Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 6501-6600 න් 15980

[සැවැත්නිදාන යි]
40. මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂමහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ශෛක්‍ෂ මහණ බොහෝ කරණී ඇති, බොහෝ කිස ඇතියෙක් වෙයි. ඉතිකර්‍තව්‍යයෙහි ඡේක වෙයි. පිළිසලන හැරැපියයි. තමා තුළ සමාධිකමටහනෙහි නො යෙදෙයි. මහණෙනි, මේ පළමු දහම ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
වැලිදු මහණෙනි, ශෛක්‍ෂ මහණ අල්පමාත්‍රක කර්‍මයෙකින් දවස ගළවයි. පිළිසලන හැරැපියයි. තමා තුළ සමාධිකමටහනෙහි නො යෙදෙයි. මහණෙනි, මේ දෙවන දහම ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ ගිහිපැවිද්දන් සමඟ අනුලෝම නො වන ගිහිසසඟින් සසට ව වෙසෙයි. පිළිසලන හැරපියයි. අධ්‍යාත්ම චිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ තෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ ඉතා අලුයම ගම් වදනේ ය. මධ්‍යාහ්නය පන්වා පෙරළා එයි. පිළිසලන පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ සතර වන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ කෙලෙස් ලියා හරණ ශමථවිදර්‍ශනා සඞ්ඛ්‍යාත චිත්තවිවරණයට සත්ප්‍රාය වූ අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධි කථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඥානදස්සනකථා ය යන යම් කථායෙක් වේ නම්, එ බඳු කථාව කැමැති සේ නො ලබන සුලුයේ කිච්ඡලාභී, කසිරලාභී වෙයි. පිළිසලන පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ පස් වන ධර්‍මය ශෛක්‍ෂභික්‍ෂුහුගේ පරිහානිය පිණිස පවත්නේ ය. මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ ශෛක්‍ෂභික්‍ෂුහුගේ පරිහානිය පිණිස වැටෙත්.
මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ශෛක්‍ෂ මහණ බොහෝ කිස ඇතියේ, බොහෝ කරණී ඇතියේ නො වෙයි. කිංකරණීයයෙහි ව්‍යක්ත වෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය පිණිස මේ ප්‍රථමධර්‍මය වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ අල්පමාත්‍රකර්‍මයෙකින් දවස නො ගළවයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ දෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂමහණ සස්නට අනුලෝම නොවන ගිහිසංසර්‍ගයෙන් ගිහිපැවිද්දන් සමඟ සසට ව නො වෙසෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ තෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙයි.
තවද මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ ඉතා අලුයම ගම් නො වදනේ ය. දහවල පන්වා පෙරළා නො එයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ සතර වන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා පවත්නේ ය.
තවද මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ කෙලෙස් ලියා හරණා චිත්ත විවරණයට සත්ප්‍රාය වූ අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධිකථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඥානදස්සනකථා ය යන යම් කථායෙක් වේ නම්, එ බඳු කථා කැමති සේ ලබන සුලුයේ නිදුකින් ලබන සුලුයේ මහත් සේ ලබන සුලුයේ වෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ පස් වන ධර්‍මය ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙයි.
මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.
ථේර වර්‍ගය සතර වැනි යි.
එහි උද්දානය:
රජනීය සූත්‍රය, වීතරාග සූත්‍රය, කුහක සූත්‍රය, අස්සද්ධ සූත්‍රය, අක්ඛම සූත්‍රය, පටිසම්භිදා සූත්‍රය, සීල සූත්‍රය, ථේර සූත්‍රය, සේඛ සූත්‍ර දෙක දැයි දශසූත්‍රයෙකි.
5. කකුධ වර්‍ගය
5. 2. 5. 1.
[පඨමසම්පදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ සම්පදා පසෙකි. කවර පසෙක යත්:
සද්ධාසම්පදා හා සීලසම්පදා හා සුතසම්පදා හා චාගසම්පදා හා පඤ්ඤාසම්පදා හා යි. මහණෙනි, මේ පඤ්චසම්පදා යි.
5. 2. 5. 2.
[දුතියසම්පදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, මේ සම්පදා පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
සීලසම්පදා හා සමාධිසම්පදා හා පඤ්ඤාසම්පදා හා විමුත්තිසම්පදා හා විමුත්තිඤාණදස්සනසම්පදා හා යි. මහණෙනි, මේ පඤ්චසම්පදා යි.
5. 2. 5. 3.
[අඤ්ඤබ්‍යාකරණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
43. මහණෙනි, මේ අර්‍හත්ත්‍වව්‍යාකරණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
අඥානභාවයෙන් අතිමුඨභාවයෙන් අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මැඩුනේ අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. උමතුයෙන් චිත්තක්‍ෂේපයෙන් අර්‍හත්ත්‍වය පාළ කරයි. අධිමානයෙන් අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. මනා (හේතු) යෙන් ම අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. මහණෙනි, මේ පස් දෙන අර්‍හත්ත්‍වව්‍යාකරණයෝ යි.
5. 2. 5. 4.
[ඵාසුවිහාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, මේ ඵාසුවිහාරයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන් ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන්, ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වාස කෙරෙයි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වාස කෙරෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කෙරෙයි. මහණෙනි, මෙ පඤ්චඵාසු විහරණයෝ යි.
5. 2. 5. 5.
[අකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූ මහණ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අර්‍ත්‍ථප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. ධර්‍මප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. නිරුක්තිප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. ප්‍රතිභානප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. යථාවිමුක්තචිත්තය (සිත කෙලෙසුන්ගෙන් මිදුණු සැටිය) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය.
5. 2. 5. 6.
[දෙවන අකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය සෙවුනේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර (පෝෂණයට පහසු) වූයේ ජීවිතපරිෂ්කාරයෙහි මනා සන්තෝෂ ඇතියේ අල්පවූ ක්‍රියා සමාරම්භ ඇතියේ වෙයි. අනෞදරිකත්‍වයෙහි (අහරෙහි නොගිජු බැව්හි) යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි (නිදිවැරීමෙහි) යෙදුනේ අල්පමිද්ධ වෙයි. ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය (රැස්කරගත් ශ්‍රැත) ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු, සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය මැනැවින් කියත් ද, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු ධරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පිළිවිදුනා ලද්දාහු වෙත්. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආනාපානසතිය ඇසුරු කරණුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.
5. 2. 5. 7.
[තෙවන අකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර වූයේ ජීවිතපරිෂ්කාරයෙහි මනා සන්තෝෂ ඇතියේ අල්පසමාරම්භ වෙයි. අනෞදරිකත්‍වයෙහි යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි යෙදුනේ අල්පමිද්ධ වෙයි. කෙලෙස් ලියා ලන චිත්තවිවරණයට සත්ප්‍රාය වන අප්පිච්ඡකථා ... (සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා) යන යම් දස කථායෙක් වේ නම්, එබඳු කථා කැමැතිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වෙයි. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය.
මහණෙනි, මෙ කරුණුපසින් සමන්‍වාගත මහණ ආනාපානසතිය වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.
5. 2. 5. 8.
[සිවුවන අකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය බහුල කරණුයේ අර්‍හත්ත්‍වය පිළිවිදිනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර වූයේ ජීවිත පරිෂ්කාරයෙහි මොනොවට සතුටු වූයේ අල්පසමාරම්භ ඇති වෙයි. අනෞදරිකත්‍වයෙහි යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි යෙදුනේ අල්පමිද්ධ වෙයි. අරණෙහි වසන සුලුයේ ප්‍රාන්තශයනාසන ඇතියේ වෙයි. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආනාපානසතිය බහුල කොට වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.
5. 2. 5. 9.
[සීහ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් කාලයෙහි වාසස්ථානයෙන් නික්මෙයි. වාසස්ථානයෙන් නික්මැ වජඹනේ (කය පොළා වෙරගන්නේ) ය. වැජැඹැ හාත්පස සිවුදිගුන් අනුවිලෝකනා කරන්නේ ය. වටා සිවුදිගුන් නහමා තුන්යලක් සිංහනාද කරන්නේ ය. තෙවිටක් සිංහනාද කොට ගොදුරු සඳහා නික්මැ යෙයි.
හේ ඇතක්හට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නො දෙයි. මිහිවකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නොදෙයි. ගවයකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. දිවියකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. ක්‍ෂුද්‍රක ප්‍රාණීනට නමුදු පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. යටත් පිරිසෙයින් සා බළලුනට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නො දෙයි. කවර හෙයින යත්: මාගේ යෝග්‍යපථය (අභ්‍යාසමාර්‍ගය) නහමක් නසීවයි.
මහණෙනි, සිංහ යනු අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට තෙල නමෙකි. මහණෙනි, තථාගතයෝ පර්‍ෂද්හි දහම් දෙසති යන යමෙක් වේ නම්, මෙ ඔවුන්ගේ සිංහනාද වෙයි.
මහණෙනි, භික්‍ෂූනට ද ඉදින් තථාගතයෝ දහම් දෙසත් නම්, සකස් කොට වත් මුත් නො සකස් කොට දහම් නො දෙසන්නාහ. මහණෙනි, මෙහෙණනට ද ඉදින් තථාගතයෝ දහම් දෙසත් නම්, සකස් කොට වත් මුත් නො සකස් කොට දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් තථාගතයෝ උවසුවනට ද දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් උවැසියනට ද තථාගතයෝ දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් තථාගතයෝ පුහුදුනට ද යටත් පිරිසෙයින් අන්නහාර (තෘණහාරකයනට) හා ලිහිණිවැද්දනට ද දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. එ කවර හෙයින යත්: මහණෙනි, තථාගතයෝ ධර්‍මය ගුරු කොට ඇතියහ. ධර්‍ම ගෞරව ඇතියහ.
5. 2. 5. 10.
[කකුධ සූත්‍රය]
50. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන තෙරණුවන්ගේ උපස්ථායක වූ කකුධ නම් කෝලිය පුත්‍ර නොබෝ දිනෙකින් කලුරිය කෙළේ අන්‍යතර මනෝමයදේවනිකායේක්හි උපන්නේ වෙයි. ඔහුට මෙබඳු වූ අත්මභාව (ශරීර) ප්‍රතිලාභයෙක් වෙයි. එනම්: මගධදේශයට අයත් ග්‍රාමක්‍ෂේත්‍ර දෙකෙක් හෝ තුණෙක් යම් පමණ වේ නම්, එ පමණ වූවෙකි. හේ එ ආත්මභාව ප්‍රතිලාභයෙන් තමා වේවයි මෙරමා වේවයි නො මැ පෙළයි.
ඉක්බිති කකුධ දේවපුත්‍ර ආයුෂ්මත් මහමුගලන් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි කකුධදෙවපුත්‍ර ආයුෂ්මත් මහමුගලන් තෙරුන්හට තෙල කී ය: “වහන්ස, දෙව්දතුනට ‘මම බික් සඟුන් පිළිදගුම්ව’යි යන මෙබඳු ඉච්ඡායෙක් උපන. වහන්ස, චිත්තෝත්පාදය හා සමඟ මැ දේවදත්ත එ ඉදුහයෙන් පිරිහිනැ”යි කකුධදෙවපුත්‍ර මෙය කී ය. මෙය කියා ආයුෂ්මත් මහමුගලන් තෙරුන් සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ ය.
එකළ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
“වහන්ස, මාගේ උපස්ථායක වූ කකුධ නම් කෝලියපුත්‍ර නොබෝදා කලුරිය කෙළේ අන්‍යතර මනෝමයකායයෙක්හි උපන. ඔහුගේ ආත්මභාවප්‍රතිලාභය මගධ දෙශීය ග්‍රාමක්‍ෂේත්‍ර දෙකෙක් හෝ තුණෙක් යම් පමණ වේ නම්, එපමණ වූයේ වෙයි. හේ ඒ අත්බැවින් තමා හෝ මෙරමා නො මැ පෙළයි. වහන්ස, ඉක්බිති කකුධ දේවපුත්‍ර මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පස්ව සිටියේ ය. වහන්ස, එකත්පස්ව සිටි කකුධ දේවපුත්‍රයා මට තෙල කරුණ කී ය: වහන්ස, දේවදත්ත හට ‘මම බික්සඟුන් පරිහරණය කෙරෙමි’ යන මෙබඳු ඉච්ඡායෙක් උපන. වහන්ස, චිත්තෝත්පාදයාගේ උපත් හා සමඟ මැ දේවදත්ත එ ඉදුහයෙන් පිරිහිනැ යි. වහන්ස, කකුධදේවපුත්‍රයා මෙය කී ය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ” යයි.
මුගලන කිමෙක, තා විසින් කකුධදේවපුත්‍රයා සියසිතින් ඔහු සිත පිරිසිඳ දන්නා ලද ද: ‘යමක් කකුධ දේවපුත්‍රයා කියා නම්’ එ හැම අන් පරිද්දෙකින් නොව එපරිද්දෙන් මැ වේ ය’ යි කියා යි.
වහන්ස, “කකුධ දේවපුත්‍ර යමක් කියා නම්, එ හැම එපරිදි මැ වෙයි. අන්පරිදි නො වේ ය”යි ම විසින් මා සිතින් ඹහු සිත පිරිසිඳ කකුධ දේවපුත්‍ර දන්නා ලද්දේ ය. මුගලන, තෙල බස රකුව. දැන් එ (දේවදත්ත) මෝඝපුරුෂයා තෙමේ මැ තමා පළ කරන්නේ ය යි.
මුගලන, ලොව්හි මේ ශාස්තෲහු පස් දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර පස් දෙනක යත්:
මුගලන, මෙ ලොව්හි අන්‍යතර ශාස්තෘයෙක් නොපිරිසිදු සිල් ඇතියේ මැ “පිරිසිදු සිල් ඇතියෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, අසංක්ලිෂ්ට ය”යි ප්‍රතිඥා කරයි. ශ්‍රාවකයෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ශීල ඇතියේ මැ ‘පරිශුද්ධ ශීලයෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, නොකිලිටි ය’යි පිළින කරයි. අපිදු වනාහි එ බව් ගිහීනට සැළ කරමෝ නම්, ඔහට එ මනාප නොවන්නේ ය. යම් කිසිවක් ඔහට අමනාප වේ නම්, අපි කිසෙයින් නම් එය කියමෝ ද! සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් ලෝකයා ඔහු සගන්නේ ම ය. තෙමේ යමක් කෙරේ ද, එයින් හේ තෙමේ මැ පළට වන්නේ ය”යි. මුගලන, ශ්‍රාවකයෝ මෙබඳු ස්ථරහු ශීලයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන්ගෙන් ශීල හේතුයෙන් ආරක්‍ෂාව පතන්නේ ය. (1)
තවද මුගලන, මෙලොව්හි ඇතැම් ශාස්තෘයෙක් නො පිරිසිදු ආජීව ඇතියේ මැ ‘පිරිසිදු ආජීව ඇතියෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, නොකිලිටි ය’යි ප්‍රතිඥා කෙරෙයි. ශ්‍රාවකයෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ආජීව ඇතියේ මැ ‘පිරිසිදු ආජීව ඇතියෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, නොකිලිටි ය’යි පිළින කෙරෙයි. අපිදු එබව් ගිහියනට සැළ කරමෝ නම්, එය ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කිසෙයින් අපි ඔහු එයින් කියමෝ ද! ලෝකයා ඔහුට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් බුහුමන් කෙරේ මැයි. තෙමේ යමක් කෙරේ නම්, හෙ තෙමේ මෑ එයින් පළට වන්නේ ය”යි. මුගලන, ශ්‍රාවකයෝ මෙබඳු ශාස්තෲහු ආජීවයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේත් ශ්‍රාවකයන්ගෙන් ආජීවහේතුයෙන් ආරක්‍ෂාව පතයි. (2)
තවද මුගලන, මෙලොව්හි ඇතැම් ශාස්තෘයෙක් අපරිශුද්ධ ධර්‍මදේශනා ඇතියේ මැ ‘පරිශුද්ධධර්‍ම දේශනා ඇතියෙමි, මාගේ ධර්‍මදේශනාව පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නොකිලිටි ය’යි පිළින කරයි. සව්වෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ධර්‍මදේශනා ඇතියේ මැ ‘පරිශුද්ධධර්‍මදේශනා ඇතියෙමි, මාගේ ධර්‍මදේශනාව පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය’යි පිළින කරයි. අපිදු ගිහිනට මෙබව් සැළ කරමෝ නම්, එය ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කිසෙයින් අපි ඔහු එයින් කියමෝ ද! ලෝකයා ඔහුට චීවරපිණ්ඩපාතශයනාසන-ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙන් බුහුමන් කෙරේ මැයි. යමක් තෙමේ කෙරේ නම්, එයින් හෙ තෙමේ මැ පළට වන්නේ ය”යි. මුගලන, ශ්‍රාවකයෝ මෙබඳු ස්ථරහු ධර්‍මදේශනා හේතුයෙන් රක්නාහ. මෙ බඳු ශාස්තෘ තෙමේත් ශ්‍රාවකයන් වෙතින් ධර්‍මදේශනා හේතුයෙන් රක්‍ෂා පතන්නේ ය. (3)
තවද මුගලන, මෙලොවිහි ඇතැම් ශාස්තෘයෙක් නොපිරිසිදු ව්‍යාකරණ (කථා) ඇත්තේ මැ ‘පිරිසිදු ව්‍යාකරණ ඇතියෙම් වෙමි, මාගේ ව්‍යාකරණය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටි ය’යි පිළින කෙරෙයි. ශ්‍රාවකයෝ තෙල පුඟුල්හු ‘මෙ භවත් ශාස්තෘ තෙමේ නොපිරිසිදු ව්‍යාකරණ ඇතියේ මැ පිරිසිදු ව්‍යාකරණ ඇතියෙමි, මාගේ ව්‍යාකරණය පිරිසිදු ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටිය’යි පිළින කරයි. ඉදින් අපිදු මෙබව් ගිහිනට සැළ කරමෝ නම්,
ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කෙසේ නම් අපි ඔහු එයින් කියමෝ ද! සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් ලෝකයා ඔහු සගන්නේ ම ය. තෙමේ යමක් කෙරේ නම්, හෙ තෙමේ මැ එයින් පැණෙන්නේ ය”යි. මුගලන, මෙබඳු ස්ථරහු සව්වෝ ව්‍යාකරණහේතුයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන් වෙතින් ව්‍යාකරණ හේතුයෙන් රක්‍ෂණය පතයි. (4)
තවද මුගලන, මෙලොව්හි, ඇතැම් ශාස්තෘයෙක් නොපිරිසිදු ඥානදර්‍ශන ඇතියේ මැ ‘පිරිසිදු ඥානදර්‍ශන ඇතියෙමි, මාගේ ඥානදර්‍ශනය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටි ය’යි පිළින කෙරෙයි. තෙල පුඟුල්හු සව්වෝ මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපිරිශුද්ධ ඥානදර්‍ශන ඇතියේ මැ ‘පරිශුද්ධ ඥානදර්‍ශන ඇතියෙමි, මාගේ ඥානදර්‍ශනය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටි ය’යි පිළින කරන්නේ ය. අපිදු ගිහිනට මෙබව් සැළ කරමෝ නම්, ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කෙසේ නම් අපි ඔහු එයින් කියමෝ ද! සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසද් පිරිකරින් ලෝකයා ඔහු සගන්නේ ම ය. තෙමේ යමක් කෙරේ නම්, හේ තෙමේ මැ එයින් පළට වන්නේ ය”යි. මෞද්ගල්‍යායනය, මෙබඳු ස්ථරහු ශ්‍රාවකයෝ ඥානදර්‍ශන හේතුයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේත් ශ්‍රාවකයන් වෙතින් ඥානදර්‍ශන හේතුයෙන් රක්‍ෂණය පතයි. (5)
මෞද්ගල්‍යායනය, මේ ශාස්තෲහු පස් දෙන ලොව්හි විද්‍යාමාන වෙත් මැයි.
මුගලන, මම පිරිසිදු සිල් ඇතියෙම් ම “පිරිසිදු සිල් ඇතියෙම් වෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය”යි පිළින කෙරෙමි. සව්වෝ මා ශීලයෙන් නො රක්නාහ. මම ද සව්වන් වෙතින් ශීලහේතුයෙන් රක්‍ෂණය නො පතමි.
පිරිසිදු ආජීව ඇතියෙම් මැ “පාරිශුද්ධාජීවයෙම් වෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය”යි පිළින කරමි. සව්වෝ ද, මා ආජීවහේතුයෙන් නො රක්නාහ. මම ද ශ්‍රාවකයන් වෙතින් ආජීවහේතුයෙන් රක්‍ෂා නො පතමි.
පිරිසිදු ධර්‍මදේශනා ඇතියෙම් මැ “පරිශුද්ධධර්‍මදේශනා ඇතියෙම් වෙමි, මාගේ ධර්‍මදේශනා පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාතය, අසංක්ලිෂ්ට ය”යි පිළින කරමි. ශ්‍රාවකයෝ මා ධර්‍මදේශනා හේතුයෙන් නො රක්නාහ. මම ද ශ්‍රාවකයන් වෙතින් ධර්‍මදේශනා හේතුයෙන් රක්‍ෂා නො පතමි.
පිරිසිදු ව්‍යාකරණ ඇතියෙම් මැ “පිරිසිදු ව්‍යාකරණ ඇතියෙම් වෙමි, මාගේ ව්‍යාකරණය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය”යි පිළින කරමි. සව්වෝ ද මා ව්‍යාකරණහේතුයෙන් නො රක්නාහ. මම ද සව්වන් වෙතින් ව්‍යාකරණහේතුයෙන් රක්‍ෂා නො පතමි.
පරිශුද්ධඥානදර්‍ශන ඇතියෙම් මැ “පරිශුද්ධඥානදර්‍ශන ඇතියෙම් වෙමි, මාගේ ඥානදර්‍ශනය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසක්ලිෂ්ට ය”යි පිළින කරමි. ශ්‍රාවකයෝ මා ඥානදර්‍ශනහේතුයෙන් නො රක්නාහ. මම ද ශ්‍රාවකයන් කෙරෙන් ඥානදර්‍ශනහේතුයෙන් රක්‍ෂා නො පතමි යි.
කකුධ වර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
සම්පදා සූත්‍ර දෙකෙක, ව්‍යාකරණ සූත්‍රය, ඵාසුවිහාර සූත්‍රය, අකුප්ප සූත්‍රය, සුතධර (දෙවන අකුප්ප) සූත්‍රය, කථා (තෙවන අකුප්ප) සූත්‍රය, අරඤ්ඤක (සිවුවන අකුප්ප) සූත්‍රය, සිංහ සූත්‍රය, කකුධ සූත්‍රය දැයි සූත්‍රයෝ දශ දෙනෙක.
ද්විතීය පණ්ණාසකය නිමියේ ය.
3. තෙවැනි පණ්ණාසකය
1. ඵාසු විහාර වර්‍ගය
5. 3. 1. 1.
[සේඛවේසාරජ්ජ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, ශෛක්‍ෂයාගේ වෙසරද බව කරණ මේ ධර්‍ම පසෙකි. කවර පසෙක යත්: