මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල් ඇතියේ වෙයි, බහුශ්‍රුත වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, පැණැතියේ වේ.
මහණෙනි, ශ්‍රද්ධා නැතියහට යම් ශාරද්‍යයෙක් (දොම්නසෙක්) වේ නම්, ශ්‍රද්ධා ඇතියහුට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි. (ශෛක්‍ෂපුද්ගලයාගේ විශාරදභාවය කරන්නේ වේ.)
මහණෙනි, දුසිල්හට යම් ශාරද්‍යයෙක් වේ නම්, සිල්වත්හට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි.
මහණෙනි, අල්ප ශ්‍රැතයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, බහුශ්‍රැතයාහට එ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ ධර්‍මය සේඛවේසාරජ්ජකරණ යි.
මහණෙනි, කුසීතයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, රුකුළුවැර ඇතියහුට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මේ ධර්‍මය සේඛවේසාරජ්ජකරණ යි.
මහණෙනි, දුෂ්ප්‍රාඥයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, ප්‍රඥාවත්හට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි.
මහණෙනි, මෙ දහම් පස සේඛවේසාරජ්ජකරණ යි.
5. 3. 1. 2.
[සඞ්කිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ අකෝප්‍යධර්‍ම ඇති ක්‍ෂීණාස්‍රව වූයේ නමුදු පාපභික්‍ෂුයැයි මතුමතුයෙහි සැක කරණ ලදුයේ හැම සෙයින් සැක කරණ ලදුයේ වෙයි. කවර පසෙකිනයත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ගණිකාව ගෝචර (එළැඹිය යුතු තැන්) කොට ඇතියේ හෝ වෙයි, වැන්දඹුව ගෝචර කොට ඇතියේ හෝ වෙයි, ථුල්ලකුමාරි (විවාහයට නොගිය මහලු කුමරිය) ගෝචර කොට ඇතියේ හෝ වෙයි, පණ්ඩක (නපුංසක) ගෝචර කොට ඇතියේ හෝ වෙයි, මෙහෙණ ගෝචර කොට ඇතියේ හෝ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ අකෝප්‍යධර්‍ම ඇතියේ නමුදු පාපභික්‍ෂු යයි මෙරමා විසින් මතු මතුයෙහි සැක කරණ ලදුයේ හැමසෙයින් සැක කරණ ලදුයේ වේ යයි.
5. 3. 1. 3.
[මහා චෝර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහසොර ගෘහසන්‍ධි දූ බිඳියි. වොලොගැනුමුදු කෙරෙයි. ගෙපැහැරුම් (එක් ගෙයක් වටලා පැහැර ගැණීම් ද) කෙරෙයි. කඩපලාසොරකම් (පල්හොරකම්) ද කෙරෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි මහසොර විෂමනිඃශ්‍රිත ද වෙයි, ගහනනිඃශ්‍රිත ද වෙයි, බලවන්නිඃශ්‍රිත ද වෙයි, භෝගචාගී ද වෙයි, ඒකචාරී ද වේ.
මහණෙනි, මහසොර කෙසේ නම් විෂමනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර නදීවිදුර්‍ගයෙක් වේවයි, පර්‍වතවිෂමයෙක් වේවයි, ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහසොර විෂමනිඃශ්‍රිත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහසොර ගහනනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙලොව්හි මහසොර තෘණගහනයෙක් වේවයි, වෘක්‍ෂගහනයෙක් වේවයි, ඝනවන ලැහැබෙක් වේවයි, ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර ගහනනිඃශ්‍රිත වෙයි.
මහණෙනි, මහසොර කෙසේ නම් බලවන්නිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජහු හෝ, රජමහමැතියකු හෝ, ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් මට කිසිවෙක් කිසිවක් කියා නම්, මේ රජහු හෝ රජමහමැතියෝ හෝ මාගේ දෝෂය ඹබා පියා අරුත් බණන්නාහ යි. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, රජහු හෝ රජමහමැතිහු හෝ ඔහුගේ අපරාධය ඔබාපියා අරුත් බෙණෙති. මහණෙනි, මෙසෙයින් මහසොර බලවන්නිඃශ්‍රිත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහසොර භෝගචාගී වේ ය යත්: මහණෙනි, මෙලොව්හි මහසොර මහාධන ඇති මහා භොග ඇති ආඪ්‍යයෙක් වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් කිසිවෙක් මට කිසිවක් (දොසක්) කියා නම්, මේ භෝගයෙන් පිළිසතර කරන්නෙමියි (‘භෝගදානයෙන් දොස් වසාගන්නෙමි’ යි). ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කී නම්, හේ භෝගයෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙ සෙයින් මහසොර භෝගචාගී වෙයි.
මහණෙනි, කෙසේ නම් මහසොර ඒකචාරී වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර එකලා වූයේ මැ මෙරමා සතු දැය පැහැර ගැණීම් කරන්නේ වෙයි. එ කවර හෙයින යත්: මාගේ ගුහ්‍යමන්ත්‍රයෝ (සැඟවිය යුතු රහස්) නහමක් බැහැර නො යෙත් වා යි. මහණෙනි, මෙසේ මහසොර ඒකචාරී වෙයි.
මහණෙනි, මෙ කරුණු පසෙන් සමන්‍වාගත මහසොර ගෘහසන්‍ධිදු සිඳුනේ ය. වොලො ගන්නේ ය. ගෙපැහැරීම් ද කරන්නේ ය. කඩපලා සොරකම් ද කෙරෙයි.
මහණෙනි, එ පරිදි ම කරුණු පසෙකින් සමන්‍වාගත පාපභික්‍ෂු තෙමේ සාළ ගුණ ඇති, නටගුණ ඇති ආත්මය (තමා) පරිහරණ කෙරෙයි. සදොස් වූයේ විඥයන් විසින් අනුවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි පාපභික්‍ෂු විෂමනිඃශ්‍රිත ද වෙයි, ගහනනිඃශ්‍රිත ද වෙයි, බලවන්නිඃශ්‍රිත ද වෙයි, භෝගචාගී ද වේ. ඒකචාරී ද වේ.
මහණෙනි, කෙසේ නම් පවිටු මහණ විෂමනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂමකායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, විෂමවාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, විෂමමනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ විෂමනිඃශ්‍රිත වේ.
මහණෙනි, කෙසේ නම් පවිටු මහණ ගහනනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ අන්තග්‍රාහික (ශාශ්වත හෝ උච්ඡේද හෝ) දෘෂ්ටියෙන් සමන්‍වාගත වූයේ මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ ගහනනිඃශ්‍රිත වේ.
මහණෙනි, කෙසේ නම් පාපභික්‍ෂු බලවන්නිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ රජකු හෝ රජමහමැතියකු හෝ ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් කිසිවෙක් මට කිසිවක් කියා නම්, මෙ රජහු හෝ රජමහමැතිහු හෝ මාගේ දොස් ඔබාපියා අරුත් බණන්නාහ යි. ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කියා නම් එ රජහු හෝ රජමහමැතියෝ හෝ ඔහුගේ දොස් වසාපියා අරුත් බෙණෙති. මහණෙනි, මෙසේ පාපභික්‍ෂු බලවන්නිඃශ්‍රිත වෙයි.
මහණෙනි, කෙසේ නම් පවිටු මහණ භෝගචාගී (භොග දෙන්නේ) වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබනසුලු වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් මාහට කිසිවෙක් කිසිවක් කියා නම්, මේ ලාභයෙන් පිළිසතර (සඞ්ග්‍රහ) කරන්නෙමී යි. ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කියා නම්, එ ලාභයෙන් පිළිසතර කරයි. මහණෙනි, මෙසේ පාපභික්‍ෂු තෙමේ භෝගචාගී වෙයි.
මහණෙනි, කෙසේ නම් පාපභික්‍ෂු ඒකචාරී වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පාපභික්‍ෂු තෙමේ එකලා වූයේ පසල්දනව්හි වාස කරයි. හෙ එහි කුලයන් කරා එළඹෙනුයේ ලාභ ලබයි. මහණෙනි, මෙසේ පාපභික්‍ෂු ඒකචාරී වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත පාපභික්‍ෂු සාරාලු ගුණ ඇති, නටගුණ ඇති, ආත්මය පරිහරණ කරයි. සදොස් වූයේ විඥයන් විසින් අනුවාද (නින්‍දා) කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරේ ය යි.
5. 3. 1. 4.
[සමණසුඛුමාල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ශ්‍රමණ තෙමේ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර (සැප බහුල) වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් (පිළිගත මැනැවයි) ආරාධිත වූයේ ම බොහෝ කොට චීවර වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට පිණ්ඩපාත වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට සෙනසුන් වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය.
යම් සබ්‍රම්සරුන් සමඟ එක්ව වාස කෙරේ ද, ඔහට ඒ සබ්‍රම්සරහු බහුල කොට මනාප වූ ම කායකර්‍මයෙන් පවත්නාහ. අමනාප කායකර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම වාක්කර්‍මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප වාක්කර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම මනඃකර්‍මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප මනඃකර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම පඬුරු එළවත්. අමනාප පඬුරු අල්ප ය.
යම් ඒ වේදනායෙක් පිත්තසමුත්‍ථාන වේවයි, ශ්ලෙෂ්මසමුත්‍ථාන වේවයි, වාතසමුත්‍ථාන වේවයි, සාන්නිපාතික වේවයි, ඍතුපරිණාමජ වේවයි, විෂමපරිහාරජ වේවයි, ඖපක්‍රමික වේවයි, කර්‍මවිපාකජ වේවයි, ඒ වේදනා බෙහෙවින් ම ඔහට නූපදී. අල්පාබාධ වෙයි.
අධිචිත්තයෙහි උපදනා ඉහාත්මසුඛවිහරණ වන සතර ධ්‍යානයන් කැමැතිසේ ලබන සුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල කොට ලබනසුලුයේ වෙයි.
ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට සපයා වාස කරයි.
මහණෙනි, මෙ කරුණු පසෙන් සමන්‍වාගත මහණ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර වෙයි.
මහණෙනි, යම් පුඟුලකු ගෙණ මැනැවින් කියනුයෙක්, ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාරයෙකැ’යි කියා නම්, මහණෙනි, මැනැවින් කියන හේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාරය’යි ඒ මා මැ සඳහා කියන්නේ යි.
මහණෙනි, මම ආරාධිත වූයෙම් මැ බොහෝ කොට සිවුරු වළඳ කරමි. අනාරාධිත වූයෙම් අල්ප ය. ආරාධිත වූයෙම් මැ බොහෝ කොට පිණ්ඩපාත, ශයනාසන, ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කෙරෙමි. අනාරාධිත වූයෙම් අල්ප කොට වළඳ කෙරෙමි.
යම් මැ භික්‍ෂු කෙනකුන් සමඟ වාස කෙරෙම් නම්, ඔහු මට මනාප වූ ම කායකර්‍මයෙන් බහුල කොට පවත්නාහ. අමනාපකායකර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ වාක්කර්‍මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප වාක්කර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ මනඃකර්‍මයෙන් බහුල කොට පවත්නාහ, අමනාපමනඃකර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ උපහාර බහුල කොට එළවත්. අමනාප උපහාර අල්ප යි.
යම් වේදනායෙක් - පිත්තසමුත්‍ථාන වේවයි, සෙම්හසමුත්‍ථාන වේවයි, වාතසමුත්‍ථාන වේවයි, සාන්නිපාතික වේවයි, ඍතුපරිණාමජ වේවයි, විෂමපරිහාරජ වේවයි, ඖපක්‍රමික වේවයි, කර්‍මවිපාකජ වේවයි, ඒ වේදනා මට බෙහෙවින් නූපදී. මම අල්පාබාධයෙමි.
අධිචිත්තයෙහි (රූපාවචර සිත්හි) උපදනා වූ ඉහාත්මයෙහි සුඛවිහරණ වන සතරධ්‍යානයන් කැමැති සෙයින් ලබන සුලුයෙම්, නිදුකින් ලබන සුලුයෙම්, විපුල සේ ලබන සුලුයෙම් වෙමි.
ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට සපයා වාස කරමි.
මහණෙනි, යම් පුඟුලකු ගෙන ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර’යි මොනොවට කියනුයෙක් පවසන්නේ නම්, මහණෙනි, ඒ මා සඳහා ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර’යි මැනැවින් කියන හේ පවසන්නේ ය යි.
5. 3. 1. 5.
[ඵාසුවිහාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මේ ඵාසුවිහාරයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ මෛත්‍රීචිත්තයෙන් යුත් කායකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එළඹ සිටියේ වෙයි. මෛත්‍රියෙන් යුත් වාක්කර්‍මය ... මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එළඹ සිටියේ වෙයි. නොකඩ වූ නොසිදුරු වූ අශබල වූ අකල්මාෂ වූ නිදහස් වූ විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණදෘෂ්ටියෙන් අපරාමෘෂ්ට වූ සමාධියට හිතවත් ව වැටෙන යම් ශීල කෙනෙක් වෙත් නම්, එබඳු ශීලයෙන් සබ්‍රම්සරුන් සමඟ සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් ශීලයෙන් සමභාවයට ගියේ වාස කරයි. ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියෙක් එය කරණවහුගේ දුක් මැනැවින් ගෙවීමට පමුණුවා නම්, සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එබඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් හා දෘෂ්ටිසමභාවයට ගියේ වාස කරයි.
මහණෙනි, මේ ඵාසු විහාර පස යි.
5. 3. 1. 6.
[ආනන්‍ද සූත්‍රය]
6. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැළ කළහ:
වහන්ස, කෙතෙක් කරුණෙකින් සඞ්ඝයා කෙරෙහි වසන මහණ සුවසේ වසන්නේ දැ යි.
ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ, මෙරමා අධිශීලයෙහි ලා උපවාද නොකරණුයේ වේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඞ්ඝයා කෙරෙහි සුවසේ වාස කරන්නේ ය යි.
වහන්ස, මහණ යම් කරුණෙකින් සඞ්ඝයා කෙරෙහි සුවසේ වෙසේ නම් එබඳු අන් කරුණෙක් වන්නේ ද?
ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ද ගරහනුයේත් වේ, තමාගේ කිස දක්නා සුලු වූයේත් වෙයි, මෙරමාගේ කෘතාකෘත නො විමසනුයේත් වෙයි, ආනන්‍දයෙනි, මහණ මෙ කරුණෙනුදු සඟුන් කෙරෙහි සුවසේ වසන්නේ ය යි.
වහන්ස, යම් කරුණෙකින් මහණ සඟුන් කෙරෙහි සුවසේ වෙසේ නම්, එබඳු අන් කරුණෙකුදු වන්නේ ද?
ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ අන්‍යයා අධිශීලයෙහි ලා නො ගරහන්නේ වෙයි, තමාගේ කළ නොකළ දෑ දක්නා සුල්ලේත් වෙයි, මෙරමා නො විමසනුයේත් වෙයි, අප්‍රකට වූයේත් වෙයි, ඒ අප්‍රකට භාවයෙන් නො තැවෙනුයේත් වෙයි. ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වසන්නේ ය යි.
වහන්ස, යම් කරුණෙකින් මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කෙරේ නම්, එබඳු අන් කරුණෙකුදු වන්නේ ද?
ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල් සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ගරහන්නේ වේ ද, ආත්මානුප්‍රේක්‍ෂී වේ ද, පරානුප්‍රෙක්‍ෂි නො වේ ද, අල්පඥාත වේ ද, ඒ අල්පඥාතභාවයෙන් නො තැවෙන්නේ ද, අධිචිත්තයෙහි උපදනා ඉහාත්මභාවයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනසුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල කොට ලබනසුලුවූයේත් වේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කරන්නේ ය යි.
වහන්ස, යම් කරුණෙකින් සඟුන් කෙරෙහි වසන මහණ සුවසේ වෙසේ නම්, එබඳු අන් කරුණෙකුදු ඇත් ද?
ආනන්‍දයෙනි, ඇත. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල් සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ගරහනුයේ වේ ද, ආත්මානුප්‍රේක්‍ෂී වේ ද, පරානුප්‍රේක්‍ෂී නො වේ ද, අල්පඥාත වේ ද, ඒ අල්පඥාතභාවයෙන් නො තැවේ ද, ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් රිසි සේ ලබනසුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල සේ ලබනසුලුයේත් වේ ද, ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ මැ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කරන්නේ ය යි.
ආනන්‍දයෙනි, මේ (ආස්‍රවක්‍ෂය) ඵාසුවිහාරයෙන් උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ අනෙක් ඵාසුවිහාරයෙක් නැතැයි කියමි යි.
5. 3. 1. 7.
[සීලසම්පන්න සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සීලසම්පන්න වෙයි, සමාධිසම්පන්න වෙයි, ප්‍රඥාසම්පන්න වෙයි, විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.
5. 3. 1. 8.
අසේඛ සූත්‍රය
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.
5. 3. 1. 9.
[චාතුද්දිස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සිවුදික්හි නො පැකිලි ආචාර ඇතියේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ආචාරගෝචර සම්පන්න වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් සංවෘත වූයේ වාස කරයි, අණුමාත්‍ර වරදෙහි භය දක්නාසුලුයේ ශික්‍ෂාපදයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි.
ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බහුශ්‍රැතවූවාහු ධරණ ලද්දාහු වෙත්, වචනයෙන් පිරිවහන ලදහු වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥාදෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද වෙත්.
ඉතරෙතර (යථාලාභ වූ) චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වෙයි.
ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැති සෙයින් ලබනසුලුයේ නිදුකින් ලබනසුලුයේ විපුල කොට ලබනසුලුයේ වෙයි.
ආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා තෙමේ ඉහාත්මයෙහි මැ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාස කෙරෙයි.
මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ සිවුදික්හි නො පැකිලි ආචාර ඇතියේ වේ ය යි.
5. 3. 1. 10.
[අරඤ්ඤ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ වන සෙනසුන් හා වෙනෙහි දුර සෙනසුන් හා ගැඹුරු වල්සෙනසුන් හා සෙවුනට නිසි වූයේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ සමාදන් කොට ගෙන සිකපදයෙහි හික්මෙයි.
බහුශ්‍රුත වෙයි ... බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරණ එබඳු ධර්‍මයෝ … නුවණින් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්.
අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹුවැර ඇතියේ වාස කරයි. වීර්‍ය්‍යස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයෙහි නො බහා ලූ ධූර ඇතියේ වෙයි.
ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැතිසෙයින් ලබනසුලු වූයේ නිදුකින් ලබනසුලු වූයේ විපුල කොට ලබනසුලු වූයේ වෙයි.
ආස්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වෙසෙයි.