මහණෙනි, යම් කලක් පටන් කොට මහණ චේතෝවිමුක්ත හා ප්‍රඥාවිමුක්ත හා වේ නම්, මහණෙනි, මෙ මහණ ‘උක්ඛිත්තපළිඝ’ය යි දු ‘සඞ්කිණ්ණපරඛ’ ය යි දු ‘අබ්බූළ්හෙසික’ ය යි දු ‘නිරග්ගළ’ ය යි දු ආර්‍ය්‍ය වූයේ පන්නද්ධජ වූයේ පන්නභාර වූයේ ‘විසංයුත්ත’ ය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් මහණ ‘උක්ඛිත්තපළිඝ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට අවිද්‍යා ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘උක්ඛිත්තපළිඝ’ වෙයි.
මහණෙනි, කිසෙයින් මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පුනර්‍භවදායක ජාතිසංසාරය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කෘත අභාව ඇතියේ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වෙයි.
මහණෙනි, කිසෙයින් මහණ ‘අබ්බූළ්හෙසික’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, කෘත අභාව ඇත්තී මතුයෙහි නො උපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘අබ්බූළ්හෙසික’ වෙයි.
මහණෙනි, කිසෙයින් මහණ නිරග්ගළ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පඤ්චඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇතියාහු තාලාවාස්තුකෘත වූවාහු කෘත අභාව ඇතියාහු මතුයෙහි නො උපදනා සැහැවි ඇතියාහු වෙත්. මහණෙනි, මෙසෙයින් මහණ නිරග්ගළ වේ යයි.
මහණෙනි, කිසෙයින් මහණ ආර්‍ය්‍ය වූයේ, පන්නද්ධජ වූයේ, පන්නභාර වූයේ විසංයුත්ත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට අස්මිමානය ප්‍රහීණ වූයේ, උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කෘත අභාව ඇතියේ, මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ පන්නද්ධජ වූයේ, පන්නභාර වූයේ විසංයුත්ත වෙයි.
5. 2. 3. 3.
[පඨමධම්මවිහාරී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, ‘ධම්මවිහාරී ය, ධම්මවිහාරී’ ය යි කියනු ලැබේ. වහන්ස, මහණ කෙතෙක් කරුණින් ධම්මවිහාරී වේ ද.?
මහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යි නවඟ විසින් චතුස්සත්‍යධර්‍මය වළඳ කෙරෙයි. හෙ එ ධර්‍මපර්‍ය්‍යාප්තියෙන් දවස ගෙවයි. පිළිසලන (ඒකීභාවය) හරියි. සිය සතන්හි සමාධිය (ශමථකර්‍මස්ථාන) නො වඩයි. මහණ, මෙ මහණ පර්‍ය්‍යාප්තිබහුල කොට ඇත්තේ ය, ධර්‍මවිහාරී නො ම වෙයි කියනු ලැබේ.
තව ද මහණ, භික්‍ෂූ යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් අන්හට දෙසයි. හෙ ඒ ධර්‍මසංඥාපනායෙන් දවස ගළවයි. පිළිසලන හරියි. සිය සතන්හි සමාධිය නො වඩයි. මහණ, මෙ භික්‍ෂූ සංඥප්තිබහුල කොට ඇත්තේ ය, ධර්‍මවිහාරී නො වේ යි කියනු ලැබේ.
තව ද මහණ, භික්‍ෂු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් හදාරනු කෙරෙයි. හෙ එ වාක්පරිචයෙන් දවස ගෙවයි. පිළිසලන හරියි. ආද්ධ්‍යාත්මිකචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණ, මෙ මහණ සජ්ඣායනා බහුල කොට ඇත්තේ ය, ධර්‍මවිහාරී නො වේ යි කියනු ලැබේ.
තව ද මහණ, භික්‍ෂු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කරයි. අනුවිචාරණ කරයි. මනසින් අනුප්‍රේක්‍ෂණා කරයි. හෙ එ ධර්‍මවිතර්‍කයෙන් දවස ගෙවයි. පිළිසලන හරියි. ආද්ධ්‍යාත්මිකචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණ, මෙ මහණ විතර්‍කබුහලයෙක, ධර්‍මවිහාරී නො වේ යි කියනු ලැබේ.
මහණ, මෙ සස්නෙහි භික්‍ෂු සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යන පර්‍ය්‍යාප්තීධර්‍මය ප්‍රගුණ කරයි. හෙ එ ධර්‍මපර්‍ය්‍යාප්තියෙන් දවස නො ගෙවයි. ඒකීභාවය නො හරියි. ආද්ධ්‍යාත්මිකචිත්තශමථයෙහි යෙදෙයි. මහණ, භික්‍ෂු මෙසේ ධර්‍මවිහාරී වෙයි.
මහණ, මෙසෙයින් මා විසින් පර්‍ය්‍යාප්තිබහුල කොට ඇති පුද්ගල දෙසන ලදි. සංඥප්තිබහුල කොට ඇති පුද්ගල දෙසන ලදි. සජ්ඣාය බහුල කොට ඇති පුද්ගල දෙසන ලදි. විතර්‍ක බහුල පුද්ගල දෙසන ලදි. ධර්‍මවිහාරී පුද්ගල දෙසන ලද්දේ ය.
මහණ, ශ්‍රාවකයනට (මෛත්‍රියෙන් උපසංහරණ විසින්) හිත කැමැති (කරුණායෙන්) අනුකම්පා කරණ ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යම් කරණී කළ යුතු වේ නම්, (පඤ්ච පුද්ගලයන් දෙසන) මා විසින් එය තොපට කරණ ලදි. මහණ, තෙල රුක්මුල් ඇත. තෙල ශුන්‍යාගාරයෝ ඇත. මහණ (ආරම්මණූපනිජ්ඣාන ලක්ඛණුපනිජ්ඣාන විසින්) ධ්‍යාන කරව (සමථවිපස්සනා වඩව). නහමක් පමා වව. නහමක් පසු විලිළිසර වව. මේ තොපට අපගේ අනුශාසනි ය යි.
5. 2. 3. 4.
[දුතියධම්මවිහාරී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. එකල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, ‘ධර්‍මවිහාරී ය, ධර්‍මවිහාරී’ ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් මහණ ධර්‍මවිහාරී ද?
මහණ, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක්, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල ය යි චතුස්සත්‍යධර්‍මය ප්‍රගුණ කරයි. (ඒ පර්‍ය්‍යාප්තියෙන්) මතුයෙහිදු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය සවිදර්‍ශනා මාර්‍ගප්‍රඥායෙන් නො දන්නේ ය. මහණ, මෙ මහණ පර්‍ය්‍යාප්තිබහුල ය, ධර්‍මවිහාරී නො වෙ යි කියනු ලැබේ.
තවද මහණ, භික්‍ෂු ඇසු පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය විස්තරවශයෙන් අන්‍යයනට දෙසන්නේ ය. ඉන් මත්තෙහි දු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ප්‍රඥායෙන් නො දැනගන්නේ ය. මහණ, මෙ මහණ සංඥප්තිය බහුල කොට ඇත්තෙක, ධර්‍මවිහාරී නො වෙ යි කියනු ලැබේ.
තවද මහණ, භික්‍ෂු ඇසු පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය විස්තරවශයෙන් සජ්ඣායනා කරයි. ඉන් මත්තෙහි දු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ප්‍රඥායෙන් නො දැන ගන්නේ ය. මහණ, මෙ භික්‍ෂු සජ්ඣායබහුලයෙක, ධර්‍මවිහාරී නො වේ ය යි කියනු ලැබේ.
තවද මහණ, භික්‍ෂු ඇසු පරිදි, පුහුණු කළ පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කන කරයි. අනුවිචරණ කරයි. මනසින් අනුප්‍රේක්‍ෂණ කරයි. ඉන් මත්තෙහිදු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ප්‍රඥායෙන් නො දැනගන්නේ ය. මහණ, මෙ මහණ විතර්‍කබහුලයෙක, ධර්‍මවිහාරී නො වේ ය යි කියනු ලැබේ.
මහණ, මෙ සස්නෙහි මහණ සූත්‍ර ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය , උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වෙදල්ල ය යන (පර්‍ය්‍යාප්ති) ධර්‍මය ප්‍රගුණ කරයි. මතුයෙහි දු ප්‍රඥායෙන් ඒ ධර්‍මයාගේ අර්‍ත්‍ථය දැන ගන්නේ ය. මහණ, මෙසෙයින් මහණ ධර්‍මවිහාරී වෙයි.
මහණ, මෙසෙයින් මා විසින් පර්‍ය්‍යාප්තිබහුලයා දෙසන ලද්දේ ය. සංඥප්තිබහුලයා දෙසන ලද්දේ ය. සජ්ඣායබහුලයා දෙසන ලද්දේ ය. විතර්‍කබහුලයා දෙසන ලද්දේ ය. ධර්‍මවිහාරියා දෙසන ලද්දේ ය.
මහණ, සව්වනට හිත කැමැති අනුකම්පා කරණ ශාස්තෘහු විසින් අනුකම්පාව නිසා යමෙක් කටයුතු වේ නම්, එය තොපට මා විසින් කරණ ලදි. මහණ, තෙල වෘක්‍ෂමූලයෝ ය. තෙල ශුන්‍යාගාරයෝ ය. මහණ, ධ්‍යාන කරව. නහමක් පමා වව. පසු විපිළිසර නො වව. මේ තොපට මාගේ අනුශාසනි යි.
5. 2. 3. 5.
[පඨමයෝධාජීවූපම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, ලොව්හි මේ යොධාජීවයෝ පස් දෙනෙක් විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් (ඇත් අස් ආදීන්ගේ පාපහරින් බුන් බිමින් නැඟි) රජස් ස්කන්‍ධ ම දැක ගැලෙයි. (නොසැලී සිටිනු නොහැකි වෙයි.) වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ බඳු වූ ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, මෙ ලොව්හි විද්‍යමාන වන මේ ප්‍රථම යුද්ධොපජීවියා වෙයි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය (දැක ද) ඉවසන්නේ ය. වැලිත් (ඇත් අස් පිටෙහි හෝ රියෙහි නැඟු) ධ්වජාග්‍රය ම දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ දෙවන යුද්ධොපජීවි යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ම ඉවසන්නේ ය. එහෙත්, (ඇත්අස්රියසෙන් ආදීන්ගේ) මහාශබ්දය ම අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මෙ තුන් වන යුද්ධොපජීවි යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය (ඇත් අස් ආදීන් ගේ මහහඬ) ඉවසන්නේ ය. වැලිදු සපැමිණි ස්වල්ප ප්‍රහාරයෙහිදු විඝාතයට යෙයි. විකෘතියට පත් වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ සතර වන යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. සම්ප්‍රහාරය ඉවසන්නේ ය. හේ ඒ සඞ්ග්‍රාමය දිනා දිනූ සඞ්ග්‍රාම ඇතියේ එ ම සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි (සත්දිනක් පමණ ඉසුරු සුඛ විඳිමින්) වෙසෙයි. මහණෙනි, මෙ ලොව්හි මේ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ පස් වන යෝධාජීව යි.
මහණෙනි, මේ යොධාජීවයෝ පස් දෙන ලොව්හි විද්‍යමාන වෙත්.
මහණෙනි, එසෙයින් ම භික්‍ෂූන් කෙරෙහි විද්‍යමාන වන මේ යෝධාජීවොපම පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රජස්ස්කන්‍ධය ම දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. බඹසර (නොසිඳ) රක්නට නොහැකි වෙයි. ශික්‍ෂායෙහි දුබල බව පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට හුනු (ගිහී) බවට පෙරළෙයි. ඔහට රජස්ස්කන්‍ධය නම් කිමෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අසෝ ගම්හි වේවයි, නියම්ගම්හි වේවයි, ස්ත්‍රියක් වේවයි, කුමරියක් වේවයි, ‘විශිෂ්ට රූ ඇත්තී ය, දර්‍ශනීය ය, ප්‍රසාදජනක ය, උත්තමශරීරවර්‍ණ හා අඞ්ගවින්‍යාසයෙන් සමන්‍වාගතය’යි අසයි. හේ එ අසා (මිථ්‍යාවිතර්‍කයෙහි) ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. පැවිද්දෙහි නො සිටුනේ ය. බඹසර (නොසිඳ) රක්නට නොසමත් වෙයි. ශික්‍ෂායෙහි දුබල බව පාළ කොට හුනු බවට පෙරළෙයි. මෙ ඔහට රජස්ස්කන්‍ධ යි.
මහණෙනි, යම් පරිදි එ යෝධාජීව රජස්ස්කන්‍ධය දැක ගැලෙන්නේ වේ ද, වෙසෙසින් ගැලෙන්නේ වේ ද, ධෘතිමත් ව නො සිටුනේ වේ ද, සඞ්ග්‍රාමයට බස්නට නො හැකියේ වේ ද, මහණෙනි, මම මෙ පුඟුලා එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ ප්‍රථම යෝධාජීවොපමපුද්ගල යි.
තවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. වැලිත් ධ්වජාග්‍රය ම දැක ගැලෙන්නේ ය. වෙසෙසින් ගැලෙන්නේ ය. ධෘතිමත් ව නොසිටුනේ ය. බඹසර ගළවනුවට (නොසිඳ රක්නට) නො හැකි වෙයි. ශික්‍ෂායෙහි දුබල බව පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළෙයි. ඔහට ධ්වජාග්‍ර නම් කිමෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අසෝ ගම්හි හෝ නියම්ගම්හි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් අභිරූප ය, දර්‍ශනීය ය, ප්‍රසාදජනක ය, උතුම් ශරීරවර්‍ණ හා අඞ්ගසණ්ඨානයෙන් සමන්‍වාගත ය යි නො ම අසන්නේ ය. වැලිදු තෙමේ ම අභිරූප ඇති දැකුම්කලු පහන් එළවන උතුම් රූ සපු අවයව සැරැසිල්ලෙන් යුත් ස්ත්‍රියක වේවයි කුමරියක වේවයි දක්නේ ය. හේ ඇය දැක ගැලෙන්නේ ය. වෙසෙසින් ගැලෙන්නේ ය. ධෘතිමත් ව නො සිටුනේ ය. බඹසර රක්නට නො පොහොසත් ය. ශික්‍ෂායෙහි දුර්‍වලභාවය පාළ කොට සික හැර දමා හුනුබවට නවත්නේ ය (පෙරළෙයි). මෙ ඔහට ධ්වජාග්‍ර යි.
මහණෙනි, යම් පරිද්දෙකින් එ යෝධාජීව රජස්කඳ ඉවසන්නේ වේ ද, වැලිත් ධ්වජාග්‍රය ම දැක ගැලෙන්නේ වේ ද, වෙසෙසින් ගැලෙන්නේ වේ ද, ධෘතිමත් ව නො සිටුනේ වේ ද, සඞ්ග්‍රාමයට බස්නට නො හැකියේ වේ ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මෙ දෙවන යෝධාජීවොපම පුද්ගල යි.
තවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේය. වැලිත් උස්රණහඬ ම අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේය. බඹසර රක්නට නො පොහෝනේ ය. ශික්‍ෂායෙහි දුබල බව ප්‍රකට කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනත්‍වයට වටාලා යෙයි. ඔහට උස්සාදනය නම් කිමෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූලගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ අවහාස විසින් සිනාසෙයි. උල්ලපනා (හුවාබිණීම) කරයි අත් පැහැර මහ සිනා සෙයි. වෙළෙවයි (උප්පණ්ඩන-විසුළුකථා කෙරෙයි). හේ මාගම විසින් අවහාස විසින් සිනාසෙන ලදුයේ උල්ලපනා කරණ ලදුයේ, මහහඬින් සිනාසෙන ලදුයේ, වෙළෙවන ලදුයේ කාමරාග විසින් ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. බඹසර රක්නට නොසමත් වෙයි. ශික්‍ෂායෙහි දුර්‍වලභාවය ප්‍රකට කොට සික හැර පියා හීනභාවයට පෙරළා වැටෙයි. මෙ ඔහට උස්සාදනා යි
මහණෙනි, යම් පරිදි එ යෝධාජීව රජස්කඳ ඉවසන්නේ ද, ධ්වජාග්‍රය ඉවසන්නේ ද, වැලිත් උස්සාදනය ම අසා සංසීදන (ගැලීම) කෙරේද, විසීදන (වෙසෙසින් ගැලීම) කෙරේ ද, ධෘතිමත් ව නොසිටුනේ වේ ද, සඞ්ග්‍රාමයට බස්නට නොහැකි වේද, මහණෙනි, මෙ පුඟුල් මම එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ද ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ තුන් වන යෝධාජීවොපම පුද්ගල යි.
තවද මහණෙනි, මහණ රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. වැලිත් සම්ප්‍රහාරයෙහි දී විඝාතයට යෙයි. විකෘතියට පැමිණෙයි. ඔහට සම්ප්‍රහාරය කිමෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූලගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ භික්‍ෂූහු කරා මාගම සමීපස්ථ ව හිඳියි. ගැටී හොවියි. මතුයෙහි වැතිර ගණී. හේ මාගම විසින් සමීප ව හිඳිනු ලැබුයේ, ගැටී හොවිනු ලැබුයේ, වැතිර ගණු ලැබුයේ සිකපද නො හැර පියා දුබල බව පාළ නො කොට මෙවුන්දම් ප්‍රතිසේවනා කරයි. මෙ ඔහට සම්ප්‍රහාරය යි.
මහණෙනි, යම් පරිද්දෙකින් ඒ යෝධාජීව රජස් කඳ ඉවසා ද, ධ්වජාග්‍රය ඉවසා ද, උස්සාදනය ඉවසා ද, වැලිත් සම්ප්‍රහාරයෙහි ලා විඝාතයට යේ ද, ප්‍රකෘතිභාවය හරණේ ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූ ද ඇතැම් පුද්ගලයෙක් වෙයි. මහණෙනි, භික්‍ෂූහු අතුරෙහි විද්‍යමාන වන මේ සතර වන යෝධාජීවොපම පුද්ගල යි.
තවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. පහර ඉවසන්නේ ය. හේ ඒ සඞ්ග්‍රාමය දිනා, දිනූ සඞ්ග්‍රාම ඇතියේ එ ම සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි වෙසෙයි. ඔහට සඞ්ග්‍රාමවිජය කිමෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරණට ගිය හෝ රුක්මුලට ගිය හෝ ජන ශූන්‍යාගාරයට ගිය හෝ මහණකු කරා මාගමක් එළඹ ලංව හිඳින්නී ය. ගැටී හෝනී ය. යට කොට වැතිර ගන්නී ය. හේ මාගමක විසින් ලංව හිඳිනු ලබනුයේ, හෝනා ලබන්නේ, යට කොට වැතිරෙණු ලබන්නේ අත්වෙළුම් හැර ගෘහීත ග්‍රහණය මුදා ගෙණ යම් ම තැනකට කැමැති සේ යෙයි.
හේ අරණ්‍ය ය, රුක්මුල ය, පර්‍වත ය, කඳුරු ය, ගිරිගුහා ය, සොහොන ය, වනපෙත් ය, අබවස ය, පිදුරු කිළි ය යන විවික්ත ශයනාසනය සෙවුනේ ය. හේ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, හිස් ගෙයට ගියේ වේවයි පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා කමටහන් අබිමුව කොට සිහිය පිහිටුවා හිඳුනේ ය. හේ (පඤ්චෝපාදානස්කන්‍ධසඞ්ඛ්‍යාත) ලෝකයෙහි අභිධ්‍යාව හැරපියා (විෂ්කම්භනා විසින්) දුරු වූ අභිධ්‍යායෙන් යුත් සිතින් වාස කරයි. අභිධ්‍යායෙන් සිත මුදන්නේ ය. ව්‍යාපාදප්‍රද්වේෂ හැරපියා ව්‍යාපාදයට නො පත් සිතැතියේ, සර්‍වප්‍රාණි ගණයා කෙරෙහි හිතානුකම්පා ඇතියේ, වාස කරයි. ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය හැරපියා පහ වූ ථීනමිද්ධ ඇතියේ, ආලෝකසංඥා ඇතියේ, ස්මෘතිමත් වූයේ, සම්ප්‍රඥාන ඇතියේ වසයි. ථීනමිද්ධයෙන් සිත මුදයි. උද්ධච්චකුක්කුච්චය හැරපියා උද්ධත නොවූයේ, අධ්‍යාත්මයෙහි සන්හුන් සිතැතියේ වාස කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව හැරපියා තුණු විචිකිච්ඡා ඇත්තේ, කුශලධර්‍මයෙහි කථංකථභාව නැතියේ වාස කරයි. විචිකිච්ඡායෙන් සිත මුදාලයි.
හේ චිත්තයට උපක්ලේශ වන ප්‍රඥාව දුර්‍වල කරණ, මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයන් කෙරෙන් වෙන් ව ම … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කරයි.
හේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වත් ම, පර්‍ය්‍යවදාත වත් ම, අඞ්ගණ නැති වත් ම, පහ වූ උපක්ලේශ ඇති වත් ම, මෘදු වත් ම, කර්‍මණ්‍ය වත් ම, ස්ථිත වත් ම, නොසැලෙන බවට පත් වත් ම ... ආස්‍රවක්‍ෂයඥානය සඳහා චිත්තය නැඹුරු කෙරෙයි.
හේ මේ (පඤ්චස්කන්‍ධය) දුකැයි ඇති සැටි දන්නේ ය. මේ (තෘෂ්ණාව) දුඃඛ සමුදය යි ඇති සැටි දන්නේ ය. මේ (නිර්‍වාණය) දුඃඛ නිරෝධය යි ඇති සැටි දන්නේ ය. මේ (අරී අටඟි මග) දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපද් ය යි ඇති සැටි දන්නේ ය. මොහු ආස්‍රවයහ යි යථාභූතය දන්නේ ය. මේ ආස්‍රව සමුදය යි යථාභූතය දන්නේ ය. මේ ආස්‍රව නිරෝධ ය යි යථාභූතය දන්නේ ය. මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපද් ය යි යථාභූතය දන්නේ ය. මෙසෙයින් දන්නහුගේ චිත්තය කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. මෙසේ මිදුනු කල්හි විමුක්තය යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ විය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලදි. සිවු මඟ කරණී කරණ ලදි. පිළි මෙ බවට නො එමී දන්නේ ය. මෙ ඔහට සඞ්ග්‍රාමවිජය යි.
මහණෙනි, යම් පරිද්දෙකින් යෝධාජීවයෙක් රජස් කඳ ඉවසන්නේ ද, ධ්වජාග්‍රය ඉවසන්නේ ද, උස්සාදනය ඉවසන්නේ ද, සම්ප්‍රහාරය ඉවසන්නේ ද, හේ එ සඞ්ග්‍රාමය දිනා දිනූ සඞ්ග්‍රාම ඇතියේ, එ සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි වෙසෙයි. මහණෙනි, මම මෙ පුද්ගලයා එ බඳු යයි කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූ ද, ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, මහණුන් අතුරෙහි විද්‍යමාන වන මේ පස් වන යෝධාජිවොපම පුද්ගල යි.
මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ යෝධාජීවොපම පුද්ගලයෝ පස් දෙන යි.
5. 2. 3. 6.
[දුතියයොධාජීවූපම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ යුද්ධාජීවිහු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුනු හියොවුරු සදාගෙණ සේනාව්‍යුහසංවිධාන විසින් සන්නිවිෂ්ට වූ සඞ්ග්‍රාම භූමියට වදනේ ය. හේ එ සඞ්ග්‍රාමයෙහි යුද විසින් උත්සාහ කෙරෙයි. ව්‍යායාම කෙරෙයි. සතුරෝ එසේ උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල පුඟුල් නසත්, මරණයට පමුණුවත්. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ ප්‍රථම යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුහුහියොවුරු සදාගෙණ දෙපස මුළුදුන් සඞ්ග්‍රාමභූමියට වදනේ ය. හේ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. පරහු ඒ උත්සාහ කරණ, ව්‍යායාම කරණ, තෙල (යෝධාජීව) පුඟුල් විදිත්. (පරහු) තෙල පුඟුල් (සියසෙන් කරා) හැර ගෙණ යත්. හැර ගෙණ ගොස් ඥාතීන් වෙත පමුණුවත්. (ඥාතීන් විසින් සියගෙට හෝ තෙසු ඥාතීන් වෙත) ගෙණ යනු ලබන හේ ඥාතීන් වෙත නො පැමිණ ම අතුරුමඟ කලුරිය කෙරෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ දෙවන යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුනුහියොවුරු සදාගෙන දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමභූමියට බස්නේ ය. හේ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි. ව්‍යායාම කරයි. සතුරහු උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ. තෙල යෝධාජීවයා හැරැගෙණ යත්. හැරැගෙණ ගොස් ඥාතීන් කරා පමුණුවත්. ඥාතීහු තෙල යෝධාජීවයා උපස්ථාන කරත්. මෙහෙයින වටත්. හේ නෑ සබඳුන් විසින් වටනු ලබනුයේ, මෙහෙයින් වටනු ලබනුයේ එ ආබාධයෙන් ම කලුරිය කරයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ තෙවන යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් කඩු හා පලින් ගෙණ දුනු හා හියොවුරු සදාගෙණ උභයසෙනායෙන් මුළුදුන් සඞ්ග්‍රාම භූමියට බස්නේ ය. හෙ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. අමිත්‍රයෝ ඒ උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ. තුලුන් හැරැගෙණ යෙත්. හැරැගෙන ගොස් නෑයනට දක්වා දෙත්. නෑ සබඳහු තුලුනට උවටැන් කරත්. මෙහෙ කරත්. හෙ නෑයන් විසින් වටනු ලබන්නේ මෙහෙ කරණු ලබන්නේ එ ආබාධයෙන් නැඟෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, මෙ ලොව්හි විද්‍යමාන වන මේ සතර වන යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුහුහියොවුරු සදාගෙණ දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමයට බස්නේ ය. හේ එ සඞ්ග්‍රාමය දිනා දුනු සඞ්ග්‍රාම ඇතියේ එ ම සඞ්ග්‍රාමභූමියෙහි සතුරන් වැඩ වෙසෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ පස් වන යුද්ධොපජීවි යි.
මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ යෝධාජිවයෝ පස්දෙනහ.
මහණෙනි, එසෙයින් ම භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ යෝධාජීවයන් බඳු පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් අන්‍යතර ග්‍රාමයක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වෙසෙයි. හෙ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම් ගමට හෝ නො රක්නා ලද ම කයින් නොරක්නා ලද වචනයෙන් නොරක්නා ලද සිතින් නො එළඹ සිටි කාගියා සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් පිඬු පිණිස වදනේ ය. හේ එහි වසඩක් නො වසා හැඳි හෝ වසඩක් නො වසා පෙරෙවි හෝ මාගමක් දක්නේ ය. නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ එ මාගම දැක රාගය ඔහුගේ (ශමථ-විදර්‍ශනා) සිත (අරමුණින්) බැහැරලයි. රාගය විසින් අනුද්ධස්ත සිතින් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දුබල බව පාළ නො කොට මෙවුන්දම් සෙවුනේ ය.
මහණෙනි, එ යෝධාජීව යම් පරිද්දෙකින් කඩු පලින් රැගෙණ දුනු හියොවුරු සදාගෙණ ව්‍යුඪසඞ්ග්‍රාමයට වදනේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරේ ද, ව්‍යායාම කෙරේ ද, වෛරීහු උත්සාහ කරණ ව්‍යායාම කරණ යෝධාජීවයා නසත්, දිවි ගළවත්. මහණෙනි, මම මෙ පුද්ගලයා එ බඳු උපමා ඇති කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ ප්‍රථම යෝධාජීවොපම පුද්ගල යි.
තවද මහණෙනි, මහණ අන්‍යතර ග්‍රාමයක් හෝ නිගමයක් හෝ ඇසුරු කොටගෙන වාස කරයි. හේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම්ගමට හෝ නො රක්නාලද ම කයින් නොරක්නා ලද ම වචනයෙන් නොරක්නා ලද ම සිතින් නො එළැවූ (කාගියා) සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් යුක්ත ව පිඬු පිණිස වදනේ ය. හේ එහි නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ මාගමක් දක්නේය. නො සකස් කොට හැඳියා වූ හෝ නො සකස් කොට පෙරෙවියා වූ හෝ මාගම දැකීමෙන් රාගය ඔහුගේ ශමථවිදර්‍ශනාචිත්තය (අරමුණෙන්) නෙරාලයි. රාගානුද්ධස්තචිත්තයෙන් යුත් හේ කයින් දැවේමය. සිතින් දැවේමය. ඔහට මෙබඳු සිතෙක් වෙයි: මම ආරාමයට ගොස් “ඇවැත්නි, මම රාගයෙන් රක්ත වූයෙමි. (සර්‍පදෂ්ටයකු සෙයින්) රාගයෙන් මඩනාලදුයෙම් වෙමි. බඹසර රක්නට නො හැකියෙමි. දුර්‍වලභාවය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට වැටෙමි යි භික්‍ෂූන්ට කියන්නෙම් නම් මනා මැනු”යි. හේ ආරාමයට යනුයේ අරමට නො පැමිණ ම අතරමඟ ශික්‍ෂායෙහි දෞර්‍වල්‍යය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනුබවට වැටෙයි.
මහණෙනි, යම් පරිදි එ යෝධාජීව කඩු පලිස් රැගෙණ දුනු හියොවුරු සදාගෙණ සේනා වින්‍යාස ඇති යුදබිමට බස්නේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි. ව්‍යායාම කෙරෙයි. උත්සාහ කරණ ව්‍යායාම කරණ තුලුන් සතුරෝ විදිත්. විත්කෑ තුලුන් සියසෙන් කරා ගෙණ යත්. ඉන් ඉවත් කොට ගෙණ නෑයන් වෙත පමුණුවත්. හෙ නෑයන් විසින් (සියගෙට හෝ තෙසු නෑයන් වෙත) ගෙණ යනු ලබන්නේ ඥාතීන් වෙත නො පැමිණ ම අතරමඟ කලුරිය කෙරෙයි ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙබඳුවූ ද ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මෙ දෙවන යෝධාජීවොපම පුද්ගල යි.
තවද මහණෙනි, මහණ එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වෙසේ. හෙ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ එ ම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස නො රක්නා ලද කාදොරින් නො රක්නා ලද විසිදොරින් නො රක්නා ලද මනදොරින් නො එළවූ කාගියා සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් පිවිසෙයි. හෙ එහි නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙව ගත් හෝ මාගමක දක්නේ ය. නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙව ගත් හෝ එ මාගම දැක රාගය ඔහුගේ විදසුන් සිත දුරලයි. හෙ රාගයා විසින් නැසූ සිතින් යුක්ත ව කයින් දැවේ ම ය. සිතින් දැ වේ ම ය. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ආරාමයට ගොස් ‘ඇවැත්නි, රාගයෙන් රත්වූයෙම් රාගයෙන් මැඩුනෙම් වෙමි. බඹසර රක්නට නො හැකියෙම් වෙමි. ශික්‍ෂායෙහි දෞර්‍බල්‍ය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි’යී භික්‍ෂූන්ට සැළ කරන්නෙම් නම් මනා මැනු”යී. හෙ අරමට ගොස් “ඇවැත්නි, රාගයෙන් රත්වූයෙම් රාගයෙන් මැඩුනෙම් වෙමි. බඹසර රක්නට නො හැකියෙමි. ශික්‍ෂායෙහි දෞර්‍බල්‍යය පාළ කොට ශික්‍ෂ්‍යාප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට වැටෙමි”යි භික්‍ෂූන්ට සැළ කරයි.
තෙල මහණහට සබ්‍රම්සරහු “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාද ඇතියහ යි, බොහෝ දුක් ඇතියහ යි (උපක්ලේශසාධකවන බැවින්) බොහෝ උපායාස ඇතියහ යි, මෙහි (උපද්‍රවාධිෂ්ඨ වන බැවින්) ආදීනව බෙහෙවැ යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (අල්පාස්වාද වන බැවින්) ඇටසැකිල්ලක් වැනිය හ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතිය හ යි, මෙහි ආදීනව බෙහෙවැ යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (බහුසාධාරණ වන බැවින්) මාංසපේශී බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැ යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (දහනකෘත්‍යසාධක වන බැවින්) තෘණොල්කෝපමයහ (තණ හුලක් බඳුහ) යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (මහාභිතාපකරවන බැවින්) අඟුරුවළක් බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (ඉත්‍වර ව වැටහෙන බැවින්) සිහිනයක් බඳුහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (තාවත්කාලික වන බැවින්) යාචිතකෝපමයහ (ඉල්වා ගත්තක් බඳුහ)යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (අඟ පසඟ බිඳලන බැවින්) වෘක්‍ෂඵලෝපමයහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (අධිකුට්ටනාර්‍ත්‍ථයෙන්) මස්ලොඹු බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (විනිර්වේධනාර්‍ත්‍ථයෙන්) ශක්තිශුලොපමයහ යි, (අඩයටි හුල් බඳුහ යි), බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (සප්‍රතිභයාර්‍ත්‍ථයෙන්) සර්‍පමුඛ බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. ආයුෂ්මත් තෙමේ බඹසරෙහි ඇලුම් කෙරේවා. ආයුෂ්මත් ශික්‍ෂායෙහි දෞර්‍බලය්‍ය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට නහමක් වැටේවා”යි ඔවා දෙත් අනුශාසනා කරත්.
හෙ සබ්‍රම්සරුන් විසින් මෙසෙයින් ඔවා දෙනු ලබනුයේ, මෙසෙයින් අනුසස්නා ලබනුයේ, මෙසේ කියයි: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාදයහ, බොහෝ දුක් ඇතියහ, බොහෝ උපායාස ඇතියහ, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලද, වැලිත් මම් බඹසර රක්නට නො හැකියෙමි. ශික්‍ෂාහි දුබලබැව් පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙමි”යි. හෙ ශික්‍ෂායෙහි දෞර්‍බල්‍යය පහළ කොට ශික්‍ෂා හැරපියා හුනු බවට වැටෙයි.
මහණෙනි, යම් පරිදි එ යෝධාජීව කඩු පලිස් ගෙණ දුනු හියොවුරු සදා ගෙණ සේනානිවේශනයෙන් සිටි සඞ්ග්‍රාමයට බස්නේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි, ව්‍යායාම කෙරෙයි, සතුරෝ උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ, ඔහු බැහැර ගෙණ යත්, ගෙණ ගොස් නෑයන් වෙත පමුණුවත්, ඥාතීහු ඔහු වටත්, මෙහෙ කරත්, හෙ නෑයන් විසින් වටනු ලබනුයේ, මෙහෙ කරණු ලබනුයේ ඒ ආබාධයෙන් ම කලුරිය කරයි ද, මහණෙනි, මෙ පුඟුල් ඔහු වැනිය යි මම කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ද ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මෙ තුන් වන යෝධාජිවොපම පුද්ගල යි.
තවද මහණෙනි, මහණ එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වෙසේ. හෙ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම්ගමට හෝ නො රක්නා ලද කයින් ම නො රක්නා ලද වචනයෙන් ම නො රක්නා ලද සිතින් ම නො එළඹ සිටි කාගියා සිහියෙන් ම අසංවෘත ඉන්‍ද්‍රියයෙන් පිඬු පිණිස වන්නේ ය. හෙ එහි නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ මාගමක දක්නේ ය. නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ එ මාගම දැක්මෙන් රාගය ඔහුගේ සිත (විදසුන් අරමුණින්) නෙරයි. හෙ රාගයෙන් ධර්ෂිත සිත් ඇතියේ කයින් දැවේමැයි, සිතින් දැවේමැයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි:
“මම ආරාමයට ගොස් ‘ඇවැත්නි, රාගයෙන් රක්ත වූයෙමි, රාගයෙන් මැඩුනෙම් වෙමි. බඹසර (නො සිඳ) රක්නා නො පොහොසත්මි. ශික්‍ෂායෙහි දෞර්‍බල්‍යය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට පැමිණෙමි’යි භික්‍ෂූන්ට සැළ කෙරෙම් නම් මැනැවැ”යි. හෙ අරමට ගොස් භික්‍ෂූන්ට සැළ කරයි: “ඇවැත්නි, රාගයෙන් රක්ත වූයෙමි, රාගයෙන් මැඩුනෙම් වෙමි. බ්‍රහ්මචර්‍ය්‍යය (නො සිඳ) රක්නට නොපොහොසත්මි. ශික්‍ෂායෙහි දෞර්‍බල්‍යය ප්‍රකට කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙමි”යි.
තෙල මහණ හට සබ්‍රම්සරහු ඔවා දෙත්, අනුශාසනා කෙරෙත්: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාදයහ යි, බොහෝ දුක් ඇතිහය යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අස්තිකඞ්කාල වැන්නහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මාංසපේශියක් වැනියහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ තණසුළු වැනි ය යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඞ්ගාරකර්ෂූපමයහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ස්වප්නෝපමයහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ පිරුළු අළ දැයක් (යැද ඉල්වා ගන්නා ලද්දක්) වැනියහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ වෘක්‍ෂඵල වැනියහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අසිසූනෝපමයහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ශක්තිශුල වැනියහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්‍පමුඛ වැනියහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. ආයුෂ්මත් බඹසරෙහි ඇලුම් කෙරේවා. ආයුෂ්මත් ශික්‍ෂායෙහි දෞර්‍බලය ප්‍රකට කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට නහමක් වැටේවා”යි. හෙ සබ්‍රම්සරුන් විසින් මෙසේ ඔවා දෙනු ලබනුයේ මෙසේ අනුසස්නා ලබනුයේ මෙසේ කියයි: “ඇවැත්නි, උත්සාහ කරණෙම්. ඇවැත්නි, ධරණෙම්. ඇවැත්නි, සිත් අලවනෙම්. ඇවැත්නි, මම දැන් ශික්‍ෂායෙහි දෞර්‍බල්‍යය පහළ කොට සිකපද හැරපියා හීනත්‍වයට නො වැටෙන්නෙමි”යි.
මහණෙනි, යම් පරිදි එ යෝධාජීව කඩුපලිස් ගෙණ දුනුහියොවුරු සදාගෙණ ව්‍යූඪසඞ්ග්‍රාමයට වදනේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි, ව්‍යායාම කෙරෙයි. සතුරෝ උත්සාහ කරණ ව්‍යායාම කරණ ඔහු විදිත්. ඔහු සියසෙන් වෙත ගෙණ යත්, ගෙණ ගොස් නෑයනට පමුණුවත්, නෑයෝ තෙල යෝධාජීවයා වටත්, මෙහෙ කරත්, හෙ නෑයන් විසින් වටනු ලබනුයේ, මෙහෙ කරණු ලබනුයේ, එ ආබාධයෙන් නැගිටුනේ ද, මහණෙනි, මම මෙ පුඟුල් ඔහු බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූ ද ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතර විද්‍යමාන වන මේ සතර වන යෝධාජීවොපම පුද්ගල යි.
තවද මහණෙනි, මහණ එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වෙසෙයි. හෙ පෙරවරුයෙහි හැඳ පාසිවුරු ගෙණ එ ගමට හෝ නියම්ගමට හෝ රක්නා ලද කයින් රක්නා ලද වචනයෙන් රක්නා ලද සිතින් එළඹ සිටි කාගියාසිහියෙන් සංවෘත ඉන්‍ද්‍රියයෙන් පිඬු පිණිස පිවිසෙයි. හෙ ඇසින් රූපයක් දැක නිමිති නො ගන්නා සුලුයේ, අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත කොට වාස කරණ තෙල පුඟුල් කරා ලාමක අකුශලධර්‍ම වූ අභිද්ධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු වෙත් නම්, එහි සංවරණ පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධයක් දැන ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්පර්‍ශය පැහැස ... මනසින් ධර්‍මායතන දැන නිමිති නො ගන්නා සුලුයේ, අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රියය අසංවෘත කොට වාස කරණ තෙල මහණ කරා ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු වෙත් නම්, එහි සංවරණ පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රියය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
හෙ පසුබත්හි පිඬුවායෙන් පෙරළා ආයේ විවික්තශයනාසන වූ අරණ්‍ය ය වෘක්‍ෂමූල ය පර්‍වත ය කන්‍දරය ගිරිගුහා ය ශ්මශාන ය වානප්‍රස්ථ ය අභ්‍යවකාශ ය පලාලපුඤ්ජ ය බෙජේ හෙ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා හිඳුනේ ය. හෙ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට ... හෙ චිත්තයාගේ උපක්ලේශ වූ ප්‍රඥාවගේ දුර්‍වලකරණ පඤ්චනීවරණ ධර්‍මයන් දුරු කොට කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කරයි.
හෙ මෙසෙයින් සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, පර්‍ය්‍යවදාතවූ කල්හි, අඞ්ගණරහිත වූ කල්හි, පහව ගිය උපක්ලේශ ඇති වත් ම මෘදු වත් ම, කර්‍මණ්‍ය වත් ම, ස්ථිතිප්‍රාප්ත වත් ම, නො සැලෙන බවට පැමිණෙත් ම ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානය සඳහා සිත අභිමුඛ කොට නමයි. හෙ මේ පඤ්චස්කන්‍ධය දුකැයි යථාභූතය මැනැවින් දන්නේ ය ... මෙ රහත් බව පිණිස කටයුතු අනෙකෙක් නැතැයි මැනැවින් දන්නේ ය.
මහණෙනි, යම් සෙයින් එ යෝධාජීව කඩු පලිස් ගෙණ දුනු හියොවුරු සදාගෙණ සන්නිවිෂ්ටසේනා ඇති සඞ්ග්‍රාමභූමියට බස්නේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමය දිනා දිනූ සඞ්ග්‍රාම ඇත්තේ එ ම සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි වෙසේ ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු කොට කියමි. මහණෙනි, මෙ බඳු සැහැවි ඇති ඇතැම් පුද්ගලයෙක් ද මේ සස්නෙහි ඇත. මහණෙනි, මහණුන් අතුරෙහි වසන මේ පස් වන යොධාජීවාවොපම පුද්ගල යි.
මහණෙනි, මේ යෝධාජීවොපම පුද්ගලයෝ පස්දෙන මහණුන් අතුරෙහි විද්‍යාමාන වෙති යි.
5. 2. 3. 7.
[පඨමඅනාගතභය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, මේ පස් අනාබියක් මොනොවට දක්නා ආරණ්‍යක භික්‍ෂුහු විසින් අප්‍රාප්ත (ධ්‍යානවිදර්‍ශනාමාර්‍ගඵලප්‍රභේද) විශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතවිශේෂයාගේ අධිගමය සඳහා, අප්‍රත්‍යක්‍ෂ විශේෂයාගේ ප්‍රත්‍යක්‍ෂකරණය සඳහා අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට යැවූ සිත ඇති ව වසන්නට නිසි මැ යි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආරණ්‍යක මහණ මෙසේ නුවණින් සිතයි: “මම මෙ කල අරණෙහි එකලා වූයෙම් ම වෙසෙමි. එකලා ව ම අරණෙහි වාස කරණ මා සර්‍පයෙක් හෝ ඩස්නේ ය. නුහුසුයෙක් හෝ මා ඩස්නේ ය, පත්වහයෙක් හෝ මා ඩස්නේ ය, එයිනා මාගේ කාලක්‍රියාව වෙයි. එ මට අන්තරායෙක් වෙයි. ඒකාන්තයෙන් නො පත් විශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගත විශේෂයාගේ අධිගමය සඳහා, අසාක්‍ෂාත්කෘත විශේෂයාගේ සාක්‍ෂාත්කරණය සඳහා, (ද්විවිධවීර්‍ය්‍යයෙන්) වැර අරඹමි”යි. මහණෙනි, මේ ප්‍රථම අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් නො පත් විශේෂයාගේ ලාභය පිණිස, අනධිගත විශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ පසක් කිරීම පිණිස නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් කෙරෙහි මෙහෙයු සිත් ඇති ව වසන්නට නිස්ස.
තවද මහණෙනි, වනවැසි මහණ මෙසේ නුවණින් සිතයි: “මම මෙ කල්හි එකලා ව ම වෙනෙහි වසමි. එකලා ව ම වෙනෙහි වසන මම පැකිල හෝ හෙන්නෙමි. මා වැළඳු බත හෝ (අජීර්‍ණකාදි වශයෙන්) විකෘතියට පත් වන්නේ ය. මාගේ පිත හෝ කිපෙන්නේ ය. මාගේ සෙම් හෝ කිපෙන්නේ ය. මාගේ (සන්‍ධිබන්‍ධන සිඳුනා) ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙන්නාහ. එයින් මාගේ කලුරිය වෙයි. එ මට අන්තරාය වෙයි. මම නො ලත් වෙසෙස්හුගේ ලාභය සඳහා, අනධිගත වෙසෙස්හුගේ අධිගම සඳහා, අසාක්‍ෂාත්කෘත වෙසෙස්හුගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර වඩන්නෙම් මැ”යි. මහණෙනි, මෙ දෙවන අනාගතභය දක්නා වනවැසි මහණහු විසින් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගත විශේෂයාගේ අධිගමය පිණිස, පසක් නො කරණ ලද විශේෂයාගේ පසක් කිරීම පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසි ය.
තවද මහණෙනි, වනවැසි මහණ මෙසේ නුවණින් සිතයි: “මම මෙකල වනයෙහි එකලා වූයෙම් වසමි. වනයෙහි එකලා ව වසන මම සිංහයකු සමඟ හෝ ව්‍යාඝ්‍රයකු සමඟ හෝ දිවියකු සමඟ හෝ වලසකු සමඟ හෝ කරබානා වලසකු සමඟ හෝ ය යි මෙසේ ව්‍යාලයන් හා ද එකතු වන්නෙමි. ඔහු මා දිවි ගළවන්නාහ. එයින් මාගේ කලුරිය වෙයි. එ මාහට අන්තරාය වෙයි. ඒකාන්තයෙන් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගත විශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹමි”යි. මහණෙනි, මේ තුන් වන අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතවිශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසි ය.
තවද මහණෙනි, ආරණ්‍යක භික්‍ෂු මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: “මම මෙ කල වනයෙහි එකලායෙම් වසමි. එකලායෙම් වෙනෙහි වසන්නෙම් කළ සොරකම් ඇති හෝ නො කළ සොරකම් ඇති සොරුන් හා එකතු වෙමි. ඔහු මා දිවි ගළවන්නාහ. එයින් මාගේ කාලක්‍රියාව වෙයි. එ මට අන්තරාය වෙයි. ඒකාන්තයෙන් මම අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතවිශේෂයාගේ අධිගමය සඳහා, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර අරඹමි”යි. මහණෙනි, මේ සතර වන අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතයාගේ අධිගමය සඳහා, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය සඳහා අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසිමැ යි.
තවද මහණෙනි, ආරණ්‍යක භික්‍ෂු මෙසේ නුවණින් මෙනෙහි කරයි: “මම මෙ කල එකලායෙම් අරණෙහි වෙසෙමි. අරන්හි කැකුළු යක්‍ෂාදි අමනුෂ්‍යයෝ ඇත් ම ය. ඔහු මා දිවියෙන් ගළවන්නාහ. ඉන් මාගේ කාලක්‍රියාව වෙයි. එ මට අන්තරාය වෙයි. ඒකාන්තයෙන් මම් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්ක්‍රියාව පිණිස වැර අරඹමි”යි. මහණෙනි, මේ පස් වන අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත් ක්‍රියාව පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසි මැ යි.
මහණෙනි, මෙ පඤ්ච අනාගතභය දක්නා ආරණ්‍යක භික්‍ෂුහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්ක්‍රියා පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැ යි.
5. 2. 3. 8.