Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 6001-6100 න් 15980

මහණෙනි, සුඛය ගෙණ දෙන ස්වග්‍රසම්පත් පිණිස වැටෙන, සුඛවිපාකාවහ වූ, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා මේ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ පස් දෙන ය.
මහණෙනි, මේ පඤ්චපුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ - “සුව එළවන ස්වග්‍රරූපාදිසම්පත් ගෙණ දෙන සුඛ විපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙ තෙක” කියා පුණ්‍යප්‍රමාණය ගන්නට සුකර නො වේ. වැලිත් අසඞ්ඛ්‍යෙය වූ අප්‍රමේය වූ මහාපුණ්‍යස්කන්‍ධයෙක් ම යැ යි ගණනට යෙයි.
මහණෙනි, දියලහ මෙ තෙකැයි හෝ දියලහසිය මෙ තෙකැයි හෝ දියලහදහස් මෙ තෙකැයි හෝ දියලහසුවහස් මෙ තෙකැයි හෝ යම්සේ මහමුහුදෙහි දිය පමණ ගන්නට නො හැකි වේ ද, අසඞ්ඛ්‍යෙය වූ අප්‍රමේය වූ මහත් උදකස්කන්‍ධයෙක් ම යැ යි ගණනට යේ ද, මහණෙනි, එ පරිදි ම මේ පඤ්චපුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ - “සුඛ එළවන ස්වග්‍රරූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙ තෙක” කියා පින්පමණ ගන්නට සුකර නො වේ. අසඞ්ඛ්‍යෙය වූ අප්‍රමේය වූ මහත් පුණ්‍යස්කන්‍ධයෙක් ම ය යි ගණනට යෙයි.
50. අපරිමිත වූ බොහොබිහිසුනු අරමුණු ඇති සත්රුවන්ගණට නිවෙස් වූ මහදියකඳ ඇති සයුරුමහදහතළාව කරා නරගණසමූහයා විසින් සෙවුනා ලද බොහෝ කොට ගලන නදීහු යම්සේ වැදගණිද්ද,
51. එ පරිදි ම අන්නපානවස්ත්‍රදායක වූ ශය්‍යානිෂද්‍යාස්තරණදායක වූ පණ්ඩිත මිනිසා කරා පුණ්‍යධාරාවෝ වැදගණිත්. දිය වහන නදීන් සයුර කරා වැදගන්නාක් සෙයිනි.
5. 1. 5. 6.
[පඤ්චසම්පදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, මේ සම්පත්හු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ශ්‍රද්ධාසම්පත් ය, ශීලසම්පත් ය, ශ්‍රැතසම්පත් ය, ත්‍යාගසම්පත් ය, ප්‍රඥාසම්පත් ය. මහණෙනි, මේ පඤ්චසම්පත්හු යි.
5. 1. 5. 7.
[පඤ්චධන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, මේ ධනයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: ශ්‍රද්ධාධන ය, ශීලධන ය, ශ්‍රැතධන ය, ත්‍යාගධනය, ප්‍රඥාධන යි.
මහණෙනි, ශ්‍රද්ධාධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හදහයි: “මේ මේ කරුණින් ඒ භාග්‍යවත්හු අර්‍හත්හ ... දෙවිමිනිස්නට ශාස්තෘයහ. සියුසස් අවබෝධ කළහ. භාග්‍යවත්හ”කියා යි. මහණෙනි, මේ ශ්‍රද්ධාධනය යි කියනු ලැබේ.
මහණෙනි, ශීලධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පණිවායෙන් දුරු වූයේ වෙයි. ... මදපමාදෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ශීලධනය යි කියනු ලැබේ.
මහණෙනි, ශ්‍රැතධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බහුශ්‍රුත වෙයි ... යම් ඒ දහම්හු ... කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙද්ද, එබඳු දහම්හු ඔහු විසින් ... ප්‍රඥාවෙන් සුප්‍රවිදිත වෙති. මහණෙනි, මේ ශ්‍රැතධනය යි කියනු ලැබේ.
මහණෙනි, ත්‍යාගධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පැහූමල හා මසුරු ඇති සිතින් අගාරයෙහි වෙසෙයි. වුහුටු තෑගි ඇති වෙයි. දන් දෙනුවට දෙවි අත් ඇති වෙයි. දීමෙහි ඇලුම් ඇති වෙයි. යදනට නිසි වෙයි. දේයධර්‍මසංවිභාගයෙහි ඇලුම් ඇති වෙයි. මහණෙනි, මේ ත්‍යාගධනය යි කියනු ලැබේ.
මහණෙනි, ප්‍රඥාධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රඥාවත් වෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේධක වූ සම්‍යග්දුඃඛක්‍ෂයගාමී වූ උදයාස්තගාමී වූ ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ ප්‍රඥාධනය යි කියනු ලැබේ.
මහණෙනි, මේ පඤ්චධනයෝ යි.
52. යමකුගේ ශ්‍රද්ධාව තථාගතයන් කෙරෙහි (මූලජාතවශයෙන්) සුපිහිටියා අචල වේ ද, යමකුගේ ශීලයත් කල්‍යාණ වූයේ ආර්‍ය්‍යයනට කාන්ත වූයේ පසස්නා ලද වේ ද,
53. යමකුහට සඟුන් කෙරෙහි ප්‍රසාදය ඇත් ද, ඍජු දර්‍ශන (සම්‍යග්දෘෂ්ටි) ඇත් ද, ඔහු නොදිළිඳු ය යි කීහු. ඔහුගේ ජීවිතය නොසිස් වේ.
54. එහෙයින් නුවණැතියේ බුදුන්ගේ අනුශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධා හා ශීල හා ප්‍රසාද හා ධර්‍මදර්‍ශන හා පුනපුනා යෙදෙන්නේ ය.
5. 1. 5. 8.
[අලබ්භනීයඨාන සූත්‍රය]
[සාවත්‍ථිනිදාන යි:]
48. මහණෙනි, ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බඹකු විසින් වේවයි, අන් කිසිවකු විසින් වේවයි නො ලද හැකි කරුණු පසෙකි. කවර පසෙක යත්:
“(මාගේ) ජරාධර්‍මය (ජරා ස්වභාව මා) නහමක් දිරාවා” යනු ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, අන් කවර කෙනකුදු විසින් වේවයි නො ලද හැකි කරුණෙකි. මාගේ ව්‍යාධිධර්‍මය මා නහමක් පෙළාවායි යනු ... මරණධර්‍මය නහමක් මියේවා”යි යනු ... ක්‍ෂයධර්‍මය නහමක් ක්‍ෂය කෙරේවා යි යනු ... නස්නා ස්වභාවය නහමක් නැසේවා යි” යනු ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බඹකු විසින් වේවයි අන් කවරකු විසින් වේවයි නො ලද හැකි කරුණෙකි.
මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ජරාධර්‍මය දිරන්නේ ය. ජරාධර්‍මය දිරත් ම හෙ මෙසේ නුවණින් නො විමසයි: “එකලා මාගේ ම ජරාධර්‍මය නො දිරයි. වැලි යම් තාක් සත්ත්‍වයන්ගේ (ඉධාගමන සඞ්ඛ්‍යාත) ආගතිය (පරලෝක) ගතිය, ච්‍යුතිය, උපපත්තිය වේ නම් එ තාක් සියලු සත්ත්‍වයන්ගේ ජරාධර්‍මය දිරන්නේ ය. ජරාධර්‍මය දිරත් ම මමත් ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සිහිමුළාවට යෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය වැදගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද සතුටුසිතැති වන්නාහ. මිත්‍රයෝ ද නොසතුටුසිතැත්තාහු වන්නාහ” කියා යි. හෙ ජරාධර්‍මය දිරත් ම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. පරිදේවනා කරයි. ළෙහි අත් පැහැර හඬයි. සිහිමුළාවට යෙයි. මහණෙනි, මෙ අශ්‍රැතවත් පෘථග්ජන විසැති සෝහුලින් විදුනා ලදුයේ ම තමන් තවා ය යි කියනු ලැබේ.
තව ද මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ව්‍යාධිධර්‍මය පෙළයි ... මරණධර්‍මය මැරේ ... ක්‍ෂයධර්‍මය ක්‍ෂීණ වේ ... නස්නා ධර්‍මය නැසේ. හේ නස්නාසැහැවිය නැසෙත් ම මෙසේ නුවණින් නො විමසන්නේ ය: “එකලා මාගේ ම නස්නා ධර්‍මය නො නස්නේ ය. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය, ගතිය, ච්‍යුතිය, උපප්‍රාප්තිය වේ නම්, එ තාක් හැම සතුන්ගේ නස්නා ධර්‍මය නස්නේ ය. මමත් නශ්‍යමානධර්‍මය නසුත් ම ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම් පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සම්මෝහයට යෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය වදනේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිතුරෝ ද සතුටු සිතැත්තාහු වන්නාහ. මිතුරෝ ද නොසතුටු සිතැත්තාහු වන්නාහ’ කියා යි. නස්නාසැහැවිය නසුත් ම හෙ ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරයි, ළෙහි අත් පැහැර හඬයි. සම්මෝහයට යෙයි. මහණෙනි මෙ අශ්‍රැතවත් පෘථග්ජන විෂ සහිත ශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ ආත්මභාවය තවනේ ය යි කියනු ලැබේ.
මහණෙනි, ශ්‍රැතවත් අරීසවුහුගේ ද ජරාධර්‍මය දිරන්නේ ය. හෙ ජරා ධර්‍මය දිරත් ම මෙසේ නුවණින් විමසා බලයි. “හුදෙකලා මාගේ ම ජරා ධර්‍මය නො දිරන්නේ ය. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ඊම, යාම, මැරීම, උපදීම වේ නම්, එ තාක් හැම සත්ත්‍වයන් ගේ ජරාධර්‍මය දිරයි. මමත් ජරාධර්‍මය දිරත් ම ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කරම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සිහිමුළාවට පැමිණෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිත් දුර්‍වර්‍ණභාවය වැද ගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද තුටු වන්නාහ. මිත්‍රයෝ ද නොසතුටු වන්නාහ” කියා යි. හෙ ජරාධර්‍මය දිරත් ම ශෝක නො කරයි. ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නො කෙරෙයි. ළෙහි අත් හැහැර නො හඬයි. සම්මෝහයට නො යෙයි. මහණෙනි, මෙ අරීසවු යම් සෝහුලෙකින් අශ්‍රැතවත් පෘථග්ජන ආත්මභාවය තවා නම්, එ සවිෂ ශෝකශල්‍ය උදුළේ ය යි කියනු ලැබේ. ශෝක නැතියේ විගතශල්‍ය වූ ආර්‍ය්‍යශ්‍රාවක ආත්මභාවය පිරිනිවන්නේ (නිවාලන්නේ) ය.
තවද මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ව්‍යාධිධර්‍මය ව්‍යාධි කෙරෙයි ... මරණධර්‍මය මියෙයි ... ක්‍ෂයධර්‍මය ක්‍ෂීණ කෙරෙයි ... නස්නා ධර්‍මය නස්සි. හේ නස්නා දහම නට කල මෙසේ නුවණින් සලකයි: “එකලා මාගේ ම නස්නා දහම නො නස්නේ ය. වැලිදු යම් පමණ සත්ත්‍වයන්ගේ ආගතිය, ගතිය, චුතිය, උපපත්තිය වේ නම්’ එ හැම සතුන්ගේ නස්නා දහම නස්නේ ය. මම නස්නා දහම නට කල සොස්නෙම් නම්, කිලත් වෙම් නම්, වලප්නෙම් නම්, ලමඩියෙහි අත් පැහැර හඬන්නෙම් නම්, මුළාබවට වදනෙම් නම්, මට බත ද නො රුස්නේ ය. සිරුරෙහි ද දුර්‍වර්‍ණභාවය බස්නේ ය. කමත්හු ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද සතුටුසිතැති වෙති. මිත්‍රයෝ ද නො සතුටු වෙති”යි. හේ නස්නා දහම නට කල නො සොස්නේ ය. කලකුළු නො වන්නේ ය. නො වලප්නේ ය. ලමඩියෙහි අත් පැහැරැ නො හඬන්නේ ය. මුළාබවට නො වදනේ ය. මහණෙනි, මේ අරීසවු ශ්‍රැතවත් වූයේ, යමෙකින් විත්කෑ අශ්‍රැතවත් පෘථග්ජන තමා ම තවන්නේ වේ ද, ඒ විස සහිත සෝහුල උපුළේ ය යි ද, නිශ්ශෝක වූ ආර්‍ය්‍යශ්‍රාවක තමා ම පිරිනිවන්නේ ය යි ද කියනු ලැබේ.
මහණෙනි, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලෝකයෙහි යම් ම කෙනකු විසින් වේවයි නො ලැබියහෙන කරුණු මේ පස් දෙන ය.
55. ශොචනායෙනුදු, පරිදේවනායෙනුදු, අල්පමාත්‍ර වූ ද අර්‍ත්‍ථයෙක් නො ලැබිය හෙන්නේ ය. තුලු සොස්නහු දුක්පත්හු දැන සතුරෝ සතුටු වෙති.
56. යම් දවසෙක කාරණාර්‍ත්‍ථ විනිශ්චයෙහි දක්‍ෂ වු පණ්ඩිත ආර්‍ය්‍යශ්‍රාවක උපද්‍රව පැමිණෙත් ම නො කැපී සිටුනේ වේ ද, උහුගේ පසමිතුරෝ විකෘති නැති (ශෝක නැති බැවින්) පැරණි ම වූ මුහුණ දැක දුඃඛිත වෙති.
57. වර්‍ණභණනයෙනුදු, මන්ත්‍රපරිවර්‍තනයෙනුදු, සුභාෂිතකථනයෙනුදු, (ශතසහස්‍රාදි විසින් දෙන) අනුප්‍රදානයෙනුදු, පරම්පරාගත ආචීර්‍ණක්‍රියාමර්‍ගයෙනුදු, යම් යම් සැටියෙකින් යම් ආපදායෙක දි අර්‍ත්‍ථසිද්ධිය ලැබිය හෙන්නේ වේ ද, එහි ලා ඒ ඒ සැටියෙන් පරාක්‍රම කරන්නේ ය.
58. ඉදින් මා විසිනුදු මෙරමා විසිනුදු තෙල අර්‍ත්‍ථය නො ලැබිය හෙති යි දන්නේ නම්, නො සොස්මින් “(කළ)කම් දළ වෙයි. දැන් කුම් කරමි”යි සිතා ඉවසන්නේ ය.
5. 1. 5. 9.
[කෝසල සූත්‍රය]
49. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින.
එක්බිති අන්‍යතර පුරුෂයෙක් පසේනදි කොසොල්රජු වෙත එළැඹියේ ය. එළැඹ පසේනදී කොසොල් රජහුගේ කන්මුලැ “මල්ලිකා දේවී කලුරිය කළෝ ය”යි සැළ කෙළේ ය.
මෙසේ කියත් ම, පසේනදි කෝසලරජු උපන් දුක් ඇතියේ නො සතුටු සිත් ඇතියේ හෙළු කඳ ඇතියේ යටිකුරු මුව ඇතියේ සිතිවිලි සිතනුයේ පිළිබහන් (නුවණක්) නැතියේ හින.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ හටගත් ශෝක ඇති නොසතුටු සිත් ඇති හෙළු සිරුරු කඳ ඇති යටිකුරු මුව ඇති සිතිවිලි සිතන පිළිබහන් නැති පසේනදි කොසොල් රජු දැන වදාරා පසේනදි කෝසල රජුට තෙල කරුණ වදාළ සේක:
මහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බ්‍රහ්මයකු විසින් වේවයි, ලොව්හි කිසිදු කෙනකු විසින් වේවයි නො ලැබිය හෙන මෙ කරුණු පසෙකි. කවර පසෙක යත්: ‘ජරාධර්‍මය නො දිරාවා’යි ... කිසිවකු විසින් නො ලැබිය හෙන කරුණෙකි ... “කර්‍මය දැඩි ය. දැන් කුමක් කෙරෙම් දැ”යී සිතා ශෝක නො කෙරෙමින් ඉවසන්නේ ය.
5. 1. 5. 10.
[සෝකසල්ලහරණ සූත්‍රය]
50. එක් කලෙක ආයුෂ්මත් නාරද තෙරණුවෝ පැළැලුප් නුවර කුක්කුටාරාමයෙහි වැඩ වෙසෙති. එ සමයෙහි මුණ්ඩ රජහුගේ ප්‍රිය වූ මනාප වූ භද්‍රා නම් දේවී කලුරිය කළෝ ය. හෙ ප්‍රිය වූ මනාප වූ භද්දාදේවිය කලුරිය කළ කල්හි, ස්නාන නො කෙරෙයි. විලෙවුන් නො ගල්වයි. බත් නුබුදුනේ ය. කර්‍මාන්ත නො යොදවයි. රෑ දෙවෙහි භද්‍රාදේවියගේ සිරුරෙහි බෙහෙවින් මුසපත් වූයේ වෙයි. එක්බිති මුණ්ඩ රජ පියක නම් කෝෂාරක්‍ෂකාමාත්‍යයා ඇමතී ය: යහළු පියකය, එහෙයින් ම භද්‍රා දෙවියගේ ශරීරය යමුවා තෙල් දෙණෙක්හි බහා අනෙක් යමුවා දෙණෙකින් වසාලව. “යම් පරිදි අපි භද්‍රාදේවියගේ ශරීරය චිරතර කාලයක් දක්නමෝ දැ”යි.
‘දේවයෙනි, එසේ ය’යි පියක නම් කෝෂාරක්‍ෂක තෙම මුණ්ඩ රජුහට පිළිවදන් අස්වා භද්‍රාදේවියගේ මළසිරුර යමුවා තෙල්දෙණෙක බහා අනෙක් යමුවා දෙණෙකින් වැසී ය. එක්බිති පියක නම් කෝෂාරක්‍ෂක හට මෙ සිත් විය:
“මෙ මුණ්ඩ රජුගේ ප්‍රිය වූ මන වඩන්නා වූ භද්‍රාදේවිය කලුරිය කළෝ ය. හෙ ප්‍රිය වූ මනාප වූ භද්දාදේවිය කලුරිය කළ කල්හි නො නහන්නේ ය. විලෙවුන් නො ද ගල්වන්නේ ය බත් නුබුදුනේ ය. කර්‍මාන්ත නො යොදවනේ ය. රෑදෙවෙහි භද්‍රාදේවියගේ සිරුරෙහි බෙහෙවින් මුසපත් වූයේ වෙයි. මුණ්ඩ රජ යමකුගේ ධර්‍මය අසා සෝහුල් දුරලන්නේ නම්, එබඳු කවර නම් මහණකු හෝ බමුණකු හෝ පර්‍ය්‍යුපාසනය කෙරේ දැ”යි.
එක්බිති පියක නම් කෝෂාරක්‍ෂකහට මෙ සිත් විය: “මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්‍රයෙහි කුක්කුටාරාමයෙහි වාස කරත්. ‘පණ්ඩිතයහ, ව්‍යක්තයහ, ප්‍රශස්තබුද්ධි ඇතියහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථීහ, කලණ වැටැහීම් ඇතියහ, මහලුහ, අර්‍හත්හ’ මෙසේ එ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ කලණයසගී උස් ව නැංගේ ය. යම් හෙයෙකින් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන් පර්‍ය්‍යුපාසනා කෙරේ නම්, ඒකාන්තයෙන් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ ධර්‍මය අසා ශෝකශල්‍යය දුරලන්නේ ය”යි. එක්බිති පියක කෝෂාරක්‍ෂක ඇමැති මුණ්ඩ රජු කරා එළැඹියේ ය. එළැඹ මුණ්ඩ රජහට තෙල කරුණ සැළ කෙළේ ය:
දේවයෙනි, මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්‍රයෙහි කුක්කුටාරාමයෙහි වෙසෙත්. ‘පණ්ඩිතයහ, ව්‍යක්තයහ, මේධාවීහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථීහ, කල්‍යාණප්‍රතිභාන ඇතියහ, වෘද්ධයහ, අර්‍හත්හ” මෙ සේ එ ආයුෂ්මත්හුගේ කලණකිත්ගොසෙක් උස් ව නැංගේ ය. ඉදින් දේවයෝ ආයුෂ්මත් නාරද තෙරුන් පර්‍ය්‍යුපාසනය කෙරෙත් නම්, ඒකාන්තයෙන් දේවයෝ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ දහම් අසා ශෝකශල්‍යය හරිති”යි.
“යහළු පියකයෙනි, එ කරුණින් ම ආයුෂ්මත් නාරද තෙරුන් හට දන්වව. කෙසේ නම් මබඳුයෙක් ස්වවිජිතයෙහි වෙසෙන මහණකු හෝ බමුණකු කරා පළමු ප්‍රතිඥා නො ලද්දේ එළැඹිය යුතු කොට සිතනේ දැ”යි.
පියක කෝෂාරක්‍ෂ ඇමැති ‘එසේ ය, දේවයෙනි’යි මුණ්ඩ රජුට පිළිවදන් දී ආයුෂ්මත් නාරද තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාරද තෙරණුවන් වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් පියක කෝෂාරක්‍ෂ ඇමැති තෙල සැළ කෙළේ ය: වහන්ස, මේ මුණ්ඩරජුගේ ප්‍රියමනාප භද්‍රාදේවිය කලුරිය කළා. හේ ප්‍රියමනාප භද්‍රාදේවිය කලුරිය කළ සඳ නො ම නහයි. විලෙවුන් නො ගල්වයි. බත නො වළඳයි. කර්‍මාන්ත නො යොදවයි. දව රෑ භද්‍රාදේවියගේ ශරීරයෙහි ගැලගත් සැහැවි ඇති ශෝකමූර්ඡායෙන් මූර්ඡිත ය. අයදිමි, වහන්ස, යම් පරිදි මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරණුවන්ගේ දහම් අසා ශෝකශල්‍යය හරණේ වේ ද, ආයුෂ්මත් නාරද තෙරණුවෝ මුණ්ඩරජුට එසේ දහම් දෙසත් නම් මැනැව.
‘පියකය, මුණ්ඩරජ යම් අර්‍ත්‍ථයකට කල් හඟනේ නම් දැන් කලි’.
එක්බිති පියක කෝෂාරක්‍ෂ ඇමැති හුනස්නෙන් නැඟී ආයුෂ්මත් නාරද තෙරණුවන් සකසා වැඳ පැදකුණු කොට මුණ්ඩරජු කරා එළඹියේ ය. එළඹ මුණ්ඩරජුට තෙල කී: “දේවයෙනි, දෙව තෙමේ යම් අර්‍ත්‍ථයකට දැන් කල් හඟනේ නම්, ආයුෂ්මත් නාරද තෙරණුවන් විසින් තෙල අර්‍ත්‍ථයට කළ අවකාස ඇතැ”යි.
දරුව, පියකයෙනි, එහෙයින් භද්‍ර භද්‍ර යානයන් යොදව යි.
‘දේවයෙනි, එසේ ය’යි පියක කෝෂාරක්‍ෂ ඇමැති මුණ්ඩරජුට පිළිවදන් අස්වා භද්‍රභද්‍රයානයන් යොදවා මුණ්ඩරජුට තෙලබස් කී: දේවයෙනි, දේවතෙමේ යම් අර්‍ත්‍ථයකට දැන් කල් හඟනේ වේ නම් එයට භද්‍රභද්‍රයාන යුතු ව ඇතැ යි.
ඉක්බිති මුණ්ඩරජ භද්‍රභද්‍රයානයකට නැඟී භද්‍රයානයෙන් පරිවෘත ව කුක්කුටාරාමය කරා මහත් රාජානුභාවයෙන් ආයුෂ්මත් නාරද තෙරණුවන් දක්නා සඳහා ගියේ. යානභූමි තෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පාදචාරීව ම අරමට පිවිසින.
ඉක්බිති මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාරද තෙරණුවන් සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් මුණ්ඩ රජුට ආයුෂ්මත් නාරද තෙරණුවෝ තෙල දහම් දෙසූහ:
මහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කිසිවකු විසින් වේවයි නො ලැබිය හෙන මේ කරුණු පසෙකි. කවර පසෙක යත්:
‘ජරාධර්‍මය නහමක් දිරාව’යි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොවැ යම් ම කිසිවකුන් විසින් වේවයි නො ලැබිය හෙන කරුණෙකි.
ව්‍යාධිධර්‍මය නහමක් පෙළාව යි ... මරණ ධර්‍මය නහමක් මියේව යි ... ක්‍ෂයධර්‍මය නහමක් කිය කෙරේව යි ... නශ්වරධර්‍මය නහමක් නො නස්සී ව යි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කිසිවකු විසින් වේවයි නො ලැබිය හෙන කරුණෙකි.
මහරජ, අශ්‍රැතවත් පෘථග්ජනයාහට ජරාධර්‍මය දිරයි. හේ ජරාධර්‍මය දිරූ කල මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා නො කෙරෙයි: එකලා මාහට ම ජරාධර්‍මය නො දිරයි. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සතුන්ගේ ජරාධර්‍මය දිරයි. මම වනාහි ජරාධර්‍මය දිරූ කල ශෝක කරන්නෙම් නම්, ක්ලාන්ත වන්නෙම් නම්, පරිදේවනා කරන්නෙම් නම්, ළමැඬියෙහි අත් පැහැර හඬන්නෙම් නම්, සම්මෝහයට පැමිණෙම් නම්, මට බත ද නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය බැසගන්නේ ය. කර්‍මාන්තයෝත් නො පවත්නාහ. අමිත්‍රයෝත් සතුටු වන්නාහ. මිත්‍රයෝත් නො සතුටු වන්නාහ’යී. හේ ජරාධර්‍මය දිරූ කල සොස්නේ ය. ක්ලාන්ත වන්නේ ය. පරිදේවනා කරන්නේ ය. ළෙහි අති පැහැර හඬන්නේ ය. සම්මෝහයට පැමිණෙන්නේ ය. මහරජ, මේ අශ්‍රැතවත් පෘථග්ජන සවිෂශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ තමා ම තවන්නේ ය යි කියනු ලැබේ.
තවද මහරජ, අශ්‍රැතවත් පෘථග්ජනයාහට ව්‍යාධිධර්‍මය පෙළයි ... මරණ ධර්‍මය මියෙයි ... ක්‍ෂයධර්‍මය කිය කෙරෙයි නශ්වර ධර්‍මය නස්සි. හේ නශ්වර ධර්‍මය නට කල්හි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා නො කරන්නේ ය: එකලා මට ම නශ්වර ධර්‍මය නො නස්සී, වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය චුතිය, උපපත්තිය වේ ද, ඒ හැම සතුන්ගේ නශ්වරධර්‍මය නස්සී. මම ද වනාහි නශ්වර ධර්‍මය නට කල ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් ගසා හඬන්නෙම් නම්, සම්මෝහයට පැමිණෙම් නම්, මට බත ද නො රුස්නේ ය. කයෙහිදු දුර්වර්‍ණ භාවය බැස ගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද තුටු වන්නාහ. මිත්‍රයෝ ද නො සතුටු වන්නාහ යි. හේ නශ්වර ධර්‍මය නට කල්හි සොස්නේ ය. ක්ලාන්ත වන්නේ ය. පරිදේවනා කරන්නේ ය. ළෙහි අත් පැහැර හඬන්නේ ය. සම්මෝහයට පැමිණෙන්නේ ය. මහරජ, මේ අශ්‍රැතවත් පෘථග්ජන සවිෂශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ තමා ම තවන්නේ ය යි කියනු ලැබේ.
මහරජ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට ද ජරාධර්‍මය දිරයි. හේ ජරාධර්‍මය දිරූ කල මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: එකලා මාහට ම ජරාධර්‍මය නො දිරයි. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය චුතිය උපපත්තිය වේ ද, එ හැම සතුන්ගේ ජරාධර්‍මය දිරයි. මම ද ජරාධර්‍මය දිරූ කල ශෝක කරන්නෙම් නම්, ක්ලාන්ත වන්නෙම් නම්, පරිදේවනා කරන්නෙම් නම්, ළෙහි අත් පැහැර හඬන්නෙම් නම්, සම්මෝහයට යන්නෙම් නම්, බත ද මට නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය බැස ගන්නේ ය. කර්‍මාන්තයෝත් නො පවත්නාහ. අමිත්‍රහෝ සතුටු වන්නාහ. මිත්‍රයෝත් නො සතුටු වන්නාහ යි හේ ජරා සැහැවි දිරූ කල නො සොස්නේය. ක්ලාන්ත නො වන්නේ ය. පරිදේවනා නො කරන්නේ ය. ළෙහි අත් පැහැර නො හඬන්නේ ය. සම්මෝහයට නො පැමිණෙන්නේ ය. මහරජ, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක යමෙකින් විදුනා ලද අශ්‍රැතවත් පෘථග්ජන තමා ම තවන්නේ ද, ඒ සවිෂ ශෝකශල්‍යය උපුටා හළේ ය යි කියනු ලැබේ. අශෝක වූ විශල්‍ය වූ ආර්‍ය්‍යශ්‍රාවක තමා ම සන්හිඳුවන්නේය යි කියනු ලැබේ.
තවද මහරජ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට ව්‍යාධි ධර්‍මයගේ පෙළෙයි ... මරණධර්‍මය මියෙයි ... ක්‍ෂයධර්‍මය ක්‍ෂය වෙයි ... නශ්වරධර්‍මය නැසෙයි. හේ නශ්වරධර්‍මය නට කල්හි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: ‘එකලා මාගේ ම නශ්වරධර්‍මය නො නැසේ. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතියෙක් ගතියෙක් චුතියෙක් උත්පත්තියෙක් ඇත් ද, එ හැම සත්ත්‍වයන්ගේ නශ්වරධර්‍මය නැසේ, මම ද නශ්වරධර්‍මය නට කල්හි සොස්නෙම් නම්, ක්ලාන්ත වන්නෙම් නම්, ළෙහි අත් පැහැර හඬන්නෙම් නම්, සම්මෝහයට පැමිණෙන්නෙම් නම්, මට බත ද නොරුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය බැසගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද සතුටු වන්නාහ. මිත්‍රයෝ ද නො සතුටුවන්නාහ යි. හේ නශ්වරධර්‍මය නට කල්හි නොසොස්නේ ය. ක්ලාන්ත නො වන්නේ ය. පරිදේවනා නො කරන්නේ ය. ළෙහි අත් පැහැර නො හඬන්නේ ය. සම්මෝහයට නො පැමිණෙන්නේ ය. මහරජ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක, යමෙකින් විදුනාලද අශ්‍රැතවත් පෘථග්ජනයා තමා ම තවන්නේ නම්, එ සවිෂ ශෝකශල්‍යය උපුටා හළේ ය යි කියනු ලැබේ. අශෝක වූ විශල්‍ය වූ ආර්‍ය්‍යශ්‍රාවක තමා ම පිරිනිවන්නේ ය.
මහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කවරකු විසින් වේවයි නො ලැබියහෙන මේ කරුණු පස යි.
59. ශොචනායෙනුදු පරිදේවනායෙනුදු අල්ප වූ ද අර්‍ත්‍ථයෙක් නො ලැබිය හෙයි. සොස්නාවූ හටගත් දුක් ඇති තුලුන් දැන පසමිතුරෝ සොම්නස් වෙති.
60. යම් කලෙක කාරණාර්‍ත්‍ථවිනිශ්චයෙහි කුශල වූ පණ්ඩිත තෙමේ උපද්‍රවයෙහි දී නො සැලේ ද, එ සඳ ඔහුගේ පසමිතුරෝ අවිකාරවූ පැරණි මුහුණ ම දැක දුඃඛිත වෙත්.
61. වර්‍ණභණනයෙනුදු මන්ත්‍ර පරිවර්‍තනයෙනුදු සුභාෂිතකථායෙනුදු ශතප්‍රමාණ හෝ සහස්‍රප්‍රමාණ දානයෙනුදු කුලවංශාචීර්‍ණධර්‍මයෙනුදු යම් තැනෙක යම් පරිදි අර්‍ත්‍ථය ලැබේ නම්, එ තැන එ එ පරිදි ඊහා කරන්නේ ය.
62. ඉදින් මා විසින් වේවයි අනෙකක්හු විසින් වේවයි තෙල අර්‍ත්‍ථය නොලැබිය හෙන්නේ ය යි දන්නේ නම්, ‘කර්‍මය දෘඪය, දැන් කුම් කෙරෙමි’යි සලකා නො සොස්මින් ඉවසන්නේ ය.
මෙසේ කී කල්හි මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරුන්හට තෙල කරුණ කී: ‘වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය කිනම් දැ යි?
‘මහරජ, මේ ධර්‍මපර්‍ය්‍යාය සෝකසල්ලහරණ නමැ’යි.
වහන්ස, එකැතියෙන් සෝකසල්ලහරණ නම් වෙයි. වහන්ස, එකැතින් සෝකසල්ලහරණ නම් වෙයි. වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය අසා මාගේ ශෝකශල්‍යය ප්‍රහීණ වී ය යි.
ඉක්බිති මුණ්ඩරජ පියක නම් කෝෂාරක්‍ෂ ඇමැතියා ඇමැතී ය: “එසේ නම් දරුව, පියකයෙනි, භද්‍රාදේවියගේ සිරුර දවව. ඇයට ස්තූපයක් ද කරව. අපි අද පටන් කොට දිය නහන්නෙමු. විලෙවුන් ගල්වන්නෙමු. බතුදු බුදින්නෙමු, කර්‍මාන්තයනුදු යොදන්නෙමු”යි.
මුණ්ඩරාජවර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
ආදිය සූත්‍රය, සප්පුරිස සූත්‍රය, ඉට්ඨ සූත්‍රය, මනාපදායී සූත්‍රය, අභිසන්‍ද සූත්‍රය, සම්පදා සූත්‍රය, ධන සූත්‍රය, ඨාන සූත්‍රය, කෝසල සූත්‍රය, නාරද (සෝකසල්ලහරණ) සූත්‍රය දැයි දශයෙකි.
ප්‍රථම පණ්ණාසක යි.
2. දෙවැනි පණ්ණාසකය
1. නීවරණ වර්‍ගය
5. 2. 1. 1.
[නීවරණ සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් වූ ආරාමයෙහි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දහම් වදාළ සේක.
මහණෙනි, (සිත අවුරාගෙණ සිටුනා හෙයින්) ආවරණ වූ (ධ්‍යානාදීනට බාධක වන හෙයින්) නීවරණ වූ, සිත ඔබාගෙණ සිටුනා, විදර්‍ශනාප්‍රඥා දුර්‍වල කරණ මේ කරුණුහු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, කාමච්ඡන්‍දය ආවරණ ය, නීවරණ ය, චිත්තය මැඬගෙණ සිටුනේ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, ව්‍යාපාදය ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, ථීනමිද්ධය ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය (සිත්හි නොසන්හුන් බව හා කුකුස) ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, විචිකිච්ඡාව ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය.
මහණෙනි, මෙ පස් දෙන ආවරණයහ, නීවරණයහ, චිත්තයාගේ අධ්‍යාරුහයහ, ප්‍රඥාව දුර්‍වල කරන්නාහ.
මහණෙනි, ඒ මහණ එකැතින් නීවරණ වූ, සිත මැඬගෙණ සිටුනා, පැණ දුබල කරණ මේ පඤ්චාවරණයන් නො තබා අබල වූ, දුර්‍වල වූ ප්‍රඥායෙන් “ආත්මාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට නිසි ඥානදර්‍ශනවිශේෂයක් වේ ව යි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ සිදු නො වන්නේ ය.
මහණෙනි, යම් පරිදි පවියෙන් ඇද හැලෙන දුර ගලා බස්නා ශීඝ්‍ර ස්‍රෝතස් ඇති හළයුතු දැ හැරලනසුදු නදියෙක් වේ ද, පුරුෂයෙක් ඒ නදියගේ දෙපස නඞ්ගලමුඛ (නගුලෙන් කළ ඇළි) විවර කරන්නේ ය. මහණෙනි, එසේ වත් ම, නදීමධ්‍යයෙහි ඒ ස්‍රොතස විසිර ගියේ විසුළේ දෙපසට ඇදගන්නා ලදුයේ දුරගමන් නැතියේ වෙයි. ශීඝ්‍රස්‍රෝතස් නැතියේ වෙයි. හර්තව්‍යය ගෙණ යන සුලු නො වෙයි.
මහණෙනි, එ පරිදි ම එකැතින් එ මහණ මේ පඤ්චආවරණයන් නීවරණයන්, චිත්තයාගේ අධ්‍යාරුහයන්, ප්‍රඥාදුර්‍වලකරණයන් නො හැරලා අබල වූ දුබල වූ ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථය වේවයි දන්නේ ය. පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට නිසි ඥානදර්‍ශනවිශේෂයක් වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ ඇති නො වේ.
මහණෙනි, එකැතියෙන් එ මහණ මේ පඤ්ච ආවරණයන් නීවරණයන් චිත්තයාගේ අධ්‍යාරුහයන් ප්‍රඥාදුර්‍වලකරණයන් හැරපියා බලවත් ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයක් වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ ඇති වේ.
මහණෙනි, යම් පරිදි පවියෙන් ඇද හැලෙන දුර ගලා බස්නා ශීඝ්‍රස්‍රෝතස් ඇති හරනට නිසි දෑ හැරලන සුලු නදියෙක් වේ නම්, පුරුෂයෙක් එ නදියගේ නඞ්ගලමුඛ (නඟුලෙන් කළ ඇළි) වසන්නේ ය. මහණෙනි, එසේ වත් ම නදීමධ්‍යයෙහි ඒ ස්‍රොතස නො විසිර ගියේ නො විසුළේ දෙපසට නො ඇදගන්නා ලදුයේ දුරගමන් ඇතියේ ද ශීඝ්‍රස්‍රෝතස් ඇතියේ ද හර්තව්‍යය හරණ සුලු ද වෙයි. මහණෙනි, එ පරිදි ම එකැතියෙන් එ මහණ ආවරණ වූ නීවරණ වු, සිත මඬනා, පැණ දුබල කරණ මේ පඤ්ච ධර්‍මයන් හැරපියා බලවත් ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථ වේවයි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි වූ ආර්‍ය්‍යභාවකරණයට නිසි ඥානදර්‍ශන විශේෂය වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වන්නේ ය.
5. 2. 1. 2.
[අකුසලරාසි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, ‘අකුශලරාශිය’යි කියනුයෙක් මොනොවට කියනුයේ මේ පඤ්චනීවරණයන් කියන්නේ ය. මහණෙනි, මේ නීවරණපස නම් මේ හුදු අකුශලරාශි ම වෙයි. කවර පස් දෙනෙක යත්:
කාමච්ඡන්‍දනීවරණ ය, ව්‍යාපාදනීවරණ ය, ථීනමිද්ධනීවරණ ය, උද්ධච්චකුක්කුච්චනීවරණ ය, විචිකිච්ඡානීවරණ යි.
මහණෙනි, අකුශලරාශි ය යි කියනුයෙක් මොනොවට කියනුයේ මේ පඤ්චනීවරණයන් කියන්නේ ය. මහණෙනි, මේ පඤ්චනීවරණ නම් තෙල හුදු අකුශලරාශි ම වෙයි.
5. 2. 1. 3.
[පධානියඞ්ග සූත්‍රය]