5. 1. 4. 7.
[භෝජන සූත්‍රය]
37. මහණෙනි, බොජුන් දෙන දායක ප්‍රතිග්‍රාහකයන්ට (පිළිගාවනට) පස්කරුණක් දෙයි. කවර පස්කරුණෙක යත්:
ආයුෂ දෙයි. ශරීරවර්‍ණය දෙයි, කායිකචෛතසිකසුඛය දෙයි. යුක්තමුක්ත ප්‍රතිභානය දෙයි. ආයුෂය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී ... ප්‍රතිභානය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ප්‍රතිභානයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මෙ පස් කරුණු දෙයි.
22. ආයුෂය දෙන බලය දෙන, ධෛර්‍ය්‍යසම්පන්න වූ ඒ ප්‍රාඥා සුවයට පැමිණෙයි.
23. ආයුෂය ද බලය ද වර්‍ණය ද සුඛය ද ප්‍රතිභානය ද දී යම් යම් තැනෙක උපනේ වේ නම් දීර්‍ඝායුෂ්ක වූයේ යශස් ඇති වෙයි.
5. 1. 4. 8.
[සද්ධා සූත්‍රය]
38. මහණෙනි, සැදැහිති කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, ලෝකයෙහි පරනට අනුග්‍රහ කරණ යම් ඒ ශාන්ත සත්පුරුෂ කෙනෙක් වෙත් නම්, ඔහු පළමු ම සැදැහැතියහුට ම අනුග්‍රහ කරත්. සැදැහැ නැතියහුට එසේ නො කෙරෙත්. එළඹෙන්නාහු සැදැහැතියහු කරා ම එළඹෙත්. සැදැහැ නැතියහු කරා එසේ නො එළඹෙත්. පිළිගන්නාහු පළමු සැදැහැතියහු ම පිළිගන්නාහ. සැදැහැ නැතියහු නො පිළිගණිත්. දම් දෙසන්නාහු පළමු ම සැදැහැතියහුට ම දෙසත්. සැදැහැ නැතියනට නො දෙසත්. සැදැහැතියේ කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගයට පැමිණෙ යි.
මහණෙනි, සැදැහැවත් කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙක් ඇත.
මහණෙනි, යම් පරිදි මනා බිමෙක්හි සිවුමංසන්‍ධියෙක වු මහ නුගරුක හාත්පසින් ළිහිණියනට පිළිසරණ වේ ද, මහණෙනි, එසෙයින් ම සැදැහැති කුලපුත් භික්‍ෂු-භික්‍ෂුණී-උපාසක-උපාසිකා යන බොහෝ දෙනාට පිළිසරණ වෙයි.
24. සා පත් පල යුත්, කැඳැති, හිටි මුල් ඇති, මහාද්‍රැමයෙක් ළිහිණිනට පිහිට වෙයි.
25. රමණී අයිනෙහි පිහිටි එ රුක විහගයෝ ඇසුරු කෙරෙත්. සෙවණ රිසියහු සෙවණට යෙත්. පලැටිහු ඵලාර්ත්‍ථී ව (එහි) යෙත්.
26. එසෙයින් ම ශීලයෙන් සමෘද්ධ, සැදැහැති, යටත් පැවතුම් ඇති, (මානාදීන්) නො තද, සුරතභාවයෙන් යුත්, සම්මෝදක, මාර්‍දව ඇති, එ වන් මිනිසා,
27. වීතරාග වූ වීතද්වේෂ වූ වීතමෝහ වූ, ලොව්හි පින්කෙත් වූ රහත්හු ඇසුරු කෙරෙත්.
28. හෙ යම් ධර්‍මයක් ඉහාත්මයෙහි ම පසක් කොට අනාස්‍රව ව පිරිනිවේ නම්, ඒ රහත්හු හැමදුක් දුරලන එ දහම් ඔහට දෙසත්.
5. 1. 4. 9.
[පුත්ත සූත්‍රය]
39. මහණෙනි, මාපියෝ මේ කරුණු පස දක්නාහු පුතකු කුලයෙහි උපදනහු කැමැති වෙත්. කවර පසෙක යත්:
පුස්නා ලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය. අපගේ කුලපරපුර ද දීර්‍ඝරාත්‍රයෙහි සිටුනේ ය. දායාද්‍යය පිළිපදනේ ය. වැලිත් කලුරිය කොට පරලොව ගියවුන් උදෙසා (ප්‍රාප්තිදාන කොට) දක්‍ෂිණා දෙන්නේ ය යි. මහණෙනි, මෙ කරුණු පස දක්නා මාපියෝ පුතකු කුලෙහි උපදනහු කැමැති වෙති යි.
29. පණ්ඩිත (මාපියෝ) කරුණු පසක් දක්නාහු පුතකු පතත්. පුස්නාලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය.
30. බොහෝ කලක් කුලවංශය සිටුනේ ය. දායාද්‍යය පිළිපදනේ ය. වැලිත් පරලොව ගියවුනට දක්‍ෂිණා ද දෙන්නේ ය.
31. පණ්ඩිතයෝ තෙල කරුණු පස දක්නාහු පුතකු පතත්. එහෙයින් ශාන්ත, කළ ගුණ දන්නා, කෘතවේදී, සත්පුරුෂයෝ-
32. (මාපියන්) පෙර කළ දෑ සිහි කරමින් ඒ මාපියන් පුස්නාහ. පූර්‍වොපකාරී වූ ඔවුන්ගේ කිස ඔවුන් කළ පරිදි කරත්.
33. අවවාද පිළිපදිනා, (තමා) පෝෂණය කළවුන් පුස්නා, කුලවංශය නො පිරිහෙළන, සැදැහැති, සිල්සපන් පුත්‍ර ප්‍රශංසාර්‍හ වෙයි.
5. 1. 4. 10.
[මහාසාල සූත්‍රය]
40. මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහරුක්හු වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්:
සාපත්පලුයෙන් වැඩෙත්. තැසෙන් වැඩෙත්. පතුයෙන් වැඩෙත්. බොරුදුයෙන් වැඩෙත්. හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමවත් රදපවිය නිසා මහරුක්හු මේ වෘද්ධි පසින් වැඩෙත්.
මහණෙනි, එ පරිදි සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදනෝ වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්:
සැදෑයෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදෙනා මෙ පඤ්ච වෘද්ධීන් වැඩෙති යි.
34. යම් පරිදි වෙනෙහි ශෛලපර්‍වතයෙක් වේ ද, එ ඇසුරු කොට එ වනසප්තිවෘක්‍ෂයෝ වැඩෙත් ද,
35. එ පරිදි මෙ ලොව්හි සිල්සපන් සැදැහැති කුලපතිහු නිසා පුත්‍රදාරයෝ ද බාන්‍ධවයෝ ද සහජීවීහු ද ඥාතිසමූහයෝ ද ඔහුගේ අනුජීවී කෙනෙක් වෙත් නම් ඔහු ද වැඩෙත්.
36. යම් බඳු විචක්‍ෂණයෝ වෙත් නම් ඔහු සිල්වත් ඔහුගේ ශීලය හා ත්‍යාගය හා සුචරිතයන් හා දක්නාහු අනුකරණ කරත්.
37. මෙ ලොව්හි සුගතිගාමීමාර්‍ගය වූ සුචරිතධර්‍මය කොට කම්සුව කැමැතියාහු දෙව්ලොව තුටු වන්නාහු (විපාකමෝදනායෙන්) ප්‍රමුදිත වෙත්.
සුමනාවර්‍ගය සතර වැනි යි.
එහි උද්දානය:
සුමනා සූත්‍රය, චුන්‍දී සූත්‍රය, උග්ගහ සූත්‍රය, සීහ සූත්‍රය, දානානිසංස සූත්‍රය, කාලදාන සූත්‍රය, භෝජන සූත්‍රය, සද්ධා සූත්‍රය, පුත්‍ර සූත්‍රය, මහාසාල සූත්‍රය, දැයි දශයෙකි.
5. මුණ්ඩරාජ වර්‍ගය
5. 1. 5. 1.
[භෝගආදිය සූත්‍රය]
41. එක් කලෙක භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ඇසුරු කොට ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එ කල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හිඳගත. බුදුහු එකත්පස් ව හුන් අනේපිඬු ගැහැවි හට තෙල වදාළ සේක:
ගැහැවිය, භෝගයන් පිළිබඳ වූ මේ ආදෙයයෝ (ගතයුතු ප්‍රයෝජනයෝ) පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ගැහැවිය, මෙ ලොව ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් (කායිකචෛතසික වීර්‍ය්‍යයෙන්) ලත්, බාහුබලයෙන් රැස් කළ දහදිය නඟා උපයාලූ, දැහැමි වූ දැහැමින් ලැබූ භෝගයෙන් තමා සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මාතෘපිතෲන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. පුත්‍රදාර, දාස, කර්‍මකරපුරුෂයන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මෙ භෝගයන්ගේ පළමු ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයාලූ, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් මිත්‍රාමාත්‍යයන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මෙ භෝගයන්ගේ දෙවෙනි ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයන ලද, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන් ගෙන් වේවයි, සොරුන්ගෙන් වේවයි, අප්‍රිය දායාදයන්ගෙන් වේවයි යම් ඒ ආපදාවෝ වෙත් නම්, එබඳු ආපදාවන්හි භෝගයෙන් වසා (උවදුරු වළකා ගෙණ) වැටෙයි. ආත්මභාවය නිරුපද්‍ර ව කෙරෙයි. මෙ භෝගයන්ගේ තුන් වන ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලද, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයාගත්, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් ඥාතිබලි ය, අතිථිබලි ය, පූර්‍වප්‍රේතබලි ය, රාජබලි ය, දේවතාබලි ය යි බලි (සත්කාර) පසක් කරන්නේ වෙයි. මෙ භෝගයන්ගේ සිවු වන ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කොට ගත්, දහදිය නඟා උපයා ගත්, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් මද පමා දෙකින් විරත වූ ක්‍ෂාන්තියෙහි හා සුරතභාවයෙහි පිවිසගත් යම් එ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් එක් ම (තමන්ගේ ම) ආත්මභාවය දමනය කෙරෙත් නම්, එක් ම ආත්මභාවය සන්හිඳුවත් නම්, එක් ම ආත්මභාවය පිරිනිවත් නම්, එබඳු මහණ බමුණන් කෙරෙහි (මතු මතු භූමින්හි ඵලදාන වශයෙන්) ඌර්‍ඬවාග්‍ර ඇති, ස්වර්‍ගයට හිත වූ, සුඛ විපාක ඇති, ස්වග්‍රභාවයට හිත ව වැටෙන (අග්‍ර වූ රූපාදිය මොනවට ගෙණ දෙන) දක්‍ෂිණාව පිහිටුවයි. මෙ භෝගයන්ගේ පස් වන ආදෙය වේ.
ගැහැවිය, භෝගයන්ගේ මෙ ආදෙය පස යි.
ගැහැවිය, භෝගයන්ගේ මෙ ආදෙය පස ගන්නා වූ එ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ භෝගයේ අවසනට යෙත් නම්, ඔ හට මෙ සිත් වෙයි: “ඒකාන්තයෙන් භෝගයන්ගේ යම් ආදෙයයෝ වෙත් නම් මම ඔවුනුදු ගන්මි. මාගේ භෝගයෝ ද (ප්‍රයෝජනය ගැන්මෙන්) පරික්‍ෂයට යෙති”යි. මෙසෙයින් ඔහට අවිප්‍රතිසාරය වෙයි. ගැහැවිය, භෝගයන්ගේ මෙ ආදෙය පස ගන්නා එ ආර්‍ය්‍යශ්‍රාවකහට ඉදින් භෝගයෝ අභිවර්‍ධනයට යෙත් නම්, ඔහට මෙ සිත වෙයි: “ඒකාන්තයෙන් භෝගයන්ගේ යම් ආදෙයයෝ වෙත් නම් ඔවුනුදු මම ගන්මි. මාගේ භෝගයෝ ද (වඩාලා ම) අභිවර්‍ධනයට යෙති” යි. මෙසෙයින් ඔහට දෙපරිදියෙන් ම අවිප්‍රතිසාරය වේ ය යි.
38. ම විසින් භෝගයෝ වළඳන ලදහ. පෝෂණයට නිසියෝ ද පුස්නාලදහ. ආපද්හි දී ආපදාවෝ ද තරණය කරණ ලදහ. සිල්වත් සංයත වූ බ්‍රහ්මචාරීහු වටන ලදහ.
39. ගෙයි වෙසෙන නුවණැතියේ යමක් සඳහා භොග කැමැති වේ නම් මා විසින් එ අර්‍ත්‍ථය ලබන ලද වේ. නො තැවීමට හිත කර්‍මය කරණ ලදි.
40. තෙල සිහි කරණ මිනිස් තෙමේ ආර්‍ය්‍යධර්‍මයෙහි සිටියේ වෙයි. මෙ අත්බවුහි ම (නැණැතියෝ) ඔහු පසසත්. මිය පරලොව ගියේ ස්වර්‍ගයෙහි විපාකමෝදනා කෙරේ.
5. 1. 5. 2.
[සප්පුරිස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, කුලයෙහි උපදනා සත්පුරුෂ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස් කම්කරුපුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ.
මහණෙනි, යම් සෙ වට මහවැසි හැම සස්වග සපයනුයේ බොහෝ දෙන හට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ ද, එසෙයින් ම මහණෙනි, සත්පුරුෂ කුලයෙහි උපදනේ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි: දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස්කම්කරු පුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ.
41. (සත්පුරුෂ වූ යමෙක්) උපභෝග පරිභෝග සම්පත් ලැබ මාපිය ඈ බොහෝ දෙනහට හිත වූයේ ද, ඔහු ලෝපල් දෙවි රක්නේ ය. දෙවියන් විසින් රක්නා ලද බොහෝ ඇසුපිරු තැන් ඇති, ශීලය හා ව්‍රතයෙන් සමෘද්ධ වූ දස කුසල් දහම්හි සිටියහු කීර්ත්තිය නො හරී.
42. දහම්හි සිටි ශීලයෙන් සමෘද්ධ වූ සත්‍යවාදී වූ අකුසලින් හැකිළෙන සිතැති ඔහු ජාම්බොනදසුවර්‍ණයාගේ නිෂ්කයක් සෙයින් නිගන්නට කවරෙක් අර්‍හ වේ ද, දෙවියෝත් ඔහු පසසති. බඹහු විසිනුදු හේ පසස්නා ලද්දේ යි.
5. 1. 5. 3.
[ඉට්ඨධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි:]
43. එ කල අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හිඳ ගත. එකත්පස් ව හුන් අනේපිඬු ගැහැවිහට බුදුහු තෙල වදාළ සේක:
ගැහැවිය, ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන දුකසේ ලැබිය හැකි මේ පස් දහම් කෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්:
ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩන්නා වූ ආයුෂය දුර්‍ලභ වූයේ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ ශරීරවර්‍ණය දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ කායිකචෛතසික සුඛ ය දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ යශස් (භෝගපරිවාර) දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ ස්වර්‍ගයෝ දුර්‍ලභවූවාහු වෙත්.
ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ මේ පඤ්චධර්‍මයෝ දුර්‍ලභ වූවාහු වෙත්.
ගැහැවිය, ලොව ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්‍ලභ වූ මේ පඤ්චධර්‍මයන් ආයාචනාහේතුයෙන් වේවයි ප්‍රාර්‍ත්‍ථනාහේතුයෙන් වේවයි ප්‍රතිලාභය නො කියමි. ගැහැවිය, ආයාචනාහේතුයෙන් වේවයි ප්‍රාර්‍ත්‍ථනාහේතුයෙන් වේවයි ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන්නා වූ දුර්‍ලභ වූ මේ පඤ්චධර්‍මයන්ගේ ලැබීමෙක් වේ නම් මෙ ලොව කවරෙක් කිමෙකින් පිරිහේ ද?
ගැහැවිය, ආයු කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ආයුෂය යදනට හෝ කැමැති වන්නට හෝ ආයුෂයට රිසි වන්නට හෝ සුදුසු නො වෙයි. ගැහැවිය, ආයු කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ආයු පිණිස පවත්නා (දන් සිල් ඈ) පුණ්‍යප්‍රතිපදාව පිළිපැදිය උතු ය. ඔහු විසින් ප්‍රතිපාදාන කළ අයුසංවත්තනික පුණ්‍යප්‍රතිපදාව ආයු ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂය ලබන්නේ වෙයි.
ගැහැවිය, ශරීරවර්‍ණ කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ශරීරවර්‍ණය යදනට හෝ කැමැති වන්නට හෝ ශරීරවර්‍ණයට රිසි වන්නට හෝ අර්‍හ නො වෙයි. ගැහැවිය, වර්‍ණය කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් වර්‍ණය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්‍රතිපාදනා කළ වර්‍ණය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව ශරීරවර්‍ණප්‍රතිලාභය පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ශරීරවර්‍ණ ලබන්නේ වෙයි.
ගැහැවිය, සුව කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක සුවය යදනට හෝ අභිනන්‍දනා කරන්නට හෝ සුවයට රිසි වන්නට හෝ නො ම අර්‍හ වෙයි. ගැහැවිය, සුව කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් සුව පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්‍රතිපාදනා කළ සුඛසංවත්තනික වූ පුණ්‍යප්‍රතිපදාව සුව ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ සුවය ලබන්නේ වෙයි.
ගැහැවිය, යශස් කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක යශස් යදනට හෝ අභිනන්‍දනා කරන්නට හෝ යශසට රිසි වන්නට හෝ නො ම අර්‍හ වෙයි. ගැහැවිය, යශස් කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් යශස් පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්‍රතිපාදනා කළ යශස් පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව යශස්ප්‍රතිලාභය පිණිස පවත්නී ම ය: එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ යශස් ලබන්නේ වෙයි.
ගැහැවිය, ස්වර්‍ගය කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ස්වර්‍ගය යදනට හෝ අභිනන්‍දනා කරන්නට හෝ ස්වර්‍ගයට රිසි වන්නට හෝ නො ම අර්‍හ වෙයි. ගැහැවිය, ස්වර්‍ගය කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ස්වර්‍ගය පිණිස පවත්නා (දානශීලාදි) පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්‍රතිපාදනා කළ ස්වර්‍ගය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව ස්වර්‍ගප්‍රතිලාභයට වැටේ ම ය. එහෙයින් හේ ස්වර්‍ගයන් ලබන්නේ වේ.
43. ආයුෂ ය, ශරීරවර්‍ණ ය, පරිවාර යශස් ය, කීර්ති ය, ස්වර්‍ග ය, උසස් කුලවත් බව ය යන උදාර වූ කාමරතීන් වෙන් වෙන් සේ පතනුවහු විසින් -
44-45. පුණ්‍යක්‍රියායෙහි නොපමා වීම බුද්ධාදි පණ්ඩිතයෝ පසසති. (කුශලයෙහි) අප්‍රමත්ත වූ පණ්ඩිත තෙම දෘෂ්ටධර්‍මයෙහි වූ යම් අර්‍ත්‍ථයෙකුත් වේ ද, සාම්පරායික වූ යම් අර්‍ත්‍ථයෙකුත් වේ ද, ඒ උභයාර්‍ත්‍ථයන් ලබයි. උභයාර්‍ත්‍ථයාගේ ප්‍රතිලාභයෙන් ධීරයා පණ්ඩිතයෙකැ යි කියනු ලැබේ.
5. 1. 5. 4.
[මනාපදායී සූත්‍රය]
44. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර ඇසුරු කොට මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කරණ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුකාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ විසල්පුර වැසි උග්‍ර ගෘහපතිහුගේ නිවෙස්න කරා එළැඹි සේක. එළැඹ පන්වාලු අස්නෙහි වැඩහුන් සේක. එ කල්හි විසල්පුර වැසි උග්‍ර ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් විසල්පුර වැසි උග්‍ර ගෘහපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“වහන්ස, ‘මනාප දැ දෙනුයේ මනාප දැය ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි. මට සල්පුප් (සිවුමියුරු යොදා සල්පිටියෙන් සල්මල් බඳු කොට තැනූ) කැවුම් මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට මාගේ ඒ ඛාද්‍යය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැය ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට ඩෙබරපල මුසු (කොට පිසූ එක් හැවිරිදි) හූරුමස් මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ සූකරමාංසය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට තෙලින් වැටූ (හල්පිටි සමඟ මැඩ දුරු ඈ යෙදූ ගිතෙලෙහි පිස චතුමධුර යොදා තැනූ) නැළිපලා මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ නැළිපලා පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට නඟාලූ කළුසහල් ඇති නොයෙක් සූප ඇති නොයෙක් බ්‍යඤ්ජන ඇති හැල්සහලින් කළ බත මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ ඕදනය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මන වඩනා දෑ දෙනුයේ මන වඩනා දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් අසන ලදි. හමුයෙන් පිළිගන්නා ලදි. වහන්ස, මට කසීසළු මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ කසීසළු පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මන වඩන දෑ දෙනුයේ මන වඩනා දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් අසන ලද. හමුයෙන් පිළිගන්නා ලද. වහන්ස, මට (සිවු අඟලකට වැඩි ලොම් ඇති) කළු කොඳුපලස් අතුළ, එළුලොම්මුවා සුදු ඇතිරි අතුළ, ඝනපුප් ඇති එළුලොම් ඇතිරි අතුළ, උතුම් කෙසෙල්මුව සම් ඇතිරි අතුළ, (රත්) උඩුවියන් සහිත වූ, දෙපස තැබූ රත්කන්වයින් ඇති පලඟ මන වඩනේ ය. වහන්ස, එතෙකුදුවත් ‘තෙලෙ භාග්‍යවතුන් වහන්සේට කැප නො වෙයි’ යන මෙ කරුණ අපි දු දනුම්හ. වහන්ස, මාගේ මේ සඳුන්පුවරුකඩ අයිරාදහසක් අගනේ ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ චන්‍දනඵලකය පිළිගන්නා සේක්ව” යි බුදුහු අනුකම්පා පෙරදැරි කොට එය පිළිගත්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසල්පුරවැසි උග්‍ර ගෘහපතිහු මේ අනුමෝදනායෙන් අනුමෙවුනී කළ සේක:
46. මන වඩන දැ දෙනුයේ මන වඩන දැයක් ලබයි. යමෙක් කායාදීන් ඍජු වූවන් විෂයෙහි ප්‍රේමයෙන් යුක්ත ව හඳනා පොරෝනා වස්ත්‍ර ද ශයනාසන ද යළි ආහාරපාන ද නන් වැදෑරුම් ප්‍රත්‍යය ද දෙයි ද -
47. රහතුන් (පුණ්‍යවිරූහණාර්‍ත්‍ථයෙන්) ක්‍ෂේත්‍රසදෘශ කොට සලකා සිතින් අගෘහීත ව (අපේක්‍ෂාරහිත ව) පරිත්‍යාග කරණ ලද්දේත් මුදන ලද්දේත් වේ ද, ත්‍යාගයට දුෂ්කර දැන ත්‍යාග කොට දෙන ඒ සත්පුරුෂ මන වඩන දැය ලබා”යී.
අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසාලානුවර වැසි උග්‍ර ගෘහපතිහු මේ අනුමෝදනායෙන් අනුමෙවුනී කොට හුනස්නෙන් නැඟී නික්මුනු සේක. ඉක්බිති විසාලාවැසි උග්‍ර ගෘහපති පසු කලෙක කලුරිය කෙළේ ය. තවද කලුරිය කළා වූ ම විසල්වැසි උග්‍ර ගෘහපති ධ්‍යාන සිතින් උපන් එක්තරා (සුද්ධාවාස) දේවකායකට පිළිසඳ විසින් පැමිණියේ ය.
එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එ කල්හි උග්‍ර දේවපුත්‍ර මධ්‍යමරාත්‍රිය පැමිණි කල්හි මන වඩනා සිරුරුපැහැ ඇති ව සියලු දෙව්රම් වෙහෙර බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි උග්‍ර දේවපුත්‍ර හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
‘කිම උග්‍රය, තොපගේ අදහස් වූ පරිදි වී දැ’යි. ‘වහන්ස, ඒකාන්තයෙන් මාගේ අදහස් වූ පරිදි වී යැ’යි.
එ කල්හි බුදුහු උග්‍ර දේවපුත්‍ර හට ගාථායෙන් වදාළහ:
48. මනාප දෑ දෙනුයේ මනාප දෑ ලබයි. අග්‍ර වූ දැය දෙනුයේ පෙරළා අග්‍ර වූ සුව ලබයි. උතුම් දැය දෙනුයේ උතුම් දැය ලබන්නේ වෙයි. ශ්‍රේෂ්ඨය දෙනුයේ ශ්‍රේෂ්ඨ වූ ස්වර්‍ගස්ථානයට පැමිණේ.
49. යමෙක් අග්‍රදායී වරදායී වේ ද, යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨදායීත් වේ ද, හේ යම් යම් තැනෙක උපදනේ නම් දීර්‍ඝායු ඇත්තේ යශස් ඇත්තේ වේ ය යි.
5. 1. 5. 5.
[පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, සුව එළවන, අග්‍ර රූපාදි සම්පත් මොනවට ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා මේ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ (කුශලොපපත්තීහු) පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, යම් දායකයකුගේ සිවුරු වළඳ කරන මහණෙක් අප්‍රමාණ අර්‍හත්ත්‍වඵලසමාධිය උපයාගෙන වෙසේ ද ඒ දායක හට සුව එළවන, මනා අග්‍ර රූපාදිසම්පත් දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
මහණෙනි, යම් දායකයකුගේ පිඬුවා වළඳ කරන මහණෙක් ... වෙහෙර වළඳ කරන මහණෙක් ... මැසි පුටු වළඳ කරන මහණෙක් ... ගිලන්පස බෙහෙසත්පිරිකර වළඳ කරන මහණෙක් අප්‍රමාණඅර්‍හත්ත්‍වඵලසමාධියට එළඹ වෙසේ ද, ඔහට සුව එළවන, ස්වග්‍රරූපාදිසම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශල ප්‍රවාහයෙක් වෙයි.