගේ සිරුරෙහි ඒකාන්තයෙන් සම් හා නහර හා ඇට ඉතිරි වේවා, මස් ලේ වියළේවා, නො පසුබස්නා වැර වඩන්නම්හ, යමෙක් පුරුෂශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු වේ නම්, එයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ තැබීමෙක් නම් නො වේ ය’ කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
2. 1. 1. 6.
සඤ්ඤෝජනීය සූත්‍රය
6. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: දශවිධ සංයෝජනයනට ප්‍රත්‍යය වූ ත්‍රෛභූමක ධර්‍මයන් විෂයෙහි යම් ආස්වාද විසින් බලන සුලු බවෙකුදු වේ නම්, සංයෝජනීයධර්‍මයන් විෂයෙහි යම් උකටලි විසින් බලන සුලු බවෙකුදු වේ නම්, යන මේ දෙකය.
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන් විෂයෙහි ආස්වාද විසින් දක්නාසුලු ව වෙසෙන්නේ රාගය නො හරනේ ය. ද්වේෂය නො හරනේ ය. මෝහය නො හරනේ ය. රාගය නො හැර ද්වේෂය නො හැර මෝහය නො හැර ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැලැප්මෙන් දුකින් දොම්නසින් අධිමාත්‍ර ආයාසයෙන් නො මිදෙයි. වට දුකින් නො මිදේය යි කියමි.
මහණෙනි, සංයෝජනීයධර්‍මයන් විෂයෙහි නිර්වේද වශයෙන් බලන සුලු ව වෙසෙන්නේ රාගය හරනේය, ද්වේෂය හරනේය, මෝහය හරනේය, රාගය හැර ද්වේෂය හැර මෝහය හැර ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැලැප්මෙන් දුකින් දොම්නසින් අධිමාත්‍ර ආයාසයෙන් මිදෙයි. වට දුකින් මිදේය යි කියමි. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන යි.
2. 1. 1. 7.
කණ්හ සූත්‍රය
7. මහණෙනි, මේ කෘෂ්ණ (පාප) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: (පවට විළිනැති බව වූ) අහිරිකය ද (පවට බිරිනැති බව වූ) අනොත්තප්පය ද යන දෙක යි. මහණෙනි, මේ කෘෂ්ණධර්‍මයෝ දෙදෙන ය.
2. 1. 1. 8.
සුක්ක සූත්‍රය
8. මහණෙනි, මේ ශුක්ල (කුශල) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: (පවට විළිඇති බව වූ) හිරිය ද (පවට බිරිඇති බව වූ) ඔත්තප්පය ද යන දෙක යි. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ය.
2. 1. 1. 9.
චරියා සූත්‍රය
9. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක යත්: හිරිය හා ඔත්තප්පය වේ. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව නොපල්නාහු නම්, මෙලෙව්හි වැදූ මවැ යි හෝ සුළු මවැ යි හෝ නැඳියැ යි හෝ ඇදුරුබිරියැ යි හෝ ගුරුන්ගේ අත්බරහ යි හෝ (වෙනස) නො පැණෙයි. ලෝකයෝ එළු තිරෙළුවන් මෙන් ද කුකුළු හූරන් මෙන් ද බලු සිවලුන් මෙන් ද පණත් බිඳුමට යන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් මේ ශුක්ලධර්‍මයෝ දෙදෙන ලොව රකිත් ද, එහෙයින් වැදූ මවැ යි හෝ සුළු මවැ යි හෝ නැඳියැ යි හෝ ඇදුරුබිරියැ යි හෝ ගුරුන්ගේ අත්බරහ යි හෝ (වෙනස) පැණෙයි.
2. 1. 1. 10.
වස්සූපනායිකා සූත්‍රය
10. මහණෙනි, මේ වස් එළැඹීම් දෙකෙකි. කවර දෙකෙක යත්: පෙරවස් එළැඹීම ය, පසුවස් එළැඹීම ය (යන දෙකයි) මහණෙනි, මේ වනාහි වස් එළැඹීම් දෙක යි.
පළමු වස්සූපනායිකා වගයි.
එහි උද්දානය:
වජ්ජ සූත්‍රය, පධාන සූත්‍රය, තපනීය සූත්‍ර දෙකය, පස්වන උපඤ්ඤාත සූත්‍රය, සංයෝජන සූත්‍රය, කණ්හ සූත්‍රය, සුක්ක සූත්‍රය, චරියා සූත්‍රය, වස්සූපනායිකා සූත්‍රය දැයි මෙයින් වර්‍ගය වේ.
2. අධිකරණ වර්‍ගය
2. 1. 2. 1.
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේ ය යත්: මහණෙනි, මෙලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: “කායදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වේය” යි. හෙතෙම මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පරිහරණය කෙරෙයි. මහණෙනි, මෙය පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, එහි ලා යම් භාවනාබලයෙක් වේ නම්, මෙය ශෛක්‍ෂබලය වේ. මහණෙනි, හේ ශෛක්‍ෂබලයට පැමිණ රාගය හැර ලා, ද්වේෂය හැරලයි. මෝහය හැරලයි. රාගය හැර ලා, ද්වේෂය හැර ලා, මෝහය හැර ලා යමෙක් අකුශල වේ නම් එය නො කෙරෙයි. යමෙක් පව් වේ නම් එය නො සෙව්නේය. මහණෙනි, මෙය භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි බල දෙකයි.
2. 1. 2. 2.
12. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: කායදුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. හේ මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, ක්ලේශපරිත්‍යාගය හා නිර්‍වාණප්‍රස්කන්‍දනය පිණිස පිරිනමන සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. ... විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, ක්ලේශපරිත්‍යාගය හා නිර්‍වාණප්‍රස්කන්‍දනය පිණිස පිරිනමන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මෙ බල දෙකයි.
2. 1. 2. 3.
13. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේය යත්: මහණෙනි, මෙලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: කායදුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි මෙලොව්හි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය වනාහි මෙලොව්හි ද පරලොව්හි ද වෙයි. හේ මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පිරිවටයි. මහණෙනි, මේ පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වෙසෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති චිත්තයාගේ ඒකාග්‍රභාවය ඇති විතර්‍කරහිත වූ විචාරරහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛ ඇති ද්විතීයධ්‍යානයට ඇටි ඇටි සඳ සමවැද වෙසෙයි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් උපේක්‍ෂාව ඇත්තේ ද ස්මෘතිමත් වූයේ ද සම්‍යක්ප්‍රඥා ඇත්තේ වෙසෙයි. කයින් සුව පිළිවිදියි. ආර්‍ය්‍යයෝ “උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තෙකැ”යි යම් ධ්‍යානලාභියකු (ගෙණ) කියද්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලැ ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් නොසුව වූ උපේක්‍ෂාස්මෘති පරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි බල දෙකයි.
2. 1. 2. 4.
14. මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ ධර්‍මදේශනා දෙකෙකි. කවර දෙකෙක යත්: සැකෙවින් දෙසුම් හා විතර විසින් දෙසුම ය. මහණෙනි, මේ වනාහි තථාගතයන් වහන්සේගේ ධර්‍මදේශනා දෙක ය.
2. 1. 2. 5.
15. මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද මොනොවට තෙමේ ම තමා නුවණින් සලකා නො බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුය: දිගුකලක් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) පවත්නේ ය. භික්‍ෂූහු ද සුවසේ නො වසන්නාහුය යි.
මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද තෙමේ ම මොනොවට තමා නුවණින් සලකා බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි දී තෙල කැමැති විය යුතුය. දිගුකල් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) නො පවත්නේ ය. භික්‍ෂූහු ද සුවසේ වසන්නාහුය යි.
මහණෙනි, කෙසේ නම් ඇවැත් අවන් මහණ මොනොවට තෙමේ ම තමා නුවණින් බලා ද? මහණෙනි, මේ සස්නෙහි (ඇවැත්) අවන් මහණ මෙසේ නුවණින් සලකා බලයි: ‘මම වනාහි කරජ කයින් කිසිදෙසක් ම අකුසලට (අන්‍යතර ආපත්තියකට) අවන්මි. ඒ මහණ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශල (ආපත්ති) යකට අවදනා ඒ මා දිටී. මම වැලිත් කයින් යම් ම අකුශල (ආපත්ති) යකට නො අවන්නෙම් නම්, ඒ මහණ කයින් කිසියම් අකුශල (ආපත්ති) යකට අවදනා මා නො දක්නේ ය. යම් හෙයෙකින් මම කයින් කිසියම් අකුශල (ආපත්ති) යකට අවන්නෙම් වේ ද, එහෙයින් ඒ මහණ කයින් කිසියම් ප්‍රදේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මා දිටී. ඒ මහණ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මා දැක ද නො සතුටු සිත් ඇති වීය. නොසතුටු සිත් ඇත්තේ ම ඒ මහණ මට නො සතුටු බස් කීය. මම ඒ මහණහු විසින් නො සතුටු බසින් කියනු ලැබුයෙම් ම නො සතුටු සිත් ඇත්තෙම් වීමි. නොසතුටු සිත් ඇත්තෙම් ම අනුනට සැළ කෙළෙමි. මෙසේ භාණ්ඩයෙහි සුංවත් දෙන්නකු සෙයින් ඒ අධිකරණයෙහි මාගේ ම (තුන්වැදෑරුම්) අපරාධයෙක් මා ඔබාගෙන නැඟිනැ’ යි. මහණෙනි, මෙසේ වනාහි ඇවැත් අවන් මහණ තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලයි.
මහණෙනි, කෙසේ නම් චෝදනා කරණ මහණ තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලා ද? මහණෙනි, මේ සස්නෙහි චෝදක භික්‍ෂූ තෙමේ මෙසේ නුවණින් සලකා බලයි: ‘මේ මහණ තෙමේ වනාහි කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශල (ආපත්ති) යකට අවන්නේය. මම කයින් කිසියම් ඒකදේශමාත්‍ර වූ අකුශලයකට අවදනා ඒ මහණහු දිටිමි. ඉදින් මේ මහණ කයින් කිසියම් අකුශලයකට නො අවදනේ නම්, මම කයින් යම් ම අකුශලයකට අවදනා මේ මහණහු නො දක්නෙමි. යම් හෙයෙකින් මේ මහණ තෙමේ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවන්නේ ද, එහෙයින් මම කයින් කිසියම් දෙසක් ම අකුශලයකට අවදනා මේ මහණහු දිටිමි. කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මේ මහණහු දැක ද මම නො සතුටු සිත් ඇත්තෙම් වීමි. නොසතුටු සිත් ඇත්තෙම් ම මේ මහණහට නො සතුටු බස් කීමි. මා විසින් නො සතුටු බසින් කියනු ලැබුයේ ම මේ මහණ නො සතුටු සිත් ඇති විය. නො සතුටු සිත් ඇත්තේ ම එය අනුනට සැළ කෙළේය. මෙසේ ඒ අධිකරණයෙහි ලා භාණ්ඩයෙහි සුංවත් දෙන්නකු සේ මාගේ ම (දෙවැදෑරුම්) අපරාධයෙක් මා ඔබාගෙන නැඟිනැ’ යි. මහණෙනි, මෙසේ චෝදක මහණ තෙමේ මොනොවට තෙමේ ම තමා නුවණින් සලකා බලයි.
මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවැත් අවන් භික්‍ෂු තෙමේ ද චෝදක භික්‍ෂු තෙමේ ද තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා නො බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුයි: ‘දිගුකල් පැවැත්ම පිණිස රළුබස්කම් පිණිස කැකුළුබව පිණිස (අධිකරණය) පවත්නේ ය. භික්‍ෂූහු ද සැපසේ නො වසන්නාහු’ යි. මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ තෙමේ ද ඇවැත්නි චෝදනා කරණ මහණ තෙමේ ද තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුය: ‘දිගුකල් පැවැත්ම පිණිස රළුබස් කම් පිණිස, කැකුළුබැව පිණිස අධිකරණය නො පවත්නේ ය. භික්‍ෂූහු ද සැපසේ වසන්නාහුය’ යි.
2. 1. 2. 6.
16. එකල්හි නොපාළ බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග තුස්නකථාවට නිසි සිහිකරනුවට නිසි කථාව නිමවා එකත් පසෙක හින. එකත්පසෙක හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: ‘භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහවූ නපුරු ගති වූ විවස පතනයට තැන්වූ නිරයට (උපපාත වශයෙන්) පැමිණෙත් නම්, එයට හේතු කවරේය? එයට ප්‍රත්‍යය කවරේය?
[භගවත්හු:]
බමුණු, අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂම චර්‍ය්‍යාව හේතු කොට ගෙණ මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්.
[බමුණු:]
භවත් ගෞතමයෙනි, මෙලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළඹෙත් නම්, එයට හේතු කවරේය? ප්‍රත්‍යය කවරේ ය?
[භගවත්හු:]
බමුණ, ධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත සමචර්‍ය්‍යාව හේතු කොට ගෙණ මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළඹෙත්.
[බමුණු:]
භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනැවි. භවත් ගෞතමයන් වහන්ස ඉතා මැනැවි. භවත් ගෞතමයන් වහන්ස! යම්සේ යටිහුරු කොට තබන ලද්දක් හෝ උඩුහුරු කොට තබන්නේ, පිළිසන් වූවක් හෝ වැසුම් හරනේ මංමුළා වූවකුට හෝ මග කියන්නේ ‘ඇස් ඇත්තෝ රූ දක්නාහුය’ යි බොල් අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නන්නියරින් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු සේ රුස්නා සේක්වා’ යි.
2. 1. 2. 7.
17. එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය ... එකත්පසෙක හුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය: භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට යෙත් නම්, (එයට) හේතු කවරේය? ප්‍රත්‍යය කවරේය?
[භගවත්හු:]
බමුණ, කළ බැවිනුදු නොකළ බැවිනිදු මෙසේ මෙ ලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්.
[බමුණු:]
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව කිසි සත්ත්‍ව කෙනෙක් සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙත් නම්, (එයට) හේතු කවරේය? ප්‍රත්‍යය කවරේය?
[භගවත්හු:]
බමුණ, කළ බැවිනුදු නොකළ බැවිනිදු මෙසේ මෙ ලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගයට එළඹෙත්.
[බමුණු:]
භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය මම විතර විසින් නො දනිමි. යම්සේ මම භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසූ විතර විසින් අරුත් නො බෙදූ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය විතර විසින් දැනගන්නෙම් ද එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ දහම් දෙසන සේක් නම් මැනැවි.
බමුණ, එසේ වී නම් අසව, මනා කොට මෙනෙහි කරව, දෙසමි යි. එසේය වහන්සැ’ යි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කිසිවකු විසින් කායදුශ්චරිතය කරණ ලද්දේ වෙයි, කායසුචරිතය නොකරණ ලද්දේ වෙයි. වාග්දුශ්චරිතය කරණ ලද්දේ වෙයි, වාක්සුචරිතය නො කරණ ලද්දේ වෙයි. මනෝදුශ්චරිතය කරණ ලද්දේ වයි, මනස්සුචරිතය නො කරණ ලද්දේ වෙයි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි කළ බැවිනුදු නො කළ බැවිනිදු මෙ ලොව්හි කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු මෙසේ සුවයෙන් පහ වූ දුගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්.
බ්‍රාහ්මණය, මෙලොව කිසිවකු විසින් කායසුචරිතය කරණ ලද්දේ වෙයි, කායදුශ්චරිතය නොකරණ ලද්දේ වෙයි. වාක්සුචරිතය කරණ ලද්දේ වෙයි, වාග්දුශ්චරිතය නොකරණ ලද්දේ වෙයි. මනස්සුචරිතය කරණ ලද්දේ වෙයි, මනෝදුශ්චරිතය නොකරණ ලද්දේ වෙයි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි කළ බැවිනුදු නො කළ බැවිනිදු මෙලොව්හි කිසි සත්ත්‍ව කෙනෙක් මෙ පරිද්දෙන් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙත්.
[බමුණු:]
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය උවසුවකු සේ මා රුස්නා සේක්වායී.
2. 1. 2. 8.
18. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍දතෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ආනන්‍දය, මම කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ඒකාන්තයෙන් නො කළ යුතුයි කියමි.
[අනඳ තෙරහු:]
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කායදුශ්චරිතයෙක්, වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කළ යුතුය යි වදාරණ ලද ද ඒ නොකට යුතු දැ කරණු ලබන කල්හි කවර ආදීනවයෙක් කැමැති විය යුතු ද?
[භගවත්හු:]
ආනන්‍දය, මා විසින් යම් කායදුශ්චරිතයෙක් - වාග්දුශ්චරිතයෙක් - මනෝදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කට යුතුය යි වදාරණ ලද නම්, ඒ නො කට යුතු දෑ කරණු ලබන කල්හි මේ ආදීනවය කැමැති විය යුතුය:
“තෙමේත් තමහට උපවාද කෙරෙයි. නුවණැතියෝ විමසා දැන ගරහත්. අපකීර්තිය උස්ව නගියි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්” ය යි.
ආනන්‍දය, මා විසින් යම් කායදුශ්චරිතයෙක් - වාග්දුශ්චරිතයෙක් - මනෝදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කළ යුතුය යි පවසන ලද නම්, ඒ නොකට යුතු දෑ කරණු ලබන කල්හි මේ ආදීනවය කැමැති විය යුත්තේ ය.
ආනන්‍දය, මම කායසුචරිතය - වාක්සුචරිතය - මනස්සුචරිතය ඒකාන්තයෙන් කළ යුතු යයි කියමි.
[අනඳ තෙරහු:]
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කායසුචරිතයයෙක් - වාක්සුචරිතයෙක් - මනස්සුචරිතයෙක් ඒකාන්තයෙන් කළ යුතු ය යි පවසන ලද නම්, ඒ කට යුතු දෑ කරණු ලබන කල්හි කවර අනුසසෙක් කැමැති විය යුත්තේ ද?
[භගවත්හු:]
ආනන්‍දය, යම් මේ කායසුචරිතයෙක් - වාක්සුචරිතයෙක් - මනස්සුචරිතයෙක් ඒකාන්තයෙන් කටයුතුය යි මා විසින් කියන ලද නම්, ඒ කට යුතු දෑ කරණු ලබන කල්හි මේ අනුසස කැමැති විය යුත්තේ ය:
“තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. නුවණැත්තෝ විමසා දැන පසසත්. යසගී උස්ව නැගෙයි. අසම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙත්.”
ආනන්‍දය, යම් කායසුචරිතයෙක් - වාක්සුචරිතයෙක් - මනස්සුචරිතයෙක් ඒකාන්තයෙන් කටයුතුය යි ම විසින් පවසන ලද නම්, ඒ කටයුතු දෑ කරණු ලබන කල්හි මේ අනුසස කැමැති විය යුත්තේ යයි.
2. 1. 2. 9.
19. මහණෙනි, අකුශලය දුරලව. මහණෙනි, අකුශලය දුරලන්නට හැකිය. මහණෙනි, ඉදින් ඒ අකුශලය දුරලීමට නො හැකි නම් “මහණෙනි, අකුශලය දුරලවයි” මෙසේ මම නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් අකුශලය දුරලන්නට හැකි ද, එහෙයින් ම “මහණෙනි, අකුශලය දුරලව”යී මෙසේ මම කියමි. තවද මහණෙනි, මේ අකුශලය ප්‍රහීණ වූයේ අහිත පිණිස දුක් පිණිස පවත්නේ නම් “මහණෙනි, අකුශලය දුරලව” යි මම මෙසේ නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් අකුශලය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස පවත්නේ ද එහෙයින් ම “මහණෙනි, අකුශලය දුරලව” යි මම් මෙසේ කියමි.
මහණෙනි, කුශලය වඩව. මහණෙනි, කුශලය වඩන්නට හැකිය. මහණෙනි, ඉදින් කුශලය නොවැඩිය හැකි නම් “මහණෙනි, කුශලය වඩව”යි මෙසේ මම නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් කුශලය වඩන්නට හැකි ද, එහෙයින් “මහණෙනි, කුශලය වඩව”යි මම මෙසේ කියමි. මහණෙනි, කුශලය වඩන ලද්දේ ඉදින් අහිත පිණිස දුක් පිණිස පවත්නේ නම් “මහණෙනි, කුසල් වඩව”යි මෙසේ මම නො කියමි. තවද මහණෙනි, යම් හෙයෙකින් කුශලය වඩන ලද්දේ හිත පිණිස සුව පිණිස පවත්නේ ද එහෙයින් ම “මහණෙනි, කුශලය වඩව” යි මම මෙසේ කියමි.
2. 1. 2. 10.
20. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක යත්: උපිළිවෙලින් වරදවා ගත් පෙළ ද වරදවා පෙරළා ගත් අටුවා ද යන දෙකය. මහණෙනි, වරදවා ගත් පාළියෙහි අටුවා ද දුර්නය (අන්නෑය) වෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක යත්: මොනොවට ගත් පෙළදහම ද මොනොවට ගත් අටුවා ද යන දෙකයි. මහණෙනි, මොනොවට ගත් පෙළදහමෙහි අටුවා ද සුනය වෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නාහ යි.
අධිකරණවග දෙවැනි යි
3. බාල වර්‍ගය
2. 1. 3. 1.
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: යමෙක් වරද වරද විසින් නො දක්නේ ද, යමෙකුත් (පිළිගෙණ) වරද දෙසන්නහුගේ යථාධර්‍මය නො පිළිගන්නේ ද, මහණෙනි, මොහු බාලයෝ දෙදෙන වෙති.
මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: යමෙක් වරද වරද විසින් දක්නේ ද, යමෙකුත් පිළිගෙණ වරද දෙසන්නහුගේ යථාධර්‍මය පිළිගන්නේ ද, මහණෙනි, මොහු දෙදෙන පණ්ඩිත වෙති.
2. 1. 3. 2.
22. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත් (අභූතයෙන් දොස් තබත්). කවර දෙදෙනෙක යත්: දුෂ්ට වූයේ ඇතුළත සිටුනා ද්වේෂය ඇත්තේ හෝ වේ ද, වැරදි ලෙස ගැණීමෙන් වූ සැදැහැ ඇත්තේ හෝ වේ ද (යන දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්.
2. 1. 3. 3.
23. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්. කවර දෙදෙන යත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලද්ද නො තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසනලදැ යි තෙපලන ලදැයි දක්වා ද, යමෙකුත් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලදැයි නො තෙපලන ලදැයි දක්වා ද (යන දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්.
මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන නො කෙරෙත්. කවර දෙදෙන යත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලද්ද නො තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලදැයි නො තෙපලන ලදැයි දක්වා ද, යමෙකුත් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි දක්වා ද, (යන දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන නො කෙරෙත්.