මහණෙනි, ඉදින් මහණ අසුරු ගසන පමණ කලෙකුදු ද්විතීයධ්‍යානය භවා නම්, ... තෘතීයධ්‍යානය භවා නම්, ... චතුර්‍ත්‍ථධ්‍යානය භවා නම්, ... (අර්‍පණාප්‍රාප්ත වූ) මෛත්‍රීචිත්තවිමුක්තිය භවා නම්, ... කරුණාචිත්තවිමුක්තිය භවා නම්, ... මෘදුතාචිත්තවිමුක්තිය භවා නම්, ... උපේක්‍ෂාචිත්තවිමුක්තිය භවා නම්, ... මහණෙනි, මේ මහණ නොහළ දැහැන් ඇතිවැ වසතියි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ රට වැසියාගේ (සවිපාක හෙයින්) නොසිස් වූ පිණ්ඩපාතය වලඳතියි කියනු ලැබේ. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථා ය.
1. 16. 6. 9-12.
... (අටළොස් වැදෑරුම්) කයෙහි කය අනුව දක්නේ කෙලෙස් තවන වැර ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, ස්මෘතිමත් වූයේ, (කායසඞ්ඛ්‍යාත) ලෙව්හි (පඤ්චකාමගුණිකතෘෂ්ණාව වූ) දළ ලෝභය ද (ප්‍රතිඝසම්ප්‍රයුක්ත) දොම්නස ද දුරු කොට වෙසේ ද, ... (නවවිධ වේදනාවන්හි වේදනාව අනුව දක්නේ වෙසේ ද, ... (ෂෝඩශ ප්‍රභේද) චිත්තයෙහි, ... (පඤ්චනීවරණාදී) ධර්‍මයන්හි ධර්‍මය අනුව දක්නේ, කෙලෙස් තවන වැර ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, ස්මෘතිමත් වූයේ, ලෙව්හි අභිධ්‍යාව හා දොම්නස දුරලා වෙසේ ද ...
1. 16. 6. 13-16.
නූපන් ලෝභාදි ලාමක අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස (කර්තුකම්‍යතා) කුශලච්ඡන්‍දය උපදවා ද, ... වයම්හි යෙදේ ද කායික චෛතසික වීර්‍ය්‍ය අරඹා ද, සහජාතවීර්‍ය්‍යයෙන් සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද, උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, ව්‍යායාම කෙරේ ද, වැර අරඹා ද, සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද ... නූපන් කුශල ධර්‍මයන්ගේ උත්පාදය පිණිස ඡන්‍දය දනවා ද, ව්‍යායාම කෙරේ ද, වැර අරඹා ද, සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද ... උපන් කුශල ධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස නො නස්නා පිණිස, භූයස්ත්‍වය පිණිස, විපුල බව පිණිස, වැඩීම පිණිස, පිරිපුන් බව පිණිස ඡන්‍දය දනවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද ...
1. 16. 6. 17-20.
... කත්තුකම්‍යතාඡන්‍දය පැවැති සමාධිය හා චතුකිච්චසාධක ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩා ද, ... වීර්‍ය්‍ය ඇසිරි කොට පැවැති සමාධිය හා ... චිත්තය ඇසිරි කොට පැවැති සමාධිය හා, ... විමංසා ව ඇසිරි කොට පැවැති සමාධිය හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩා ද ...
1. 16. 6. 21-25.
... ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩා ද, ... වීර්ය්‍යේන්‍ද්‍රියය වඩා ද, ... ස්මෘතීන්‍ද්‍රියය වඩා ද, ... සමාධින්‍ද්‍රියය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රියය වඩා ද ...
1. 16. 6. 26-30.
... ශ්‍රද්ධාබලය වඩා ද, ... වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, ... සමාධිබලය වඩා ද, ... ප්‍රඥාබලය වඩා ද ...
1. 16. 6. 31-37.
... ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩා ද, ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩා ද ...
1. 16. 6. 38-45.
... සම්‍යදෘෂ්ටිය වඩා ද, ... සම්‍යක්සංකල්පය වඩා ද, ... සම්‍යග්වචනය වඩා ද, ... සම්‍යක්කර්‍මාන්තය වඩා ද, ... සම්‍යක්ආජීවය වඩා ද, ... සම්‍යග්ව්‍යායාමය වඩා ද, ... සම්‍යක්ස්මෘතිය වඩා ද, ... සම්‍යක්සමාධිය වඩා ද ...
1. 16. 6. 46-53.
... එකෙක් අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ (නිමිත්තරූපයන්) මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ වඩනා ලද සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ පරිත්ත වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේ ය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ වඩනා ලද හෙයින් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ ද, .... අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ නිල් වූ නිල්වන් වූ, අසම්භින්න නීලවර්‍ණ ඇති, නීලාවභාස ඇති බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ පීත (කසා) වූ පීතවර්‍ණ වූ අසම්භින්න පීතවර්‍ණ ඇති පීතාවහාස ඇති බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ රතු වූ රතුපැහැ ඇති නොමුසු රතු පැහැ ඇති රත්පැහැයෙන් බබලන බැහැරි රූ දක්නේ ය; ඒ රූපයෙන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ සුදු වූ සුදු පැහැ ඇති, නොමුසු සුදු පැහැ ඇති, සුදුපැහැයෙන් බබලන බැහැරි රූ දක්නේ ය; ඒ රූපයෙන් මැඩ දන්මි, දක්මැ’යි මෙබඳු සංඥා ඇත්තේ වේ ද ...
1. 16. 6. 54-61.
... (නීලකසිණාදි වශයෙන් උපන්) රූපධ්‍යාන ඇත්තේ (ධ්‍යානචක්‍ෂුසින්) රූපයන් දක්නේ ද, ... අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ බැහැරි රූ දක්නේ ද, ... ශුභයයි ම ගෙණ ඇලුනේ වේ ද, ... සර්‍වප්‍රකාරයෙන් රූපාවචරධ්‍යාන සංඥාවන් ඉක්මවීමෙන්, (දශවිධ) ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන්, (සිවුසාළිස් වැදෑරුම්) නානාත්‍වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ‘ආකාශය අනන්තය’ යි ආකාශානන්ත්‍යාතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් ආකාශානන්ත්‍යාතනය ඉක්මවා ‘විඥානය අනන්තය’ යි විඥානන්ත්‍යායතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චන්‍යායතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චන්‍යායතනය ඉක්මවා නෛවසංඥානාසංඥායතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් නෛවසංඥානාසංඥායතනය ඉක්මවා සංඥාවේදයිත නිරෝධයට පැමිණ වෙසේ ද ....
1. 16. 6. 62-72.
... පඨවිකසිණ ධ්‍යානය වඩා ද, ... ආපෝකසිණ ධ්‍යානය වඩා ද, ... තෙජොකසිණ ධ්‍යානය වඩා ද, ... වායොකසිණ ධ්‍යානය වඩා ද, ... නීලකසිණ ධ්‍යානය වඩා ද, ... පීතකසිණ ධ්‍යානය වඩා ද, ... ලෝහිතකසිණ ධ්‍යානය වඩා ද, ... ඔදාතකසිණ ධ්‍යානය වඩා ද, ... ආකාශ කසිණ ධ්‍යානය වඩා ද, ... විඤ්ඤාණ කසිණ ධ්‍යානය වඩා ද, ආලෝක කසිණ ධ්‍යානය වඩා ද, ...
1. 16. 6. 73-82.
... අශුභ සංඥාව වඩා ද, ... මරණ සංඥාව වඩා ද, ... ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව වඩා ද, ... සියලුම (ත්‍රෛධාතුක) ලෝකයෙහි අනභිරත සංඥාව වඩා ද, ... අනිත්‍යසංඥාව වඩා ද, ... අනිත්‍ය (වූ පඤ්චස්කන්‍ධ) යෙහි දුඃඛ සංඥාව වඩා ද, … දුඃඛ (වූ පඤ්චස්කන්‍ධ) යෙහි අනාත්ම සංඥාව වඩා ද, ... (පඤ්චවිධ) ප්‍රහාණ සංඥාව වඩා ද, ... (පඤ්චවිධ) විරාග සංඥාව වඩා ද, ... (සංස්කාරයන්හි) නිරෝධ සංඥාව වඩා ද ...
1. 16. 6. 83-92.
... අනිත්‍ය සංඥාව වඩා ද, ... අනාත්ම සංඥාව වඩා ද, ... මරණ සංඥාව වඩා ද, ... ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව වඩා ද, ... සර්‍වප්‍රකාරයෙන් ලෝකයෙහි අනභිරතසංඥාව වඩා ද, ... අස්ථිකසංඥාව වඩා ද, ... පුලවක සංඥාව වඩා ද, ... විනීලකසංඥාව වඩා ද, ... විච්‍ඡිද්‍රක සංඥාව වඩා ද, ... උද්ධුමාතක සංඥාව වඩා ද ...
1. 16. 6. 93-102.
… බුද්ධානුස්මෘතිය වඩා ද, ... ධර්‍මානුස්මෘතිය වඩා ද, ... සඞ්ඝානුස්මෘතිය වඩා ද, ... ශීලානුස්මෘතිය වඩා ද, ... ත්‍යාගානුස්මෘතිය වඩා ද, ... දේවතානුස්මෘතිය වඩා ද, ... ආනාපානස්මෘතිය වඩා ද, ... මරණස්මෘතිය වඩා ද, … කායගතාස්මෘතිය වඩා ද, ... උපශමානුස්මෘතිය වඩා ද, ...
1. 16. 6. 103-142.
... ප්‍රථමධ්‍යාන සහගත වූ ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වඩා ද, ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩා ද, … ස්මෘතින්‍ද්‍රිය ය වඩා ද, ... සමාධින්‍ද්‍රිය ය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රිය ය වඩා ද, … ශ්‍රද්ධාබලය වඩා ද, ... වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, … ප්‍රඥාබලය වඩා ද, ... ද්වීතියධ්‍යානසහගත වූ, ... තෘතියධ්‍යානයසහගතවූ, ... චතුර්‍ත්‍ථධ්‍යානසහගත වූ, ... ප්‍රඥාබලය වඩා ද ...
1. 16. 6. 143-182.
... මෛත්‍රීසහගත වූ, ... කරුණාසහගත වූ, ... මෘදුසහගත වූ, ... උපේක්‍ෂාසහගත වූ, ... ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වඩා ද, ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩා ද, ... ස්මෘතීන්‍ද්‍රියය වඩා ද, ... සමාධීන‍්ද්‍රියය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රියය වඩා ද, ... ශ්‍රද්ධාබලය වඩා ද, … වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, … සමාධිබලය වඩා ද, ... ප්‍රඥාබලය වඩා ද, ... මහණෙනි, මේ මහණ නො හළ දැහැන් ඇත්තේ ය යි කියනු ලැබේ. ශාස්තෘශාසනකර වූයේ, ඔවා පිළිගෙන කරන්නේ නො සිස් වූ රට්ඨපිණ්ඩය වළඳයි. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථාය.
සවන වග යි.
(අච්‍ඡරාසඞ්ඝාත වර්‍ගයෙහි පෙය්‍යාලමුඛයෙන් දක්වන ලද සූත්‍ර සඞ්ඛ්‍යාව එක්සිය දෙ අසුවකි?)
[7. කායගතාසති වර්‍ගය]
1. 16. 7. 1.
මහණෙනි, යම් කිසිවකු විසින් මහසමුදුර සිතින් පහස්නා ලද්දේ නම්, මහමුහුදට ගලා බස්නා යම් කිසි කුඩා නදීහු වෙත් ද, ඔහු එයට ඇතුළත් වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසිවකු විසින් කාගියාසී (කායගතාසතිය) වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ වේ ද, අෂ්ටවිද්‍යා භජනය කරණ යම් කිසි කුශල ධර්‍මයෝ වෙත් නම්, ඔහු එයට (කායගතාසතියට) ඇතුළත් වෙති.
1. 16. 7. 2-8.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත් වූ සංවේගය පිණිස පවත්නේය … මහත් වූ අර්‍ත්‍ථය (සතරමග) පිණිස පවත්නේය … මහත් වූ යෝගක්‍ෂේමය (සතර ශ්‍රාමණ්‍යඵල) පිණිස පවත්නේය ස්මෘතිය හා සම්‍යක්ප්‍රඥාව පිණිස පවත්නේය … ඥානදර්‍ශනප්‍රතිලාභය (දිවැස් නුවණ) පිණිස පවත්නේය. ඉහාත්මභාවසුඛ විහරණය පිණිස පවත්නේය. විද්‍යා - විමුක්තිඵල (මාර්‍ගප්‍රඥා - සම්ප්‍රයුක්තධර්‍ම - අර්‍හත්ඵල) ප්‍රත්‍යවේක්‍ෂා කිරීම පිණිස පවත්නේය. කවර එක ම ධර්‍මයෙක යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත් සංවේගය පිණිස පවත්නේය … මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේය ... මහත් යෝගක්‍ෂේමය පිණිස පවත්නේ ය ... ස්මෘතිය හා සම්‍යක් ප්‍රඥාව පිණිස පවත්නේය … ඥානදර්‍ශනප්‍රතිලාභය පිණිස පවත්නේය ... දෘෂ්ටධර්‍මසුඛ විහරණය පිණිස පවත්නේය ... විද්‍යා - විමුක්ති - ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවත්නේය.
1. 16. 7. 9-12.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි කය ද (නාම - කරජ දෙකාය) සන්හිඳෙයි … සිත ද සන්සිඳෙයි ... විතර්‍ක විචාරයෝ ද සන්හිඳෙත් … සියලු විද්‍යාභාගීය ධර්‍මයෝ ද භාවනායෙන් පිරිපුන් බවට යෙත්. කවර එක් ධර්‍මයෙක් වැඩු කල්හි යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි කය ද සන්හිඳෙයි. සිත ද සන්හිඳෙයි. විතර්‍කවිචාරයෝ ද සන්සිඳෙත්. සියලු විද්‍යාභාගීය ධර්‍මයෝ ද භාවනායෙන් පිරිපුන් බවට යෙත්.
1. 16. 7. 13.
මහණෙනි, එක් ම ධර්‍මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි නූපන් අකුශලධර්‍මයෝ ද නූපදිත්. උපන් අකුශලධර්‍මයෝ ද ප්‍රහීණ වෙත්. කවර එක් ධර්‍මයක් වැඩු කල්හි යත්: කාගියාසීය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් කළ කල්හි නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ ප්‍රහීණ වෙත්.
1. 16. 7. 14.
මහණෙනි, එක් ම ධර්‍මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ කුශලධර්‍මයෝ ද භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවත්නාහ. කවර එක් ධර්‍මයක් වැඩු කල්හිය යත්: කාගියාසී (වැඩු කල්හි) යි. මහණෙනි, මේ එක් ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් කළකල්හි නූපන්නා වූ ද කුශලධර්‍මයෝ බොහෝ බව පිණිස විපුල බව පිණිස පවත්නාහ.
1. 16. 7. 15-19.
මහණෙනි, මේ එක්ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි (අටතන්හි බොල්අඳුරු කරණ) අවිද්‍යාව ප්‍රහීණ වේ … (අර්‍හත්‍වමාර්‍ගඥාන) විද්‍යාව උපදනීය … (නවවිධ) අස්මිමානය ප්‍රහීණ වේ .... (සප්ත) අනුශයයෝ නැස්මට යෙත් ... (දශ) සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කවර එක් ධර්‍මයක් වැඩු කල්හිය යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදනීය. අස්මිමානය ප්‍රහීණ වේ. අනුශයෝ නැස්මට යෙත්. සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
1. 16. 7. 20-21.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ප්‍රඥා ප්‍රභේදය පිණිස පවත්නේ ය … අනුපාදා පරිනිර්‍වාණය පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ප්‍රඥාප්‍රභේදය පිණිස පවත්නේ ය. අනුපාදා පරිනිර්‍වාණය පිණිස පවත්නේ ය.
1. 16. 7. 22-24.
මහණෙනි, එක් ම ධර්‍මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි අනේක (අටළොස්) ධාතූන්ගේ (ලක්‍ෂණ) ප්‍රතිවේධය වෙයි … (අටළොස්) ධාතූන්ගේ නානාභාවයෙන් (ලක්‍ෂණ) ප්‍රතිවේධය වේ … අනේක (අටළොස්) ධාතුන්ගේ ප්‍රතිසම්භිදා ඥානය වේ. කවර එක් ධර්‍මයක් වැඩුකල්හි යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් කළ කල්හි අනේක ධාතූන්ගේ ප්‍රතිවේධය වේ. නානාධාතූන්ගේ ප්‍රතිවේධය වේ. අනේක ධාතුන්ගේ ප්‍රතිසම්භිධා ඥානය වේ.
1. 16. 7. 25-28.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ සෝවාන්පල පසක් කිරීම පිණිස පවත්නේ ය ... සෙදගැමිපල පසක් කිරීම පිණිස පවත්නේය ... අනගැමිපල පසක් කිරීම පිණිස පවත්නේ ය ... රහත්පල පසක් කිරීම පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයක යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ සෝවන්පල පසක් කිරීම පිණිස පවත්නේ ය. සෙදගැමිපල පසක් කිරීම පිණිස පවතී. අනගැමිපල පසක් කිරීම පිණිස පවත්නේ ය. රහත්පල පසක් කිරීම පිණිස පවත්නේ ය.
1. 16. 7. 29-44.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් වඩන ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ ප්‍රඥාප්‍රතිලාභය පිණිස පවත්නේය … ප්‍රඥාවගේ වැඩීම පිණිස පවත්නේය … ප්‍රඥාවගේ විපුල බව පිණිස පවත්නේය … මහාප්‍රාඥ බව පිණිස පවත්නේය ... (ස්කන්‍ධාදිනානාධර්‍මයන්හි) පෘථක්ප්‍රඥා ඇති බව පිණිස පවත්නේ ය ... විපුල ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … ගැඹුරු ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... අසාමන්තප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (රාගාදිකෙලෙස් මඩනා) භූරි ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … ප්‍රඥාබාහුල්‍ය පිණිස පවත්නේය … ශීඝ්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … (යුහුව සිල්පුරණ) ක්‍ෂිප්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (තෘෂ්ටිබහුලව ශීලාදිය පුරණ) හාසුප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … (ස්කන්‍ධාත්‍වායතනාදියෙහි දුවන) ජවනප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (කෙලෙස් සිඳීමෙහි) තීක්‍ෂණප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (සංස්කාරයන්හි කලකිරුවන) නිර්වේදික ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. කවර එක් ධර්‍මයෙක යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ ප්‍රඥාවගේ ප්‍රතිලාභය පිණිස පවත්නේය. ප්‍රඥාවගේ වෘද්ධිය පිණිස පවත්නේය. ප්‍රඥාවගේ විපුලත්‍වය පිණිස පවත්නේය. මහාප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. පෘථක්ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. විපුලප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ගම්භීරප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. අසාමන්තප්‍රඥා ඇති බව පිණිස පවත්නේ ය. භූරිප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ප්‍රඥාබාහුල්‍යය පිණිස පවත්නේය. ශීඝ්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ක්‍ෂිප්‍ර ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. හාසු ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ජවනප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. තීක්‍ෂණ ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. නිර්වේදිකප්‍රඥා ඇති බව පිණිස පවත්නේය.
සත්වන [කායගතාසති] වග යි.
[8. අමෘත වර්‍ගය]
1. 16. 8. 1-8.
මහණෙනි, යම් කෙනෙක් අමෘතසදෘශ කායගතාසතිය පරිභෝග ධ්‍යාන-සමාපජ්ජනයෙන් නො කෙරෙද් ද, ඔහු අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො වළඳත්.
මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පරිභෝග කෙරෙත් ද, ඔහු අමෘතය වළඳත්.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො වළඳන ලදු ද, ඔවුන් විසින් අමෘතය නො වළඳනා ලදී.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය වළඳන ලදු ද, ඔවුන් විසින් අමෘතය වළඳනා ලදි.
මහණෙනි, යම් කෙනකුන්ගේ කායගතාසතිය පිරිහුනු ද, ඔවුන්ගේ අමෘතය පිරිහින.
මහණෙනි, යම් කෙනකුන්ගේ කායගතාසතිය නො පිරිහුනු ද, ඔවුන්ගේ අමෘතය නො පිරිහින.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය අනධිගමයෙන් වරදනා ලදු ද, ඔවුන් විසින් අමෘතය වරදනා ලදී.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය සැපැයිනි ද, ඔවුන් විසින් අමෘතය නිෂ්පාදිත වෙයි.
1. 16. 8. 9-24.
මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පමා කෙරෙත් ද, ඔහු අමෘතය පමා කෙරෙත්.
මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පමා නො කෙරෙත් ද, ඔහු අමෘතය පමා නො කෙරෙත්.
මහණෙනි, යම් කෙනකුනට කායගතාසතිය විස්මෘත ද, ඔවුන්ට අමෘතය විස්මෘත වෙයි.
මහණෙනි, යම් කෙනකුනට කායගතාසතිය විස්මෘත නො වේ ද, ඔවුනට අමෘතය විස්මෘත නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො සෙවුනා ලදු ද, ඔවුන් විසින් අමෘතය සෙවුනා ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය සෙවුනා ලදු ද, ඔවුන් විසින් අමෘතය සෙවුනා ලද වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො වඩනා ලදු ද, ඔවුන් විසින් අමෘතය වඩනා ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය වඩන ලදු ද, ඔවුන් විසින් අමෘතය වඩන ලද වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය බහුල වශයෙන් පුරුදු නො කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පුරුදු කරණ ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය බහුල වශයෙන් පුරුදු කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පුරුදු කරණ ලද වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය විශිෂ්ටඥානයෙන් නො දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය දන්නා ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය දන්නා ලද වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය (භූතපරිඥාවශයෙන්) පිරිසිඳ නොදන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය පිරිසිඳ දන්නා ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පිරිසිඳ දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය පිරිසිඳ දන්නා ලද වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පසක් නො කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පසක් කරණ ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පසක් කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පසක් කරණ ලද වේ යි.
අටවෙනි [අමා] වග යි.
ඒකක නිපාතයෙහි සූත්‍ර දහස{*} නිමි.
2. දුකනිපාතය
පඨමපණ්ණාසකය
1. වස්සූපනායිකා වර්‍ගය
2. 1. 1. 1.
වජ්ජ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මේ වද්‍ය (අපරාධ) දෙකෙකි. කවර දෙකෙක යත්: දෘෂ්ටධර්‍මවිපාක ඇති අපරාධය හා පරලොව විපාක ඇති අපරාධ යි. මහණෙනි, ඉහාත්‍මයෙහි විපාක ඇති අපරාධය කවරේ ය යත්: මහණෙනි, මෙලොව රජවරු අපරාධ කරණ සොරු ගෙණ විවිධ කම්කටොලු කරත්: කසවැලිනුදු තළත්, වේවැලිනුදු තළත්, මුගුරිනුදු තළත්, අතුදු සිඳුති, අත් පා ද සිඳුති, කනුදු සිඳුති, නැහැය ද සිඳුති, කන් නාසා ද සිඳුති, බිලඞ්ගථාලික නම් වධය ද කරත්, සඞ්ඛමුණ්ඩික නම් වධය ද කරත්, රාහුමුඛ නම් වධය ද කරත්, ජෝතිමාලික නම් වධය ද කරත්, හත්‍ථපජ්ජෝතික නම් වධය ද කරත්,එරකවත්තික නම් වධය ද කරත්, චීරකවාසික නම් වධය ද කරත්, එණෙය්‍යක නම් වධය ද කරත්, බලිසමංසික නම් වධය ද කරත්, කහාපණක නම් වධය ද කරත්, ඛාරාපතච්ඡික නම් වධය ද කරත්, පලිඝපරිවත්‍තික නම් වධය ද කරත්, පලාලපිටඨික නම් වධය ද කරත්, කකියන තෙලිනුදු ඉසිත්, කීණ බල්ලන් ලා කවත්, දිවමනුහු හුල හිඳුවත්, අසිපතිනුදු හිස් සිඳුති. කිසිවෙක් තෙල සොරු දක්නේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: යම් බඳු පාපකර්‍මයන් හේතු කොට ගෙණ අපරාධකාරී සොරු ගෙණ රජදරුවෝ විවිධ කම්කටොලු කරත් ද, කසවැලිනුදු තළත් ද, ... අසිපතිනුදු හිස් සිඳිත් ද, මම වැලිත් මෙ බඳු පව්කම් කරන්නෙම් නම්, රජදරුවෝ මයිදු ගෙණ මෙ බඳු විවිධ කම්කටොලු කරත්: කසවැලිනුදු තළත්, ... අසිපතිනුදු හිස සිඳිත් ය කියා යි. හෙ තෙම ඉහාත්මයෙහි වූ වරදට බියපත් වූයේ මෙරමාගේ භාණ්ඩ වොලොගන්මින් නො හැසිරෙයි මහණෙනි, මෙය දෘෂ්‍ටධාර්මිකවද්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, සමපරායිකවද්‍ය කවරේ ය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසිවෙක් මෙසේ නුවණින් සිතයි: ‘කායදුශ්චරිතයාගේ වනාහි පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක, වාග්දුශ්චරිතයාගේ පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක. මනෝදුශ්චරිතයාගේ පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක. මම වැලිත් කයින් දුසිරිත කරන්නෙම් නම්, වචනයෙන් දුසිරිත කරන්නෙම් නම්, සිතින් දුසිරිත කරන්නෙම් නම්, යම්බඳු ඒ දුසිරිතින් මම කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි නූපදින්නෙම් ද! කිම් ඒ නො වේදැයි. හේ පරලොව්හි වරදින් බියපත් වූයේ කායදුශ්‍චරිතය දුරැර කායසුචරිතය වඩයි. වාග්දුශ්‍චරිතය දුරැර වාක්සුචරිතය වඩයි. මනෝදුශ්‍චරිතය දුරැර මනස්සුචරිතය වඩයි. පිරිසිදු ආත්මයක් පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ සම්පරායිකවද්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මේ වද්‍ය දෙක ය. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුය: ඉහාත්මවිපාක ඇති අපරාධයෙන් බිය පත් වන්නම්හ. පරලොව විපාක ඇති අපරාධයෙන් බිය පත් වන්නම්හ. වරදෙහි බිය දක්නා සුල්ලමෝ වද්‍යභීරුක වූවමෝ වන්නම්හ යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි. මහණෙනි, සියලු වරදින් මිදෙන්නේය යන යමෙක් ඇද්ද, වරදට බිය වන සුලු වරදෙහි බිය දක්නා සුල්ලහු විසින් මෙය කැමැති විය යුතුයි.
2. 1. 1. 2.
පධාන සූත්‍රය
2. මහණෙනි, ලොව්හි දුකසේ පිරිය යුතු මේ (ප්‍රධාන) වීර්‍ය්‍යයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ගිහිගෙයි වසන ගිහියන්ගේ චීවර - පිණ්ඩපාත - ශයනාසන - ග්ලානප්‍රත්‍ය - භෛෂජ්‍ය - පරිෂ්කාර දීම පිණිස යම් වීර්‍ය්‍යයෙක් වේ ද, ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට පැමිණියවුන්ගේ (ස්කන්‍ධ - ක්ලේශ - අභිසංස්කාර සඞ්ඛ්‍යාත) සියලු උපධීන් බැහැර ලීම වූ නිවණ පිණිස යම් වීර්‍ය්‍යයෙකුත් වේ ද (යන දෙකයි.) මහණෙනි, ලොව්හි දුෂ්කර වූ මේ වීර්‍ය්‍යයෝ දෙදෙන වෙති. මහණෙනි, මේ ද්විවිධ වීර්‍ය්‍යයන් අතුරෙන් සියලු උපධීන් දුරලීම පිණිස යම් වීර්‍ය්‍යයෙක් වේ නම්, තෙල අග්‍ර වේ. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුයි: සියලු උපධීන් දුරලීම පිණිස වීර්‍ය්‍යය වඩන්නම්හ යි. මෙසේ ම තොප විසින් හික්මිය යුතුයි.
2. 1. 1. 3.
තපනීය සූත්‍රය
3. මහණෙනි, මේ තපනීය (සිත් සතැවුලියෙන් තවන) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මහණෙනි, මෙලොව්හි කිසිවකු විසින් කායදුශ්චරිතය කරණ ලද වෙයි. කාය සුචරිතය නොකරණ ලද වෙයි. වාග්දුශ්චරිතය කරණ ලද වෙයි. වාක්සුචරිතය නොකරණ ලද වෙයි. මනෝදුශ්චරිතය කරණ ලද වෙයි. මනස්සුචරිතය නොකරණ ලද වෙයි. හේ මා විසින් කායදුශ්චරිතය කරණ ලදැ යි තැවෙයි. මා විසින් කායසුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මා විසින් වාග්දුශ්චරිතය කරණ ලදැයි තැවෙයි. මා විසින් වාක්සුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මා විසින් මනෝදුශ්චරිතය කරණ ලදැ යි තැවෙයි. මා විසින් මනස්සුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මහණෙනි, මේ වනාහි තවන ධර්‍මයෝ දෙදෙන වෙති.
2. 1. 1. 4.
අතපනීය සූත්‍රය