මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ අරණ්‍යයෙහි වානප්‍රස්ථයෙහි වනපර්‍ය්‍යන්තයෙහි ශයනාසනයන් සෙවුනට නිසි වේ ය යි.
ඵාසුවිහාර වර්‍ගය පළමු වැනි යි.
එහි උද්දානය:
වේසාරජ්ජ සූත්‍රය, සඞ්කිත සූත්‍රය, මහාචෝර සූත්‍රය, සමණ සුඛුමාල සූත්‍රය, පස්වැනි ඵාසුවිහාර සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, සීලසම්පන්න සූත්‍රය, අසේඛ සූත්‍රය, චාතුද්දිස සූත්‍රය, අරඤ්ඤ සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.
2. අන්‍ධකවින්‍ද වර්‍ගය
5. 3. 2. 1.
[කුලුපග සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත කුලෝපග මහණ කුලයෙහි අප්‍රිය, අමනාප, අගරු, අභාවනීය (බුහුමනට අනිසි) ද වෙයි. කවර පසෙකින් යත්:
අසංස්තුතයන් (තමා හා මිත්‍ර නොවූවන්) කෙරෙහි විශ්වාස ඇතියේද වෙයි. අනීශ්වර වූයේ (අධිපතියකු සෙයින්) විකල්පන (විධාන) කරනුයේ ද වෙයි. වියත්‍ථුපසෙවි (විඝටිත කුලයන් නැවත ඝටනුවස් සෙවුනේ) ද වෙයි. උපකර්‍ණජලපී (කණෙහි කොඳුරණුයේ) ද වෙයි. අතියාචනක (ඉබොහෝ යදනේ) ද වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත කුලෝපග මහණ කුලන්හි අප්‍රිය, අමනාප, අගරු, අභාවනීය ද වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත කුලෝපග මහණ කුලෙහි ප්‍රිය, මනාප, ගරු, භාවනීය ද වෙයි. කවර පසෙකින් යත්:
අසංස්තුතයන් කෙරෙහි විශ්වාස ඇතියේ ද නො වෙයි. ඊශ්වරවිකල්පී ද නො වෙයි. වියත්‍ථූපසෙවී ද නො වෙයි. උපකර්‍ණජල්පී ද නො වෙයි. අතියාචනක ද නො වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත කුලෝපග මහණ කුලයෙහි ප්‍රිය, මනාප, ගරු, භාවනීය (බුහුමනට නිසි) ද වේ යයි.
5. 3. 2. 2.
[පච්ඡාසමණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත පසුමහණ (උවටැන් සඳහා තමා කැටුව යන මහණ සේ) නො ගත යුත්තේය. කවර පසෙකින් යත්:
ඉතා දුරෙහි හෝ යෙයි, අත්‍යාසන්නයෙහි හෝ යෙයි, පාත්‍රපර්‍ය්‍යාපන්නය (පාත්‍රයෙන් දුන් දැය) නො ගන්නේ වෙයි. ආපත්ති සාමන්ත කොට (ඇවැත් වියහැකි) වචන බණනුවහු (මෙබඳු බස් නො කිය යුතුයයි) නො වළහන්නේ ය. ඔහු (උවදෑ තෙරුන්) බෙණෙත් ම අතරතුරැ කථා හෙලණුයේ වෙයි. ජඩ (බුද්ධි රහිත) වූයේ කෙළතොලු වූයේ දුස්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත පසුමහණ නො ගත යුත්තේ ය.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත පසුමහණ ගතයුතු වෙයි. කවර පසෙකින් යත්:
ඉතා දුරෙහි නොයෙයි, ඉතා ආසන්නයෙහි නොයෙයි. පාත්‍රපර්‍ය්‍යාපන්නය ගන්නේය. ආපත්ති සාමන්ත කොට බණන්නහු වළහන්නේ ය. ඔහු බණත් ම අතරතුර කථා නො හෙළන්නේය. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රාඥ (නැණවත්) වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත පසුමහණ ගතයුතු වෙයි.
5. 3. 2. 3.
[සම්මාසමාධි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ සම්‍යක් සමාධියට එළඹ වාස කරන්නට අභව්‍ය (නුසුදුසු) වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් නො සහනේ වෙයි. ශබ්දයන් නො සහනේ වෙයි. ගන්‍ධයන් නො සහනේ වෙයි. රසයන් නො සහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් නො සහනේ වෙයි. (රූපාදි අරමුණු පසෙහි ඇලුනේ වෙයි.)
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සම්‍යක් සමාධියට එළඹ වෙසෙනුවට අභව්‍ය වෙයි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ සම්‍යක් සමාධියට එළඹ වාසකරණුවට භව්‍ය වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් සහනේ වෙයි. ශබ්දයන් සහනේ වෙයි. ගන්‍ධයන් සහනේ වෙයි. රසයන් සහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් සහනේ වෙයි. (රූපාදි අරමුණු පසෙහි නො ඇලුනේ වෙයි.)
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සම්‍යක්සමාධියට එළඹ වසන්නට භව්‍ය වෙ යි.
5. 3. 2. 4.
[අන්‍ධකවින්‍ද සූත්‍රය]
14. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට අන්‍ධකවින්‍දයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
ආනන්‍දයෙනි, නවක වූ පැවිදිව නොබෝ කල් ඇති මෙ සස්නට අලුත පැමිණි යම් භික්‍ෂු කෙනෙක් වෙත් නම්, ආනන්‍දයෙනි, තොප විසින් එ මහණහු පස්දහමෙක සමාදන් කරවිය යුතු වෙති. යෙදවිය යුතු වෙති. පිහිටුවිය යුතු වෙති. කවර පසෙක යත්:
“එව ඇවැත්නි, තෙපි සිල්වත් වැ, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘතව වසව, අණුමාත්‍ර වරදෙහිදු භය දක්නාහු, ආචාරගෝචරසම්පන්න වූවහු සමාදන් කොටගෙන සිකපදයෙහි මොනවට හික්මෙව” යි සීල සංවරයෙහි සමාදන් කරවියයුතු වෙති, යෙදවියයුතු වෙති, පිහිටුවියයුතු වෙති.
“එව ඇවැත්නි, තෙපි ඉන්‍ද්‍රියයෙහි පියු දොර ඇතිවැ වසවු, (ද්වාරයන්) ආරක්‍ෂා කරණ සිහි ඇතිවැ (ද්වාරයන්) රක්නා සිහි නුවණ ඇතිවැ මොනවට රක්නාලද සිත් ඇතිවැ ස්මෘති ආරක්‍ෂා සහිත සිතින් සමන්‍වාගත වූවහු වාස කරව” යි ඉන්‍ද්‍රියසංවරයෙහි සමාදන් කරවියයුතු වෙති, යෙදවියයුතු වෙති, පිහිටුවියයුතු වෙති.
“එව ඇවැත්නි, තෙපි කථාප්‍රර්‍ය්‍යන්ත ඇති වැ අල්පකථා ඇතිවව” යි මෙසේ කථාප්‍රර්‍ය්‍යන්තයෙහි (සීමාසහිත කථායෙහි) සමාදන් කරවිය යුතු වෙති, යෙදවිය යුතු වෙති, පිහිටුවාලිය යුතු වෙති.
“එව ඇවැත්නි තෙපි අරණ්‍යසෙනසුන් ඇති වව, අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සේවන කරව” යි මෙසේ කායවිවේකයෙහි සමාදන් කරවිය යුතු වෙති, යෙදවිය යුතු වෙති, පිහිටුවාලිය යුතු වෙති.
“එව ඇවැත්නි, තෙපි සම්දිටු ඇත්තාහු සම්‍යග් දර්‍ශනයෙන් සමන්‍වාගත වව” යි මෙසේ සම්‍යග්දර්‍ශනයෙහි සමාදන් කරවිය යුත්තාහ, යෙදවිය යුත්තාහ, පිහිටුවාලිය යුත්තාහ.
ආනන්‍දයෙනි, නවක වූ, පැවිදිව නොබෝ කල් ඇති, මේ ධම්මවිනයට අලුත පැමිණි, යම් මහණහු වෙත් නම් තොප විසින්, ආනන්‍දයෙනි, එ මහණහු මේ පඤ්චධර්‍මයෙහි සමාදන් කරවිය යුත්තාහ, යෙදවිය යුත්තාහ, පිහිටුවාලිය යුත්තාහයි.
5. 3. 2. 5.
[මච්ඡරී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි. කවර පසෙකින් යත්:
ආවාසයෙහි මසුරුබව ඇත්තී වෙයි, කුලයෙහි මසුරුබව ඇත්තී වෙයි, ලාභයෙහි මසුරුබව ඇත්තී වෙයි, වර්‍ණ (ගුණ) යෙහි මසුරුබව ඇත්තී වෙයි, ධර්‍මයෙහි මසුරුබව ඇත්තී වෙයි.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, කුල (උපස්ථායක කුලයෙහි) මාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, ලාභමාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, වර්‍ණමාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, ධර්‍මමාත්සර්‍ය්‍ය ඇත්තී නොවේ.
මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදනී) වෙයි.
5. 3. 2. 6.
[වණ්ණා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි. කවර පසෙකින් යත්:
නො දැන නො විමසා අවර්‍ණාර්‍හයාට (ගුණනැත්තාහට) වර්‍ණ (ගුණ) බෙණෙයි, නො දැනැ නො විමසා වර්‍ණාර්‍හයාට (ගුණැත්තාහට) අවර්‍ණ (අගුණ) බෙණෙයි, නො දැනැ නො විමසා නො පැහැදිය යුතු තන්හි ප්‍රසාදය උපදවයි. නො දැනැ නො විමසා පැහැදිය යුතු තන්හි අප්‍රසාදය උපදවයි. ශ්‍රද්ධාදෙයය (සැදැහැයෙන් දුන් දෙය) විනිපාතන (නසාලිම්) කෙරෙයි.
මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
දැනැ (කරුණු) විමසා අවර්‍ණාර්‍හයාට අවර්‍ණ බෙණෙයි, දැනැ විමසා වර්‍ණාර්‍හයාට වර්‍ණ බෙණෙයි, දැනැ විමසා නො පැහැදිය යුතු තන්හි අප්‍රසාදය උපදවයි, දැනැ විමසා පැහැදිය යුතු තන්හි ප්‍රසාදය උපදවයි, ශ්‍රද්ධාදෙයය (සැදැහැයෙන් දුන් දැය) විනිපාතන (විනාශ) නො කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක එසෙයින් ස්වර්‍ගයෙහි වේ යයි.
5. 3. 2. 7.
[ඉස්සුකී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
නො දැනැ නො විමසා අවර්‍ණාර්‍හයාට ගුණ කියයි, නො දැනැ නො විමසා වර්‍ණාර්‍හයාට නුගුණ කියයි. ඊර්‍ෂ්‍යා ඇත්තී ද වෙයි, මාත්සර්‍ය්‍ය ඇත්තී ද වෙයි, ශ්‍රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
දැනැ විමසා අවර්‍ණාර්‍හයාට අවර්‍ණ කියයි, දැනැ විමසා වර්‍ණාර්‍හයාට වර්‍ණ කියයි, ඊර්‍ෂ්‍යා නැත්තී ද වෙයි, මාත්ස්‍යර්‍ය නැත්තී ද වෙයි, ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි වේ යයි.
5. 3. 2. 8.
[මිච්ඡාදිට්ඨික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
නො දැනැ නො විමසා ගුණ නො වැණිය යුතුවහුගේ ගුණ කියයි. නො දැනැ නො විමසා ගුණ වැණිය යුතුවහුගේ අගුණ කියයි. මිසදිටු ඇත්තී ද වෙයි. මිථ්‍යාසංකල්ප ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් යුත් මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
නුවණින් දැනැ කරුණු විමසා නුගුණ කියයුත්තාහට නුගුණ කියයි. දැනැ කරුණු විමසා ගුණ කියයුත්තාහට ගුණ කියයි. සම්‍යක්දෘෂ්ටි ඇත්තී ද වෙයි. සම්‍යක්සංකල්ප ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් යුත් මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සේ ස්වර්‍ගයෙහි වේ ය යි.
5. 3. 2. 9.
[මිච්ඡාවාචා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
නො දැනැ කරුණු නො විමසා අවර්‍ණාර්‍හයාගේ ගුණ වර්‍ණනය කියයි. නො දැනැ කරුණු නො විමසා වර්‍ණාර්‍හයාගේ අවර්‍ණය කියයි. මිථ්‍යාවචන ඇත්තී වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇත්තී වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කරයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි (උපදිනී) වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
දැනැ කරුණු විමසා අවර්‍ණාර්‍හයාගේ අවර්‍ණය කියයි. දැනැ කරුණු විමසා වර්‍ණාර්‍හයාගේ ගුණ කියයි. සම්‍යග්වචන ඇත්තී වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කරයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි උපදිනී වේ ය යි.
5. 3. 2. 10.
[මිච්ඡාවායාම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
නො දැනැ කරුණු නො විමසා අවර්‍ණාර්‍හයාගේ ගුණ කියයි. නො දැනැ කරුණු නො විමසා වර්‍ණාර්‍හයාගේ නුගුණ කියයි. මිථ්‍යාව්‍යායාම ඇත්තී ද වෙයි. මිථ්‍යාස්මෘති ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.
මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් යුත් භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සේ ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
දැනැ කරුණු විමසා අවර්‍ණාර්‍හයාගේ නුගුණ කියයි. දැනැ කරුණු විමසා වර්‍ණාර්‍හයාගේ ගුණ කියයි. සම්‍යග්ව්‍යායාම ඇත්තී ද වෙයි. සම්‍යක්ස්මෘති ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.
මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදිනී) වේ ය යි.
අන්‍ධකවින්‍දවර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
කුලූපග සූත්‍රය, පච්ඡාසමණ සූත්‍රය, සම්මාසමාධි සූත්‍රය, අන්‍ධකවින්‍ද සූත්‍රය, මච්ඡරිනී සූත්‍රය, වණ්ණ සූත්‍රය, ඉස්සුකීය සූත්‍රය, මිච්ඡාදිට්ඨික සූත්‍රය, මිච්ඡාවාචා සූත්‍රය, මිච්ඡාවායාම සූත්‍රය යි සූත්‍ර දශයෙකි.
3. ගිලාන වර්‍ගය