[දුතියඅනාගතභය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, මේ පඤ්ච අනාගතභයක් දක්නා මහණහු විසින් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතවිශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කෘතිය පිණිස, වාස කරන්නට නිසි මැ යි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මම මෙ කල දහරයෙම් තුරුණුයෙම් මනා කළු කෙහෙ ඇතියෙම් සොඳුරුයොවුනෙන් සමන්‍වාගතයෙමි. යම් හෙයෙකින් මේ කය ජරාව පහස්නේ නම්, එ බඳු සමයෙක් ඇත් මැ යි. ජීර්‍ණ වූ ජරායෙන් මැඬුනහු විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට සුකර නො වේ මැ යි.
අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්තසෙනසුන් හා සෙවුනට සුකර නො වේ. ඒ අනිටු අකාන්ත අමනාප ධර්‍මය ඇසිල්ලකින් මා වෙත එයි. (එයට පෙරම-යම් තාක් එ නො එළඹේ ද ඒ තාක්) මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කෘතිය පිණිස වැර අරඹම් මැයි - යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මම් දිරූයෙම් නමුදු සැපසේ වෙසෙම් නම් එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ ප්‍රථම අනාගතභය දක්නා මහණ විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි ම ය.
තවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “දැන් මම් අල්පාබාධයෙම් අල්පාතඞ්කයෙම් නානිශීත, නාත්‍යුෂ්ණ, මධ්‍යම, ප්‍රධන්වීර්‍ය්‍යයට ක්‍ෂම වන, සම ව පස්නා කර්‍මජතේජෝධාතුයෙන් සමන්‍වාගතයෙම් වෙමි. යම් හෙයෙකින් මෙ කය ව්‍යාධිය පහස්නේ නම්, එ බඳු කලෙක් ඇත් මැ යි මා ව්‍යාධිගත ව ව්‍යාධියෙන් මඬනාලදහු විසින් බුදුරජුන්ගේ සස්න කරනට සුකර නොවේ මැ යි. අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්ත සෙනසුන් හා සෙව්නහ සුකර නො වේ. අනිෂ්ට අකාන්ත අමනාප ඒ ධර්‍මය මා කර මතු එයි. (එයට පෙර) මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කෘතිය පිණිස, වැර අරඹම් මැ යි. යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූයෙම් ව්‍යාධියෙන් පෙළුනෙම් නමුදු පහසු සේ වෙසෙම් නම් එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ දෙවන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැ යි.
තවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මෙ කල භික්‍ෂාසම්පන්න වෙයි, සමාද්ධ ශස්‍ය වෙයි, සුලභ පිණ්ඩ වෙයි, භික්‍ෂාපාත්‍රය ගෙණ උඤ්ඡාචරියායෙන් යැපීමට සුකර වෙයි. යම් හෙයෙකින් දුර්භික්‍ෂ හා දුශ්ශස්‍ය හා දුර්‍ලභ පිණ්ඩ හා වේ නම්, භික්‍ෂාපාත්‍රය ගෙණ උඤ්ඡාචරියායෙන් යැපීමට සුකර නො වේ නම්, එ බඳු සමයෙක් වෙයි. දුර්භික්‍ෂයෙහි වනාහි මනුෂ්‍යයෝ සුභික්‍ෂස්ථාන කරා සඞ්ක්‍රමණ කෙරෙත්. එ තන්හි සඞ්ගණිකවිහාරය ආකීර්‍ණවිහාරය (උනුන් හා මුසු විහරණ) වෙයි. ගණසඟ විහරණය මුසුවිහරණය ඇති වත් ම බුදුරජුන්ගේ සස්න මෙනෙහි කිරීමට සුකර නො වෙයි. අරන් හා වානප්‍රස්ථ හා ගැඹුරු වල් සෙනසුන් හා සෙව්මට සුකර නො වෙයි. අනිෂ්ට අකාන්ත අමනාප ඒ ධර්‍මය මා කරා වහා එයි. (එයට පෙර) මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස, වැර අරඹම් මැයි - යම් ධර්‍මයෙකින් සමන්‍වාගතයෙම් දුර්භික්‍ෂයෙහිදු පහසු සේ වෙසෙම් නම්, එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ තුන් වන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැයි.
තවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මෙ කල්හි මනුෂ්‍යයෝ සමඟ වූවාහු, එක්ව තුස්නාහු, විවාද නො කරන්නාහු, කිරි හා දිය මෙන් එක්වූවාහු, උනුන් පිය ඇසින් දක්නාහු වෙසෙත්. යම් හෙයෙකින් කඩපලාසොරබියෙක් (වලවැසි සොරුන් ගම් වැද කරණ විලෝපයෙක්) වේ ද, රියසක් නැඟි දනව්වැස්සෝ ඔබමොබ (හිස් ලූලූ අත) පැන යෙද් ද, එබඳු සමයෙක් වේ මැයි. භය ඇති වත්ම මනුෂ්‍යයෝ ක්‍ෂේමස්ථාන කරා සඞ්ක්‍රමණය කෙරෙත්. එ තන්හි සඞ්ගණික විහරණය වෙයි. ආකීර්‍ණවිහරණය වෙයි. සඞ්ගණීකවිහරණ හා ආකීර්‍ණ විහරණ හා ඇති වත් ම බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට සුකර නො වේ. අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්ත සෙනසුන් හා සෙව්නට සුකර නො වේ. එ අනිෂ්ට අකාන්ත අමනාප ධර්‍මය මා කරා වහා එයි. එයට පෙර මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹම් මැයි. මම යම් වීර්‍ය්‍ය ධර්‍මයෙකින් සමන්‍වාගත වූයෙම් භයෙහිදු පහසු සේ වෙසෙම් නම්, එයින් යුක්තවෙමි’යි. මහණෙනි, මේ සතර වන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස, අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කිරීමට නිසි මැ යි.
තවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මෙ කල සඞ්ඝ තෙමේ සමඟ වූයේ. සම්මොදමාන වූයේ, විවාද නො කරන්නේ, ඒකුද්දෙස ඇතියේ පහසු සේ වෙසෙයි. යම් හෙයෙකින් සඞ්ඝ බිඳේ නම් එ බඳු කලෙක් වෙයි. සඞ්ඝයා බුන් කල්හි බුදුරජුන්ගේ සසුන මෙනෙහි කරන්නට සුකර නො වේ. අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්ත සෙනසුන් හා සෙව්නට සුකර නො වේ. ඒ අනිෂ්ට අකාන්ත අමනාප ධර්‍මය මා කරා වහා එයි. එයට පෙර මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹම් මැයි. මම යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූයෙම් සඞ්ඝයා බුන ද පහසු සේ වෙසෙම් නම්, එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ පස් වන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැයි.
මහණෙනි, මේ පඤ්ච අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත් කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කිරීමට නිසි මැයි.
5. 2. 3. 9.
[තතියඅනාගතභය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, මේ අනාගතභය පස් දෙනෙක් දැන් නූපන්නාහු මතුයෙහි උපදිති. ඔහු තොප විසින් දතයුතු වෙති. දැන ද ඔවුන්ගේ ප්‍රහාණය සඳහා වැර වැඩිය යුතු ය. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, අනාගතකාලයෙහි නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ ප්‍රඥා ඇති භික්‍ෂුහු වෙති. නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ ප්‍රඥා ඇති ඔහු අන්‍යයන් උපසපන් කෙරෙති. ඔහු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි හික්මවීමට නො හැකි වෙති. ඔහුදු නො බැවූ කය ඇතියාහු නො බැවූ සිල් ඇතියාහු නො බැවූ සිත් ඇතියාහු නො බැවූ පැණ ඇතියාහු ම වෙති. අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වූ ම ඔහු ද අනුන්, උපසපන් කරත්. ඔහුදු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි හික්මවීමට නො හැකි වෙති. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. මහණෙනි, මෙසේ ධර්‍මසන්දූෂණයෙන් (ධර්‍මපරිහාණියෙන් ශමථවිදර්‍ශනා ධර්‍ම ගැබ්නොගැණීමෙන්) විනය සඤුෂණ ය (විනය පරිහාණිය වෙයි. විනයසන්‍දූෂණයෙන්) ධර්‍මසන්දූෂණ වෙයි. මහණෙනි, දැන් නූපන් මේ ප්‍රථම අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් දතයුතු ය දැන ද එ ප්‍රහාණ කරණු පිණිස ව්‍යායාම කටයුතු.
තවද මහණෙනි, අනාගතකාලයෙහි මහණහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන ඔහු අන් මහණුනට නිස දෙත්. ඔහු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි විනයනට නො හැකි වෙත්. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙත්. අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන ඔහු ද අන් මහණුනට නිස දෙත්. ඔහුදු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි විනයනට නො හැකි වෙත්. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැනු නූපන් මේ දෙවන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට ව්‍යායාම කටයුතු යි.
තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙත්. ඔහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන්නාහු ම අභිධර්‍මකථා හා ඥානප්‍රතිසංයුක්ත කථා කියන්නාහු කෘෂ්ණධර්‍මයට (උපාරම්භලාභසත්කාරපර්‍ය්‍යෙෂණ වශයෙන් අකුශලයට) බැස ගන්නාහු නො පිළිවිදුනාහ. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මේ තුන් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට ව්‍යායාම කටයුතු.
තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වන්නාහු ම ඔහු තථාගතභාෂිත වූ ගැඹුරු පෙළ ඇති, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තරධර්‍මදීපක, ශූන්‍යතාප්‍රතිසංයුක්ත, යම් ඒ සූත්‍රාන්තකෙනෙක් වෙත් නම්, ඔවුන් දෙසනු ලබන කල්හි ඇසුමට රුචි නො කෙරෙත්. කන් රුකොට නො ගණිත්. දැනුමට සිත් නො එළවත්. එ දහම් උගතයුතු කොට ප්‍රගුණ කටයුතු කොට නො සිතත්. කවීන් විසින් ගොතන ලද, කවියනට අයත්, විසිතුරු අකුරු ඇති, විසිතුරු වියඳුන් ඇති සස්නෙන් බැහැර ව ගියා වූ බැහැරිසව්වන් විසින් කියු යම් සූත්‍රාන්තකෙනෙක් වෙත් නම්, ඔවුන් දෙසනු ලබන කල්හි ඇසුමට රුචි කෙරෙත් කන් රුකොට ගණිත්. දැනුමට සිත් එළවත්. එ දහම් ද උගතයුතු කොට ප්‍රගුණ කටයුතු කොට සිතත්. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මේ සතර වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.
තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය වන, අභාවිතශීල වන, අභාවිතචිත්ත වන, අභාවිතප්‍රඥ වන, එ ස්ථවිරභික්‍ෂූහු සිවුපස බහුල කොට ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු නීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි පුරෝගාමී වන්නාහු ප්‍රකර්‍ෂවිවේකයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇත්තාහු අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නාහ. ඔවුන්ගේ පශ්චිමජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඒ පශ්චිමජන ද සිවුපස බහුල කොට ඇත්තේ, සස්න ලිහිල් කොට ගත්තේ, අවක්‍රමණයෙහි පූර්‍වඞ්ගම වූයේ, ප්‍රවිවේකයෙහි හළ වැර ධුර ඇතියේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වේ. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මෙ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.
මහණෙනි, මෙ කල නූපන් මේ පඤ්ච අනාගතභය මතුයෙහි උපදනාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතුහ. පිළිවිද ද ඔවුන් ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු යි.
5. 2. 3. 10.
[චතුත්‍ථඅනාගතභය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, දැන් නූපන් මේ අනාගත භය පස් දෙනෙක් මතුයෙහි උපදනාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතු වෙති. පිළිවිදත් ඔවුන් ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, අනාගතකාලයෙහි මහණහු සිවුරෙහි කල්‍යාණකාම වෙත්. චීවරයෙහි කල්‍යාණකාම වන ඔහු පාංශුකූලිකත්‍වය හැරපියත්. අරණ්‍යයන් ද වානප්‍රස්ථයන් ද ප්‍රාන්ත සෙනසුන් ද හැරපියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද වාස කරත්. සිවුරු හේතු කොට ද නන් වැදෑරුම් නොමනා අන්‍වෙෂණයට පැමිණෙත්. මහණෙනි, මෙ කල නූපන් මේ ප්‍රථම අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය දුර ලීමට වෑයම් කටයුතු.
තවද මහණෙනි, අනාගතයෙහි භික්‍ෂූහු පිණ්ඩපාතයෙහි කල්‍යාණකාම වෙති. පිණ්ඩපාතයෙහි කල්‍යාණකාම වන ඔහු පිඬු සිඟා යැපෙනසිල් ඇති බව හැර පියා වනයන් ද වානප්‍රස්ථ සෙනසුන් ද ගැඹුරු වල් ද හැර පියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද දිවගින් ප්‍රණීත රස සොයන්නාහු වාස කෙරෙත්. පිඬුවා හේතුයෙනුදු නන් වැදෑරුම් නො නිසි අන්‍වෙෂණයට වැටෙත්. මහණෙනි, මෙ කල නූපන් දෙවන අනාගතභය අනාගතයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුර ලීමට වෑයම් කටයුතු.
තවද මහණෙනි, අනාගතයෙහි භික්‍ෂූහු සෙනසුන්හි කල්‍යාණකාම වෙති. සෙනසුන්හි කල්‍යාණකාම වන ඔහු වෘක්‍ෂමූලිකත්‍වය හැරපියත් වනයන් ද වානප්‍රස්ථයන් ද ප්‍රාන්තසෙනසුන් ද හැරපියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද වාස කෙරෙත්. සෙනසුන් හේතු කොට ද අකෙවිහිත අප්‍රතිරූප අන්‍වෙෂණයට වැටෙත්. මහණෙනි, දැන් නූපන් තුන් වන අනාගතභය මතු උපදනේය. එය තොප විසින් පිළිවිදිය යුතු පිළිවිද ද එය දුර ලීමට වෑයම් කටයුතු.
තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු භික්‍ෂුණීශික්‍ෂමානා ශ්‍රාමණෙරයන් හා සසට ව වෙසෙත්. මහණෙනි, භික්‍ෂුණීශික්‍ෂමානා ශ්‍රාමණෙරයන් හා සසඟ ඇති වත් ම අනභිරත වූවාහු හෝ බඹසර සෙරෙත්. අන්‍යතර වූ හෝ සකිලිටි ඇවතකට පැමිණෙත්. සිකපද හෝ ප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට වැටෙත්” යන තෙල කැමැති විය යුතු. මහණෙනි, මෙ කල නූපන් මේ සතර වන අනාගතභය මතු ඇති වෙයි. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුරලීමට වෑයම් කටයුතු.
තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු ආරාමිකයන් හා ශ්‍රාමණෙරයන් හා සසට ව වසන්නාහ. ආරාමිකශ්‍රාමණෙරයන් හා සංසර්‍ගය ඇති වත් ම අනේකවිහිත වූ සන්නිධිකාරපරිභෝගයෙහි අනුයුක්ත ව වෙසෙති. පොළොව්හිදු (පෘථිවීඛනනයෙහිදු) හරිතයෙහිදු (රුක්වැල් ඈ සිඳුම්හිදු) ඖදාරික නිමිති (හැඟවීම්) පාළ කරත්. මහණෙනි, මෙ කල නූපන් මේ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුරලීමට ව්‍යායාම කටයුතු.
මහණෙනි, මෙ කල්හි නූපන්නාවූ මේ පඤ්ච අනාගතභය මතුයෙහි පාළ වන්නාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතුවහ. පිළිවිද ද ඔවුන් දුරලීමට ව්‍යායාම කටයුතු ය යි.
අනාගතභය වර්‍ගය තුන් වැනි යි.
එහි උද්දානය:
චේතෝ විමුත්ති සූත්‍ර දෙකෙක, ධම්මවිහාරී සූත්‍ර දෙකෙක, යෝධාජීව සූත්‍ර ද දෙකෙක, අනාගතභය සූත්‍ර සතරෙකැයි දශයෙකි.
4. ථේර වර්‍ගය
5. 2. 4. 1.
[රජනීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත තෙරමහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
රාගයට කරුණු වූ අරමුණෙහි රක්ත වෙයි. ද්වේෂයට කරුණු වූ අරමුණෙහි ද්විෂ්ට වෙයි. මෝහයට කරුණු වූ අරමුණෙහි මූඪ වෙයි. කෝපයට කරුණු වූ අරමුණෙහි කුපිත වෙයි. මදයට කරුණු වූ අරමුණෙහි මත්ත වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
රාගයට කරුණු වූ අරමුණෙහි නො ඇලෙයි. ද්වේෂයට කරුණු වූ අරමුණෙහි ද්වේෂ නො කරයි. මෝහයට කරුණු වූ අරමුණෙහි මුළා නො වෙයි. කෝපයට කරුණු වූ අරමුණෙහි නො කිපෙයි. මදයට කරුණු වූ අරමුණෙහි මත් නො වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත වූ ස්ථවිර මහණ සබ්‍රම්සරුන්හට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
5. 2. 4. 2.
[වීතරාග සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
අවීතරාග වෙයි. අවීතදෝස වෙයි. අවීතමෝහ වෙයි. ගුණමකු ද වෙයි. (-යුගග්‍රාහ ලක්‍ෂණ) පළාස ඇති වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
වීතරාග වෙයි. වීතදෝස වෙයි. වීතමෝහ වෙයි. ගුණමකු නො වූයේ ද වෙයි. පළාස නැතියේ ද වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
5. 2. 4. 3.
[කුහක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
(ත්‍රිවිධකුහනවස්තුයෙන් යුත්) කුහකයෙක් ද වෙයි. (ලාභනිඃශ්‍රිතසමුල්ලපනායෙන්) ලපක (උසස් කොට බිණුම් ඈ විසින් බණනුයේ) ද වෙයි. (ප්‍රත්‍යය සඳහා කරණ කායවාග්විඥප්ති සඞ්ඛ්‍යාත) නිමිති ඇතියේ ද වෙයි. (ලාභසත්කාර සඳහා කරණ) නිෂ්පෙෂණකථා (නොහමියෙ හි පරා ගුණ සුණු කරණ කථා) ඇතියේ ද වෙයි. ලාභයෙන් ලාභය සොයනුයේ ද වෙයි. මේ ධර්‍ම පසින් සමන්‍වාගත වූ ස්ථවිර මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
නො ද කුහක වෙයි. නො ද ලපක වෙයි. නො ද නෙමිත්තික වෙයි. නො ද නිප්පෙසික වෙයි. ලාභයෙන් ලාභ සොයනුයේ නො ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වේ ය යි.
5. 2. 4. 4.
[අස්සද්ධ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
සැදැහැ නැතියේ වෙයි. ලජ්ජා නැතියේ වෙයි. අපත්‍රපා නැතියේ වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
සැදැහැතියේ වෙයි. ලජ්ජා ඇතියේ වෙයි. අපත්‍රපා ඇතියේ වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. පැණැතියේ වෙයි. මහණෙනි, මේ පස් දහමින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
5. 2. 4. 5.
[අක්ඛම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
රූපාරම්මණයන් නො ඉවසනුයේ (එයින් අභිභූත) වෙයි. ශබ්දාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. ගන්‍ධාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. රසාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. ඵොට්ඨබ්බාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු තෙමේ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
රූපාරම්මණ ඉවසනුයේ (එයින් නො මැඩුනේ) වෙයි. ශබ්දාරම්මණ ඉවසනුයේ වෙයි. ගන්‍ධාරම්මණ ඉවසනුයේ වෙයි. රසාරම්මණ ඉවසනුයේ වෙයි. ඵොට්ඨබ්බාරම්මණ ඉවසනුයේ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
5. 2. 4. 6.
[පටිසම්භිදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
අර්‍ත්‍ථප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. ධර්‍මප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. නිරුක්තිප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. ප්‍රතිභානප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. සබ්‍රම්සරුන්ගේ කුදුමහත් යම් ඒ ඉතිකර්‍තව්‍යයෝ (කුම් කෙරෙම් දැයි පිළිවිස කළයුතු කටයුතු) වෙත් නම්, එහි දක්‍ෂ වූයේ අනලස වූයේ ඒ ඒ කරුණෙහි උපායභූත වීමංසාප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ (එය තමන්) කිරීමට සමර්‍ත්‍ථ වූයේ ද සංවිධානයට (අනුන් ලවා කරවීමට) සමර්‍ත්‍ථ වූයේ ද වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
5. 2. 4. 7.
[සීල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි. කවර පසෙකින යත්:
සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍රවරදෙහි භය දක්නාසුලු වූයේ වාස කරයි. සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ සන්නිවිත ශ්‍රැත ඇතියේ වෙයි. යම් ඒ ධර්‍මකෙනෙක් ආදිකල්‍යාණ වූවාහු මධ්‍යකල්‍යාණ වූවාහු පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු සාර්‍ත්‍ථ වූවාහු සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කොට පවසත් නම්, එ බඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, ධරණ ලද්දාහු, වචනයෙන් පරිචිත වූවාහු, මනසින් අනුප්‍රේක්‍ෂිත වූවාහු, ප්‍රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. කලණවදන් ඇතියේ කල්‍යාණවාක්කරණ ඇතියේ පිරිපුන් වූ අපළිබුද්ධ වූ නිදොස් වූ අර්‍ත්‍ථය හඳුන්වන වචනයෙන් සමන්‍වාගත වූයේ වෙයි. අධිචිත්තයෙහි උපදනා දිටුදැමියෙහි සුඛවිහරණ වූ සතරධ්‍යානයන් රිසි සේ ලබනුයේ සුවසේ ලබනුයේ විපුල කොට ලබනුයේත් වෙයි. ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති හා ප්‍රඥා විමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි.
මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි.
5. 2. 4. 8.
[ථේර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව් මිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර පසෙකින යත්:
චිරරාත්‍රඥ, පැවිදි බොහෝ කල් ඇති, (වටාලා හුනුබවට නොවැටෙනුයෙන් සස්නෙහි) ස්ථිරභාවයට පැමිණියේ වෙයි. ගිහි-පැවිද්දන් විසින් අභිඥාත, යශස්වී, බහුජනපරිවාර ඇතියේ ද වෙයි. සිවුරුපිඬුවාසෙනසුන් බෙහෙසත් පිරිකර ලබන සුල්ලේ ද වෙයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇතියේ ශ්‍රැතධර වූයේ, සන්නචිත ශ්‍රැත ඇතියේ, යම් ඒ ධර්‍මකෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු, සාර්‍ත්‍ථ වූවාහු, සව්‍යඤ්ජන වූවාහු කේවල පරිපූර්‍ණ වූ පිරිසිදු බඹසර ප්‍රකට කොට කියත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු, දරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු, සිතින් විමසන ලද්දාහු, ප්‍රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. විපරීත දර්‍ශන ඇතියේ මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ බොහෝ දෙන සදහමින් නංවා අසද්ධර්‍මයෙහි පිහිටුවයි. ‘මහණ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත ස්ථිර පැවිදි නමෙකැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘මහණ ගිහිපැවිද්දන් විසින් අභිඥාත යශස්වී වූ බොහෝ දෙන පිරිවර කොට ඇති ස්ථවිර නමෙකැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට යෙත්. ‘තෙර මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන සුලුයේ ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘බහුශ්‍රුත වූ ශ්‍රැතධර වූ ශ්‍රැතසන්නිචය ඇති ස්ථවිර මහණෙකැ’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට යෙත්.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවි මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු තෙමේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙවි මිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නේ වෙයි. කවර ධර්‍මපසෙකින යත්:
චිරරාත්‍රඥ, චිරප්‍රව්‍රජිත ස්ථිර මහණෙක් වෙයි. ගිහි පැවිද්දන් විසින් අභිඥාත, යශස්වී, බොහෝ පිරිවර ඇත්තේ වෙයි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන සුලුයේ ද වෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධරවූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ ද වෙයි. යම් ඒ ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු සාර්‍ත්‍ථ වූවාහු සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කොට කියත් නම්, එ බඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ධරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු ප්‍රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. අවිපරීතදර්‍ශන ඇතියේ සම්‍යග්දෘෂ්ටික වෙයි.
හේ බොහෝදෙන අසද්ධර්‍මයෙන් නංවා සද්ධර්‍මයෙහි පිහිටුවයි. චිරරාත්‍රඥ, චිර ප්‍රව්‍රජිත ස්ථිර මහණැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට ද පැමිණෙත්. ‘ස්ථවිර මහණ ගිහි පැවිද්දන් විසින් ඥාත ය, යශස්වී ය, බහුජනපරිවාර ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘ස්ථවිර මහණ ... ලාභී ය, ‘ස්ථවිර මහණ බහුශ්‍රුත ය ශ්‍රැතධර ය ශ්‍රැතසන්නිචය ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස දේවමනුෂ්‍යයනට හිත පිණිස සුව පිණිස පිළිපන්නේ වෙයි.
5. 2. 4. 9.
[පඨමසේඛ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මේ ධර්‍මයෝ පස්දෙනෙක් ශෛක්‍ෂ (සකරණීය) මහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ: කවර පස් දෙනෙක යත්:
නවකර්‍මයෙහි ඇලුම්ඇති බව ය, (ස්ත්‍රීපුරුෂවර්‍ණනාදි විසින් වැටෙන ආලාපසංලාපසඞ්ඛ්‍යාත) භාෂණයෙහි ඇලුම් ඇති බව ය, නිදීමෙහි ඇලුම් ඇති බව ය, ගණසඞ්ගණිකායේහි ඇලුම් ඇති බව ය, යථාවිමුක්තිචිත්තය (පැහු දොස්, ලැබූ ගුණ මේ යයි සලකා මතු ගුණ ලාභය පිණිස සිත මිදුනු පරිදි) ප්‍රත්‍යවේක්‍ෂා නො කෙරෙයි. (යනු යි.) මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ.
මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
කම්මාරාමතා නො වෙයි, භස්සාරාමතා නො වෙයි, නිද්දාරාමතා නො වෙයි, සඞ්ගණිකාරාමතා නො වෙයි, යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ.
5. 2. 4. 10.
[දුතියසේඛ සූත්‍රය]